ආගම ඔබගේ අවශ්‍යතා සපුරාලමින් තිබේද?
වාතය, ජලය, ආහාර, නිවාස—මේවා මානව අවශ්‍යතා හැටියට ලොව පුරාම පිළිගනු ලැබේ. ඒවා නැතිව ගියොත් ඔබ දුෂ්කරතාවට හා මරණයට මුහුණ දෙනු ඇත. කෙසේවෙතත්, දීර්ඝ කලකට පෙර, ඉශ්‍රායෙලිතයන්ගේ නායක මෝසෙස්, ආහාර හා ජලයට පවා වැඩි වැදගත්කමකින් යුත් වෙනත් මානව අවශ්‍යතාවක් කෙරෙහි අවධානය යොමු කළේය. මෝසෙස් කියා සිටියේ “මනුෂ්‍යයා ජීවත්වෙන්නේ රොටිවලින් පමණක් නොවන බවත් ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මුඛයෙන් නික්මෙන සියල්ලෙන් මනුෂ්‍යයා ජීවත්වන” බවත්ය.—ද්විතීය කථාව 8:3.
මෙම ගම්භීර වදන් මගින්, මෝසෙස් පෙන්නුම් කළේ අපගේ ආගමික නැතහොත් ආත්මික අවශ්‍යතාවන් සපුරාලීමේ ඇති වැදගත්කමයි. ඔහු ඇඟවූයේ අපගේ ජීවිත ඒවා සපුරාලීම මත රැඳි පවතින බවයි! වසර 40ක් පුරා ඔවුන් පාළුකරයේ කළ දීර්ඝ ගමන තුළ, ඇත්ත වශයෙන්ම ඉශ්රායෙල්වරුන් ජීවත් වුණේ ‘යෙහෝවඃවහන්සේගේ මුඛයෙන් නික්මුණු වදන්’ මගිනි. එසේ කිරීමෙන් ඔවුන් නොමැරී බේරුණ අතර, ඔවුන් එසේ නොකළා නම් මාරාන්තික අද්දැකීමකට මුහුණ දෙනු ඇත. දෙවියන්වහන්සේගේ අණ පරිදි, මන්නා නම් ආහාරයක් ආශ්චර්යවත් ආකාරයකට අහසෙන් වැටුණි. ඔවුන්ගේ පිපාසාව සන්සිඳුවීමට ජලය පැමිණියේ පර්වතවලින්ය. එහෙත් දෙවියන්වහන්සේ ඔවුන්ගේ කායික අවශ්‍යතා පිරිමැසීමට වඩා වැඩි යමක් කළ සේක. මෝසෙස් පැවසුවේ, “මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයාට දඬුවම් කරන්නාක් [පුත්‍රයාව නිවැරදි කරන්නාක්, NW] මෙන් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නුඹට [නුඹව, NW] දඬුවම් [නිවැරදි, NW]” කරමින් සිටිසේක යනුවෙනි.—ද්විතීය කථාව 8:4, 5; නික්මයාම 16:31, 32; 17:5, 6.
සදාචාරමය හෝ ආගමික වශයෙන්, හරි හෝ වැරදිසහගත වූයේ කුමක්ද යනවග නිශ්චය කිරීම සම්බන්ධයෙන් ඉශ්රායෙල්වරුන්ට තනිවම තීරණ ගැනීමට ඉඩ හරිනු ලැබුවේ නැත. ඔවුහු දෙවියන්වහන්සේගෙන්ම මඟ පෙන්වීම් ලැබූහ. සෞඛ්‍යසම්පන්න ආහාර ක්‍රමයක්, විධිමත් සනීපාරක්ෂක නීති සංග්‍රහයක් මෙන්ම, ස්ථිරසාර සදාචාර හා ආගමික ප්‍රතිපත්ති යනාදිය පැහැදිලිව සඳහන් කළ කැපීපෙනෙන නීත්‍යානුකූල නීති සංග්‍රහයක් වන මෝසෙස්ගේ ව්‍යවස්ථාව උන්වහන්සේ ඔවුන්ට දානය කළ සේක. දෙවියන්වහන්සේ එනයින් අනුබල දුන්නේ ඉශ්රායෙල්වරුන්ගේ සෞඛ්‍යමය හා ආත්මික ශුභ සිද්ධියටය. ඔවුන් ජීවත්වූයේ ‘යෙහෝවඃවහන්සේගේ මුඛයෙන් නික්මුණු වචනවලිනි.’
මෙලෙසින් ඉශ්රායෙල්වරුන් වෙනත් ජාතීන්ට වඩා හාත්පසින්ම වෙනස් බව කැපීපෙනුණි. මිසරය මෝසෙස්ගේ දවසේ පාලනය කරමින් සිටියේ ප්රබලතම ලෝක බලවේගය හැටියටය. එය අතිශයින් ආගමික වූ දේශයක් විය. වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා පවසන්නේ මෙසේය: “පුරාතන මිසරවරුන් විශ්වාස කළේ විවිධ දේවත්වයන් (දෙවිවරුන් හා දේවතාවියන්) ස්වභාව ධර්මයේ සෑම අංගයක් මෙන්ම සෑම මනුෂ්‍ය ක්‍රියාකාරකමක් කෙරෙහිම බලපෑම් කළ බවය. එබැවින් ඔවුහු බොහෝ දේවතාවන්ට නමස්කාර කළහ. . . . සෑම මිසර පුරයකම හා නගරයකම ප්‍රධාන දේවතාවන්ට අමතරව ජනයා තමන්ගේම සුවිශේෂිත දෙවියන්ට නමස්කාර කළහ.
මෙම බහුදේවවාදී නමස්කාරය මිසරවරුන්ගේ ආත්මික අවශ්‍යතාවයන් සපිරුවේද? නැත. මිසරය මිථ්‍යා විශ්වාසයෙන් හා තත්ත්වයෙන් පහත් ලිංගික ව්‍යවහාරයන්ගෙන් ගහණ වූ දේශයක් බවට පත්විය. ජීවිතයට හා ශරීර සෞඛ්‍යට අනුබල දෙනවා වෙනුවට, මිසර ජීවිත ක්‍රමය මඟ පෙන්වූයේ ‘අරිෂ්ට [නපුරු, NW] රෝගවලටය.’ (ද්විතීය කථාව 7:15) මේ අනුව බලන කල, ‘අශික්ෂිත දේවරූප’ යනුවෙන් මිසරයේ දෙවිවරුන්ව අමතමින්, බයිබලය එම දෙවිවරුන්ව හෙලාදැකීම පුදුමයක් නොවේ.—එසකියෙල් 20:7, 8.
අදදින පවතින්නේද ඊට සමාන තත්ත්වයකි. වැඩි දෙනෙකුට අඩුතරමින්, යම් ආකාරයක හෝ ආගමික ඇදහීමක් ඇත; තමන්ට ආගමක් නැතැයි කියනු ඇත්තේ ස්වල්ප දෙනෙකු පමණි. කෙසේ නමුත්, පොදුවේ ආගම මනුෂ්‍ය වර්ගයාගේ ආත්මික අවශ්‍යතා සපුරා ලීමට අසමත් වී ඇති බැව් පැහැදිලිය. ජනයා “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] මුඛයෙන් නික්මෙන සියල්ලෙන්” සැබෑ ලෙස ජීවත් වෙමින් සිටියේ නම්, යුද්ධයේ, ජාතිවාදයේ, සාගින්නේ හා දිගටම පවතින දිළිඳුකමේ ගැටලු අදදින පවතිනු ඇද්ද? ඇත්ත වශයෙන්ම, නැත! එසේද වුවත්, සිය ආගම වෙනස් කිරීම ගැන සලකා බලනු ඇත්තේ ස්වල්ප දෙනෙකු පමණකි. මන්දයත්, ඇතැමෙක් ආගම ගැන සාකච්ඡා කිරීමට හෝ නව ආගමික සංකල්පයන්ට අවධානය යොමු කිරීමට කැමැත්ත පවා පළ නොකරන හෙයිනි!
උදාහරණයක් වශයෙන්, බටහිර අප්‍රිකාවේ, ඝානා රටේ මිනිසෙක්, ක්‍රිස්තියානි දේව සේවකයෙකුට පැවසුවේ මෙසේය: “දෙවියන්වහන්සේ යුදෙව්වන්ට ඔවුන්ගේ අනාගතවක්තෘවරුන් මගින් තමන්වම හෙළි කොට තිබෙන ආකාරයටම අපගේ බලගතු පූජකයන් හා පූජකවරියන් මගින් අප්‍රිකානුවන් වන අපටත් උන්වහන්සේ තමන්වම හෙළි කොට ඇති බව මම විශ්වාස කරනවා. කනගාටුවට කරුණක් වන්නේ, අප්‍රිකානුවන් වන අපෙන් සමහරෙක් අපගේම පූජකයන්ව පිළිගැනීමට අසමත්ව, ඒ වෙනුවට යේසුස්වහන්සේ, මහම්මත්තුමා හා වෙනත් අය ගැන කථා කිරීමයි.”
සම්ප්‍රදායික අප්‍රිකානු සමාජයන් බොහොමයක, ක්‍රිස්තියානි ධර්මය සලකනු ලබන්නේ සුදු ජාතිකයන්ගේ ආගම හැටියටයි—එනම් යහපතට වඩා හානි සිදු කර ඇති ආනයනය කර ඇති පිළිවෙළක් හැටියටය. එහෙත් වෙනස් අදහස් සලකා බැලීමට නොකැමති ආකල්පයක් ඔබගේ ආත්මික අවශ්‍යතා සපුරා ගැනීමට දරන ඔබගේ වෑයම්වලට කරනු ඇත්තේ උපකාරයක්ද නැතහොත් බාධා පැමිණවීමක්ද? අප්‍රිකානු ප්‍රස්තා පිරුළක් පවසන්නේ මෙසේය: “ඔබ කුසගින්නෙන් සිටින නිසාම ඔබ අත් දෙකම ආහාර බඳුනට දමන්නේ නැත.” ආහාර අනුභව කරන එවන් පුරුද්දක්—විශේෂයෙන්ම බඳුනේ තිබෙන්නේ කුමක්ද කියා ඔබ නොදන්නා විට—අවිනීත මෙන්ම අනතුරුසහගතය! එහෙත්, බොහෝ දෙනෙකු තමන්ගේ ආගම තෝරා ගන්නේ විචාරශීලී පරීක්ෂා කිරීමක පදනමක් මත නොව, හැඟීම් හෝ පවුල් සම්ප්රදාය නමැති පදනම මතය.
ඔබගේ ආත්මික අවශ්‍යතා සපුරාලන නමස්කාරය විය යුත්තේ ‘ඔබගේ තර්ක ශක්තිය සමඟින් යුත් පරිශුද්ධ සේවයකි.’ (රෝම 12:1, NW) එය දැනුම් තේරුම් ඇති, බුද්ධිමත් තෝරාගැනීමක් විය යුතුය. එබැවින් අපි අප්‍රිකානු දෘෂ්ටි කෝණයෙන් කෙනෙකුගේ ආගම තෝරාගැනීම පිළිබඳ විෂය පරීක්ෂා කර බලමු. කෙසේවෙතත්, මතු සඳහන් තොරතුරු සෑම තැනකම ජීවත්වන පාඨකයන්ගේ සිත් ඇදගනු නියතය.
[3වන පිටුවේ පින්තූරය]
අපගේ ආත්මික අවශ්‍යතාවන් සදුරාලීමේ වැදගත්කම මෝසෙස් පෙන්වීය
[4වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි ලෝකයේ මිෂනාරිවරුන් සමඟ අප්‍රිකානුවන් ලැබූ අද්දැකීම බයිබලය කෙරෙහි ඇතමුන්ගේ මනස් වසා ඇත