ගැටලුවලින් තොර පාරාදීසයක් සිහිනයක් පමණක්ද?
“එතන කොයිතරම් සාමයක් තියෙනවද!” අමෙරිකා එක්සත් ජනපදයේ ආයිඩාහෝ ප්‍රාන්තයේ පිහිටි රෙඩ්ෆිෂ් විල ඉහළින් ඇති පයින් වනාන්තරයෙන් මැවෙන දසුන ඇත්තෙන්ම ශාන්තදායක එකක් වුණා. “මං හිතුව පාරාදීසයත් ඒ වගේම තමයි” කියා සංචාරකයා පැවසුවා.
මධ්‍යධරණී දූපතක් වන සයිප්‍රස්හි දකුණු වෙරළේ ඉරු දීප්තිමත්ව පායා තිබුණා. මුහුදු රැළි සෙමින් සෙමින් ඉතා මෘදු ලෙස වෙරළට ගැසුවා. කඳු ප්රපාතයක් මුදුනේ පිහිටි අවන්හලක සිට මේ දසුන නරඹන අමුත්තෙක් මෙසේ පැවසුවේ පුදුමයෙන්: “මේ තමයි පාරාදීසය!”
අපගෙන් වැඩිදෙනෙක් මේ වගේ දර්ශන පිළිබඳ මතකයන් අගේ කොට සලකනවා. නමුත් එදිනෙදා ජීවිතයේ අමිහිරි යථාර්ථයන් වසන් කරමින් බොහෝවිට පාරාදීසමය වටාපිටාවන් බොරු මවාපෑමක් කරන බව අවට වාසීන්ට වැටහෙනවා: රොකී කඳුවැටියේ ගස්වලින් පිරි කුඩා කඳුවල ලැව්ගිනි ඇති වෙනවා; මුහුදේ දූෂණය මාළුන්ට බලපානවා; අන්තිමේදී මිනිසුන් අතරේ—ජීවිත තර්ජනයට ලක් වන අන්තර්ජාතික සහ අන්තර් ප්‍රජා ගැටුම් ඇති වෙනවා.
පාරාදීසය—ඒ මොකක්ද?
ඔබ පාරාදීසයක් චිත්‍රයට නඟාගන්නේ කෙසේද? ද නියූ ෂෝට’ ඔක්ස්ෆ’ඩ් ඉංග්ලිෂ් ඩික්ෂනරි, එහි මුල් නිර්වචනය මෙලෙස ඉදිරිපත් කරනවා: “උත්ප[ත්ති] 2, 3හි විස්තර කර තිබෙන ඒදන් උයන.” මෙය යොමු දක්වන්නේ, දෙවි පළමු මනුෂ්‍යයා වූ ආදම්ව පදිංචි කළාවූ ප්‍රදේශය පිළිබඳ බයිබලයේ මුල් පොතේ විස්තරයටයි. ඒ මුල් පාරාදීසයේ, “දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ” ගස් බහුල ලෙස වැඩුණා.—උත්පත්ති 2:9.
එම ශබ්දකෝෂයේ සටහන් වී ඇති දෙවන නිර්වචනය, “ක්‍රිස්තියානි හා මුස්ලිම් දේවධර්මයේ ස්වර්ගය” සමඟ “පාරාදීසය” සම්බන්ධ කරන නමුත් තවදුරටත් මෙසේද පවසනවා: “දැන් වැඩි වශයෙන්ම එය කාව්‍ය[මය] ස්වරූපයක් ගන්නවා.” කෙසේවුවත්, අපේ සංචාරකයාට සහ අමුත්තාට පාරාදීසය “සියල්ල පරදන අලංකාරය හෝ මහත් ප්‍රීතිය ඇති ප්‍රදේශයක්;” එය ශබ්දකෝෂයේ තුන්වන නිර්වචනයයි.
දාසයවන සියවසේ විසූ ඉංග්‍රීසි ජාතික රාජ්‍ය තන්ත්රඥ ස’ තොමස් මෝරෙ, යුටෝපියා (මනෝ රාජ්‍යය) යන මැයෙන් පොතක් ලිව්වා; නීති, ආණ්ඩුව සහ සමාජ තත්වයන් පරිපූර්ණව තිබුණ මනඃකල්පිත රටක් පිළිබඳව ඔහු එහි විස්තර කර තිබෙනවා. එය එතරම්ම අසත්‍යයක් මෙන් පෙනෙන්න තිබූ බැවින්, අදදින වෙබ්ස්ට’ස් නියූ ක’ලීජිඑට් ඩික්ෂනරි “මනෝ රාජ්‍යයේ” එක නිර්වචනයක් “සමාජ වැඩිදියුණුව සඳහා ප්‍රායෝගික නොවන කූට උපක්‍රමයක්” වශයෙන් ඉදිරිපත් කරනවා.
පීපල්ස් ටෙම්පල් නිකායේ නායක ජිම් ජෝන්ස්ගේ අනුගාමිකයන් මනෝ රාජ්‍යය, ගයනාවේ මුඩු කළ වනාන්තරයක් හැටියට සැලකුවා. කනගාටුවට කරුණක් වන්නේ, 1978දී මේ පාරාදීසයේ-බලාපොරොත්තුව ඔවුන්ගෙන් 900දෙනෙකුට වඩා වැඩිදෙනෙක් මරණයට පත්වීමේ දර්ශනයක්—ඇත්තෙන්ම නපුරු සිහිනයක්—බවට පත් වී තිබීමයි! ප්‍රතිඵලයක් වශයෙන්, කම්පනය සහ භය ඇති කරවන වත්පිළිවෙත්වල යෙදෙන අමුතු නිකායන්වලට ජනයා සමහරවිට පාරාදීසයේ සංකල්පය සම්බන්ධ කරනවා.
අපරාධ සහ සැහැසියාව තර්ජන එල්ල කරන, වැඩිහිටියන් සහ ළමයින් එක හා සමානව රෝගවලින් පහර ලබන, වෛරය සහ ආගමික වෙනස්කම් ප්‍රජාවන් භේදභින්න කරන ලෝකයක, අලංකාර වටාපිටාවන් බොහෝවිට හුදෙක් මතුපිට ඔපයකට වඩා වැඩි දෙයක් නොවෙයි. පාරාදීසය සිහිනයකට වඩා වැඩි යමක් නොවෙයි කියා ජනයා සිතීම පුදුමයක්ද! නමුත් තමන්ටම පාරාදීසයක් සොයාගැනීමට හෝ සාදාගැනීමට පවා සමහරුන් උත්සාහ කරන එක මෙමගින් නවතා නැහැ. ඔවුන් කොයිතරම් දුරකට සාර්ථක වී සිටිනවාද?