ඔබේ ආකල්ප හැඩගස්වන්නේ කුමක්ද?
දැනට අවුරුදු 2,700කට විතර කලින් ආනුභාවය ලත් ලේඛකයෙක් සිතුවිලි කලතන හිතෝපදේශයක් මේ විදිහට රචනා කළා: “[නින්දිත හැසිරීම, NW] අඥානයාට සෙල්ලමක් වැනිය.” (හිතෝපදේශ 10:23) මෙහි සැබෑකම, විශේෂයෙන්ම ලිංගික විප්ලවයේ ආරම්භයේ පටන් පැහැදිලි වී තියෙනවා. ඒඩ්ස් මිනිසාව බිය වද්දන්න කලින්, පැතිර තිබූ ආකල්පය වුණේ, සංසර්ගය කියන්නේ, ‘සහභාගිවන්නාට සෙල්ලමක්’ සහ ‘ඵලවිපාක මොනවා වුණත්,’ ලිංගික ඉල්ලීම තෘප්තිමත් කළ යුතුයි කියලයි. මේ ආකල්පය වෙනස් වෙලාද? ඇත්තෙන්ම නැහැ.
අදදින, ලිංගික කාරණා පිළිබඳ දූෂ්‍ය වූ අදහස් “ශාරීරික පෙනුමට වශීවූවන්ව,” ‘එක දිගට කලත්‍රයන් මාරු කරන්නන්ව’ සහ “ලිංගික මංකොල්ලකාරයන්ව” බිහි කරමින් තියෙනවා. සදාචාරය කියන්නේ, පෞද්ගලික කාරණයක්; ඒ වගේම විවිධ සහකරුවන් සමඟ නිදැල්ලේ කාම සේවනයෙහි යෙදීම සාමාන්‍යයි කියා ඔවුන් තර්ක කරනවා. (හයවන පිටුවේ ඇති “ලිංගික ජීවන-රටා” කියන කොටුව බලන්න.) කැමැත්තක් දක්වන වැඩිහිටියන් අතර එය සිදු වන තාක් කල්, තමන්ට ඕන පුද්ගලයෙක් එක්ක ලිංගික සබඳතා පැවැත්වීමෙන් ‘කාටවත් රිදෙන්නේ නැහැ’ කියලයි ඔවුන් කියා සිටින්නේ. වර්ෂ 1964දී, ඉඕවා ජනපද විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාඥ ඊර් රිස් මේ සාමාන්‍ය තත්වය “ස්නේහයකින් යුතුව ඉඩහැරීමක්” කියා ලේබල් කළා.
ස්කොට්ලන්තයේ, එඩින්බ’ග්හි එංගලන්ත සභාවේ බිෂොප්වරයාට හැඟුණෙත්, පෙනෙන විදිහට ඒ විදිහටමයි. ඔහු කිව්වේ, මිනිසුන් ඉපදිල ඉන්නේ බොහෝ පෙම්වතුන් ඇතුව සිටින්නයි. ලිංගික කාරණා සහ ක්‍රිස්තියානි ධර්මය පිළිබඳ කතාවක් දෙමින් ඔහු මෙහෙම සඳහන් කළා: “ලිංගික ආශාව සන්සිඳුවාගැනීමට ලිංගික පෙලඹීමක් අප තුළ සාදා තියෙනවා කියල, අපිව මවද්දි දෙවි දැනගෙන හිටියා. ඔහු අපිට ඉවක් බවක් නැති ජාන දීල තියෙනවා. ඔවුන් අනුගමනය කරන ජම්මික ගතිය පල්ලිය හෙළා දකින එක වැරදියි කියලයි මම හිතන්නේ.”
එය සුවදායක අදහසක්ද? නිදැල්ලේ කාම සේවනයේ යෙදීමට ගෙවන වන්දි මොනවද? ලිංගික සහකරුවන් සමඟ එක දිගට කෙටිකාලීන සබඳතා පැවැත්වීම තෘප්තිය සහ සතුට ගෙනෙනවාද?
ලිංගිකව පැතිරෙන රෝගවල ලෝක ව්‍යාප්ත වසංගතය සහ විශේෂයෙන්ම නහඹරයන් අතර විවාහයෙන් පිටත මිලියන ගණන් ගැබ්ගැනීම්වල යථාර්ථය එවැනි දර්ශනවාදී අදහස්වල ඇති අසාර්ථකත්වය සහතික කරනවා. නියූස්වීක් සඟරාවට අනුව, එක්සත් ජනපදයේ විතරක්, ලිංගිකව පැතිරෙන රෝග සෑම වසරකම නහඹරයන් මිලියන තුනකට පහර දෙන බව ඇස්තමේන්තු කර තියෙනවා. තවදුරටත්, බොහෝවිට ප්‍රතිඵලය වන නූපන් දරුවා ගැන වගකීමේ හැඟීමක් හෝ “ජන්ම ස්නේහය” කොහෙත්ම නැති බවයි, මේ බොහෝ “කැමැත්තක් දක්වන වැඩිහිටියන්” තුළ දකින්න තියෙන්නේ; ඒ වගේම ඉක්මනින්ම ගබ්සාවක් කිරීමට ඔවුන් මාන බලනවා. (2 තිමෝති 3:3) කුරිරු ලෙස මවගෙන් වෙන් කිරීමෙන්, ඒ නූපන් දරුවාගේ ජීවිතය වන්දි ගෙවනවා. ජීවිතය කැලඹවිය හැකි ගැඹුරු කනස්සල්ල හා වැරදිසහගතබව තරුණ මවට ගෙවීමට සිදු විය හැකි වන්දිය වෙන්න පුළුවන්.
බ්‍රිතාන්‍යයේ විතරක් 90ගණන්වල මැද කාලයේදී, ලිංගික විප්ලවයේ මූල්‍යමය වියදම ඩොලර් බිලියන 20ක් තරම් පුදුම දනවන ගණනක් බවට වෛද්‍ය පැට්රික් ඩික්සන් ගණන් බැලුවා. ද රයිසිං ප්‍රයිස් ඔෆ් ලව් (ආදරයේ ඉහළ නඟින මිල) යන තම පොතට වෛද්‍ය ඩික්සන් මේ සංඛ්‍යාව සොයාගත්තේ, ඒඩ්ස් වැනි ලිංගිකව පැතිරෙන රෝග, දික්කසාදවලට යන වියදම්, සමාජයේ සිටින තනි දෙමාපියන්ට යන වියදම් සහ පවුල් මෙන්ම ළමා ප්‍රතිකාර කිරීමේ වියදම් ආදිය ලේඛනගත කිරීමෙනුයි. ද ග්ලෝබ් ඇන්ඩ් මේල් කියන කැනඩාවේ පළ වන දිනපතා පුවත්පතකට වාර්තා කරමින් වෛද්‍ය ඩික්සන් මෙම නිගමනයට එනවා: “අපිට නිදහස පොරොන්දු වූ ලිංගික සබඳතාවල විප්ලවයක්, ලිංගිකත්ව ව්‍යාකූල වීම්, ශෝකාන්ත, තනිකම, චිත්තවේගීය වේදනාව, සාහසික සහ බලාත්කාර ලෝකයක බොහෝදෙනෙකුව සිර කර තියෙනවා.”
නමුත්, ලිංගික කාරණා පිළිබඳ දූෂ්‍ය වූ අදහස් නිරන්තරවම පවතින්නෙත්, කෙටිකාලීන සබඳතාවලට වැඩි කැමැත්තක් දක්වන්නෙත්, වගකීමෙන් තොර නිදැල්ලේ කාම සේවනයේ යෙදීමට උදක්ම ඉල්ලන්නෙත් ඇයි? පසුගිය දශක තුනේදී පැහැදිලි වූ එවැනි නරක ඵල ඇතුළු මේ විනාශකාරි දූෂ්‍ය වීම් සඳහා ඉන්ධන වූයේ මොනවාද?
අසභ්‍ය පොත් පත් ලිංගික කාරණා කණපිට පෙරළයි
ලිංගික කාරණා දූෂ්‍ය කිරීමේ ඉන්ධන හැටියට කාමෝද්දීපන පොත් පත් එක සාධකයක් ලෙස සඳහන් කර තියෙනවා. ලිංගික කාරණාවලට ඇබ්බැහිවූවෙක් ද ටොරොන්ටෝ ස්ටා පුවත්පතට මෙහෙම ලියනවා: “මම සිගරට් බීම අවුරුදු පහකට කලින් නතර කළා; මත්පැන් පානය අවුරුදු දෙකකට කලින් නතර කළා; ඒත් ලිංගික කාරණාවලට සහ අසභ්‍ය පොත් පත්වලට තියෙන ඇබ්බැහි වීම නවත්වන්න තරම් මට මගේ ජීවිතයේ කිසිම දෙයක් අමාරු වෙලා නැහැ.”
අසභ්‍ය පොත් පත්වල හොඳ ආහාර වේලක් ගන්නාවූ නහඹරයෙකුට, ලිංගික හැසිරීම පිළිබඳ කණපිට පෙරළුණු අදහසක් ගොඩනැඟෙන බවත් ඔහු වටහාගෙන තියෙනවා. ඔවුන් ලිංගික මනඃකල්පිතයන් මත ජීවත් වීමෙන් ජීවිතයේ සැබෑ සබඳතා සංකීර්ණ මෙන්ම දුෂ්කර බව සොයාගන්නවා. මෙය හුදකලාභාවයට සහ වෙනත් ගැටලුවලට මඟ පෙන්වන අතර, ඊටත් වඩා අමාරු දෙය වන්නේ, ප්‍රේමයේ දිගුකාලීන බැම්ම සාදාගැනීමට දුෂ්කර වීමයි.
විනෝදකාමී ලෝකය ලිංගිකව සූරාකයි
නීත්‍යනුකූල ලෙස විවාහ වුණත් නැතත්, විවිධ ලිංගික සහකරුවන් තබාගෙන සිටීම මීට ඇතුළත් වෙනවා. මෙය විනෝදකාමී ලෝකය පුරා පුළුල් ලෙස ක්‍රියාත්මක වන අතර, ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය වෙනවා. ලිංගික බැඳීම් පහත වැටීම සහ අනාදරය ප්‍රදර්ශනය කරන චිත්‍රපට ලිංගික කාරණා දූෂ්‍ය කිරීමේ දාහකයන් වන අතර, එයින් මේ පරම්පරාවට මිනිස් ලිංගිකත්වය ගැන කණපිට පෙරළුණු අදහසක් ලබා දෙනවා. විනෝදාස්වාදය සඳහා ඇති මාධ්‍යයන්, විවාහයෙන් පිටත ලිංගික කාරණා, ප්‍රේමනීය කුලුපගකම සමඟ බොහෝවිට ව්‍යාජ ලෙස සම කර තියෙනවා. ජනප්‍රිය පුද්ගලයන්ට වැඳවැටෙන රසිකයන්හට රාගය සහ ආදරය, කෙටිකාලීන ආදර සම්බන්ධකම් සහ දිගුකාලීන බැඳීම් හෝ මනඃකල්පිතය සහ යථාර්ථය අතර වෙනස පෙනෙන විදිහට හඳුනාගැනීමට නොහැකි වී තියෙනවා.
මේ හා සමානව, බොහෝ අවස්ථාවල ප්‍රචාරණ ලෝකය වෙළඳ අතකොළුවක් ලෙස ලිංගිකත්වය සූරාකනවා. එය “යම් නිෂ්පාදනයකට අවධානය ඇදගැනීමේ අරමුණ ඇති මානුෂික නොවන භාණ්ඩය” බවට පත් වෙලා කියලා එක්තරා ලිංගික කාරණා පිළිබඳ වෛද්‍යවරයෙක් ප්‍රකාශ කළා. ප්‍රචාරණය කරන්නෝ ලිංගිකත්වය සූරා කා ඇති අතර, යහපත් ජීවිත සමඟ ලිංගික කියමන් සම්බන්ධ කර තියෙනවා. මෙය 20වන සියවසේ “ලිංගික කාරණා කණපිට පෙරළීමක්” හැටියටයි, ෆැමිලි රිලේෂන්ස් (පවුල් සබඳතා) කියන සඟරාව නිරීක්ෂණය කරන්නේ.
වෙනස් වන භූමිකාව ආකල්ප උඩු යටිකුරු කරනවා
සමාජ පරිසරයේ විෂමතා සහ 1960දී වෙළඳපොළට හඳුන්වා දුන් උපත් පාලන පෙති මිලියන ගණන් ගැහැනුන්ගේ ලිංගික හැසිරීම වෙනස් කළා. එම පෙත්ත ගැහැනුන් හිතපු විදිහට පිරිමින් හා ලිංගික සමානාත්මතාවක් ලබා දුන්නා; ඒ මීට පෙර තේරුම්ගෙන නොසිටි ආකාරයේ ලිංගික නිදහසක් හෝ ස්වාධීනත්වයක්. අනවශ්‍ය ගැබ් ගැනීම්වලට තියෙන බයෙන් නිදහස්ව ඔවුන්ටත් දැන් පිරිමි අය වගේ කෙටිකාලීන සබඳතා සමඟ අත්හදා බැලීම් කරන්න පුළුවන්. තමන්ගේ ලිංගික ස්වාධීනත්වයෙන් ගෙන ආ අධික තෘප්තිය, ගැහැනු පිරිමි දෙගොල්ලන්ගේම සුපුරුදු පවුල් සහ ලිංගික කාර්යභාරයන් කොහෙත්ම නොපවතින තැනට ඇද දැමුවා.
පළමු සියවසේ බයිබල් ලේඛකයෙක් එවැනි මිනිසුන් ගැන මෙහෙම ලිව්වා: “ඔව්හු කාමමිථ්‍යාචාරයෙන් පිරුණාවූ, පාපයෙන් වලකින්ට නුපුළුවන් ඇස් ඇත්තෝය; . . . තණ්හාවට පුරුදු [කරන ලද, NW] සිතක් ඇත්තෝය; . . . ඔව්හු හරි මාර්ගය අත්හැර . . . මුළාව ගියෝය.”—2 පේතෘස් 2:14, 15.
පාසැල්වල ලිංගික අධ්‍යාපනය
එක්සත් ජනපදයේ උසස් පාසැල් වයස් මට්ටමේ සිටින කිසිදා විවාහ නොවූ කාන්තාවන් 10,000කගෙන් පමණ කළ අධ්‍යයනයකින් හෙළි වුණේ, විවාහයට පිටින් නහඹර ගැබ්ගැනීම් සංඛ්‍යාවට “ලිංගික පාඨමාලා සහ උපත් පාලනය ගැන නහඹරයන් පෞද්ගලිකවම කියන දේවල් මත පදනම් දැනුම කොහෙත්ම බලපාන්නේ නැති” බවයි. කෙසේවෙතත්, දැනට සැර විවාදයට පාත්‍ර වී තිබුණත්, ශිෂ්‍යයන්ට නොමිලේ උපත් පාලන කොපු ලබා දීමෙන් සමහර ප්‍රසිද්ධ පාසැල් මෙම වසංගතයට ප්‍රතිචාරය දක්වා තියෙනවා.
දාහත් හැවිරිදි උසස් පාසැල් ශිෂ්‍යාවක් ක්ල’ජි හෙරල්ඩ් පුවත්පත සමඟ පිළිසඳරක යෙදෙමින් මෙහෙම සඳහන් කළා: “උසස් පාසැල්වල ඉන්න නහඹර අයගෙන් ගොඩක්දෙනෙක් ලිංගික ක්‍රියාවල යෙදෙනවා කියන එක ඇත්තක්. . . . වයස අවුරුදු දොළහෙ ළමයිනුත් ඒවායෙ යෙදෙනවානෙ.”
ආදරය සහ බැඳීම කියන්නේ මොකක්ද?
ආදරය, විශ්වාසය සහ ආදර භක්තියෙන් රැකබලා ගත් එකමුතුකම, ඉබේ ඇති වන ලිංගික ආකර්ෂණයෙන් හෝ ලිංගික ආවේග සන්සිඳුවාගැනීමෙන් ස්වයංක්‍රීයව පිට කරන අතුරු නිෂ්පාදන නෙවෙයි. සංසර්ගයට විතරක් තනියම සැබෑ ආදරය ඇති කරන්න බැහැ. ආදරය සහ ඉතා කිට්ටුකම උපදින්නේ, සදාකාල සබඳතාවක් ගොඩනැඟීමට බැඳී සිටින එකිනෙකා කෙරෙහි සැලකිලිමත් පුද්ගලයන් දෙදෙනෙකුගේ හෘද තුළයි.
කෙටිකාලීන සබඳතා පසුකාලයේදී එක පුද්ගලයෙකුව අනාරක්ෂිත කර, තනි කර සහ සමහරවිට ඒඩ්ස් වැනි ලිංගිකව පැතිරෙන රෝගයක බිල්ලක් කරවනවා. නිදැල්ලේ කාම සේවනයේ යෙදීමට ලැදිව සිටින අයව 2 පේතෘස් 2:19හි සොයාගැනීමට තියෙන වචනවල හොඳින් විස්තර කෙරෙනවා වෙන්න පුළුවන්: “ඔව්හු තුමූම දූෂ්‍යකමේ දාසයන්ව සිටින අතර ඔවුන්ට නිදහස දෙන්ට පොරොන්දුවෙති; මක්නිසාද යමෙක් යමෙකුගෙන් පරාජයවුණොත් ඔහු ඒ තැනැත්තාට වහල්ව සිටියි.”
එංගලන්ත සභාවේ සමාජ වගකීම් පිළිබඳ මණ්ඩලය, 1995 ජූනි මාසයේදී, “ප්‍රීතිවීමට හේතුවක්” යන තේමාවෙන් යුත් මණ්ඩල වාර්තාව නිකුත් කළා. ද ටොරොන්ටෝ ස්ටා කියන විදිහට, “‘විවාහ නොවී එකට ජීවත්වීම’ කියන වාක්‍යඛණ්ඩය මකාදමන්න සහ විවාහයට පිටින් සංවාසයේ යෙදෙන අය ගැන තියෙන හෙළා දකින ආකල්පය ඉවත් කරන්න” කියා බයිබල් උපදේශයට පැහැදිලි ලෙස පටහැනි ආකාරයට එම මණ්ඩලය පල්ලියෙන් බල කර සිටියා. එම වාර්තාව තවදුරටත් මෙහෙම නිර්දේශ කළා: “සංවාසයේ යෙදෙන අයව පිළිගත යුතුයි; ඔවුන්ගේ ජීවිත තුළ දෙවි ජීවමාන බව වටහාගැනීමට හැකි වන පිණිස ඔවුන්ට ඇහුම්කන් දිය යුතුයි; ඔවුන්ගෙන් ඉගෙනගත යුතුයි.”
එවැනි ආගමික නායකයන්ව යේසු අමතනු ඇත්තේ කොහොමද? කිසිම සැකයක් නැහැ, “මග පෙන්වන අන්ධයෝ” හැටියටයි. ඒ වගේම, එවැනි මඟ පෙන්වන්නන්ව අනුගමනය කරන අය ගැන කියන්න පුළුවන් මොනවාද? ඔහු මෙහෙම කියනවා: “අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇත.” වරද්දාගන්න එපා; මොකද, යේසු පැහැදිලිවම කියන්නේ ‘මනුෂ්‍යයා අපවිත්‍ර වන දේවල්’ අතර “කාමමිථ්‍යාචාරකම්” සහ “වේශ්‍යාකම්” තියෙනවා කියලයි.—මතෙව් 15:14, 18-20.
ලිංගිකත්වය විකෘති කරන සහ ලිංගිකව සූරාකන මෙවැනි විවිධ දේවල් තිබියදී යම් පුද්ගලයෙකුට, විශේෂයෙන්ම තරුණයෙකුට ලිංගික කාරණාවල දූෂ්‍ය වීමේ ග්රහණයෙන් මිදෙන්න පුළුවන් කොහොමද? ප්‍රීතියටත්, දිගුකාලීන සබඳතාවලටත් රහස මොකක්ද? අනාගතය සඳහා සූදානම් වෙන්න තරුණ අයට උදව් කරන්න දෙමාපියන්ට කරන්න පුළුවන් මොනවාද කියන එකට ඊළඟ ලිපිය අවධානය යොමු කරවනවා.
[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
එක්සත් ජනපදයේ විතරක්, ලිංගිකව පැතිරෙන රෝග සෑම වසරකම නහඹරයන් මිලියන තුනකට පහර දෙන බව ඇස්තමේන්තු කර තියෙනවා
[6වන පිටුවේ කොටුව]
ලිංගික ජීවන-රටා
ශාරීරික පෙනුමට වශීවූවෝ: ප්‍රේම සම්බන්ධයක් ඇති කරගැනීමට ප්‍රේමයක් දක්වන ඔවුන්, ආලයේ ප්‍රබල හැඟීම් නැති වී යෑමත් සමඟම, එක සම්බන්ධයක සිට තවෙකකට පනිනවා. මේ වචනය ප්‍රබන්ධ කළේ නියූ යෝක් ප්‍රාන්ත මානසික ආයතනයේ වෛද්‍ය මයිකල් ලිබවිට්ස් විසිනුයි.
එක දිගට කලත්‍රයන් මාරු කරන්නෝ: නීත්‍යනුකූල ක්‍රියාපිළිවෙතක් අනුගමනය කරමින් විවාහය, දික්කසාදය සහ නැවත විවාහ වීමට අයත් ප්‍රේම බන්ධන ඇති කරගන්නන්ව සමාජ විද්‍යාඥයන් විසින් මෙලෙස හඳුන්වනවා.
ලිංගික මංකොල්ලකාරයෝ: පවුල් අධ්‍යයන සහ ලිංගික කාරණා පිළිබඳ සහතික ලත් වෛද්‍යවරයෙක් වන මහාචාර්ය ලූත’ බේක’ නිරීක්ෂණය කරන්නේ, මෙවැනි අය තම ලිංගික හැකියාව පෙන්වන්න විවිධ සහකරුවන් ඇතුව සිටිනවා කියලයි. ළමා දූෂකයන්ටත් දැන් ඒ වචනයම පාවිච්චි කරනවා.
[7වන පිටුවේ පින්තූරය]
අසභ්‍ය පොත් පත් ඇබ්බැහි කරවනසුලු වන අතර, ලිංගික හැසිරීම ගැන විකෘති වූ අදහසකට මඟ පාදනවා