ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
මිහිතලයට සහ අපේ සහෝදර සහෝදරියන්ට ප්‍රයෝජනවත් වෙන හරිත සංකල්පය
2025 අප්‍රියෙල් 1
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විදිහට අපි දන්නවා මිනිස්සු කරන දේවල් නිසා මේ පෘථිවියට වෙලා තියෙන හානිය හරිගස්සන්න යෙහෝවා දෙවියන් ළඟදීම පියවර ගන්නවා කියලා. (එළිදරව් 11:18) එතකල් මිහිතලය රැකගන්න අපිට කරන්න පුළුවන් හැම දේම අපි කරනවා. උදාහරණෙකට අපි අපේ ගොඩනැඟිලි හදද්දී හරිත සංකල්පය ප්‍රයෝජනයට අරන් තියෙනවා.
හරිත සංකල්පය කියන්නේ පරිසරයට වෙන හානිය පුළුවන් තරම් අඩු කරලා කරන ව්‍යාපෘතිවලට. ඒත් හරිත සංකල්පය යටතේ අපි කරපු ව්‍යාපෘති මොනවාද? අපේ සම්මාදම් හොඳම විදිහට පාවිච්චි කරන්න ඒවා උදව් වෙලා තියෙන්නේ කොහොමද?
සිසිලසින් පිරුණු සමුළු ශාලාවක්!
මොසැම්බික්වල මතෝලා සමුළු ශාලාව හදලා තියෙන්නේ බිත්ති නැති, විවෘත ශාලාවක් විදිහට. ලෝහ තහඩුවලින් තමයි ඒකේ වහල හදලා තිබ්බේ. ඉතින් ඉර පායද්දී ඒ රස්නෙට වහලේ හොඳටම රත් වෙනවා. ඒ නිසා ශාලාවේ ඇතුළේ ඉන්න හරිම අමාරුයි. ඒ ගැන සහෝදරයෙක් මෙහෙම කිව්වා. “ඒ රස්නෙට දාඩියෙන් තෙත් වෙනවා. සහෝදරයෝ වැඩසටහන ඉවර වෙන කල් බලන් ඉන්නේ ශාලාවෙන් එළියට දුවන්න. එහෙම ගිහිං එයාලා හුළං පොදක් වැදෙන්න එළියට වෙලා ඉන්නවා.” ඉතින් සහෝදරයන්ට පහසුවෙන් ඉගෙනගන්න පුළුවන් වාතාවරණයක් ඇති කරන්න මොනවාද කළේ?
පරිසරයට හානියක් වෙන්නේ නැති විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න අපි තීරණේ කළා. ඒකට අපි සුළං බලයෙන් ක්‍රියාත්මක වෙන ෆෑන් සහ රස්නේ අඩු කරන තාප පරිවාරක වහලෙට දැම්මා. මේ තාප පරිවාරක නිසා ගොඩනැඟිල්ල රත් වෙන එක අඩු වෙනවා. ඒ වගේම ෆෑන් නිසා නැවුම් සුළං ගොඩනැඟිල්ල ඇතුළට ගලාගෙන එනවා. ඒ ෆෑන් වැඩ කරන්න විදුලි බලය ඕන වුණේ නැහැ. මොකද ඒවා ක්‍රියාත්මක වුණේ සුළඟින්. ඒ ෆෑන් උදව් වුණා ගොඩනැඟිල්ල ඇතුළේ තියෙන රත් වුණ වාතය අයින් කරන්න. ඒ එක ෆෑන් එකක් ඩොලර් 50ක් විතර වුණා.a
මතෝලා සමුළු ශාලාවේ සුළංවලින් වැඩ කරන ෆෑන්
මේ වෙනස නිසා සහෝදරයන්ට හුස්ම ගන්න පිරිසිදු වාතය තියෙනවා. ඒක එයාලාගේ සෞඛ්‍යයටත් හොඳයි. නිතරම වාතය ගලාගෙන යන නිසා ශාලාව ඇතුළේ තෙතමනය රැඳෙන්නෙවත් පුස් බැඳෙන්නෙවත් නැහැ. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් එකතු වෙන්නෙත් නැහැ, ඔක්සිජන් ලේසියෙන් ගලාගෙන එනවා. ඒ නිසා සමුළුවට එන අයට වෙනදාට වඩා පහසුවක් දැනෙනවා. එයාලට හොඳ අවධානයක් දෙන්නත් පුළුවන්. කලින් කතා කරපු සහෝදරයා ඒ ගැන මෙහෙම කියනවා. “දැන් කලින් වගේ එළියට දුවගෙන යන්න බලාගෙන ඉන්න ඕනෙ නෑ. අපි දැන් කෑම වෙලාවෙත් ශාලාව ඇතුළේ ඉඳන් යාළුවොත් එක්ක කතා කරකර ඉන්නවා. මේ අලුත් වහලේ යට ඉද්දී දැනෙන්නේ නිකං සිසිල දෙන ලොකු ගහක් යට ඉන්නවා වගේ.”
දැන් අපේ සහෝදරයෝ සමුළුවලට හවුල් වෙන්නේ කලින්ටත් වඩා සතුටින්
නිමක් නැති බලශක්තියකින් ප්‍රයෝජන
අපි නමස්කාර වැඩවලට පාවිච්චි කරන හුඟක් ගොඩනැඟිලිවල සෝලා පැනල් හයි කරලා තියෙනවා. සෝලා පැනල්වලින් කරන්නේ හිරු එළියෙන් විද්‍යුත් බලය නිපදවන එකයි. හිරු එළිය කියන්නේ නිමක් නැති බලශක්තියක්. ඒක නිසා විද්‍යුත් බලය ලබාගන්න අපිට ගෑස්, ගල් අඟුරු, තෙල් වගේ දේවල් මත රැඳිලා ඉන්න ඕන නැහැ. ඒක අපිට උදව් වෙලා තියෙනවා පරිසර දූෂණය අවම කරගන්න වගේම අපිට ලැබෙන සම්මාදම් ඉතුරු කරගන්න.
2023දී ස්ලෝවේනියාවේ ශාඛා කාර්යාලයෙත් සෝලා පැනල් හයි කළා. ශාඛා කාර්යාලයේ ගොඩනැඟිලිවලට ඕන කරන බලශක්තියෙන් 30%ක්ම ඒවාවලින් ලබාගන්න පුළුවන්. මේ පැනල්වලින් අවශ්‍ය බලශක්තියටත් වඩා ප්‍රමාණයක් නිෂ්පාදනය වුණොත් ඒක ඒ ප්‍රදේශයේ ඉන්න අනිත් අයට පාවිච්චි කරන්න පුළුවන්. මේ පද්ධතිය සවි කරන්න ඩොලර් 3,60,000ක් ගියා. හැබැයි දැන් ශාඛා කාර්යාලයේ විදුලි බිල ගොඩක් අඩු නිසා ඒ ගාණ අවුරුදු හතරකින් විතර පියවගන්න පුළුවන්.
ස්ලෝවේනියාවේ ශාඛා කාර්යාලය
2024දී සෝලා පැනල් සහ විශාල බැටරියක් ශ්‍රී ලංකාවේ ශාඛා කාර්යාලයෙත් සවි කළා. ඒකට ඩොලර් මිලියන 3ක් විතර ගියා. ඒකෙන් ශාඛා කාර්යාලයට ඕන කරන විදුලියෙන් 70%ක් ලබාගන්න පුළුවන්. ගණන් බලලා තියෙන විදිහට සෝලා පැනල්වලට වැය වුණ මුදල අවුරුදු තුනකින් පියවගන්න පුළුවන්. ඒ අවුරුද්දේම නෙදර්ලන්තයේ ශාඛා කාර්යාලයෙත් සෝලා පැනල් සවි කළා. ඒකට ගිය මුදල ඩොලර් මිලියන 1.1ක්. ඒකෙන් ශාඛා කාර්යාලයට ඕන කරන බලශක්තියෙන් 35%ක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා වැය වුණ මුදල අවුරුදු නමයකින් පියවගන්න පුළුවන්කම තියෙනවා.
නෙදර්ලන්තයේ ශාඛා කාර්යාලය
අපි මෙක්සිකෝවේ එක එක තැන්වල තියෙන ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලවලත් සෝලා පැනල් සවි කළා. එක උදාහරණයක් තමයි චිවාවාවල තියෙන තරහුමාරා (මධ්‍යම) ප්‍රාදේශීය පරිවර්තන කාර්යාලය (RTO). සීත කාලෙට එහේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0 (32°F) වෙන කල්ම බහිනවා. රස්නේ කාලෙට උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ටත් (104°Fටත්) වඩා යනවා. හැබැයි විදුලි බිලට යන ගාණ ගොඩක් වැඩි නිසා සහෝදරයෝ හීටර්, AC පාවිච්චි කරන්නේ නැහැ. ඒ RTO එකේ වැඩ කරන සහෝදර ජොනතාන් මෙහෙම කියනවා. “සීත කාලෙට අපි බ්ලැන්කට්, ඝනකම් ඇඳුම් දාගන්නවා. රස්නේ කාලෙට ජනෙල් දොරවල් ඇරගෙන ඉන්නවා.”
2024දී ඒ RTO එකේ සෝලා පැනල් සවි කළා. ඒකට ඩොලර් 21,480ක් ගියා. හැබැයි අවුරුදු පහකින් ඒ මුදල පියවගන්න අපිට පුළුවන්. දැන් අපේ සහෝදරයන්ට හීටර්, AC වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන්. යොනතාන් මෙහෙම කියනවා. “දැන් වෙනදාට වඩා සතුටින් අපිට අපේ පැවරුම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම සංවිධානයට ලැබෙන මුදල් කිසිම නාස්තියක් නැතිව පාවිච්චි කරනවා කියලා දැනං ඉන්න එක ලොකු සතුටක්. ඒකෙන් පරිසරයට හානියක් වෙන්නෙත් නෑ.”
තරහුමාරා (මධ්‍යම) පරිවර්තන කණ්ඩායමට දැන් එයාලාගේ පැවරුම කරන්න හරිම ලේසියි
වැහි වතුර පාවිච්චිය
අප්‍රිකාවේ සමහර නමස්කාර මධ්‍යස්ථානවල ඇති තරම් වතුර නැහැ. ඒ නිසා සහෝදරයන්ට සිද්ධ වෙනවා නමස්කාර මධ්‍යස්ථානයේ ඉඳන් කිලෝමීටර් ගාණක් ඈතට ගිහිල්ලා වතුර ගේන්න. තවත් නමස්කාර මධ්‍යස්ථානවල සහෝදරයෝ ට්‍රක්වලින් බෙදාහරින වතුර සල්ලිවලට ගන්නවා. හැබැයි ඒකට සෑහෙන වියදමක් යනවා. අනික ඒක පරිසරයට හිතකාමීත් නැහැ.
සහෝදරයන්ට වතුර ලේසියෙන්ම ලබාගන්න අප්‍රිකාවේ නමස්කාර මධ්‍යස්ථානවල වැහි පීලි සහ විශාල වතුර ටැංකි සවි කරලා තියෙනවා. ඒවා සවි කරන්න කලින් සහෝදරයෝ ඒ පැතිවල දේශගුණික තත්වය ගැන හොඳට අධ්‍යයනය කරනවා. ඒ නිසා එයාලට පුළුවන් වෙලා තියෙනවා වැහි වතුර වැඩි ප්‍රමාණයක් රැස් කරගන්න පුළුවන් විදිහේ පද්ධති නිර්මාණය කරන්න. සාමාන්‍යයෙන් ඒ වගේ පද්ධතියකට ඩොලර් 600ත් 3,000ත් අතර වියදමක් දරන්න වෙනවා. හැබැයි සහෝදරයෝ වතුරවලට වියදම් කරන්න ඕනෙ නැති නිසා නමස්කාර මධ්‍යස්ථානයක් නඩත්තු කරන්න වැය වෙන මුදල දැන් සෑහෙන්න අඩු වෙලා තියෙනවා.
දකුණු අප්‍රිකාවේ නමස්කාර මධ්‍යස්ථානයක වතුර ටැංකියක්
වැහි වතුර රැස් කරන මේ පද්ධතියෙන් සහෝදරයෝ ගොඩක් ප්‍රයෝජන ගන්නවා. මොසැම්බික්වල ඉන්න සහෝදරි නොඑමියා මෙහෙම කියනවා. “කලින් වතුර ගන්න අපිට සෑහෙන දුර ඇවිදින්න වුණා. වතුර අරන් නමස්කාර මධ්‍යස්ථානයට එද්දී හොඳ පණ ගිහින්. අනික ඇති තරම් වතුර තිබ්බේ නැති නිසා අපිට පිරිසිදුව ඉන්නත් අමාරු වුණා. හැබැයි දැන් හැමෝටම අත් හෝදගන්න වතුර තියෙනවා. අපි රැස්වීමට යන්නෙත් හෙම්බත් වෙලා නෙමෙයි. අපි රැස්වීම්වලින් හොඳට ප්‍රයෝජන ගන්නවා. මේ අලුත් වෙනසට ඔයාලට ගොඩක් ස්තුතියි.”
දකුණු අප්‍රිකාවේ සහෝදරියකුයි, එයාගේ පුතායි රැස් කරපු වැහි වතුර පාවිච්චි කරනවා
මේ ව්‍යාපෘති කරන්න අපිට පුළුවන් වුණේ කොහොමද? ඒ ලෝක ව්‍යාප්ත සේවය වෙනුවෙන් ඔයාලා කරන සම්මාදම් නිසයි. ඒ සම්මාදම් වැඩි හරියක් අපිට ලැබෙන්නේ donate.jw.org එකේ තියෙන එක එක ක්‍රම හරහා. ඔයාලා සතුටු සිතින් දෙන සම්මාදම්වලට ගොඩක් ස්තුතියි.
a මේ ලිපියේ ඩොලර් කියලා කියන්නේ ඇමරිකානු ඩොලර්වලටයි.