සුළු නිදහසකින් යුත් පළල් පාරක්
තුන්දෙනෙකුගෙන් යුත් පවුලක්—එනම් පියා, මව සහ කුඩා දියණිය—ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිවස ගිනිගන්නා විට එතුළ සිටියහ. ඔවුන් ජනේලවලින් පැනීමට වෑයම් කළ නමුත්, ඒවා හරහට බාධකපොලු දමා තිබිණ. ආරක්ෂිත බාධකපොලු නිසා, ගිනි නිවන භටයන්ට ඔවුන්ව බේරාගැනීමට නොහැකි විය. දුම සහ ගිනි දළු අතරේ මව සහ පියා මියගියහ. පසුව දියණිය රෝහලේදී මියගියාය.
මෙම පවුල ආරක්ෂා කරයි කියා බලාපොරොත්තු වූ සවි කරන ලද උපකරණ හේතුවෙන්, ඔවුන් මියයෑම කෙතරම් කනගාටුවට කරුණක්ද! බාධකපොලු සහ ආරක්ෂක අගුළුවලින් නිවස ආරක්ෂා කර තිබෙන්නේ මෙම පවුල පමණක් නොවන බවට පෙන්වීමෙන්, මෙය අපගේ කාලවල් පිළිබඳ අදහසක් ලබා දෙයි. අසල්වාසීන්ගෙන් වැඩිදෙනෙකුට විශාල බලකොටුවලට සමාන නිවාස සහ ඉඩම්ද තිබේ. මන්ද? ඔවුහු ආරක්ෂාව සහ මනසේ සාමය සොයමින් සිටිති. තම නිවාසවල සිරකරුවන් මෙන් කූඩුවී සිටින විට පමණක් ජනයාට ආරක්ෂාව දැනෙන විට, “නිදහස්” සමාජයක් මත මොනතරම් කැලලක්ද! සංඛ්‍යාවෙන් වැඩිවන අසල්වැසි පෙදෙස්වල, දෙමව්පියෙකු හෝ වෙනත් යම් වැඩිහිටියෙකු නොමැතිව දරුවන්ට පාසැලට ගමන් කිරීමටවත්, තවදුරටත් අසල පිට්ටනියක සෙල්ලම් කිරීමටවත් නොහැක. උදේ පිනි යම් සේද, ජීවිතයේ බොහෝ පැතිවල, නිදහසත් එලෙසම නැතිවී යයි.
වෙනස් වූ ජීවන රටාවක්
අපේ ආච්චිලා සීයලාගේ කාලය වෙනස්ව තිබිණ. දරුවන් වශයෙන්, ඔවුන්ට සාමාන්‍යයෙන්ම කිසි බියක් නැතුව තමන්ට කැමති තැනක සෙල්ලම් කිරීමට හැකිවිය. වැඩිහිටියන් වශයෙන්, ඔවුන්ට අගුළු සහ බාධකපොලු සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස කරදර වීමට අවශ්‍යව තිබුණේ නැත. ඔවුන්ට නිදහස දැනුණ අතර, යම්දුරකට ඔවුහු නිදහසේ සිටියහ. එහෙත් අපගේ ආච්චිලා සීයලා සිය ජීවිත කාලයේදීම සමාජයේ ස්වභාවය වෙනස් වනවා දැක තිබේ. එය හැඟීම් නොතකන, වඩා ආත්මාර්ථකාමී එකක් බවට හැරී ඇත; බොහෝ ස්ථානවල අසල්වැසි බිය අසල්වැසි ප්‍රේමයේ තැන ගෙන තිබෙන අතර, එය ඉහත සඳහන් කළ ඛේදජනක සිද්ධියට දායක විය. මෙම නිදහස නැතිකමේ වැඩිවීමත් සමඟම සදාචාර සාරධර්මවල නියත පිරිහීමක් සිදුවී තිබේ. සමාජය “නව සදාචාරත්වය” මගින් වශී වී ඇති නමුත්, යථාර්ථය නම්, කිසිම සදාචාරත්වයක් දැකීමට නොහැකිවන තරමේ තත්වයක් ඉස්මතු වී තිබීමය.
ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ කලින් සිටි අධ්‍යාපන ආචාර්යවරයෙකු වන ආචාර්ය රුපර්ට් ගුඩ්මන් මෙසේ ලියයි: “යෞවන අය තමාව-පිනවීම, තමා පිළිබඳ දැනුම් තේරුම් බව, තමාගේ අභිමතාර්ථයන් මුදුන් පමුණුවාගැනීම, ආත්මාර්ථය යන ‘තමා’ මධ්‍යගත වන, වෙනස්, සුඛපරම . . . ජීවන රටාවකට දැන් අනාවරණය වී සිටිති.” ඔහු මෙසේද පවසයි: “ආත්ම-දමනය, ආත්ම-පරිත්‍යාගය, පරිශ්රමය, අරපරිස්සම, අධිකාරිත්වයට ගෞරවය, දෙමව්පියන්ට ප්‍රේමය සහ ගෞරවය දැක්වීම වැනි සාරධර්ම . . . බොහෝදෙනෙකුට නුහුරු සංකල්ප වී ඇත.”
ඇත්තෙන්ම පළල් මාර්ගයක්
බයිබල් අනාවැකිවලට හුරු අය, මෙසේ තමා ගැන පමණක් තැකීම පුළුල්ව ව්‍යාප්ත වී තිබීම සම්බන්ධයෙන් පුදුම නොවේ, මන්ද යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සිය ශ්‍රාවකයන්ට මෙසේ අනතුරු ඇඟවූසේක: “විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.” (මතෙව් 7:13, 14) බොහෝ ගමන්කරන්නන් සඳහා විශාල ඉඩ ප්‍රමාණයකින් යුතු පළමු පාර, සදාචාරත්වය හා එදිනෙදා ජීවත්වීම පාලනය කෙරෙන බයිබල් ප්‍රතිපත්ති මගින් සීමාවී නැති නිසා “පළල්” වේ. නීති නොමැතිව, බැඳීම් නොමැතිව—තමන් සතුටු ඕනෑම දෙයක් සිතීමට සහ තමන් සතුටු ආකාරයට ජීවත්වීමට කැමති අයට එය සිත්ගන්නකි.
පළල් මාර්ගය තෝරාගෙන තිබෙන බොහෝදෙනෙකු තම නිදහස භුක්තිවිඳිනවායයි පවසන බව සැබෑය. එහෙත් ඔවුන්ගෙන් වැඩිදෙනෙකු පෙලඹී ඇත්තේ පොදු ආත්මාර්ථකාමී ස්වභාවයක් මගිනි. බයිබලය පවසන්නේ, ඔවුන් “අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය” මගින් පාලනය වන බවය. දුරාචාරය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, නැතහොත් ධනය, ප්‍රසිද්ධිය හෝ බලය පසුපස හඹා යෑම හෝ වේවා, මෙම ආත්මය “මාංස[යට අනුව] හැසිරෙමින්, මාංසයට . . . කැමතිදේ කරමින්” ජීවත්වීමට ඔවුන්ව පොලඹවයි.—එපීස 2:2, 3.
පළල් මාර්ගය විපත්තියට මඟ පාදයි
පළල් මාර්ගයෙහි ගමන් කරන අයව ‘මාංසයට කැමති දේ කිරීමට’ පොලඹවනු ලබන බව සැලකිල්ලට ගන්න. මෙය ඔවුන් කොහෙත්ම නිදහස් නැති බව—එනම් ඔවුන්ට ස්වාමියෙකු සිටින බව—දක්වයි. ඔවුහු මාංසයේ දාසයෝ වෙති. එමෙන්ම මෙම ස්වාමියාට සේවය කිරීම බොහෝ ගැටලුවලට මඟ පෑදිය හැක: ස්වල්පයක් සඳහන් කරනවා නම්, ලිංගිකව පැතිරෙන රෝගවල ව්‍යාප්ත වසංගත, භේද බින්න වූ නිවාස, මත්ද්‍රව්‍යයට සහ මත්පැනට ඇබ්බැහි වීමෙන් රෝගීවූ ශරීර සහ මනස් යනාදිය වේ. ප්‍රචණ්ඩකාරිත්වයේ, සොරකම් කිරීමේ හා ස්ත්‍රී දූෂණයේ ක්‍රියාවල මුල් තිබෙන්නේ, මෙම ඕනෑම දෙයකට අවසර දෙන පළල් පාරෙහි පෝෂණය ලබන ආත්මාර්ථකාමී චින්තනය තුළය. තවද, ‘විනාශයට මඟ පෙන්වන’ මෙම ‘පාර’ නොකඩවාම පවතින අතරතුර, එහි ඵල වඩ වඩා විනාශකාරි වනු ඇත.—හිතෝපදේශ 1:22, 23; ගලාති 5:19-21; 6:7.
ඕස්ට්‍රේලියාවෙන් පැමිණෙන සැබෑ-ජීවිත ආදර්ශ දෙක සලකා බලන්න. අනිසි මත්ද්‍රව්‍ය භාවිතයේ මෙන්ම දුරාචාරයේ යෙදෙමින් මේරි පරීක්ෂාවට යටත්වූවාය.a එහෙත් ඇය සෙවූ සතුට ඇයව මුළා කළේය. දරුවන් දෙදෙනෙකු බිහි කිරීමෙන් පසුව පවා, ඇගේ ජීවිතයේ හිස්බවක් පෙනෙන්ට තිබිණ. ඇයට ඒඩ්ස් වැළඳී ඇති බව ඇය දැනගත් විට ඈ පහත්ම අඩියට වැටුණාය.
ටොම් වෙනස් ආකාරයකට හානි ලැබීය. “මා හැදී වැඩුණේ උතුරු ක්වීන්ස්ලන්තයේ පල්ලියේ මීසමකයි,” ඔහු ලියයි. “වයස 16දී, මා නොසෑහෙන්න බොන්න පටන්ගත්තා. මගේ පියා, මාමලා සහ මිත්‍රයන් සියලුදෙනාම අධික සේ මත්පැන් බොන අය බැවින්, එය සාමාන්‍ය දෙයක් මෙන් පෙනෙන්ට තිබුණා. මා බියර්වල සිට මැතිලේට් ස්ප්‍රීතු දක්වා ඕනෑම දෙයක් පානය කරන අවධියට පැමිණුණා. මා වෙහෙස මහන්සි වී ඉපැයූ දෙයින් වැඩි ප්‍රමාණයක් නාස්ති කරමින් අශ්වයන්ට ඔට්ටු ඇල්ලීමටද පටන්ගත්තා. මගේ උක්ගස් කැපීමේ රැකියාවට හොඳට ගෙවූ නිසා, මෙය සුළු මුදලක් නෙවෙයි.
“ඉන්පසු මා විවාහ වූ අතර අපට දරුවන් ලැබුණා. මගේ වගකීම් උසුලනවා වෙනුවට, මා කළේ මගේ මිතුරන් කළ දෙයයි—බිව්වා, සූදුවේ නියැලුණා එමෙන්ම ගහගත්තා. මා බොහෝ වර සිරගත වී සිටියා. නමුත් මෙයින් පවා මගේ ජීවිතයට ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. මගේ ජීවිතය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබුණා. එය අවුල්ජාලාවක් වෙලා තිබුණා.”
එසේය, වැරදි ආශාවලට ඉඩ දීමෙන්, ටොම් සහ මේරි හානි පමුණුවාගත්තේ තමන්ට පමණක් නොව, නමුත් ඔවුන්ගේ පවුල්වලටත්ය. පළල් පාරෙහි ඉදිරිපත් කෙරෙන ලිහිල්, නොමඟ ගිය නිදහසේ ආත්මය මගින් වෙනත් බොහෝ යෞවනයන් මුළාවීමට නැඹුරුවාවක් දැක්වීම, කනගාටුවට කරුණකි. බාලයන්ටවත් නිදහසේ මෙම පිටස්තර බොරු පෙනුම, මෙම මුළාව, විනිවිද දැකිය හැකිවුණා නම්! ඔවුන්ටවත් පළල් මාර්ගයෙහි යථාර්ථයන්—එනම් එහි ගමන් කරන සියල්ලන්ම අවසානයේදී ගෙවිය යුතු දරුණු විපාක—දැකිය හැකි නම්! එය පළල් මෙන්ම පහසුවෙන්ම ඇතුල්විය හැකි බව සැබෑය. එහෙත් එහි ඉතා පළල්භාවයම, එහි ශාපයයි. ප්‍රඥාවේ ක්‍රියාමාර්ගය වනාහි “තමාගේ මාංසය සඳහා වපුරන්නා මාංසයෙන් කුණුවීම කපාගන්නේය,” යන ප්‍රතික්ෂේප කළ නොහැකි සැබෑව හෘදයට ගැනීමය.—ගලාති 6:8.
කෙසේවුවත්, වඩා හොඳ තෝරාගැනීමක් තිබේ. එය පටු පාරය. එහෙත් මෙම පාර කෙතරම් අවහිරද, කෙතරම් ඇහිරී ඇද්ද, එමෙන්ම පටුද? තවද එය මඟ පෙන්වන්නේ කොතැනටද?
[පාදසටහන්වල]
a නම් වෙනස් කර තිබේ.