අපරාධවලට එරෙහිව කරන සටන පරාජය වෙමින්
“හැම කෙනෙකුම වෑයම් කරන්න සූදානම්ව හිටියා නම් එක රැයකින් අපරාධ මර්දනය කරන්න තිබුණා” කියා පොලිස් මූලස්ථානයේ කලින් සිටි ප්‍රධානියෙක් පැවසූ දෙය එංගලන්තයේ ලිව’පූල් ඩේලි පෝස්ට්හි පළ වී තිබුණා. ඇත්තෙන්ම, හැම කෙනෙකුම නීතියට කීකරු වුණා නම්, අපරාධ අතුරුදහන් වී තිබේවි.
එහෙත්, හුඟාක් තැන්වල අපරාධ වැඩි වෙමින් පවතිනවා. වසර දහස්ගණනකට පෙර ප්‍රකාශ කළ වචන අපේ කාලයට අදාළ වෙනවා: “පොළොව [දෙවි] ඉදිරියෙහි දූෂ්‍යවූවාය, පොළොව බලාත්කාරයෙන් පිරී තිබුණාය.” (උත්පත්ති 6:11)—අනිත් පිටුවේ කොටුව බලන්න.
අපරාධ පටන්ගන්නේ සුළුවෙන්
සුළු දේවලදී නීතිය කඩ කිරීම මගින්, ලොකු දේවලදීත් එසේ කඩ කිරීමට කෙනෙකුව සකස් කළ හැකියි. තම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම කාරණය කාවැද්දවීමට ගුරුවරියක් මෙසේ පැහැදිලි කළා: “බැංකු මංකොල්ලකරුවන් පටන්ගන්නේ පාසැලෙන් පැන්සල් සොරකම් කරලයි.”
ඉන්පසු, රැකියා ස්ථානයේදී බොහෝවිට සිදු වන්නේ මොකක්ද? අසනීපයයි කියමින් ජනයා වැඩට නොගොස් සිටින නමුත් ඔවුන්ට හිමි නැති මූල්‍යමය උපකාර ලබාගන්නවා. මේ වංචනික ක්‍රියාකලාපය කෙනෙකු සිතනවාට වඩා සාමාන්‍ය දෙයක්. උදාහරණයකට, ජර්මනියේ, සේවකයන් විසින් වාර්තා කළ අසනීප නිවාඩුවලින් සියයට 6ක් වැටෙන්නේ බදාදාටයි; සියයට 10ක් අඟහරුවාදාවලට හා සියයට 16ක් බ්රහස්පතින්දාවලට වැටෙන නමුත් විශාල සංඛ්‍යාවක් වන සියයට 31ක් සඳුදාවලටත්, ඉහළම සංඛ්‍යාව වන සියයට 37 සිකුරාදාවලටත් වැටෙනවා! ඇත්තෙන්ම හුඟක් වෙලාවට ජනයා අසනීප වෙන්නේ සඳුදා හා සිකුරාදා දිනවලද? නැත්නම් මේක තවත් ආකාරයක සොරකමක්ද?
අපරාධකරුවන් කවුද?
නිසැකවම, බලපුළුවන්කාර තත්වයන්වල සිටින ජනයා විසින් සිදු කළ අපරාධවලින් ඇති වන ඵලවිපාක තරම් දෙයක්, සාමාන්‍ය ජනයා විසින් සිදු කරන අපරාධ ක්‍රියාවලින් සාමාන්‍යයෙන් සිදු නොවෙයි. එක්දහස් නවසිය හැත්තෑගණන්වල මුල් භාගයේදී, එවැනි බරපතළ දේශපාලනික අපරාධයක් මගින් එක්සත් ජනපදය මොනතරම් සෙලෙව්වාද කියනවා නම්, ඒ හා සම්බන්ධ නම ඉංග්‍රීසි භාෂාවේ කොටසක් බවට පවා පත් වුණා.
බාන්හාට් ඩික්ෂනරි ඔෆ් නියූ ඉංග්ලිෂ් (නව ඉංග්‍රීසි බාන්හාට් ශබ්දකෝෂය) පවසන පරිදි, “වෝට’ගේට්” (“දුෂ්ට හැසිරීම”) යනු “නින්දාවක්, විශේෂයෙන්ම හානිකර තොරතුරු හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් සැඟවීමට වෑයමක් ඇතුළත්ව තිබෙන දෙයක්.”a එය තවදුරටත් මෙහෙම කියනවා: “වෝට’ගේට් කල්ක්‍රියාව 1970 ගණන්වල භාෂාව මත මැකිය නොහැකි විදිහට කාවැදුණා. එම වචනය තවත් අලුත් වචන බිහි කළ අතර, නින්දාව හෝ දූෂණය ඇඟවීමට -ගේට් යන වචනය ඈඳගත්තා.”
එදා පටන් දුෂ්ට හැසිරීම් ගණනාවක්ම, අපරාධ පැතිර ඇති බව, නීතිය පිළිපැදීමෙහි ආදර්ශයක් තැබිය යුතු අය අතර පවා අපරාධ පැතිර ඇති බව පෙන්වා තිබෙනවා. ජපානයෙහි දේශපාලනික දූෂණය කොයිතරම් පැතිරගියාද කිවහොත් ඊට විරුද්ධව නැඟී සිටීමට 1990 ගණන්වල මුල් භාගයේදී අලුත් නීති පනවන්න සිදු වුණා. වර්ෂ 1992දී බ්‍රසීලයේ ජනාධිපතිව දූෂණ චෝදනා මත බලයෙන් පහ කරනු ලැබුවා.
දෙමාපියන්, පාසැල් ගුරුවරුන් හා නීති-පනවන නිලධාරීන් ඇතුළු අධිකාරිත්ව තනතුරුවල සිටින්නන්ගේ වැරදි ක්‍රියා මහත් ජනකායකගේ අපරාධ ක්‍රියාවලට දායක වන බව පැහැදිලි නොවෙයිද?
හොඳ අභිප්රායන් තිබිලා මදි
අපරාධ මුලිනුපුටා දමන්න ආණ්ඩුවලට අවශ්‍ය බවට වැඩිදෙනෙක් එකඟ වෙනවා. එහෙත්, විශ්‍රාම ගිය නිලධාරියෙක් තමාගේ රට ගැන මෙසේ සටහන් කළා: “විනිශ්චය වැඩය වේගවත්ව හා දක්ෂ ලෙස කිරීමේ උපක්‍රමයක් යොදා නැති තරම්. ප්‍රමාණවත් විනිසුරුවන් නැහැ; එමනිසා ඉන්න ටිකදෙනාට අධික වෙහෙසක් දරන්න සිද්ධ වෙලා. පොලිස් බලෑණියේ සේවකයන් අඩුයි; සන්නද්ධ වීමත් අඩුයි. පොලිස් සේවකයන්ට ඇතැම් අවස්ථාවලදී නිසි වෙලාවට පඩි ගෙවන්නේ නැහැ; ඒ නිසා පගා ගන්න ඔවුන් තුළ පෙලඹීමක් ඇති වෙනවා.”
ඉතාලි සඟරාවක් වූ ලා චිවිල්ටා කාටෝලිකා “සංවිධානාත්මක අපරාධ හමුවේ රජයේ බෙලහීනතාව” ගැන අසතුට පළ කරන අතර, ඉන් පසුව මෙසේද සඳහන් කරයි: “අපරාධවලට එරෙහිව නීති-පනවන ආයතන හා අධිකරණ මණ්ඩලය පැත්තෙන් බලන කල ඒවා බැඳීමකින් ක්‍රියා කරන බව පිළිගත හැකි නමුත්, සංවිධානාත්මක අපරාධ මත එයින් බලපෑමක් ඇති වී නැති බව පැහැදිලියි; ඊට පටහැනිව, සංවිධානාත්මක අපරාධවල ශක්තිය හා බලය වැඩි වෙමින් තිබෙනවා.”
අපරාධවලට එරෙහි වීමට ආණ්ඩුවල හොඳ අභිප්රායන් තිබිලා විතරක් මදි. සංක්‍රමණය හා විනිශ්චය කටයුතු සඳහා යුරෝපියානු තානාපති අනීට ග්‍රඩින් යෝග්‍ය ලෙස මෙසේ නිරීක්ෂණය කළා: “මත්ද්‍රව්‍ය හොරෙන් ගෙන්වීම හා වෙළඳාමට, නීති විරෝධීව මිනිසුන්ව ගෙන්වාගැනීමට හා නීති විරෝධීව සංක්‍රමණයට, සංවිධානාත්මක අපරාධවලට, ප්‍රෝඩාව හා දූෂණයට එරෙහිව කරන සටනේදී සහය වීම සඳහා වඩා හොඳ, වැඩි බලපෑමකින් යුතු වැඩපිළිවෙළවල් අපිට අවශ්‍යයි.”
නීතික නිලධාරීන්ගේ බැඳීම කොයිතරම්ද?
අපරාධවලට එරෙහි වීමට ඇත්තෙන්ම කොයිතරම් දුරකට අධිකාරීන් බැඳී සිටිනවාද යන්න ගැන සමහරු ප්‍රශ්න කරනවා. එක රටක කලින් සිටි පොලිස් ස්ථානාධිපති කෙනෙක් පවසන්නේ, හැමදෙනාම, අඩුම තරමින් ප්රසිද්ධියෙන්වත්, “දූෂණය හා ආර්ථික අපරාධ හෙළාදකින” බවයි. එහෙත්, අපරාධ හා දූෂණය මුලිනුපුටා දැමීමට සියල්ලන් තුළ අව්‍යාජ ආශාවක් නැහැ. පෙනෙන විදිහට නීතික නිලධාරීන් ඇතුළු වැඩිදෙනෙකුගේ අදහස, පගා ගැනීම, ප්‍රෝඩාව හා සොරකම, සඵලව ඉදිරියට යෑමට පිළිගත හැකි මාර්ග බවයි.
රේගු නිලධාරියෙකු ප්‍රකාශ කළ පරිදි, “අපරාධ කරන බොහෝදෙනෙකුට නිදැල්ලේ ඉන්න ඉඩහැර තිබීම” නිසැකවම අපරාධ වැඩි වෙන්න එක හේතුවක්. උදාහරණයක් වශයෙන්, “අපරාධකරුවන් අහු නොවෙන විදිහට අපරාධ කරන” බව රුසියානු ප්රකාශනයක් කියා සිටියි. තවදුරටත් ප්රකාශනය පවසන්නේ, මෙය, “ඉතා දරුණුතම අපරාධ කිරීමට සාමාන්‍ය ජනයාව පොලඹවන බව පෙනෙන්ට තිබෙනවා” කියායි. මෙය වසර 3,000කට පමණ පෙර බයිබල් ලේඛකයා පැවසූ මේ දෙයම වගෙයි: “නපුරු ක්‍රියාවකට විරුද්ධව නඩු තීන්දුව ඉක්මනින් ඉෂ්ට නොවන නිසා මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුර කිරීමට ඔවුන් තුළ නිර්භීතවන්නේය.”—දේශනාකාරයා 8:11.
අපරාධවලට එරෙහිව ආණ්ඩු යෙදී සිටින්නේ පරාජය වන සටනක බව පැවසීම අතිශයෝක්තියක් නොවෙයි. ජර්මන් පුවත්පතක් වූ රයිනිෂ’ ම’කූර් මෙසේ ප්‍රකාශ කරයි: “ප්‍රචණ්ඩකාරි අපරාධ වැඩිවීම සම්බන්ධයෙන් මහජනයාගේ භය මුල් බැසගෙන තිබෙන අතර, සාමාන්‍ය දේශපාලන-පක්ෂ අරගල මගින්වත්, පෙනෙන්න තිබෙන තරම් තත්වය දරුණු නැති බවට යෝජනා කරන සංඛ්‍යා ලේඛනවලින්වත් මෙම භය සැහැල්ලු කළ නොහැකියි.”
අපරාධ පෙනෙන තරම්ම දරුණු නැහැ කියා පෙනෙන්න තිබුණත්, ඇත්ත තත්වය ඊට විරුද්ධ දේ බවයි පෙනෙන්න තිබෙන්නේ. එහෙත්, සර්ව ශුභවාදය සඳහා ඉඩකඩ තිබෙනවා. වෙන කවරදාකටත් වඩා අපරාධ-තොර ලොවක් ළඟා වෙමින් පවතින අතර, එය දැකීමට ඔබට ජීවත් විය හැකියි. අපි එහෙම කියන්නේ ඇයි කියලා ඊළඟ ලිපිය පෙන්වා දෙයි.
[පාදසටහන]
a වෝට’ගේට් නමින් නම් කළ ගොඩනැඟිල්ලකට කඩාවැදීමේ හේතුවෙන් කාරණය ප්‍රසිද්ධ වූ නිසා වෝට’ගේට් කල්ක්‍රියාව වශයෙන් එසේ නම් කරනු ලැබුවා. එම නින්දාව අවසානයේදී එ.ජ. ජනාධිපති රිචඩ් නික්සන්ගේ ඉල්ලා අස්වීමට හා ඔහුගේ ප්‍රධාන උපදේශකවරුන් කීපදෙනෙකුවම සිරගත කිරීමට මඟ පෑදුවා.
[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සඵලව ඉදිරියට යෑමට පිළිගත හැකි මාර්ගයක් හැටියටයි බොහෝදෙනෙක් අපරාධ සලකන්නේ
[5වන පිටුවේ කොටුව]
ප්‍රචණ්ඩත්වයෙන් පිරි ලොවක්
බ්‍රසීලය: “වැඩි වෙමින් පවතින ප්‍රචණ්ඩකාරි රැල්ලට ප්‍රතික්‍රියාවක් වශයෙන්, [රියෝ ද ජනේරෝහි] නගරබද වීදිවල පිරී සිටින සියදහස් ගණන් ජනයා තමන්ගේ නගරය වෙළාගෙන තිබෙන අපරාධ පිළිබඳව භය හා කෝපය පළ කරනවා.”—ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්‍රිබ්‍යුන්.
චීනය: “චීනයේ යළිත් කල්ලි මතු වෙමින් පවතින අතර, විශාල අපරාධ මර්දනය කළ නොහැකි බව පෙනෙන්න තිබෙනවා. . . . පොලිසියට ගණන් කරන්න බැරි විදිහට කල්ලිවල හා ‘රහස් සංගම්වල’ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වැඩි වන බව චීන ප්‍රවීණයන් පවසනවා.”—ද නියූ යෝක් ටයිම්ස්.
ජර්මනිය: “ප්‍රචණ්ඩත්වයට මං සෙවීමට සූදානම හා එසේ කිරීමට කෙනෙකුව පොලඹවන තත්වය අතර පරතරය සෑහෙන්න අඩු වී තිබෙනවා. ඒ නිසා ප්රචණ්ඩත්වය එදිනෙදා සිදු වන දෙයක් බවට පත්වීම පුදුමයක් නොවෙයි.”—රයිනිෂ’ ම’කූර්.
මහා බ්‍රිතාන්‍යය: “ප්රචණ්ඩත්වයේ මට්ටම ඉහළ නැඟ ඇති අතර, වරදකරු පළමු උපක්‍රමය වශයෙන් ප්රචණ්ඩත්වය යොදාගැනීමට ඇති ඉඩ කඩෙහි වැඩිවීමක් තිබෙනවා.”—දි ඉන්ඩිපෙන්ඩන්ට්.
අයර්ලන්තය: “ඩබ්ලින් නගරය අභ්‍යන්තරයේ හා ඒ අවට දුප්පත් බටහිර ප්‍රදේශවල මාෆියා-මෝස්තරයේ අපරාධ කණ්ඩායම් හටගෙන තිබෙනවා. කල්ලි වැඩි වැඩියෙන් අවිසන්නද්ධව සිටිනවා.”—දි ඉකොනොමිස්ට්.
මෙක්සිකෝ: “මෙතරම් කෙටි කාලෙකින් අපරාධ ශීඝ්‍රයෙන් වැඩි වී තිබීම බියගන්වන්නක්.”—ද වෝල් ස්ට්‍රීට් ජර්නල්.
නයිජීරියාව: “පවුල් ඒකකය, පල්ලි, මුස්ලිම් පල්ලි, පාසැල් හා සමාජශාලා, යෞවනයන්ව අපරාධවලින් වළක්වාගැනීමේ තම කාර්යභාරයෙන් අසමත් වී තිබෙනවායයි පොලිස් නියෝජිත ෆ්රෑන්ක් ඕඩීට මහතා පවසනවා.”—ඩේලි චැම්පියන්.
පිලිපීනය: “පිලිපීනයෙහි සෑම පවුල් දහයකින්ම හයකට තම නිවෙස්වල හෝ වීදිවල ආරක්ෂිතබවක් හැඟෙන්නේ නැති බව පවසනවා.”—ඒෂියාවීක්.
රුසියාව: “මාෆියා-මෝස්තරයේ කල්ලි, ලෝකයේ ආරක්ෂිතම කාලයක් වූ සෝවියට් යුගයේ නගරයක් ඇත්තෙන්ම අපරාධ රජයන නගරයක් බවට පත් කර තිබෙනවා. . . . ‘මම මුර සංචාරයේ යෙදුණු අවුරුදු 17 පුරා මොස්කව්වල මේ තරම් කුරිරු අපරාධ මම කවදාවත් දැකලා නැහැ’ යි පොලිස් ලූතිනන් ගෙනාඩි ග්රෝෂිකෝව් පවසයි.”—ටයිම්.
දකුණු අප්‍රිකාව: “මර්දනය කළ නොහැකි මෙන්ම ඇත්තෙන්ම පාලනය කළ නොහැකි ප්රචණ්ඩත්වය අප සෑම කෙනෙකුටමත්, අප කරන හැම දේකටමත් තර්ජනයක් වී තිබෙනවා—සම්පූර්ණ වෙනසක් සිදු කළ යුතුයි.”—ද ස්ටා’.
තායිවානය: “තායිවානයේ . . . මංකොල්ලකෑම්, හිංසා කිරීම් හා මිනීමැරීම් සමාජය තුළට ටිකෙන් ටික ඇතුල් වෙලා . . . ඇත්තෙන්ම, අපරාධ සංඛ්‍යාව වැඩි වෙමින් පවතින අතර සමහර අවස්ථාවලදී බටහිර රටවල ඒවාටත් වැඩියි.”—ද නියූ යෝක් ටයිම්ස්.
එක්සත් ජනපදය: “එ.ජ. කාර්මික ලෝකයේ ප්රචණ්ඩම රටයි. . . . වෙනත් කිසිම කාර්මික රටක් ඒ අහලකටවත් එන්නේ නැහැ.”—ටයිම්.