මැට්ට්රියොෂ්ක මොනතරම් කදිම බෝනික්කෙක්ද!
රුසියාවේ පිබිදෙව්! වාර්තාකරු විසිනි
පෙනෙන ආකාරයට, සංචාරක ආගන්තුකයන්ගේ ක්ෂණික බැල්මකට නතු වූ විගසින්ම, ඔවුන්ගෙන් වැඩිදෙනෙකුගේ අභිලාෂය වන්නේ, මා සඳහා ඕනෑම මුදලක් ගෙවා, ඔවුන් සමඟ තම නිවසට ගෙන යෑමටයි. මා මෙතරම් ඔවුන්ගේ සිත්ගත්තේ මන්දැයි මම නොදනිමි. ඇයි කිව්වොත්, ඔවුන් මා ගැන දන්නේ ඉතාමත් ස්වල්පයයි. සමහරවිට මෙය සිරිත් පරිදි කරන දෙයක් විය යුතුය. නමුත් මට මා හඳුන්වා දෙන්ට ඉඩහරින්න. මගේ නම මැට්ට්රියොෂ්ක, මා පැමිණෙන්නේ—නමුත් අපි මුල සිටම පටන්ගනිමු.
ඇත්තම කියනවා නම්, කිසිවෙක් මා පැමිණි තැන හෝ මාගේ නියම මාපියන්ව නොදනී. මේ කතාවට අර්ථ කථන දෙකක් ඇත. සමහරුන් පවසන්නේ, මා ජපානයේ හොන්ෂු දූපතේහි, එකිනෙකට සම්බන්ධ කොටස් කිහිපයක් ඇති අද්විතීය සෙල්ලම් බඩුවක් ලෙස බිහිවන්ට ඇති බවයි. දහනවවන සියවස අවසානයේදී, මා හොන්ෂු සිට රුසියාවට ගෙනෙන ලද්දේ, ධනවත් රුසියානු ව්‍යාපාර අනුග්‍රාහකයෙකු වන සාව අයි. මැමොන්ටොෆ්ගේ (1841-1918) බිරිඳ විසින් බව ඔවුහු පවසති. අනික් අතට, සමහර ජපන් ජාතිකයන්ට අනුව නම්, මා විශිෂ්ට බෝනික්කෙකු ලෙස නිර්මාණය කිරීමේ අදහස ජපානයට පළමුවෙන්ම ගෙනෙන ලද්දේ, රුසියානු පූජකයෙකු විසිනි. නමුත් කාරණය කුමක් වුවත්, රුසියානු කලා ශිල්පීන් මේ අදහසට කැමති වූ නිසා, මැට්ට්රියොෂ්ක උපත ලැබීය.
එක්දහස් අටසිය අසූ ගණන්වල අවසාන භාගයේදී, රුසියාව එහි ආර්ථිකය හා සංස්කෘතිය දියුණු කරමින් සිටියේය. ඒ අතරම රුසියානුවෝ තම ගැමි සම්ප්රදාය රැකගැනීම සඳහා ඉතා විශාල උනන්දුවක් දැක්වූහ. රුසියානු සංස්කෘතිය නැවත ප්‍රාණවත් කිරීමේ අදහසින් ඉලියැ රයේපියින්, වියෙක්ටර් වස්න්යෙට්සෝෆ්, මිචයිල් වෲබියෙල් වැනි ප්‍රසිද්ධ රුසියානු චිත්රකලා ශිල්පීන් ඇතුළත්ව බුද්ධිමතුන්, මැමොන්ටොෆ් වටා එක්රොක් වීමට පටන්ගත්හ. රුසියානු ගැමි ජනතාව පිළිබඳ මතක සටහන් රැකගැනීමට මොස්කව් නුවර අසල කලාගාර ගොඩනඟන ලදි. රටේ සෑම ප්රදේශයකින්ම එකතු කළ ජනප්‍රවාද කලා කෘතීන්, සෙල්ලම් බඩු සහ බෝනික්කන් මෙහි එක්රැස් කර තිබිණ.
සියෙර්ගියේ මැල්යූටින් නම් වෘත්තීය කලාකරුවා, මුල්වරට මා පිළිබඳ කටුසටහන් ඇන්දේය, නමුත් ඒ කාලයේදී මගේ ස්වරූපය ටිකක් වෙනස්ය. මා රවුම් මුහුණක් ඇති, කාන්තිමත් නෙත් සඟලකින් යුත් ගැමි කාන්තාවක් නියෝජනය කිරීමට අදහස් කරන ලදි. මා සැරැෆැනයකින් සැරසී සිටිය අතර (පටි දෙකකින් යුත් බිම දක්වා දික්වූ වස්ත්‍රයක්), මෝස්තරයකින් සකසා තිබුණු මගේ සිනිඳු දිලිසෙන වරලස, වර්ණවත් පට ලේන්සුවකින් සැඟවී තිබිණ. කලින් ඒවාට වඩා ටිකක් කුඩා වූ තවත් රූප, මා ඇතුළත තබන ලදි. ඔවුහු, කසවැරෝට්ක (එක පැත්තකින් කොලරය සවි කර ඇති රුසියානු හැට්ට), කමිස, පෝඩ්යෝෆ්ක (දිග-ඉඟැති පුරුෂයන්ගේ කබායන්) සහ කාවාඩම් පැළඳ සිටියහ. මල්යුටින්ගේ කටුසටහන්වලින් දර්ශනය වූ ආකාරයට, 1891දී පමණ මොස්කව්හි මා නිර්මාණය කළ විට, මගේ ස්වරූපය මෙයාකාරයට විය.
මා නිතරම මගේ නම ගැන කල්පනා කළා. දහනවවන සියවසේ අවසානයේදී, මැට්ට්රියෝන (අල්පාර්ථ ප්‍රත්‍යය මැට්ට්රියොෂ්ක) රුසියාවේ ඉතාමත් ප්‍රසිද්ධ ස්ත්‍රී නම්වලින් එකක් වූ බව මා දැනගත්තා. මට්රෝනා නම් ලතින් මූලයකින් රැගෙන තිබෙන මෙහි අර්ථය, “මව”, “ගෞරවාන්විත ආර්යාව” හෝ “පවුලක මව” වන්නේය. එක රූපයක් තව එකක් ඇතුළතින් බහා තැබීම, සරුභාවය සහ වර්ගයා දිගටම බෝ කිරීමට යෝග්‍ය සංකේතයක් විය.
සෑදීම පහසු නැත
මනුෂ්‍යයන් මා නිර්මාණය කිරීමට උත්සාහ දරද්දී, බොහෝ අමුද්‍රව්‍ය අපතේ යවමින්, අවසානයේදී පරාජය වී අත්හරින බව පෙනෙන කරුණකි. එසේනම් මා නිර්මාණය කිරීම මෑතක් වන තුරු රහසක්ව පැවතීම පුදුමයක් නොවේ. එනිසා මා අයිති කරගැනීමට හැකි වූයේ ස්වල්ප දෙනෙකුට පමණයි. නමුත් මා දැන් ඔබ සමඟ ඒ රහස බෙදාගන්නම්.
මා නිර්මාණය කිරීමේ ක්‍රියාවට විශිෂ්ට කුසලතාවක් අවශ්‍ය කරයි. පළමුව වැදගත් වන්නේ, මේ සඳහා අවශ්‍ය කරන නිසි ලී වර්ගය තෝරාගැනීමයි. ඕල්ඩර් හා බර්ච් නම් ගස් වර්ග බොහෝදුරට අඩුවෙන් තෝරාගන්නා අතර, මෘදුභාවයකින් යුක්ත වූ ලයිම්වුඩ් මේ සඳහා සාමාන්‍යයෙන් තෝරාගනී. වසන්ත කාලයේ මුල් භාගයේදී පමණ කපා දමනු ලබන මෙම ගස්වල පොත්ත වේළෙන අතරතුර කාලයේදී, ඉරි තැලීමෙන් වැළකෙන තරමකට පමණක් ඉතිරි වන සේ ගලවා දමනු ලැබේ. ඉන්පසු මෙම කොට වියළන අතරතුර, සුදුසු වාතාශ්‍රයක් ලැබෙන සේ වසර කිහිපයකට අඩුක්කර තබනු ලැබේ.
මෙම ලීය නියම කාලයේදී කැපීමට සිදුවේ, එනම් වඩා වියළි හෝ තෙත් නොවූ අවස්ථාවකදීය. මෙයට සුදුසුම අවස්ථාව තීරණය කළ හැක්කේ ප්‍රවීණයෙකුට පමණි. සෑම ලී කැබැල්ලක්ම, වෙන්වූ ක්‍රියාවලීන් 15ක් මැදින් යෑමට සිදුවේ. පළමුවෙන් නිර්මාණය කරනු ලබන්නේ, බෝනික්කන් පෙළේ—කොටස් වශයෙන් වෙන් කළ නොහැකි—කුඩාම බෝනික්කාවයි. සමහර අවස්ථාවලදී, මෙම බෝනික්කා කෙතරම් කුඩාද කිවහොත්, එය පැහැදිලිව දැක බලාගැනීමට නම්, ඔබගේ ඇස් වෙහෙසීමට හෝ විශාල කොට දක්වන කණ්ණාඩියක් යොදාගැනීමට සිදුවේ.
ශිල්පියා විසින් කුඩාම බෝනික්කා සෑදීම නිම කළායින් පසුව, ඒ බෝනික්කාව බහාලීමට හැකි ඊළඟ රූපය නිර්මාණය කිරීමට පටන්ගනියි. ලී කැබැල්ලක් අවශ්‍ය උසට සකස් කරගෙන, උඩ සහ යට කොටස් දෙකකට කපාගනු ලැබේ. බෝනික්කාගේ පහළ කොටස පළමුව නිර්මාණය කෙරේ. ඉන්පසු කුඩා බෝනික්කාව පහසුවෙන් බහාලිය හැකි ආකාරයට, දෙවන බෝනික්කාට අයිති කොටස් දෙකෙහිම ඇතුළත තිබෙන ලී අහක් කරනු ලැබේ. විශිෂ්ට කුසලතාවක් ඇති ශිල්පියෙක්, මිනුම් ලබාගැනීමට කරදර නොවන අතර, තමාගේ අද්දැකීම් මත රඳා පවතින බව අමතරව පැවසිය හැක. ඉන්පසු ඔහු මෙම ක්‍රියාවලිය නැවත කරමින්, කලින් බෝනික්කන් දෙදෙනාව බහාලිය හැකි ටිකක් විශාල බෝනික්කෙකු නිර්මාණය කරයි.
එකිනෙක තුළ බහා තිබෙන සේ සකස් කර ඇති බෝනික්කන් සංඛ්‍යාව 2 සිට 60 දක්වා වෙනස් වේ. විශාලම බෝනික්කා එහි නිර්මාතෘ තරම් උස විය හැක! එක් එක් බෝනික්කන් නිම කළ පසු, මතුපිට දකින්ට තිබෙන යම් කුහර වැසීමට කැඳ සහිත මැලියම් වර්ගයක්, ඒවා මත අතුරනු ලැබේ. අන්තිම වියළීමේ ක්‍රියාවලිය ආරම්භ වන අතර, තීන්ත සම ලෙස ආලේප කළ හැකි වන සේ, බෝනික්කාගේ මතුපිට පළමුව මටසිලුටු කරනු ලැබේ. ඉන්පසු බෝනික්කාට ඊට විශේෂිත වූ හැඩරුව ලබා දෙනු ලැබේ.
කාලය වෙනස්වීම් ඇති කර තිබේ
වයසින් මුහුකුරා යන විට මනුෂ්‍යයන් වෙනස් වන අතර, මා ගැනත් එසේම කිව හැක. මැට්ට්රියොෂ්ක-නිර්මාණය කිරීමේ කලාව ක්‍රමක්‍රමයෙන් මොස්කව් සිට, සම්යෝනෆ්, පෝල්චෝෆ්ස්කි මයිඩැන්, වියැට්කා සහ ටවේ ඇතුළත්ව අනික් නුවරවලට සහ අගනගරවලට පැතිරී ගියේය.a එක් එක් ප්‍රදේශය ඊට ආවේනික වූ මෝස්තර සහ සැරසිලි ක්‍රම නිපදවා ගති. මගේ සැබෑ අනන්‍යතාව නැති වී ගියත්, මා එය ගැන පැමිණිලි කරන්නේ නැත. වර්ෂ 1812 යුද්ධයේ ශත සංවත්සර උත්සවයේදී, රුසියානු ජනරාල් මිචයිල් කූටූසෆ් සහ ප්‍රංශ ජනරාල් නැපෝලියන් බොනපාට්ව පිළිබිඹු කරන බෝනික්කන් කට්ටලයක් නිර්මාණය කරන මෙන් යමෙක් නියෝග කළේය. මෙම ජනරාල්වරුන් දෙදෙනා, විශාලම බෝනික්කන් වූ අතර, යුද්ධයට සම්බන්ධ වූ විරුද්ධ පැතිවල සිටි අනික් ජනරාල්වරුන් තම තමන්ට අයිති අණ දෙන නිලධාරීන් තුළ බහාලීමට හැකි වන පරිද්දෙන් කුඩාවට සාදන ලදි.
බොහෝ කාලයකට මෙයාකාර බෝනික්කන් නිර්මාණය කිරීම සහ විකිණීම තදින්ම සීමා කරන ලදි. නමුත් 1980හි අවසාන භාගයේදී ඇති වූ දේශපාලන වෙනස්වීම්, ශිල්පීන්ට අලුත් අවස්ථාවන් සහ නිදහස ලබා දුන්නේය. දැන් ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදන නොබියව නිර්මාණය කර විකිණීමට හැකි විය.
ජනතාව අතරේ තම බෝනික්කන් ප්‍රසිද්ධ වූ පළමු සිත්කරු වූයේ සීකෝර්ස්කියි. ඔහුගේ බෝනික්කන්ට ඉහලම මිලක් ගෙවීම අවශ්‍ය වන අතර, තනි කට්ටලයකට ඩොලර් 3,000ක් තරම් වැයවේ. ඔහුගේ සාර්ථකත්වය අනිත් කලා ශිල්පීන්ව උනන්දු කළ අතර, පසු වූ අවුරුදු හය තුළදී, මැට්ට්රියොෂ්ක-නිර්මාණයට ශක්තිමත් අනුබලයක් ලැබී තිබේ.
එකිනෙකට සවිවන සේ එකිනෙක තුළ බහාලන පරිද්දෙන් නිර්මාණය කර තිබෙන සෑම බෝනික්කෙකුටම, දැන් මැට්ට්රියොෂ්ක නම් මාගේ නාමය උපයෝගි කෙරේ. මල්, පල්ලි, පිළිම, ජන කතා, පවුල්, ආගමික සහ දේශපාලන නායකයන් වැනි විවිධ තේමාවන්, බෝනික්කන් සේ දක්වා තිබේ. දැනට ලබාගත හැකි විශාල විවිධත්වය, සාධාරණ මිලකට මාව ලබාගැනීමට හැකි කරවයි.
එක්දහස් නවසිය අනූතුන මොස්කව්හි, ග්‍රීෂ්ම ඍතු කාලයේදී, සාප්පු ප්‍රදර්ශන කුටියක වෙනදා මෙන් සිටගෙන සිටි මා හට, ඉදිරියට පැමිණෙන විදේශීය සංචාරකයන් කණ්ඩායමකගේ හඬක්, හදිසියෙන්ම වාගේ ඇසිණ. ඔවුන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවකට පැමිණෙන බව පවසනවා මට ඇසුණු අතර, මෙම මනරම් චිත්තාකර්ෂණීය සිද්ධිය මනසේ සනිටුහන් කරගැනීමට, මාව තමන්ගේ නිවසට රැගෙන යෑමට එක් එක්කෙනාට අවශ්‍ය විය. මෙයට හේතුව කල්පනා කරමින් මම ඔවුන් දෙස මවිතයෙන් බලා සිටියෙමි. පිළිතුරු දීමට මෙන් ඔවුන්ගෙන් කෙනෙක් පැවසුවේ: “ඇය සිහිවටනයකට වඩා දෙයකි. ඇයගේ ඇස්, මගේ මිතුරන් දකිනවාට මා කැමතියි. දේවරාජ්‍යය සහ දෙවියන්වහන්සේගේ නාමය පිළිබඳ මා කතා කළ රුසියානුවන්ගේ මුහුණේ දකින ඉරියව්ම, මා එම බෝනික්කාගේ ඇස්වලින් දකිනවා” කියාය.
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ? රාජ්‍යය? දෙවියන්වහන්සේගේ නම? බයිබලය? මේ සෑම දෙයකටම සවන් දෙමින් සිටි මා ඊටත් වඩා විස්මයට පත්වූ අතර, මෙවැනි ප්‍රසන්න මනුෂ්‍යයන් සමඟ දුර ඈත පළාත්වලට යෑමේ බලාපොරොත්තුවෙන් මගේ හද ඉපිල ගියේය. සමහරවිට මේ අයව රුසියාවට ගෙන ආ මූලික හේතුව කුමක්දැයි දැනගැනීමට මට හැකි වනු ඇත. සැබවින්ම ඔවුන් පැමිණියේ, මැට්ට්රියොෂ්ක නම් බෝනික්කෙකු වන මා හමුවීමට වඩා වැදගත් කාරණයකට බව මට සහතිකය. g95 4/22
[පාදසටහන්වල]
a එක්දහස් නවසිය තිස් ගණන්වලදී, වියැට්කා, කිරොව් හැටියටද, ටවේ, කාලිනින් හැටියටද ප්‍රසිද්ධ විය. සෝවියට් දේශයේ බිඳවැටීමෙන් පසුව, මුල් නාම නැවත තබන ලදි.