ඔබ නමස්කාර කරන ආකාරය වැදගත්ද?
එම කුඩා අප්‍රිකානු නගරය මධ්‍යාහ්නයේ හිරු රශ්මියෙන් දැවෙමින් පවතී. ළඟපාත මිටියාවතකින් බෙර ගැසීමේ ගී ගැයීමේ හා ප්‍රීතියෙන් අත්පුඩි ගැසීමේ වියරු හඬ ඇසිය හැක. එහෙත් මෙය සමාජ කටයුත්තක් නොවේ. එය සම්ප්‍රදායික අප්‍රිකානු වන්දනා ක්‍රමයයි. කෙසේවුවද, එම ශබ්ද, ආගමික වශයෙන් නව පිබිදීමක් ලද අසල පිහිටි පල්ලියක සිටින බොහෝ දෙනෙකුගේ වියරු ඝෝෂාව සමඟ තරඟ කරයි. එහි සිටින වන්දනාකරුවෝ ආශ්චර්යවත් “සුව කිරීම්” සිදුකරමින් අන්‍ය භාෂාවන්ගෙන් කථා කරති. නගරයේ අනෙක් සීමාවේ තවත් ආකාරයක නමස්කාරයක් සිදුවේ: මුස්ලිම් පල්ලියේ යාච්ඤා කළ යුතු වේලාව හඬ නගා දක්වන පූජකයා යාච්ඤා කිරීමට සෙසු මුස්ලිම් වන්දනාකරුවන්ව කැඳවයි.
එසේය, අප්‍රිකානු පුරවර හා නගර බොහොමයක මහත් විවිධත්වයකින් යුත් ආගමික භක්තියක් දක්නට පුළුවන. පරම්පරා ගණනාවක් පුරා අප්‍රිකානුවන් කැමැත්තෙන් සිටියේ තමන්ගේම ආගමික සම්ප්‍රදායන් අනුගමනය කිරීමටයි. එනමුත් නොයෙක් යුරෝපීය ජාතීන්ගේ හමුදාවන් පසුපස ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් එහි පැමිණි අතර ඔවුහු—ඔවුන්ගේ නාමයන්ද ඇතුළුව—සෑම කෙනෙක්ම “ක්‍රිස්තියානි කරවීමට” දයාවිරහිත වෑයමක් දැරූහ.
එහි ප්‍රතිඵලය? ආනයනය කරන ලද ආගම්වල ඇදහීම් සමඟ සම්ප්‍රදායික අප්‍රිකානු විශ්වාසයන් හා ව්‍යවහාරයන් මිශ්‍ර කළ ආගම් වර්ගයකි. මෙදින දක්වා “ක්‍රිස්තියානි” නමස්කාරකයන් බොහෝ දෙනෙක් සම්ප්‍රදායික යන්ත්රමන්ත්ර තවදුරටත් පාවිච්චි කරති. කෙසේවෙතත්, ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් සැබෑ ක්‍රිස්තියානි ධර්මය බරපතළ ලෙස වරදවා නියෝජනය කළ අතර එනයින් ඔවුන් දායාද වශයෙන් නුරුස්නා ස්වභාවයක් පැවතීමට මඟ පාදා ඇත. අදදින අප්‍රිකානුවන් සමහරෙක් අතර බයිබලය කෙරෙහි පවතින විවෘත නොවන චින්තන ආකල්පය සඳහා ඔවුන් වගකිව යුතුය.
කෙසේවෙතත්, “ක්‍රිස්තියානි ධර්මයේ” ස්වභාවයන් බොහොමයක් තවදුරටත් පුලුල්ව ව්‍යවහාර කෙරේ. මෑත කාලවල පුබුදුවන ලද ක්‍රිස්තියානි ආගමික කණ්ඩායම් විශේෂයෙන්ම ජනප්‍රිය වී ඇත; ඇදහිල්ලෙන්-සුව කරන පල්ලි සැම තැනම වාගේ අරඹා තිබේ. එක්තරා පුවත්පත් තීරු වාර්තාකාරියක් මෙම පල්ලිවල ආකර්ෂණීයභාවය පැහැදිලි කළේ ‘ආගමේ අප්‍රිකානු සංකල්පය බොහෝ දුරට උපයෝගිතාවාදී (ප්‍රයෝජන තකා හැඩගැසෙන)’ බව නිරීක්ෂණය කිරීමෙන්ය. ‘අප්‍රිකානුවන් සිතන ආකාරයට මනුෂ්‍ය පැවැත්මට ඍජු ද්‍රව්‍යමය තෘප්තියක් ලබා දීමට ආගමට හැකියාවක් තිබිය යුතුය. එබැවින්, සෑම දෙයක් සඳහාම ආත්මික මාධ්‍යය අවශ්‍ය බව විශ්වාස කරන්නාවූ අප්‍රිකානු ජාතිකයෙකුට ආත්මික (නැතහොත් ඇදහිල්ලෙන්-සුව කරන) පල්ලිවල ක්‍රියා පිළිවෙත ඔහුගේ ජීවිත ක්රමයේ ඉල්ලීම් හා එකඟ වේ.’ කෙසේවෙතත් බොහෝ පිබිදීමක් ලද පල්ලි මුදල් උපයන ආයතනවලට වඩා වැඩි යමක් නොවන බව පැහැදිලිව ඔප්පු වීම කනගාටුවට කරුණකි.
අදදින, ආගමික නිකායන් 6,000කට වැඩි ප්‍රමාණයක් අප්‍රිකාවේ ක්‍රියාත්මක වේ. මෙම ආගම් හා නිකායන් සියල්ලම ගැළවීමට ඕනෑ කරන මූලික අවශ්‍යතාව ඇතිව සිටින බව ඇතැම් විට ඔබට හැඟෙන්නට ඇත. එහෙත් සැබෑ ප්රශ්නය වනුයේ, දෙවියන්වහන්සේට හැඟෙන්නේ කෙසේද? යන්නයි.
හුදෙක් ඕනෑම ආගමකට දෙවියන්වහන්සේව සතුටු කළ හැකිද?
විශ්වයේ නිර්මාතෘවරයාණන්, නිසැකවම, මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය අපට නොදන්වා සිටින්නේ නැත. (ආමොස් 3:7; ක්‍රියා 17:26, 27) තවද බයිබලයේ දිව්‍ය මඟ පෙන්වීම සොයා ගත හැකි බවට තිබෙන සාක්ෂි අපමණය. සමහරෙක් සඳහන් කරන ආකාරයට, බයිබලය, සුදු ජාතිකයන්ගේ පොතක් නොවේ. ඇත්ත වශයෙන්ම—කලු හෝ සුදු—කිසි මිනිසෙකුට එය තමාගේ කෘතියක් යයි කියමින් ප්‍රශංසාවක් අත්කර ගත නොහැකිය. දෙවන තිමෝති 3:16 [NW] පවසන්නේ “මුළු ශුද්ධ ලියවිල්ල දෙවියන්වහන්සේගේ ආනුභාවයෙන් ලද යමක්” බවය. බයිබලයේ සැබෑ ප්‍රායෝගික ඉගැන්වීම්ද, එය බොහෝ සෙයින් පැරණි වීමද, දරුණු ප්රහාරයන් හමුවේ එහි පැවැත්මද, එහි නිවැරදි අනාවැකිද, සම කළ නොහැකි ලෝක ව්‍යාප්ත බෙදාහැරීමද, එහි දිව්‍ය කර්තෘත්වය පිළිබඳ පැහැදිලි සාක්ෂි වන්නේය.
එම පොත අපට උගන්වන්නේ කුමක්ද? එය අපට පවසන එක් දෙයක් වනුයේ, සිටින්නේ “එකම සැබෑවූ දෙවියන්වහන්සේ” කෙනෙකු පමණක් බවයි. (යොහන් 17:3) තත්ත්වය එසේ තිබියදී, සියලුම ආගම්වල සත්‍යය තිබිය හැක්කේ කෙසේද? දෙවියන්වහන්සේගේ අනන්‍යතාව හා ස්වභාවය පිළිබඳ විෂය පමණක් ගත්කල, ආගමික කණ්ඩායම් එකිනෙක සමඟ ගැටෙන්නේ නැද්ද? බයිබල් ලේඛක යාකොබ් කථා කළේ “නිර්මල වූ අව්‍යාජ වූ ආගම” ගැනයි. (යාකොබ් 1:27, ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්) අව්‍යාජ ආගම හඳුනා ගැනීමට අවශ්‍යතාවක් තිබේ නම්, බොරු නැතහොත් ව්‍යාජ ආගමද පැවතිය යුතුය. මෙය, සියලුම ආගම් දෙවියන්වහන්සේ වෙතට පිවිසීමේ වෙනස් මාර්ගයන් බවට වූ අදහසට පටහැනි වනු ඇත.
නමස්කාරය සඳහා මැවුම්කරුවාණන්ගේ ප්‍රමිති
දෙවියන්වහන්සේව නමස්කාර කිරීමේ නිසි ක්‍රමය කුමක්ද? බයිබලය අපට උගන්වන්නේ, අව්‍යාජ නමස්කාරය ඒකාන්ත දැනුම තුළ මුල් බැස පවතින බවයි. ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ වරක් සමාරියේ ස්ත්‍රියට පැවසුවේ “නුඹලා නමස්කාරකරන්නේ නොදන්නා දේටය” යනුවෙනි. (යොහන් 4:22) ඔබ සම්බන්ධයෙන් මෙය, ඇතැම්විට, සැබෑ විය හැකිද? සර්වබලධාරී දෙවියන්වහන්සේට යෙහෝවඃ යන පෞද්ගලික නාමයක් ඇති බව ඔබට උගන්වා තිබේද? (ගීතාවලිය 83:17) මිනිසා හා පොළොව සම්බන්ධයෙන් උන්වහන්සේගේ අරමුණු මොනවාදැයි ඔබ දන්නවාද? (මතෙව් 6:9, 10; එපීස 1:9, 10; 3:11) ඔබගේ ආගම වඩා හොඳ අනාගතයක් පිළිබඳ යථාර්ථවාදී බලාපොරොත්තුවක් ඔබට ඉදිරිපත් කරනවාද? තවද ඔබ ක්‍රිස්තියානියෙක් යයි සලකනවා නම්, ඔබගේ විශ්වාසයන් ඔබට ශුද්ධ ලියවිල්ලෙන් පහදා දිය හැකිද, නැතහොත් එය, පරීක්ෂා කිරීමට එතරම් කාලයක් වැය නොකරම, ඔබගේ උපතින් ලැබුණු දායාදයක්ද?
ඔබට ඒකාන්ත දැනගැන්මක් නැති බව හැඟේ නම්, දේව වචනය වන, බයිබලය ඉගෙන ගැනීමෙන් ඔබට එය අත්කර ගත හැක. එම පරිශුද්ධ පොත උගන්වන දෙය සිය සැබෑ නමස්කාරකයන් හොඳින් දැන සිටිය යුතු යයි යෙහෝවඃවහන්සේ අපේක්ෂා කරන සේක. ඊටත් වැඩියෙන් උන්වහන්සේ අපේක්ෂා කරන්නේ, ඔවුන් එය තම ජීවිතයේදී අදාළ කර ගත යුතු බවය. අපගේ ආකල්පය, මෙසේ පැවසූ ගීතිකාකරුගේ ආකල්පය හා සමාන විය යුතුය: “ඔබගේ වචන මාගේ පාදයන්ට පහනක්ය, මාගේ මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) බයිබලය දැනගැනීමට හා එය තේරුම් ගැනීමට ඔබගේ ආගම ඔබට උපකාර කර ඇත්තේ කොතරම් දුරකටද?
සැබෑ නමස්කාරයේ තවත් වැදගත් අංගයක් වනුයේ, ශ්‍රේෂ්ඨ අනාගතවක්තෘවරයෙක් හැටියට පමණක් නොව, දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් හැටියටත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමය. ශුද්ධ ලියවිල්ල පැහැදිලිව ප්‍රකාශ කරන්නේ යේසුස්වහන්සේ “ජීවනයේ අධිපතියා” වන බවය. (ක්‍රියා 3:15; 4:12) බොහෝ දෙනෙකු යේසුස්වහන්සේව අදහන බව කියා සිටිතත්, ඔවුන්ගේ ඇදහිල්ල කොතරම් සැබෑද? ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අව්‍යාජ ඇදහිල්ල ඉල්ලා සිටින්නේ උන්වහන්සේගේ උපදෙස්වලට කීකරු වීමකි. දෙවියන්වහන්සේ “මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය. මොහුට ඇහුම් කන්දීපල්ලා” යයි පැවසූ විට, උන්වහන්සේම එය දිරිගැන්වූ සේක. (මාර්ක් 9:7) සැබෑ නමස්කාරකයන් එලෙසින් වෑයම් කරන්නේ, හැකිතාක් සමීපව යේසුස්වහන්සේගේ අඩිපාරේ ගමන් කිරීමටයි. (1 පේතෘස් 2:21) ඔවුන් මෙය කරන එක් ක්‍රමයක් නම් උන්වහන්සේ ආරම්භ කළ ප්‍රසිද්ධ දේශනා සේවයේ නියැලීමෙනි. (මතෙව් 4:17; 10:5-7) ඔබගේ ආගම මෙම ක්‍රියාවෙහි පෞද්ගලිකව සහභාගි වීමට ඔබට දිරිගන්වන්නේද?
ප්‍රේමය අව්‍යාජ නමස්කාරයේ අවශ්‍යතාවක්ද වන්නේය. යෙහෝවඃ දෙවියන්වහන්සේ ප්‍රේමයේ පුද්ගලාරෝපණයම හැටියට විස්තර කර ඇති අතර, යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට පැවසුවේ තමන් අතර පෙන්වූ ප්‍රේමයෙන් ඔවුන් හඳුනා ගනු ලබන බවය. (යොහන් 13:34, 35; 1 යොහන් 4:8) අදදින තමන් ක්‍රිස්තියානින් යයි කියා ගන්නා මිලියන සංඛ්‍යාත අය සලකා බැලීමේදී, ලෝකය ඇත්ත වශයෙන්ම ප්‍රේමයෙන් පිරී ඉතිරී යායුතු නොවේද? එහෙත් ඇත්ත වශයෙන්ම, සනාථ වී ඇත්තේ, අපගේ ලෝකය ප්‍රේමය විරහිතම ස්ථානයක් බවයි. මෙම සියවස තුළ පමණක් යුද්ධ මිලියන සංඛ්‍යාත ජීවිත බිලිගෙන ඇත. අපරාධ හා සැහැසිකම් දිගටම වැඩිවෙමින් පවතී. එබැවින් ඔබගෙන්ම අසන්න, ‘සෑම කෙනෙක්ම මගේ ආගමට අයත්ව සිටියේ නම්, ලෝකය වඩාත් ප්‍රේමනීය ස්ථානයක් වනු ඇද්ද?’
අවසාන වශයෙන්, බයිබලය පෙන්වන්නේ සැබෑ නමස්කාර කරන්නන් දෙවියන්වහන්සේව නොදන්නා ලෝකයෙන් වෙන්ව සිටිය යුතු බවයි. නිර්මල නමස්කාරයේ ආරක්ෂකයා හැටියට දෙවියන්වහන්සේ පුරාතන ඉශ්රායෙල් ජාතිය වෙන්කර තැබූ අවස්ථාවේදී, තමන් වටා වාසය කළ නීච ජාතීන් සමඟ කිට්ටු ඇසුර වළක්වන හැටියට සිය ජනයාට උන්වහන්සේ අනතුරු ඇඟවූ සේක. (ද්විතීය කථාව 7:1-6) යොහන් 17:16හි, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ සමානාකාරයෙන් සිය අනුගාමිකයන් ගැන පැවසුවේ මෙසේය: “මා ලෝකයෙන් නොවන්නාක් මෙන්ම ඔව්හුද ලෝකයෙන් නොවෙති.” දෙවියන්වහන්සේගේ සැබෑ නමස්කාරකයන්ට දේශපාලනයේ, දුරාචාරයේ, ගිජු වාණිජ්‍යයේ හෝ දෙවියන්වහන්සේව අගෞරවයට පත්කරන ඕනෑම දර්ශනයක පංගුකාරකමක් නොමැත. (යොහන් 18:36; 1 යොහන් 2:15-17) ඔවුහු රෝම 12:2හි වාර්තා කර ඇති, “මේ ලෝකයේ ආකාරයට සමාන නොවී” යන ආඥාවට කීකරු වෙති. ඔබගේ ආගම දිරිගන්වන්නේ ඒ දේ කිරීමටද?
උපකාර ලබා ගත හැකිය
එසේය, ඔබ නමස්කාර කරන ආකාරය දෙවියන්වහන්සේහට ඉතා වැදගත් වන්නේය. උන්වහන්සේ සම්බන්ධයෙන් ගත්කල, ඇත්තේ සැබෑ වූ එක් ආගමක් පමණි. (එපීස 4:4-6) අපගේ කෙටි සාකච්ඡාවට බයිබල් ඉගැන්වීම්වල මූලික කරුණු සමහරක් ඇතුළත් කරන ලදි. තවත් වැඩියෙන් ඉගෙන ගැනීමට වෑයම් නොකරන්නේ මන්ද?
ඔබව හදාවඩා ගත් ආගමික පසුබිම කුමක් වෙතත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට මේ සම්බන්ධයෙන් ඔබට සහාය විය හැකිය. සිය තීව්ර බයිබල් අධ්‍යාපන කාර්යය වෙනුවෙන් ලෝක ව්‍යාප්තව ඔවුහු නම් දරා සිටිති. බයිබලය පිළිබඳව ගැඹුරු අවබෝධයක් ලැබීමට සියලු වාර්ගික හා ආගමික පසුතලයන්ට අයත් ජනයාට උපකාර කිරීමට ඔවුහු ඇපකැප වී සිටිති. (හිතෝපදේශ 2:1-6) ඔවුහු හොඳින් සමීක්ෂණය කරන ලද බයිබල් ප්‍රකාශන ප්‍රකාශයට පත්කරති.a ඇත්ත වශයෙන්ම, පෞද්ගලික පදනමක් මත ඔබට බයිබලය ඉගැන්වීමට ඔවුන් නොමිලේ ඔබගේ නිවසට පවා පැමිණෙනු ඇත. ලොව වටා මිලියන සංඛ්‍යාත අය දැනට මෙම බයිබල් අධ්‍යාපන වැඩසටහනෙන් ප්‍රයෝජන ලබමින් සිටිති. ඔබම ඉන් ප්‍රයෝජන නොලබන්නේ මන්ද? ඔබ නමස්කාර කරන ආකාරය අතිවැදගත් වන බැවින්, ඇත්තෙන්ම, ඔබ එසේ කිරීම වැදගත් වේ.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝක් ඉන්ක්., මගින් 1990දී ප්‍රකාශයට පත් කරන ලද, මෑන්කයින්ඩ්’ස් සර්ච් ෆෝර් ගෝඩ් එවන් එක් ප්රකාශනයකි. ලෝකයේ ප්‍රධාන ආගම් පිළිබඳව එහි අඩංගු බුද්ධිමත් මෙන්ම ශාස්ත්‍රීය සලකාබැලීම බොහෝ දෙනෙකු අගය කර ඇත.
[5වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරු සැබෑ ක්‍රිස්තියානි ධර්මය බරපතළ ලෙස වරදවා නියෝජනය කළහ
[5වන පිටුවේ පින්තූරය]
බොහෝ පුබුදුවන ලද පල්ලි මුදල් උපයන ආයතන වන්නේය
[6වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල සැබෑ නමස්කාරයේ අති වැදගත් කොටසකි
[7වන පිටුවේ පින්තූරය]
නොමිලේ පවත්වන ලද නිවාස බයිබල් පාඩම් මගින් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඒකාන්ත දැනුම ලබාගැනීමට මිලියන සංඛ්‍යාවකට උපකාර කරති