දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල පවත්වන්න
කොලොස්සි පොතෙන් මූලික කරුණු
ගැලවීම සඳහා දෙවියන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුළ ඇදහිල්ල තැබීම අත්‍යවශ්‍යය. නමුත් එවැනි ඇදහිල්ලක් පවත්වාගෙන යාම අභියෝගයකි. කුඩා ආසියාවේ එපීසයට නැගෙනහිරින් වූ නගරයක් වන කොලොස්සියේ විසූ ක්‍රිස්තියානින්ගේ තත්ත්වය වූයේ එයයි. ඒ මන්ද? මක්නිසාදයත්, ගැලවීම රඳා පවතින්නේ, චර්මච්ඡේදනය, යමෙක් ආහාරයට ගන්නා දෙය, යම් වත් පිළිවෙත් පැවැත්වීම මත යැයි එහි සිටි බොරු ගුරුවරු වැරදි සහගත ලෙස කියා සිටීම නිසා ය.
පැහැදිලි ව ම ප්‍රේරිත පාවුල් කොලොස්සියේ විසූ ක්‍රිස්තියානින්ගේ ආත්මික සුභ සාධනය සම්බන්ධ ව සැලකිලිමත් ව සිටි අතර, ඔවුන් දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ තුළ තබා තිබූ ඇදහිල්ල දිගට ම පවත්වාගෙන යනවා දැකීමට ඔහුට උවමනා විය. එබැවින්, ප්‍රේරිත වරයා රෝමයේ පළමු සිරගතවීමේ අවසන් අවධියේ දී (පො.යු. 60-61 දී පමණ), වැරදි මත මැඩපැවැත්වීමටත්, ඔවුන්ගේ ඇදහිල්ල නඟා සිටුවීමටත් සැලසුම් කරන ලද ලිපියක් ඔහු කෙලොස්සිවරුන් වෙත ලීවේ ය. ඔහුගේ ප්‍රේමණීය වදන්වලින් අපටත් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේ ද කියා දැන් අපි බලමු.
ක්‍රිස්තුස් වහන්සේගේ පදවිය අගය කරන්න
තම ලිපියේ මූලාරම්භයේ දී, පාවුල් ක්‍රිස්තුස් වහන්සේගේ පදවිය පිළිබඳ අගය කිරීම හුවා දැක්වී ය. (1:1–2:12) ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ ව ඔවුන්ගේ ඇදහිල්ල සහ තම සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ඔවුන් දැක්වූ ප්‍රේමය ගැන ඔහු ඔවුනට ප්‍රශංසා කළේ ය. අනෙකුත් සියලු දේ ක්‍රිස්තුස් වහන්සේ තුළින් මවනු ලැබූ බවටත් උන් වහන්සේ සභාවේ නායකයාණන් බවටත්, මළවුන්ගේ කලුඳුලාණන් බවටත් පෙන්වීමෙන් පාවුල් ක්‍රිස්තුස් වහන්සේගේ අග්රගන්යභාවය ගෙන හැර පෑවේ ය. දෙවියන් වහන්සේ හා සමගි වීම සිදුවන්නේ, ප්‍රඥාවේ සහ දැනගැන්මේ සියලු වස්තු නිධාන කර ඇති ක්‍රිස්තුස් වහන්සේ මගිනි. මේ සියල්ල හේතුකොටගෙන ක්‍රිස්තියානීන් ක්‍රිස්තුස් වහන්සේ සමඟ එක්සත්කමින් හැසිරිය යුතු අතර, මිනිස් දර්ශනවාදයන් තුළින් කොල්ලයක් කරගෙන තමන් ව ඉවත රැගෙන යාමට ඔවුන් කිසිවෙකුට ඉඩ නොදිය යුතු ය.
ක්‍රිස්තුස් වහන්සේ තුළින්, දෙවියන් වහන්සේ ව්‍යවස්ථාව ඉවත් කළ සේක. (2:13-23) එය යේසුස් වහන්සේ මිය ගිය වධකණුව මත සංඛේතාත්මක ව ඇන ගසන ලදි. ව්‍යවස්ථාව තුළින් පනවනු ලැබූ අවශ්‍යතාවයන්, ‘පැමිණෙන්ට තුබූ දේවල ඡායාවක් පමණි. නමුත් යථා තත්ත්වය ක්‍රිස්තුස් වහන්සේගේ ය.’ ක්‍රිස්තුස් වහන්සේට තදින් ඇලී සිටීම මගින්, ස්වර්ගයේ අමරණීය ජීවිතය නැමැති ත්‍යාගය තමන්ගෙන් අහිමි කිරීමට ඔවුන් කිසිවෙකුට ඉඩ නොදෙනු ඇත.
දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ අගය කරන්න
අලුත් පුද්ගලිකත්වය පැළඳගෙන, ක්‍රිස්තුස් වහන්සේගේ අධිකාරිත්වයට යටත් වන ලෙස ඊළඟට පාවුල් කොලොස්සි වරුන්ගෙන් ඉල්ලා සිටීයි. (3:1-17) උසස් තැන්හි තිබෙන දේවල තම මනස තබාගෙන සිටීම මගින්, ආත්මික කාරණා වලට ජීවිතයේ ප්‍රධාන ස්ථානය දෙමින් සිටිනු ඇත. වැරදි ආකල්පයන් හා කථාවන් ඉවත දැමීම මීට අවශ්‍ය කර වී ය. දයානුකම්පාව, මනසින් යටහත් පහත් ව සිටීම, සහ ප්‍රේමය වැනි ගුණාංගවලින් තමන් ව ම සරසා ගත්තා නම් ඔවුන් මොනතරම් ආශිර්වාද ලද්දන් වනු ඇත් ද! යේසුස් වහන්සේ තුළින් දෙවියන් වහන්සේට ස්තූති කරමින්, උන් වහන්සේගේ නාමයෙන් ඔවුන් සියල්ල කරන ලද්දේ නම්, ක්‍රිස්තුස් වහන්සේගේ සමාදානය ඔවුන්ගේ හදවත් පාලනය කරනු ඇත.
යෙහෝවඃ දෙවියන් වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි ඇති අගය කිරීම, අන්‍යයන් සමඟ ඇති ක්‍රිස්තියානියෙකුගේ සම්බන්ධතාවයන්ට ද බලපෑ යුතු ය. (3:18–4:18) භාර්යාවන්, ස්වාමි පුරුෂයන්, දරුවන්, දාසයන්, සහ ස්වාමිවරුන් දෙවියන් වහන්සේ කෙරෙහි භයෙන් යුක්ත ව සහ ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ ව හඳුනා ගැනීමෙන් යුතු ව තම වගකීම් ඉටු කළ යුතු ය. එමෙන් ම නොකඩවා අත්නෑර යාච්ඤාවේ යෙදී සිටීම හා ප්‍රඥාවෙන් යුතු ව හැසිරීම කොතරම් අවශ්‍ය ද!
කොලොස්සිවරුනට ලියන ලද පාවුල්ගේ ලිපිය, ජීවනයේ ත්‍යාගය අපෙන් අහිමි කරවන බොරු ඉගැන්වීම්වලින් වැළකී සිටීමට අපට උපකාරී වෙයි. යෙහෝවඃ වහන්සේගේ හා ස්වකීය පුත්‍රයාණන්ගේ අධිකාරිත්වය පිළිබඳ ව ප්‍රේරිතවරයාගේ අවධාරණය, අන්‍යයන් සමඟ ඇති අපගේ සම්බන්ධතාවයන් හට කදිම බලපෑමක් ඇති කරවයි. එමෙන් ම අප දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි අපගේ ඇදහිල්ල දිගට ම පවත්වා ගතහොත් මහත් ආශිර්වාද අප ලබනවා නොඅනුමාන ය. w90 11/15
ලවොදිකයට යැවූ ලිපිය: “මේ ලියුම නුඹලා අතරෙහි කියෙවූ පසු, මේක ලවොදිකයන්ගේ සභාවෙහි ද කියවනු ලබන්ට සලස්වාපල්ලා; ලවොදිකයෙන් ලැබෙන ලියුම නුඹලාත් කියවන්ට බලාගනිල්ලා.” යයි ප්‍රේරිත පාවුල් කොලොස්සිවරුනට ලීවේ ය. (කොලොස්සි 4:16) ලවොදිකය වනාහී, පිලදෙල්පියා සහ එපීසය වැනි නගරවලට පාරවල් මගින් සම්බන්ධ වී තිබූ බටහිර කුඩා ආසියාවේ පිහිටා තිබූ ධනවත් නගරයකි. පෙනෙන අයුරින්, පාවුල් එම නගරයේ සේවය නොකළ ද, ඔහු එපීසයේ කළ වැඩ ලවොදිකය දක්වා විහිදිණ. පාවුල් ලවොදිකයේ සිටි ක්‍රිස්තියානීන් වෙත ලිපියක් යැවුව ද, සමහරක් විශාරදයන් විශ්වාස කරන්නේ, එය ඔහු එපීසයට යැවූ ලිපියේ පිටපතක් බවයි. ලවොදිකයට ලියන ලද ලිපිය අපට බයිබලය තුළ හමු නොවන්නේ, මන්දයත් සමහර විට අපට අද දින අවශ්‍ය කරන උපදෙස් එහි නොතිබුණා විය හැකි නිසා ය, එසේ නැතහොත් සමහර විට අනෙකුත් බයිබල් අකරාදි ලිපි තුළ ප්‍රමාණවත් ලෙසින් සඳහන් කරනු ලැබ තිබූ කරුණු නැවත සඳහන් ව තිබුණා විය හැකි නිසා ය.
ලවොදිකයේ නටබුන්