මසුන් වගාව—“සත්ව පාලනය” වශයෙන් මාළු
නෝර්වේහි පිබිදෙව්! වාර්තාකරු විසිනි
චීන සහ මිසර ජාතිකයන් වසර දහස් ගණනකට පෙර මිරිදිය පොකුණු සාදා, එහි මසුන් ඇති කර සමහරවිට උන් පෝෂ්‍ය කරන්ටද ඇත. අදදින මසුන් ඇති කිරීම කර්මාන්තයක් බවට පත්වී ඇත. එය මසුන් වගාව ලෙස හඳුන්වනු ලැබේ. එය “ජලයෙහි ස්වාභාවික නිෂ්පාදනයෙහි වගාව” ලෙස වෙබ්ස්ටර්’ස් නයින්ත් නිව් කලීජියට් ඩික්ෂනරි අර්ථ දක්වයි. යෝග්‍ය වැඩීමේ තත්වයන් සහ ජලජ සතුන් සහ පැළෑටි, කරදියෙහි හෝ මිරිදියෙහි රැස්කිරීම හෝ වගා කිරීම මීට ඇතුළත් වේ.
දැඩි ලෙස මසුන් වගා කිරීම සහ රැස්කිරීම මසුන් වගාවේ දැනට පවතින පොදු ක්‍රම වේ. බොහෝ රටවල, විශේෂයෙන්ම මිරිදිය උෂ්ණත්වය සාපේක්ෂ වශයෙන් ඉහළව පවතින රටවල, විශාල ටැංකිවල සහ පොකුණුවල මිරිදිය මසුන් වගා කිරීම විශාල ලෙස පැතිර පවතින දෙයකි. වෙනත් රටවල තමන්ගේ මුහුදු ප්‍රදේශ ප්‍රයෝජනයට ගැනීම ගැන වැඩියෙන් සිත යොමු කර තිබේ. නෝර්වේ පසුව සඳහන් කළ දෙය සම්බන්ධයෙන් උදාහරණයකි. ලෝකයේ දිගම වෙරළ තීරයක් ඇති, යෝග්‍ය මුහුදු උෂ්ණත්ව සහ සාපේක්ෂ වශයෙන් පිරිසිදු ජලය ඇති මේ රටේ, මුහුදු ජලයෙහි මසුන් වගා කිරීමෙන් ස්වාභාවික වාසියක් ඇත. මුහුදේ, විශේෂයෙන්ම අත්ලන්තික් සැමන් සහ ට්‍රවුට් මසුන්, වගා කිරීමෙන් නෝර්වේ රට පෙරමුණ ගෙන ඇත.
මාළු බිජු සිට වෙළඳපොළට මාළු දක්වා
බෝ කිරීම ශරත් ඍතුවේ රැකුම්හලේදී ආරම්භ වේ. බිජු ලබාගැනීමට ගැහැනු මත්ස්‍යයන්ගේ “බඩ පිරිමදිනු” ලබන අතර, තෝරාගත් පිරිමි මත්ස්‍යයන්ගේ ශුක්‍රාණු සමඟ මෙම බිජු සංසේචන කරනු ලැබේ. සංසේචනය වූ බිජු ශීත ඍතු කාලයේ, රැකුම්හලේදී පරෙස්සමින් කරන ලද අධීක්ෂණයක් යටතේ පවතින අතර, මෙම බිජුවලින් පැටව් එළියට පැමිණීම මාස හයකින් සිදුවේ. පළමු සති කිහිපය තුළදී මත්ස්‍ය පැටවා, තම උදරයේ පිහිටා ඇති බීජාන්ත මඩියෙන් පෝෂණය වේ; එවිට පරෙස්සමින් කරනු ලබන පළමු පෝෂණය කිරීම ආරම්භ වේ. ස්වාභාවික පරිසරයක සිටින සැමන් මත්ස්‍ය පැටවෙක්, වඩා පෝෂ්‍ය ගුණයෙන් පිරි මුහුදේ ආහාර ගැනීමට සංක්‍රමණය වීමට පෙර, වසර දෙකත් පහත් අතර කාලයක්, තමා බිත්තරයෙන් එළියට ආ ගංගාවේම ගත කරයි. රැකුම්හලකදි මත්ස්‍ය පැටවෙකු, වසර එකහමාරක කාලයකින් ස්මොල්ට් (සංක්‍රමණය කිරීමට සූදානම් කාලයක සිටින සැල්මොනිඩ් මත්ස්‍යයෙක්) බවට පත්වේ.
එවිට මෙම මසුන් මිරිදියෙන්, කරදියට ගෙන යනු ලැබේ. සාමාන්‍යයෙන් මෙම මත්ස්‍යයන්ව, මුහුදේ, ඉදි කිරීම්වල පාවෙන කොටු හෝ කූඩු තුළ තබනු ලැබේ. මෙම මුහුදු ගොවිපොළේ වසරක් හෝ දෙකක් ගත කළ පසු, සුදුසු ප්‍රමාණයට ළඟාවූ සැමන් මසුන්ව අලෙවිය සඳහා ගෙන යනු ලබනවා ඇත. මේ සෑම දෙයක්ම සරල සහ පහසු දෙයක් ලෙස පෙනෙන්ට තිබේ. කෙසේවෙතත්, “සත්ව පාලනය” ලෙස මසුන් වගා කිරීම අභියෝග ගණනාවක් ඉදිරිපත් කරයි.a
ජීව විද්‍යාත්මක ප්‍රහේලිකා සහ අක්‍රමිකතා
මුල් මසුන් වගාකරුවන්හට එම කාර්යය අලුතින්ම ආරම්භ කිරීමට සිදුවූවා මෙන්ම බෝ කිරීම පිළිබඳව, ආහාර රුචි අරුචි ගැන සහ විවිධ විශේෂවල සහජාසය පිළිබඳ සම්පූර්ණ දැනගැන්මක්ද ලබාගැනීමට සිදුවිය. නොවිසඳනු ලැබූ ජීව විද්‍යාත්මක ප්‍රහේලිකා සහ වැරදිය හැකි දේවල් අසීමිත ප්‍රමාණයක් තිබූ බව පෙනෙන්ට තිබිණ. ජලයෙහි ස්වභාවය, උෂ්ණත්වය, ආහාර සහ ආලෝකය සම්බන්ධයෙන් නිතර වෙනස් වන මත්ස්‍ය පැටවුන්ගේ සහ මසුන්ගේ අවශ්‍යතා සෑහීමට පත්කිරීමට කෙදිනක හෝ හැකිවනු ඇද්ද?
බොහෝ කලකට පෙර, මෙයින් ප්‍රශ්න බොහෝමයක්ම විසඳා තිබේ. විවිධ වර්ගයන්ගේ වර්ධනය සහ හැසිරීම, ව්‍යායාම, ආලෝකය මෙහෙයවීම සහ යෝග්‍ය ආහාර ප්‍රමාණය සහ ගුණය වැනි සාධක තුළින්, පාලනය කළ හැකි ආකාරය මත, අදදින පර්යේෂණ වැඩසටහන් ගණනාවක්ම අවධානය යොමු කර ඇත.
පරිසර දූෂණය සහ අල්ගේ ආක්‍රමණය
මසුන් වගාවට පිරිසිදු පරිසරයක් තිබීම වැදගත් දෙයකි. අසමබර පරිසර පද්ධති සහ දූෂණ මට්ටම් මසුන් වගා කරන කර්මාන්තයට ගැටලු මතු කරයි. ජලයෙහි විෂ ද්‍රව්‍ය සොයාගන්නා, නිදැල්ලේ සිටින මත්ස්‍යයෝ, පැමිණෙන අන්තරාවෙන් වැළකීමට උත්සාහ කරති. මුහුදු ගොවිපොළවල බෝ කරන මසුන්, කොටු තුළ සීමාවී සිටින නිසා මෙය කළ නොහැක. මෙලෙස තෙල් කාන්දුවීම් හෝ විෂ සහිත රසායන ද්‍රව්‍ය ඉවත දැමීම්, මත්ස්‍ය ගොවිපොළවලට විනාශදායක කාරකයක් විය හැකිය.
එක්දහස් නවසිය අසූඅටේදී, ස්වීඩනයේ නිරිත දිග වෙරළේ සහ දකුණු නෝර්වේහි මුහුදු තීරයේ විෂ සහිත අල්ගේ වර්ගයක ඉතා විශාල ලෙස වර්ධනය වීම, සමහරදෙනෙකුගේ කම්පනයට හේතුවිය. පුළුල් ප්‍රදේශවල අල්ගේ, මසුන්ව සහ වෙනත් මුහුදු ජීවීන්ව විනාශ කළේය. යම් දුරකට අල්ගේ නිසාත්, ආහාර පිණිස හදිසියෙන් ඝාතනය කිරීම නිසාත්, මත්ස්‍ය ගොවිපොළවල් ගණනාවක්ම හිස් කරනු ලැබීය. එහෙත් මාළු වගාකරුවන් ආරක්ෂාව සඳහා එම කොටු ෆියෝඩ වෙතට ඇදගෙන යෑමත් සමඟම, ඉදි කරන ලද කොටු බොහොමයක්, අල්ගේ හේතුවෙන් ඇතිවන මරණයෙන් ආරක්ෂා කරනු ලැබීය. මෙම අල්ගේ ව්‍යසනය “සමුද්‍රාසන්න චර්නොබිල්” ලෙස සමහරුන් හැඳින්වූ අතර, මෙම විෂ සහිත අල්ගේ වර්ධනයට, වැඩිවන දූෂණය, පෙනෙනාකාරයට දායක වන හේතු සාධකයක් වූ බව විශේෂඥ්යයෝ කියා සිටිති.
මුහුදේ ඇති මාළු කොටු සියලු ආකාර කාලගුණ තත්වයන්වලට නිරාවරණය වන අතර, අයිස්, රළු මුහුදු සහ කුණාටුවලටද මුහුණදිය යුතුය. ඉදි කරන ලද කොටුවක් විනාශ වී මසුන් බේරී ගිය විට, මසුන් වගා කරන්නෙකුට වටිනා දේපොළ අහිමි වේ. එපමණක්ද නොව, බේරී ගිය මසුන්, නිදැල්ලේ සිටින මසුන්ට රෝග පැතිරවිය හැකි අතර, මෙය බරපතළ ගැටලුවක් වී තිබේ. බේරී ගිය මසුන්, නිදැල්ලේ සිටින මසුන් සමඟ ආහාර සහ බිජු තැන්පත් කිරීමට ප්‍රදේශ සඳහා තරඟ කරන අතර, මෙය ප්‍රාදේශීය තොගවලට නිෂේධාත්මක බලපෑමක් ඇති කිරීමට හැකිවනු ඇතැයි බියක් තිබේ.
එනිසා මසුන් බේරී යෑම වැළැක්වීම සඳහා මුහුදේ ඉදි කරන ලද කොටු ඊට වඩා සුරක්ෂිත කළ යුතු බව, සම්පූර්ණ එකඟතාවක් ඇත. මෙම ක්ෂේත්රයේද දියුණුවීම් සිදු කර තිබේ. මෑත වර්ෂවලදී, “මසුන් වගාවට ඉදි කරන ලද කොටු, අන්ත කාලගුණ තත්වයන් දරාගැනීමට හැකිවීම සම්බන්ධයෙන් මහත් ප්‍රමාණයක් [ඉටු කර ඇති බව]” ඇක්වාකල්චර් ඉන් නෝර්වේ පවසයි.
රෝග පාලනය
මත්ස්‍යයාගේ ස්වභාවය සමඟ එකඟ නොවන හෝ උන්ගේ සාමාන්‍ය ස්වාභාවික පරිසරයට වෙනස් වන සෑමදෙයක්ම දැඩි පීඩනය ඇති කරන අතර, මෙය උන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියටද හානි පමුණුවයි. සීමා කරන ලද ප්‍රදේශයක මත්ස්‍යයන්ගේ සංඛ්‍යාව වැඩිවීම, අධිපෝෂණය, ඓන්ද්‍රීය ද්‍රව්‍යවල එකතුව සහ විවිධ මසුන්ගේ රෝගකාරක බීජ වැඩිවීම වැනි හේතු සාධකවල සම්මිශ්‍රණයක් නිසා, නිදැල්ලේ සිටින මසුන්ට වඩා වැඩියෙන් වගා කරන ලද මසුන් අතර බරපතළ රෝගවලට හේතු වී ඇත. මෙය කර්මාන්තයට මහත් අලාභ ඇති කර තිබේ.
සැබවින්ම මෙවැනි මත්ස්‍යයන්ගේ රෝග බොහොමයක්ම, නිදසුනක් වශයෙන් ප්‍රතිජීවක දීමෙන් ප්‍රතිකාර කළ හැකි නමුත්, ප්‍රතිජීවක දීර්ඝ කාලයක් පාවිච්චි කිරීම පරිසරයට තර්ජනයක් වන්නේ මූලිකවම එය ඔරොත්තු දෙන බැක්ටීරියා නිපදවා නව ඖෂධ නිපදවීමේ අවශ්‍යතාව ඇති කරන නිසාය. ඖෂධ, මත්ස්‍යයන්ව දුර්වල කරවමින්, තව බොහෝ රෝගවලට පහසුවෙන් ගොදුරු වීමට හැකි කරවයි. සැබවින්ම මසුන් වගාකරන්නන්ට මෙම විෂම චක්‍රයෙන් ගැළවීමට අවශ්‍යව ඇත.b
රෝග නිවාරණයට වඩා ඉන් ආරක්ෂා වීම හොඳය යන පැරණි කියමන, මසුන් වගාවටද අදාළ වේ. මත්ස්‍යයාගේ ස්වාභාවික ප්‍රතිශක්තිකරණ හැකියාව ශක්තිමත් කිරීම ගැන වඩා පූර්ණ දැනුමක් ලබාගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් යොදා ඇත. මෙම පර්යේෂණ, පෝෂණ කිරීම, බෝ කරන පරිසරය සහ වැඩ කරන පිළිවෙළ වඩාත් කාර්යක්ෂම කිරීම, විශේෂයෙන්ම රෝගවලට ඔරොත්තු දිය හැකි මසුන් උත්පාදනය කිරීම සහ ප්‍රබල එන්නත් සහ එන්නත් ක්‍රම වර්ධනය කිරීම වෙත යොමු කොට තිබේ. මෙම ක්‍රියා පිළිවෙළ ප්‍රතිඵල ලබා දී ඇති අතර, රෝගවලට විරුද්ධව සටන් කිරීමේදී මසුන් වගා කිරීමේ කර්මාන්තය වාසි ලබා ඇති බව පෙනෙන්ට තිබේ.
වර්ධනය වන කර්මාන්තයක්
මසුන් වගාව වෙරළාසන්න ජනාවාස ගණනාවක් සඳහා මහත් වැදගත්කමක් ඇති නියම ප්‍රාදේශීය කර්මාන්තයකි. මසුන් වගා කරන කර්මාන්තය පිහිටුවනු ලැබූ දවසේ සිට මෙම කර්මාන්තයේ පුදුමාකාර වර්ධනයක් සිදුවී ඇත. එක්දහස් නවසිය අනූවේදී ලෝක ව්‍යාප්ත නිෂ්පාදනයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 23කට වඩා විය. ලෝකයේ රටවල් 90කට වඩා වැඩි ගණනකට සැමන් මසුන් අපනයන කරමින් ලෝකයේ වගා කරන ලද අත්ලන්තික් සැමන් මසුන්වලින් අඩක්ම සපයන්නේ නෝර්වේ රට විසින්ය.
අත්ලන්තික් සැමන් මසුන් දැනට පවතින මුහුදේ වගා කරන ලද මසුන්ගෙන් ප්‍රධාන නිෂ්පාදනය වුවත්, වෙළඳපොළේ, වගා කරන ලද කොඩ් සහ හැලිබට් මත්ස්යය වර්ගද සීමිත ප්‍රමාණයකින් තිබේ. මසුන් වගා කරන කර්මාන්තය අවුරුද්ද පුරාම විශ්වාසදායී, උසස් තත්වයෙන් යුත් මාළු සපයන්නෙකු වීමට බලාපොරොත්තු වෙයි.
කනගාටුවට කාරණයක් නම්, මනුෂ්‍යයන් බොහෝදුරට ගිජුකමින් පෙලඹීමට තමන්වම ඉඩහැරීමයි, මෙය මසුන් වගා කරන කර්මාන්තයේදීද සමහරවිට සිදුවී ඇත. සමහර අවස්ථාවලදී පාරිසරික කාරණා වෙනුවට ඉක්මන් ලාභ ලබාගැනීමේ ආශාවන්වලට ඉඩහැර තිබේ. මේ ආකාරයට සිතන මසුන් වගාකරන්නන්, ස්වභාවධර්මයාට ප්‍රතිප්‍රහාර ඉතා ඉක්මනින් එල්ල කළ හැකි ආකාරය ගැන දැනගෙන සිටිය යුතුය; පරිසරය ගැන සැලකිලිමත් වීම තමන්ගේම වාසියට බවත් ඔවුන් වටහාගත යුතුය. මැවුම්කරුවාණන්ගේ මූලික අරමුණට එකඟව—එනම් ස්වභාවධර්මය සහ එහි සංකීර්ණ පරිසර පද්ධතිවලට එකඟව, පොළොවේ සම්පත් කවදා හෝ පාලනය කිරීම සැමවිටම ඥානවන්ත වේ.
[පාදසටහන්වල]
a නෝර්වීජියානු මසුන් වගාකරන්නන්ගේ සංගමය විසින් පළ කරන ලද ඇක්වාකල්චර් ඉන් නෝර්වේ, යන විවරණිකාව මත පදනම් වූ තොරතුරුය.
b නෝර්වීජීයානු අධිකාරීන් පාරිභෝජකයන් ගැන සලකමින් ඖෂධ භාවිතය සම්බන්ධයෙන් තද රෙගුලාසි පිහිටුවා ඇත. මසුන් වගාකරන්නන්ට ඖෂධ, පශු වෛද්‍යවරයෙකු තුළින් පමණක් ලබාගත හැකිවන අතර, ප්‍රතිකාර ලබන මසුන්ව කාලයකට වෙන් කර තබන්නේ වෙළඳපොළට යවන සෑම මත්ස්යයෙක්ම ඖෂධවලින් තොර බව සහතික වීමටය.
[15වන පිටුවේ පින්තූර]
මත්ස්‍යයන්ව මුහුදේ පාවෙන කොටු තුළ තබනු ලැබේ
ගැහැනු මසුන්ගෙන් තම බිජු ලැබීම සඳහා බඩ පිරිමදිනු ලැබේ
මත්ස්‍යයා නියම ප්‍රමාණයට පැමිණෙන විට උන්ව රැගෙන අලෙවිය සඳහා පිළියෙළ කරනු ලැබේ
[හිමිකම් විස්තර]
ඡායාරූප: Vidar Vassvik/Norwegian Seafood Export Council