යෙහෝවඃ වහන්සේගේ ආත්මය උන් වහන්සේගේ ජනයාට මඟ පෙන්වයි
“ ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ දේශයෙහි මා ගෙනගිය මැනව [එය මට මඟ පෙන්වත්වා NW].”—ගීතාවලිය 143:10.
1, 2. යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සේවකයන් ව කලකිරීමට ලක්කර වීමට කුමක් හේතු විය හැකි ද?
‘මම හොඳට ම කලකිරිලා! මට යම් සහනයක් සොයා ගත හැක්කේ කොතැනින් ද? දෙවියන් වහන්සේ මා ව අත්හැර දමා තිබේ ද?’ ඔබට කවදා හෝ එසේ හැඟී තිබෙනවා ද? ඔබට එසේ හැඟී තිබේ නම්, ඒ ඔබට පමණක් නොවේ. යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සේවකයන් සමෘද්ධිමත් වෙමින් පවතින ආත්මික පාරාදීසයේ වාසය කළත්, ඔවුහු ඇතැම් අවස්ථාවන්හි මිනිස් වර්ගයාට පොදු වූ සංවේගදායක ගැටලු, පරීක්ෂා හා පෙලඹීම්වලට මුහුණ දෙති.—1 කොරින්ති 10:13.
2 ඇතැම්විට ඔබ දීර්ඝ කාලයක් පුරා පවතින පරීක්ෂාවකින් හෝ මහත් පීඩාකාරී තත්ත්වයකට හේතු කරවන්නා වූ සාධකවලින් වට වී සිටිනවා විය හැකි ය. ඔබ ප්‍රේම කළ යමෙකුගේ මරණයෙන් දුක් වෙමින් සිටිය හැකි අතර, ඔබ බොහෝ සේ තනි වී සිටිනවා යයි ඔබට හැඟෙන්නට ද පුළුවන. එසේත් නැත්නම්, ඔබගේ හෘදය හිතාදර මිත්‍රයෙකුගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් කරදරයට පත් ව තිබෙනවා විය හැකි ය. එවන් තත්ත්වයන් ඔබගේ ප්‍රීතිය හා සාමය ඔබගෙන් සොරා ගන්නවා විය හැකි අතර, ඔබගේ ඇදහිල්ලට පවා තර්ජනය කළ හැකි ය. ඔබ කළ යුත්තේ කුමක් ද?
දෙවියන් වහන්සේගෙන් උන් වහන්සේගේ ආත්මය ඉල්ලන්න
3. යමක් සමාදානය හා ප්‍රීතිය වැනි ගුණාංග ඔබගෙන් සොරා ගනිමින් තිබේ නම්, කුමක් කිරීම ඥානවන්ත වනු ඇත් ද?
3 යම් දෙයක් විසින් ඔබගෙන් සමාදානය, ප්‍රීතිය, නැතහොත් වෙනත් යම් දිව්‍ය ගුණාංගයක් සොරා ගනිමින් තිබේ නම්, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය, හෙවත් ක්‍රියාකාරික බලය සඳහා යාච්ඤා කිරීම ඥානවන්ත වනු ඇත. ඒ මන්ද? ඊට හේතුව ක්‍රිස්තියානියෙකුට ගැටලු, පරීක්ෂා, හා පෙලඹීම්වලට මුහුණ දීමට උපකාරවත් වන්නා වූ යහපත් ඵල යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය මගින් උපද්දවන නිසා ය. “මාංසයේ ක්‍රියා” ගැන අනතුරු ඇඟවීමෙන් පසු, ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේ ය: “නුමුත් ආත්මයාණන්වහන්සේගේ [ආත්මයේ NW] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල NW], මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම [ආත්ම දමනය NW] යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.”—ගලාති 5:19-23.
4. යම් පරීක්ෂාවකට හෝ පෙලඹීමකට මුහුණ දීමට සිදුවන්නේ නම්, යමෙක් ඒ ගැන විශේෂයෙන් සඳහන් කර යාච්ඤා කිරීම යෝග්‍ය වනු ඇත්තේ මන්ද?
4 ඔබ මුහුණ දෙමින් සිටින පරීක්ෂාවේ ස්වභාවය නිසා, ඔබ ඔබේ මොළොක්කම, නැතහොත් මොළොක් ගතිය නැති කර ගැනීමේ අන්තරායක සිටින බව ඔබ තේරුම් ගන්නට පුළුවන. එසේ නම්, මොළොක්කම නමැති ශුද්ධාත්ම ඵලය උදෙසා යෙහෝවඃ දෙවියන් වහන්සේට විශේෂයෙන් යාච්ඤා කරන්න. ඔබ යම් පෙලඹීමකට මුහුණ දී සිටින්නේ නම්, ආත්ම දමනයේ ඵලය ඔබට විශේෂයෙන් අවශ්‍ය ය. ඇත්ත වශයෙන් ම, පෙලඹීම මැඩපැවැත්වීමට දිව්‍ය උපකාරය සඳහාත්, සාතන්ගෙන් ගැලවීම සඳහාත්, එමෙන් ම පරීක්ෂාව විඳදරා ගැනීමට ප්‍රඥාව උදෙසාත් යාච්ඤා කිරීම යෝග්‍ය වනු ඇත.—මතෙව් 6:13; යාකොබ් 1:5, 6.
5. ශුද්ධාත්මයේ කිනම් ඵලය ඉල්ලා යාච්ඤා කළ යුතු දැයි ඔබ නොදන්නා තරමට තත්ත්වය ඒ තරම් ම පීඩාකාරී නම්, කුමක් කළ හැකි ද?
5 කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවන්හි, ඔබට ශුද්ධාත්මයේ කිනම් ඵලය අවශ්‍යදැයි දැනගැනීමට පවා අපහසු වන තරමට, තත්ත්වය සංවේගදායක හෝ ව්‍යාකූල විය හැකි ය. ඇත්ත වශයෙන් ම, ප්‍රීතිය, සමාදානය, මෘදුකම හා වෙනත් දිව්‍ය ගුණාංග සියල්ල අන්තරායට පත් ව තිබිය හැකි ය. එවිට කුමක් කළ හැකි ද? දෙවියන් වහන්සේගෙන් මුළු ශුද්ධාත්මය ම ඉල්ලා, ඔබගේ තත්ත්වයට අවශ්‍ය පරිදි එම ගුණාංග එමගින් වර්ධනය වීමට ඉඩ හැරීමට සලස්වන්නේ නැත්තේ ඇයි? අවශ්‍ය කරවන ගුණාංගය ප්‍රේමය හෝ ප්‍රීතිය හෝ සමාදානය, නැතහොත් ආත්මයේ ගුණාංගවල සංයෝජනයක් විය හැකි ය. දෙවියන් වහන්සේ ස්වකීය ජනයාට මඟ පෙන්වීමට ස්වකීය ආත්මය යොදා ගන්නා බැවින්, එහි මඟ පෙන්වීමට යටත්වීමට ඔබට උපකාර කරන මෙන් ද උන් වහන්සේට යාච්ඤා කරන්න.
යෙහෝවඃ වහන්සේ උපකාර කිරීමට කැමැත්තෙන් සිටින සේක
6. නොනවත්වා යාච්ඤා කිරීමේ අවශ්‍යතාවය යේසුස් වහන්සේ සිය අනුගාමිකයන්ගේ සිත්වලට කාවැද්ද වූයේ කෙසේ ද?
6 යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ගෝලයන් යාච්ඤාව සම්බන්ධයෙන් උපදෙස් ඉල්ලා සිටි විට, එහි එක් කොටසක දී, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය සඳහා යාච්ඤා කිරීමට උන් වහන්සේ ඔවුන්ගෙන් උදක් ම ඉල්ලා සිටි සේක. යේසුස් වහන්සේ, නොනවත්වා යාච්ඤා කිරීමට ඔවුන් පොලඹවනු පිණිස සකස් කරන ලද උපමාවක් පළමු ව යොදා ගත් සේක. උන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹලා අතරෙහි මිත්‍රයෙක් ඇති කෙනෙක් මධ්‍යම රාත්‍රියෙහි ඔහු ළඟට ගොස්: මිත්‍රය, රොටී තුනක් මට ණයට දියන්න; මක්නිසාද ගමනක් යන මාගේ මිත්‍රයෙක් මා ළඟට ඇවිත් සිටියි, ඔහු ඉදිරියෙහි තබන්ට කිසිවක් මා ළඟ නැතැයි කියන්නේ නම්, ඔහු ඇතුළේ සිට උත්තරදෙමින්: මට වෙහෙස නොකරන්න. දැන් දොර වසා තිබේ, මාගේ දරුවෝ මා සමග නිදාගෙන සිටිති; නැගිට නුඹට දෙන්ට බැරියයි කියයිද? නුඹලාට කියමි—ඔහු තමාගේ මිත්‍රයෙකු නිසා නැගිට ඔහුට නොදෙතත්, ඔහුගේ කන්නලව්ව [එඩිතර වූ අඛණ්ඩ උත්සාහය NW] නිසා නැගිට ඔහුට ඕනෑ පමණ දෙන්නේය.”—ලූක් 11:5-8.
7. ලූක් 11:11-13 හි යේසුස් වහන්සේගේ වදන්වල මූලික සාරය කුමක් ද, එමෙන් ම එය දෙවියන් වහන්සේ හා උන් වහන්සේගේ ශුද්ධාත්මය සම්බන්ධයෙන් අපට දෙනුයේ කිනම් සහතිකයක් ද?
7 යෙහෝවඃ වහන්සේ තමන් වහන්සේගේ කැප වූ සෑම ඇදහිලිවන්ත සේවකයෙකුට ම උපකාර කිරීමට කැමැත්තෙන් සිටින අතර, උන් වහන්සේ ඔවුන්ගේ ඉල්ලීම්වලට ද සවන් දෙන සේක. එහෙත් එවන් තැනැත්තෙක්, යේසුස් වහන්සේ උදක් ම ඉල්ලා සිටි ආකාරයට, ‘කන්නලව් කරමින් සිටින්නේ නම්, [දිගට ම ඉල්ලමින් සිටින්නේ නම් NW], හෘදයාංගම ආශාව අඟවන මෙය, ඇදහිල්ලේ විදහා පෙන්වීමක් ද වෙයි. (ලූක් 11:9, 10) ක්‍රිස්තුස් වහන්සේ වැඩිදුරටත් මෙසේ ද වදාළ සේක: “නුඹලා අතරෙන් කොයි පියෙක් තමාගේ පුත්‍රයා . . . මත්ස්‍යයෙකු ඉල්ලුවාම මත්ස්‍යයා වෙනුවට ඔහුට සර්පයෙකු දෙයිද? නොහොත් බිත්තරයක් ඉල්ලුවාම ඔහුට ගෝනුස්සෙකු දෙයිද? මෙසේ නපුරුවූ නුඹලා නුඹලාගේ දරුවන්ට යහපත් දේ දෙන්ට දනිවු නම්, කොපමණ වැඩියෙන් නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේ තමන්වහන්සේගෙන් ඉල්ලන්නන්ට ශුද්ධාත්මය නොදෙනසේක්ද”! (ලූක් 11:11-13) භූමික මව්පියෙක්, උරුමකර ගත් පාපතර ස්වභාවය නිසා යම් හෙයකින් දුෂ්ට ව සිටියත්, තමාගේ දරුවාට යහපත් දේ දෙන්නේ නම්, අපගේ ස්වර්ගික පියාණන් ස්වකීය ශුද්ධාත්මය යටහත් පහත් ව ඉල්ලා සිටින තමන් වහන්සේගේ යටහත් පහත් පක්ෂපාත සේවකයන් කවරෙකුට නමුත් නොකඩවා එය දානය කරන බවට කිසි ම සැකයක් නැත.
8. ගීතාවලිය 143:10, දාවිත්ට, යේසුස් වහන්සේට, හා දෙවියන් වහන්සේගේ නවීන දින සේවකයන්ට අදාළ වනුයේ කෙසේ ද?
8 දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයෙන් ප්‍රයෝජන ලැබීමට නම් දාවිත් කළාක් මෙන් අප එහි මඟ පෙන්වීම අනුගමනය කිරීමට කැමැත්තෙන් සිටිය යුතු ය. ඔහු මෙසේ යාච්ඤා කළේ ය: “ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවියන්වහන්සේය. ඔබගේ ආත්මය යහපත්ය; අවංකකමේ [ඍජුකමේ NW] දේශයෙහි මා ගෙනගිය මැනව.” (ගීතාවලිය 143:10) ඊශ්‍රායෙල් රජ වූ සාවුල් විසින් පිටුවහල් කරනු ලැබූ දාවිත්, තමාගේ ක්‍රියා කලාපය ඍජු බව තමාට නිසැක විය හැකි වනු පිණිස තමාට මඟ පෙන්වීම සඳහා දෙවියන් වහන්සේගේ ආත්මය ඉල්ලා සිටියේ ය. නියමිත අවස්ථාවේ දී දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසැක ව දැනගැනීමට උපයෝගි කර ගන්නා ලද පූජකයෙකුගේ ඒඵොද් සැට්ටයක් ඇතුව අබියාතර් පැමිණියේ ය. යෙහෝවඃ වහන්සේ ව ප්‍රසන්න කරනු පිණිස යා යුතු මාර්ගය පිළිබඳ ව දෙවියන් වහන්සේගේ පූජක නියෝජිතයෙක් හැටියට අබියාතර් දාවිත්ට උපදෙස් දුන්නේ ය. (1 සාමුවෙල් 22:17–23:12; 30:6-8) දාවිත් මෙන්, යේසුස් වහන්සේට යෙහෝවඃ වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වනු ලැබූ අතර, මෙය පන්තියක් හැටියට ක්‍රිස්තුස් වහන්සේගේ ආලේප ලත් අනුගාමිකයන් සම්බන්ධයෙන් ද සැබෑවක් වී ඇත. වර්ෂ 1918-19 දී, ඔවුන් මිනිස් සමාජය ඉදිරියේ අයිතිවාසිකම් නැති තත්ත්වයක සිටි අතර, ඔවුන් ව විනාශ කළ හැකි යයි ඔවුන්ගේ ආගමික විරුද්ධවාදීහු කල්පනා කළහ. ආලේප ලද්දවුන් තමන්ගේ අක්‍රියාශීලී තත්ත්වයෙන් මිදීමට මාර්ගයක් සඳහා යාච්ඤා කළ අතර, 1919 දී, දෙවියන් වහන්සේ ඔවුන්ගේ යාච්ඤා අසා, ඔවුන් ව ගලවා, ස්වකීය සේවයේ ඔවුන් ව යළි ප්‍රකෘතිමත් කළ සේක. (ගීතාවලිය 143:7-9) යෙහෝවඃ වහන්සේගේ ආත්මය අද දවස දක්වා ක්‍රියා කර ඇත්තා සේ, ඒ අවස්ථාවේදීත්, උන් වහන්සේගේ ජනයාට උපකාර කරමින් ද, මඟ පෙන්වමින් ද සිටි බවට නිසැක ය.
ආත්මය උපකාර කරන ආකාරය
9. (අ) ශුද්ධාත්මය ‘උපකාරකයෙක්’ ලෙස සේවය කරන්නේ කෙසේ ද? (ආ) ශුද්ධාත්මය පුද්ගලයෙක් නොවන බව අප දන්නේ කෙසේ ද? (පාද සටහන බලන්න.)
9 යේසුස් වහන්සේ ශුද්ධාත්මය “උපකාරකයෙකු” ලෙස හැඳින්වූ සේක. උදාහරණයක් හැටියට, උන් වහන්සේ සිය අනුගාමිකයන්ට මෙසේ වදාළ සේක: “මම පියාණන් වහන්සේගෙන් ඉල්ලන්නෙමි, උන් වහන්සේ ඔබ සමඟ සදාකල් ම සිටින පිණිස වෙනත් උපකාරකයෙකු දෙන සේක. ඒ උපකාරකයාණෝ සත්‍යතාවේ ආත්මය ය. එය ලබා ගැනීමට ලෝකයට නොහැක. මක්නිසා ද ලෝකය එය දකින්නේවත් හඳුනන්නේවත් නැත; ඔබ එය අඳුනන්නහු ය. මක්නිසා ද එය ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ සිටී.” වෙනත් දේවල් අතර, එම “උපකාරකයාණෝ” ගුරුවරයෙක් වනු ඇත. මන්දයත් ක්‍රිස්තුස් වහන්සේ මෙසේ ද වදාළ සේක: “මාගේ නාමයෙන් පියාණන් වහන්සේ එවන උපකාරකයාණන්, එනම් ශුද්ධාත්මය, සියල්ල ඔබට උගන්වමින්, මා වදාළ සියල්ල ඔබට සිහිපත් කරවනු ඇත.” එම ආත්මය ක්‍රිස්තුස් වහන්සේ ගැන ද සාක්ෂි දරනු ඇති අතර, එමෙන් ම උන් වහන්සේ සිය ගෝලයන්ට මෙසේ සහතික වූ සේක: “මා නික්ම යන්නේ ඔබගේ ප්‍රයෝජනය උදෙසා ය. මා නික්ම නොගියොත් උපකාරකයාණන් ඔබ වෙතට කිසිසේත් පැමිණෙන්නේ නැත. නමුත් යා යුතු තැනට මා යන්නෙම් නම්, ඔහු ව මම ඔබ වෙත එවන්නෙමි.”—යොහන් 14:16, 17, 26 15:26; 16:7, NW.a
10. ශුද්ධාත්මය උපකාරකයෙක් බව ඔප්පු වී ඇත්තේ කිනම් ආකාරයන්ගෙන් ද?
10 පොදු යුගයේ 33 පෙන්තකොස්ත දවසේ දී, යේසුස් වහන්සේ ස්වර්ගයේ සිට, සිය අනුගාමිකයන් මතට පොරොන්දු වූ ශුද්ධාත්මය වැගිර වූ සේක. (ක්‍රියා 1:4, 5; 2:1-11) එම ආත්මය, උපකාරකයෙකු වශයෙන් දෙවියන් වහන්සේගේ කැමැත්ත හා අරමුණ පිළිබඳ ව ඔවුන්ට වැඩිමනත් අවබෝධයක් ලබා දුන් අතර, එමගින් උන් වහන්සේගේ අනාවැකිමය වචනය ද ඔවුන් හට එළිදරව් කරන ලදි. (1 කොරින්ති 2:10-16; කොලොස්සි 1:9, 10; හෙබ්‍රෙව් 9:8-10) එම උපකාරකයා යේසුස් වහන්සේගේ ගෝලයන්ට පොළොවේ සීමාව දක්වා සාක්ෂිකරුවන් වීමට බලය ද ලබා දුන්නේ ය. (ලූක් 24:49; ක්‍රියා 1:8; එපීස 3:5, 6) අද දින, කැප වූ ක්‍රිස්තියානියෙක් “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තුළින් දෙවියන් වහන්සේ සපයන ආත්මික සැපයුම්වලින් තමා ම ප්‍රයෝජන ලබා ගන්නේ නම්, අවබෝධය වැඩි කර ගැනීමට ශුද්ධාත්මය උපකාරවත් විය හැකි ය. (මතෙව් 24:45-47) යෙහෝවඃ වහන්සේගේ සේවකයෙකු වශයෙන් සාක්ෂි දැරීමට අවශ්‍ය ධෛර්ය හා ශක්තිය සැපයීම මගින් දෙවියන් වහන්සේගේ ආත්මයට උපකාරය සැපයිය හැකි ය. (මතෙව් 10:19, 20; ක්‍රියා 4:29-31) කෙසේ වෙතත්, ශුද්ධාත්මය වෙනත් ආකාරයන්ගෙන් ද දෙවියන් වහන්සේගේ ජනයාට උපකාර කරයි.
“කිව නොහැකි කෙඳිරිගෑම්වලින්”
11. යම් පරීක්ෂාවක් තමන් ව සම්පූර්ණයෙන් ම යටපත් කර දමන්නේ යයි පෙනෙන්නට තිබේ නම්, ක්‍රිස්තියානියෙක් කළ යුත්තේ කුමක් ද?
11 තමන් ව සම්පූර්ණයෙන් ම යටපත් කර දමන ආකාරයේ පරීක්ෂාවකට ක්‍රිස්තියානියෙක් මුහුණ දෙන්නේ නම්, ඔහු කළ යුත්තේ කුමක් ද? ශුද්ධාත්මය සඳහා යාච්ඤා කර, ක්‍රියා කිරීමට එයට ඉඩ හරින්න! “ආත්මයාණන්වහන්සේත් [ආත්මය NW] අපගේ දුර්වලකම්වලදී උපකාරකරන සේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම [ආත්මය ම NW] කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම් කරනසේක [කරයි NW]. ඒ ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] දෙවියන්වහන්සේගේ කැමැත්ත ලෙස ශුද්ධවන්තයන් උදෙසා මැදහත්කම් කරන බැවින්, සිත් [හදවත් NW] විමසන තැනන්වහන්සේ උන්වහන්සේගේ [ආත්මයේ NW] අදහස කුමක්දැයි දන්නාසේක” යයි පාවුල් පැවසී ය.—රෝම 8:26, 27.
12, 13. (අ) විශේෂයෙන් පරීක්ෂාකාරී අවස්ථාවන්හි ඔප්පු කරනු ලබන යාච්ඤාවන්ට රෝම 8:26, 27 අදාළ වනුයේ කෙසේ ද? (ආ) ආසියා දිස්ත්‍රික්කයේ දැඩි පීඩනයන්ට පාත්‍ර ව සිටි විට පාවුල් හා ඔහු සමඟ සිටි අය කළේ කුමක් ද?
12 දෙවියන් වහන්සේගේ ආත්මය මැදහත්කම් කරන එම ශුද්ධවන්තයන් නම්, ස්වර්ගික බලාපොරොත්තුවක් ඇති යේසුස් වහන්සේගේ ආලේප ලත් අනුගාමිකයන් ය. එහෙත් ඔබට ස්වර්ගික කැඳවීමක් හෝ භූමික බලාපොරොත්තුවක් තිබුණත්, ක්‍රිස්තියානියෙක් වශයෙන් ඔබට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ උපකාරය ලබාගත හැකි ය. යෙහෝවඃ වහන්සේ ඇතැම් අවස්ථාවන්හි විශේෂ යාච්ඤාවකට ඍජු පිළිතුරක් දෙන සේක. කෙසේ වුවද, ඇතැම් අවස්ථාවන්හි, ඔබට ඔබගේ හැඟීම් වචනින් පැවසිය නොහැකි පමණට ඔබ සංවේගයට පත් ව සිටිය හැකි අතර වචනින් නොපැවසෙන කෙඳිරිගෑම්වලින් පමණක් යෙහෝවඃ වහන්සේට කන්නලව් කළ හැකි ව සිටින්නට පුළුවන. ඇත්ත වශයෙන් ම, ඔබට වඩාත් ම හොඳ දෙය ඔබ නොදැන සිටිය හැකි අතර, ඔබ ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා නොකරනවා නම්, වැරදි සහගත දෙය ඉල්ලා සිටින්නට පවා පුළුවන. ඔබට ඕනෑ කරන්නේ උන් වහන්සේගේ කැමැත්ත සිදුවීම බව දෙවියන් වහන්සේ දන්නා බැවින්, ඔබට සැබවින් ම ඕනෑ කරන දෙය ද උන් වහන්සේ දන්නා සේක. මීට අමතර ව, තමන්ගේ ශුද්ධාත්මය මගින්, උන් වහන්සේ යාච්ඤා බොහොමයක් ස්වකීය වචනයේ වාර්තා කර තැබීමට සැලැස්සූ අතර, මේවා පරීක්ෂාකාරී අවස්ථාවන් හා සම්බන්ධ ව තිබේ. (2 තිමෝති 3:16; 2 පේතෘස් 1:21) එබැවින්, උන් වහන්සේගේ සේවකයෙකු වශයෙන්, ඔබ කරන්නට කැමති වන ප්රකාශනයන් හැටියට එවන් දේවානුභාවය ලත් යාච්ඤාවන්හි ප්‍රකාශ කර ඇති සමහරක් හැඟීම් කෙරෙහි බැලීමට යෙහෝවඃ වහන්සේට හැකියාවක් ඇති අතර, ඒවා උදෙසා ඔබට පිළිතුරු දෙන්නට ද උන් වහන්සේට පුළුවන.
13 පාවුල් හා ඔහු සමඟ සිටි අය ආසියාවේ පීඩා අත්දකින විට කුමක් ඉල්ලා යාච්ඤා කළ යුතුදැයි නොදැන සිටින්නට ඇත. ‘ඉසිලිය නොහැකි දුක් [පීඩා NW] බර තමන් පිට පැමිණි විට, තමන් මරණ තීන්දු ලැබුවාක් මෙන් ඔවුන්ට’ හැඟුණි. එහෙත් තමන් උදෙසා කන්නලව් කරන ලෙස අන්‍යයන්ගෙන් ඉල්ලා සිටි අතර මළවුන් නැවත නැගිටවිය හැකි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබූහ, එමෙන් ම උන් වහන්සේ ඔවුන් ව මුදාගත් සේක. (2 කොරින්ති 1:8-11, නව අනුවාදය) යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය ඇදහිලිවන්ත සේවකයන්ගේ යාච්ඤා අසා ඒවා මත ක්‍රියා කිරීම කොතරම් සහනයක් ද!
14. යෙහෝවඃ වහන්සේ යම් කලකට පරීක්ෂාවක් පවතින්නට ඉඩ හැරියොත්, කුමන යහපතක් ඉන් ප්‍රතිඵල විය හැකි ද?
14 සංවිධානයක් හැටියට ද දෙවියන් වහන්සේගේ ජනයා නිතර පරීක්ෂාවන්ගෙන් වට වී සිටිති. කලින් සඳහන් කළ පරිදි, Iවන ලෝක යුද්ධයේ දී ඔවුනට පීඩා කරන ලදි. ඒ අවස්ථාවෙහි ඔවුන්ට තමන්ගේ තත්ත්වය පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් නොතිබූ බැවින් කුමක් සඳහා යාච්ඤා කළ යුතුදැයි ඔවුන් හරියට ම නොදැන සිටියත්, අනාවැකිමය යාච්ඤා උන් වහන්සේගේ වචනයේ ගැබ් ව තිබූ අතර, යෙහෝවඃ වහන්සේ ම ඔවුන් උදෙසා ඒවාට පිළිතුරු දුන්සේක. (ගීතාවලිය 69, 102, 126; යෙසායා 12වන පරිච්ඡේදය.) එහෙත් යෙහෝවඃ වහන්සේ යම් කලකට පරීක්ෂාවන් පවතින්ට ඉඩ හරී නම් කුමක් කිව හැකි ද? සාක්ෂියක් දීම, ඇතැමෙකුට සත්‍යය වැළඳ ගැනීමට පෙලඹීමක් ඇති වීම, එමෙන් ම යාච්ඤා කිරීමෙන් හෝ විඳින්නන්ට වෙනත් ආකාරවලින් උපකාර කිරීමෙන් සහෝදර ප්‍රේමය පෙන්වීමට ක්‍රිස්තියානින් හට ප්‍රස්තාවක් උදා කරලීම මෙහි ප්‍රතිඵලය විය හැකියි. (යොහන් 13:34, 35; 2 කොරින්ති 1:11) යෙහෝවඃ වහන්සේ තමන්ගේ ජනයාට ස්වකීය ශුද්ධාත්මය මාර්ගයෙන් මඟ පෙන්වන බවත්, ඔවුන්ට වඩාත් හොඳ දෙය කරන බවත්, එමෙන් ම ස්වකීය පරිශුද්ධ නාමයට ගෞරවය හා විශුද්ධ බව අත්වන ආකාරයකට කාරණා හසුරුවන බවත් මතක තබා ගන්න.—නික්මයාම 9:16; මතෙව් 6:9.
කිසිවිටෙකත් ආත්මයට දුක් නොදෙන්න
15. ක්‍රිස්තියානින්ට යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය කෙරෙහි විශ්වාසය තැබිය හැක්කේ තමන් වෙනුවෙන් කුමක් කිරීමට ද?
15 එබැවින්, ඔබ යෙහෝවඃ වහන්සේගේ සේවකයෙකු නම්, පරීක්ෂාවන් අතරතුරේ දී සහ වෙනත් අවස්ථාවන්හි දී ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරන්න. අනතුරුව එහි මඟ පෙන්වීම අනුගමනය කිරීමට සහතික වන්න, මන්දයත් පාවුල් මෙසේ ලිව්වේ ය: “දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන්වහන්සේට [ශුද්ධාත්මයට NW] දුක් නොදෙල්ලා; මක්නිසාද උන්වහන්සේ [එය NW] තුළ නුඹලා මිදීමේ දවසට මුද්‍රාකරනු ලැබුවහුය.” (එපීස 4:30) දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය වනාහි, ඇදහිලිවන්ත ආලේප ලත් ක්‍රිස්තියානින් ‘පැමිණෙන්ට තිබූ දෙයෙහි—එනම් අමරණීය ස්වර්ගික ජීවිතය සඳහා මුද්‍රාවක් වූයේ ය හා මුද්‍රාවක් ව තිබේ. (2 කොරින්ති 1:22, NW; රෝම 8:15; 1 කොරින්ති 15:50-57; එළිදරව් 2:10) ආලේප ලත් ක්‍රිස්තියානින් හා භූමික බලාපොරොත්තුවක් ඇති අය යන දෙපාර්ශ්වයට ම තමන් වෙනුවෙන් බොහෝ දෑ කිරීමට යෙහෝවඃ වහන්සේගේ ආත්මය කෙරෙහි රැඳී සිටිය හැකි ය. ඇදහිලිවන්ත ජීවිතයක් ගත කිරීමට ඊට මඟ පෙන්වීම දිය හැකි අතර, දෙවියන් වහන්සේගේ අනුමැතිය නොලැබීමට, උන් වහන්සේගේ ශුද්ධාත්මය අහිමි වීමට, හා සදාකාල ජීවිතය ලබා ගැනීමට අසමත්වීමට මඟ පෙන්වන්නා වූ පව්කාර ක්‍රියාවන්ගෙන් වැලකී සිටීමටත් උපකාර කිරීමට ද ඊට හැකියාව ඇත.—ගලාති 5:19-21.
16, 17. ක්‍රිස්තියානියෙක් ශුද්ධාත්මයට දුක් දිය හැක්කේ කෙසේ ද?
16 ක්‍රිස්තියානියෙක් දැන හෝ නොදැන ශුද්ධාත්මයට දුක් දිය හැක්කේ කෙසේ ද? ඇත්තෙන් ම, එක්සත්කම වැඩිදියුණු කිරීමටත් සභාවේ වගකිව යුත්තන් පත් කිරීමටත් යෙහෝවඃ වහන්සේ ස්වකීය ආත්මය යොදා ගන්නා සේක. එබැවින්, සභාවේ සාමාජිකයෙක්, පත් කරන ලද වැඩිමහල්ලන්ට විරුද්ධ ව කොඳුරන්නට, නින්දාසහගත ඕපාදූප යනාදිය පතුරුවා හරින්නට යෙදුණේ නම්, ඔහු සමාදානය හා එක්සත් භාවය කරා දෙවියන් වහන්සේගේ ආත්මය දෙන මඟ පෙන්වීම අනුගමනය කරමින් සිටින්නේ නැත. පොදුවේ ගත් කල, ඔහු කරමින් සිටිනු ඇත්තේ ආත්මයට දුක් ගෙන දීමයි.—1 කොරින්ති 1:10; 3:1-4, 16, 17; 1 තෙසලෝනික 5:12, 13; යූද් 16.
17 බොරු කීම, කෝපය පැසවමින් තබා ගෙන සිටීම, සොරකම් කිරීම, නුසුදුසු කථාව, අශ්ලීල, නින්දිත හැසිරීම, හා අසභ්‍ය විහිළු යනාදිය කෙරෙහි ඇති නැඹුරුවාවට එරෙහි ව පාවුල් අනතුරු ඇඟවී ය. ක්‍රිස්තියානියෙක් නොදැනුවත් ව ම මේවා කෙරෙහි ඇදී යාමට තමාට ඉඩ හරින්නේ නම්, ඔහු කටයුතු කරනු ඇත්තේ, බයිබලයේ සඳහන්, ආත්මයේ අනුභාවයෙන් ලත් උපදෙස්වලට එරෙහි ව ය. (එපීස 4:17-29; 5:1-5) එසේ ය, මේ අයුරින් ඔහු දෙවියන් වහන්සේගේ ආත්මයට යම් තරමකට දුක් දෙමින් සිටී.
18. දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ආනුභාවය ලත් වචනයේ උපදෙස් නොසලකා හරින්නට පටන් ගන්නා ඕනෑ ම ක්‍රිස්තියානියෙකුට සිදුවිය හැක්කේ කුමක් ද?
18 ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේගේ ආත්මයෙන් ආනුභාවය ලත් වචනයේ උපදෙස් නොසලකා හැරීමට පටන් ගන්නා ඕනෑ ම ක්‍රිස්තියානියෙක්, හිතාමතා පව් කිරීමට සහ දිව්‍ය අනුග්‍රහය නොලැබීම ප්‍රතිඵල කරවිය හැකි ආකල්පයන් හෝ ගති ලක්ෂණ වර්ධනය කර ගැනීමට පටන් ගත හැකි ය. ඔහු එම මොහොතෙහි පාපය පුරුද්දක් ලෙස නොකරමින් සිටිය හැකි නමුත්, ඔහු ඒ දෙසට ගමන් කරමින් සිටිනවා විය හැකි ය. එවන් ක්‍රිස්තියානියෙක් ආත්මයේ මඟ පෙන්වීමට පටහැනි ව ගමන් ගන්නා අතර, ඊට දුක් දෙයි. ඒ අයුරින්, ඔහු ශුද්ධාත්මයේ උල්පත වන යෙහෝවඃ වහන්සේට ද එරෙහි වෙමින්, දුක් දෙමින් සිටිනවා ඇත. දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නෙකුට කිසි කලෙක එය කරන්නට වුවමනා නොවේ!
ශුද්ධාත්මය උදෙසා නොකඩවා යාච්ඤා කරන්න
19. යෙහෝවඃ වහන්සේගේ ජනයාට විශේෂයෙන් ම අද දින උන් වහන්සේගේ ආත්මය අවශ්‍ය වනුයේ මන්ද?
19 ඔබ යෙහෝවඃ වහන්සේගේ සේවකයෙක් නම්, උන් වහන්සේගේ ශුද්ධාත්මය උදෙසා නොකඩවා යාච්ඤා කරන්න. විශේෂයෙන් මෙම “අන්තිම දවස්වලදී,” තමන්ට මුහුණ පාන්නට සිදු ව ඇති අන්තරා සහිත කාලවල, ක්‍රිස්තියානින්ට දෙවියන් වහන්සේගේ ආත්මයේ උපකාරය අවශ්‍ය වේ. (2 තිමෝති 3:1-5) ස්වර්ගයෙන් පලවා හරින ලදුව දැන් පොළොව ආශ්රිත ව සිටින යක්ෂයා හා ඔහුගේ භූතයෝ, යෙහෝවඃ වහන්සේගේ සංවිධානයට එරෙහි ව මහත් කෝපයෙන් ක්‍රියා කරමින් සිටිත්. එබැවින්, පෙර කිසිදාකට වඩා තමන්ට මඟ පෙන්වීමට හෝ මෙහෙය වීමටත්, එසේ තමන්ට පැමිණෙන දුෂ්කරතා හා පීඩා විඳදරා ගැනීමට හැකියාව ලබා ගැනීමටත් දෙවියන් වහන්සේගේ ජනයාට උන් වහන්සේගේ ශුද්ධාත්මය අවශ්‍ය ව තිබේ.—එළිදරව් 12:7-12.
20, 21. යෙහෝවඃ වහන්සේගේ වචනයේ, ආත්මයේ, හා සංවිධානයේ මඟ පෙන්වීම අනුගමනය කළ යුත්තේ මන්ද?
20 යෙහෝවඃ දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධාත්මය මාර්ගයෙන් සපයන උපකාරය සඳහා නිතර අගය කිරීම පෙන්වන්න. උන් වහන්සේගේ ආත්මයේ අනුභාවය ලත් වචනය වන, බයිබලයේ මඟ පෙන්වීම අනුගමනය කරන්න. දෙවියන් වහන්සේගේ ආත්මයේ මඟ පෙන්වීම ලබන භූමික සංවිධානයට සම්පූර්ණයෙන් සහයෝගය දක්වන්න. ශුද්ධාත්මයට දුක් දෙනවා හා සමාන ශුද්ධ ලියවිල්ලට පටහැනි ක්‍රියාදාමයක් වෙත නැඹුරු වීමට ඔබට ම කිසිවිටෙකත් ඉඩ නාරින්න. මන්දයත් අවසානයේ මෙය ශුද්ධාත්මය ඔබෙන් ඉවත් ව යාමටත්, එසේ ආත්මික ව්‍යසනයකටත් මඟ පෙන්විය හැකි නිසා ය.—ගීතාවලිය 51:11.
21 යෙහෝවඃ වහන්සේගේ ආත්මයෙන් මඟ පෙන්වීම ලැබීම උන් වහන්සේ ව සතුටු කිරීමටත්, සාමකාමී හා ප්‍රීතිමත් ජීවිතයක් ලැබීමටත් ඇති එක ම මාර්ගය වෙයි. යේසුස් වහන්සේ, ශුද්ධාත්මය ‘උපකාරකයෙක්’ නොහොත් ‘සැනසිලිකාරයෙක්’ හැටියට හැඳින්වූ බව ද මතක තබා ගන්න. (යොහන් 14:16, NW පාද සටහන) එය මාර්ගයෙන් දෙවියන් වහන්සේ ක්‍රිස්තියානින්ට සැනසීම ලබා දී, පරීක්ෂාවන්ට මුහුණ දීමට ඔවුන් ව ශක්තිමත් කරන සේක. (2 කොරින්ති 1:3, 4) ශුද්ධාත්මය ශුභාරංචිය දේශනා කිරීමට යෙහෝවඃ වහන්සේගේ ජනයාට ශක්තිය ලබා දෙන අතර, කදිම සාක්ෂියක් දීමට ශුද්ධ ලියවිලිමය කරුණු මතකයට නැගීමට ද ඔවුන්ට උපකාර කරයි. (ලූක් 12:11, 12; යොහන් 14:25, 26; ක්‍රියා 1:4-8; 5:32) යාච්ඤාව තුළින් හා ආත්මයේ මඟ පෙන්වීමෙන්, ක්‍රිස්තියානින්ට ස්වර්ගීය ප්‍රඥාවෙන් යුක්ත ව ඇදහිල්ල පිළිබඳ පරීක්ෂාවන්ට මුහුණ දිය හැකි ය. එබැවින්, ජීවිතයේ සෑම තත්ත්වයක් යටතේ දී ම, ඔවුහු දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය සඳහා නොකඩවා යාච්ඤා කරති. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ ආත්මය උන් වහන්සේගේ ජනයාට මඟ පෙන්වයි. w92 9/15
[පාදසටහන්වල]
a ‘උපකාරකයෙක්’ ලෙස පුද්ගලාරෝපණය කර තිබුණ ද, ශුද්ධාත්මය පුද්ගලයෙකු නොවේ, මන්දයත් ග්‍රීක් භාෂාවෙන් ශුද්ධාත්මයට නපුංසක සර්ව නාමයක් (“එය” යනුවෙන් පරිවර්තනය කොට තිබේ) භාවිතා කරන බැවිනි. මීට සමාන ව හෙබ්‍රෙව් භාෂාවෙන් ස්ත්‍රී ලිංග සර්ව නාමයන් ප්‍රඥාව සඳහා භාවිතා කිරීමෙන් එය පුද්ගලාරෝපණය කොට තිබේ. (හිතෝපදේශ 1:20-33; 8:1-36) වැඩිදුරටත්, ශුද්ධාත්මය ‘වැගිරවනු’ ලැබී ය. මෙය පුද්ගලයෙක් සම්බන්ධයෙන් කළ නොහැක්කකි.—ක්‍රියා 2:33.
ප්‍රේමනීය පියෙක් සිය පුත්‍රයාට යහපත් දේවල් දෙන්නාක් මෙන්, එසේ ම ශුද්ධාත්මය ඉල්ලා යාච්ඤා කරන ස්වකීය සේවකයන්ට යෙහෝවඃ වහන්සේ එය දානය කරන සේක
දෙවියන් වහන්සේගේ ආත්මය යාච්ඤා පූර්වක ක්‍රිස්තියානින් සඳහා කන්නලව් කරන ආකාරය ඔබ දන්නෙහි ද?
ඔබගේ පිළිතුරු මොනවා ද?
◻ යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය උදෙසා යාච්ඤා කළ යුත්තේ මන්ද?
◻ ශුද්ධාත්මය උපකාරකයෙක් වන්නේ කෙසේ ද?
◻ ආත්මයට දුක් දීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද, එමෙන් ම අපට මෙසේ කිරීමෙන් වැළකී සිටිය හැක්කේ කෙසේ ද?
◻ ශුද්ධාත්මය උදෙසා නොකඩවා යාච්ඤා කර එහි මඟ පෙන්වීම අනුගමනය කළ යුත්තේ මන්ද?