“උදුනක් මෙන් ඇවිළෙන දවස”
“උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය.”—මලාකී 4:1.
1. මලාකී 4:1 සම්බන්ධව කිනම් ප්‍රශ්න පැන නගීද?
මෙම අන්තිම දවස් අතරතුරේදී, යෙහෝවඃවහන්සේ, ස්වකීය සිහිවීමේ පොතේ නාම ලිවීමට තෝරාගන්නාවූ අය සන්තෝෂවත් වෙති. එහෙත්, එම වරප්‍රසාදයට සුදුසුකම් ලැබීමට අසමත් වන අය ගැන කුමක් කිව හැකිද? ඔවුන් පාලකයන් වේවා, සාමාන්‍ය පොදු ජනයා වේවා, ඔවුන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ප්‍රකාශකයන්ව හා ඔවුන්ගේ පණිවුඩය හෙළාදකින්නේ නම්, ඔවුන්ට කුමක් සිදුවේවිද? ගණන්ගැනීමේ දවසක් ගැන මලාකී කතා කරයි. එහි මලා 4වන පරිච්ඡේදයේ 1වන පදයේ අපට මෙසේ කියවීමට තිබේ: “මක්නිසාද උදුනක් මෙන් ඇවිළෙන දවස පැමිණෙන්නේය; එවිට සියලු උඩඟු අයද දුෂ්ටකම්කරන සියල්ලන්ද ඉපනැලි වී, ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන හැටියට, පැමිණෙන ඒ දවසේදී දාලා යනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.”
2. එසකියෙල් විසින් යෙහෝවඃවහන්සේගේ විනිශ්චය සම්බන්ධව දී ඇත්තේ කිනම් චමත්කාරජනක විස්තරයද?
2 වෙනත් අනාගතවක්තෲහුද ජාතීන් කෙරෙහි යෙහෝවඃවහන්සේගේ විනිශ්චය දවස උදුනක උෂ්ණාධික තාපයට සන්සන්දනය කරති. ඇදහිල්ල අත්හැර ගිය ක්‍රිස්තියානි ලෝකයේ නිකායන් දෙවියන්වහන්සේ විසින් විනිශ්චය කිරීමට, එසකියෙල් 22:19-22 කොතරම් යෝග්‍ය ලෙස අදාළ වේද! එහි මෙසේ කියවීමට තිබේ: “එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක—බලව, නුඹලා සියල්ලන්ම බොර වී සිටින නිසා නුඹලා . . . එකතුකරන්නෙමි. රිදීද පිත්තලද යකඩද ඊයම්ද බෙලෙක්ද ගිනි පිඹ උණුකරන පිණිස උදුන තුළට එකතුකරන්නාක්මෙන් මම නුඹලා මාගේ උදහසින්ද කෝපයෙන්ද එකතුකර තබා උණුකරන්නෙමි. මම නුඹලා රැස්කර, මාගේ උදහස් ගින්න නුඹලාට පිඹින්නෙමි, නුඹලා එහි තුළ උණුවන්නහුය. උදුන තුළ රිදී උණුවන්නාක්මෙන් නුඹලා එහි තුළ උණුවන්නහුය; ස්වාමීන්වහන්සේ වන මා විසින් මාගේ කෝපය නුඹලා කෙරෙහි වැගිරෙවු බව නුඹලා දැනගන්නවා ඇත.”
3, 4. (අ) පූජකයන් කුහක ලෙස කියා ඇත්තේ කුමක්ද? (ආ) ආගමේ නීච වාර්තාව කුමක්ද?
3 ඇත්තවශයෙන්ම ප්‍රබල උපහැරණයකි! යෙහෝවඃවහන්සේගේ නාමය භාවිත කිරීමෙන් වැළකී සිට ඇති, තවද එම ශුද්ධ නාමයට අපහාස පවා කර ඇති පූජක පංතිය, එම ගණන් දීමේ දවසට මුහුණ දිය යුතුය. ඔවුහු සහ ඔවුන්ගේ දේශපාලන සගයෝ පොළොව මත දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගොඩනඟනු ඇති බව හෝ අඩුතරමින් එම රාජ්‍යය සඳහා පොළොව සුදුසු ස්ථානයක් බවට පත් කරනු ඇති බව අහංකාර ලෙස කියා සිටිති.
4 ඇදහිල්ල අතහැර ගිය ක්‍රිස්තියානි ලෝකය දරුණු යුද්ධවල සටන් කිරීමෙන් දේශපාලන පාලකයන් සමඟ හවුල් වී ඇත. මධ්‍ය කාලීන යුගයේ කුරුස යුද්ධ ගැනද, ස්පාඤ්ඤයේ අධර්ම මර්දනාධිකරණයේ බලෙන් කරන ලද ආගමට හැරවීම් ගැනද, 17වන සියවසේදී යුරෝපය සුනු විසුනු කළාවූ, තිස් අවුරුදු යුද්ධය සහ ස්පාඤ්ඤය කතෝලික ධර්මය සඳහා සුරක්ෂිත තැනක් බවට පත් කරලීමට සටන් කරන ලද, 1930 ගණන්වල පැවති ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ගැනද ඉතිහාසයේ වාර්තා වෙයි. අතිමහත් ලේ වැගිරීම සිදුවූයේ, කතෝලිකයන් සහ රෙපරමාදුවන් හිතුමතේ ඉවක් බවක් නැතිව තමන්ගේම සෙසු ඇදහිලිවන්තයන්ව සහ වෙනත් ආගමිකයන්ව මරාගත්තාවූ අපගේ සියවසේ ලෝක යුද්ධ දෙකත් සමඟය. වඩාත් මෑතකදී, අයර්ලන්තයේ කතෝලිකයන් සහ රෙපරමාදුවන් අතරද, ඉන්දියාවේ ආගමික කොටස් අතරද, එමෙන්ම කලින් යුගෝස්ලාවියාවේ ආගමික කණ්ඩායම් අතරද, මිනීමරන සටන් ඇතිවී තිබේ. යෙහෝවඃවහන්සේගේ ඇදහිලිවන්ත සාක්ෂිකරුවන් දහස් ගණනක් ඝාතනය කිරීම මගින්ද ආගමික ඉතිහාසයේ පිටුවල ලේ තැවරී තිබේ.—එළිදරව් 6:9, 10.
5. බොරු ආගමට පැමිණෙන විනිශ්චය කුමක්ද?
5 මහා බබිලෝනිය හෙවත් බොරු ආගමික ලෝක අධිරාජ්‍යය සමඟ එහි අනුග්‍රාහකයන් මතට පැමිණෙමින් තිබෙන යෙහෝවඃවහන්සේගේ විනිශ්චයේ යුක්තිය අපට පහසුවෙන් අගය කළ හැක. මෙම විනිශ්චය ඉටු කිරීම එළිදරව් 18:21, 24හි විස්තර කොට ඇත: “බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය. ප්‍රොපේතවරුන්ගේද ශුද්ධවන්තයන්ගේද පොළොවේ මරන ලද සියල්ලන්ගේද ලේ ඈ තුළ සම්බවුණේයයි කීවේය”.
6. (අ) ඉපනැලි මෙන් විය යුත්තේ කවුරුන්ද, තවද, ඒ මන්ද? (ආ) යෙහෝවඃවහන්සේට භයවන්නන්ට තිබෙන සහතිකය කුමක්ද?
6 නියමිත කාලයේදී, ධර්මිෂ්ඨකමේ සියලු සතුරන් සහ ඔවුන්ට කිට්ටුවෙන් ඇලී සිටිනවුන් ‘ඉපනැලි මෙන් විය යුතුය.’ යෙහෝවඃවහන්සේගේ දවස ඔවුන් අතර උදුනක් මෙන් ඇවිළෙනු ඇත. “ඔවුන්ට මුලක්වත් අත්තක්වත් ඉතුරු නොවෙන[වා ඇත.]” ගණන්ගැනීමේ එම දවසේදී, යෞවන දරුවන් හෙවත් අතු සම්බන්ධයෙන් යුක්තිසහගත ලෙස කටයුතු කරනු ලබන්නේ, ඔවුන්ගේ මුල් හෙවත් මෙම ළමුන් කෙරෙහි අධීක්ෂණය පැවැත්වූ දෙමාපියන්ව යෙහෝවඃවහන්සේ තක්සේරු කරනු ලබන ආකාරයටය. දුෂ්ට දෙමාපියන්ට තමන්ගේ දුෂ්ට මාර්ග සෑමකලටම පවත්වාගෙන යෑම සඳහා ජනිතයන් ඉතුරු නොවනු ඇත. එහෙත් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල දක්වන සියල්ලන් නොසෙල්වනු ඇත. එබැවින් හෙබ්‍රෙව් 12:28, 29 මෙසේ අවවාද කරයි: “එහෙයින් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නාවූ අපි, ගෞරවයෙන්ද දේවභයින්ද දෙවියන්වහන්සේට ප්‍රසන්නවන ලෙස සේවයකරන පිණිස, අනුග්‍රහය ඇතුව සිටිමු. මක්නිසාද අපගේ දෙවියන්වහන්සේ විනාශකරන ගින්නක්ය.”
යෙහෝවඃවහන්සේ කෲර දෙවිකෙනෙක්ද?
7. යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය උන්වහන්සේගේ විනිශ්චයට ඇතුල් වන්නේ කෙසේද?
7 මින් අදහස් කරන්නේ, යෙහෝවඃවහන්සේ වනාහි කෲර, පළිගන්නා දෙවිකෙනෙකු බවද? කොහෙත්ම නැත! පළමුවන යොහන් 4:8හි, ප්‍රේරිතවරයා මූලික සත්‍යයක් ප්‍රකාශ කරයි: “දෙවියන්වහන්සේ ප්‍රේමයය.” අනතුරුව, ඔහු 1යොහ 4:16වන පදයේ මෙය අවධාරණය කරන්නේ මෙසේ පවසමිනි: “දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටී, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.” යෙහෝවඃවහන්සේ සියලු දුෂ්ටකම්වලින් මේ පොළොව පිරිසිදු කිරීමට අරමුණු කරන්නේ මිනිස්වර්ගයා කෙරෙහි වූ ස්වකීය ප්‍රේමය නිසාය. අපගේ ප්‍රේමනීය, දයාන්විත දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කරනසේක: “මා ජීවමාන බව සැබෑවා සේම, දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත්වෙනවාට මිස, දුෂ්ටයා නසිනවාට මම ප්‍රසන්න නොවෙමි. . . . හැරියල්ලා, නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරියල්ලා; නුඹලා නසින්නේ මක්නිසාද?”—එසකියෙල් 33:11.
8. යොහන් ප්‍රේමය අවධාරණය කළේ කෙසේද, එහෙත් තමන් ගර්ජනාවේ පුත්‍රයෙකු ලෙසද පෙන්වූයේ කෙසේද?
8 යොහන්, අනිකුත් සුවිශේෂ ලේඛකයන් තිදෙනාට වඩා, වැඩි වාර ගණනක් අ·ගා’පේ හෙවත්, ප්‍රතිපත්ති මත පදනම් ප්‍රේමයට යොමු දක්වයි, එහෙත් මාර්ක් 3:17හි යොහන්වම, ‘ගර්ජනාවේ පුත්‍රයෙකු’ ලෙස විස්තර කොට තිබේ. බයිබලයේ අවසාන පොත වන්නාවූද, යෙහෝවඃවහන්සේව යුක්තිය ඉටු කරන දෙවිකෙනෙකු හැටියට විස්තර කරන්නාවූද, එළිදරව් පොතේ දර්ශනාත්මක පණිවුඩය ලිවීමට මෙම ගර්ජනාවේ පුත්‍රයා, ආනුභාවය ලැබුවේ යෙහෝවඃවහන්සේගෙනි. “දෙවියන්වහන්සේගේ උදහස නමැති මහත් මිදිපැස,” “දෙවියන්වහන්සේගේ උදහස නමැති පාත්‍රා සත,” සහ “සර්වපරාක්‍රම දෙවියන්වහන්සේගේ කෝපයේ උදහස” වැනි විනිශ්චමය ප්‍රකාශවලින් මෙම පොත පිරී ඇත.—එළිදරව් 14:19; 16:1; 19:15.
9. යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් සම්බන්ධයෙන් යේසුස්වහන්සේ කිනම් ප්‍රකාශ කළසේක්ද, එමෙන්ම උන්වහන්සේගේ අනාවැකි ඉටුවූයේ කෙසේද?
9 “අදෘශ්‍යමාන දෙවියන්වහන්සේගේ ස්වරූපය” වන අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ, මේ පොළොව මතදී යෙහෝවඃවහන්සේගේ විනිශ්චයන් නිර්භීතව ප්‍රකාශ කළසේක. (කොලොස්සි 1:15) නිදසුනක් වශයෙන්, සිය දවසේ විසූ ආගමික කුහකයන්ට එරෙහිව උන්වහන්සේ නොවළහා ප්‍රකාශ කළ දුක් හතක් මතෙව් 23 පරිච්ඡේදයේ තිබේ. එම හෙළාදකිනසුලු විනිශ්චය උන්වහන්සේ අවසන් කළේ මෙම වචන සමඟිනි: “අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, තී ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් තිගේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත. බලව, නුඹලාගේ ගෘහය නුඹලාට පාළුකොට අත්හරිනු ලැබේ.” වසර තිස්හතකට පසුව, සෙන්පති ටයිටස් යටතේ රෝම හමුදාව විසින් විනිශ්චය ඉෂ්ට කරන ලදි. එය භයංකර දවසක් විය, සියලු මිනිස් අද්දැකීම්වල වඩාත් ගරුබිය-දනවන දවසක් වීමට තිබෙන දෙයක අනාවැකියක් වූයේය.—එනම්, එය ඉතා ඉක්මනින් පැමිණීමට නියමිත යෙහෝවඃවහන්සේගේ දවසයි.
“සූර්යයා” උදාවෙයි
10. “ධර්මිෂ්ඨකමේ සූර්යයා” දෙවියන්වහන්සේගේ ජනයාට ප්‍රීතිය ගෙන එන්නේ කෙසේද?
10 ස්වකීය දවසෙන් බේරී ජීවත්වන්නවුන් සිටිනු ඇති බව යෙහෝවඃවහන්සේ දැනුම් දෙනසේක. මලාකී 4:2හි මෙම අයට යොමු දක්වමින් උන්වහන්සේ මෙසේ කියනසේක: “මාගේ නාමය කෙරෙහි භය ඇත්තාවූ නුඹලාට ධර්මිෂ්ඨකමේ සූර්යයා ස්වකීය පියාපත්වල සුවකිරීම ඇතුව උදාවන්නේය.” ධර්මිෂ්ඨකමේ සූර්යයා වෙන කිසිවෙකු නොව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේමය. උන්වහන්සේ වනාහි “ලෝකයේ [ආත්මික] ආලෝකයය.” (යොහන් 8:12) උන්වහන්සේ උදාවන්නේ කෙසේද? උන්වහන්සේගේ පියාපත්වල සුව කිරීම සමඟය—පළමුව, අදදින පවා අපට අද්දැකිය හැකි ආත්මික සුව කිරීම ඇතුවය, අනතුරුව, පැමිණෙන නව ලෝකයේදී සියලු ජාතීන්ගේ ජනයාව කායිකව සුව කිරීම ඇතුවය. (මතෙව් 4:23; එළිදරව් 22:1, 2) මලාකී පැවසුවාක් මෙන්, සුව කරනු ලැබුවෝ, සංකේතාත්මක ලෙස, ගාලෙන් නිදහස් කරනු ලැබූ “වස්සන් මෙන් පනින්නහුය.” මිනිස් පරිපූර්ණත්වය අත්කරගැනීමේ අපේක්ෂාව ඇතුව නැවත නැගිටවනු ලබන අය මොනතරම් ප්‍රීතියක් අද්දකිනු ඇත්ද!
11, 12. (අ) දුෂ්ටයන් මතට පැමිණෙන ඉරණම කුමක්ද? (ආ) දෙවියන්වහන්සේගේ ජනයා ‘දුෂ්ටයන්ව පාගාදමන්නේ’ කෙසේද?
11 කෙසේවෙතත්, දුෂ්ටයන් ගැන කුමක් කිව හැකිද? මලාකී 4:3හි අපට මෙසේ කියවීමට තිබේ: “නුඹලා දුෂ්ටයන් පාගාදමන්නහුය; මක්නිසාද මා විසින් පමුණුවන දවසේදී ඔව්හු නුඹලාගේ පතුල් යට අලු වන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.” තමන්වහන්සේට ප්‍රේමකරන්නන්ව ආරක්ෂා කරන අතරම, අපගේ රණශූර දෙවියන්වහන්සේ, එම කෲර සතුරන්ව මුලිනුපුටා දැමීමෙන්, පොළොව පිරිසිදු කර තිබෙනවා ඇත. සාතන් සහ ඔහුගේ භූතයන් බැඳ තබා තිබෙනවා ඇත.—ගීතාවලිය 145:20; එළිදරව් 20:1-3.
12 දුෂ්ටයන්ව විනාශ කිරීමෙහිලා දෙවියන්වහන්සේගේ ජනයාට කිසිදු කොටසක් නැත. එසේනම්, ඔවුන් ‘දුෂ්ටයන් පාගා දමන්නේ’ කෙසේද? මහත් ජයග්‍රාහී උත්සවයකට හවුල්වීම මගින් ඔවුහු මෙය සංකේතාත්මක ලෙස කරති. නික්මයාම 15:1-21හි එවැනි උත්සවයක් විස්තර වී තිබේ. එය සිදුවූයේ ඵාරාවෝගේ සහ ඔහුගේ හමුදා රතු මුහුදේ විනාශ වූවායින් අනතුරුවය. යෙසායා 25:3-9හි සඳහන් දෙය ඉටු කරමින්, ‘දුෂ්ටයන්’ ඉවත් කිරීමෙන් පසුව, දෙවියන්වහන්සේගේ මෙම පොරොන්දුවට සම්බන්ධිත ජයග්‍රාහී උත්සවයක් පැවැත්වෙනු ඇත, එම පොරොන්දුව මෙයයි: “උන්වහන්සේ මරණය සදාකාලයටම ගිලදැමූසේක [ගිලදමනු ඇත, NW]; ස්වාමිවූ දෙවියන්වහන්සේ සියලු මුහුණුවලින් කඳුළු පිසදමනසේක; තමන් සෙනගගේ නින්දාවද මුළු පොළොවෙන් පහකරනසේක. මක්නිසාද ස්වාමීන්වහන්සේ ඒක කීසේක. ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, . . . මේ තැනැන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමු.” මෙම ප්‍රීතිය තිබෙන්නේ පළිගැනීම නිසාවත්, දුෂ්ටයන්ගේ විනාශය දැකීමෙන් ලබන තෘප්තිය නිසාවත් නොව, නමුත් යෙහෝවඃවහන්සේගේ නාමය විශුද්ධ වෙනවා සහ එක්සත් මිනිස්වර්ගයා මගින් සාමකාමී ලෙස වාසය කිරීමට පොළොව පිරිසිදු කරනු ලබනවා දැකීම නිසාය.
උදාර අධ්‍යාපනික වැඩසටහනක්
13. “අලුත් පොළොවේදී” සිදුවනු ඇත්තේ කිනම් අධ්‍යාපනයක්ද?
13 මලාකී 4:4හි, “මෝසෙස්ට අණකළ ව්‍යවස්ථාව . . . සිහිකරපල්ලා” යයි යුදෙව්වන්ට අනුශාසනා කරන ලදි. එබැවින් ගලාති 6:2හි සඳහන් වන පරිදි, “ක්‍රිස්තුස්වහන්සේගේ ව්‍යවස්ථාව” අනුගමනය කිරීම අදදින අපට අවශ්‍යය. අර්මගෙදොන්වලින් බේරී ජීවත්වන්නන්ට මේ මත තවදුරටත් උපදෙස් සපයනු ඇති බවට කිසිදු සැකයක් නැත, තවද නැවත නැගිටුවනු ලබන කාලයේදී විවෘත කරනු ලබන, එළිදරව් 20:12හි සඳහන් “පොත්වල” මේවා ලියවීමට ඉඩ තිබේ. “අලුත් පොළොව” මත ජීවන රටාව අනුගමනය කිරීමට නැවත නැගිටුවනු ලැබුවාවූ මළවුන්ව දැනුවත් කරනු ලබන විට එය මොනතරම් උදාර දවසක් වනු ඇත්ද!—එළිදරව් 21:1.
14, 15. (අ) නවීන-දින එලියාව කෙසේ හඳුනාගත හැකිද? (ආ) එලියා පංතිය ඉටු කරන්නේ කිනම් වගකීමද?
14 එය වනාහි මලාකී 4:5හි වාර්තා වී ඇති ආකාරයට, යෙහෝවඃවහන්සේ විසින් යොමු දක්වා ඇති පුළුල් අධ්‍යාපන කර්තව්‍යයක් වනු ඇත: “බලව, ස්වාමීන්වහන්සේගේ මහත්වූ භයානකවූ දවස පැමිණෙන්ට පළමුවෙන් ප්‍රොපේතවූ එලියා නුඹලා වෙතට එවන්නෙමි.” එම නවීන-දින එලියා කවරෙක්ද? මතෙව් 16:27, 28හි පෙන්වා ඇති පරිදි, සිය ‘රාජ්‍යයෙන් යුක්තව ඒමට’ යොමු දැක්වීමේදී, යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “මනුෂ්‍ය පුත්‍රයා තමන් පියාණන්වහන්සේගේ තේජසින් යුක්තව තමන් දූතයන් සමඟ එන්නේය; එකල උන්වහන්සේ එකිනෙකාට තම තමාගේ ක්‍රියා ලෙස විපාක දෙනසේක.” දවස් හයකට පසුව, පේතෘස්, යාකොබ් සහ යොහන් සමඟ කන්ද මතදී, “උන්වහන්සේ ඔවුන් ඉදිරියෙහි අන්වෙසක්වූසේක. උන්වහන්සේගේ මුහුණ සූර්යයා මෙන් බැබළුවේය, උන්වහන්සේගේ වස්ත්‍රද ආලෝකය මෙන් සුදුවූයේය.” මෙම දර්ශනය තුළ උන්වහන්සේ සිටියේ තනිවමද? නැත, මන්ද “බලව, මෝසෙස්ද එලියාද උන්වහන්සේ සමඟ කතාකරමින් සිටිනවා ඔවුන්ට පෙනුණේය.”—මතෙව් 17:2, 3.
15 මින් කුමක් අදහස් කරනවා විය හැකිද? විනිශ්චය සඳහා සිය පැමිණීමේ කාලයේදී පුරෝකථනය කරන ලද උතුම් මෝසෙස් වශයෙන් එය යේසුස්වහන්සේට යොමු දැක්වූයේය. (ද්විතීය කථාව 18:18, 19; ක්‍රියා 3:19-23) උන්වහන්සේ නවීන-දින එලියා සමඟ එවිට අතිවැදගත් වැඩක් ඉටු කිරීමට හවුල් වනු ඇත, එනම්, යෙහෝවඃවහන්සේගේ මහත් ගරුබිය-දනවන දවස පැමිණීමට පෙර මුළු පොළොව පුරා රාජ්‍යයේ මේ ශුභාරංචිය දේශනා කිරීමය. මෙම “එලියාගේ” වැඩය විස්තර කරමින්, මලාකී 4:6හි මෙසේ ප්‍රකාශ කරයි: “මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස, ඔහු පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්නේය.” මෙසේ, “එලියා” වනාහි, ස්වාමියා වූ යේසුස්වහන්සේ සිය සන්තක සියල්ල වගකීමකින් යුතුව පවරා ඇති, පොළොව මත සිටින අභිෂේක ලත් ක්‍රිස්තියානීන්ගෙන් යුත් විශ්වාසවන්ත නුවණ ඇති දාස පංතිය ලෙස හඳුනාගෙන තිබේ. “ඇදහිල්ලේ පවුලට නියම වේලාවට [අවශ්‍ය ආත්මික] කෑම” සැපයීමද මීට ඇතුළත් වෙයි.—මතෙව් 24:45, 46.
16. එලියා පංතියේ වැඩවලින් කිනම් සන්තෝෂවත් ප්‍රතිඵල ඉටු කරගෙන තිබේද?
16 එම පෝෂණ වැඩසටහනේ සන්තෝෂවත් ප්‍රතිඵල අදදින ලොවපුරා අපට දැකිය හැක. මුරටැඹ සඟරාව, භාෂා 97කින් සමගාමීව පළවීම ඇතුළුව, භාෂා 120කින් සෑම කලාපයකම පිටපත් 1,61,00,000ක් මුද්‍රණය කරනු ලබන අතර, “රාජ්‍යයේ මේ ශුභාරංචිය” සමඟින් පොළොව සිසාරා වේගයෙන් ගලා යයි. (මතෙව් 24:14) බොහෝ භාෂාවලින් යුත් වෙනත් ප්‍රකාශන, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ වැඩයේ විවිධ අංගයන් සඳහා භාවිත කෙරේ. එලියා පංතිය, එනම් විශ්වාසවූ නුවණ ඇති දාසයා, “තමුන්ගේ ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත්” සියල්ලන් සඳහා බහුල ලෙස සැපයීමට සුපරීක්ෂාවෙන් සිටී. (මතෙව් 5:3, NW) එපමණක්ද නොව, මෙම රාජ්‍යය බලාපොරොත්තුව වැළඳගෙන ඊට අනුව ක්‍රියා කරන අය පුදුමාකාර ලෝක ව්‍යාප්ත එක්සත්කමට බැඳේ. එය, “සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනගගෙනුත් භාෂාවන්ගෙනුත්” සමන්විත මහත් සමූහය ආවරණය කරයි. (එළිදරව් 7:9) යෙහෝවඃවහන්සේට අවශ්‍ය තරමට මෙම වැඩය ඉටු කරනු ලැබ තිබෙන විට, උන්වහන්සේගේ මහත්වූ ගරුබිය-දනවන දවසේදී අන්තිමය පැමිණෙනු ඇත.
17. යෙහෝවඃවහන්සේගේ ගරුබිය-උපදවන දවස පැමිණෙනු ඇත්තේ කවදාද?
17 එම ගරුබිය-දනවන දවස අප මතට පැමිණෙනු ඇත්තේ කවදාද? ප්‍රේරිත පාවුල් මෙසේ පිළිතුරු දෙයි: “රාත්‍රියෙහි සොරෙකු එන්නාක් මෙන් ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙ[න්නේය.] . . . සමාදානයය, අනතුරක් නැත කියා කියන විට ගර්භිණියට විලිරුජාව පැමිණෙන්නාක්මෙන් හදිසියෙන් ඔවුන් පිටට විනාශය පැමිණේ; ඔව්හුද කිසිසේත් නොගැළවෙන්නෝය.”—1 තෙසලෝනික 5:2, 3.
18, 19. (අ) “සාමය සහ සුරක්ෂිතභාවය” ප්‍රකාශ කරනු ලබන්නේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේගේ ජනයා සහනය ලබනු ඇත්තේ කවදාද?
18 මෙම අනාවැකියේ සඳහන් “ඔව්හු” කවරහුද? “ඔව්හු” වනාහි, මෙම සාපරාධී ලෝකයේ භේදභින්න වූ කොටස්වලින් එක්සත් නව ලෝක ක්‍රමයක් ගොඩනැඟිය හැකි යයි කියා සිටින්නාවූ දේශපාලන නායකයෝය. ඔවුන්ගේ මහා ලොකුවට පෙනෙන්ට තිබෙන නිපැයුම් වන, ජාතීන්ගේ සංගමය සහ එක්සත් ජාතීන්, මෙය කිරීමට අපොහොසත් වී ඇත. යෙහෝවඃවහන්සේගේ අනාගතවක්තෘවරයා පුරෝකථනය කළාක් මෙන්, “සාමයක් නැති තැන, සාමය, සාමය” [NW] කියා දැන් පවා ඔවුහු කියමින් සිටිති.—යෙරෙමියා 6:14; 8:11; 14:13-16.
19 මේ අතරතුර, යෙහෝවඃවහන්සේගේ ජනයා මේ අභක්තික ලෝකයේ පීඩන සහ පීඩා විදඳරාගනිමින් සිටිති. එහෙත්, 2 තෙසලෝනික 1:6-8අ ප්‍රකාශ කර ඇත්තාක් මෙන්, ඉතා ඉක්මනින්, “ස්වාමිවූ යේසුස්වහන්සේ තමන්ගේ පරාක්‍රමයේ දූතයන් සමඟ ඇවිළෙන්නාවූ ගින්නෙන් යුක්තව ස්වර්ගයෙන් එළිදරව්වී, දෙවියන්වහන්සේ නාඳුනන්නන්ටත් අපගේ ස්වාමිවූ යේසුස්වහන්සේගේ ශුභාරංචියට කීකරු නොවන්නන්ටත් ප්‍රතිඵල දෙන කල,” ඔවුන් සහනය ලබනවා ඇත.
20. (අ) ශෙපනියා සහ හබක්කුක් “උදුනක් මෙන් ඇවිළෙන දවස” ගැන පුරෝකථනය කළේ කුමක්ද? (ආ) මෙම අනාවැකි දානය කරන උපදෙස් හා දිරිගැන්වීම් මොනවාද?
20 එය කොතරම් ඉක්මනින් සිදුවේවිද? අපගෙන් බොහෝදෙනෙක් බොහෝ කලක් තිස්සේ එය බලා සිට ඇත්තාහ. මේ අතර, බේරී ජීවත්වනු ඇති මොළොක් අයගෙන් මහත් සංඛ්‍යාවක් ශෙපනියා 2:2, 3හි හඬට පිළිතුරු දෙමින් සිටිති: “ස්වාමීන්වහන්සේ . . . සොයාපල්ලා; ධර්මිෂ්ඨකම සොයාපල්ලා, මොළොක් ගුණය සොයාපල්ලා. සමහරවිට නුඹලා ස්වාමීන්වහන්සේගේ උදහස් දවසේදී සඟවනු ලබනවා ඇත.” අනතුරව, ශෙපනියා 3:8හි මෙම අවවාදය අඩංගුවේ: “එබැවින් කොල්ල ගැනීමට මා නැගිටින දවස දක්වා මා ගැන බලාසිටපල්ලායයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මාගේ නියමය නම් ජාතීන් රැස්කොට, රාජ්‍යවල් එකතු කොට, මාගේ කෝපය වන මාගේ මුළු බලවත් උදහස ඔවුන් කෙරෙහි වැගිරවීමය; එසේය, මාගේ ජ්වලිත ගින්නෙන් මුළු පොළොව විනාශවන්නේය.” අන්තිමය ළඟය! දවස සහ පැය යෙහෝවඃවහන්සේ දන්නාසේක, තවද උන්වහන්සේ ස්වකීය කාලසටහන වෙනස් නොකරනසේක. අපි ඉවසීමෙන් යුතුව විඳදරාගනිමු. “මක්නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාදවේ, එහෙත් එය බොරු නොවී ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාදවෙතත් ඒ ගැන බලාසිටපන්න; මක්නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත.” (හබක්කුක් 2:3) යෙහෝවඃවහන්සේගේ ගරුබිය-දනවන දවස වෙන කවරදාටත් වඩා වේගයෙන් ඉතා ළඟකදී පැමිණෙයි. එම දවස පසු නොබසින බව මතක තබාගන්න!
පුනරීක්ෂණයක් හැටියට:
◻ පාලකයන්ට සහ පාලනය කරනු ලබන්නන්ට යෙහෝවඃවහන්සේගේ ගරුබිය-දනවන දවසේදී කුමක් සිදුවේවිද?
◻ යෙහෝවඃවහන්සේ කෙබඳු දෙවිකෙනෙක්ද?
◻ දෙවියන්වහන්සේගේ ජනයා උදෙසා කෙබඳු අධ්‍යාපනයක් විස්තර කොට තිබේද?
◻ අන්තිමය මෙතරම් ළංව තිබෙන නිසා, දෙවියන්වහන්සේගේ අනාගතවක්තෲන් අපට අවවාද කරන්නේ කෙසේද?
[21වන පිටුවේ පින්තූරය]
ස්පාඤ්ඤයේ අධර්ම මර්දනාධිකරණ සමයේ කතෝලික ධර්මයට හැරෙන ලෙස බොහෝදෙනෙකුට බල කරනු ලැබිණි
[හිමිකම් විස්තර]
The Complete Encyclopedia of Illustration⁄J.G.Heck