ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • g97 1/8 16-20 පි.
  • කුස්සියේ විනෝදයක් ලැබිය හැක

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කුස්සියේ විනෝදයක් ලැබිය හැක
  • 1997 පිබිදෙව්!
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කුස්සිය නමැති “පන්තිකාමරයෙන්” ඉගෙනගැනීම
  • ආහාර පිසීම විනෝදයකි!
  • පවුලේ එකමුතුභාවය
  • 2. පිරිසිදුකම
    2012 පිබිදෙව්!
  • ළදරු කාලයේ සිට දරුවන් පුහුණු කිරීම
    ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම
  • බිළිඳු අවදියේ පටන් ඔබේ දරුවා පුහුණු කරන්න
    පවුලේ සන්තෝෂයට රහස
  • ඔබේ දරුවාව ආරක්ෂා කරගත හැකි අයුරු
    2007 පිබිදෙව්!
තව තොරතුරු
1997 පිබිදෙව්!
g97 1/8 16-20 පි.

කුස්සියේ විනෝදයක් ලැබිය හැක

“කුස්සියට එන්න එපා!” ආහාර අනුභව කරන වේලාවට කලින් ආහාර ටිකක් කෑමට තැත් කරන කුසගින්නෙන් සිටින බොහෝ දරුවන්ට එවැනි උපදෙසක් ලැබී තිබේ. කෙසේවෙතත්, තම දරුවන්ව කුස්සියෙන් පිටත තබාගන්නවා වෙනුවට, ඔවුන්ව එය තුළට ආරාධනා කිරීමට දෙමාපියන්ට හොඳ හේතු තිබේ. ඒ මන්ද? ඇත්තවශයෙන්ම, කුස්සිය සිත් ඇදගන්නා පන්තිකාමරයක් වන බැවිනි.

කුස්සිය වනාහි, දරුවන්ට නිර්මාණ හැකියාව මෙන්ම ගැටලු විසඳීමේ කුසලතා වර්ධනය කළ හැකි, අනික් අයට සේවය කිරීමට සහ කණ්ඩායමක් වශයෙන් එකට වැඩ කිරීමට ඉගෙනගත හැකි, සැණෙකින්ම හෘදයට බලපෑ හැකි අර්ථවත් සංවාද ඇති විය හැකි, එමෙන්ම ගැඹුරින් සලකන සාරධර්ම සූක්ෂ්ම ලෙස පැලපදියම් කළ හැකි තැනකි. එසේය, බඩු බාහිරාදියෙන් පිරී තිබෙන කබඩ්, ලාච්චු හා රාක්ක ඇති සෑම කුස්සියකම, ඉගෙනගැනීමට වටිනා පාඩම් බොහොමයක් තිබේ. ආහාර වේලක් සූදානම් කරන අතරතුර ඒවායින් උගත හැකිය.

මෙම තොරතුරු තාක්ෂණ අවදියේ, දරුවන්ට පුහුණුව ලබා දීමේ ස්ථානයක් ලෙස කුස්සිය භාවිත කළ යුත්තේ මන්ද? පිළිතුර කාලය වේ. තම දරුවන් සමඟ කාලය ගත කිරීමට, එනම් බොහෝ කාලයක් ගත කිරීම සඳහා කිසිදු ආදේශයක් නොමැති බව බොහෝ දෙමාපියෝ තේරුම්ගනිති.a ගැටලුව වන්නේ, එය සොයාගන්නේ කොතැනකින්ද යන්නයි. ඇතැම් අධිකාරීන් දෙමාපියන්ගෙන් උදක්ම ඉල්ලා සිටින්නේ, තමන් නිවසේදී දිනපතා කරන වැඩකටයුතු දරුවන් සමඟ එකට කර, එය ඔවුන්ට අධ්‍යාපනයක් ලබා දීමට ප්‍රස්තාවක් ලෙස සැලකීමටය. ඉපැරණි ඉශ්‍රායෙල් ජාතියේ දෙමාපියන්ට දෙවියන්වහන්සේ දුන් මෙම ආඥාවට එය එකඟය: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරන්න.”—ද්විතීය කථාව 6:6, 7.

නිතිපතා, කොහොම නමුත් අපට කුස්සියෙහි කාලය ගත කිරීමට සිදු වන බැවින්, පවුල් ක්‍රියාකාරකම්වල එකට නියැලීමට නිසැකවම මෙය කදිම තැනක් බව පැහැදිලිය. සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් ගැනීමට තිබෙන රුචිය කල් දමන්න බැහැ; මේවා විශේෂ විනෝද ගමන්වල යෙදීම මෙන් නොවේ, මන්ද කිවහොත්, මේවාහි යෙදීම සඳහා අපට කාලය, ශ්‍රමය හෝ මුදල් ලැබෙන තෙක් බලා සිටීමට සිදු වන බැවිනි. මීට අමතරව, කුස්සියට දරුවෝ ස්වභාවයෙන්ම ඇදී එති. පරෙස්සමින් පිහි භාවිත කරන්නත්, අනික් උපකරණ නිසියාකාරව පාවිච්චි කරන්නත් ඔවුන්ට පුහුණු කරනු ලබන්නේ වෙන කුමන ස්ථානයකදීද? ප්‍රීතියක් භුක්තිවිඳින දරුවන්, ඇතැම් අවස්ථාවලදී කුස්සිය හැඩි කළ හැකිය! කෙසේවෙතත්, කුස්සියට ඉදිරිපත් කිරීමට ඇත්තේ කුමන පාඩම්ද?

කුස්සිය නමැති “පන්තිකාමරයෙන්” ඉගෙනගැනීම

අවුරුදු හතරක් වයසැති තම ශිෂ්‍යාවන් අතරේ ඉඟුරු කේක් නෝනා ලෙස ප්‍රසිද්ධ ලුවීස් ස්මිත්, බාල දරුවන්ට ආහාර පිසීමට ඉගැන්වීම පිළිබඳ ඇගේ අවුරුදු 17ක පළපුරුද්ද මත පදනම් කරගෙන, මෙසේ නිරීක්ෂණය කළාය: “හැම දරුවෙක්ම ආහාර කියන දේ හොඳින් තේරුම්ගන්න හින්දා, ඒක හොඳ ඉගැන්වීමේ මෙවලමක්. ඒගොල්ලන්ගේ ගඳ සුවඳ දැනීම, රස බැලීම හා හැඟීම් දැනීමේ ශක්තිය බාල කාලයේදී කොච්චර තියුණුද කිව්වොත්, ඒගොල්ලෝ ඒකට සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, ශබ්ද විද්‍යාව, ගණිතය හා ගැටලු විසඳීමේ කුසලතා ඔබට ආහාරවලින් උගන්වන්න පුළුවන්.” වත් කිරීම, කුඩු කිරීම, ලෙලිගැසීම, පෙනේරයකින් හැළීම, හැඳි ගෑම හා ඇඹරීම, දරුවන්ගේ ඇස හා අත අතර සම්බන්ධය මෙන්ම, හස්ත දස්කම් වර්ධනය කරගැනීමට උපකාර කරයි. වෙන් කිරීම (වියළි මිදි හා මදය සහිත ගෙඩි වර්ග, විවිධ ගොඩවල්වලට දැමීම) හා අනුපිළිවෙළට දැමීම (මනින කෝප්ප පිළිවෙළට එකට ගැළපීම) ගණිතය ඉගෙනගැනීම සඳහා පදනමක් ලෙස ක්‍රියා කරන සංකල්ප උගන්වයි. ආහාර වට්ටෝරුවක් අනුගමනය කිරීම වනාහි, ගණන්, මිනුම්, කාලය, තර්කශාස්ත්‍රය හා භාෂාව භාවිත කරන අභ්‍යාසයකි. එමෙන්ම, ආරක්ෂාව, වගකීම, පෞද්ගලික සංවිධානය හා සහයෝගයෙන් එකට වැඩ කිරීම පිළිබඳ යම් දෙයක් ඉගෙන නොගෙන, කෙනෙකුට සංකීර්ණ මෙන්ම අනතුරුවලින් පිරී පවතින කුස්සිය නමැති ලෝකයට ධෛර්යයෙන් යුතුව පිවිසිය නොහැක.

ආහාර පිසීමට ඉගෙනගැනීමේ තිබෙන වටිනාකමද වැදගත් දෙයකි. කුඩා කාලයේ සිටම කුස්සියෙහි උපකාර කිරීමට පටන්ගන්නා දරුවන්ට, තම යෞවන කාලයට එළඹෙත්ම සම්පූර්ණ ආහාර වේල් සූදානම් කිරීමට හැකිවීම අසාමාන්‍ය දෙයක් නොවේ. කලින් කලට එවැනි දෙයකට සතුට පළ නොකරන්නේ කුමන කාර්ය බහුල දෙමාපියෙක්ද? එපමණක්ද නොව, ආහාර පිසීම නිසැකභාවය හා ස්වයංපෝෂිතභාවය වර්ධනය කිරීමට යෞවනයන්ට උපකාර කරයි. පසු කලකදී විවාහ වුවත්, තනිකඩව සිටියත්, ඔවුන් වැඩිහිටි වගකීම් දරද්දී, ප්‍රයෝජන විය හැකි ගුණාංග වර්ධනය කිරීමට මෙය ඔවුන්ට උපකාර කරයි.—1 තිමෝති 6:6, සසඳන්න.

වයස අවුරුදු තිස්ගණන්වල මුල්භාගය තෙක් තනිකඩව සිටි ලී මෙසේ සිහිපත් කරන්නේය: “මගේ අම්මා කුස්සියේ මූලික වැඩකටයුතුවලට මාව පුහුණු කරන්න පටන්ගත්තේ, මට වයස අවුරුදු හයේදී ඉඳලයි. මුලින්ම මං ආශාවෙන් හිටියේ, කුඩා විස්කෝතු වර්ග, කේක් වර්ග හා අනික් රස කැවිලි හදන්නයි. ඒත් මට වයස අවුරුදු නවය වෙද්දී, අපේ පවුලට සම්පූර්ණ ආහාර වේලක් සැලසුම් කරලා සූදානම් කරන්න මට පුළුවන් වුණා; මං ඒක නිතරම කළා. පසුව, තනිකඩ වැඩිහිටියෙකු වශයෙන් කෑම ඉවීම ඇතුළුව ගෙදර දොරේ විවිධ වැඩකටයුතු හසුරුවන ආකාරය දැනගෙන සිටීම මගේ ජීවිතය තවදුරටත් පහසු කරවපු බව මා දැනගත්තා. දැන් සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්න මෙය උපකාර කර තිබෙන බව මට ඇත්තටම කියන්න පුළුවන්.”

ආහාර පිසීම විනෝදයකි!

කුස්සියේදී දරුවන්ව පුහුණු කිරීම සඳහා දෙමාපියෙකුට කාලය සොයාගත හැකි වන්නේ කෙසේද? බාධා අඩු වෙලාවක් වෙන් කරගන්නා ලෙසට මවක් යෝජනා කරයි. ඔබට දරුවන් කිහිපදෙනෙකු සිටින්නෙහි නම්, ඔවුන් එම වැඩකටයුතු ඉගෙනගැනීමට ආරම්භ කරන අවස්ථාවේදී ඔබට එක් වතාවකට එක් දරුවෙකු සමඟ පමණක් වැඩ කිරීමට වුවමනා විය හැකිය. මෙය ඉටු කරගැනීම සඳහා, අනික් දරුවන් නිදා සිටින විට හෝ පාසැල් ගිය වේලාවක් තෝරාගන්න. ඔබ තනිව උයමින් සිටින අවස්ථාවකට වඩා වැඩි කාලයක් ගත කිරීමට සැලසුම් කරගන්න. එපමණක් නොව කුස්සියේදී විනෝද වීමට සූදානමින් සිටින්න.

ඔබේ පළමු වාරය සඳහා, ඔබේ දරුවාට කන්න කැමති ආහාරයක් ඔහුට හෝ ඇයට තෝරාගැනීමට ඔබට ඉඩහැරිය හැකිය.b ඉක්මන් ප්‍රතිඵල ලැබෙන සරල ආහාර වට්ටෝරුවක් සොයාගන්න. ඔහුට පහසුවෙන්ම සම්පූර්ණ කළ හැකි කාර්යයන් එයට ඇතුළත් වන බවට සහතික කරගන්න. ඔබේ දරුවාට නොසන්සුන් හා නීරස තත්වයක් දැනීමෙන් වැළැක්වීමට, ඊට කලින්ම මෙයට අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ කිහිපයක් එකතු කරගන්නා ලෙස ඔහුට පැවසිය හැකිය. මෙම අවස්ථාව ඉතා දීර්ඝ හා වෙහෙස කරවන එකක් නොවීමට, ඔබට අවශ්‍ය යම් ද්‍රව්‍ය කලින්ම සූදානම් කර තැබිය හැකිය.

සෑම කාර්යයක්ම ඉටු කරගන්නේ කෙසේද කියා ඔබේ දරුවාට පෙන්වමින්, ඔහු සමඟ ආහාර වට්ටෝරුව කියවන්න. කුස්සියෙහි, ඔබේ දරුවාට වැඩ කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණය ලබා දෙන්න—සමහරවිට ලාච්චුවක් තුළට භාජන හා උපකරණ කිහිපයක් දමා දීම ප්‍රමාණවත් විය හැකිය. ඔහුට ඒප්‍රන් එකක්ද ලබා දෙන්න. පිරිමි දරුවෙකුට ස්ත්‍රියකගේ ඒප්‍රන් එකක් ඇඳීමට සලස්වනවා වෙනුවට, කෝකියෙකුට සාදන ලද එකක් ඔහුට ලබා දිය හැකිය. මුල සිටම, ආරක්ෂාව සඳහා තිබෙන වැදගත්කම අවධාරණය කර, කුස්සිය සඳහා ඥානවන්ත නීති තබන්න. දහඅටවන පිටුවේ, “පළමුවන පාඩම—ආරක්ෂාව” යන මාතෘකාවෙන් යුත් කොටුව බලන්න.

සෑම දෙයකටම වඩා ඉහළින්, එය ප්‍රීතිමත් අවස්ථාවක් කිරීමට වෑයම් කරන්න. ඔබේ දරුවාට ඔබ වැඩ කරන අයුරු නිකම්ම බලා ඉන්න පමණක් සලස්වන්න එපා; ඔහුට ඔහුගේ අත සෝදාගැනීමට පවසා, ආහාරය පිළියෙළ කිරීමට ඔහුවත් හවුල් කරගන්න. පරීක්ෂා කිරීමට, අත්හදා බැලීමට හා ප්‍රශ්න ඇසීමට ඔහුට අවස්ථාව දෙන්න. තවද වෑංජනයක් නියම ආකාරයට පිළියෙළ වූයේ නැත්නම්, කලබලයට පත් නොවන්න. ඔබේ දරුවා එය පිසුවේ නම්, ඔහු එය කොහොම හරි අනුභව කරනු ඇත!

පවුලේ එකමුතුභාවය

කුස්සියෙන් පැමිණිය හැකි විශාලතම වාසි ප්‍රයෝජනය වන්නේ, පවුලේ එකමුතුකම හා සාරධර්ම බවට කිසිදු සැකයක් නැත. අදදින ඇතැම් නිවෙස්වල පවුල් සාමාජිකයන්, පවුලේ අනික් අය සමඟ සබඳකම් නොපවත්වා, කාර්ය බහුල අන්දමින් තම තමන්ගේ කාර්යයන් වෙන වෙනම ඉටු කරන බව ඔබ නිරීක්ෂණය කර තිබෙනවා විය හැක. එවැනි තත්වයන් යටතේදී, නිවසක් නවාතැන් හා ආහාර ගන්නා ස්ථානයක් පමණක් විය හැක. මීට පටහැනිව, එකට ආහාර පිසින පවුලක්, එය එකටම අනුභව කිරීමටත් ඒවා එකට අස් පස් කර පිරිසිදු කිරීමටත් වැඩි ඉඩ කඩක් තිබේ. මෙවැනි ක්‍රියාකාරකම් අදහස් හුවමාරු කිරීමට, අන්‍යොන්‍ය සබඳකම් පැවැත්වීමට හා ළඟින් ආශ්‍රය කිරීමට ඔවුන්ට නිතිපතා ප්‍රස්තාවන් ලබා දෙනු ඇත. “කුස්සියේ සින්ක් එක ළඟට වෙලා, මගේ කොල්ලන් එක්ක මං මෙච්චර කල් පැවැත්වූ හොඳම සාකච්ඡාවන්වලින් එකක් පැවැත්තුවා” යනුවෙන් මවක් සිහිපත් කරන්නීය. තවද හ’මන් නමැති ක්‍රිස්තියානි පියෙක් මෙසේ එකතු කරයි: “දීසි අතින් හෝදලා පිහදලා දාන්න ඕනෙ හින්දා, අපි උවමනාවෙන්ම අවුරුදු ගණනාවක් දීසි සෝදන යන්ත්‍රයක් සල්ලිවලට ගන්නෙ නැතුව හිටියා. අපේ පුතාලට වාර අරගෙන ඒවා පිහදාන්න පැවරුම් ලැබුණා. නිකම් අදහස් හුවමාරු කරන්න මෙයිට වඩා හොඳ කාලයක් තිබුණේ නැහැ.”

ඔව්, ඔබේ දරුවන් සමඟ—සතියක් පාසා සතියක්, අවුරුද්දක් පාසා අවුරුද්දක් කුස්සියෙහි ඔබ ගත කරන කාලය—ආත්මික සාරධර්ම හා දේවගුණාංග වර්ධනය කිරීම සඳහා පදනමක් සපයයි. දෙමාපියෙකු හා දරුවෙකු අතර අවංකව අදහස් හුවමාරු කරගැනීමක් ස්වාභාවිකවම සිදු විය හැකි වන්නෙත්, දෙමාපියෙකුගේ ආදර්ශයට සෙමින් දරුවෙකුගේ හෘදයට බලපෑම් කළ හැකි වන්නේත්, එකමුතුවෙන් සිටින මෙවැනි විවේකී අවස්ථාවන්වලදීය. එවැනි පුහුණු කිරීමක් දරුවෙකුට ජීවිතකාලය දක්වාම ප්‍රයෝජනදායක විය හැකිය; මන්ද කිවහොත් හිතෝපදේශ 22:6 මෙසේ ප්‍රකාශ කරන බැවිනි: “දරුවෙකු සුදුසු මාර්ගයෙහි පුහුණුකරන්න, එවිට ඔහු වයස්ගතවූ කලත් එයින් අහක්ව නොයන්නේය.”

එමනිසා දෙමාපියෙකු වශයෙන් ඔබේ දරුවන් සමඟ බොහෝ කාලය ගත කිරීමට ඔබ අවස්ථා සොයමින් සිටින්නෙහි නම්, කේක් එකක් හෝ සම්පූර්ණ ආහාර වේලක් පිළියෙළ කිරීම සඳහා ඔබට උපකාර කිරීමට ඔවුන්ට ආරාධනා නොකරන්නේ මන්ද? කුස්සියේ ඔවුන් සමඟ එකට වැඩ කිරීම, ඔබේ පවුල පෝෂණය කිරීමට හා පුහුණු කිරීමට කදිම මාර්ගයක් බව ඔබ සොයාගනු ඇත.

[පාදසටහන්වල]

a මෙම විෂය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමක් සඳහා, 1993 සැප්තැම්බර් 8 පිබිදෙව්! කලාපයේ 17 සහ 18 පිටුවල ඇති “‘ගුණයෙන් සපිරි කාලය’ සීමිත ප්‍රමාණවලින් බෙදා දීම,” යන ලිපිය බලන්න.

b ලුහුඬින් දැක්වීමට තිබෙන අවශ්‍යතාව නිසා මින්පසු, දරුවාව “ඔහු” වශයෙන් යොමු දක්වනු ලැබේ. කෙසේවෙතත්, මෙම තොරතුරු ගැහැනු ළමුන්ටද ඒ හා සමානවම අදාළ වේ.

[18වන පිටුවේ කොටුව]

පළමුවන පාඩම—ආරක්ෂාව

ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන්න

• කාර්යබහුල වීථියක ගමන් කරන රථ වාහනවලින් සිදු විය හැකි අන්තරාව පැහැදිලි කරන්නාක් මෙන්, බැරෑරුම්ව, එහෙත්, බිය නොගන්වන ආකාරයකින්, කුස්සියේ වැඩ කිරීමේදී සිදු විය හැකි අන්තරාවන් පැහැදිලි කරන්න. ඔබත් කදිම ආදර්ශයක් තබන්න.

• දරුවන් කුස්සියෙහි වැඩ කරන සෑම අවස්ථාවකදීම ඔවුන්ට වැඩිහිටියෙකුගේ මඟ පෙන්වීම සපයන්න. දරුවෙකුට එය ආරක්ෂා සහිතව භාවිත කිරීමට හැකි වන තෙක් ඔහුට කිසිදු උපකරණයක්, විශේෂයෙන්ම විදුලි උපකරණයක් භාවිත කිරීමට ඉඩ නොදෙන්න.

• ඔබේ කුස්සිය පිළිවෙළකින් තබාගන්න. ඉහිරුණු දේවල් හා කුණුකන්දල් වහාම ඉවත් කරන්න. ඔබ ආහාර පිසින අවස්ථාවේදී, සුරතල් සතුන් හා වෙනත් බාධා කරවන දේවල් කුස්සියෙන් පිටත තබාගත යුතුය.

ඇඟිලි ආරක්ෂා කරගන්න

• ආහාර මිශ්‍රකරණ, බ්ලෙන්ඩර හා ආහාර කැබලිකරණය වැනි විදුලි බලයෙන් ක්‍රියා කරන උපකරණ භාවිත කළ යුත්තේ, වැඩිහිටියෙකුගේ අධීක්ෂණයක් යටතේ පමණි. ඔබේ දරුවා එම උපකරණයේ භාජනයේ ඇති ආහාරය හැඳි ගෑමට පෙර, එය ක්‍රියා විරහිත කර, පේනුව විදුලි සබැදියෙන් ඉවත් කර තිබෙනවාදැයි සහතික කරගන්න.

• නිතරම පිහි මුවහත් කර තබාගන්න; මන්දයත් මොට්ට පිහියකට වැඩි පීඩනයක් යෙදීම අවශ්‍ය කරවන බැවින්, එය ලිස්සා යෑමට තිබෙන ඉඩ කඩ වැඩිය.

• ඔබේ දරුවා පිහියක් භාවිත කිරීමට ඉගෙනගන්නා විට මෙම පියවර අනුගමනය කිරීමට ඔහුට සලස්වන්න: (1) පිහිය එහි මිටෙන් අල්ලන්න; (2) පිහිය ආහාරය මත තබන්න; (3) අනික් අත පිහිය උඩ තබන්න එසේම (4) ආහාරය කැපීමට පීඩනය යොදන්න.

• කපන ලෑල්ලක් භාවිත කරන්න. ඔබේ දරුවා එළවළු කැපීමට උත්සාහ කරන අවස්ථාවේදී ඒවා ඒ මේ අත පෙරළීමෙන් වළක්වාගැනීම සඳහා, ඒවා පළමුවෙන් භාගෙට කපා පැතලි පැත්ත කපන ලෑල්ල මත තබන්න.

පිලිස්සීම්වලින් ආරක්ෂා වන්න

• සෑම විටකම උදුන් නිවා තබන්න. තුවා, සූප ශාස්ත්‍ර පොත් හා උණුසුම් භාජන ඇල්ලීමට පාවිච්චි කරන රෙදි කඩ උදුන්වලින් ඈත් කර තබන්න.

• සාස්පානවල පහසුවෙන් හැපී, ඉහිරීම් සිදු වීමෙන් වැළකීම සඳහා, ඒවායෙහි මිට උදුනේ මැදට වන සේ තබන්න.

• ඔබේ දරුවාට උදුන ළඟ යම් ආහාරයක් පිසීමට ඔබ ඉඩ දෙනවා නම්, ශක්තිමත් මතුපිටක් මත ඔහු සිටගෙන සිටින බවට සහතික වන්න.

• ඔබ එය තබන්න යන්නේ කොහේද කියා හරියටම නිශ්චය නොකර, රත් වූ භාජනයක් අතට නොගන්න. විශේෂයෙන්ම ඔබ ඔවුන්ගේ පිටුපසින් ඇවිද යන්නෙහි නම්, රත් වූ භාජනයක් ඔබ උසුලගෙන යන බව කුස්සියෙහි සිටින අනික් අය දන්නා බවට සහතික කරගන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න