සැබෑ නිදහස—කුමන උල්පතකින් ද?
“ගමනෙහි යෙදෙන මිනිසාට තමාගේ පියවර හැසිර වීමටවත් අයිතියක් නැත. අහෝ, යෙහෝවඃ වහන්ස, මා නිවැරදි කළ මැනව.”—යෙරෙමියා 10:23, 24, NW.
1, 2. බොහෝ දෙනෙක් නිදහස දෙස බලන්නේ කෙසේ ද, නමුත් තවත් කුමක් සැලකිල්ලට ගත යුතු ද?
ඔබ සැබෑ නිදහස අගය කරන බවට කිසි සැකයක් නැත. ඔබගේ ම අදහස් ප්‍රකාශ කිරීම සඳහා නිදහස් ව සිටින්නට, ඔබ ජීවත් වන තැන හා ජීවත් වන ආකාරය නිදහසේ තීරණය කරන්නට ඔබට වුවමනා වනු ඇත. ඔබ කරන රැකියාව තෝරා ගැනීමට, ඔබගේ ආහාර, සංගීතය, මිත්‍රයන් ආදිය තෝරා ගැනීමට ඔබට වුවමනා ය. ලොකු හෝ කුඩා හෝ වේවා, බොහෝ දේවල් සම්බන්ධයෙන් ඔබගේ මනාපය අනුව ඔබට තේරීමක් කරන්නට සිදුවේ. මඳ වශයෙන් හෝ කිසියම් තෝරා ගැනීමේ නිදහසක් නොමැති ව ආඥාදායක පාලකයන් යටතේ වහල් භාවයට පත්වීමට කිසි ම සාමාන්‍ය පුද්ගලයෙකුට වුවමනා වන්නේ නැත.
2 කෙසේ වෙතත්, අන්‍යයන්ට මෙන් ම සැබෑ නිදහසෙන් ප්‍රයෝජන ලබා ගත හැකි ලෝකයක් ඔබට ද ඕනෑ නොවේ ද? සෑම කෙනෙකුගේ ම ජීවිතය උපරිම අන්දමින් භුක්ති විඳිය හැකි වනු පිණිස, නිදහස ආරක්ෂා කරනු ලබන ලෝකයක් ඔබට ඕනෑ නොවේ ද? එසේ ම ලබා ගත හැකි ව තිබේ නම්, භය, අපරාධ, සාගින්න, දිළිඳුකම, දූෂණය, රෝග, හා යුද්ධ යනාදියෙන් ද නිදහස් ලෝකයක් ඔබට ඕනෑ නොවේ ද? ඇත්තෙන් ම එවන් නිදහස් භාවයන් අතිශයින් ආශා කරනු ලබන බව ස්ථිර ය.
3. අප නිදහස අනගි යමක් සේ සලකන්නේ මන්ද?
3 මනුෂ්‍යයන් වන අපට නිදහස ගැන මෙතරම් තදින් දැනෙන්නේ මන්ද? “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ආත්මයාණන්වහන්සේ [ආත්මය NW] ඇති තැන නිදහස්කම ඇත්තේය” යයි බයිබලය පවසයි. (2 කොරින්ති 3:17) එබැවින් යෙහෝවඃ වහන්සේ නිදහසේ දෙවියන් වහන්සේ ය. තව ද උන් වහන්සේ ස්වකීය ‘ස්වරූපයෙන් හා සමානත්වයෙන්’ අප මැවූ බැවින්, නිදහස අගය කරන්නටත් ඉන් ප්‍රයෝජන ලබන්නටත් හැකි වනු පිණිස උන් වහන්සේ අපට නිදහස් කැමැත්ත දානය කළ සේක.—උත්පත්ති 1:26.
වැරදි ලෙස යොදා ගනු ලැබූ නිදහස
4, 5. ඉතිහාසය පුරා නිදහස අනිසි ලෙස භාවිතා කර ඇත්තේ කෙසේ ද?
4 වෙනත් අය විසින් නිදහස් කැමැත්ත වැරදි ලෙස පාවිච්චි කිරීම නිසා, ඉතිහාසය පුරා මිලියන සංඛ්‍යාත ජනයා වහල් භාවයට, වද හිංසාවන්ට, නැතහොත් මරණයට පත් කරනු ලැබ තිබේ. දැනට වසර 3,500කට පමණ පෙර, “මිසරවරු ඉශ්රායෙල් පුත්‍රයන් . . . තද ලෙස මෙහෙකරන්ට ඔවුන්ට සැලැස්සුවෝය. . . . ඔවුන් ලවා කෙරෙවූ සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය” යයි බයිබලය සඳහන් කරයි. (නික්මයාම 1:12-14) පොදු යුගයට පෙර හතරවන ශතවර්ෂයේ ඇතන්ස් හා තවත් ග්‍රීක් නගර දෙකක වහලුන් සංඛ්‍යාව නිදහස් පොදු ජන සංඛ්‍යාව හා සැසඳීමේ දී 4ට 1ක් වන පමණට ගණනින් වැඩි වූ බව දි එන්සයික්ලෝපීඩියා අමෙරිකානා පවසයි. මෙම මූලාශ්‍රය මෙසේ ද පවසයි: “රෝමයේ වහලාට මුලින් ම කිසි අයිතිවාසිකමක් තිබුණේ නැත. කුඩා ම වැරැද්දට පවා ඔහු ව මරණයට පත් කළ හැකි විය.” කොම්ප්ටන්’ස් එන්සයික්ලෝපීඩියා පවසනුයේ මෙසේ ය: “රෝමයේ වහල් මෙහෙය රජයේ අත්තිවාරම විය. . . . කෙත්වල වහලුන් බොහෝ විට වැඩ කළේ දම්වැල්වලින් බඳිනු ලැබ ය. රාත්‍රියේ දී ඔවුන් ව එකට බැඳ අඩක් පමණ පොළෝ මට්ටමෙන් යට තනා තිබූ විශාල සිර මැදිරි තුළ අගුල් දමනු ලැබිණි.” වහලුන් බොහෝ දෙනෙක් වරක් නිදහස් ව සිටි බැවින්, කැඩී බිඳී ගිය එම ජීවිතවල තික්තකම කල්පනා කර බලන්න!
5 ශතවර්ෂ ගණනාවකට, ක්‍රිස්තියානි ලෝකය අති පීඩාකාරී වහල් වෙළඳාමක නියැලුණේ ය. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “එක්දහස් පන්සිය ගණන්වල පටන් එක්දහස් අටසිය ගණන් දක්වා කාලය අතරතුර, යුරෝපීයයෝ කළු ජාතික වහලුන් මිලියන 10ක් පමණ අප්‍රිකාවේ සිට බටහිර භූගෝලාර්ධයට නැව්ගත කළෝ ය.” මෙම 20වන ශතවර්ෂයේ, රජයේ ප්‍රතිපත්තියක් වශයෙන් මිලියන සංඛ්‍යාත යුද්ධ හිරකරුවන් මරණය දක්වා ම වෙහෙස මහන්සි වී වැඩ කළෝ ය, නැතහොත් නාට්සි යුද්ධ සිර කඳවුරුවල ඝාතනය කර දමන ලදි. මිනීමරු නාට්සි පාලන සමයට අනුබල දීම ප්‍රතික්ෂේප කළ නිසා සිර භාරයට ගන්නා ලද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් බොහෝ දෙනෙක් ද මෙයට ගොදුරු වූවන් අතර වූහ.
බොරු ආගමට වහල් භාවය
6. ඉපැරණි කානාන් හි බොරු ආගම ජනයා ව වහල් භාවයට පත් කළේ කෙසේ ද?
6 බොරු ආගම කෙරෙහි විශ්වාසය තැබීම නිසා ප්‍රතිඵල වූ වහල් භාවයක් ද ඇත. උදාහරණයක් හැටියට, ඉපැරණි කානාන් හි, දරුවන් ව මොලෙක්ට පූජා කරන ලදි. මෙම බොරු දෙවියාගේ විශාල ප්‍රතිමාවක් තුළ ඇවිලෙන ගිනි උදුනක් තිබුණා යයි කියනු ලැබේ. පණ ඇති දරුවන් ව එම පිළිමයේ විහි දී ඇති අත් මතට විසි කරනු ලැබූ අතර එතුළින් පහත ගින්න තුළට වේගවත් ව වැටිණි. ඇතැම් ඉශ්රායෙල්වරුන් පවා මෙම බොරු වන්දනාවේ යෙදුණාහ. ඔවුන් ‘තමන්ගේ පුත්‍රයන් ද දූවරුන් ද මොලෙක්ට දවා කැප කළෝ ය. ඒ පිළිකුල කිරීමට උන් වහන්සේ ඔවුන්ට අණ කළේවත් එය උන් වහන්සේගේ හෘදයට පැමුණුණේවත් නැත’ කියා දෙවියන් වහන්සේ වදාරණ සේක. (යෙරෙමියා 32:35) මොලෙක් තම වන්දනාකරුවන් හට ගෙනා ප්‍රයෝජනය කුමක් ද? එම කානානීය ජාතීන් හා මොලෙක් වන්දනාව අද දින කොහි ද? ඒ සියල්ල අද දින අතුරුදහන් වී ඇත. එය වනාහි බොරු වන්දනාවකි, සත්‍යයක් මත නොව බොරු මත පදනම් වූ වන්දනාවකි.—යෙසායා 60:12.
7. ඉතා අප්‍රසන්න කිනම් පුරුද්ද ඇස්ටෙක් ආගමේ කොටසක් වී ද?
7 ශතවර්ෂ ගණනාවකට පෙර මධ්‍යම අමෙරිකාවේ, ඇස්ටෙක්වරු බොරු ආගමට වහල් ව සිටියහ. එක් එක් තැනැත්තාට පුද්ගලික වූ දෙවිවරුන් සිටියේ ය, ස්වභාවික බලවේග දෙවිවරුන් ලෙස වන්දනාමාන කරනු ලැබිණි. එදිනෙදා ජීවිතයේ විවිධ ක්‍රියාවන්ට දෙවිවරු සිටියහ, පැළෑටිවලට සිය දෙවිවරුන් සිටියහ, සිය දිවි හානිකර ගැනීම්වලට පවා දෙවිකෙනෙක් සිටියේ ය. දි ඒන්ෂන්ට් සන් කින්ඩම්ස් ඔෆ් දි අමෙරිකාස් මෙසේ පවසයි: “ඇස්ටෙක් මැක්සිකෝවේ ආණ්ඩුව ඉහළ සිට පහළ දක්වා සංවිධානය කර තිබුණේ අදෘශ්‍යමාන බලයන්ට හැකි තරම් මිනිස් හෘදයන් දීම මඟින් ඔවුන්ට අනුබල දීමටත්, එමඟින් ඔවුන් සන්සිඳුවාලීමටත් ය. ලේ දෙවිවරුන්ගේ බීම විය. දෙවිවරුන් සඳහා යාග ලෙස සුදුසු හිරකරුවන් ව බිලි වශයෙන් ලබා ගැනීමට නිමා නොවූ සුළු පරිමාණයේ යුද්ධ පැවතිණ.” වර්ෂ 1486 විශාල පිරමීඩාකාර දේවාලය කැප කරනු ලැබූ විට, දහස් සංඛ්‍යාත බිලි “යාග පූජා කරන ගල මත අත පය දිග හැර දමන තෙක් පෙලගසා තබනු ලැබී ය. ඔවුන්ගේ හෘදයන් කපා මදක් ඉරු ඉදිරියේ ඔසවා තබනු ලැබුවේ” ඉරු දෙවියන් සැනසීමට ය. ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා පවසනුයේ මෙසේ ය: “වන්දනාකරුවෝ ඇතැම් අවස්ථාවන්හි බිල්ලට ගොදුරු වන තැනැත්තාගේ ශරීරයේ කොටස් අනුභව කළහ.” එහෙත්, එම වත් පිළිවෙත් ඇස්ටෙක් රාජධානිය හෝ එහි බොරු ආගම ගලවා ගත්තේ නැත.
8. ඇස්ටෙක්වරුන් අතර සිදු වූවාට වඩා අති මහත් වැඩියෙන් සිදුකරන නවීන දින ඝාතනයක් ගැන සංචාරක උපදේශකයෙකුට කියන්නට තිබුණේ කුමක් ද?
8 වරක් සංචාරක පිරිසක් කෞතුකාගාරයක් නරඹමින් සිටි විට, ඇස්ටෙක් පූජකයන් යෞවන මනුෂ්‍යයෙකුගේ හෘදය කපා විවෘත කිරීම විදහා දැක්වූ එක්තරා ප්‍රදර්ශන කුටියක් අසලට පැමිණියෝ ය. සංචාරක උපදේශකයා එහි ප්‍රදර්ශනයට තබා තිබූ දෙය ගැන විස්තර කළ විට, සංචාරක කණ්ඩායමේ සමහරෙක් විස්මයට පත් වී සුසුමක් හෙලුවෝ ය. එම උපදේශකයා කථා කරමින්: “යෞවන පුරුෂයන් ව මිථ්‍යා දෙවියන්ට පූජා කිරීමේ ඇස්ටෙක් පිළිවෙත මගින් ඔබ කලබල වී සිටින බව මට පේනවා. එහෙත්, මෙම 20වන ශතවර්ෂයේ පමණක් මිලියන සංඛ්‍යාත යෞවනයන් යුද්ධයේ දෙවියන්ට පූජා කර තිබෙනවා. එය ඊට වඩා හොඳ ද?” යයි පැවසී ය. යුද්ධයක දී එක ම ආගමේ ජනයා බොහෝ විට විරුද්ධ පැතිවල එකිනෙකා මරා ගනිමින් සිටියත්, සියලු ජාතීන්ට අයත් ආගමික නායකයන් ජයග්‍රහණය සඳහා යාච්ඤා කර හමුදාවන්ට ආශීර්වාද කිරීම සැබෑ කාරණයකි.—1 යොහන් 3:10-12; 4:8, 20, 21; 5:3.
9. ඉතිහාසයේ වෙන යම් ඕනෑ ම පුරුද්දකට වඩා වැඩියෙන් ළදරු ජීවිත බිලිගන්නේ කුමකින් ද?
9 මොලෙක්ට, ඇස්ටෙක් දෙවිවරුන්ට, හෝ යුද්ධයට පූජා කරනු ලැබූ යෞවනයන්ගේ සංඛ්‍යාවට වඩා වැඩියෙන් ලොව පුරා වසරකට නූපන් දරුවන් මිලියන 40ක් හෝ 50ක් පමණ සංඛ්‍යාවක්, ගබ්සාවෙන් මරා දමනු ලැබේ. හුදෙක් පසුගිය වසර තුන තුළ ගබ්සා කරන ලද සංඛ්‍යාව, මෙම ශතවර්ෂයේ සියලු යුද්ධයන්හි ඝාතනය කරන ලද මිනිසුන් මිලියන සියයට වඩා වැඩි ය. වසර 12ක නාට්සි පාලනය තුළ ඝාතනය කරන ලද මුළු සංඛ්‍යාවට වඩා කීප ගුණයකින් වැඩි ළදරුවන් සංඛ්‍යාවක් සෑම වසරක් පාසා ම ගබ්සා කරනු ලැබේ. මොලෙක්ට හෝ ඇස්ටෙක් දෙවිවරුන්ට පූජා කරන ලද සියල්ලන්ට වඩා වාර දහස් ගණනකින් ළදරුවන් සංඛ්‍යාවක් මෑත දශකයන් තුළ ගබ්සා කර ඇත. එහෙත් ගබ්සාවක් කර ගන්නා බොහෝ දෙනෙකුට (නැතහොත් වැඩි දෙනෙකුට), එසේත් නැතහොත් ඒවා කරන්නා වූ අය, ආගමක් ඇතැයි පවසති.
10. ජනයා බොරු ආගමට වහල් ව සිටින අනෙක් ආකාරය කුමක් ද?
10 බොරු ආගම වෙනත් මාර්ගවලින් ද ජනයා ව වහල් භාවයට පත් කරයි. උදාහරණයක් වශයෙන්, මළා වූ අය ආත්ම ලෝකයක ජීවත් ව සිටින්නේ යයි බොහෝ දෙනෙක් විශ්වාස කරති. එවන් බොරු ඇදහීමක එක් ප්‍රතිඵලයක් නම්, මළා වූ මුතුන් මිත්තන් කෙරෙහි භය හා ඔවුන්ගෙන් වාසි ලබා ගත හැකි වේවි යයි සිතා ඔවුන්ට වන්දනාමාන කිරීමයි. මෙය, මළවුන් ව සංසිඳුවාලීමට ජීවත්වන්නන්ට උපකාර ලබා දෙන්නට තමන්ට හැකි යයි කියා සිටින යකැදුරන්ට, ආත්ම මාධ්‍යයන්ට, හා පූජකයන්ට ජනයා ව වහල් කරවීමකි. ඇත්තෙන් ම, මෙම ප්රශ්නය ඇසීම ඉතා යෝග්‍ය ය, මෙවන් වහල්කම්වලින් මිදෙන්නට කිසියම් මාර්ගයක් තිබෙනවා ද? ද්විතීය කථාව 18:10-12; දේශනාකාරයා 9:5, 10. w92 4/1
[4, 5වන පිටුවල පින්තූරය]
ඉතිහාසය පුරා සමහරෙක් තම නිදහස් කැමැත්ත අන්‍යයන් ව වහල් භාවයට පත් කිරීමට වැරදි ලෙස පාවිච්චි කර තිබේ