ලතින්-අමෙරිකානු සභාව සංවේගයෙන් පසුවේ—මිලියන සංඛ්‍යාවක් එය හැර යන්නේ මන්ද?
මෙක්සිකෝවේ උතුරු දේශ සීමාවේ සිට චිලී හි දකුණු කෙළවර දක්වා ඇති නගරවල ප්‍රධාන ස්ථානයන්හි රෝමානු කතෝලික පල්ලියක් ඇති බවට පුරසාරම් නොදොඩන ලතින් අමෙරිකානු නගරයක් හෝ ගමක් දක්නට ලැබෙන්නේ කලාතුරකිනි. කෙසේ වෙතත්, “ලතින් අමෙරිකාවේ අති විශාල වෙනසක් සිදු වෙමින් පවතී” යයි කතෝලික කටයුතුවලට අනුබල දෙන ආයතනයක වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක් වන ජෝසෆ් ඊ. ඩේවිස් පිළිගනී. ශතවර්ෂ තුනකට වැඩි කාලයක් පුරා රෝමානු කතෝලික සභාවේ බලපෑම් යටතේ තිබූ ලතින් අමෙරිකාව, දැන් විශාල විපර්යාසයකට යටත් වෙමින් පවතින බව ද ඔහු පිළිගත්තේ ය.
කතෝලික සභාවේ බලපැවැත්වීම වේගයෙන් දුර්වල වෙමින් පවතින බව රහසක් නොවේ. මෑතක, ක්‍රියාකාරී කතෝලිකයන්ගේ සංඛ්‍යාව ලතින් අමෙරිකාවේ පූර්ණ ජනගහණයෙන් සියයට 15ක් පමණක් බව තක්සේරු කරනු ලැබී ය. “ඓතිහාසික වශයෙන් කතෝලික වන ලතින් අමෙරිකාව පැරණි ඇදහිල්ලෙන් භයානක ලෙස ඉවතට හැරෙමින් තිබෙන බව රෝමානු කතෝලික බිෂොප්වරුන් හා පුද්ගලික ව ම පාප්තැන ද බිය පළ කර ඇත” යයි 1991 බ්‍රිටැනිකා බුක් ඔෆ් දි යියර් නම් පොත වාර්තා කළේ ය. මෙය සිදු වෙමින් පවතින්නේ මක්නිසා ද? මෙතරම් විශාල සංඛ්‍යාවක් කතෝලික සමූහයා ව හැර යමින් සිටින්නේ මක්නිසා ද? මෙසේ හැර ගිය අයට සිදු වී ඇත්තේ කුමක් ද?
පැහැදිලි කිරීමක් සඳහා වූ සෙවිල්ල
කතෝලික නායකයෝ තමන්ගේ ගැටලුවලට හේතුව “නිකායන්” බෝවීම යයි පවසති. “පල්ලිය වල් පැළෑටි බඳු නිකායන් මගින් නොදැනුවත් ව ම ශක්තිය හීන කරනු ලබන ගසක් හා සමාන” යයි බොලිවියා හි සේවය කරන යුරෝපීය පූජකයෙක් චෝදනා කළේ ය.
ආජෙන්ටිනාවේ, සෑම වසරක් පාසා ම අලුත් ආගම් 140ක් වාර්තා වන අතර, මේවා 1970 ගණන්වල මැද භාගයේ පටන් කතෝලික සභා සාමාජිකත්වයෙන් සියයට 90 සිට සියයට 60 හෝ 70ක පමණ සංඛ්‍යාවකගේ පහත වැටීම සඳහා දායක වන්නට ඇත. මෙක්සිකෝවේ, ජුවනා හි වාසය කරන මිලියන දෙකක ජනගහණයෙන් සියයට 10ක් එහි ඇති කතෝලික නොවන ආගම් 327ට ඇතුල් වී ඇත්තාහ. ටයිම් සඟරාව මෙසේ වාර්තා කළේ ය: “පුදුම සහගත ලෙසින්, ඉරිදා දවසේ කතෝලිකයන්ට වඩා වැඩි බ්‍රසීලියානු රෙපරමාදු භක්තිකයන් සංඛ්‍යාවක් පල්ලියේ සිටින බව සෑහෙන දුරට නිසැක ය.” එක් පුවත් පතක් වාර්තා කළ පරිදි, “අද දවසේ පල්ලියේ ප්‍රධාන වැදගත්කමකින් යුත් විෂයන් දෙකක් සාකච්ඡා කිරීමට ලතින් අමෙරිකානු කාඩිනල්වරුන් වතිකානු නුවර දී පාප්තැන හමු වූ” විට, ඒවායින් එකක් “නිකායන් පිළිබඳ ගැටලුව” වීම පුදුමයක් නොවේ.
මෙක්සිකෝවේ බිෂොප්වරුන් සමඟ පැවති රැස්වීමක දී, අලුත් ආගම් බොහොමයක සාර්ථකත්වයට “හේතුව තමන්ගේ එවැන්ජලිස්ත සේවයට උචිත තත්ත්වයක නොපවතින පල්ලියේ පුත්‍රයන්ගේ මන්දෝත්සාහී ස්වභාවය හා උදාසීන භාවය” යයි පාප් පැවසුවේ ය. ලතින් අමෙරිකාවේ ජීවත් වන විශාල පිරිසක් බයිබලයට ගෞරව කරන විට, ඔවුන්ගේ ආත්මික අවශ්‍යතා සපුරාලීමෙහි “පල්ලියේ පුත්‍රයන්” උදාසීන වන්නේ මක්නිසා ද? බොලිවියාවේ, ලා පාස් හි උල්ටීමා ඕරා පුවත් පතේ කතුවැකිය මෙසේ පැහැදිලි කරයි: “පල්ලිය කොතරම් දුරට ලෝකයට ඇතුල් වී තිබේ ද කියතොත්, සෑම දවසක් පාසා ම ඊට අයත් කාර්ය භාරය එය අත්හරිමින් සිටින බව පෙනෙන්නට ඇත. ඇත්ත වශයෙන් ම සිදු වෙමින් පවතින ආකාරයට, පූජකයන් පැවිද්දන් ව සිටීමට වඩා වැඩියෙන් සමාජ විද්‍යාඥයන්, ආර්ථික විද්‍යාඥයන්, පත්‍ර කලාවේදීන්, නැතහොත් දේශපාලනඥයන් වීම අපට දකින්නට ලැබීම පුදුමයට හේතුවක් නොවිය යුතු ය.”
දේශනා කරන්නන්ට වඩා දේශපාලනඥයන්?
එක්දහස් නවසිය හැත්තෑ හා අසූ ගණන් තුළ, දේශපාලනය තුළට පල්ලියේ ඇඟිලි ගැසීම බොහෝ ලතින් අමෙරිකානුවන්ට දැන් කතෝලික ධර්මය කෙරෙහි දැනෙන පිළිකුල්කම සඳහා නිසැක ව ම දායක වී ඇත. වර්ෂ 1985 දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයක්, ලතින්-අමෙරිකානු ධර්ම දූත මෙහෙයුම් බොහොමයක් ඇති අමෙරිකානු කතෝලික විදේශීය ධර්ම දූත සමිතිය වන, මේරිනෝල් සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණය කළේ ය: “මේරිනෝල් සංවිධානයට නියත වශයෙන් ම කතෝලික සභාවේ බාහුවක් හැටියට ක්‍රියා කරන්නට ඉඩ දී ඇති නිසා, එය චන්ඩ විප්ලව පිළිබඳ මාක්ස්වාදී-ලෙනින්වාදී පණිවුඩය මහජන පිළිගැනුමට සාර්ථක ව ගෙනැවිත් ඇත. එහි පණිවුඩය සාමාන්‍යයෙන් පල්ලියට යන අය වෙතට පමණක් නොව, ප්රමුඛ පෙළේ අමෙරිකානු ප්‍රතිපත්ති සකසන්නන් කරා ද ළඟා වී ඇත.
එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අග භාගයේ දී, පුදුම සහගත ලෙසින්, ආජෙන්ටිනියානු ජාතිකයන් 10,000ක සිට 30,000ක ප්‍රමාණයක් පැහැර ගෙන ගොස් නඩු විභාග කිරීමකින් තොර ව මරණයට පත් කරනු ලැබූ, නීච යුද්ධය යයි හඳුන්වනු ලබන දෙය ද සලකා බලන්න. නැෂනල් කැතොලික් රිපෝටර් පත්‍රයේ කතුවැකියක්, “රුධිරය ආජෙන්ටිනාවේ පල්ලි කැලලට පත් කරයි” යන ශීර්ෂ පාඨය යටතේ මෙසේ පැවසී ය: “ආජෙන්ටිනාවේ අත්දැකීම්, නාට්සි ජර්මනියේ කතෝලික සභාවේ ක්‍රියාකාරකම්වලට ඉතා සමීප ව ගෙනහැර දක්වයි, සත්‍යයට සාක්ෂිකරුවෙක් වීම පිණිස සුවිශේෂවල විධානයට වඩා පල්ලියේ බලය වැඩි වැදගත්කමකින් යුක්ත වේ ද යන ප්රශ්නය එමගින් යළි මතු වේ.”
ලෝකයේ ආණ්ඩුවල බලය ලැබීමට පල්ලිවලට ඇති ආශාව පැහැදිලි ව ම එය දෙවියන් වහන්සේගේ මිත්‍රයෙක් කරන්නට යන්නේ නැත. බයිබලය මෙසේ පවසයි: “ලෝකය සමඟ මිතුරුකම, දෙවිඳුන් සමඟ සතුරුකම බව ඔබ දන්නේ නැද්ද? එබැවින් කවරෙක් වුවත් ලෝකය හා මිත්‍ර වන්නට කැමැත්තේ නම්, ඔහු දෙවිඳුන්ට සතුරෙක් වන්නේ ය.” (යාකොබ් 4:4, නව අනුවාදය) එනිසා, බොහෝ දෙනෙක් තවදුරටත් ආත්මික මඟ පෙන්වීම සඳහා කතෝලික පල්ලිය දෙස නොබැලීම පුදුමයක් නොවේ. එහෙත් කතෝලික සමූහයෙන් ඉවත් වූ ජනයාට සිදු වී ඇත්තේ කුමක් ද?
එඬේරෙක් නැති බැටළුවෝ
ඔවුහු බොහෝ දුරට පළමුවන ශතවර්ෂයේ යුදෙව් ආගමේ ආත්මික නායකයන් සැලකිල්ල දැක්වීමට අසමත් වූ ජනයා හා සමාන වන්නාහ. “ඔවුන් එඬෙරෙකු නැති බැටළුවන් මෙන් දුක්ගැහැට විඳිමින් විසිර ගොස් සිටි බැවින්” යේසුස් වහන්සේ “ඔවුන්ට අනුකම්පා කළ” බව බයිබලය පවසයි. (මතෙව් 9:36, න. අ.) බොහෝ දෙනෙක් කතෝලික සභාවෙන් ඉවත් ව එවැන්ජලිස්ත ආගම් යයි හඳුන්වනු ලබන ඒවාට එකතු වී ඇත්තාහ. දඩාවතේ ගිය බැටළුවන් සඳහා මේවා මගින් වඩා හොඳ ආකාරයකට සැලකිල්ල දක්වා තිබේ ද? තමාගේ සැබෑ අනුගාමිකයන් පිළිබඳ ව “මා ලෝකයාට අයිති නැති ලෙසම ඔවුනුත් ලෝකයාට අයිති” නැත යයි යේසුස් වහන්සේ වදාළ ආකාරයට කටයුතු කිරීමට රෙපරමාදු භක්තිකයෝ වඩා වැඩි කැමැත්තක් දක්වත් ද?—යොහන් 17:14.
කතෝලික නොවන ආගම් බොහොමයක්, ආගමික සම්ප්‍රදායන් අනුගමනය කරන්නන් ව සිටීමට වඩා බයිබලයට කීකරු වන බවට රූපයක් ගෙනහැර දක්වන්නට වෑයම් කරයි. බොහෝ විට මෙය නිකම් පිටස්තර බොරු පෙනුමක් වේ. රෙපරමාදු සංවිධානයේ මූලික ධර්ම ඉගැන්වීම් කතෝලික සභාවේ ඒවාට කොතරම් සමාන ද කිවහොත්, නිරීක්ෂකයන් බොහෝ දෙනෙකුට “එස් ලා මිස්මා චොලීටා කොන් ඔට්රා පොලියාරා” (එක ම ඉන්දීය කාන්තාව, නමුත් වෙනස් වී ඇත්තේ සාය පමණි) යන ඇන්ඩියානු කියමන පහසුවෙන් ම පාවිච්චි කළ හැකි ය.
උදාහරණයක් වශයෙන්, රෙපරමාදු කණ්ඩායම් සියල්ලක් ම පාහේ දෙවියන් වහන්සේ ත්‍රිත්වයක් බව ඉගැන්නුවත්, මෙය බයිබල් ඉගැන්වීමක් නොවේ. දි එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන් මෙසේ පිළිගනී: “හෙබ්‍රෙව් බයිබලයේ ත්‍රිත්ව ධර්මය ඉගැන්වීම අඩංගු ව නොමැති බව විවේචකයන් හා දේව ධර්ම ශාස්ත්‍රඥයන් අද දින එකඟ වෙති . . . අලුත් ගිවිසුමේ ද ත්‍රිත්වය පිළිබඳ ව පැහැදිලි ධර්ම ඉගැන්වීමක් අඩංගු ව නැත.”a
කතෝලිකයන් මේ ලෝකයට හා එහි දේශපාලනයට සම්බන්ධ වී ඇති පමණට ම, රෙපරමාදු භක්තිකයෝ ද පැහැදිලි ව සම්බන්ධ වී සිටිති. එන්සයික්ලෝපීඩියා ඔෆ් ලැටින් අමෙරිකා මෙසේ පවසයි: “ලතින් අමෙරිකාවේ රෙපරමාදු ආගම ද . . . ජනතාව නියෝජනය කිරීම සඳහා මැතිවරණ දේශපාලනයට . . . තමා ව ම සකස් කර ගෙන ඇත. දේශීය දේවගැතිවරු බොහෝ විට දේශපාලන අනුග්රාහකයන්ගේ නියෝජනයන් බවට පත් වන අතර, තමන්ගේ පල්ලිවලට දක්වන අනුග්‍රහයට ප්රත්යුපකාරයක් වශයෙන් ඡන්ද ලබා දෙති.” “රෙපරමාදු ආගම ග්වාටමාලා රටට පැමිණි පළමු අවස්ථාවේ දී පටන් එය දේශපාලනය හා සම්බන්ධ වී ඇත” යයි ලැටින් අමෙරිකන් රිසර්ච් රිව හි පැවසේ, වැඩිදුරටත් එය “ආගමක ආකාරයෙන් දේශපාලනමය හා සමාජීය කල් ක්‍රියාවට ආගමික ස්වරූපයක් දී එය සමාජය වෙත ගෙන යාම සඳහා වාහකයක් හැටියට ද ක්‍රියා කර ඇත” යයි ද පවසයි.
දේශපාලනයේ රෙපරමාදු සහභාගිත්වය බොහෝ දුරට යුද්ධයන්හි රෙපරමාදු සහභාගිත්වය සඳහා ද මඟ පෙන්වා ඇත. අමෙරිකානු ඉතිහාසයේ වඩාත් ම ප්‍රබල රෙපරමාදු දේවගැති හැටියට සැලකෙන, නැසීගිය හැරී එමර්සන් ෆොස්ඩික් මෙසේ පිළිගත්තේ ය: “අපගේ බටහිර ඉතිහාසය නොනැවතී යුද්ධ පැවති එකක් ව තිබුණි. අප යුද්ධ සඳහා මනුෂ්‍යයන් උත්පාදනය කර ඇත, යුද්ධ සඳහා මනුෂ්‍යයන් පුහුණු කර ඇත, අප යුද්ධ ගෞරවයට පත් කර ඇත, අප යුද්ධයේ නියැළුනු අය අපගේ වීරයන් කර ඇති අතර, අපගේ පල්ලිවල පවා සටන් කොඩි ඔසවා ඇත . . . අපගේ මුඛයේ එක් කොණකින් අපි සාමයේ කුමාරයාට ප්‍රශංසා දී ඇති අතර, අනෙක් කොණෙන් යුද්ධය වර්ණනා කොට ඇත.”
ඔබ කුමක් කළ යුතු ද?
පොළොවේ ආණ්ඩු සමඟ වේශ්‍යාකම් කරන්නා වූ සංකේතවත් වේශ්‍යාවක් හැටියට බොරු ආගම විස්තර කිරීමෙන් පසු, බයිබලයේ එළිදරව් පොත මෙසේ පවසයි: “මාගේ සෙනඟනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ වසංගතවලට අසු නොවන පිණිසත් ඇගෙන් ඉවත් ව එන්න.” යයි පවසයි.—එළිදරව් 18:4, න. අ.
පල්ලියේ මහත් දූෂණයන් ඇති බව බොහෝ දෙනෙක් තේරුම් ගත්ත ද, රෝමානු සභාවට ඉතා පුරාණ ඉතිහාසයක් ඇති නිසා ඔවුහු එය අත් හැරීමට මැලි වෙති. යුදෙව් නමස්කාර පිළිවෙළ ඉතා පැරණි ව තිබුණත්, එය දෙවියන් වහන්සේගේ සැබෑ ඉගැන්වීම් අත්හළ විට උන් වහන්සේ යුදෙව්වන් ව තමන්ගේ තෝරා ගත් සෙනඟ හැටියට ප්‍රතික්ෂේප කළ බව මතක තබා ගන්න. ඒ වෙනුවට දෙවියන් වහන්සේ ඒ අවස්ථාවේ දී ක්‍රිස්තියානි සභාව පාවිච්චි කරමින් සිටි බව දෙවියන් වහන්සේගේ ඇදහිලිවන්ත සේවකයන් එය දැන ගත් විට, ඔවුහු යුදෙව් ආගමෙන් ඉවත් වූහ. ඔබට අද දවසේ තිබෙන සැබෑ ක්‍රිස්තියානි සභාව හඳුනා ගත හැක්කේ කෙසේ ද?
පසුගිය දශක දෙක තුළ මිලියනයක් පමණ ලතින් අමෙරිකානුවෝ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බවට පත් ව ඇත්තාහ. ඔවුන් මෙම වෙනස සිදු කළේ මක්නිසා ද? මෙක්සිකෝවේ, වෙරාකෲස් හි, මාටිනේස් ඩේ ලා ටෝරේ හි පුවත් පතක්, මෙම ප්රශ්නය පරීක්ෂාවට ලක් කළේ ය. එය මෙසේ පැවසී ය: “මෙම බයිබල් ශිෂ්‍යයන් සියයට 100ක් ම වාගේ සැකසී සිටින්නේ කලින් විවිධ ආගම්වල, වැඩි වශයෙන් ම කතෝලික ආගමේ ක්‍රියාශීලී ව සිටි අයගෙනි. මොවුහු එම ආගම් දේශපාලනය වෙත ඇදී ගොස් ඇති ආකාරයත්, ඒවා අන්තර් ඇදහිල්ල, දුරාචාරය, හා සැහැසියාව වැනි බයිබලයට පටහැනි ක්‍රියාකාරකම් පිළිගන්නා ආකාරයත්, අනුමත කරන ආකාරයත්, සැලකිල්ලට ගෙන සිටිති. රූප නමස්කාරයටවත් හෝ නොපැහැදිලි මූලාරම්භයන් ඇති සම්ප්රදායන්වලටත් යොමුවන්නේ නැති ව ඉන් වැළකී, හැසිරීම පිළිබඳ ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්තිවලට කීකරු වීම ඔවුන්ට තෘප්තිය ගෙන දෙන්නක් වී ඇත. මෙය ඔවුන් ව කැපී පෙනෙන්නට සලස්වන්නා වූ ඇදහිල්ලේ ප්‍රශංසා කටයුතු එක්සත් භාවයක් ඔවුන්ට ලබා දී ඇත.”
තවත් ලතින්-අමෙරිකානු පුවත් පතක් එය මෙසේ ගෙනහැර දැක්වී ය: “යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් වනාහි වෙහෙස මහන්සි වී ක්‍රියා කරන, අවංක, දේව භයැති ජන පිරිසකි. ඔවුහු පුරාණ ව්‍යවහාරයන්ට ආශා කරමින් ඉගෙන ගත් ගුරුකම් තදින් අල්ලා ගෙන ම සිටින අතර, ඔවුන්ගේ ආගම බයිබලයේ ඉගැන්වීම් මත පදනම් ව ඇත.” ඔබ ජීවත් ව සිටින කොතැනක වුවද, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙන ගැනීමට අපි ඔබට ආරාධනා කරන්නෙමු. ඔවුන්ගේ බලාපොරොත්තුවත්, ඔවුන්ගේ මුළු ජීවිත රටාවත් බයිබලය මත පදනම් ව ඇති බව ඔබ දැනගන්නවා ඇත. එසේ ය, දෙවියන් වහන්සේට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කළ යුතු ආකාරය ඔබ ඉගෙන ගන්නවා ඇත.—යොහන් 4:23, 24.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., මගින් ප්‍රකාශයට පත් කර ඇති ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? නම් පොත් පිංචය බලන්න.
[21වන පිටුවේ වගුව]
ඇතැම් ලතින්-අමෙරිකානු රටවල යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ
1971 1992
රට ප්‍රචාරකයන් ප්‍රචාරකයන්
ආජෙන්ටිනාව 20,750 96,780
බොලිවියාව 1,276 8,868
බ්‍රසීලය 72,269 3,35,039
චිලී 8,231 44,067
කොලොම්බියාව 8,275 55,215
කොස්ටාරිකා 3,271 14,018
ඩොමිනිකන් සමූහාණ්ඩුව 4,106 15,418
ඉක්වඩෝරය 3,323 22,763
එල් සැල්වඩෝර් 2,181 20,374
ග්වාඩලූප් 1,705 6,830
ග්වාටමාලා 2,604 13,479
හොන්ඩුරාස් 1,432 6,583
මෙක්සිකෝව 54,384 3,54,023
පැනමා 2,013 7,732
පැරග්වා 901 4,115
පෙරු 5,384 43,429
පුවටෝ රිකෝ 8,511 25,315
උරුගුවේ 3,370 8,683
වෙනිසුවෙලා 8,170 60,444
එකතුව 2,12,156 11,43,175