රාජ්‍යය ප්‍රකාශකයන්ගේ වාර්තාව
දෙවියන්වහන්සේ තරාතිරම් නොබලන සේක
දැනට වසර 1900කට වැඩි කලකට පෙර, ප්‍රේරිත පේතෘස් කොර්නේලියස් නම් හමුදා නිලධාරියාට සාක්ෂි දැරුවේ මෙසේ පවසමිනි: “සැබවින්ම දෙවියන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන කෙනෙක්ය. සියලු ජාතීන් අතරේ උන්වහන්සේ කෙරෙහි භය ඇතිව ධර්මිෂ්ඨකම් කරන තැනැත්තේ උන්වහන්සේට ප්‍රසන්න බව සැබවින්ම මට පෙනේ.” (ක්‍රියා 10:34, 35) කොර්නේලියස් විදහා පෙන්වූයේ දෙවියන්වහන්සේ කෙරෙහි බියක් මෙන්ම ධර්මිෂ්ඨකමට ප්‍රේමයකි. ඔහු පේතෘස් විසින් දෙන ලද සාක්ෂිය පිළිගෙන ක්‍රිස්තියානියෙක් වුණේය.
එම ප්රතිපත්තියම අද දිනත් සැබෑ වන්නේය—දෙවියන්වහන්සේ තරාතිරම් නොබලන සේක. ජර්මනියෙන් ලැබුණු අද්දැකීමකින් අපට මෙය සටහන් කර ගත හැකිය. එම වාර්තාව පවසන්නේ මෙසේය:
“අපගේ සභා ක්ෂේත්රයේ, විශාල රුසියානු හමුදා බැරැක්කයක් ඇත. වර්ෂ 1989දී, එනම් බර්ලින් පහුර කඩා දැමීමෙන් මද කලකට පසු, ප්‍රචාරකයන්ගෙන් යමෙක් රුසියානු භාෂාව දන්නේදැයි වැඩිමහල්ලන් ප්‍රශ්න කළේය. අපෙන් කීපදෙනෙක් මෙය දැන සිටි බැවින්, අප එම ක්ෂේත්රයේ සේවයට ගිය අතර එය සැබෑ ප්‍රීතියක් බව තහවුරු වී ඇත. පහත සඳහන් වනුයේ එහි ලැබූ බොහෝ අද්දැකීම්වලින් එකකි.
“මා හමුදාවේ අණදෙන නිලධාරියෙකුට කථා කරන විට, මා වැඩ කරමින් සිටියේ බව්තීස්මය නොලත් (එහෙත් දැන් බව්තීස්මය ලබා සිටියි) ප්‍රචාරකයෙක් සමඟය. අපට කියන්නට ඇති දෙයට එම අණදෙන නිලධාරියා සවන්දී, අනතුරුව සිය සෙබළුන්ට කථා කරන්නට අපට ආරාධනා කළේය. ඔවුන්ද දෙවියන්වහන්සේ හා බයිබලය ගැන ඇසිය යුතු යයි ඔහු පැවසූ බැවින්, අපි යළිත් පැමිණීමට නියමයක් කර ගත්තෙමු.
“රුසියානු බස ව්‍යක්තව කථා කරන සහෝදරියකට පරිවර්තකයෙක් හැටියට අප සමඟ එන හැටියට අපි ඉල්ලා සිටියෙමු. එම බැරැක්කයේ රැස්වීම් ශාලාවේ ප්‍රකාශන සහිත මේසයක් අප සකස් කරගෙන හමුදා භටයන් 68දෙනෙකුට කථා කරමින් ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට අපට හැකියාව ලැබුණි. ඉන් අනතුරුව ඔවුහු සතුටින් පොත් 35ක් හා සඟරා 100කට ආසන්න සංඛ්‍යාවක් භාර ගත්හ. අප එම රැස්වීම් ශාලාවෙන් ඉවත්ව යත්ම, කුඩා කණ්ඩායම් එම ප්‍රකාශන සාකච්ඡා කරනු අපට දැකිය හැකි විය.
“වර්ෂ 1992 ජූලි 4වන දින යළිත් පැමිණෙන්නට අපි නියම කර ගත්තෙමු. පෙරවරු 10.50ට අප එහි පැමිණි පසු, එම ගේට්ටුවේ මුර සෙබළා අපට පැවසුවේ එම සෙබළුන් අපව බලාපොරොත්තුවෙන් සිටින බවය. මේජර්වරයෙක් අපව රැස්වීම් ශාලාවට කැඳවාගෙන ගිය අතර, පුස්තකාලය සඳහා අපෙන් පෙර අවස්ථාවේ ප්‍රකාශන ලබා ගත් කාන්තාවක්, බැරැක්කය තුළ දැන්වීම් තැබීමෙන් අපගේ පැමිණීම නිවේදනය කර තිබූ බව අපට දැකගත හැකි විය. සහෝදරයන් තිදෙනෙක් අපගේ ලෝක ව්‍යාප්ත සේවය ගැන කෙටි කථා ඉදිරිපත් කරමින් අපට බයිබලය කෙරෙහි නිසැකකම තැබිය හැකි වීමට හේතුව පෙන්වා දුන්හ. ඊළඟට සබයට ප්‍රශ්න ඇසීමට අප අවකාශ සැලසු අතර, පිළිතුරු බයිබලයෙන් අපි සපයා දුන්නෙමු. හමුදා සේවය සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ස්ථාවරය කුමක්ද, තවද ඔවුන්ගෙන් යමෙක් හමුදා භටයන්ද? යන්න නගන ලද ප්‍රශ්න අතර විය. මෙය මා සමඟ ගිය බව්තීස්මය නොලැබූ ප්‍රචාරකයාට, අවසාන වසරේ ගුවන්-හමුදා කැප්ටන් කෙනෙක් ලෙසටද වූ, නැගෙනහිර ජර්මන් හමුදාවේ සිය වසර 25ක සේවය විස්තර කරන්නට ප්‍රස්තාවක් උදා කළේය. තමා දෙවියන්වහන්සේ හා බයිබලය ගැන ඉගෙන ගත් ආකාරයත් දැන් තමාට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් වීමට වුවමනා බවත් ඔහු විස්තර කළේය. එම සෙබළු ඇසූ දෙය ඔවුන්ගේ සිතට තදින් කාවැදුණි. විනාඩි හතක් ඇතුළත අප රැගෙන පැමිණි සියලුම ප්‍රකාශන සෙබළුන්ගේ අත්වල තිබූ අතර, බොහෝ දෙනෙකුට බයිබල් වුවමනා විය. පොත් සාප්පුවකින් රුසියානු බයිබල් හතක් අපට ලබා ගත හැකි වූ අතර ඔවුහු එය ලැබීම ගැන අගය ප්‍රකාශ කළහ. ආත්මික වශයෙන් සාගින්නෙන් සිටිය මොවුන්ට බයිබල් තොරතුරු දීමට ලැබීම සැබෑ ප්‍රීතියක් වූ අතර ඔවුන් ඒ මත ක්‍රියා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.”
ඇත්තෙන්ම දෙවියන්වහන්සේ තරාතිරම් නොබලන සේක. කොතැනක හෝ කවරෙක්ව සිටියත්, උන්වහන්සේ සිය වචනය තුළින් අවංක හෘද ඇත්තවුන්ට ආයාචනා කරන සේක. තමන්වහන්සේ හා තම පුත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැන ඉගෙන ගැනීමට උන්වහන්සේ ආරාධනා කරන අතර විවිධ ජීවිත තරාතිරම්වලට අයත් බොහෝ දෙනෙක් එසේ කරමින් සිටිති.—යොහන් 17:3.