දෙවිගේ ස්වරූපයෙන්ද නැතහොත් තිරිසනාගේ ස්වරූපයෙන්ද?
මුල්ම මිනිසා වන ආදම්ව ‘දෙවිගේ පුත්‍රයා’ ලෙස හඳුන්වනු ලැබුවා. (ලූක් 3:38) මේ විශේෂ ගෞරවය කිසිම සතෙක් කවදාවත් අද්දැක නැහැ. ඒ වුණත්, සතුන්ට මෙන්ම මිනිසුන්ටද පොදු වන දේවල් බොහොමයක් තිබෙන බව බයිබලය පෙන්නුම් කරනවා. උදාහරණයක් හැටියට, මිනිසුන් මෙන්ම සතුන්ද ප්‍රාණ වෙනවා. දෙවි ආදම්ව මැවූ අවස්ථාවේදී “මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය” කියා උත්පත්ති 2:7හි පවසනවා. (ඇල අකුරු අපගේය) පළමුවන කොරින්ති 15:45හි ඊට එකඟව මෙසේ පවසනවා: “පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේය.”—ඇල අකුරු අපගේය.
සතුන් සම්බන්ධයෙන් උත්පත්ති 1:24 මෙසේ පවසනවා: “පොළොව වනාහි ඒ ඒ වර්ග ලෙස තිරිසනුන්ද බඩගා යන ජාතීන්ද පොළොවේ මෘගයන්ද යන ජීවමාන සත්වයන් [ප්‍රාණ, NW] ඒ ඒ වර්ග ලෙස [හටගනීවා].” මේ නිසා, අපව දෙවිගේ ස්වරූපයෙන් මැවූ බව අනාවරණය කිරීමෙන් බයිබලය මිනිසුන්ව ගෞරවනීය තත්වයක තැබුවත්, සතුන් සමඟ බලන විට භූමික ප්‍රාණීන් හැටියට අපේ පහත් තත්වය ගැනද එය අපට සිහිගන්වනවා. ඒ වුණත්, මිනිසාට මෙන්ම තිරිසනාටද පොදු වන තවත් යමකුත් තිබෙනවා.
බයිබලය මෙසේ පැහැදිලි කරනවා: “මනුෂ්‍ය පුත්‍රයන්ට සිද්ධවෙන්නේ තිරිසනුන්ට සිද්ධවෙන දේමය; ඔවුන්ට සිද්ධවෙන්නේ එක දෙයක්ය. උන් නසින්නාක්මෙන් ඔව්හුත් නසින්නෝය; . . . මෙසේ තිරිසනුන්ට වඩා මනුෂ්‍යයාට වාසියක් [උත්තරීතරබවක්, NW] නැත. . . . සියල්ලෝම එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.” ඔව්, මරණයේදී මිනිසා සහ සතුන් බොහෝදුරට සමානයි. දෙගොල්ලන්ම මුලින් සිටි තත්වයට, එනම් “පස්වලට,” “දූවිල්ලට” නැවත යනවා.—දේශනාකාරයා 3:19, 20; උත්පත්ති 3:19.
නමුත් මිනිසුන් මරණය නිසා දරාගත නොහැකි වේදනාවක් අද්දකින්නේ ඇයි? සදාකල් ජීවත් වෙන්න අපි සිහින මවන්නේ ඇයි? එමෙන්ම අපට ජීවිතයේ අරමුණක් තිබිය යුත්තේ ඇයි? නිසැකවම, අපි සතුන්ට වඩා බෙහෙවින් වෙනස්!
අපි සතුන්ගෙන් වෙනස් වන පැති
ආහාර ගැනීම, නිදාගැනීම හා දරුවන් බිහි කිරීම යන දේවල් හැර වෙන කිසිම අරමුණක් නොමැතිව ජීවත් වෙන්න ඔබ සතුටු වනු ඇද්ද? එම සිතුවිල්ල මගින් දැඩි මත දරන පරිණාමවාදීන්ව පවා පසුබෑමට ලක් කරනවා. පරිණාමවාදියෙකු වන ඩබ්සන්ස්කි මෙසේ ලියයි: “මේ බුද්ධිමත්, . . අඥෙයවාදී සැක සහිත අදහස්වලින් යුත් වත්මන් මිනිසාට කලක සිට පවතින මතු දැක්වෙන ප්‍රශ්න ගැන අඩුම තරමින් පෞද්ගලිකවත් කුතුහලයෙන් යුතුව කල්පනා කර බැලීමෙන් වැළකී සිටිය නොහැකිය: මගේ ජීවිතය හා ජීවත් වීමේ ක්‍රියාදාමය දිගටම පවත්වාගැනීම හැර මගේ ජීවිතයට යම් අර්ථයක් හා අරමුණක් තිබෙනවාද? මා ජීවත් වන විශ්වයට යම් අර්ථයක් තිබෙනවාද?”
ඇත්තෙන්ම, මැවුම්කරුවෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කිරීම මගින්, ජීවිතය සඳහා අර්ථයක් පෙරදැරි කරගෙන කෙරෙන මිනිසාගේ සෙවිල්ල නවතින්නේ නැහැ. ඉතිහාසඥ ආනල්ඩ් ටොයින්බීව උපුටා දක්වමින් රිචඩ් ලීකි මෙසේ ලියනවා: “[මිනිසාගේ] මෙම අධ්‍යාත්මික උරුමය නිසා, තමා සහ තමා උපත ලබා තිබෙන විශ්වය අතර ඇති සම්බන්ධය තේරුම්ගැනීමට වූ ජීවිතාන්ත අරගලයකට ඔහු කොටු වී සිටිනවා.”
එහෙත් මිනිස් ස්වභාවය, අපේ මූලාරම්භය මෙන්ම අපේ අධ්‍යාත්මිකත්වය හා සම්බන්ධ මූලික ප්‍රශ්න දිගටම නොවෙනස්ව පවතිනවා. මිනිසා සහ සතුන් අතර අතිවිශාල පරතරයක් පැහැදිලිව පවතිනවා. එම පරතරය කොතරම් විශාලද?
යා කළ නොහැකි තරම් විශාල පරතරයක්ද?
පරිණාමවාදය හා සම්බන්ධ මූලික ගැටලුවක් වන්නේ මිනිසුන්ව සතුන්ගෙන් වෙන් කර දක්වන විශාල පරතරයයි. ඇත්තෙන්ම, එය කොතරම් විශාලද? ඒ ගැන පරිණාමවාදීන් විසින්ම පවසා තිබෙන දේවලින් සමහරක් සැලකිල්ලට ගන්න.
දහනවවන සියවසේදී පරිණාමවාදයට ප්රමුඛ ලෙස පක්ෂව කරුණු දැක්වූ පුද්ගලයෙකු වන ටොමස් එච්. හක්ස්ලි මෙසේ ලිව්වා: “මිනිසා සහ තිරිසනා අතර පවතින පරතරයේ විශාලත්වය කිසිම කෙනෙක් මට වඩා ප්‍රබල ලෙස ඒත්තුගෙන නැහැ . . . එයට හේතුව බුද්ධිමත් ලෙස හා තර්කානුකූල ලෙස කතා කිරීමේ මවිතකර උරුමය . . . ඔහුට පමණක් හිමිවීමයි; [තවද] එම උරුමය හේතුවෙන්, ඔහුගේ තිරිසන් සහචරයන්ට වඩා ඔහු තත්වයෙන්, ඉතා උස් කඳු මුදුනක සිටින්නාක් මෙනි.”
“මිනිසුන් හා අනිකුත් අග්‍රේශයන් අතර සැලකිය යුතු කැඩීමක් පවතිනවා . . . ‘අපේ මොළය, අපේ සැකැස්මට සමාන අග්රේශයෙකුගේ තිබේය කියා අපි අපේක්ෂා කළ හැකි මොළයේ ප්‍රමාණයට වඩා තුන්ගුණයක් විශාලයි’” කියා පරිණාමවාදියෙකු වන මයිකල් සී. කෝබැලස් අදහස් පළ කරනවා. එමෙන්ම ස්නායුවේදියෙකු වන රිචඩ් එම්. රෙස්ටැක් මෙසේ පැහැදිලි කරනවා: “අප දන්නා විශ්වය තුළ එය ගැනම අවබෝධ කරගන්න ප්රයත්න දරන එකම ඉන්ද්රිය [මිනිස්] මොළයයි.”
ලීකි මෙසේ පිළිගන්නවා: “හෘදය සාක්ෂිය විද්‍යාඥයන්ට උභතෝකෝටික ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා; එය විසඳීමට නොහැකි දෙයක් බව සමහරු විශ්වාස කරනවා. අපි සෑම කෙනෙක්ම අද්දකින ස්ව අවබෝධය මොනතරම් තදින් බලපානවාද කිවහොත් එය අපි සිතන හා කරන සෑම දෙයක්ම ආලෝකවත් කරනවා.” ඔහු මෙසේද පවසනවා: “ඇත්තෙන්ම භාෂාව මගින් හෝමො සපියන්ස් [මිනිසුන්] හා ස්වාභාවික ලෝකයේ පවතින සෙසු දේවල් අතර පරතරයක් ඇති කරනවා.”
මිනිස් මනසේ තවත් විස්මය දනවන දෙයකට යොමු දක්වමින් පීට’ රසල් මෙසේ ලියනවා: “මතකය, ඉතාමත් වැදගත් මිනිස් ඉන්ද්රිය ශක්තීන්ගෙන් එකක් වන බවට කිසිම සැකයක් නැහැ. එය නොමැතිව ඉගෙනගැනීමක් නැත . . . බුද්ධියේ ක්‍රියාකාරිත්වයක් නැත, භාෂාවේ වර්ධනයක් නැත, සාමාන්‍යයෙන් මිනිසෙකු වීම හා බැඳී පවතින . . . ගුණාංග කිසිවක් පවතින්නේ නැත.”
තවදුරටත්, කිසිම සත්වයෙක් නමස්කාරයේ නිරත වන්නේ නැහැ. මේ අනුව එඩ්වඩ් ඕ. විල්සන් මෙම අදහස පළ කරනවා: “ආගමික විශ්වාස දැරීමට තිබෙන සහජ නැඹුරුවාව, මිනිස් මනසේ ඉතාමත් සංකීර්ණ හා ප්රබලතම බලය වන අතර, බොහෝදුරට එය මිනිස් ස්වභාවයේ පහ කළ නොහැකි අංගයක්.”
“මිනිස් චර්යාව ඩාවින්වාදයට ප්‍රහේලිකාවක් වන තවත් බොහෝ දේ මතු කරනවා” කියා පරිණාමවාදියෙකු වන රොබට් රයිට් පිළිගන්නවා. “හාස්‍යරසයෙන් හා සිනාසීමෙන් ඉටු වන කාර්යයන් මොනවාද? මිනිසුන් පණ අදින විට පාපෝච්චාරණය කරන්නේ ඇයි? . . . ශෝකවීමෙන් හරියටම ඉටු වන කාර්යය කුමක්ද? . . . මියගොස් සිටින පුද්ගලයා දැන් නැති නිසා ශෝකවීම ජානවලට ආධාරයක් වන්නේ කෙසේද?”
පරිණාමවාදියෙකු වන ඉලේන් මො’ගන් මෙසේ පිළිගන්නවා: “මිනිසා ගැන තිබෙන ඉතාමත් කැපීපෙනෙන අභිරහස් සතර වන්නේ මේවායි: (1) ඔවුන් කකුල් දෙකෙන් ඇවිදින්නේ ඇයි? (2) ඔවුන්ගේ ලොම් ඔවුන්ට අහිමි වී තිබෙන්නේ ඇයි? (3) ඔවුන්ගේ මොළ විශාල ලෙස වර්ධනය වී තිබෙන්නේ ඇයි? (4) ඔවුන් කතා කරන්න ඉගෙනගත්තේ ඇයි?”
පරිණාමවාදීන් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ කෙසේද? මො’ගන් මෙසේ පැහැදිලි කරනවා: “මේ ප්‍රශ්නවලට හැමදාමත් දෙන උත්තරය: (1) ‘අපි තවමත් දන්නේ නැහැ’; (2) ‘අපි තවමත් දන්නේ නැහැ’; (3) ‘අපි තවමත් දන්නේ නැහැ’ හා (4) ‘අපි තවමත් දන්නේ නැහැ’ කියායි.”
අස්ථිර වාදයක්
“කාලයක් පුරා පවතින මිනිස් පරිණාමය පිළිබඳ පොදු චිත්‍රයක් සැපයීම” තමාගේ ඉලක්කය වූ බව ද ලොප්සයිඩඩ් ඒප් (පැත්තකට බර වූ වානරයා) නමැති පොතේ කතුවරයා සඳහන් කළා. “නිගමනවලින් බොහොමයක් මූලික වශයෙන් ආදිකාලීන දත්, ඇට කටු හා පාෂාණ කිහිපයක් මත පදනම් වූ අනුමානයන් වී තිබෙනවා.” ඇත්තෙන්ම, ඩාවින්ගේම මුල්ම වාදය පවා බොහෝදෙනෙක් පිළිගන්නේ නැහැ. රිචඩ් ලීකි මෙසේ පවසනවා: “අපේ පරිණාමය සිදු වූ ආකාරය පිළිබඳ ඩාවින් කළ විස්තරය පසුගිය අවුරුදු කිහිපය වන තෙක්ම මානව විද්‍යාව කෙරෙහි බලපැවැත්වූ අතර, එය වැරදි බව ඔප්පු වුණා.”
ඉලේන් මො’ගන් පවසන පරිදි, පරිණාමවාදීන් බොහෝදෙනෙක් “අවුරුදු තිහකට කලින් තමන් දැන සිටියා කියා සිතූ උත්තර කෙරෙහි තිබෙන විශ්වාසය නැති කරගෙන තිබෙනවා.” මේ අනුව, පරිණාමවාදීන් අනුබලය දුන් වාදයන්ගෙන් සමහරක් බිඳවැටීම පුදුමයක් නොවෙයි.
ඛේදජනක ප්‍රතිවිපාක
පිරිමි සතෙක් ගැහැනු සතුන් කීදෙනෙකු සමඟ සංවාසයෙහි යෙදෙනවාද යන්න, පක්ෂයන් දෙක අතර පවතින ශරීරයේ ප්‍රමාණයට සම්බන්ධ වන බව ඇතැම් අධ්‍යයනවලින් හෙළි වී තිබෙනවා. පිරිමි මිනිසුන් මෙන් පිරිමි චිම්පන්සීන් ගැහැනු චිම්පන්සීන්ට වඩා මදක් විශාල නිසා, මිනිසුන්ගේ ලිංගික පුරුදු චිම්පන්සීන්ට සමාන විය යුතු බව ඇතැම් අය නිගමනය කර තිබෙනවා. එනිසා චිම්පන්සීන්ට මෙන් මිනිසුන්ටද එක් ලිංගික සහකාරයෙකුට වැඩියෙන් ඇතුව සිටීමට ඉඩ දිය යුතුයි කියා සමහරු තර්ක කරනවා. ඇත්තෙන්ම, බොහෝදෙනෙක් එසේ කරනවා.
නමුත් චිම්පන්සීන්ට වඩාත් හොඳින් ක්‍රියාත්මක කළ හැකියි කියා පෙනෙන යමක් මිනිසුන්ට ඉමහත් විපත්තියක් වන බවට සාමාන්‍යයෙන් ඔප්පු වී තිබෙනවා. සැබෑ කරුණුවලින් පැහැදිලි වන්නේ අසංවර ලිංගික හැසිරීම් බිඳුණු පවුල්, ගබ්සාවන්, රෝග, මානසික හා චිත්තවේගීය අසහනය, ඊර්ෂ්‍යාව, පවුල තුළ සිදු වන සාහසිකකම හා දිගටම වේදනාකාරි තත්වයන් අද්දකින නිසි ලෙස ඇති දැඩි නොකළ දරුවන් යනාදියෙන් අවලක්ෂණ වූ දුක්ඛිතභාවයට මං සලසන පාරක් බවයි. මිනිසුන් සතුන්ගේ ස්වභාවයට සමාන නම් ඒ දේවලින් මානසික වේදනාව හටගන්නේ ඇයි?
පරිණාමවාදී චින්තනය මගින් මිනිස් ජීවිතයේ පරිශුද්ධභාවය ගැනද සැක මතු කරනවා. දෙවි නොපවතින බවත්, අප වඩාත් දියුණු සතුන් මිස වෙනත් විශේෂත්වයක් නැති අය ලෙස අප ගැනම සිතනවා නම්, මිනිස් ජීවිතය පරිශුද්ධ දෙයක් වීමට තිබෙන පදනම කුමක්ද? අපේ බුද්ධිය විය හැකිද? එය එසේ වුවා නම්, ද හියුමන් ඩිෆරන්ස් (මිනිසුන් තුළ ඇති වෙනස) නමැති පොතේ මතු කළ මෙම ප්‍රශ්න ඉතාමත් යෝග්‍ය වෙනවා: “[පරිණාමයේ] වාසනාවන්ත සිදුවීම් සියල්ලම අපට තිබූ පමණින්ම බල්ලන්ට හා බළලුන්ට වඩා වටිනා අය ලෙස මිනිසුන්ට සැලකීම සාධාරණ විය හැකිද?”
පරිණාමවාදී චින්තනයේ අලුත් අදහස් පතළ වෙත්ම එය “නොවැළැක්විය හැකි ආකාරයකින් සදාචාරාත්මක සංකල්පවලට ගැඹුරින් බලපායි” කියා සදාචාරමය සත්වයා නමැති පොත පවසනවා. නමුත්, එච්. ජී. වේල්ස් පැවසූ ලෙස, ස්වාභාවික වරණය නමැති ක්‍රියාවලියේදී, “සවිමත් උපායදක්ෂ අය, දුර්වල මෙන්ම අනුන්ව විශ්වාස කරන අයව අභිභවා යනවා.” එම ක්‍රියාවලිය හේතුවෙන් අප බිහි වූවාය යන උපකල්පනය පදනමක් වශයෙන් ගතහොත්, ඒ පදනම සදාචාරාත්මක වශයෙන් ඉතා කෲරයි.
වසර ගණනාවක් පුරා සදාචාරය ක්‍රමානුකූලව කා දමා තිබෙන පරිණාමවාදීන්ගේ මත බොහොමයක් චින්තකයන්ගේ ඊළඟ රැල්ලට ගසාගෙන ගොස් තිබීම සැලකිල්ලට යොමු කළ යුතු යමක්. නමුත් ශෝකජනක දෙය වන්නේ එවන් මත මගින් සිදු කළ හානි තවමත් පැවතීමයි.
නමස්කාර කළ යුත්තේ මැවුම්කරුටද නැතහොත් මැවිල්ලටද?
පිළිතුරු සඳහා පරිණාමවාදය යමෙකුගේ දෙනෙත්, මැවිල්ල දෙසට මිස මැවුම්කරු වෙතට යොමු නොකරයි. අනිත් අතට, බයිබලය අපේ සදාචාරාත්මක සාරධර්ම හා ජීවිතයේ අරමුණ සඳහා සැබෑ දෙවි වෙතට අපේ දෙනෙත් යොමු කරවයි. වැරදි කිරීමෙන් වැළකී සිටීමට අපිට මහත් සටනක යෙදීමට සිදු වී තිබෙන්නේ ඇයි කියාත්, මරණය නිසා මිනිසුන් පමණක් දැඩි සේ ශෝක වන්නේ ඇයි කියාත් එහි පැහැදිලි කෙරේ. තවදුරටත්, නරක දේවල් කරන්න අපි නැඹුරු වීමට හේතු සම්බන්ධයෙන් එය කරන පැහැදිලි කිරීම මිනිස් මනසට හා හෘදයට සැබෑ යමක් සේ පෙනී යයි. සෑහීම ගෙන දෙන එම පැහැදිලි කිරීම සලකා බලන්න අපි ඔබට ආරාධනා කරනවා.
[7වන පිටුවේ පින්තූර]
මිනිසා හා තිරිසනා අතර පරතරය මොනතරම් විශාලද?