ඇල්බත්රසාට තිබෙන්නේ මොන වගේ අනාගතයක්ද?
බ්‍රිතාන්‍යයේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
ලෝකයේ විශාලම මුහුදු පක්ෂියා වන ඇල්බත්රසාට තිබෙන්නේ මොන වගේ අනාගතයක්ද? ලන්ඩන්වල ද ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ එය “ඉතා අඳුරුදායකයි” කියලයි. හැම අවුරුද්දකම උන් දසදහස් ගණනක් මරණයට ලක් වෙනවා; ඕස්ට්‍රේලියානු පර්යේෂකයන් තක්සේරු කරන්නේ 44,000ක් තරම් සංඛ්‍යාවක් එසේ මැරෙන බවයි. ඇත්තෙන්ම, මීටර් තුනක පමණ දිගින් යුත් විශිෂ්ට පියාපත් ඇති, තැනින් තැන යන ඇල්බත්රසා වැඩි කල් නොගොස් වඳ වී යයි කියලා ඇතැම් බලධාරීන් සිතනවා.
පියාසර කිරීමට හැකියාව ලැබීමෙන් පස්සේ, උන් දිගටම අවුරුදු හතක් මුහුදේ ගත කරමින්, කිලෝමීටර් දහස් ගණනක් ඉහළටත් පහළටත් ඇදෙමින් ඔබමොබ ගමන් කරනවා; උන් නිදාගන්නෙත් පියාසර කරන ගමන්මයි. වර්ගයා බෝ කරන්න උපන් ස්ථානයට පැමිණෙන්න කලින්, මේ පක්ෂීන් පෘථිවි ගෝලය වටා කිහිප වතාවක්ම ගමන් කරනවා ඇති කියා සමහරුන් විශ්වාස කරනවා.
ඇල්බත්රසා අවුරුදු දෙකකට සැරයක් හදා වඩාගන්නේ එක් පැටවෙක් පමණයි. ඒත් පසුගිය අවුරුදු 20 තුළදී, දකුණු අත්ලාන්තික් සාගරයේ දකුණු ජෝජියාවල සහ ඉන්දියන් සාගරයේ ක්රොසේ දූපත්වල තැනින් තැන යන ඇල්බත්රසා පක්ෂියාගේ ගහනය භාගයකින් පමණ අඩු වී තිබෙනවා. ඇතැම් අයගේ මතයට අනුව මෙයට හේතු වී තිබෙන්නේ මොකක්ද? මසුන් අල්ලන්න මරු වැල් එළීම.
නිල් වරල් බල මාළු ඇල්ලීමට, මසුන් අල්ලන්නෝ කොකු සිය ගණනක් ඇමිණූ මරු වැල් යොදාගන්නවා. මෙම වැල් මුහුදට එළන්නේ මසුන් අල්ලන යාත්‍රාවේ අවරයේ සිටයි. ඒ හැම කොක්කටම ඇමය වශයෙන් යොදන්නේ දැල්ලෝ, ඒ කියන්නේ ඇල්බත්රසාගේ ප්‍රධාන ආහාරයයි. දැල්ලා ඩැහැගන්න ඒ පක්ෂියා පහතට බසින විට, ඌ ඇතැම්විට කොක්කත් ගිලදමනවා. එවිට කොක්කට අසු වූ ඇල්බත්රසා ඉමහත් බරකින් යුත් මරු වැල සමඟ ගිලී මැරෙනවා.
ඇල්බත්රසාව ආරක්ෂා කිරීම සඳහා, ඇතැම් බල මාළු අල්ලන්නන්ව ඔවුන්ගේ වැල් රාත්‍රියෙහි එළීමට සාර්ථක ලෙස දිරිගන්වා තිබෙනවා; ඒ අවස්ථාවේදී ඒ පක්ෂියා මාළු අල්ලන්නේ නැහැ. ඇල්බත්රසාට ඇම දකින්න බැරි වන විදිහට, මාළු අල්ලන්නන් ඔවුන්ගේ වැල් බෝට්ටු යටින් එළන්න ක්‍රමත් සොයාගනිමින් සිටිනවා. යොදාගෙන තිබෙන වෙනත් ශිල්ප ක්‍රමවලට, වඩාත් ඉක්මනින් ගිලෙන බර යෙදූ වැල් සහ එම පක්ෂීන් භය කිරීමට යම් ආකාරයක පඹයෙක් යොදාගැනීමද ඇතුළත් වෙනවා.
කොහොම වුණත්, ගොඩ බිමෙන් ඈත් වූ දකුණු අත්ලාන්තික් සාගරයේ, මසුන් අල්ලන බෝට්ටු යොදාගන්නා ශිල්ප ක්‍රමවල පාලනයක් නැහැ. නවසීලන්ත කෞතුකාගාරයේ මුහුදු පක්ෂි විශේෂඥ සැන්ඩි බාටල්ට අනුව, ඒ පැතිවල බෝට්ටු “ඇල්බත්රසුන් මැරෙන එක නතර කරන්න කිසිම දෙයක් කරන්නේ නැහැ.” ඇත්තවශයෙන්ම, මහානුභාවසම්පන්න ඇල්බත්රසාට අත් විය හැකි අවාසනාවන්ත ඉරණම, මනුෂ්‍ය නොසැලකිලිමත්කමේ සහ උදාසීනභාවයේ නිදර්ශනයක්.