රුමේනියාවේ කාල හා ඍතු යෙහෝවඃ වහන්සේ විසින් වෙනස් කෙරේ
වෙනස් වීමේ සුළං රැළි 1989 දී නැගෙනහිර යුරෝපය පුරා හමා ගියේ ය. මාස කීපයක් තුළ, අදෘශ්‍යමාන බලකොටු මෙන් වරක් පැවති ආණ්ඩු, එක ළඟ ඇති ඉත්තන් මෙන් පිට පිට වැටුණි. දේශපාලන විපර්යාසයන් සමඟ සමාජීය, ආර්ථික, හා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට වැඩි ම උනන්දුවක් දනවන ආගමික වෙනස්කම් ඇති විය. රටක් රටක් පාසා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව නිල වශයෙන් පිළිගනු ලැබූ අතර ඔවුන්ගේ ආගමික කටයුතු කරගෙන යාමට නිදහස ද ඔවුන්ට යළි ලබා දෙනු ලැබී ය.
එහෙත් රුමේනියාවේ කාරණා මීට වඩ වෙනස් වනු ඇතැයි පෙනෙන්නට තිබුණි. රජය මහජනයා කෙරෙහි කොතරම් දැඩි ග්රහනයක් තබා ගෙන සිටියේදයත් වෙනස් වීමේ සුළං රැළි එතරම් බලපෑමක් සහිත නොවන බවක් පෙනෙන්නට තිබුණි. වෙනත් නැගෙනහිර යුරෝපීය රටවල සිදු වෙමින් තිබුණු දේවල් ගැන එහි සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් අසත් ම ඔවුහු තමන්ගෙන් මෙසේ ඇසූහ: ‘හර්මගෙදොනයට පෙර කවදා හෝ අපට නමස්කාරයේ නිදහස භුක්ති විඳින්නට ලැබේවි ද?’ සිය ආත්මික සහෝදර සහෝදරියන් සමඟ තමන්ට ක්‍රිස්තියානි රැස්වීම්වල එක්රැස් විය හැකි, ප්‍රසිද්ධියේ ශුභාරංචිය දේශනා කළ හැකි, හා බයිබල් ප්‍රකාශන සඟවා තැබීමේ අවශ්‍යතාවය නොමැති ව විවෘත ව පාඩම් කළ හැකි කාලය සඳහා ඔවුන්ගේ හෘද ආශාවෙන් බලා සිටියහ. ඒ සියල්ලක් ම සිහිනයක් මෙන් පෙනුණි.
අනතුරුව එම සිහිනය සැබෑ විය! එය සිදු වූයේ 1989 දෙසැම්බර් මාසයේ දී ය. සියල්ලන් ම පුදුමයට පත් කරවමින්, චච්ෂෙස්කුගේ පාලන සමය හදිසියේ ම බිඳ වැටුණි. එකවර ම, එම ක්‍රිස්තියානින්ට සහනයක් ලැබුණි. වර්ෂ 1990 අප්‍රියෙල් 9වන දින, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව රුමේනියාවේ ආගමික සංවිධානයක් හැටියට නීත්‍යානුකූල ව පිළිගනු ලැබී ය. යෙහෝවඃ වහන්සේ එහි වසන ක්‍රියාශීලී සාක්ෂිකරුවන් 17,000ට කාලවල් හා ඍතු වෙනස් කර තිබුණි.—දානියෙල් 2:21 සසඳන්න.
දීර්ඝ ඉතිහාසයක්
වර්ෂ 1911 දී, කැරොල් සාබෝ හා ජොසිෆ් කිස්, තමන් බයිබල් සත්‍යය ඉගෙන ගෙන යෙහෝවඃ වහන්සේගේ කැමැත්ත කිරීමට තමන්ගේ ජීවිත කැප කර තිබූ එක්සත් ජනපදයෙන් රුමේනියාවට හැරී පැමිණියහ. තම දේශයේ වැසියන් සමඟ ශුභාරංචිය බෙදා හදා ගැනීමට ඔවුන්ට ඕනෑ විය. රුමේනියාවට පැමිණීමත් සමඟ ම ඔවුහු වහා ම දේශනා කරන්නට පටන් ගත්හ. පළමුවන ලෝක යුද්ධය පටන් ගත් විට, තමන් කරමින් සිටි දෙය සඳහා ඔවුන් ව අත් අඩංගුවට ගනු ලැබී ය. එහෙත්, ඔවුන් වපුරා තිබූ රාජ්‍යයේ බීජ ඵල දරන්නට විය. වර්ෂ 1920වන විට එනම් වැඩ යළි සංවිධානය කරන ලද අවස්ථාව වන විට, රුමේනියාවේ රාජ්‍යය ප්‍රචාරකයන් 1,800ක් පමණ සිටියහ.
ඒ වන විට බෝල්කන් රටවල ඇවිලෙමින් තිබූ විප්ලවකාරී ස්වභාවය රුමේනියාවේ වැඩි වැඩියෙන් දැනෙන්නට පටන් ගත් අතර, සෑම තැන ම කෝලාහල දක්නට ලැබිණ. දුෂ්කර කාලයන් තිබුණ ද, අපගේ ආත්මික සහෝදරයන් නොකඩවා ම සේවය කළහ. වර්ෂ 1924 දී, වොච් ටවර් සමිතිය රුමේනියාවේ, හංගේරියාවේ, බල්ගේරියාවේ, යුගෝස්ලාවියාවේ හා අල්බේනියාවේ සේවය අධීක්ෂණය කිරීම පිණිස ක්ලූජ්-නපෝකාවේ රෙජිනා මාරීයා වීදියේ අංක 26 දරණ ස්ථානයේ කාර්යාලයක් විවෘත කළේ ය.
කෙසේ හෝ, දේශපාලන තත්ත්වය ඉතා අවිනිශ්චිත ස්වභාවයක් ගත් අතර බලධාරීන්ගෙන් පැමිණි කරදරවලට අමතර ව සංවිධානය තුළ ද කරදර ඇති විය. වර්ෂ 1930 යියර් බුක් මෙසේ වාර්තා කරයි: “සමිතිය එහි යැවූ තැනැත්තාගේ නොඇදහිලිකාරකම නිසා, මිත්‍රයන් විසුරුනු තත්ත්වයකට පත් කර ඇති අතර ඔවුන්ගේ නිසැක භාවය මහත් සේ සලිත වී ඇත. එම රටේ වැඩකටයුතු යළිත් ප්‍රාණවත් කිරීමට සමිතිය යම් ප්‍රස්තාවක් සොයමින් සිටිමුත්, ප්‍රාදේශීය අධිකාරීහු ඒ සැමෙකක් ම තහනම් කරති, ස්වාමීන් වහන්සේ වඩාත් සතුටුදායක මාර්ගයක් විවෘත කරන තෙක් අප බලා සිටිය යුතු ය.” අනතුරුව, 1922 දී බව්තීස්මය ලද රුමේනියානු සාක්ෂිකරුවෙක් වන, මාර්ටින් මර්ජර් ව, 1930 දී, අලුත් ශාඛා සේවක හැටියට පත් කරනු ලැබූ අතර පසු ව කාර්යාලය බුචාරෙස්ට් හි, ක්‍රිෂානා වීදියේ අංක 33 දරණ ස්ථානයට ගෙන යනු ලැබී ය. බලවත් පරිශ්‍රමයක් දැරීමෙන් පසු, අවසානයේ සමිතිය නීත්‍යානුකූල සමාගමක් හැටියට 1933 දී රුමේනියාවේ ලියා පදිංචි කරනු ලැබී ය.
දුෂ්කරතා දිගට ම පැවතුණි
රුමේනියාවේ සාක්ෂිකරුවන් කෙරෙහි දිගට ම මහත් පීඩා එන්නට විය. “රුමේනියාවේ තරම් මහත් දුෂ්කරතා මැද සේවය කරන සහෝදරයන් ලෝකයේ වෙනත් කිසි ම කොටසක නොමැති බව නිසැක ය” යයි 1936 යියර් බුක් වාර්තා කළේ ය. සියලු විපත් තිබියදීත්, 1937 සේවා වාර්තාව රුමේනියාවේ ප්‍රචාරකයන් 856 දෙනෙකුගෙන් යුක්ත සභාවන් 75ක් තිබෙන බව සඳහන් කළේ ය. සිහි කිරීමේ උත්සවයට 2,608 දෙනෙක් පැමිණ සිටියහ.
දෙවන ලෝක යුද්ධයේ ආරම්භය රුමේනියාවට ද බලපෑවේ ය. වර්ෂ 1940 සැප්තැම්බර් මාසයේ, ජෙනරාල් යොන් ඇන්ටොනෙස්කු බලය අල්ලාගෙන හිට්ලර් හා සමාන පාලනයක් පටන් ගත්තේ ය. භීෂණ ක්‍රියා ඉතා පුළුල් ව හැම දිනක ම වාගේ සිදු විය. සිය ගණන් සහෝදරයන් අත් අඩංගුවට ගෙන, පහර දී, පීඩා පමුණුවනු ලැබූහ. සහෝදර මර්ජර්රෝෂි ව 1942 සැප්තැම්බර් මාසයේ දී හිර බාරයට ගන්නා ලදමුත්, ඔහුට හිර ගෙදර සිට ට්රාන්සිල්වානියා පෙදෙස සඳහා දිගට ම වැඩකටයුතු සම්බන්ධීකරණය කරන්නට හැකි විය.
හිට්ලර්ගේ සේනාංක 1944 දී රට පුරා බලය තහවුරු කළ විට පීඩා දිගට ම පැවතුණි. බුචාරෙස්ට් වෙතින් ලැබුණු වාර්තාවක් නාට්සි පාලනය යටතේ පැවති තත්ත්වයන් මෙසේ විස්තර කළේ ය: “මේ රටේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට තදබල පීඩා පමුණුවනු ලැබී ය. කොමියුනිස්ට් වාදීන් සමඟ සිරගත කරනු ලැබූ අප, හිට්ලර් වාදී දේවගැතියන් විසින් කොමියුනිස්ට් වාදීන්ට වඩා දරුණු යයි චෝදනා ලද අතර අපෙන් බොහෝ දෙනෙක්, වසර 25ක හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට, හෝ මරණයට නියම කරනු ලැබූහ.”
අවසානයේ 1945 ජූනි 1 වෙනි දින යුද්ධය අවසන් වූ අතර බුචාරෙස්ට් හි තිබූ සමිතියේ කාර්යාලය එහි වැඩකටයුතු යළි පටන් ගත්තේ ය. කඩදාසි සොයා ගැනීමට අපහසුතා තිබුණ ද, කැප වූ වැඩකරුවෝ රුමේනියානු හා හංගේරියානු භාෂාවලින් පොත් පිංච 8,60,000කට වැඩි සංඛ්‍යාවක් හා මුරටැඹ පිටපත් 85,000කට වැඩි සංඛ්‍යාවක් මුද්‍රණය කළහ. යෙහෝවඃ වහන්සේ ඔවුන්ගේ වෙහෙසකාරී වැඩකටයුතුවලට මහත් සේ ආශීර්වාද කළ සේක. වර්ෂ 1946 වන විට, අලුත් අය 1,630ක් පමණ බව්තීස්ම කරනු ලැබූහ. ඒ වසරේ කැපී පෙනුන සිද්ධියක් වූයේ සැප්තැම්බර් 28 හා 29වන දිනයන්හි බුචාරෙස්ට්වල පැවති ජාතික සමුළුව ය. පුජක පක්ෂය මෙම සමුළුවට බාධා පමුණුවා එය නැවැත්වීමට සිය පුර්ණ වෑයම දැරුව ද, ඔවුන් සාර්ථක නොවූ අතර ප්‍රසිද්ධ කථාවට 15,000ක් පමණ පැමිණියහ. රුමේනියාවේ සහෝදරයන්ට මෙවන් සමුළුවක් පැවැත්වීමට හැකි වූ පළමුවන අවස්ථාව මෙය විය.
සමිතිය සහෝදර ආල්ෆ්රෙට් රූටමාන් ව ස්විට්සර්ලන්ත ශාඛාවෙන් රුමේනියාවට යැවී ය. ඉදිරියේ දී මුහුණ දෙන්නට තිබූ දේ සඳහා ඔවුන් ව වර්ධනය කරමින්, ස්ථාන 16ක දී සහෝදරයන් 4,500කට වඩා වැඩි සංඛ්‍යාවකට කථා කරන්නට 1947 අගෝස්තු මාසයේ දී ඔහු සමත් විය. වැඩි කලක් යන්නට මත්තෙන් සාක්ෂිකරුවන් කරා පීඩන යළි පැමිණෙන්නට පටන් ගත් අතර, මෙවර එය පැමිණියේ කොමියුනිස්ට් පාලනයෙනි. වර්ෂ 1948 පෙබරවාරි මස බලධාරීහු අපගේ මුද්‍රණ හා දේශනා කිරීමේ වැඩකටයුතු තහනම් කළහ. අනතුරුව, 1949 අගෝස්තු මාසයේ දී, ආල්යොන් වීදියේ අංක 38 දරන ස්ථානයේ තිබූ අපගේ කාර්යාලයට බලෙන් කඩා වදිනු ලැබී ය. ඉන් පසු ව, සහෝදර මර්ජර්රෝෂි ද ඇතුළු ව සහෝදරයන් බොහෝ දෙනෙකු ව අත් අඩංගුවට ගනු ලැබී ය. ප්‍රමාදයකින් තොර ව, අධිරාජ්‍යවාදීන් යයි චෝදනා ලද ඔවුන් ව හිර ගෙවල් හෝ වධක කඳවුරු වෙත යවනු ලැබී ය. ඊටපසු වසර 40 තුළ සේවා කටයුතු තහනම් කරනු ලැබූ අතර, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ මහත් වේදනාවන්ට මුහුණ දුන්හ. සංවිධානය තුළ සතුරු-පෙලඹීමෙන් මතු වූ කරදර වැඩි සිත් තැවුලක් ගෙන දුණි. අවසානයේ, දී චෙව්ෂෙස්කු පාලන සමය 1989 බිඳ වැටුණු අතර ඔවුහු නිදහස් වූහ! ඔවුන්ගේ නිදහසෙන් ඔවුන් දැන් කරනු ඇත්තේ කුමක් ද?
යළිත් ප්‍රසිද්ධියේ දේශනා කිරීම
සාක්ෂිකරුවන් කාලය අපතේ හැරියේ නැත. ඔවුහු වහා ම ගෙයින් ගෙට දේශනා කරන්නට පටන් ගත්හ. එහෙත් වසර ගණනාවකට අනියම් සාක්ෂි දැරීමෙන් ධෛර්යවත් ආකාරයකට රහසේ වැඩ කරමින් සිටි අයට මෙය පහසු වූයේ නැත. ඔවුන්ට ප්‍රසිද්ධියේ දේශනා කරන්නට හැකි වීම ගැන, ඔවුහු දැන් බියපත් තත්ත්වයක සිටියහ. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් මෙය මීට පෙර කිසිදිනක කර නොතිබුණ අතර ඔවුන්ගෙන් යමෙක් ගෙයින්-ගෙට දේශනා කර තිබූ අන්තිම වර වූයේ 1940 ගණන්වල අග භාගයේ ය. ඔවුන් ලබමින් සිටින්නේ කොයි ආකාරයේ ප්‍රතිඵල ද? අපි බලමු.
පටන් ගැනීමට යෝග්‍ය ස්ථානය, මිලියන 2.5ක පමණ ජනගහණයක් වෙසෙන, අගනුවර වන බුචාරෙස්ට් නගරයයි. වසර දෙකකට පෙර, එම නගරයේ තිබුණේ සභාවන් හතරක් පමණකි. දැන් එහි සභාවන් දහයක් ඇති අතර 1992 සිහි කිරීමේ උත්සවයට 2,100කට වඩා වැඩි දෙනෙක් පැමිණියහ. දැනට පවත්වනු ලබන ප්රගතිශීලී නිවාස බයිබල් පාඩම් බොහොමය සමඟින්, අලුත් සභාවන් කීපයක් ඉතා ඉක්මනින් බිහි වන්නට ඉඩකඩ ඇත.
ක්රයියෙවා වනාහි රටේ නිරිත දිශාවේ පිහිටා ඇති, වැසියන් 3,00,000ක් පමණ වාසය කරන නගරයකි. වර්ෂ 1990 වන තෙක්, මුළු නගරයේ ම සිටියේ දළ වශයෙන් සාක්ෂිකරුවන් 80ක් පමණි. අනතුරුව පුරෝගාමි ස්ප්‍රීතුව පතළ වූ අතර වැඩකටයුතු සීඝ්රයෙන් වර්ධනය වන්නට පටන් ගති. වර්ෂ 1992 දී පමණක්, 74 දෙනෙක් බව්තීස්ම කරනු ලැබූ අතර, බයිබල් පාඩම් 150කට වැඩි සංඛ්‍යාවක් පවත්වනු ලැබිණ. ප්‍රචාරකයන් 200කට වැඩි සංඛ්‍යාවක් සමඟින්, ඔවුහු රාජ්‍යය ශාලාවක් සඳහා සුදුසු ස්ථානයක් සොයමින් සිටින්නාහ.
තිර්ගු-මුරෙස් නම් ස්ථානයේ, සාක්ෂිකාර සහෝදරියක් හා සහෝදරයන් දෙදෙනෙක් පල්ලියේ ලේඛනවලින් ඇයගේ නම ඉවත් කර ගැනීමට ඕතොඩොක්ස් පූජකයා වෙත ගියහ. තමන් පැමිණි හේතුව දැනගැනීමෙන් පසු, පූජකයා ඔවුන් ව ඇතුළට කැඳ වූ අතර ඔවුහු කදිම සාකච්ඡාවකට සහභාගි වූහ. අනතුරුව පූජකයා මෙසේ පැවසී ය: “මම ඔබට ඊර්ෂ්‍යා කරනවා, එහෙත් නරක ආකාරයකට නොවෙයි. ඔබ කරන දේ කරමින් සිටිය යුත්තේ අපයි. ඕතොඩොක්ස් පල්ලිය නිදා සිටින යෝධයෙක් ව සිටීම කනගාටුවට කරුණක්”! ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? විවරණිකාවේ හා මුරටැඹ සඟරාවේ පිටපතක් ඔහු පිළිගත්තේ ය. තමා තවදුරටත් ‘නිදා සිටින යෝධයාට’ අයත් ව නොසිටීම ගැන එම සහෝදරිය සතුටු වන්නී ය.—එළිදරව් 18:4.
අද දවසේ සත්‍යය ඉගෙන ගන්නා බහුතරයක් යෞවනයන් ව සිටීම කැපී පෙනෙන සිද්ධියකි. ඒ මන්ද? පෙනෙන හැටියට ඔවුන් ආණ්ඩුවේ වෙනස්වීම තුළින් වඩාත් දෑ අපේක්ෂා කළමුත්, ඔවුන්ගේ බලාපොරොත්තු සුන් විය. අපගේ ගැටලු සඳහා කල්පවතින විසඳුම් ලබා දිය හැක්කේ යෙහෝවඃ වහන්සේගේ රාජ්‍යයට පමණක් බව ඉගෙන ගැනීමට ඔවුහු සතුටු වන්නාහ.—ගීතාවලිය 146:3-5.
කුඩා තැන්වල විශාල දේවල් සිදුවේ
ඕකෝලීෂ් වනාහි රුමේනියාවේ උතුරුකරයේ ඇති කුඩා ගම්මානයකි. වර්ෂ 1920 දී, පින්ටෙයා මොයිස නම් මනුෂ්‍යයෙක්, තමා ව යුද්ධ සිරකරුවෙක් හැටියට රඳවා ගෙන සිටි රුසියානු යුද්ධ පෙරමුණෙන් හැරී ආවේ ය. වරක් ඔහු කතෝලිකයෙක් ව සිටිය ද, ඔහු හැරී එන්නට මත්තෙන් ඔහු බැප්ටිස්ට් භක්තිකයෙක් වී සිටියේ ය. ඉන් සති තුනකට පසු, එවකට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව හඳුන්වනු ලැබූ ආකාරයට, බයිබල් ශිෂ්‍යයෝ ඔහු ව හමු වූහ. එම හමුවීමෙන් පසු, “මම දැන් දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍යය සොයා ගත්තා!” යයි ඔහු පැවසුවේ ය. වර්ෂ 1935 වන විට, ඕකෝලීෂ් හි 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිටියේ ය.
අද දින, එක්තරා පෙදෙසක වෙසෙන 473 දෙනෙකුගෙන් යුත් ජනගහණයකින් 170 දෙනෙක් රාජ්‍යය ප්‍රචාරකයන් වන්නාහ. මේ සෑම ප්‍රචාරකයෙකුට ම තමාගේ ක්ෂේත්රය වශයෙන් ගෙවල් දෙකක් පවරා ඇති අතර ඔවුහු තමන්ගේ ගම වටේට ඇති වෙනත් ගම්වල ද සේවය කරති. කෙසේ වුවද ඔවුහු ඒකාන්ත ආකල්පයකින් සිටිති. හාරසිය දෙනෙකුට අසුන් ගත හැකි රාජ්‍යය ශාලාවක් ඔවුන් ගොඩනැගුවා පමණි. වැඩ සියල්ලක් ම කරනු ලැබුවේ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් විසිනි.
වර්ෂ 1914 දී සහෝදරයන් වන සාබෝ හා කිස් පදිංචි ව සිටි ස්ථානයේ නම වාලියා ලාර්ගා ය. වර්ෂ 1991 දී, එහි සිටි 3,700 දෙනාගෙන් සභාවන් අටක් හා රාජ්‍යය ප්‍රචාරකයන් 582ක් සමන්විත විය. වර්ෂ 1992 සිහි කිරීමේ උත්සවයට 1,082ක්—එනම් මෙම මිටියාවතේ 3 දෙනෙක්ගෙන් ආසන්න වශයෙන් 1 කෙනෙක් පැමිණ සිටියේ ය.
විශේෂ පුරෝගාමිහු මාර්ගය සූදානම් කරති
වඩාත් ග්‍රාමීය ප්‍රදේශයන්හි ශුභාරංචිය ජනයා වෙත රැගෙන යාමෙහි ලා විශේෂ පුරෝගාමිහු විශාල කාර්ය භාරයක් ඉටු කරති. දේශනා කිරීමට නිදහස දෙනු ලැබූ වහා ම, යෝනෙල් ආල්බාන්, නගර දෙකක සේවය කරන්නට පටන් ගත්තේ ය. මෙහිදී ඔහු සෑම සතියක ම දින දෙකක් ඔර්ෂෝවාහිත්, දින පහක් ටුර්නු-සෙවරීන්හිත් ගත කළේ ය.
යෝනෙල්, ඔර්ෂෝවා වෙත පැමිණි විට එහි සාක්ෂිකරුවන් කිසිවෙකු සිටියේ නැත. පළමුවන සතියේ ඔහු අවුරුදු 14ක් වයසැති පිරිමි දරුවෙක් සමඟ බයිබල් පාඩමක් පටන් ගත්තේ ය. එම තරුණයා මාස දෙකක් තුළ කොතරම් වෙනස්කම් සිදු කළේ ද යත්, මිත්‍රයෙක් හා අසල් වැසියෙක් ද පාඩම් කරන්නට පටන් ගත්හ. කතෝලිකයෙක් ව සිටි රෝලාන්ට් නම් වූ එම අසල් වැසියා මවිතාකාර වර්ධනයක් ලැබී ය. මාස එකහාමාරක් පමණක් ගත වීමෙන් පසු, ඔහු දේශනා කිරීමට යෝනෙල් සමඟ හවුල් වූ අතර මාස පහකින් ඔහු බව්තීස්මය ලැබී ය. ඒත් සමඟ ම ඔහු පූර්ණ-කාලීන සේවයට ඇතුල් විය. ඔහුගේ මවත් පාඩම් කරන්නට පටන් ගත් අතර 1992 “ආලෝකය දරන්නෝ” දිස්ත්‍රික්ක සමුළුවේ දී බව්තීස්මය ලැබුවා ය. දැන් ඔර්ෂෝවා හි ප්‍රචාරකයන් දහ දෙනෙක් සිටින අතර ඔවුහු නිවාස බයිබල් පාඩම් 30ක් පවත්වති.
ටුර්නු-සෙවරීන් හි සත්‍යය පිළිගත් පළමුවන තැනැත්තා යෝනෙල් නැවතී සිටි හෝටලයේ පිළිගැනීමේ නිලධාරියා ය. මාස දෙකකට පසු එම මනුෂ්‍යයා බව්තීස්මය නොලත් ප්‍රචාරකයෙක් වූ අතර මාස තුනකින් ඔහු බව්තීස්මය ලැබී ය. දැන් ඔහු, එහි මුළුමනින් ම නිවාස බයිබල් පාඩම් 84ක් පවත්වන ප්‍රචාරකයන් 32ගෙන් එක් කෙනෙකි.
තවත් විශේෂ පුරෝගාමියෙක් වන, ගාබ්රියේලා ජේකා අපගේ සේවය තහනම් කර තිබූ කාලයේ පවා ස්ථාවර පුරෝගාමියක ලෙස සේවය කළා ය. අවශ්‍යතාව වැඩි තැනක සේවය කිරීම ඇයගේ ආශාව විය. ඇයට විශාල ප්‍රදේශයක් පවරනු ලැබී ය. සමහරක් අවස්ථාවන්හි ඇය උනන්දුව දක්වන අය ව හමු වීමට සැතපුම් 60 සිට 100ක් දක්වා ගමන් කළා ය. මොට්රු, ඇය සේවය කළ එක් නුවරක් වූ අතර එහි සිටියේ සාක්ෂිකරුවන් හතර දෙනෙක් පමණකි. “මොට්රු හි වැඩි වූ සේවය නිසා, පූජකයන් හා වෙනත් ආගමික කණ්ඩායම් අපට විරුද්ධ වන්නට පටන් ගත්හ” යයි ඇය පවසයි. “මට නවාතැන් පහසුකම් සැපයූ පවුල් කෙරෙහි බලපෑමක් කරන්නට ඔවුහු නගරාධිපතිට හා පොලීසියට බලපෑම් කළහ. ඔවුහු මා ව පිට මං කළහ. එනිසා සෑම මාස දෙකකට වරක් ම වාගේ, මට නවාතැන් සඳහා තැනක් සොයන්නට සිදු විය.”
තමා ආගම හෝ බයිබලය ගැන උනන්දුවක් නොදක්වන බව පැවසූ ඔර්ෂෝවා හි පදිංචි ව සිටින අදේව වාදියෙකු සමඟ ගෙබ්රියෙලා පාඩමක් පටන් ගත්තා ය. එහෙත් යන්තම් මාස හතරක් පමණක් පාඩම් කිරීමෙන් පසු, එම කාන්තාව බයිබලයට පක්ෂ ව කථා කරන්නට පටන් ගත්තා ය. ඇයගේ සැමියා රාත්‍රියේ දී ඇය ව සිය ගෙදරින් එළියට දමා දොරගුල් දමමින්, ඇය ව දික්කසාද කරන බවට හෝ ඇය ව මරන බවට හෝ තර්ජනය කළ ද, ඇය තමාගේ අඛණ්ඩතාව දිගට ම පැවැත්තුවා ය. ඇය ව බව්තීස්ම කරන්නට මත්තෙන් පවා, ඇය බයිබල් පාඩම් දහයක් පැවැත්තුවා ය.
ඉදිරියේ මවිතාකාර බලාපොරොත්තු
වර්ෂ 1992 අගෝස්තු මාසයේ, රුමේනියාවේ සභාවන් 286ක ප්රචාකරයන් 24,752ක ඉහළ සංඛ්‍යාවක් සිටියහ. සිහි කිරීමේ උත්සවයට පැමිණි සංඛ්‍යාව 66,000කට වැඩි ය. බුචාරෙස්ට් හි පිහිටා ඇති කුඩා ශාඛා කාර්යාලයේ, සිය සහෝදරයන්ගේ ආත්මික අවශ්‍යතා බලා ගැනීමට සිය උපරිමය කරන සේවකයන් 17 දෙනෙක් සිටිති. ඔවුහු නුදුරු අනාගතයේ දී ම වඩා විශාල ශාඛා කාර්යාලයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන්නාහ.
රුමේනියාවේ සිටින යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට පසුගිය අවුරුදු කීපය තුළ සිදු වූ වේගවත් වෙනස්කම් ගැන මවිත වෙනවා හැරෙන්නට වෙන කළ හැක්කක් නැත. යෙහෝවඃ වහන්සේගේ නම දරන්නාවූ ද උන් වහන්සේ පිළිබඳවත්, උන් වහන්සේගේ වෙනස් නොවන අරමුණ පිළිබඳවත්, ඒකාන්ත දැනුමක් වෙත ජනයා ව යොමු කරවන අන්තර් ජාතික සභාවේ කොටසක්වීම ගැන, ඔවුහු යෙහෝවඃ දෙවියන් වහන්සේට කෘතඥපූර්වක වෙති. මෙතරම් දීර්ඝ කාලයක් පුරා විඳි දුෂ්කරත්වයන්ගෙන් හා පීඩාවන්ගෙන් පසු, යෙහෝවඃ වහන්සේ රුමේනියාවේ කාල හා ඍතු වෙනස් කිරීම ගැන ඔවුහු උන් වහන්සේට කොතරම් ස්තුතිවන්ත වන්නෝ ද!
[23වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
හංගේරියාව
රුමේනියාව
බුචාරෙස්ට්
ක්ලූජ්-නපෝකා
ක්රයියෝවා
ටර්ගු-මූර්ස්
ඔර්ෂෝවා
ටුර්නූ සෙවරීන්
මෝට්රු
ටුර්ඩා
බල්ගේරියාව
[24, 25වන පිටුවේ පින්තූර]
1. වර්ෂ 1947 දී සාක්ෂිකරුවෝ 700ක් පමණ කැලෑවේ එක්රැස් වූහ
2. වර්ෂ 1946 දී ප්‍රසිද්ධ අනුශාසනාවක් සඳහා යවන ලද අත් පත්‍රිකාවක්
3. වර්ෂ 1992 අල්බා යූලියා හි එක්රැස් වීමක්
4. අද දින ක්ලූජ්-නපෝකා හි සාක්ෂි දැරීම
5. ටුර්ඩා අසල රාජ්‍යය ශාලාව
6. බුචාරෙස්ට් හි බෙතෙල් පවුල