අනතුරුදායකයි! මම විෂ සහිතයි
ඕස්ට්‍රේලියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
සක්‍රමිකයන් සහ අමුත්තන් මෙම විශාල රටට පැමිණෙන විට බොහෝවිට ඔවුන්ට කියන්නේ, විසකුරු සර්පයන් සහ මකුළුවන් සැම තැනකම වගේ සිටින බවයි. එහෙත් දන්නාවූ මකුළු ජාතිවලින් මෙහිදී සොයාගැනීමට ඇත්තේ, 1700ක් පමණි. “අනතුරුදායකයි! මම විෂ සහිතයි,” කියා ලේබලයක් ගසාගෙන යන්නවුන් කිහිපදෙනෙකු වුවත්, වැඩිහරියක් අනතුරු රහිතය.
සර්පයන් සම්බන්ධයෙන් නම්, අප සමඟ මිහිතලය මත ආසන්න වශයෙන්, වර්ග 2,500ක් වාසය කරති. උන්ගෙන් වර්ග 140ක් පමණ ඕස්ට්‍රේලියාවේ සොයාගත හැකි අතර, ඉන් විෂ සහිත වන්නේ 20 වර්ගයක් පමණි. මෙම විසකුරු සත්වයන්ට මුහුණ දීමට හැකියාවක් තිබෙනවාද?
නගරවල හමු වේද?
විසකුරු සර්පයන් හා මකුළුවන් වැඩිහරියක් වෙසෙන්නේ, රටේ අභ්‍යන්තරයේ ගම්බද පෙදෙස්වල පිහිටි ගෙවල්වල හෝ වන ලැහැබ්වලයි. කෙසේවෙතත්, වෙරළාසන්න වැසියන්ටත්, විශේෂයෙන්ම මකුළුවන් සම්බන්ධයෙන් සාධාරණ ප්‍රමාණයකට පරෙස්සම් වීම අවශ්‍යය. උදාහරණයක් ලෙස, නමින්ම යෝජනා කර ඇති පරිදි, සිඩ්නි පුනීල දැල් මකුළුවා, ඕස්ට්‍රේලියාවේ විශාලම නගරය වන සිඩ්නිහිත්, ඒ අවටත් වෙසෙයි. කළු පාටට නෙරා ඇති විෂ දළවලින් සන්නද්ධ වී සිටින ඌ, ඕනෑම කෙනෙකුට මහත් බිය උපදවන සිහින දැකීමට හේතුවක් විය හැක.
පිරිමි පුනීල දැල් මකුළුවාව හඳුනාගන්නේ, උගේ දෙවන කකුලේ ඇති පැහැදිලිවම පෙනෙන පොර කටුවෙනි. භයානකම එකා ඌ වන අතර—ඌ ගැහැනු සතා මෙන් පස් ගුණයක් විෂ සහිතය. මෙම මකුළුවාට දී ඇති විධිමත් ලතින් නාමය නම් ඇට්‍රැක්ස් රොබස්ටස්ය. “පසුගිය වසර හැත්තෑව තුළ පුනීල දැල් මකුළුවන් දෂ්ට කිරීමෙන් දහනවදෙනෙකු මියගොස් ඇති බව දැනගන්ට තිබේ” කියා 1980දී ද ෆනල්වෙබ් නම් පොත ප්‍රකාශ කළේය. වර්ෂ 1980දී පුනීල දැල් මකුළු දෂ්ට කිරීම් සඳහා විෂ මර්දකයක් සාර්ථක ලෙස සොයාගනු ලැබීය.
අවධානයෙන් කටයුතු කළ යුතු තවත් මකුළුවෙකු නම්, රතු වයිරම් මකුළුවායි. ඒ නම ලැබී ඇත්තේ, උගේ දිලිසෙන කළු පාට බඩ හරහා වැටුණු තැඹිලි-රතු ඉර නිසයි. සමහරවිට ඒ ඉර රෝස පාට හෝ ලා අළු පැහැයක් ගනී. භයානකම වන්නේ, ගැහැනු රතු වයිරම් මකුළුවායි. මාරාන්තික විය හැකි එම විෂ සඳහා විෂ මර්දකයක් 1956 සිට ලබාගත හැකි විය. රතු වයිරම් මකුළුවා ඕස්ට්‍රේලියාව පුරාම සොයාගත හැකි අතර, ප්‍රසිද්ධ බ්ලැක් විඩෝ මකුළුවාට නෑකම් කියයි.
බලාගෙනයි! සර්පයෝ!
තණපිටිවල හෝ නගරාසන්න නිවෙස් ආසන්න පඳුරුවල, විශේෂයෙන්ම රාත්‍රි කාලවලදී සර්පයන්ව සොයාගත හැක. ඉන් අතළොස්සක් අනතුරු සහිතය—එනම් ව්‍යාඝ්‍ර නාගයා, පොළොං වර්ගයට අයත් මාරාන්තික ඇඩරයා සහ ටයිපන්. ව්‍යාඝ්‍ර නාගයා දිගින් මීටර් 1.5ක් පමණය. පිටුපස හරහට වැටී ඇති තද පාට ඉරිවලින් ඌව හඳුනාගත හැක. ඌ කෝපාවිෂ්ට වූ විට, කහින විට ඇති වන ශබ්දය මෙන් ශබ්දයක් පිට කරමින් පිඹියි.
මාරාන්තික ඇඩරයා විවිධ පාට ගන්නා මුත්, වලිගය අග ඇති කහ පාටට හුරු සුදු උපාංගය ගස්සවමින් සිටින්නේ, තම ගොදුරු ආකර්ෂණය කිරීමටයි. අශ්ව කුරයක් සේ සෑදී සිටින ඌ වැලි සහිත ප්‍රදේශවල සොයාගත හැක. මෙම මාරාන්තික ඇඩරයා මීටර් 0.6ක් පමණ දිග වන අතර, මහතය.
අනික් අතට, ටයිපන් මීටර් තුනක් පමණ දිගට වැඩේ! දුඹුරු පැහැති ඌට ලා පැහැති නාසයක් ඇත. ඌට විශාල විෂ ග්‍රන්ථි ඇති අතර, දළය සෙන්ටිමීටරයකටත් වඩා දිගය. වරක් ටයිපන් විසින් දෂ්ට කරනු ලැබූ එක් අශ්වයෙක් විනාඩි කිහිපයක් ඇතුළත මියගියේය!
මට දෂ්ට කළොත් කරන්නේ මොකක්ද?
මකුළු දෂ්ට කිරීම් සහ සර්පයන් දෂ්ට කිරීම් යන දෙකටම අවශ්‍ය විෂ මර්දක බෙහෙත් ඇති අතර, විෂ පිළිබඳ තොරතුරු සපයන ආයතන ඕස්ට්‍රේලියාව පුරාම, පැය 24 පුරා ප්‍රතිචාරය දැක්වීමට සෑදී සිටියි. සර්ප විෂට ප්‍රතිකාර කරන ක්‍රම දියුණු වී ඇත. දෂ්ට කළ වහාම තුවාලය කපා විෂ ඉරීම යන අදහස, යල්පැන ගිය යමක් පමණක් නොව, හානිකර යමක්ද වෙයි. දැන් වෛද්‍ය අධිකාරීන්ගේ උපදේශය නම්, රෝගියාව එක තැනක සන්සුන්ව තබා, දෂ්ට කළ තැනත්, හෘදයත් අතර වෙළුම් පටියකින් ගැටගසන්න යන්නයි. ඉන්පසුව, පීඩනයක් යෙදීම සඳහා ඒ මත ඝන රෙදි කැබැල්ලක් තබා, හානියට පත් අංගය නොසෙල්වෙන පිණිස ලී පතුරක් තබා ගැට ගැසිය යුතුයි. ඊට පසුව, රෝගියාව වෛද්‍යවරයෙකුට පෙන්වීම හෝ රෝහලට ගෙනයෑම හැකි ඉක්මනින් කළ යුතුය.
පුනීල දැල් මකුළුවන් සහ රතු වයිරම් මකුළුවන් ගෙවල් අභ්‍යන්තරයේ වෙසෙන්නේ කලාතුරකිනි. රතු වයිරම් මකුළුවා සැඟ වී සිටින්නේ, ගරාජ හෝ මඩු හෝ නිශ්ශබ්ද, නිස්කලංක තැන් වන පරණ කාර්, කුණු ගොඩවල් හෝ එළියේ පිහිටි වැසිකිළි වැනි තැන්වලය. නොදැනුවත්වම නිවස තුළට උන් පැමිණීම ගැන පරෙස්සම් විය යුතුය.
අවදානම කොපමණ බරපතළද?
බොහෝ ඕස්ට්‍රේලියානුවන් පෞද්ගලිකව රතු වයිරම් මකුළුවාව හෝ මාරාන්තික ඇඩරයාව දැක නැති අතර, උන් විසින් දෂ්ට කළ අයෙකු ගැනවත් අසා නැත. සැබෑ තත්වය නම්, ආරක්ෂාවට නිසි ක්‍රියාමාර්ග ගනු ලැබේ නම්, විෂ සහිත මකුළුවෙකු හෝ සර්පයෙකු විසින් දෂ්ට කරනු ලැබීමේ අවදානමක් නැති තරම්ය. බොහෝ විසකුරු සතුන් ඔබෙන් ඉවත් වී යන්ට උත්සාහ කරන අතර, කලහකාරි වන්නේ, හිරිහැර කළොත් හෝ යා නොහැකි වන සේ කොටු කළොත් පමණි.
කෙසේවුවත්, අවධානයෙන් සිටීම ඥානවන්තම ක්‍රියාමාර්ගයයි. විසකුරු සතුන් පිළිබඳ ප්‍රවීණ ඕස්ට්‍රේලියානු විද්‍යාඥයෙකු, “වතු වැඩ කරද්දි අත්වැසුම් පළඳිනවා, මාළු අල්ලද්දි බූට්ස් දානවා, පරෙස්සමින් සංචාරය කරනවා,” කියා පවසයි. බූට්ස් මොකටද? ඒ, සමහරවිට විවිධ වර්ගයේ විෂ සහිත බූවල්ලන්, ජෙලිෆිෂ් නොහොත් හොරියන් සහ කටු තේප්පයා වැනිවුන් සිටින නිසාය.
සමහරවිට, උන් ගැන පසු වෙලාවක කියන එක වඩා හොඳයි.
[24වන පිටුවේ පින්තූරය]
රතු-පිටැති ගැහැනු මකුළුවා
[හිමිකම් විස්තර]
ඉහළ: Australian International Public Relations අනුග්‍රහයෙනි
[24වන පිටුවේ පින්තූරය]
උතුරුකරයේ මාරාන්තික ඇඩරයා
[හිමිකම් විස්තර]
Ross Bennett, Canberra, Australia අනුග්‍රහයෙනි
[25වන පිටුවේ පින්තූරය]
පුනීල දැල් මකුළුවා
[හිමිකම් විස්තර]
Australian International Public Relations අනුග්‍රහයෙනි
[25වන පිටුවේ පින්තූරය]
ටයිපන්
[හිමිකම් විස්තර]
J. C. Wombey, Canberra, Australia අනුග්‍රහයෙනි