කොමියුනිස්ට් දේශයක දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් පාලනය වීම
ඕන්ඩ්රේ කඩ්ලෙට්ස් විසින් පැවසූ පරිදි
වර්ෂ 1966 ග්‍රීෂ්ම ඍතුවේදී, මම චෙකොස්ලොවැකියාවේ ප්රාග් නමැති මගේ ගමේ, සංචාරක ගමනක් මෙහෙයවමින් සිටියා. එම කණ්ඩායමට අපේ නගරයේ සිත්ගන්නා පල්ලි හා දේවස්ථාන පෙන්වද්දී, මා අලුත සොයාගත් ඇදහිල්ල සම්බන්ධයෙන් ජ්වලිතයක් ඇතුව, දෙවියන්වහන්සේ ගැන කතා කළා.
“ඔයා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක්ද?” කියා අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යා විශාරදයෙක් මගෙන් ඇසුවා.
“නැහැ, මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන අහලවත් නැහැ. මම රෝමානු කතෝලිකයෙක්,” කියා මම උත්තර දුන්නා.
දෙවියන්වහන්සේව අදහන්නෙක් බවට පත්වීම
අධ්‍යාපනය, දේශපාලනය සහ වෛද්‍ය ක්ෂේත්‍ර තුළ කැපීපෙනෙන අයව සිටි දෙමව්පියන් විසින් මාව ඇති දැඩි කරනු ලැබුවා. වර්ෂ 1944දී මගේ උපතටත්, ඊළඟ වසරේදී IIවන ලෝක සංග්‍රාමයේ අවසානයටත් කෙටි කලකට පසුව මගේ පියා කොමියුනිස්ට්වාදියෙක් වුණා. ඇත්තවශයෙන්ම ඔහු කොමියුනිස්ට් ප්රතිසංස්කරණවාදී ව්‍යාපාරයේ උප ප්රතිසංස්කාරක වූ අතර, 1966දී ප්‍රාග්හි පිහිටි ආර්ථික විශ්වවිද්‍යාලයේ කුලපති බවටද පත් වුණා. වසර කිහිපයකට පසුව, ඒ වන විට කොමියුනිස්ට් මෙන්ම අදේවවාදී රටක් වූ චෙකොස්ලොවැකියාවේ අධ්‍යාපන ඇමති ධුරයට ඔහුව නියම කරනු ලැබුවා.
අම්මා, ඉතා සුළු දේවල් ගැන පවා අවංකව කටයුතු කළ, ඉතා දක්ෂ කාන්තාවක්. ඇය අක්ෂි ශල්‍ය වෛද්‍යවරියක වූ අතර, රටේ හොඳම අක්ෂි ශල්‍ය වෛද්‍යවරිය යන කීර්තියද ඇතුව සිටියා. එසේවුවත්, ඇය දිළිඳු අයට නොමිලේ ප්‍රතිකාර කළා. “යමෙකුට තිබෙන ඕනෑම දීමනාවක් භාවිත කළ යුත්තේ ප්‍රජාවේ හා දේශයේ ප්‍රයෝජනයටයි” යනුවෙන් ඇය නිතර පැවසුවා. ඇගේ චිකිත්සාගාරයේ සිටීමට හැකි වන පිණිස මා උපත ලැබූ විට පවා ඇය ප්‍රසූත නිවාඩු ගත්තේ නැහැ.
ශාස්ත්‍රීය වශයෙන් විශිෂ්ටත්වයක් දැක්වීම මගෙන් අපේක්ෂා කරනු ලැබුවා. “ඔයාට වඩා හොඳින් කවුරුහරි ඉගෙනගන්නවාද?” යනුවෙන් තාත්තා අසන්ට යෙදුණා. බොහෝවිට විශිෂ්ටත්වය සඳහා ශාස්ත්‍රීය සම්මාන දිනූ බැවින්, මම එම තරඟකාරි ස්වභාවයෙන් සතුටක් ලබන්න පටන්ගත්තා. මම රුසියානු, ඉංග්‍රීසි සහ ජර්මානු භාෂා ඉගෙනගෙන, කොමියුනිස්ට් රටවලටත් ඉන් එහාටත් පුළුල් ලෙස සංචාරය කළා. ආගමික සංකල්ප, විපරීත මිථ්‍යා විශ්වාසයන් ලෙස නිෂ්ප්‍රභ කිරීමෙන් මම සතුටක් ලැබුවා. එමෙන්ම මම අදේවවාදය මුළුමනින්ම වැලඳගත් නමුත්, එය දේශපාලන ක්ෂේත්රයේදී අදාළ වූ ආකාරය ද්වේෂ කළා.
මට හුදෙක් වයස අවුරුදු 21ක්ව තිබියදී, එංගලන්තයට ගිය ගමනක් මා මත ප්‍රබල බලපෑමක් ඇති කළා. ඒත්තුගැන්වීමෙන් හා තර්කයෙන් උත්තරීතර තැනැත්තෙකු කෙරෙහි වූ තම ඇදහිල්ල වෙනුවෙන් කතා කළ මනුෂ්‍යයන්ව මට හමු වුණා. මම ප්රාග්වලට ආපසු පැමිණි විට, රෝමානු කතෝලික ආශ්‍රිතයෙක් මෙහෙම යෝජනා කළා: “ක්‍රිස්තියානි ධර්මය ගැන කියවන්න එපා. බයිබලය කියවන්න.” මම කළේ එයයි. එය කියවා නිම කිරීමට මට මාස තුනක් ගත වුණා.
මගේ සිත ඇදී ගියේ බයිබල් ලේඛකයන් ඔවුන්ගේ පණිවුඩ ඉදිරිපත් කළ ආකාරය වෙතටයි. ඔවුන් නොවළහා අදහස් ප්‍රකාශ කළ අතර, තමන්වම විවේචනය කළා. ඔවුන් විස්තර කළ තේජාන්විත අනාගතය, මනුෂ්‍යයන් ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වන දෙවිකෙනෙකුට පමණක් නුවණින් දැකගත හැකි මෙන්ම සැපයිය හැකි යමක් බව විශ්වාස කිරීමට මම පටන්ගත්තා.
පෞද්ගලික බයිබල් කියවීමෙහි හා මෙනෙහි කිරීමෙහි මාස ගණනාවක් ගත කළාට පසුව, මගේ පියාට හා මිත්‍රයන්ට මුහුණ දීමට මා සූදානම් බව මට හැඟුණා. මම අලුතෙන් සොයාගත්ත ඇදහිල්ල ඔවුන් අභියෝගයට ලක් කරන බව මම දැනගෙන සිටියා. ඉන්පසුව මම මගේ ඇදහීමට අන්‍යයන්ව හරවාගැනීමට දැඩි ආශාවකින් කටයුතු කළා. ආරම්භයේදී සඳහන් කළ අමෙරිකානු විශාරදයා වැනි, මා ළඟින් සිටි ඕනෑම කෙනෙකුට, හරවාගැනීමේ මගේ උත්සාහයන්ට මුහුණ දීමට සිදු වුණා. මගේ ඇදහිල්ල ගැන සියලුදෙනාවම දැනුවත් කිරීම සඳහා බිත්තියේ මගේ ඇඳට උඩින් මම කුරුසි සුරුවමක් පවා එල්ලා තැබුවා.
කෙසේවෙතත්, මම බොහෝදුරට, ප්‍රබල කොමියුනිස්ට්වාදියෙක් වූ මගේ පියා මෙන් සිටි බැවින්, මම ක්‍රිස්තියානියෙක් වීමේ අදහස මගේ මව ප්‍රතික්ෂේප කළා. එසේවුවත් මම එහි දිගටම රැඳී සිටියා. මම බයිබලය දෙවන හා තුන්වන වතාවටත් කියෙව්වා. තවදුරටත් දියුණු වීමට නම්, මට මඟ පෙන්වීම අවශ්‍ය බව ඒ වන විට මට වැටහී ගියා.
මගේ ගවේෂණයට විපාක ලැබේ
මම රෝමානු කතෝලික පල්ලියට ගියා. තරුණ පූජකයෙකුට මූලිකවම අවශ්‍යව තිබුණේ මට පල්ලියේ මූලධර්ම ඉගැන්වීමටයි, මෙය මම සම්පූර්ණයෙන්ම පිළිගත්තා. ඉන්පසුව, 1966දී මම බව්තීස්මය ලැබුවා—මෙය මගේ පියාට ලජ්ජාවක් වුණා. මා මත වතුර ඉසීමෙන් පසුව, බයිබලය කියවන මෙන් පූජකයා මට යෝජනා කළා, එහෙත් ඔහු තවදුරටත් මෙසේද පැවසුවා: “පාප්තුමා දැනටමත් පරිණාමවාදය පිළිගෙන තියෙනවා, ඒ නිසා කලබල වෙන්න එපා; අපි කිරිඳිවලින් තිරිඟු වෙන් කරලා ගමු.” මට ඇදහිල්ල සපයා දුන් පොත සැකයට භාජන වීම ගැන මම කම්පා වුණා.
ඒ අතරතුරේදී, 1966 ශරත් ඍතුවේදී, මම කතෝලික පවුලකට අයත් මිත්‍රයෙකු සමඟ කතා කර මගේ විශ්වාසයන් ඔහු සමඟ බෙදාගත්තා. ඔහුටත් බයිබලය හුරුපුරුදු වූ අතර, අර්මගෙදොන් ගැන ඔහු මා සමඟ කතා කළා. (එළිදරව් 16:16) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් තමාට හමු වන බව ඔහු පැවසුවා, මොවුන් ගැන මට මුල් වතාවට අහන්න ලැබුනේ, මාස කිහිපයකට ඉහතදී, කලින් සඳහන් කළ එම සංචාරක ගමන මෙහෙයවමින් සිටි අවස්ථාවේදීය. කෙසේවෙතත්, මගේ බලසම්පන්න, ධනවත්, ජනාකීර්ණ රෝමානු කතෝලික පල්ලිය හා සැසඳීමේදී ඔහුගේ කණ්ඩායම වැදගැම්මකට නැති කොටසක් ලෙස මම සැලකුවා.
තවදුරටත් සාකච්ඡාවල යෙදුණු අවස්ථාවලදී, ඉතා වැදගත් විෂයන් තුනක් අපි පරීක්ෂා කර බැලුවා. ප්‍රථමයෙන්, පළමු-ශතවර්ෂයේ ක්‍රිස්තියානි ධර්මයේ උරුමක්කාරයා රෝමානු කතෝලික පල්ලියද? ඊළඟට, පරම අධිකාරිත්වය ලෙස සැලකිය යුත්තේ කුමක්ද—මගේ පල්ලියද නැතහොත් බයිබලයද? එමෙන්ම තුන්වනුව, නිවැරදි කුමක්ද, මැවිල්ල පිළිබඳ බයිබලයේ වාර්තාවද නැතහොත් පරිණාමවාදයද?
අප දෙදෙනාගේම ඇදහිල්ලේ උල්පත බයිබලය වූ බැවින්, කතෝලික පල්ලියේ ඉගැන්වීම් මුල් ක්‍රිස්තියානි ධර්මයේ ඉගැන්වීම්වලට වඩා අතිශයෙන් වෙනස් වූ බව මට ඒත්තුගැන්වීම මගේ මිත්‍රයාට අසීරු දෙයක් වුණේ නැහැ. නිදසුනක් වශයෙන්, ත්‍රිත්වය පිළිබඳව පල්ලියේ ප්‍රසිද්ධ ඉගැන්වීම, යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ ඉගැන්වීම් මත පදනම් වී නැති බව, කතෝලික මූලාශ්‍ර පවා පිළිගන්නා බව මට දැනගන්ට ලැබුණා.
අපගේ පරම අධිකාරිත්වය කුමක් විය යුතුද යන ඊට සම්බන්ධ වූ ප්‍රශ්නයට මෙය අපව මඟ පෑදීය. මම සාන්ත ඔගස්ටීන්ගේ මතු සඳහන් වන උපුටනයේ තොරතුරු විමසුවා: “රෝමා ලෝකූටා එස්ට්; කෞසා ෆීනීටා එස්ට්,” එනම්, “රෝමය තීරණයක් ගෙන තිබේ; විෂය තීන්දු කර හමාරය.” එහෙත් මගේ මිත්‍රයා කියා සිටියේ, දේවවචනය වන බයිබලය, අපගේ උත්තරීතර අධිකාරිත්වය විය යුතු බවයි. ප්‍රේරිත පාවුල්ගේ වදන්වලට එකඟවීමට මට සිදු වුණා: “සියලු මනුෂ්‍යයන් බොරුකාරයන් වුණත් දෙවියන්වහන්සේ සැබෑ බව පෙනේවා.”—රෝම 3:4.
අවසානයේදී, මගේ මිත්‍රයා එවලූෂන් වර්සස් ද නිව් වර්ල්ඩ් (පරිණාමවාදයට එරෙහිව නව ලොව) යන මාතෘකාවෙන් යුත් ටයිප් කරන ලද පරණ අත්පිටපතක් මට ඉදිරිපත් කළා. එක්දහස් නවසිය හතළිස් ගණන්වල අගභාගයේදී චෙකොස්ලොවැකියාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව තහනම් කර තිබූ බැවින්, ඔවුන් තම ප්‍රකාශන පිටපත් කළ අතර, ඒවා ලබන අය ගැන ඉතා සුපරීක්ෂාකාරි වුණා. මෙම පොත් පිංචය කියවූ විට, එහි සත්‍යය අඩංගු වූ බව මට වැටහුණා. මගේ මිත්‍රයා මා සමඟ බයිබල් පාඩමක් ආරම්භ කළා. ඔහු “ලෙට් ගෝඩ් බී ටෲ” (දෙවියන්වහන්සේ සැබෑ වේවා) නමැති බයිබල් පාඩම් ආධාරකයෙන් වරකට පිටු කිහිපයක් මට දුන් අතර, අපි මෙම පිටු එකට සාකච්ඡා කරන්ට යෙදුණා.
අපි මෙම සාකච්ඡා ආරම්භ කර කෙටි කලකින්—එනම් 1966 නත්තල් සමයේදී—බටහිර ජර්මනියේ සිට මාව බැහැදැකීමට මිත්‍රයන් ප්රාග්වලට පැමිණියා. අපගේ සාකච්ඡාවකදී, යුද්ධයට අනුබල දෙන කුහකයන් ලෙස ඔවුන් ක්‍රිස්තියානීන්ට අපහාස කළා. “නැටෝ රටවල හමුදා භටයින් වශයෙන්, වෝසෝ ගිවිසුමට යටත් කොමියුනිස්ට් රටක වෙසෙන නාමික ක්‍රිස්තියානියෙකු වන ඔබට එරෙහිව සටන් කිරීමට අපට පුළුවන්,” යයි ඔවුන් පැවසුවා. ඔවුන්ගේ නිගමනය වුණේ: “කුහක වීමට වඩා නින්දා කිරීම වඩාත් හොඳයි” යන්නයි. ඇතැම්විට ඔවුන් හරි වෙන්ටත් පුළුවනි කියා මට හිතුණා. එමනිසා ඊළඟ බයිබල් පාඩමේදී, සැබෑ ක්‍රිස්තියානීන් යුද්ධය හා ඊට පුහුණු වීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කෙසේද කියා මම මගේ මිත්‍රයාගෙන් විමසුවා.
මම මුහුණ පෑ තීරණ
මගේ මිත්‍රයා කරුණු පැහැදිලිව පහදා දුන් විට මම පුදුම වුණා. එහෙත්, ‘කඩුවලින් හීවැල් තලාගැනීම’ යන බයිබල් ඉගැන්වීමට එකඟව ක්‍රියා කිරීම, මගේ ජීවිතයත් මා කිරීමට බලාපොරොත්තු වූ රැකියාවත් මහත් සේ වෙනස් කරනු ඇත. (යෙසායා 2:4) මම තව මාස පහකින් වෛද්‍ය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමට සිටි අතර, ඉන්පසුව යම් කාල පරිච්ඡේදයකට අනිවාර්ය හමුදා සේවයට බැඳීමට අවශ්‍යව තිබුණා. මා කුමක් කළ යුතුද? මා කම්පනයට පත් වී සිටියා. එමනිසා මම දෙවියන්වහන්සේට යාච්ඤා කළා.
දින ගණනාවකට ගැඹුරු කල්පනාවේ යෙදීමෙන් පසුව, සැබෑ ක්‍රිස්තියානීන්ට සමාදානයේ පුරුෂයන් වීම සඳහා වූ අවශ්‍යතාවට එකඟව ක්‍රියා නොකිරීම සඳහා නිදහසට කරුණක් සෙවීමට මට නොහැකි වුණා. විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසුව, හෘදය සාක්ෂියට එකඟව විරෝධයපාන්නෙකු හැටියට දඬුවම් කරනු ලබන තෙක්, රෝහලක තනතුරක් භාරගැනීමට මම තීරණය කළා. එහෙත් ඉන් අනතුරුව, රුධිරයෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් බයිබලය පවසන දෑ මම ඉගෙනගත්තා. මගේ රැකියාව මාව රුධිර ප්‍රවේශන දීමට සම්බන්ධ කළ හැකි බව අවබෝධ කරගත් නිසා, රෝහලේ වැඩ අත්හැරීමට මම තීරණය කළා. (ක්‍රියා 15:19, 20, 28, 29) එම තීරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මම පුළුල් ලෙස මහජන අපකීර්තියට ලක් වුණා.
තම දේශපාලනමය වෘත්තිය කඩාකප්පල් කිරීමට වෙර දැරූ හිතුවක්කාර කරදරකාරයෙක් බවට මා පත් නොවී සිටි බව සහතික කරගැනීමෙන් පසුව, මගේ පියා මැදිහත් වී මගේ අනිවාර්ය හමුදා සේවය වසරකට කල් දැමීමට සැලසුම් කළා. වර්ෂ 1967 ග්‍රීෂ්ම කාලය මට ඉතා දුෂ්කර එකක් වුණා. මගේ තත්වය සලකා බලන්න: මම නවක බයිබල් ශිෂ්‍යයෙක් වූ අතර, මගේ පාඩම් උපදේශක, එනම් මට හමු වූ එකම සාක්ෂිකාරයා, ග්‍රීෂ්ම නිවාඩුවට බැහැරව සිටියා. ඇරත් ඔහු මගේ පෞද්ගලික අධ්‍යයනය සඳහා තබා ගොස් තිබුණේ “ලෙට් ගෝඩ් බී ටෲ” පොතෙන් පරිච්ඡේද කිහිපයක් පමණයි. මගේ ආත්මික මඟ පෙන්වීම සඳහා තිබුණේ මෙම පරිච්ඡේද කිහිපය හා මගේ බයිබලය විතරයි.
පසුව, වෙනත් සාක්ෂිකරුවන්ව දැන හඳුනාගැනීමට මට හැකි වූ අතර, 1968 මාර්තු 8වනදා වතුර බව්තීස්මය මගින් යෙහෝවඃවහන්සේට වූ මගේ කැපවීම මම සංකේතවත් කළා. ඊළඟ වසරේදී එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ, වසර දෙකක පශ්චාත් උපාධි පාඩම් මාලාවක් හැදෑරීමට මට ප්‍රස්තාවක් ඉදිරිපත් කරනු ලැබුවා. සාක්ෂිකරුවන් තහංචි යටතේ නොසිටි දේශයක මට ආත්මිකව දියුණු වීමට හැකි නිසා, එම ප්‍රස්තාව පිළිගෙන එංගලන්තයට යන මෙන් ඇතමෙක් මට යෝජනා කළා. ඒ අතරතුරේදීම, මට වෘත්තීමය සුදුසුකම්වලින් යුත් කදිම රැකියාවකට සූදානම් වෙන්ටත් තිබුණා. එහෙත් චෙකොස්ලොවැකියාවේ මගේ සේවය අවශ්‍ය වූ තරමටම එය එංගලන්තයේ අවශ්‍ය නොවූ බව ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් කීවා. එමනිසා මගේ බාහිර අධ්‍යාපනය වැඩිදියුණු කරගැනීම සඳහා වූ එම ප්‍රස්තාව ප්‍රතික්ෂේප කිරීමට මම තීරණය කළ අතර, අපගේ රහස් දේශනා කටයුතුවලට උපකාර කිරීම සඳහා මම චෙකොස්ලොවැකියාවේ රැඳී සිටියා.
ක්‍රිස්තියානි අවේක්ෂකයන්ට සුවිශේෂ උපදෙස් ලබා දුන් රාජ්‍ය සේවා පාසැල් පාඩම් මාලාවකට සහභාගි වීමට 1969දී මට ආරාධනයක් ලැබුණා. එම වසරේදීම චෙකොස්ලොවැකියාවේ හොඳම තරුණ ඖෂධවේදී හැටියට මම ශිෂ්‍යත්වයක් දිනාගත්තා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්විට්සර්ලන්තයේ ඖෂධවේදය පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ සම්මේලනයකට මම සහභාගි වුණා.
විද්‍යාඥයෙක් ඔහුගේ මත වෙනස් කරයි
වර්ෂ 1970දී මම දේශනයකට සවන් දෙමින් සිටියදී, ෆ්රාන්ටිෂෙක් වීස්කෝෂීල් නම් විද්‍යාඥයෙක් ස්නායු ආවේග සම්ප්‍රේෂණය නමැති සංකීර්ණ විෂය පැහැදිලි කරන්ට යෙදුණා. ජීවියෙකු තුළ අවශ්‍යතාවක් හටගන්නා ඕනෑම අවස්ථාවකදී, විශිෂ්ට විසඳුමක් සපයනු ලබන බව ඔහු පැවසුවා. “ස්වභාවධර්මය නමැති ඉන්ද්රජාලිනියට, මෙය කරන ආකාරය දන්නවා,” යන්න ඔහුගේ නිගමනය විය.
දේශනාවට පසුව මම ඔහු වෙතට ගියා. “ජීවමාන දේවල විශිෂ්ට නිර්මාණය සඳහා දෙවියන්වහන්සේට ප්‍රශංසාව ලැබිය යුතු බව ඔබට හැඟෙන්නේ නැද්ද?” කියා මම ඇසුවා. ඔහු අදේවවාදියෙක් වූ බැවින් මගේ ප්රශ්නය ඔහුව පුදුමයට පත් කළා. ඔහු වෙනස් ආකාරයක ප්‍රශ්න සමඟින් ප්‍රතිචාර දැක්වුවා. ඔහු මෙසේ ඇසුවා: “නපුර පැමිණියේ කොහෙන්ද?” සහ “මෙතරම් අධික දූදරු පිරිසක් අනාථ වීම කාගේ වරදද?”
මම බයිබලය මත පදනම්, සාධාරණ පිළිතුරු දුන් විට, ඔහුගේ උනන්දුව ඇවිස්සුණා. එහෙත්, බයිබලයේ කර්තෘ මැවුම්කරු බව පහසුවෙන්ම හඳුනාගැනීමට හැකි වන පරිදි, සෛලයක ව්‍යූහය පිළිබඳ විස්තරයක් වැනි නිශ්චිත විද්‍යාත්මක තොරතුරු බයිබලය සපයන්නේ නැත්තේ මන්ද කියා ඔහු ඇසුවා. “වඩා දුෂ්කර වන්නේ, විස්තර කිරීමටද නැත්නම් මැවීමටද?” යනුවෙන් මම ඇසුවා. ඩිඩ් මෑන් ගෙට් හියර් බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්? (මිනිසා මෙහි පැමිණියේ පරිණාමයෙන්ද නැතහොත් මැවීමෙන්ද?) නමැති පොත මම ඔහුට දුන්නා.
එය මතුපිටින් පමණක් කියවීමෙන් පසුව, ෆ්රාන්ටිෂෙක් එය ඉතා සරල සහ දෝෂ සහිත පොතක් ලෙස හැඳින්වූවා. තවද බහු විවාහය, දාවිත්ගේ කාමමිථ්‍යාචාරය සහ දාවිත් අහිංසක මිනිසෙකු මරා දැමීම ආදිය පිළිබඳව බයිබලය පැවසූ දේවල්ද ඔහු විවේචනයට ලක් කළා. (උත්පත්ති 29:23-29; 2 සාමුවෙල් 11:1-25) දෙවියන්වහන්සේගේම සේවකයන්ගේ අඩුලුහුඬුකම් හා ඔවුන් කළ බරපතළ වැරදි පවා බයිබලය අවංකව වාර්තා කරන බව දක්වමින් ඔහුගේ විරෝධතාවන් මම නිෂ්ප්‍රභ කළා.
අවසාන වශයෙන්, අපගේ සාකච්ඡාවකදී, කෙනෙකුට හොඳ අභිප්රායක් නැත්නම්, සත්‍යය සඳහා ඔහුට ප්‍රේමයක් නොමැති නම්, දෙවියන්වහන්සේගේ පැවැත්ම පිළිබඳව කිසිම ආකාරයක තර්ක කිරීමකින් ඔහුව ඒත්තුගැන්වීමට නොහැකි වන බව මම ෆ්රාන්ටිෂෙක්ට කීවා. මම පිටත්වීමට සූදානම් වනවාත් සමඟම, ඔහු මාව නවත්වා බයිබල් පාඩමක් ඉල්ලා සිටියා. ඩිඩ් මෑන් ගෙට් හියර් බයි එවලූෂන් ඕර් බයි ක්‍රිඒෂන්? නමැති පොත තමා නැවතත්—මේ වතාවේදී විවෘත මනසකින් යුතුව කියවන බව ඔහු පැවසුවා. ඉන්පසුව ඔහුගේ ආකල්පය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා, ඔහුගේ ලිපියක ඔහු ඇතුළත් කළ මතු සඳහන් වන උපුටනයෙන් එය පැහැදිලි වේ: “මනුෂ්‍යයන්ගේ උඩඟුකම යටත්කරනු ලබන්නේය, මිනිසුන්ගේ ආඩම්බරයද පහත්කරනු ලබන්නේය. ස්වාමීන්වහන්සේ පමණක් උසස්කරනු ලබන්නේය.”—යෙසායා 2:17.
වර්ෂ 1973 ග්‍රීෂ්මයේදී, ෆ්රාන්ටිෂෙක් සහ ඔහුගේ බිරිඳ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ලෙස බව්තීස්ම වුණා. දැනට, ඔහු ප්‍රාග්හි සභාවලින් එකක වැඩිමහල්ලෙකු ලෙස සේවය කරයි.
තහංචි යටතේ දේශනා කිරීම
තහංචි කාලයේදී අපගේ ක්ෂේත්‍ර සේවය ඉතා පරෙස්සමින් කරගෙන යෑමට අපට උපදෙස් ලැබුණා. එක් අවස්ථාවකදී, බාල වියේ පසු වන සාක්ෂිකරුවෙකු තමා සමඟ දේශනා සේවයේ හවුල් වන මෙන් මගෙන් නිතර නිතර අයැද සිටියා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සංවිධානයේ පෙරමුණ ගන්න අය ඇත්තෙන්ම දේවසේවයේ යෙදෙනවාද යන්න ඔහු සැක කළා. අපගේ අවිධිමත් දේවසේවයේදී අපි කදිම සාකච්ඡා බොහොමයකින් සතුටක් ලැබුවා. එනමුත් අවසානයේදී, මට ඒ අවස්ථාවේදී එය නොවැටහුණත්, රාජකීය රහස් පොලීසියේ ඡායාරූප ඇල්බමයක තිබූ ඡායාරූපවලින් මගේ මුහුණ හඳුනා ගත් මිනිසෙකුව අපට හමු වුණා. මාව හිර අඩස්සියට ගනු නොලැබුවත්, එවක් පටන් මම නිලධාරීන්ගේ කිට්ටු අවධානයට ලක් වූ අතර, මෙය අපගේ රහස් දේශනා සේවයේ මගේ බලපෑමෙන් යුක්තභාවයට බාධාවක් වුණා.
කලින් වසරවල මගේ පුරුද්දක්ව තිබූ පරිදි, 1983 ග්රීෂ්මයේදීද, රටේ දුරස්තර ප්‍රදේශයක අවිධිමත්ව සාක්ෂිදැරීම සඳහා දින කිහිපයක් ගත කිරීමට මම තරුණ සාක්ෂිකරුවන් කණ්ඩායමක් සූදානම් කරගත්තා. ඥානවන්ත උපදෙස් පිළිපැදීමට අසමත් වෙමින්, පොදුජන ගමනාගමනය භාවිත කිරීමට වඩා මගේ කාර් එක භාවිත කිරීම පහසු වූ නිසා මම එය ධාවනය කළා. බහු අංශ වෙළඳ සැලකින් බඩු ටිකක් ගැනීමට නතර කළ විට, එය ඉදිරියෙන් මගේ කාර් එක මම නවතා තැබුවා. බඩුවලට ගෙවද්දී, වෙළඳ සැලේ තරුණ වැඩකරුවන්ගෙන් ටිකදෙනෙකුව පෙන්වා වයසින් වැඩි සේවිකාවකට මම මෙසේ පැවසුවා: “අනාගතයේදී අප සියලුදෙනාටම තරුණ වෙන්න පුළුවන්.” කාන්තාව මද සිනාවක් පෑවා. “කොහොම වුණත් එය අපට කළ හැකි දෙයක් නොවෙයි” කියා මම තවදුරටත් පැවසුවා. “ඉහළින් උපකාරය අවශ්‍ය වෙයි.”
තවදුරටත් ප්‍රතිචාරයක් නොලැබූ බැවින්, මම එතැනින් පිට වුණා. මම ආගමික අදහස්වලට අනුබල දෙනවායයි සිතූ සේවිකාව, මම පාර්සලය කාර් එකට දමද්දී ජනේලයෙන් මට නොදැනෙන්න බලාගෙන සිටියා. ඉන් අනතුරුව ඇය පොලීසියට දැනුම් දුන්නා. නගරයේ වෙනත් ප්‍රදේශවල අවිධිමත්ව සාක්ෂිදැරීමෙන් පැය ගණනක් ගත කළාට පසුව, මගේ සහකරුවා සහ මම නැවතත් කාර් එකට පැමිණියා. හිටිහැටියේම පොලිස් භටයන් දෙදෙනෙකු පැමිණ අපව අත්අඩංගුවට ගත්තා.
පොලිස් ස්ථානයෙන් අපව නිදහස් කිරීමට පෙර පැය ගණනක් අපගෙන් ප්‍රශ්න කළා. මම මුලින් කල්පනා කළේ, එදා දවස තුළ අප එකතු කරගත් උනන්දුව දැක්වූවන්ගේ ලිපිනවලට කරන්නේ කුමක්ද යන්නයි. ඉතිං ඒවා වැසිකිළියේ සෝදාහැරීම සඳහා මම වැසිකිළියට ගියා. එහෙත් මා එසේ කරන්ට පෙර, පොලිස් භටයෙකුගේ ශක්තිමත් අතක් මාව නතර කළා. ඔහු එම කඩදාසි වැසිකිළියෙන් ගෙන පිරිසිදු කරගත්තා. මෙය මගේ අසහනය තවත් වැඩි කළා, එයට හේතුව, තම ලිපින මට දුන්නාවූ අය දැන් කරදරයට ලක් වී සිටීමයි.
ඉන්පසුව අප සියලුදෙනාම අපගේ හෝටලයට ගෙනයනු ලැබුවා, ඒ වන විටත් එය පොලීසිය විසින් පරීක්ෂා කර තිබුණා. එහෙත් වෙනත් උනන්දුමත් අයගේ ලිපින පරෙස්සමින් සඟවා නොතිබුණත් ඔවුන් ඒවා සොයාගෙන තිබුණේ නැහැ. පසුව, ස්නායු ඖෂධවේදියෙකු වශයෙන් මා සේවය කළ ස්ථානයේදී, නීත්‍යනුකූල නොවන කටයුතුවලට සම්බන්ධ වීම නිසා මට ප්‍රසිද්ධියේ තරවටු කරනු ලැබුවා. තවද, දේවසේවයේ හවුල්වීම සඳහා ගමන් කරද්දී මගේ කාර් එක භාවිත නොකිරීමට මට කළින් අනතුරු ඇඟවූ, චෙකොස්ලොවැකියාවේ දේශනා වැඩය සම්බන්ධ අධීක්ෂණ කටයුතු කළ සහෝදරයාගෙන්ද මම බැණුම් ඇහුවා.
හික්මවීමට යටත්වීම
වර්ෂ 1976දී, චෙකොස්ලොවැකියාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා වැඩය අධීක්ෂණය කරන කමිටුවේ සේවය කිරීමට මට නියම කර තිබුණා. එහෙත් කලින් සඳහන් කළ ආකාරයේ කාරණා සම්බන්ධයෙන් හොඳ හැටි තෝරා බේරා කටයුතු නොකිරීමෙන්, මගේ ජීවිතය රහස් පොලිසියේ කිට්ටු අවධානයට යටත් වූ නිසා, රටේ කමිටුවේ සේවය කිරීමෙන් හා වෙනත් විවිධ වරප්‍රසාදවලින් මාව නිදහස් කරනු ලැබුවා. මෙම වරප්‍රසාදවලින් මම විශේෂයෙන් ඉතා අනර්ඝ ලෙස සැලකූ එක් වරප්‍රසාදයක් වූයේ, සංචාරක අවේක්ෂකයන් හා පුරෝගාමීන් ලෙස හඳුන්වනු ලැබූ පූර්ණ-කාලීන දේවසේවකයන්ගේ පාසැලේ ඉගැන්වීමේ වරප්රසාදයයි.
මට දෙනු ලැබූ හික්මවීම මා පිළිගත් නමුත්, 1980 ගණන්වල මැද සිට අග භාගය දක්වා වූ මෙම කාලපරිච්ඡේදය, මට ඉතා දුෂ්කර ආත්ම සෝදිසි කිරීමේ කාලපරිච්ඡේදයක් වුණා. වැඩි තීක්ෂ්ණ බුද්ධියෙන් යුතුව ක්‍රියා කිරීමටත්, අනුවණ ක්‍රියාවලින් වැළකීමටත් මම ඉගෙනගනු ඇද්ද? ගීතාවලිය 30, 5වන පදය මෙසේ පවසයි: “රාත්‍රියේ හැඬීම පවතින නුමුත්, උදය ප්‍රීතිය පැමිණෙන්නේය.” වර්ෂ 1989 නොවැම්බර් මාසයේදී කොමියුනිස්ට් පාලනයේ වැටීමත් සමඟම මට එම උදය පැමිණියා.
මවිතකර ආශීර්වාද
අපගේ දේවසේවයේ නිදහසේ හවුල්වීමට සහ නිව් යෝර්ක්හි, බෲක්ලින්වල පිහිටි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථානය සමඟ විවෘතව අදහස් හුවමාරු කිරීමෙන් සතුටක් ලැබීම මොනතරම් වෙනසක් වුණාද! ඉක්මනින් මාව සංචාරක අවේක්ෂකයෙකු ලෙස පත් කරනු ලැබූ අතර, 1990 ජනවාරි මාසයේදී මම මෙම වැඩය ආරම්භ කළා.
අනතුරුව 1991දී, එංගලන්තයේ මැන්චෙස්ටර්හි පවත්වනු ලැබූ උපස්ථායක පුහුණු පාසැලට සහභාගි වීමේ වරප්‍රසාදය මම ලැබුවා. මේරූ ක්‍රිස්තියානි පුරුෂයන් සමඟ ආශ්‍රය කිරීමෙහි සහ ඔවුන්ගෙන් උපදෙස් ලැබීමෙහි මාස දෙකක් සතුටෙන් ගත කිරීම මොනතරම් ආශීර්වාදයක් වුණාද! සෑම දිනකම නියමිත වෙලාවකට, ශිෂ්‍යයන් වූ අපට වැඩ පැවරුමක් තිබූ අතර, මෙය අපගේ අධිකතර පුහුණුවෙන් අපට සහනයක් ලබා දුන්නා. මට පවරා තිබුණේ ජනෙල් පිරිසිදු කිරීමටයි.
එංගලන්තයෙන් නැවත පැමිණි විගස, විශාල ස්ට්රාහොෆ් ක්‍රීඩාංගනයේදී, අගෝස්තු 9 සිට 11දක්වා පවත්වනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ඉතා වැදගත් එක්රැස්වීම සඳහා විධිවිධාන සැලසුම් කිරීමෙහිලා උපකාර කිරීමට මම පටන්ගත්තා. එම අවස්ථාවේදී බොහෝ දේශවලින් 74,587දෙනෙකු, අපගේ දෙවි වන යෙහෝවඃවහන්සේට නමස්කාර කිරීම සඳහා නිදහස්ව එක්රැස් වුණා!
ඊළඟ වසරේදී ස්නායු ඖෂධවේදියෙකු වශයෙන් මා කළ බාහිර රැකියාව මම අත්හැරියා. දැනට වසර හතරකට පමණ, ප්‍රාග්හි කාර්යාලයේ මා වැඩ කර තිබෙනවා, මෙහි චෙක් සමූහාණ්ඩුවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ අධීක්ෂණය කරන කමිටුවේ මම නැවතත් සේවය කරමින් සිටිනවා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පරිත්‍යාග කරනු ලැබූ තට්ටු දහයක අලුත් ගොඩනැඟිල්ලක්, මෑතකදී නවීකරණය කර ශාඛා කාර්යාලයක් වශයෙන් එය පාවිච්චි කරනවා. වර්ෂ 1994, මැයි 28වනදා, මෙම කදිම ගොඩනැඟිල්ල යෙහෝවඃවහන්සේගේ සේවය සඳහා කැප කරනු ලැබුවා.
මගේ උතුම්ම ආශීර්වාද අතර, මගේ නෑදෑයන් ඇතුළු අන්‍යයන් සමඟ බයිබල් සත්‍යතා බෙදාගැනීම වරප්‍රසාදයක් වී තිබෙනවා. මගේ පියා සහ මව තවමත් සාක්ෂිකරුවන් වී නැති නමුත්, ඔවුන් දැන් මගේ කටයුතු ගැන සතුටුදායක ආකල්පයක් දක්වනවා. පසුගිය වසර කිහිපය තුළදී, අපගේ රැස්වීම් සමහරකට ඔවුන් පැමිණ තිබෙනවා. ඔවුන්ද, අවංක හදවත් ඇති තවත් මිලියන සංඛ්‍යාතයක්ද, දෙවියන්වහන්සේගේ රාජ්‍ය පාලනයට නිහතමානීව යටත් වී, දෙවියන්වහන්සේට සේවය කිරීමට තෝරන්නන් ඉදිරියේ උන්වහන්සේ තබා තිබෙන සදාකාල ආශීර්වාද භුක්තිවිඳිනවා දැකීම මගේ අවංක බලාපොරොත්තුවයි.
(මෙම ලිපියෙහි යොමු දක්වා තිබෙන ප්‍රකාශන වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිතයි.)
[12වන පිටුවේ පින්තූරය]
මා විශ්වවිද්‍යාලීය ශිෂ්‍යයෙකුව සිටි කල
[13වන පිටුවේ පින්තූර]
චෙකොස්ලොවැකියාවේ අධ්‍යාපන ඇමති බවට පත් වූ මගේ පියා සහ ප්‍රසිද්ධ අක්ෂි ශල්‍ය වෛද්‍යවරියක වූ මගේ මව
[15වන පිටුවේ පින්තූරය]
ෆ්රාන්ටිෂෙක් වීස්කෝෂීල්, සාක්ෂිකරුවෙක් බවට පත් වූ විද්‍යාඥයෙක් හා අදේවවාදියෙක්
[16, 17වන පිටුවේ පින්තූරය]
කොමියුනිස්ට්වාදය වැටීයෑමේ සිට, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් නැඟෙනහිර යුරෝපයේ විශාල සමුළු රැසක් පවත්වා ඇත. වර්ෂ 1991දී ප්‍රාග්හි පවත්වනු ලැබූ මෙම සමුළුවට 74,000කට වඩා වැඩි සංඛ්‍යාවක් පැමිණ සිටියහ
[18වන පිටුවේ පින්තූරය]
එංගලන්තයේ උපස්ථායක පුහුණු පාසැලට සහභාගි වූ අවස්ථාවේදී මගේ වැඩ පැවරුම ඉටු කිරීම
[18වන පිටුවේ පින්තූරය]
ප්‍රාග්හි අපගේ ශාඛා කාර්යාල පහසුකම්, 1994 මැයි 28වනදා කැප කරන ලදි