දුම්කොළ පාක්ෂිකයෝ තම උෂ්ණ-වායු බැලුම් දියත් කරති
එක්දහස් නවසිය හතලිස් ගණන්වල ලන්ඩන් නගරය වටලෑමකට යටත්ව තිබිණ. ජර්මන් සටන් අහස්යානා සහ පියාසර කර බෝම්බ විශාල ප්‍රමාණයක් ව්‍යාප්ත වූ භීතියට හා විනාශයට හේතුවිය. එහෙත් තත්වය මෙතරම් භයානක නොවූවා නම්, වාසයකරන්නන්හට අරුම පුදුම දර්ශනයක් දැක යම් හාස්‍ය රසයක් ලැබීමට ඉඩ තිබිණ.
දහස් ගණන් විශාල බැලුම් දිග කේබල්වලින් ගැටගසා ඉහළින් පාවීමට සලස්වන ලදි. පහළ මට්ටමකින් කරනු ලබන ගුවන් ප්‍රහාර වැළැක්වීමත්, හැකිනම් අවකාශයේ විසිර යවමින් තිබූ බෝම්බ මෙල්ල කිරීමත් ඒවායේ අරමුණ විය. බැලුම් බාධකය උපාය දක්ෂ එකක් වුවත්, ඉන් අවම සාර්ථකත්වයක් ලැබිණ.
ඒ හා සමානව දුම්වැටි සමාගම් ඔවුන් වටලෑමකට යටත් බව සොයාගත්හ. වරක් බිඳහෙළිය නොහැකි දේශපාලන හා ආර්ථික බලකොටු මෙන් තිබුණු පැතිරයන්නාවූ දුම්කොළ අධිරාජ්‍යයන්, සෑම පැත්තකින්ම ප්‍රහාර ලබමින් සිටී.
හානිදායක බව හෙළි කරන අධ්‍යයනයන් විශාල ප්‍රමාණයක් වෛද්‍ය සමාජය ප්‍රකාශයට පත්කොට තිබේ. සටන් කරන සෞඛ්‍ය නිලධාරීහු වාසිදායක තත්වයන් ලබාගැනීම සඳහා විවිධ උපක්‍රම යොදති. තමන්ගේ දරුවන් ගොදුරු බවට පත්කරනු ලබන බව කුපිත වූ දෙමව්පියෝ චෝදනා කරති. අධිෂ්ඨානපූර්වක නීති සම්පාදකයන් කාර්යාල ගොඩනැඟිලිවලින්, ආපන ශාලාවලින්, යුද හමුදා ඉදි කිරීම්වලින් හා ගුවන් යානාවලින් දුම්පානය ඉවත් කොට තිබේ. බොහෝ රටවල දුම්කොළ වෙළඳ දැන්වීම් රූපවාහිනියෙන් හා ගුවන් විදුලියෙන් ප්‍රචාරණය කිරීම තහනම් කර තිබේ. සෞඛ්‍ය ආරක්ෂක වියදම් සඳහා එක්සත් ජනපදයේ සම්පූර්ණ ජනපද මගින්, මිලියන ගණන් ඩොලර් සඳහා නඩු පවරනු ලැබේ. මෙම සටනට නීතිඥවරුද සම්බන්ධ වෙමින් සිටිති.
එනිසා ඔවුන්ගේ විරුද්ධකරුවන්ව ආපසු පලවා හැරීමට, දුම්කොළ සමාගම් තමුන්ගේම ආරක්ෂක බැලුම් දියත් කර තිබේ. කෙසේවෙතත්, ඒවා උණුසුම් වාතයෙන් හෙවත් හිස් කතාවෙන් පමණක් පිරී තිබෙන බව පෙනේ.
පසුගිය වසර තුළ දුම්කොළ කර්මාන්තයට විරුද්ධව කුපිත වූ නීති සම්පාදකයන් හා ආණ්ඩුවේ සෞඛ්‍ය නිලධාරීන් ප්‍රබල පහර දීමක් සංවිධානය කරත්ම, එක්සත් ජනපද ජනතාවට එය පැහැදිලිවම දැකගැනීමට හැකිවිය. වර්ෂ 1994 අප්‍රියෙල් මස එක්සත් ජනපද කොන්ග්‍රෙස් මණ්ඩලයක් ඉදිරියේ විභාග කිරීම සඳහා, විශාල සමාගම් 7ක දුම්කොළ විධායකවරුන්ට දෝෂාරෝපණය සහිත සංඛ්‍යා ලේඛනවලට මුහුණදීමට සිදුවිය: සෑම වසරකම අමෙරිකානුවන් 4,00,000කට වැඩි ප්‍රමාණයක් මරණයට පත්වන අතර, තවත් මිලියන ගණනක් අය රෝගීව, මරණාසන්නව, ඇබ්බැහිවූවන්ව සිටී.
නිදහසට කරුණු සඳහා ඔවුන්ට කුමක් කීමට තිබුණාද? මෙම චූදිත විධායකවරු ඔවුන්ගේ නිදහස සඳහා සමහර උනන්දුමත් ප්‍රකාශයන් ඉදිරිපත් කළෝය: “රෝගවල විකාශය සඳහා දුම්පානය හේතුකාරක කාර්යභාරයක් දරන බව තවමත් තහවුරු කර නොමැත,” යනුවෙන් දුම්කොළ ආයතනයේ නියෝජිතයෙක් ප්‍රකාශයට පත්කළේය. එපමණක්ද නොව, දුම්පානය කිරීමේ පුරුද්ද දක්වා තිබුණේ පැණිරස කෑම හෝ කෝපි බීම වැනි අනිකුත් ප්‍රීතිය ගෙන දෙන ක්‍රියාකාරකම් මෙන් උපද්‍රව රහිත යමක් වශයෙන්ය. “දුම්වැටියක නිකටින් තිබීම හේතුවෙන් එය මත්ද්‍රව්‍යයක් බවට හෝ දුම්පානය ඇබ්බැහිවීමක් බවට පත් නොකරයි,” යනුවෙන් එක් දුම්කොළ සමාගමක ප්‍රධාන විධායකයෙක් පැවසුවේය. “දුම්වැටිවල ඇති නිකටින් ඕනෑම මට්ටමකදී ඇබ්බැහි කිරීමට හැකි බව තර්ක කිරීම වැරදි,” යයි එක් දුම්කොළ සමාගමක විද්‍යාඥයෙක් ස්ථිර ලෙස ප්‍රකාශ කර සිටියේය.
දුම්වැටි ඇබ්බැහි නොකරන්නේ නම්, දුම්කොළ සමාගම් ඔවුන්ගේ නිෂ්පාදනයන්වල නිකටින් ප්‍රමාණය රිසි පරිදි වෙනස් කිරීමට තැත් කර ඇත්තේ මන්දැයි කමිටුව ප්‍රශ්න කළේය. “රසය වැඩි කිරීමට,” යයි තවත් දුම්කොළ සමාගමක විධායකවරයෙක් පැහැදිලි කළේය. නිරස දුම්වැටියකට වඩා නරක වෙනත් යමක් තිබේද? ඔහුගේම සමාගමේ ලිපිගොනුවලින් ලබාගත් පර්යේෂණ සෑහෙන ප්‍රමාණයකින් යෝජනා කෙරෙන නිකටින්වල ඇබ්බැහිවීමේ හැකියාව පෙන්වනු ලැබූ විටත්, ඔහු තමාගේම මතයට ඇලී සිටියේය.
පැහැදිලිව පෙනෙන ලෙසට නම්, දුම්කොළවලට ගොදුරුවූවන්ගෙන් සුසානභූමි කොපමණ ප්‍රමාණයක් පිරුණත් ඒ ගැන කිසි තැකීමක් නොමැතිව, ඔහු සහ අනිකුත් අය එම මතයටම ඇලී සිටිනවා ඇත. වර්ෂ 1993 මුල් භාගයේදී, අමෙරිකානු වෛද්‍ය සංගමයේ භාරකාරක මණ්ඩලයේ සභාපති වෛද්‍ය ලොනී බ්රිස්ටො උනන්දුමත් තර්ජනයක් ප්‍රකාශයට පත්කළේය. ද ජර්නල් ඔෆ් දි අමෙරිකන් මෙඩිකල් එසෝසියේෂන් මෙසේ වාර්තා කරයි: “දුම්පානයෙන් ඇතිවන ප්‍රතිඵලවලින් එකක්—එනම් පෙණහලු පිළිකා රෝගීන් හා වෙනත් පෙණහලු ආශ්රිත ආබාධවලින් පෙළෙන අය දැකගැනීමට, එ.ජ.යේ ඉතා විශාල දුම්කොළ සමාගම්වල විධායකවරුන්ට ඔහු සමඟ ආරෝග්‍යශාලා වාට්ටු දිගේ ඇවිදීමට හේ ආරාධනා කළේය. කිසිවෙක් මෙම ආරාධනාව පිළිගත්තේ නැත.”
ලෝක ආර්ථිකයේ වේගයෙන් වැඩිවෙන්නාවූ රැකිරක්ෂා හිඟයට හොඳ රැකියා සපයා දෙනවායයි දුම්කොළ කර්මාන්තය පුරසාරම් දොඩයි. එක් උදාහරණයකට, ආර්ජන්ටිනාවේ, මෙම කර්මාන්තය මගින් රැකියා මිලියනයක් උපදවා ඇති අතර, අනියම් ආකාරවලින් සම්බන්ධ වූ තවත් රැකියාවන් මිලියන හතරක් තිබේ. අතිවිශාල තීරුබදු ආදායම් මගින් බොහෝ ආණ්ඩුවල අනුග්‍රහය දුම්කොළ සමාගම් උපයාගෙන තිබේ.
එක් දුම්කොළ සමාගමක් විශේෂයෙන්ම නාගරික වැසියන් කෙරෙහි සැලකිල්ල දක්වන බව පෙන්වීමට ත්‍යාගශීලී අරමුදල් දෙමින් සුළුතර කණ්ඩායම්වලට විශේෂ අනුග්‍රහ දක්වා තිබේ. කෙසේවෙතත්, “ඡන්දදායක කොට්ඨාසයේ සංවර්ධන අයවැය ලේඛනයේ” සැබෑ ආකල්පය සමාගමේ අභ්‍යන්තර ලියකියවිලි එළිදරව් කළේය—ඡන්ද දිය හැකි අය අතර කීර්ති නාමයක් ඇති කිරීමටය.
මෙම දුම්කොළ සමාගමම කෞතුකාගාර, පාසැල්, නෘත්‍යය අධ්‍යාපන ශාලා හා සංගීත ආයතනවලට විශාල සම්මාදම් දී කලාකරුවන් සමඟ මිත්‍රත්වයක් ඇති කරගෙන තිබේ. ඉතා අවශ්‍ය වී තිබෙන දුම්කොළ මුදල් පිළිගැනීමට කලා සංවිධානවල නිලධාරීහු සූදානමින් සිටිති. දුම්පාන විරෝධී නීති රීති පැනවීමට එරෙහිව බලපෑම් කිරීමට ඔවුන්ගේ සහයෝගය දෙන ලෙස, නිව් යෝර්ක් නගරයේ කලා ප්‍රජාවේ සාමාජිකයන්ගෙන් මෑතකදී මෙම දුම්කොළ සමාගම ඉල්ලා සිටි විට, ඔවුහු අසීරු උභතෝකෝටික ප්‍රශ්නයකට මැදිවූහ.
තවද සැබවින්ම, මෙම ධනවත් දුම්කොළ බලවතුන් දේශපාලනඥයන් වටා මුදල් බෙදාහැරීමට කිසිදු බියක් නොමැති අතර, දුම්කොළ ව්‍යාපාරයට විරුද්ධව පැමිණෙන ඕනෑම යෝජනාවකට මොවුන්ගේ බලපෑම ඔවුන්ට ප්‍රයෝජනයට ගත හැක. උසස් තනතුරුවල සිටින ආණ්ඩුවේ නිලධාරීන් දුම්කොළ සමාගම්වල අරමුණු ඉටු කර තිබේ. සමහරුන්ට කර්මාන්තය සඳහා මූල්‍යමය බැඳීමක් තිබෙන අතර, දුම්කොළ සමාගම් මගින් නොමසුරුව ඡන්ද ව්‍යාපාරවලට දුන් සහයෝගය සඳහා නැවත ගෙවිය යුතු බවට පීඩනයක් ඔවුන්ට දැනේ.
එක්සත් ජනපද කොන්ග්රෙසයේ සාමාජිකයෙකු පිට පිටම දුම්කොළ සමාගම්වලින් ඩොලර් 21,000කට වඩා ලැබූ අතර, ඉන් අනතුරුව දුම්කොළ විරෝධී ප්‍රශ්න ගණනාවකට විරුද්ධව ඔහුගේ ඡන්දය දුන්නේය.
හොඳ වේතනයක් ලද කලින් සිටි දුම්කොළ සඳහා පක්ෂව කතාකරන්නෙක්, එක් කලක රාජ්‍ය සෙනෙට් සභිකයෙකු හා අධික දුම්පානයකරන්නෙකු වූ අතර, මෑතකදී ඔහුට උගුරේ, පෙණහැල්ලේ හා අක්මාවේ පිළිකාව ඇතිවී තිබෙන බව සොයාගත්තේය. “තමා විසින් ඇති කරගත් දෙයක් නිසා ගිලන් ඇඳක සිටීමට හේතුවන යමක්” සහිතව සිටීම, තමා මෝඩයෙකුයයි කෙනෙකුට හැඟෙන්ට සලස්වන අතර, ඔහුට දැන් තියුණු පසුතැවිල්ලක් හා වැලපීමක් තිබේ.
විශාල මුදල් ප්‍රමාණයක් වෙළඳ දැන්වීම් සඳහා වියදම් කිරීමෙන් ලැබෙන බලය උපයෝගි කරමින්, දුම්කොළ සමාගම් ප්‍රබල ලෙස විරුද්ධ පක්ෂයට පහර දෙයි. එක් වෙළඳ දැන්වීමක් විධිමත්ව අනතුරු අඟවමින්, “අද දුම්වැටි. නමුත් හෙට?” යන නිදහස සඳහා ඉල්ලීම ඉදිරිපත් කළේය. එය අඟවන්නේ කැෆේන්, මධ්‍යපාන සහ හැම්බර්ගර්ස් අන්තවාදී තහනම්කරුවන්යයි කියාගන්නා අයගේ ඊළඟ ගොදුරු වන බවය.
දුම්පානයෙන් පසු අවට එකතු වන දුම් පිළිකාකාරකයක් බවට වර්ගීකරණය කළ, එ.ජ. පාරිසරික සංරක්ෂණ නියෝජ්‍ය ආයතනයේ පුළුල් ලෙස උපුටා දක්වන ලද අධ්‍යයනයක් අපකීර්තියට පත්කිරීමට, පුවත් පත් වෙළඳ දැන්වීම් උත්සාහ කර ඇත. නීත්‍යනුකූල සටනක් සැලසුම් කිරීමට දුම්කොළ කර්මාන්තය ප්‍රකාශයට පත්කළේය. ඇබ්බැහි වීමට උනන්දු කිරීම සඳහා සූර ලෙස නිකටින් මට්ටම වැඩි කිරීම සම්බන්ධයෙන් එක් සමාගමකට එක් රූපවාහිනී වැඩසටහනක් චෝදනා කළේය. එම වැඩසටහන විකාශනය කළ ජාලයට විරුද්ධව ඩොලර් බිලියන 10ක නඩුවක් වහාම පවරන ලදි.
දුම්කොළ සමාගම් බලවත් ලෙස සටන් කර තිබුණත්, චෝදනාවලින් තත්වය වඩාත් අඳුරු වී තිබේ. පසුගිය දශක හතර තුළදී අධ්‍යයනයන් 50,000ක් පමණ පවත්වා තිබෙන අතර, දුම්කොළ භාවිතයෙන් ඇතිවන උවදුරු පිළිබඳ, අඛණ්ඩව වර්ධනය වන තොරතුරු සම්භාරයක් ප්‍රතිඵල වශයෙන් ලැබිණ.
ඔවුන් වෙත එල්ල කරන ලද දෝෂාරෝපණයන් මඟහරවාගැනීමට දුම්කොළ සමාගම් කෙසේ උත්සාහ කර තිබේද? ඔවුන් මුරණ්ඩු ලෙස එක් උපකල්පිත කරුණකට ඇලී සිට ඇත: එනම් දුම්පානයකරන්නන් එය අත්හරින බවයි. මෙලෙස ඔවුන් පවසන්නේ, නිකටින් ඇබ්බැහි කරන්නක් නොවන බවයි. කෙසේවෙතත් සංඛ්‍යා ලේඛන පෙන්වන්නේ වෙනස් දෙයකි. අමෙරිකානුවන් මිලියන 40ක් දුම්පානය අතහැර තිබෙන බව සැබෑය. එහෙත් මිලියන 50ක් තවමත් දුම්පානය කරන අතර, මොවුන්ගෙන් සියයට 70ක් එය අතහැරීමට අවශ්‍ය බව පවසති. සෑම වසරකම අතහැරීමට උත්සාහ කරන මිලියන 17න් සියයට 90ක්ම වසරක් ඇතුළත අසමත් වෙති.
පෙණහලු පිළිකාව සඳහා ශල්‍යකර්මයකට භාජන වීමෙන් පසු, එක්සත් ජනපද දුම්පානයකරන්නන්ගෙන් සියයට 50කට ආසන්න ප්‍රමාණයක් මෙම පුරුද්දට නැවත යොමුවෙති. හෘදයාබාධවලට ගොදුරු වූ දුම්පානයකරන්නන්ගෙන් සියයට 38ක්ම රෝහලෙන් පිටවීමට පෙරම දුම්පානය කිරීම ආරම්භ කරති. පිළිකාමය ස්වරාලයක් ඇති දුම්පානයකරන්නන්ගෙන් එය ඉවත් කිරීමෙන් පසු, ඔවුන්ගෙන් සියයට 40ක්ම නැවත දුම්පානය කිරීමට උත්සාහ කරන්නෝය.
එක්සත් ජනපදයේ දුම්පානය කරන මිලියන ගණන් යෞවනයන්ගෙන් හතරෙන් තුනක්ම පවසන්නේ, අතහැරීම පිණිස අඩුතරමින් බරපතළ ලෙස එක උත්සාහයක් ගෙන තිබුණත් ඔවුන් ඉන් අසමත් වූ බවයි. බොහෝ යෞවනයන්ට දුම්පානය කිරීම, වඩාත් දරුණු මත්ද්‍රව්‍ය ගැනීමට මඟ පාදන බව සංඛ්‍යා ලේඛන පෙන්වයි. දුම්පානය නොකරන්නන්ට වඩා දුම්පානය කරන නහඹරයන් කොකේන් භාවිත කිරීමට 50ගුණයකට වඩා වැඩි ඉඩ කඩ තිබේ. එක් දහතුන්-හැවිරිදි දුම්පානයකරන්නියක් එයට එකඟවූවාය. “දුම්පානය මත්ද්‍රව්‍ය සඳහා ප්‍රවේශ මාර්ගයක් බව මට කිසිම සැකයක් නැහැ,” යයි ඈ ලීවාය. “මා දන්නා අයගෙන් බොහෝදෙනෙක්, තුන්දෙනෙකු හැර, මත්ද්‍රව්‍ය ගැනීමට පෙර දුම්පානය කිරීමට පටන්ගත්තා.”
අඩු-තාර දුම්වැටි ගැන කුමක් කිව හැකිද? මේවා සමහරවිට හේතු දෙකක් නිසා වඩාත් අන්තරාදායක විය හැකි බව අධ්‍යයනයන් පෙන්නුම් කරයි: එක, තම ශරීරය ආශා කරන නිකටින් ප්‍රමාණය ලබාගැනීම සඳහා දුම්බොන්නෙකු වඩාත් ගැඹුරු ලෙස ආශ්වාස කිරීමයි, එසේ කිරීමේදී වැඩි පෙණහලු පටක ප්‍රමාණයක් දුමේ තිබෙන විෂ බලපෑමට නිරාවරණය වේ; දෙක, තමා වඩාත් “සෞඛ්‍යසම්පන්න” දුම්වැටියක් පානය කරමින් සිටින්නේය යන වැරදි සංකල්පය නිසා ඉන් මුළුමනින්ම අත්මිදීමට ගන්නා ඔහුගේ උත්සාහය වළක්වනු ලැබේ.
නිකටින් සම්බන්ධයෙන් පමණක් අධ්‍යයනයන් 2,000කට වඩා වැඩි ප්‍රමාණයක් කර තිබේ. ඒවා අනාවරණය කරන්නේ, නිකටින් මිනිසා දන්නා වඩාත් ඇබ්බැහි කරවන එක් ද්‍රව්‍යයක් බවත්, වඩාත් හානිකර දේවල්වලින් එකක් බවත්ය. නිකටින් මගින් හෘද ස්පන්දනය වේගවත් කරන අතර, රුධිරවාහිනී හකුළුවයි. මෙය තත්පර 7ක කාලයක් තුළ රුධිර ධාරාවට උරාගනු ලබන අතර, කෙළින්ම ශිරාවකට විදිනු ලබන යමකටත් වඩා වේගවත්ය. තව තව අවශ්‍යයයි හැඟීමට එය මොළය හැඩගස්වන අතර, මෙම ආශාවට හෙරොයින් මෙන් දෙගුණයක ඇබ්බැහි ගතියක් ඇති බව ඇතමෙක් පවසති.
නිකටින්වල ඇති ඇබ්බැහිකම ගැන දුම්කොළ සමාගම් ප්‍රතික්ෂේප කර සිටියත්, එහි ඇති ඇබ්බැහිකම ඔවුහු වටහාගෙන සිටිත්ද? බොහෝ කලක සිට ඔවුන් එසේ දැන සිටි බව ඇඟවීම්වලින් පැහැදිලි වේ. නිදසුනක් වශයෙන්, රසායනාගාර මීයන් ඇබ්බැහිකමේ ලක්ෂණ විදහා පෙන්වා තිබෙන අතර, නිතිපතා එය ලබාගැනීමට මීයන් ලීවර ක්‍රියාත්මක කළ බවද, එක්තරා දුම්කොළ සමාගමක පර්යේෂකයෙකු සඳහන් කළ බව 1983දී පළවූ වාර්තාවක් පෙන්වයි. වාර්තා වී ඇති පරිදි, එම අධ්‍යයනය ඉක්මනින්ම සමාගම විසින් යටපත් කරන ලද අතර, එය දැනගැනීමට පැමිණියේ මෑතකදීය.
දුම්කොළ සමාගම් සෑම පැත්තකින්ම පහර ලබන විට ක්‍රියාවිරහිතව සිටියේ නැත. “එක්සත් ජනපද වෙළඳ ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ පැවත එන වැරදි තොරතුරු සපයන ව්‍යාපාරය” යනුවෙන් ද වෝල් ස්ට්‍රීට් ජර්නල් හඳුන්වන ව්‍යාපාරය, නිව් යෝර්ක් නගරයේ දුම්කොළ පර්යේෂණ සඳහා ඇති මන්ත්‍රණ සභාව මෙහෙයවයි.
ස්වාධීන පර්යේෂණ පවත්වන බව අඟවමින් මන්ත්‍රණ සභාව පහර දෙන්නන් සමඟ සටන් කිරීමට මිලියන ගණන් ඩොලර් යොදවා තිබේ. ස්ලෝන්-කෙටරිං අනුස්මරණ පිළිකා මධ්‍යස්ථානයේ වෛද්‍ය අර්නස්ට් වෙන්ඩර් විසින්, මීයන්ගේ පිටවල තවරන ලද දුම්කොළ තාර අර්බුදවලට හේතුවූ බව සොයාගත් විට, ඒ සියල්ල 1953දී ඇරඹීය. ඔවුන්ගේ නිෂ්පාදනවලට විරුද්ධව එක්රැස්වෙන පැහැදිලි සාක්ෂි උදාසීන කිරීම සඳහා ආයතනය මගින් මන්ත්‍රණ සභාවක් පිහිටුවන ලද්දේ, තමුන්ගේ විද්‍යාත්මක සාක්ෂි මගින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමටය.
කෙසේවෙතත්, මන්ත්‍රණ සභාවේ විද්‍යාඥයන්ට පර්යේෂණ සමාජයේ ඉතිරි අයගේ සොයාගැනීම්වලට හාත්පසින් වෙනස් වූ ප්‍රතිඵල නිපදවිය හැකිවූයේ කෙසේද? මෑතකදී ප්‍රකාශයට පත්කරන ලද ලියවිලිවලින් පැටලිලි සහිත කුමන්ත්‍රණයක් එළිදරව් වේ. තියුණු දැනුමක් ඇති නීතිඥ කණ්ඩායම් මගින් පාලනය වූ මෙන්ම ලිඛිත ගිවිසුම් මගින් බාධාවට පත්වූ, බොහෝ මන්ත්‍රණ සභා පර්යේෂකයන්ට දැනගැනීමට ලැබුණේ, වැඩිවෙන සෞඛ්‍ය අන්තරාය පිළිබඳ බියට හොඳ පදනමක් තිබූ බවයි. එහෙත් තමන් සත්‍යයන්ට මුහුණදීමට සිදුවූ විට, ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පවසන පරිදි, මන්ත්‍රණ සභාව “දුම්පානය කිරීම සෞඛ්‍යයට උවදුරක්යයි ඇඟවූ තම අධ්‍යයනයන් ඇතැම්විට නොසලකා හැරීමට හෝ නවතා දැමීමට පවා නැඹුරු වූයේය.”
වඩාත් සුරක්ෂිත දුම්වැටිය සඳහා පර්යේෂණ රහසිගතව වසර ගණනාවකට සිදුවී ඇත. ප්‍රසිද්ධියේ එසේ කළා නම් දුම්පානය සෞඛ්‍යයට අනතුරුදායක බව නිහඬ පිළිගැනීමක් බවට එය ඇත්තෙන්ම පත්වනවා ඇත. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අවසානභාගය වන විට දුම්කොළ සමාගමේ ජ්‍යෙෂ්ඨ නීතිඥයෙකු, “වඩාත් සුරක්ෂිත” දුම්වැටි නිපදවීමට ගන්නා උත්සාහයන් නිෂ්ප්රයෝජන යමක් සේ අත්හළ යුතු බවත්, ඒ හා සම්බන්ධ සියලුම ලියකියවිලි පසකට තැබීම සුදුසු බවත් ප්‍රකාශ කළේය.
අත්හදාබැලීමේ වසර ගණනාව තුළ කාරණා දෙකක් පැහැදිලි විය: නිකටින් සැබවින්ම ඇබ්බැහි කරවන්නක් බවත්, දුම්පානය මරණයට පත්කරවන බවත්ය. මෙම සත්‍යයන් ප්‍රසිද්ධියේ ප්‍රබල ලෙස ප්‍රතික්ෂේප කළත්, දුම්කොළ සමාගම් ඔවුන්ගේ ක්‍රියා මගින් පෙන්නුම් කරන්නේ ඔවුන් මෙම සත්‍යයන් හොඳින් දන්නා බවයි.
තම වාසියට හිතාමතා මෙහෙයවීමක් කළ බවට චෝදනා කරමින්, එ.ජ. ආහාර හා ඖෂධ පරිපාලන (ආඖප) කොමසාරිස් වන ඩේවිඩ් කෙස්ලර් මෙසේ පැවසීය: “අදදින සමහරක් දුම්වැටි, නිශ්චිත ලෙස ගණනය කර තිබෙන නිකටින් ප්‍රමාණයන් සපයා දෙන, ඉහළ තාක්ෂණික මට්ටමක් ඇති නිකටින් සැපයුම් පද්ධති හැටියට සැලකිය හැක . . . මේවා ඇබ්බැහි වීමක් ඇති කිරීමටත්, පවත්වාගැනීමටත් ප්‍රමාණවත් වේ.”
ඔවුන්ගේ අභිප්රායන් ඔප්පු කරන්නාවූ බලපත්‍ර ගණනාවක් දුම්කොළ සමාගම් සතුව තිබෙන බව කෙස්ලර් හෙළි කළේය. එකක් නම්, දුම්කොළවල ජාන වෙනස් කිරීමෙන් දන්නා තරමින් උපරිම නිකටින් ප්‍රමාණයක් ඇතුව වැවෙන දුම්කොළ වර්ගයක් සඳහාය. තවත් ක්‍රියාවලියක, අමතර වින්දනයක් සඳහා දුම්වැටියේ ෆිල්ටරය හා කඩදාසිය තුළ නිකටින් දමනු ලැබේ. තවත් ක්‍රියාවලියක දුම්පානයකරන්නා අවසානයේ දුම් උරන අවස්ථාවට වඩා, පළමුව උරන විට වැඩි නිකටින් ප්‍රමාණයක් පිරිනමනු ලැබේ. අමතරව, සමාගම් ලියකියවිලි පෙන්නුම් කරන පරිදි දුම්වැටිවලින් වැඩි නිකටින් ප්‍රමාණයක් මුදාහැරීමට ඇමෝනියා සංයෝග එකතු කරනු ලැබේ. “දුම්පානයකරන්නාගේ රුධිර ධාරාවට සාමාන්‍යයෙන් උරාගන්න ප්‍රමාණයට වඩා දෙගුණයක් ඇතුල්වූ බව,” නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවක් පවසයි. නිකටින් ඇබ්බැහි කරන්නාවූ මත්ද්‍රව්‍යයක් බව හා දුම්වැටි වඩාත් බෙහෙවින් පාලනය කිරීමට උත්සාහ කරන බව ආඖප ප්‍රකාශ කරයි.
තමුන්ට සරිලන පරිදි ආණ්ඩුව දුම්වැටි මත රඳා සිටියි. එක් උදාහරණයකට, එ.ජ. ආණ්ඩුව දුම්කොළ නිෂ්පාදන මත රජයේ හා ෆෙඩරල් බදු අය කිරීම තුළින්, වසරකට ඩොලර් බිලියන 12ක් එකතු කරයි. කෙසේවෙතත්, තාක්ෂණික තක්සේරු කිරීමේ ෆෙඩරල් කාර්යාලය, සෞඛ්‍ය ආරක්ෂක වියදම් හා නිපදවීමේ හැකියාවේ අඩුවීම මත පදනම්ව, දුම්වැටිවලින් වසරකට ඩොලර් බිලියන 68ක අලාභයක් සිදුවන බව ගණනය කරයි.
ආර්ථික ලාභ ඇති බවටත්, රැකිරක්ෂා බහුලව තිබෙන බවටත් ප්‍රකාශ කිරීම, කලා ක්ෂේත්රයට හොඳ චේතනාවෙන් අනුග්‍රහ දැක්වීම, සෞඛ්‍යය අවදානම් නැති බවට තරයේ කියා සිටීම මගින් ඇත්තෙන්ම, ආත්මාරක්ෂාව පිණිස දුම්කොළ කර්මාන්තය ඉතා පුදුමාකාර බැලුම් සමහරක් උඩ යවා ඇත. ලන්ඩනයට ඉහළින් තිබූ බැලුම් ආරක්ෂා සැලැස්මට වඩා, මෙය බලපෑමෙන් යුක්ත බවට ඔප්පුවේද නැද්ද කියා දැකීමට තවත් ඉදිරිය දෙස බැලිය යුතුය.
එහෙත් මෙම යෝධ සමාගම්වලට තවදුරටත් ඔවුන්ගේ සැබෑ ස්වභාවය වසං කළ නොහැකි බව පැහැදිලිවම පෙනේ. ඔවුන් මිලියන ගණන් උපයා තිබෙන අතර, මිලියන ගණන් මිනිසුන් මරණයට පත්කර තිබේ, නමුත් මිනිසුන් ප්‍රමාණයකට මින් ඉතා බිහිසුණු හානි පමුණුවා තිබෙන බවට වූ වැදගත්ම කාරණය ගැන ඔවුන්ට තැකීමක් නැති බව පෙනේ.
[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
බොහෝ උණුසුම් වාතයෙන් පිරී තිබෙන බවට ඒවා පෙන්නුම් කරයි
[9වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
එක් ආණ්ඩුවේ අධ්‍යයනයක් පෙන්නුම් කරන්නේ, දුම්පානයෙන් අවට එකතු වන දුම පිළිකාකාරකයක් බවයි
[10වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
නිකටින් දැන සිටින වඩාත් වැඩියෙන් ඇබ්බැහි කරවන්නාවූ එක් ද්‍රව්‍යයක් වේ
[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
ඔවුන් මිලියන ගණන් උපයා ඇත; මිලියන ගණන් මරණයට පත්කර ඇත
[10වන පිටුවේ කොටුව]
අධ්‍යයන 50,000ක්—ඒවායින් සොයාගෙන තිබෙන්නේ කුමක්ද?
දුම්කොළ භාවිතය පිළිබඳව පර්යේෂකයන් විසින් නඟන ලද සෞඛ්‍ය ගැටලුවලින් කුඩා නියැදියක් මෙන්න:
පෙණහලු පිළිකාව: පෙණහලු පිළිකා මරණවලින් සියයට 87ක්ම දුම්පානයකරන්නන්ගෙන් සමන්විතය.
හෘදයාබාධ: හෘද්වාහිනී රෝග වැළදීම සඳහා දුම්පානයකරන්නන්හට සියයට 70ක වැඩි අවදානමක් පවතී.
පියයුරු පිළිකාව: දිනකට දුම්වැටි 40ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් පානය කරන කාන්තාවන්ට, පියයුරු පිළිකා සෑදීමෙන් මරණයට පත්වීමට සියයට 74කින් වැඩි ඉඩ කඩ තිබේ.
ශ්‍රවණාබාධ: දුම්පානය කරන මව්වරුන්ගේ ළදරුවන්ට ශබ්ද වටහාගැනීමේ වැඩි දුෂ්කරතාවක් තිබේ.
දියවැඩියා උවදුරු: දුම්පානය කරන හෝ දුම්කොළ විකන දියවැඩියා රෝගීහු, වකුගඩුවල හානි හා වඩාත් ඉක්මනින් වැඩිවර්ධනය වන දෘෂ්ටිවිතානයේ ආබාධයන් හටගැන්වීම සම්බන්ධයෙන් වැඩි අවදානමක සිටිති.
මහාන්ත්‍රයේ පිළිකාව: මිනිසුන් 1,50,000කට වඩා සහභාගි වූ අධ්‍යයනයන් දෙකකදී, දුම්පානය හා මහාන්ත්‍රයේ පිළිකාව අතර පැහැදිලි සම්බන්ධයක් පෙන්නුම් කරයි.
ඇදුම: දුම්පානය කරන ලද කෙනෙකු අසල සිට ද්විතීක වශයෙන් එම දුම ආශ්වාස කරන තරුණ අය අතර ඇදුම රෝගය වඩාත් දරුණු කළ හැක.
දුම්පානය සඳහා ප්‍රවණතාවක්: ගර්භිණී කාලය තුළ දුම්පානය කළාවූ කාන්තාවන්ගේ ගැහැනු දරුවෝ, සාමාන්‍ය අයට වඩා දුම්පානය සඳහා සිව්ගුණයකින් වැඩි ලැදිකමක් දක්වති.
ලිව්කීමියාව: මයිලොයිඩ් ලිව්කීමියාව හටගැනීමට දුම්පානය හේතුවන බව පෙනේ.
ව්‍යායාම් අනතුරු: එ.ජ. හමුදා අධ්‍යයනයක් අනුව, ව්‍යායාම් කරන අතරතුර අනතුරුවලින් වේදනා විඳීමට වැඩි ඉඩ කඩ තිබේ.
සිහිය: නිකටින් වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් සමහරවිට, පුද්ගලයෙකු සංකීර්ණ දුෂ්කර කටයුතු ඉෂ්ට කරන අතරතුර මානසික දක්ෂකම අඩු කළ හැක.
විෂාදය: මනෝචිකිත්සකයෝ බරපතළ විෂාදය හා ඒ සමඟම භින්නෝන්මාදයට දුම්පානයෙන් යම් සම්බන්ධයක් තිබේදැයි තොරතුරු සොයා බලති.
දිවිනසාගැනීම: හෙදියන් පිළිබඳ අධ්‍යයනයකදී පෙන්නුම් කළේ, දුම්පානය කරන හෙදියන් අතර දිවිනසාගැනීමට ඇති ඉඩ කඩ බොහෝදුරට දෙගුණයකින් වැඩි බවයි.
ලැයිස්තුවට එකතු කළ හැකි තවත් අන්තරායන්: මුඛයේ පිළිකාව, ස්වරාලයේ, උගුරේ, අන්නස්‍රෝතයේ, අග්න්‍යාශයේ, ආමාශයේ, ක්ෂුද්‍රාන්තයේ, මූත්‍රාශයේ, වකුගඩු සහ ග්රීවයේ පිළිකාව, ආඝාතය, හෘදයාබාධ, නිදන්ගත පෙණහලු රෝග, රුධිර සංසරණ රෝග, පෙක්ටික් වණ, දියවැඩියාව, වඳබව, උපතින් බර අඩුවීම, අස්ථිවෛවර්යය සහ කනේ ආසාදන. නිවාස, හෝටල් සහ රෝහල්වල ගිනිගැනීම්වලට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ, දුම්පානය බැවින් ගිනි උවදුරුද මෙයට එකතු කළ හැක.
[12වන පිටුවේ කොටුව]
දුම් රහිත දුම්කොළ—අනතුරුදායක ආදේශකයක්
ඩොලර් බිලියන 1.1ක දුම්කුඩු කර්මාන්තයේ පෙරමුණගන්නෝ රසකැවූ දුම්කුඩුවලට ඔවුන්ගේ ආධුනිකයන්ව කූට ආකාරයකින් ඇදගනිති. ජනප්‍රිය වූ රසකැවූ වර්ග කිහිපයක් එයට තිබේ. ඉන් පිරිනමන “කුඩා දුම්කොළ ප්රබෝධය” මගින් තෘප්තිය ලබා දුන්නත්, එය වැඩි වේලාවකට නොවේ. මෙම දුම්කොළ සමාගමේ කලින් සිටි උප සභාපති මෙසේ පැවසුවේය: “බොහෝ මිනිසුන් ආරම්භ කරන්නේ මෙම රසකැවූ නිෂ්පාදනයන්ගෙන්ය, එහෙත් අවසානයේදී ඔවුහු වඩාත් ප්‍රබල වර්ගයට යොමුවෙති.” “ශක්තිමත් මිනිසුන් සඳහා බලගතු විකා කන දුම්කොළ” සහ “එය තෘප්තිමත් කරයි” යනුවෙන් මෙය ප්‍රචාරණයට පත්කර තිබේ.
මෙම ව්‍යාපාරයේ මෙම ක්‍රියාපිළිවෙළ සම්බන්ධයෙන් වාර්තා කළ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් සඟරාව “එය නිකටින් මට්ටම වෙනස් කරන බවට වූ” එහි ප්‍රතික්ෂේප කිරීම උපුටා දැක්වීය. මෙම ජර්නල් සඟරාව තවදුරටත් සඳහන් කළේ, ව්‍යාපාරයේ කලින් සිටි දුම්කොළ රසායනඥයන් දෙදෙනා මෙම තේමාව යටතේ කතා කළ ප්‍රථම අවස්ථාවේදී පැවසුවේ, “ව්‍යාපාරය නිකටින් මට්ටම පාලනය නොකළත් පාරිභෝගිකයන් උරාගන්නාවූ නිකටින් ප්‍රමාණය එය පාලනය කරන බවයි.” ඔවුන් තවදුරටත් පවසන්නේ, දුම්කුඩුවල ක්ෂාරත්වය ප්‍රබල කරලීමට එම ව්‍යාපාරය රසායනික ද්‍රව්‍ය එකතු කරන බවයි. දුම්කුඩුවල ක්ෂාර ගතිය වැඩිවෙත්ම, “වැඩි නිකටින් ප්‍රමාණයක් මුදාහැරේ.” දුම්කුඩු හා විකා කන දුම්කොළ සම්බන්ධයෙන් ජර්නල් සඟරාව මෙම පැහැදිලි කිරීම එකතු කරයි: “දුම්කුඩු, විකා කන දුම්කොළ හා සමඟ සමහරවිට පටලවා ගත්තද, මෙම තීරු කරන ලද දුම්කොළ පාරිභෝගිකයන් උරන අතර විකා නොකයි. පාරිභෝගිකයෝ එය ඉතා ස්වල්ප ප්‍රමාණයක් ගෙන, කම්මුල හා විදුරුමස අතර තබා, ඔවුන්ගේ දිව්වලින් එය එහා මෙහා ගෙන යමින් විටින් විට කෙළ ගසති.”
ආධුනිකයන් සඳහා සාදා ඇති රසකැවූ වර්ගවලින් රුධිර සංසරණ පද්ධතියට උරාගැනීම සඳහා මුදාහරිනු ලබන්නේ, නිකටින් සියයට 7 සිට 22 දක්වා ප්‍රමාණයක් පමණි. ප්‍රබලම වර්ගය මගින් නව පාරිභෝගිකයන්ගේ හුස්ම හිරවිය හැක. “සැබෑ” පුරුෂයන් සඳහා එය සිහින්ව කැබලි කරන ලද ආකාරයකින් තිබේ. එහි ඇති නිකටින් සියයට 79ක්ම “නොමිලේ” සුලභව රුධිර සංසරණ පද්ධතියට විගසින්ම උරාගැනීම සඳහා තිබේ. එක්සත් ජනපදයේ, සාමාන්‍ය වයස අවුරුදු නවයේ සිට පාරිභෝගිකයෝ දුම්කුඩු භාවිත කරති. වඩා ප්‍රබල වර්ග භාවිත කොට “නියම” පුරුෂයන්ගේ ගණයට එකතුවීමෙන් වැළකී සිටින්ට යන්නේ කිනම් නවහැවිරිදියෙක්ද?
එහි ප්‍රතිඵලයක් වශයෙන් ශරීරයට ඇතුල්වන නිකටින් ප්‍රමාණය දුම්වැටියක් පානය කිරීමට වඩා ප්‍රබල වේ. වාර්තා කර ඇති අන්දමට දුම්කුඩු භාවිතකරන්නන්හට මුඛ පිළිකාව වර්ධනය වීමට සතරගුණයකින් වැඩි ඉඩ කඩ ඇති අතර, ඔවුන්ට උගුරේ පිළිකාව ඇතිවීමේ අවදානම් තත්වය දුම්පානය නොකරන්නන්ට වඩා 50ගුණයකින් වැඩිය.
උසස් පාඨශාලා ධාවන පථ තරඟකරන්නෙකු මුඛ පිළිකාව වැළදීමෙන් මරණයට පත්වූ අවස්ථාවේ, ඔහුගේ මව විසින් දුම්කොළ සමාගමට විරුද්ධව නඩුවක් ඉදිරිපත් කළ විට, තාවකාලිකව මහජන උද්ඝෝෂණයක් එක්සත් ජනපදයේ පැතිර ගියේය. ඔහුට වයස අවුරුදු 12හිදී රෝඩියෝ තරඟයකදී දුම්කුඩු ටින් එකක් නොමිලේ ලැබුණු අතර, පසුව සතියකට-ටින්-හතරක පාරිභෝගිකයෙක් බවට ඔහු පත්විය. ඉන්පසු ඔහුගේ දිව, හක්ක සහ බෙල්ල කැපීමට සිදුවූ වේදනාකාරි ශල්‍යකර්මයන් කිහිපයකට යටත්වීමෙන් පසු, වෛද්‍යවරු බලාපොරොත්තු අත්හැරියහ. මෙම තරුණයා වයස අවුරුදු 19දී මරණයට පත්විය.
[13වන පිටුවේ කොටුව]
අත්හරින්නෙකු විය හැකි අන්දම
මිලියන ගණන් මිනිසුන් නිකටින්වලට ඇබ්බැහි වීමෙන් සාර්ථක ලෙස නිදහස් වී තිබේ. ඔබ දුම්පානයකරන්නෙකු නම්, දිගු කාලීනයෙකු වුවත් මෙම හිංසාකාරි පුරුද්දෙන් ඔබට ගැළවිය හැක. යෝජනාවන් කිහිපයක් උපකාරවත් විය හැක:
• අපේක්ෂා කළ යුත්තේ කුමක්දැයි කල් ඇතුව දැනගන්න. කාන්සාව, වහා කිපෙනසුලු ගතිය, කැරකිල්ල, හිස රුදාව, නින්ද නොයෑම, උදර වේදනාව, කුසගින්න, දැඩි ආශා, අවදානම අඩුවීම සහ වෙව්ලීම ආදි විරමණ ලක්ෂණ ඇතුළත් විය හැක. ප්‍රියමනාප අපේක්ෂාවන් නොවුවත්, වැඩිම වේදනාකාරි ලක්ෂණ පවා දින කිහිපයකට පමණක් පැවත, ඉන්පසු ශරීරය නිකටින්වලින් නිදහස් වූ විට ක්‍රමක්‍රමයෙන් නැතිවී යයි.
• දැන් ප්‍රබල වූ මානසික සටන ආරම්භ වේ. ඔබගේ ශරීරය නිකටින්වලට බලවත් ලෙස ආශා කරනවා පමණක් නොව, එහෙත් ඔබගේ මනස දුම්පානය හා සම්බන්ධ හැසිරීම් මගින් සකස් වී තිබිණ. ඔබ දුම්වැටියකට නොදැනුවත්වම ළඟා වන්නේ කුමන වේලාවකදැයි ඔබගේ දින චර්යා පරීක්ෂා කර බලා එම රටාව වෙනස් කරන්න. එක් උදාහරණයකට, ඔබ සැමවිටම කෑම අනුභව කළ විගසම දුම්පානය කළා නම්, නැඟිට ඇවිදීමට හෝ දීසි සේදීමට අධිෂ්ඨාන කරගන්න.
• සමහරවිට, පීඩාකාරි මොහොතක් නිසා තදබල ආශාවක් හදිසියෙන් පැමිණියහොත්, එම හදිසි ආශාව සාමාන්‍යයෙන් මිනිත්තු පහකින් පහවී යන බව මතක තබාගන්න. ඔබගේ මනස යම් දෙයක යෙදවීමට, එනම් ලිපි ලිවීම, ව්‍යායාම් කිරීම හෝ ශක්තිය දෙන සුළු ආහාරයක් ගැනීම ආදි දෙයක යෙදවීමට සූදානම්ව සිටින්න. යාච්ඤාව ආත්මදමනය සඳහා බලගතු උපකාරයකි.
• ඔබ අත්හැරීමට ගන්නා උත්සාහයන්වලදී අසමත් වීමෙන් අධෛර්යයට පත්වී සිටිනවා නම්, දිරිමත් වන්න. වැදගත් දෙය වන්නේ දිගටම උත්සාහ කිරීමයි.
• බර වැඩිවීමට තිබෙන ඉඩ කඩ ඔබට බාධාවක් වේ නම්, රාත්තල් ස්වල්පයකින් බර වැඩිවීමෙන් ඇතිවන උවදුරට වඩා දුම්පානය අත්හැරීමෙන් ලැබෙන ප්‍රයෝජන වාසිදායක බව මතකයේ තබාගන්න. පළතුරු සහ එළවළු ආසන්නව තබාගැනීම උපකාරවත් විය හැක. තවද වැඩි ප්‍රමාණයක් ජලය පානය කරන්න.
• දුම්පානය අත්හැරීම එක් දෙයකි. දිගටම දුම්පානයෙන් වැළකී සිටීම තවත් එකකි. එක් දිනක්, එක් සතියක්, මාස තුනක් සහ සදාකාලිකව යනුවෙන් දුම්පානයෙන් තොරව සිටීමේ කාලය සඳහා ඉලක්ක තබාගන්න.
යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න.” (මාර්ක් 12:31) ඔබේ අසල්වාසියාට ප්‍රේම කිරීමට නම්, දුම්පානය නවත්වන්න. ඔබට ප්‍රේම කිරීමට නම්, දුම්පානය නවත්වන්න.—1989 අගෝස්තු 8 පිබිදෙව්! කලාපයේ පිටු 14-18 ඇති “දුම්පානය—ක්‍රිස්තියානි මතය,” යන ලිපියද කියවන්න.