ජීවිතයේ අරුත සඳහා මගේ සාර්ථක සෙවීම
වර්ෂය 1951. කැලිෆෝර්නියාවේ බෙවර්ලි හිල්ස්හි ලලිත කලා රංග ශාලාව බලා ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථ එකක් පාසා එකක් පසු කර යද්දී, වේදිකාවේ හා තිරයේ ප්රමුඛ තරු දැකගැනීමට විශාල ජන සමූහයක් වීථි දිගේ පෙළ ගැසී සිටියා. අවස්ථාව, මගේ ඥාති සහෝදර තියඩෝර් ඩ්රෙසියෙර්ගේ සුප්‍රසිද්ධ නවකතාව වූ ඇන් අමෙරිකන් ට්රැජිඩි යන්න මත පදනම් ඒ ප්ලේස් ඉන් ද සන් නමැති චිත්‍රපටියේ මංගල දර්ශනය. එය පැරමවුන්ට් චිත්‍රපටි සමාගමේ, එම අවුරුද්ද සඳහා එකැඩමි සම්මානය ලබාගැනීමට හොඳම බලාපොරොත්තුව වූ අතර, ඔවුන්ගේ ප්රමුඛ අධ්‍යක්ෂකවරයෙකු වූ ජෝර්ජ් ස්ටීවන්ස් විසින් එය අධ්‍යක්ෂණය කර තිබුණා. එවකට සිටි කැපීපෙනෙන තරු තිදෙනෙක්ම එහි දර්ශනය වුණා, එනම්, එලිසබත් ටේලර්, මොන්ට්ගොමරි ක්ලිෆ්ට් හා ෂෙලි වින්ටර්ස්. කෑගසමින් සිටි ජන සමූහයක් මැදින් ගමන් කරමින් සිටි එම සුඛෝපභෝගී මෝටර් රථවලින් එකක මා සිටියේ ඇයි? ඇරත් එම වාතාවරණයේ මට අමුතු බවක් හැඟුණේ ඇයි? මේ සියල්ල සිදුවීමට දායක වූ දේ දැකගැනීමට අපි ආරම්භය දෙස ආපසු හැරී බලමු.
මා ඉපදුණේ මුළු ඉතිහාසය පුරා වඩාත්ම කැපීපෙනුණු කාලපරිච්ඡේදයකය—එනම් 1914 ඔක්තෝබර් මාසයේදීය. එම මාසයේ 20වන දා, සවස හතරාමාරට පමණ, සියැට්ල් වොෂිංටන්හි පිහිටි අපේ නිවසේදී, වෛද්‍යවරයා මගේ ප්‍රසූතියට ආධාර වුණා.
ඒ දවස්වලදී අපේ පවුල ඇල්කයි වෙරළ තීරයේ බොනෙයාර්යයි හඳුන්වන කොටසක ජීවත් වුණා. වැඩි කාලයක් ගතවන්ට පෙර, අපේ පවුල මගේ දෙමාපියන්, මගේ අයියා, මල්ලි හා මා ඇතුල්ව පස්දෙනෙකු දක්වා වර්ධනය වුණා. මුහුදු වෙරළට මුහුණලා පිහිටි ලස්සන නිවසක අපි ජීවත් වුණා, ඉන් ඉතා අලංකාර දර්ශනයක් සපයනු ලැබූ අතරම, එතැන් සිට පියූජට් ඕඩය හරහා පහතින් පිහිටි සියැට්ල් හා අතරමඟ පිහිටි වෙනත් නගර අතර ගමන් කළ නැව් හා තොටු නැව් දැකගැනීමට අපට හැකි වුණා.
වර්ෂ 1929දී සිදුවූ ව්‍යාපාර වස්තු වෙළඳපොළ පහත වැටීමෙන් පසු, ආර්ථික තත්වය කොතරම් අයහපත් තත්වයකට හැරුණාද කිවහොත්, අපි ඇල්කයි වෙරළ තීරයේ තිබූ අපේ නිවස විකුණා, ඒ වෙනුවට සියැට්ල්හි හයිලන්ඩ් පාර්ක් කොටසෙහි ආහාර වෙළඳ සැලක් මිල දී ගත්තා, අර්ථපරිහානිය පැවති කාලය තුළදී මින් අපට කුඩා ආදායමක් සපයනු ලැබුවා.
වර්ෂ 1938දී මගේ මව මියගිය අතර, මගේ පියාට තනිව වෙළඳ සැල පවත්වාගැනීමට සිදුවුණා. මමත් එම ව්‍යාපාරයට ඔහු හා එක්වී, අපි එය නවීන ආහාර වෙළඳ ස්ථානයක් බවට පරිවර්තනය කළා. අපේ ව්‍යාපාරය වැඩි කලක් නොගොස් හොඳින් වැඩෙන්ට පටන්ගත්තා.
ඊළඟට 1941, දෙසැම්බර් 7වන දා පර්ල් වරායට එරෙහි ප්‍රහාරය සිදුවූ අතර, හමුදාවට බැඳීමට වූ ඉල්ලීමට හා දෙවන ලෝක සංග්‍රාමයට මට මුහුණදීමට සිදුවූ බව පෙනී ගියා. අපට ව්‍යාපාරය විකිණීමට සිදුවූ අතර, ඉන් ජීවත්වීම සඳහා මගේ පියාට මුදල් ස්වල්පයක් සපයනු ලැබුවා, එමෙන්ම හමුදාවට බලෙන්ම බඳවාගැනීමට නියමිත වූ දවසට දවස් ස්වල්පයකට කලින් ඒ සඳහා මම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වුණා. සැහැල්ලුවෙන්ම කියනවා නම්, හමුදාවට බැඳීම මගේ හෘදයසාක්ෂියට වධ දුන් අතර, මා කිසිවෙකු ඝාතනය කිරීමෙන් වැළකීමට මා දෙවියන්වහන්සේට යාච්ඤා කළ හැටි මට මතකයි. මූලික පුහුණුවෙන් පසු, මාව ප්‍රවාහණ බලකායට පවරනු ලැබුවා. අවසානයේදී දෙවන ලයිතන්වරයෙකු ලෙස මට බලය පවරනු ලැබුවා.
තියඩෝර් ඩ්රෙසියෙර් සමඟ මගේ ඇසුර
මේ වන විට, එය 1945 වූ අතර, මා ලොස් ඇන්ජලිස්හි නැව් නැඟීමේ වරායට පැවරුම් ලැබූ අතර, මා එහිදී ශාන්තිකරයේ ස්ථානවලට බඩුබාහිරාදිය හා භට කණ්ඩායම් ස්වල්පයක් ප්රවාහණය කිරීමට හමුදාව මගින් කුලියට ගන්නා ලද නැව්වල, බඩු ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කළා. මගේ පැවරුම් අතරතුර කාලයේදී, මම ඇතැම්විට මගේ ඥාති සහෝදර තියඩෝර් ඩ්රෙසියෙර් හා ඔහුගේ භාර්යාව වූ හෙලන් බැහැදැකීමට ගියා. බටහිර හොලිවුඩ්හි විශාල නිවසක් තිබුණු ඔවුන්, එවන් අවස්ථාවන්හිදී ඉතා ආගන්තුක සත්කාරශීලීව මට සැලකුවා. ඩ්රෙසියෙර්ට ගැඹුරින් සොයා විමසන මනසක් තිබූ අතර, මා ගිය තැන් පිළිබඳව මගේ අදහස් විමසීමට ඔහු කැමැත්තක් දැක්වූවා.
මම අමෙරිකානු නොවන ක්‍රියාකාරකම් කමිටුවේ අග්රගාමියෙකු වූ ඩයිස් කමිටුවේ සභාපති ටෙක්සස්හි කොන්ග්‍රෙස් සාමාජික මාර්ටින් ඩයිස්ගේ ඥාති සහෝදරයෙකුද වූ බව ඩ්රෙසියෙර් දැනගෙන සිටි බව අමුතුවෙන් කීමට වුවමනාවක් නැත. චිත්‍රපටි කර්මාන්තයේ ලේඛකයන් හා වෘත්තිකයන් බොහෝදෙනෙකු කොමියුනිස්ට්වාදී අදහස් දැරූ නිසා ඔවුන්ට පීඩා කරනු ලැබූ අතර, ඩ්රෙසියෙර් රුසියන්වරුන්ට පක්ෂව අදහස් දැරූ නිසා, ඔහුද ඉන් බේරුණේ නැහැ. එනිසා මා මුලදී ඔහුව බැහැදැකීමට ගිය වතාවක ඔහු මෙසේ ඇසුවා: “ඔබගේ අර ඥාති සහෝදර මාර්ටින් ඩයිස්ට සමාන අදහස් ඔබටත් තිබෙනවාද?” මාර්ටින් සමඟවත්, ඔහුගේ දේශපාලනමය ඉලක්ක සමඟවත්, මට කිසිම සම්බන්ධයක් නොතිබූ බව මම ඔහුට සහතික කළ බැවින්, ඩ්රෙසියෙර් සමඟ මගේ සබඳතාව වඩාත් සුහදශීලී එකක් බවට පත්වුණා.
වර්ෂ 1945 සැප්තැම්බර් 2වන දා ජපානය පරාජය පිළිගත් පසු, ලෝකයේ සිත්ගන්නාසුලු තැන් රාශියක් දැකගැනීමට මට හැකි වූ හෙයින්, කලකට හමුදාවේ සිටීමට මම තීරණය කළා. වැඩි කල් නොගොස් මා පළමු ලයිතන්වරයෙකු දක්වා උසස්වීමක් ලබා හමුදා භටයන් ගෙනයන විශාල නැවක ආහාර ගබඩාව භාරව ක්‍රියා කරන නිලධාරි ලෙස පැවරුම් ලැබුවා. ජපානයේ සිටින විට, මම නිවාඩු ගෙන ජපානය හරහා යොකෝහාමා සිට, පරමාණු බෝම්බය මගින් විනාශ වූ හිරෝෂිමා නගරය දක්වා ගමන් කළා.
මා හිරෝෂිමා වෙත පැමිණි උදෑසන, ඉඳුම් හිටුම් ඌනතාව නිසා ජනයා තවමත් උද්‍යානයේ නිදා සිටි අන්දම මම දුටුවා. ඒ අවට මා ඇවිද්දේ මහත් නොසන්සුන්කමකින් බව අමුතුවෙන් කියන්ට අවශ්‍ය නැහැ, මන්ද මා හමුවූ සෑම කෙනෙකුටම පාහේ එම බිහිසුණු විනාශය නිසා ඥාතීන් හා මිතුරන් අහිමි වී තිබුණු බව පැහැදිලි වූ බැවිනි. ඔවුන්ගේ මුහුණුවල දක්නට තිබූ ඉමහත් වේදනාවද, නිල ඇඳුමෙන් සැරසී සිටි අප කෙරෙහි වූ ඔවුන්ගේ ඇස්වල තිබූ සැබෑ නැතහොත් මා සිතාගත් වෛරයද සිතට මහත් අරුචියක් ගෙන ආවා.
අර්ථවත්බවක් සඳහා මගේ සෙවීමේ ආරම්භය
හිරෝෂිමා නිසාත්, මා දුටු ඉමහත් සේ පැතිරුණු රෝග හා දුගීකම නිසාත්, ජීවිතයේ අරුත ගැන තර්ක කිරීමට මම පටන්ගත්තා. මුහුදේ ගමන් කළ නැවක් මත සිටි නිසා, මෙවන් දේවල් සම්බන්ධයෙන් කල්පනා කිරීමට මට බොහෝ කාලයක් ලැබුණා. ඇතැම් අවස්ථාවන්හිදී, ජීවිතයේ සිදුවන අයුක්තිසහගත දේවල් පිළිබඳව මගේ ප්‍රශ්න සමහරකට උත්තර දිය හැකිදැයි බැලීමට නැවෙහි සිටි හමුදා පූජකයා සමඟ මම කතා කරනවා. ඒ එක පූජකයෙකුවත් සෑහීම ගෙන දෙන උත්තර සපයා දුන්නේ නැහැ.
ජීවිතයේ අරුත සඳහා මුළු ජීවිත කාලයක්ම සෙවීමක් කිරීමෙන් පසු, තියඩෝර් ඩ්රෙසියෙර් 1945 දෙසැම්බර් මාසයේ මියගියා. “මගේ මැවුම්කරු” යන මැයින් යුතු සිය රචනයෙහි ඔහු අන්තිම වශයෙන් පිළිගත්තේ, මුලදී මෙන් තමා ඒ සඳහා විසඳුමක් කරා එළඹ නොතිබූ බවය. ඔහුගේ වැන්දඹුව, මගේ ඥාති සහෝදරියකද වූ හෙලන් ඩ්රෙසියෙර්, ඇගේ චරිතාපදානය පිළියෙළ කිරීමෙහි නිරත වෙමින් සිටි අතර, එහි තේමාව ඩ්රෙසියෙර් සමඟ මගේ ජීවිතය වීමට නියමිතව තිබුණා. ඇගේ පිටපත සංස්කරණය කිරීමට ඇයට සහාය දීමටත්, රටවල් බොහොමයක පළ වෙමින් තිබුණු තියඩෝර්ගේ කෘති පළ කිරීම සම්බන්ධයෙන් විවිධ නියෝජිතයන් සමඟ ඇතැම් ව්‍යාපාර කටයුතු හැසිරවීමටත් මට හොලිවුඩ් වෙත එන මෙන්, ඇය මගෙන් උදක්ම ඉල්ලමින් සිටියා. එනිසා 1947 දෙසැම්බර්හිදී, මම හමුදාව හැර, බටහිර හොලිවුඩ්හි ඩ්රෙසියෙර් ඉඩමෙහි ජීවත්වීමට පටන්ගත්තා.
එහෙත් ජීවිතයේ අරුත සඳහා මගේ සෙවීම මා අත්හැරියේ නැහැ. හෙලන් ඩ්රෙසියෙර්ද ජීවිතය පිළිබඳ අධ්‍යාත්මික අවබෝධයක් සොයමින් සිටි බැවින්, යම් අර්ථවත් යමක් සොයමින්, අපි විවිධ කණ්ඩායම් බැහැදැකීමට පටන්ගත්තා. මේ එක කණ්ඩායමකටවත් සෑහීම ගෙන දෙන උත්තර තිබුණේ නැහැ.
පසු කාලයකදී, හෙලන්ගේ මව බැහැදකිමින්, අප ඔරිගන්හි ග්රීෂම්වල සිටි විට, පෝර්ට්ලන්ඩ්හි වැදගත් හෝටල් සමහරක විදුලි ඕර්ගනය වාදනය කළ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකුට මාව හඳුන්වා දෙනු ලැබුවා. අපි ආගම පිළිබඳ සාකච්ඡාවකට යොමු වූ අතර, ඔහු පැවසූ දේවල් බොහොමයකට අර්ථවත්බවක් තිබුණු බව දක්නට ලැබුණා. අපි ආපසු ලොස් ඇන්ජලිස් වෙත ගිය විට, ඔවුන්ගේ දේවසේවකයෙකු අපව බැහැදැකීමට පැමිණීම ගැන ඔහු යෝජනා කළ විට, මම කැමැත්තෙන්ම එකඟ වුණා.
අපි ලොස් ඇන්ජලිස් වෙත ආපසු පැමිණි විගස, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු අපව බැහැදැකීමට පැමිණියා. පුරෝගාමීන් (පූර්ණ-කාලීන සේවකයන්) දෙදෙනෙකු වූ තවත් සාක්ෂිකරුවෙකු හා ඔහුගේ බිරිඳ සමඟ සතිපතා බයිබල් පාඩමක් කිරීමට ඔහු විධිවිධාන යෙදුවා. මට කලින්ම නියම කර තිබූ අදහස් සමහරක් තිබූ නිසා, පාඩමට එතරම් සිත්ගන්නා ආරම්භයක් තිබුණේ නැහැ, නමුත් බයිබලය මත තර්කානුකූලව කාරණා විමසා බැලීමෙන් මේවා ඉක්මනින්ම ඉවත් කරනු ලැබුවා.
දැන් 1950හි මුල්භාගය වී තිබුණා, එමෙන්ම එම කාලයේදී ඩ්රෙසියෙර්ගේ කෘති සම්බන්ධයෙන් සෑහෙන උනන්දුවක් තිබුණා. ඩ්රෙසියෙර්ගේ වඩාත්ම සුප්‍රසිද්ධ නවකතා දෙකක් තිරගත කිරීම නිෂ්පාදනය කිරීමෙහි පැරමවුන්ට් චිත්‍රපටි සමාගම නියැලෙමින් සිටියා: එනම් 1951දී මුදාහැරීමට නියමව තිබුණු ඒ ප්ලේස් ඉන් ද සන් ලෙස හැඳින්වීමට තිබූ ඇන් අමෙරිකන් ට්රැජිඩි හා තිරගත කිරීම අනුව කැරී යන තේමාව යටතේ මුදාහැරීමට නියම වූ සිස්ටර් කැරී යන දෙකය. මෙම චිත්‍රපටි දෙකම අවුරුදු දෙකක් පිට පිටම පැරමවුන්ට් සමාගමෙන් එකැඩමි සම්මාන ලැබීමට ඉදිරිපත් වී තිබුණා. එනිසා හෙලන් සඳහා මෙය වැදගත් අවුරුද්දක් වූ අතර, ඩ්රෙසියෙර් සමඟ මගේ ජීවිතය යන මැයින් යුත් පිටපත අවසන් කිරීමෙන් පසු, ඇය නිව් යෝර්ක් බලා පිටත්වූ අතර, එහිදී ඇගේ පිටපත පළ කිරීමට සිටි වර්ල්ඩ් පබ්ලිෂිං කම්පනි නමැති සමාගමේ නිලධාරීන් හමුවීමට සිටියා.
මට ජීවිතයේ අරුත හමුවී තිබූ බව මම ඒත්තුගෙන සිටියා
ඇය බැහැරව සිටි අතරතුරේදී, මම මගේ බයිබල් පාඩම දිගටම ගෙනගිය අතර, කල්යත්ම ගෙයින්-ගෙට ගොස් බයිබලය ගැන කතා කිරීම කෙබඳු අද්දැකීමක්ද කියා මා ඉගෙනගත්තා. හෙලන් ඩ්රෙසියෙර් නිව් යෝර්ක් සිට ආපසු පැමිණි විට, ඇත්තෙන්ම මෙතරම් කලකට පසු, මා සොයමින් සිටි ජීවිතයේ අරුත මම සොයාගත් බව මට සහතික වුණා. එහෙත් තවදුරටත් බයිබල් පාඩමට සම්බන්ධ වීමට තමා අකමැති බව හෙලන් නිවේදනය කළ විට, එය මොනතරම් පුදුමයක් වුණාද! පෙනෙන විදිහට, ඇය බයිබලයෙහි ඉගෙනගනිමින් තිබූ දෙය ලෝකය සමඟ ජනප්‍රිය නොවූ බව නිව් යෝර්ක්හි ඇය පැවැත්වූ ආශ්රයෙන් ඇයට ඒත්තුගොස් තිබූ බව පැහැදිලි වුණා. ඈ කාරණය මෙහෙම පැහැදිලි කළා: “ඒ නිසා වෙනත් කිසිම දෙයක් කරන්ට බැහැ.” එනිසා තවදුරටත් අප සමඟ බයිබලය පාඩම් කිරීම ඈ ප්‍රතික්ෂේප කළා.
හමුදාවේ අතිරේක බලඇණියේ තවදුරටත් රැඳී සිටීම සත්‍යයට අනුකූල නොවන බව මේ වන විට පැහැදිලිව තිබුණා. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වශයෙන් බව්තීස්ම වීමට මම අදිටන් කරගෙන සිටියා. පිහිනුම් තටාකයක් තිබූ සාක්ෂිකරුවෙකුගේ නිවසක මා සඳහා විශේෂ බව්තීස්මයක් සූදානම් කරනු ලැබුවා. යෙහෝවඃවහන්සේට කැපවීමෙන් අනතුරුව, 1950, අගෝස්තු 19වන දා මම බව්තීස්ම වුණා. ඊළඟට මම හමුදාවට ලියා, මා පත් කරන ලද දේවසේවකයෙකු වූ බැවින්, මට තවදුරටත් හමුදා අතිරේක බලඇණියෙහි සේවය කිරීමට බැරි බව ඔවුන්ට දන්වා එව්වා. මගේ අස්වීම මුලදී ප්‍රතික්ෂේප කරනු ලැබුවත්, මාස ස්වල්පයකට පසු මට ගෞරවාන්විත අස්වීමක් දානය කරනු ලැබුවා.
මේ අතරතුර, පැරමවුන්ට් චිත්‍රපටි සමාගම ඒ ප්ලේස් ඉන් ද සන් මුදාහැරීමට සිටි අතර, අධ්‍යක්ෂක ජෝර්ජ් ස්ටීවන්ස් පිළියෙළ කළ පෞද්ගලික රාත්‍රි භෝජනයකට හෙලන්ට හා මට ආරාධනා ලැබුණා. ලෝක මංගල දර්ශනය බෙවර්ලි හිල්ස්හි ලලිත කලා රංග ශාලාවෙහි පවත්වනු ලබන බව අපට දැනුම් දෙනු ලැබූ අතර, අප රංග ශාලාවට පැමිණි විට, කර්තෘගේ භාර්යාව වශයෙන්, හෙලන්ට ජාතික ගුවන් විදුලි ජාලයක් උපයෝගි කරමින් කතා කිරීම සඳහා සැලසුම් යොදනු ලැබුවා. මෙය මගේ ඥාති සහෝදරියට ඉතා වැදගත් දවසක් වීමට නියම වී තිබූ අතර, ඇය සමඟ යෑමට මගෙන් අපේක්ෂා කරනු ලැබුවා. එනිසා නියමිත පැයේදී, අපි සුඛෝපභෝගී මෝටර් රථයක් කුලියට ගෙන, අලංකාරව සැරසී, රංග ශාලාව බලා පිටත් වුණා. එක්රොක් වී සිටි විශාල ජනකාය තුළින් අපි සෙමින් ගමන් කළා, ඔවුන් වීථි දිගේ පෙළ ගැසී සිටියේ, දර්ශනය වීමට පැමිණෙන බවට අපේක්ෂා කළ සුප්‍රසිද්ධ චිත්‍රපටි තරු සමහරදෙනෙකු දැකගැනීමේ බලාපොරොත්තුවෙනි.
එම අනවශ්‍ය බාහිර අලංකාරයෙන් හෙබි ප්‍රදර්ශනය තුළ මගේ කොටස ගැන මට හැඟුණේ කෙසේද? අතීතයේදී, එවන් සිදුවීම් මා චිත්‍රපටි තුළ දැක තිබුණු අතර, එවන් ලෝක ප්‍රසිද්ධියක් තුළ සිටීම මොනයම් අද්දැකීමක්ද කියා කල්පනා කර තිබුණා. හැබැයි දැන් සත්‍යය පිළිබඳ දැනුම අත්කරගැනීමෙන් පසු, මට අමුතු බවක් හැඟුණා. බයිබලය 1 යොහන් 2:16හි කියන දේ සලකද්දී එවන් දේ පිළිබඳ යෙහෝවඃවහන්සේගේ අප්‍රසාදය මට හැඟුණා විය හැක, එනම්: “ජීවිතයේ අහංකාරකම . . . පියාණන්වහන්සේගෙන් නොව ලෝකයෙන් වේ.” ඒ අලංකාරයද ආකර්ෂණයද මගේ නව ක්‍රිස්තියානි ජීවන රටාවට එකඟ නොවූ බව දැකීම පහසු යමක් වුණා. එම විශිෂ්ට චිත්‍රපටියෙන් මා ආස්වාදයක් ලැබුවත්, හැම කටයුත්තක්ම අවසන් වූවායින් පසු මට සහනයක් දැනුණා.
මින් ටික කලකට පසු, හෙලන් ඩ්රෙසියෙර් ආඝාතයකින් පහර ලැබූ අතර, එනිසා ඈ යම් දුරකට අංශභාග වුණා. එයින් දෙවන වරටත් පහර ලැබීමෙන් පසු, ඇයට තවදුරටත් ව්‍යාපාර කටයුතු හැසිරවීමට බැරි වුණා. ඇගේ භාරකරු වීමට ඇගේ නංගි වූ මර්ටල් බුචර් අවසර සඳහා අයදුම් කළ අතර, ඔරිගන්හි ග්රීෂම්වල ඇගේම නිවසට ගෙනයෑමට ඕනෑ වුණා. මෙය ඉමහත් සත්කාරයක් අවශ්‍යව තිබූ හෙලන්ගේ යහපත සඳහා කියා මා කල්පනා කළ නිසා, මම ඒ සඳහා අයදුම් කළේ නැහැ, ඇගේ සහෝදරිය එවන් සත්කාරයක් සැපයීමේ හැකියාව ඇතුව සිටියා. එනිසා දැන් මට රැකියාවක් අහිමි වී තිබුණා. මම කුමක් කරන්ට යනවාද? මතෙව් 6:33හි යේසුස්වහන්සේගේ පොරොන්දුව කෙරෙහි මට නිසැකභාවයක් තිබුණා: “පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයාපල්ලා; මේ සියල්ලත් නුඹලාට දෙනුලබන්නේය.”
මගේ පියා මාස කිහිපයකට කලින් මියගිහින් තිබූ නිසාත්, නඩත්තු කිරීමට සිටියේ මා පමණක් නිසාත්, යෙහෝවඃවහන්සේට පූර්ණ-කාලීනව සේවය කිරීමට මට වුවමනා වුණා. ඒ එක්කම වගේ, අර්ධ-කාලීන රැකියාවක් මට ඉදිරිපත් කරනු ලැබීමෙන් මා ආශීර්වාද ලැබුවා, දේවරාජ්‍යයේ ශුභාරංචි දේශනාකරන්නෙකු වශයෙන් යෙහෝවඃවහන්සේට සේවය කිරීම ඇරඹීමට අවශ්‍ය දිරිය මින් මට ලැබුණා. යේසුස්වහන්සේ තත්වය පැහැදිලි කළාක් මෙන්, මා යෙහෝවඃවහන්සේගේ පූර්ණ-කාලීන සේවයේ නිරත වී තිබෙන අවුරුදු 42ක් ඉක්මවූ මෙම කාලය පුරා උන්වහන්සේ මාව බලාගෙන තිබෙනවා.
වර්ෂ 1953 ගිම්හානයේදී, නිව් යෝර්ක් නගරයේ යැංකි ක්‍රීඩාංගනයෙහි පැවති, මගේ පළමු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජාත්‍යන්තර සමුළුවට මම ගියා, ඇරත් එය මොනතරම් උනන්දුව ඇති කරන අද්දැකීමක් බවට පත්වුණාද! ඒ වන විට පුරෝගාමියෙකු ලෙස මම අවුරුද්දකට ආසන්න කාලයක් සේවය කර තිබුණා, හැබැයි එම එවැන්ජලිස්ත වැඩයෙහි මා ඉමහත් සතුටක් ලබා සිටියත්, රාජ්‍ය සේවයෙහි වඩාත් පූර්ණ අන්දමින් සහභාගි වීමට මා තුළ ආශාවක් තිබුණා. මීට කලින්, සමිතියේ මූලස්ථානයෙහි පූර්ණ-කාලීනව සේවය කිරීම සඳහා මා අයදුම් පතක් භාර දී තිබූ අතර, දැන් මේ සමුළුවේදී, වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි මිෂනාරි පුහුණුවක් සඳහා මම අයදුම් පතක් ඉදිරිපත් කළා. ලොස් ඇන්ජලිස් වෙත ආපසු යෑමෙන් වැඩි කලක් යන්ට පෙර, බෙතෙල් යනුවෙන් හඳුන්වන සමිතියේ මූලස්ථානයෙහි සේවය කිරීමට ආරාධනයක් ලැබීමෙන් මා කොතරම් පුදුමයට පත්වුණාද!
හැඟීම් සම්බන්ධයෙන් දෙගිඩියාවෙන්, 1953 ඔක්තෝබර් 20වනදා මම බෙතෙල් නිවසට ඇතුල් වුණා, එසේ කළේ එය කෙබඳු අද්දැකීමක් වේද, පුරෝගාමියෙකු සේ මා සතුටින් සිට තිබුණාක් මෙන් මා සතුටින් සිටීවිද කියා කල්පනා කරමිනි. එහෙත් මා බෙතෙල් සේවයේ ගත කළ පසුගිය අවුරුදු 41 පුරාම, එම තීරණය ගැනීම නිසා මම කිසිදාක පසුතැවුණේ නැහැ. බෙතෙල්හි මා භුක්තිවිඳ තිබෙන වරප්‍රසාද රාශිය, රාජ්‍ය සේවයේ වෙන කිසිම පාර්ශ්වයක් තුළ මාහට කවරදාක හෝ අද්දැකීමට ඉඩ කඩ තිබූ ප්‍රීතියකට හා සන්තෝෂයකට වඩා ඉමහත් ප්‍රීතියක් හා සන්තෝෂයක් මට ලබා දී තිබෙනවා.
වර්ෂ 1955දී හෙලන් ඩ්රෙසියෙර් මියගිය අතර, ඇගේ බූදල් භාරකරු හා අවසන් භාරකරු වශයෙන් මාව පත්කරනු ලැබුවා. සිය අන්තිම කැමති පත්‍රය සකස් කරද්දී, තියඩෝර් ඩ්රෙසියෙර් හැම දෙයක්ම තම භාර්යාවට ප්‍රදාන කර තිබුණා, තවද ඇගේ දේපොළට අදාළ කටයුතු මෙහෙයවීමට ප්‍රතිරූපණ අයිතිය සඳහන් ඔහුගේ සියලු කෘතිවල හිමිකම්ද ඇතුළත් වුණා. ඩ්රෙසියෙර් බයිබලය නිතර කියවූ බව හෙලන් මට පවසා තිබුණු අතර, ඔහුගේ පුස්තකාලය පරීක්ෂා කර බලද්දී, ඔහු සමහරවිට තම බයිබලයේ පිටුවල අයිනේ තිබූ හිස් තීරුවල වෙනත් බයිබල්වලින් ලබාගත් විකල්ප පරිවර්තන සටහන් මගින් දක්වා තිබූ බව මගේ සැලකිල්ලට භාජන වුණා.
ඩ්රෙසියෙර් හා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ
මා ඩ්රෙසියෙර් සමඟ සාකච්ඡා පැවැත්වූ විට මම යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන කිසිම දෙයක් නොදැන සිටියත්, ඔහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මධ්‍යස්ථ ස්ථාවරය ගැන අවබෝධයෙන් සිටි බව මට පසුව දැනගන්ට ලැබුණා. අමෙරිකා ඉස් වර්ත් සේවිං යන මැයින් යුතු සිය පොතෙහි, කොඩියට ආචාර කිරීම හා සම්බන්ධව ඔවුන්ගේ ස්ථාවරය සඳහා ඔහු ඔවුන්ව ප්‍රශංසා කළා. තමා විශ්වාස කළ යමක් පිළිබඳ ස්ථිර ස්ථාවරයක් ගැනීමට ඩ්රෙසියෙර් බිය නොවූ අතර, මා දැන් දන්නා පරිදි මට බයිබලය ගැන දැනුමක් එදා තිබුණා නම්, අප ඉතා සිත්ගන්නා සාකච්ඡාවල යෙදෙන බවට අනුමානයක් නැහැ.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ මා බයිබලය පාඩම් කරන්ට පටන් ගත් දා සිට ගතවූ අවුරුදු 45 දෙස ආපසු හැරී බලද්දී, මා සොයමින් සිටි ජීවිතයේ අරුත මා සැබවින් සොයා තිබෙන බවට මට අවංකව පැවසිය හැක. මේ ලෝකයේ දෙවියා හා පාලකයා සාතන් නමැති යක්ෂයා මිස, ප්‍රේමනීය, සර්වබලධාරී දෙවිවූ යෙහෝවඃවහන්සේ නොවන බව දැනගැනීමෙන් ජීවිතයේ අයුක්තිසහගතභාවයන් පිළිබඳ මගේ ප්‍රශ්නවලට හොඳින් උත්තර සපයනු ලැබුවා. (යොහන් 14:30; 2 කොරින්ති 4:4; 1 යොහන් 4:8) දේවරාජ්‍යය 1914 ඔක්තෝබර්හිදී ස්වර්ගයෙහි පිහිටුවනු ලැබූ බව ඉගෙනගැනීමත්, එය පොළොව කෙරෙහි පාලනය භාරගෙන යක්ෂයාගේ ක්‍රියා විනාශ කරන බව දැනගැනීමත්, ප්‍රීතිවීම සඳහා මොනතරම් හේතුවක්ද!—1 යොහන් 3:8; එළිදරව් 20:10.
ඒ අතරතුර, පරමාධිපති ස්වාමි වූ යෙහෝවඃවහන්සේ දැනසිටීමත්, උන්වහන්සේ සමඟ සමීප සබඳතාවක් තිබීමත්, ස්වකීය රාජ්‍ය සේවයෙහි අර්ථවත් ජීවිතයක් ගත කිරීමත්, වෙළෙන්දෙකුට සිය ගමන් බිමන්වලදී හමුවූ මුතු ඇටයකට ඉඳුරාම සමාන කරන්න පුළුවන්. එම මුතු ඇටය කොතරම් අනර්ඝ වූවාද කිවහොත්, එය ලබාගැනීමට ඔහු තමා සන්තක සියල්ල වික්කා.—මතෙව් 13:45, 46.
එවන් නිධානයක් සෙවීම හේතුකොටගෙන, මම ගීතිකාකරු දාවිත්ගේ මෙම වදන් අගය කරනවා: “එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනාකරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහයෙහි වාසය කිරීමය.” (ගීතාවලිය 27:4)—හැරල්ඩ් ඩයිස් පැවසූ පරිදි.
[20වන පිටුවේ පින්තූරය]
සැහැල්ලුවෙන්ම කියනවා නම් හමුදාවට බැඳීම මගේ හෘදයසාක්ෂියට වධ දුන්නා
[23වන පිටුවේ පින්තූරය]
1953 සිට බෙතෙල්හි සේවය කිරීම