ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 6/1 19-23 පි.
  • ඔවුහු අප සඳහා ආදර්ශයක් තැබූහ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔවුහු අප සඳහා ආදර්ශයක් තැබූහ
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබල් සත්‍යයන් ඉගෙන ගැනීම
  • ඕස්ට්‍රේලියාවේ පුරෝගාමි සේවයේ යෙදීම
  • විදේශීය ක්ෂේත්‍රයකට ඇරයුම් කරනු ලැබීම
  • විවාහය, තහනමක් හා යුද්ධය
  • වධක සිර කඳවුරුවල ජීවිතය
  • නිදහස හා සැලකිය යුතු නැවත එක්වීමක්
  • යළිත් ඕස්ට්‍රේලියාවේ
  • යෙහෝවඃවහන්සේ මා සමඟ සිටි බව ඔප්පු වුණා
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපට නිවහනක් වූ මිෂනාරි පැවරුමක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 6/1 19-23 පි.

ඔවුහු අප සඳහා ආදර්ශයක් තැබූහ

ක්‍රේග් සැංකර් පැවසූ පරිදි

වසර අටකට මගේ භාර්යාව වන, ගේල් හා මා පුරෝගාමින් ලෙස, යෙහෝවඃවහන්සේගේ පූර්ණ-කාලීන දේව සේවකයන් ලෙස කටයුතු කර තිබෙනවා. පසුගිය වසර හය තුළ, අප සේවය කර ඇත්තේ ඕස්ට්‍රේලියාවේ පිටිසරව වාසය කරන මුල් වැසියන් අතරයි. අප හුදෙක් අනුගමනය කරමින් සිටින්නේ මගේ මව්පියන් හා ආච්චියි සීයයි අප සඳහා තැබූ කදිම ආදර්ශයයි.

විශේෂයෙන්ම මගේ ආච්චියි සීයයි (අම්මාගේ දෙමාපියන්) ගැන ඔබට පැවසීමට මා කැමතියි. අප හැමවිටම ඔවුන්ව ආදරයෙන් ඇමතුවේ ඕපා හා ඕමා යනුවෙනුයි. මෙය ලන්දේසි බසින් සීයා හා ආච්චි යන ඇමතුමට සමානයි. මගේ සීයා වන, චාල්ස් හැරිස්, තමා වසර 50කට ආසන්න කාලයක් වාසය කළ, මෙල්බර්න්හි තවදුරටත් ජ්වලිතව සේවයේ යෙදී සිටිනවා.

බයිබල් සත්‍යයන් ඉගෙන ගැනීම

ඕපා ඉපදුණේ, ඕස්ට්‍රේලියාවේ දූපත් ජනපදය වන, ටැස්මේනියාවේ කුඩා නගරයකයි. වර්ෂ 1924, ඔහුට අවුරුදු 14ව තිබියදී, ඔහුගේ පියා වෙන්දේසියකින් නාවිකයෙක් මුහුදේ පෞද්ගලිකව පාවිච්චි කරන පෙට්ටගමක් මිලදී ගත්තා. ආත්මික වශයෙන් කියතොත්, එය සැබෑ නිධානයක් අඩංගු පෙට්ටගමක් බවට පත් වුණා. මන්දයත් වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සමිතියේ පළමුවන සභාපති, චාල්ස් ටේස් රසල් විසින් ලියන ලද පොත් කට්ටලයක් එහි අඩංගුව තිබූ නිසායි.

පෙනෙන හැටියට ඕපාගේ පියා විශේෂාකාරයෙන් එම පොත් කෙරෙහි උනන්දුවක් නොදැක්වුවද, ඕපා ඒවා කියවන්නට පටන් ගත් අතර එහි අතිවැදගත් බයිබල් සත්‍යයන් අඩංගුව තිබූ බව තේරුම් ගත්තා. එබැවින් ඔහු එම පොත්වල ප්‍රකාශකයන්ගේ නියෝජිතයන් වන, දැන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් හැටියට හඳුන්වනු ලබන ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් සොයන්නට පටන් ගත්තා. තමා ඉගෙන ගනිමින් සිටි බයිබල් සත්‍යයන් පිළිබඳ වැඩිමනත් විස්තර දැන ගත හැකි වනු පිණිස ඔහුට ඔවුන් සමඟ කථා කිරීමට වුවමනා වුණා.

මහත් විපරම් කිරීමකින් පසු අන්‍යයන්ට ඉගැන්වීමෙහි ක්‍රියාශීලීව යෙදී සිටි වයස්ගත කාන්තාවන් තිදෙනෙක් ඔහුට හමු වුණා. ඔවුන් යෞවන චාල්ස් කෙරෙහි මහත් බලපෑමක් ඇති කළා. අවසානයේ, 1930දී, ඔහු යෙහෝවඃ දෙවියන්වහන්සේට කැපවීමක් කර ජලයේ බව්තීස්මය ලැබුවා. ඔහු මස් වෙළෙන්දෙක් හැටියට කළ සිය රැකියාවෙන් අස් වී උතුරේ සිඩ්නි වෙතට ගමන් කළ අතර, එහිදී ඔහුට පූර්ණ-කාලීන එවැන්ජලිස්තවරයෙකු හැටියට පැවරුමක් ලැබුණා.

ඕස්ට්‍රේලියාවේ පුරෝගාමි සේවයේ යෙදීම

ඊළඟ වසර ස්වල්පය පුරා, චාල්ස්ගේ දේශනා ක්ෂේත්‍රයට සිඩ්නි නගරයේ බොන්ඩි නම් මුහුද ආශ්‍රිත නගරබද ප්‍රදේශය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පිටිසර ප්‍රදේශද අයත් වුණා. ඉන්පසු ඔහුව පවරනු ලැබුවේ, එම මහාද්වීපයේ අනෙක් පැත්තේ සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි, බටහිර ඕස්ට්‍රේලියාවේ, පර්ත් නගරයටයි. මාස හයකට ඔහු පර්ත්හි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ සාක්ෂි දැරූ අතර, ඉන්පසුව තවත් පුරෝගාමින් දෙදෙනෙක් සමඟ ඔහුව පවරනු ලැබුවේ වයඹදිග ඕස්ට්‍රේලියාවේ අතිවිශාල වුවත් එතරම් ජනගහනයක් වාසය නොකරන ප්‍රදේශයටයි.

මෙම ත්‍රිපුද්ගල කණ්ඩායමේ—එනම්, ආතර් විලිස්, ජෝජ් රෝල්ස්ටන් හා චාල්ස්ගේ—දේශනා පැවරුම, ඉතාලියේ ප්‍රමාණය මෙන් හතර ගුණයක් විශාල වුණා! මෙහි ජනයා වාසය කළේ අතරින් පතරයි, පිටිසර ප්‍රදේශය පාළුය, එමෙන්ම උණුසුම දැරිය නොහැකි තරම්ය. ඇතැම් අවස්ථාවලදී, ගව ගාල් හැටියට හඳුන්වන ලද, පශු භූමි අතර සැතපුම් 300ක් පමණ ගමන් කිරීමට සිදු වුණා. වර්ෂ 1930 පැවති ආර්ථික බෙලහීන යුගයේ තත්ත්වයන් සමඟ සසඳන විට පවා, ඔවුන් පාවිච්චි කළ වාහනය අබලන් තත්ත්වයක තිබුණද, ඔවුන්ට ප්‍රබල ඇදහිල්ලක් මෙන්ම මහත් අධිෂ්ඨානයක් තිබුණා.

පටු, වළවල් සහිත ගුරු පාරවල් හරහා ඔටුවන්ගේ පා සලකුණු වැටී තිබූ අතර තැනින් තැන (බුල්ඩස්ට් යනුවෙන් හඳුන්වන) සියුම් දූවිල්ලක් අනතුරු සහිත ගස්වල මුලේ කඳවල් වසා තැබුවා. මෝටර් රථයේ දුනු නිතර කැඩීයෑම පුදුමයක් නොවේ. දෙවරක් පසුපස අක්ෂ දණ්ඩ කැඩුණු අතර වාර ගණනාවක් ටයර් කැපී ගියා. තමන්ගේ ගමනේ දිගටම යෙදීම පිණිස, පුරෝගාමිහු බොහෝවර පරණ ටයර්වලින් කපා ගත් කොටස් බෝල්ට් ඇණවලින් පාවිච්චියේ පැවති ටයර්වල ඇතුල් පැත්තට යා කළා.

මා හුදෙක් කුඩා දරුවෙකු බවට පත්වූ විට, මෙවන් දුෂ්කර තත්ත්වයන් විඳදරා ගැනීමට ඔවුන්ව දිරිගැන්වූයේ කුමක්දැයි මම ඕපාගෙන් ඇසුවා. ඔහු පැහැදිලි කළේ තමන් ජනයාගෙන් වෙන්ව සිටි විට යෙහෝවඃවහන්සේට සමීප හැඟීමක් තිබූ බවයි. ඔහු කීවේ, ඇතැම් අවස්ථාවන්හි කායික දුෂ්කරතාවක්ව තිබූ දෙය, ආත්මික ආශීර්වාදයක් බවට පත්වූ බවයි.

උඩඟුකමක හෝ තමා ධර්මානුකූලය යන හැඟීමට කිසිදු ඉඟියක්වත් නොකරමින්, මෙතරම් විශාල පිරිසක් ද්‍රව්‍යමය සම්පත් රැස්කිරීම කෙරෙහි පමණ ඉක්මවා සැලකිලිමත්ව සිටින බව පෙනෙන්නට තිබීම ගැන ඕපා මවිතය පළ කළා. ඔහු මට සිහිපත් කළේ, “තමන් සන්තක දෑ අඩුවෙන තරමට ජීවිතය ගත කිරීම වඩාත් හොඳ බවයි. යේසුස්වහන්සේ එළිමහනේ නිදාගන්නට කැමැත්තෙන් සිටිසේක් නම්, අපත්, අපගේ පැවරුම එයම ඉල්ලා සිටින විට, එසේ කිරීමට සතුටින් සිටිය යුතුයි”. (මතෙව් 8:19, 20) තවද, ඇත්ත වශයෙන්ම, ඔහුත් ඔහුගේ සහකරුවනුත් කළේද එයමයි.

විදේශීය ක්ෂේත්‍රයකට ඇරයුම් කරනු ලැබීම

වර්ෂ 1935දී, ඕපාට අලුත් දේශනා පැවරුමක්—එනම්, දකුණු පැසිෆික් සාගර දූපත් වැසියන්ට සාක්ෂිදැරීමේ පැවරුම—ලැබුණි. තවත් හයදෙනෙකුගේ කණ්ඩායමක් සමඟින්, ඔහු එහි යාත්‍රා කළේ ලයිට්බෙයාරර් (ආලෝකදරන්නා) නම් වොච් ටවර් සමිතියට අයත් අඩි 52ක් දිගැති රුවල් නැවෙහිය.

වරක් ඕස්ට්‍රේලියාවට උතුරෙන් කොරල් මුහුදේ සිටි විට, ලයිට්බෙයාරර් නැවේ උපකාරික යන්ත්‍රය අබලන් වුණා. ඒ අවස්ථාවේ කිසිම සුළඟක් නොතිබුණ බැවින්, ඔවුන් ගොඩබිමෙන් සැතපුම් ගණනාවක් දුරින් අතරමංව සිටියා. මහත් බාධක පරය මත හැපී නැව මුහුදුබත් වීමේ අවදානමක් තිබුණද, අවට තිබූ සුන්දර ශාන්තභාවය ඕපාගේ සිත් ගත්තා. “මුහුද ඉතා නිසලව තිබුණි. නිසල මුහුදේ සෑම සැඳෑවකම ඉරු බැස්ම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එම දර්ශනය කොතරම් අලංකාරද කියතොත් එය සදාකාලයටම මගේ මනසේ ලියවී තිබෙනවා” යයි ඔහු සිය දිනපොතේ සටහන් කර තැබුවා.

ඔවුන් බාධක පරය මතට පාවී හැප්පීමට පෙර, යළි සුළං හමන්නට පටන් ගැනීම සන්තෝෂයට කාරණයකි, තවද ඔවුහු ඔසවන ලද රුවල්වල ආධාරයෙන් පපුවා නිව් ගිනියාවේ, පෝර්ට් මෝර්ස්බි වෙතට ආරක්ෂා සහිතව යාත්‍රා කළ අතර එහිදී යන්ත්‍රය අලුත්වැඩියා කර ගත්තා. පෝර්ට් මෝර්ස්බි වෙතින් ඔවුන් තර්ස්ඩේ දූපත වෙතටත්, අනතුරුව ඉන්දුනීසියාවේ විශාල දූපතක් වන, ජාවා වෙතටත් යාත්‍රා කළා. “සමකය හරහා අමුණන ලද මුතු මාලයක්” හැටියට විස්තර කර ඇති මෙම රටට ඕපා මහත් ඇල්මක් ඇති කර ගත්තා. ඒ කාලයේ, ඉන්දුනීසියාව ලන්දේසි යටත් විජිතයක් වූ බැවින්, සීයා ලන්දේසි හා ඉන්දුනීසියානු යන භාෂා දෙකම ඉගෙන ගත්තා. කෙසේවෙතත් සිය දේශනා සේවයේ ඔහු භාෂා පහකට අයත් ප්‍රකාශන ඉදිරිපත් කළා, එනම්, ලන්දේසි, ඉන්දුනීසියානු, චීන, ඉංග්‍රීසි හා අරාබි යන භාෂාවලිනුයි.

බයිබල් ප්‍රකාශන බෙදා හැරීමෙහිලා ඕපා අතිසාර්ථකව කටයුතු කළා. වරක් බතාවියේ (දැන් ජකර්තාවේ) වොච් ටවර් ගබඩාව භාරව කටයුතු කළ, ක්ලෙම් ඩේෂාන්ව, අපගේ දේශනා කටයුතු කෙරෙහි කිට්ටු අවධානයක් යොමු කරමින් සිටි ලන්දේසි නිලධාරියෙකු ඉදිරියට කැඳවනු ලැබුවා. “ඔබගෙන් කීදෙනෙක් නැගෙනහිර ජාවාහි වැඩ කරමින් සිටිනවාද?” යයි එම නිලධාරියා ප්‍රශ්න කළා.

සහෝදර ඩේෂාන් පිළිතුරු දුන්නේ, “එක් කෙනෙක් විතරයි” යනුවෙනි.

“ඔබ හිතනවාද මම ඒක විශ්වාස කරයි කියලා” යනුවෙන් එම නිලධාරියා වේගයෙන් පැවසුවා. “සෑම තැනකම බෙදාදෙනු ලබන ඔබගේ ප්‍රකාශන ප්‍රමාණය අනුව කල්පනා කරන විට, සෑහෙන සේවක පිරිසක් ඔබට එහි සිටින්නට ඕනෑ!”

ඕපාට හැඟුණේ එය තමාගේ ජීවිතයේ වඩාත්ම තෘප්තිකරවන ප්‍රශංසාවන්ගෙන් එකක් හැටියටයි. සෑම මාසයකම ඔහු ප්‍රකාශන 1,500කටත් 3,000කටත් අතර ප්‍රමාණයක් බෙදා දීම අසාමාන්‍ය දෙයක් නොවූ බැවින්, ඔහුට නිසැකවම එය හිමිවිය යුත්තක්.

විවාහය, තහනමක් හා යුද්ධය

වර්ෂ 1938දී, ඕපා යෞවන ඉන්දුනීසියානු කාන්තාවක් වන විල්හෙල්මීනා සමඟ විවාහ වූ අතර, ඇය මගේ ආච්චි බවට පත්වුණා. ඕමා, නැතහොත් ආච්චි, කාරුණික, මෘදු, කඩිසර, මෙන්ම සෞම්‍ය ලෙස කථා කරන්නියක්. මා එය දැන සිටියේ, මගේ ළමා කාලයේ ඇය මගේ සමීපතම මිතුරියව සිටි නිසායි.

ඔවුන්ගේ විවාහයෙන් පසු, ඕපා හා ඕමා සිය පුරෝගාමි සේවය එක්ව කරගෙන ගියා. ඒ වන විට ලයිට්බෙයාරර් නැවේ අනික් නාවික සාමාජිකයන් ලෝකයේ වෙනත් තැන්වලට විසිර ගොස් හෝ සිය රටට ආපසු පැමිණ තිබුණා. එහෙත් ඕපා තීරණය කර තිබුණේ ඉන්දුනීසියාව තමාගේ නිවස කර ගනිමින්, එහි රැඳී සිටින්නටයි.

දෙවන ලෝක යුද්ධය ආසන්න වෙත්ම, පූජක පිරිසගේ පීඩනය යටතේ ක්‍රියා කරමින් සිටි ඉන්දුනීසියාව පාලනය කරමින් සිටියාවූ, ලන්දේසි ආණ්ඩුව, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු මත තහංචි පනවන්නට පටන් ගත් අතර අවසානයේ අපගේ සේවය තහනම් කළා. එබැවින් දේශනා කිරීම කරනු ලැබුවේ දුෂ්කරතා ඇතිව, බයිබලය පමණක් පාවිච්චි කරමිනි. ඕපා හා ඕමා ගිය සෑම නගරයකම පාහේ, ඔවුන්ව බලෙන් නිලධාරින් ඉදිරියට පමුණුවන ලැබ ප්‍රශ්න කරනු ලැබුවා. ඔවුන්ව සලකනු ලැබුවේ අපරාධකරුවන් හැටියටයි. තහනම පැනවීමෙන් මද කලකට පසු, ඕමාගේ මස්සිනා ක්‍රිස්තියානි මධ්‍යස්ථභාවය පිළිබඳ ඔහුගේ ස්ථාවරය වෙනුවෙන් සිරගත කරනු ලැබුවා. ඔහු ලන්දේසි සිර ගෙයක මියගියා.

ඕපාත් ඕමාත් ජීවත් වූණේ, තම රථයට සවි කරන ලද විශාල ගමන් රථයක් සහිත ට්‍රක් රථයකයි. මෙම ජංගම නිවස පාවිච්චි කරමින් ඔවුන් ජාවාහි සෑම තැනකම දේශනා කළා. වර්ෂ 1940දී, ජපන් හමුදා ආක්‍රමණයේ තර්ජනය වැඩිවෙන්නට පටන් ගනිත්ම, ඔවුන්ට මගේ මව බවට පත්වූ, දියණියක් ලැබුණා. ඊට වසර දෙකකට පෙර, එවකට වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සමිතියේ සභාපතිව සිටි, ජේ. එෆ්. රදර්ෆඩ් විසින් දෙන ලද දේශනයක තේමාව අනුව, ඔවුන් එම ළදරුවාව නම් කළේ වික්ටරි යනුවෙනි. ඔවුන් ළදරුවාගේ උපත සිදුවන කාලය පුරාද දිගටම පුරෝගාමි සේවයේ නිරතව සිටියා.

වර්ෂ 1942 මුල් භාගයේදී, ඕපා, ඕමා හා වික්ටරි, බොර්නියෝ සිට ආපසු යමින් තිබූ ලන්දේසි බඩු නැවකින් ගමන් කරමින් සිටියදී, ජපන් යුද්ධ නැවකින් විශාල තුවක්කු හඬක් ඔවුන්ට ඇසුණා. සියලුම පහන් නිවී ගිය අතර ජනයා මොර ගසන්නට වුණා. මෙයාකාරයෙන් යුද්ධය මගේ පවුලේ අයගේ ජීවිතය තුළට පැමිණියා. ඔවුන් ආරක්ෂා සහිතව නැවත වරායට ළඟා වුණත්, ජපන් ජාතිකයන් ඉන් දින කීපයකට පසු ජාවා රට ආක්‍රමණය කළ අතර ලන්දේසි නිලධාරියෙක් ඕපාගේ හා ඕමාගේ පදිංචිය පිළිබඳ තොරතුරු ජපන් හමුදා භටයෙකුට එළිදරව් කළා.

ජපන් ජාතිකයන් ඔවුන්ව සොයා ගත් විට. වික්ටරිගේ කුඩා සෙල්ලම් බඩු දක්වා ඔවුන්ගේ සියලුම වස්තු ඔවුන්ගෙන් ඉවත් කරන ලද අතර වෙනස් වධක සිර කඳවුරු දෙකකට ගෙනයනු ලැබුවා. ඕමා සමඟ රැඳී සිටින්නට වික්ටරිට ඉඩ දෙනු ලැබූ අතර, ඊළඟ වසර තුනහමාර තුළ ඕපාට ඔවුන්ව දකින්නට නොලැබුණි.

වධක සිර කඳවුරුවල ජීවිතය

ඔහු එහි රැඳී සිටි කාලය තුළ, ඕපාව නගරයෙන් නගරයට—සරාබායා සිට එන්ගාවි වෙතට, බන්ඩුං වෙතට හා අවසාන වශයෙන් චිමාහි වෙතටත්—මාරු කරනු ලැබුවා. මෙසේ නිතර ස්ථානය මාරු කරනු ලැබුවේ පලා යෑමට දරන යම් සංවිධානාත්මක සැලැස්මක් වෙතොත් එම වෑයම් වැළැක්වීමටයි. එහි වැඩිහරියක්ම සිටියේ ලන්දේසි ජාතික සිරකරුවෝයි, බ්‍රිතාන්‍ය ජාතිකයෝ ස්වල්පදෙනෙක්ද ඕස්ට්‍රේලියානුවෝ කිහිප දෙනෙක්ද සිටියා. කඳවුරුවල සිටියදී, ඕපා කරණවෑමි වෘත්තිය ඉගෙන ගත් අතර දැනුත් ඔහු ඉඳහිට එහි නියැලෙනවා. ඔහුට තබා ගැනීමට ඉඩ දෙනු ලැබූ එකම පොත—ඔහුගේ කිං ජේම්ස් වර්ෂන්—බයිබලය පමණයි.

මේ අතර, ඕමා හා වික්ටරිවද කඳවුරෙන් කඳවුරට ගෙනයනු ලැබුවා. මෙම කඳුවුරුවලදී කාන්තාවන්ව “සමාජ සේවාවන්” සඳහා බාහිරව සේවය කරන්නට කඳවුරේ අණදෙන නිලධාරියා විසින් කැඳවනු ලැබුවා. කෙසේ නමුත්, යම් හේතුවක් උදෙසා, ඕමාව තෝරා ගනු ලැබුවේ නැහැ. පසුව ඇයට දැනගන්නට ලැබුණේ එම කාන්තාවන්ව ජපන් හමුදා භටයන් සඳහා ගණිකාවන් හැටියට සේවය පිණිස ගෙන යනු ලැබූ බවයි.

ජපන් හමුදා භටයන් ගැහැනු දරුවන්ට මිත්‍ර ස්වභාවයක් නොපෙන්නූ බැවින්, ඕමා නිතරම වික්ටරිව තබා ගත්තේ පිරිමියෙක් මෙන් අන්දවා ඇයගේ කොණ්ඩය කොටට කැපූ තත්ත්වයකයි. වික්ටරි යන නමේ අදහස කඳවුරේ අණදෙන නිලධාරියාට දැනගැනීමට වුවමනා වූ අවස්ථාවේදී එය මහත් කරදරයක් වුණා—එනම් අධිරාජ්‍ය ජපන් හමුදාවට ජයද (වික්ටරි) නැතහොත් අමෙරිකානුවන්ට ජයද යන්නයි.

මගේ ආච්චි ආඩම්බර ලෙස පිළිතුරු දුන්නේ, “භූමික ආණ්ඩු සියල්ල කෙරෙහි දේව රාජ්‍යය සඳහා ජයග්‍රහණය!” යනුවෙනුයි.

“අධිරාජ්‍ය ජපන් හමුදාවට ජයග්‍රහණය” අදහස් කළේ යයි කීම ප්‍රතික්ෂේප කිරීම වෙනුවෙන් දඬුවම හැටියට, ඕමා හා ඇයගේ අවුරුදු පහක් වයසැති දැරියට දැඩි රශ්මියෙන් යුත් නිවර්තන හිරුඑළියේ පැය අටක් සීරුවෙන් හිටගෙන ඉන්නට බලකරනු ලැබුවා. මෙවිට කිසි සෙවණක් නොවීය, ජලය දෙනු නොලැබීය, වාඩි වෙන්නට ඉඩ දෙනු නොලැබීය, හිස හා උරහිස් එල්ලී වැටෙන සේ ඉන්නට ඉඩ දෙනු නොලැබීය. එහෙත් යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතිව ඔවුන් මෙම කෲර පරීක්ෂාවෙන් බේරුනා.

ඕමාව කඳවුරේ රඳවා ගැනීමෙන් වසරක කාලයකට පසු, කඳවුරේ අණදෙන නිලධාරියා ඇයගේ පුරුෂයා මියගොස් ඇති බව ඇයට කීවා. ඇය මහත් කනගාටුවෙන් යුක්තව ඕපාගේ පින්තූරය රළු පාවිච්චියට ගොදුරු වූ සිය සූට්කේසය අඩියේ තබා, සිය ශෝකය නොතකා, දිගටම ක්‍රියා කරන්නට වූවා.

සිර-කඳවුරු ජීවිතය දුෂ්කර එකක් වුණා. සෑම කෙනෙකුගේම දෛනික ආහාර සලාකයට ඇතුළත් වූයේ, උදෑසන ආහාරය හැටියට මයියොක්කා කෝප්පයකුත්, දවල් කෑම සඳහා සව්හාල්වලින් සාදන ලද පාන් අවුන්ස හතකුත්, සන්ධ්‍යා ආහාරය සඳහා දියරාකාර එළවළු සුප් එකක පිසින ලද බත් කෝප්පයකුත්ය. මෙවන් අඩු ආහාර සලාකයන් නිසා, මන්දපෝෂණය පොදු දෙයක් වූ අතර අතීසාරයට ගොදුරුවූවෝ දිනපතා මියගියා.

ඕපා කඳවුරේ සිටි කාලය තුළ, ඔහු පෙලග්‍රාව හා පෝෂ්‍යතා වස්තියට (නිරාහාර රෝගයට) ගොදුරු වුණා. සිය කුඩා දැරිය නිරාහාරව සිටීමෙන් මරණයට ගොදුරු වීම වැලැක්වීමට ඕමා තමාගේ ආහාර නිතර වික්ටරිට දුන් නිසා, ඇයද සිටියේ මරණාසන්න තත්ත්වයකයි. හිංසාව හා නිරාහාරව සිටීම නිතරම එහි තිබුණා. ඔවුන්ට බේරී ජීවත් වීමට හැකිවූයේ තමන්ගේ දෙවියන් වන, යෙහෝවඃවහන්සේට සමීපව සිටීමෙන් පමණයි.

මට ඕපාගේ වඩාත් ප්‍රසන්න කියමන්වලින් එකක් සිහිවේ: “නිදහස යනු දිව්‍ය තැනැන්වහන්සේ වන, යෙහෝවඃවහන්සේට එකඟව සිටීමයි.” මෙසේ, පරුෂ දඬුවම් විඳදරා ගන්නා අතර පවා ඕපාට දැනුණේ සැබෑ හැඟීමකින් තමා නිදහස්ව සිටින බවයි. ඔහු හා ඕමා යෙහෝවඃවහන්සේට පෙන්වූ ප්‍රේමය සැබවින්ම ‘සියල්ල විඳදරා ගැනීමට’ ඔවුන්ට උපකාර කළා. (1 කොරින්ති 13:7) මාද, ගෙල්ද දැන් පවත්වන්නට වෑයම් කරන්නේ දෙවියන්වහන්සේ සමඟ තිබූ එම සමීප සම්බන්ධතාවමයි.

නිදහස හා සැලකිය යුතු නැවත එක්වීමක්

අන්තිමේදී, IIවන ලෝක යුද්ධය 1945දී අවසන් වුණා. ජපානයේ යටත්වීමෙන් වැඩි කලක් යන්නට මත්තෙන්, ඕපාව දුම්රියෙන් ප්‍රවාහණය කරනු ලැබුවා. ජකර්තාවේ සිට බෑන්ඩුං කරා ගමන් කරන අතර මගදී එම දුම්රිය ඉන්දුනීසියානු හමුදා භටයන් විසින් නවත්වනු ලැබුවා. ජපන් ජාතිකයන් සමඟ විරුද්ධකම් නැවතී තිබුණද, ඉන්දුනීසියානුවන් සටන් කරමින් සිටියේ ලන්දේසි ජාතිකයන්ගෙන් නිදහස ලබා ගැනීමටයි. හදිසියෙන්ම දුම්රියෙන් බස්වනු ලැබීම හේතුවෙන් ඕපා කොතරම් කලබල වූවාද කියතොත් ඉංග්‍රීසි කථා කිරීමට අමතක වී, ඔහු ලන්දේසි භෂාව කථා කරන්නට පටන් ගත්තා. ඉන්දුනීසියානුවන්හට, ලන්දේසි භාෂාව සතුරාගේ භාෂාව වූ අතර සතුරා මරණයට පත් කළ යුතුව තිබුණා.

භාග්‍යයකට මෙන්, හමුදා භටයන් ඕපාව පරීක්ෂා කරමින් සිටියදී, ඔහු විසින් සහමුලින්ම අමතක කර තිබූ ඔහුගේ ඕස්ට්‍රේලියානු රියදුරු බලපත්‍රය ඔවුන්ට හමු වුණා. මෙවිට ඉන්දුනීසියානුවන් ඕස්ට්‍රේලියානුවන් සමඟ සටන් වැදී නොසිටීම සන්තෝෂයට කරුණක්. සිය ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සනාථ කරන්නාවූ බලපත්‍රයේ සොයා ගැනීම, මෙදින දක්වා ඕපා සලකන්නේ දිව්‍ය මැදිහත් වීමක් හැටියටයි. මන්දයත් එම නැවතුම් ස්ථානයේ, ඉන් පැය ස්වල්පයකට පසු එම යුද්ධ හමුදාව දුම්රියෙන් ඒ හරහා ගමන් කරමින් සිටි ලන්දේසි ජාතිකයන් 12දෙනෙකු මරා දැමූ නිසායි.

මෙම සිද්ධියෙන් මද කලකට පසු, ඕමා හා වික්ටරි යුද්ධයෙන් වැනසුණු ප්‍රදේශයෙන් ප්‍රවාහණය කෙරෙන තෙක් බලා සිටියා. ඔවුන් මාර්ගයේ පැත්තක වාඩි වී සිටිත්ම, හමුදා භටයන් හා සාමාන්‍ය රට වැසියන් රැගත් අසීමිත ට්‍රක් රථ සංඛ්‍යාවක් එතැනින් ගමන් කළා. හදිසියේම, පැහැදිලි හේතුවක් නොමැතිව, එම ට්‍රක් රථ පේළිය නැවතුණා. ඕමා ළඟම නැවතුණ ට්‍රක් රථයේ විවෘත පසු පෙදෙසට ඉක්මන් බැල්මක් හෙලූ අතර එහි, ඇයව මවිතයට පත් කරමින්, ඇය වහා හඳුනාගත් වැහැරුණු පුරුෂයෙක් වාඩි වී සිටියා. ඒ ඇයගේ පුරුෂයායි! ඔවුන් නැවත එක්වීමේ චිත්තවේගය පළ කරන්නට වචන නැහැ.

යළිත් ඕස්ට්‍රේලියාවේ

වසර 11ක් ඉන්දුනීසියාවේ වාසය කිරීමෙන් පසු, සීයා 1946 සිය පවුලත් සමඟ යළිත් ඕස්ට්‍රේලියාවට පැමිණි විට, ජීවිතය ඔවුන්හට පහසු එකක් වූයේ නැහැ. ඔවුන් යළිත් පැමිණියේ—කාත් කවුරුත් නැති, මන්දපෝෂණයට ලක්වූ, ප්‍රදේශවාසී බොහෝ දෙනෙක් විසින් සැකයෙන් සලකන ලද—යුද්ධ සරණාගතයන් හැටියටයි. ආසියානු සංක්‍රමණිකයන්ට එරෙහිව ගොඩනැගුණු ජාතිවාදී වැරදි මතවලින් ඕමාටත් වික්ටරිටත් පහර ලබන්නට සිදු වුණා. සිය පවුල රැකබලා ගැනීමටත් ඔවුන්ට නිවසක් සැපයීමටත් ඕපාට වෙහෙස වී එමෙන්ම වැඩි කාලයක් වැඩ කරන්නට සිදු වුණා. මෙම දුෂ්කරතා තිබියදීත් ඔවුහු සිය ආත්මිකත්වය පලුදු නොකර විඳදරා, දිගටම කටයුතු කළා.

දැන්, ඉන් වසර 48කට වැඩි කලකට පසු, ඕපා මෙල්බර්න්හි වාසය කරන අතර, එහි ඔහු තවදුරටත් ගෙයින් ගෙට සේවයේ හවුල් වෙමින් සිටී. වික්ටරි හා ඇගේ දරුවන් සත්‍යය වැළඳගැනීමත්, යෙහෝවඃවහන්සේට සිය ජීවිත කැප කර, සෑම කෙනෙක්ම, පිළිවෙළින්, පූර්ණ-කාලීන පුරෝගාමි සේවයට ඇතුලත්වීමෙන් ඔහු දැනටමත් දැක තිබෙනවා.

මගේ පියා බවට පත්වූ, ඩෙස් සැංකර් හා වික්ටරි 1950 ගණන්වල මුල් භාගයේදී බව්තීස්ම කරනු ලැබූ අතර, ඩෙස් 1958දී ඕස්ට්‍රේලියානු බෙතෙල් පවුලේ සාමාජිකයෙක් වූවා. විශේෂ පුරෝගාමියෙක් හැටියට සේවය කරමින් සිටි වික්ටරිව ඔහු විවාහ කර ගැනීමෙන් පසු, ඔවුන් යම් කලකට පුරෝගාමින් හැටියට සේවය කළ අතර අනතුරුව සංචාරක සේවයේ යෙදෙන්නට ආරාධනා ලැබුවා. මා උපන් විට, මාව හදාවඩා ගැනීම පිණිස ඔවුන්ට සංචාරක සේවයෙන් ඉවත් වන්නට සිදු වුණා. එහෙත්, වසර 27කට පසු, පියා තවදුරටත් පුරෝගාමි සේවයේ යෙදෙමින් සිටිනවා.

එක්දහස් නවසිය අනූගණන්වල මුල් භාගයේදී, ඕමා, මගේ මව හදාවඩා ගත් නිවසේම සාමකාමීව මියගියා. මමත් මෙල්බර්න්හි පිහිටි එම නිවසේම හැදී වැඩුණු අතර මගේ බාල සහෝදරයා හා සහෝදරිය හැදී වැඩුණේත් එම නිවසේමයි. නිවසක එකට ජීවත් වීමට ලැබීම අපගේ පවුලට සැබෑ ආශීර්වාදයක් වී තිබෙනවා. ඇතැම් අවස්ථාවන්හි එය යම් පමණක තදබදව තිබුණද, ඒ ගැන කනස්සල්ල පළ කළ අවස්ථාවක් මට සිහි කළ නොහැකියි. අපගේ විවාහයේ පළමු වසර හතර තුළ පවා, මගේ භාර්යාව වන, ගේල්, කෙසේ හෝ ඊට උචිත ලෙස හැඩ ගැසුණු අතර එසේ සිටීමට කැමති වූවා. අවසානයේ අපගේ අලුත් පැවරුමට අප පිටත්ව ගිය විට, මම හැඬුවා. එම නිවසින් මට කොතරම් අනුබලයක් හා ප්‍රේමයක් ලැබී තිබුණාද.

දැන්, කෙසේවෙතත්, ගේල්ටත් මටත් බහුල ලෙස ප්‍රීති වීමට හේතු තිබෙනවා, මන්දයත් අපට මගේ මව්පියන් මෙන්ම ඔවුන්ගේ මව්පියන් ඔවුන් පෙර කළ දෙය අපට කරන්නට හැකියාවක් ඇති නිසායි. අප නිවසෙන් ඉවත්වූ විට, එසේ යෑමට තිබූ හේතුව, එනම් පූර්ණ-කාලීන සේවය තුළ යෙහෝවඃවහන්සේගේ කැමැත්ත කිරීමට යෑම තුළ අපට සැනසිල්ලක් ලැබිය හැකි වුණා. අප වෙහෙසා වෑයම් කරමින් සිටින්නේ, දුෂ්කර පැවරුම්වල සේවය කරන විට, අන්ත දිළිඳු තත්ත්වයක සිටින විට හා ජපන් වධක කඳවුරුවල වසර ගණනාවක් රඳවා ගනු ලැබූ අවස්ථාවේදී පවා සමානාකාර සැනසිල්ලක් ලැබූ අපගේ ආච්චි හා සීයගේ කදිම ආදර්ශය අනුගමනය කරන්නටයි.—2 කොරින්ති 1:3, 4.

දාවිත් රජ යෙහෝවඃවහන්සේට යොමු කළ දේවානුභාවය ලත් මෙම වදන්වලින් ඕපා සැමවිටම සහනයක් ලබා තිබෙනවා: “ඔබගේ කරුණාගුණය [ප්‍රේමනීය කරුණාව, NW] ජීවිතයට වඩා යහපත.” (ගීතාවලිය 63:3) මගේ සීයාගේ දැඩි ආශාව වී ඇත්තේ එම ප්‍රේමනීය කරුණාව සදාකාලයටම ප්‍රීතියෙන් භුක්ති විඳීමයි. ඔහුගේ මුළු පවුලේ ආශාව වී තිබෙන්නෙත් එය ඔහු සමඟ හවුලේ භුක්තිවිඳීමටයි.

[21වන පිටුවේ පින්තූරය]

ඕමා හා ඕපා හැරිස්

[23වන පිටුවේ පින්තූරය]

ක්‍රේග් සැංකර් (පසුපස) සිය භාර්යාව මව්පියන්, බාල සහෝදරයා හා සහෝදරිය සමඟින්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න