ඔයා දෙන සම්මාදම් පාවිච්චි කරන විදි
උදාර උපදේශකයාණන්ව ගෞරවයට පත් කරන ගොඩනැඟිලි
2023 ජූලි 1
යෙහෝවා දෙවියන් ඔහුගේ සෙනඟට උගන්නන්න හරිම ආසයි. ඒ නිසයි සංවිධානයෙන් ගොඩක් පාසැල් පටන් අරන් තියෙන්නේ. ඒ පාසැල්වලින් ලැබෙන පුහුණුව ශිෂ්‍යයන්ට උදව් වෙනවා එයාලාගේ පැවරුම් සාර්ථකව ඉටු කරන්න. ඒ වගේ එක පාසැලක් තමයි ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල (SKE). මෑත අවුරුදුවලදී සංවිධානය පාසැල්වල උගන්නන තොරතුරුවලට විතරක් නෙවෙයි පාසැල් පවත්වන ගොඩනැඟිලිවලටත් විශේෂ අවධානයක් දීලා තියෙනවා. එහෙම කරන්න ප්‍රධානම හේතුව තමයි ශිෂ්‍යයන්ට හොඳින් ඉගෙනගන්න සහ උපදේශකවරුන්ට හොඳින් උගන්නන්න හොඳ වාතාවරණයක් ඇති කරන එක. ඒත් ඒකට ඔයා දෙන සම්මාදම් උදව් වෙන්නේ කොහොමද?
වැඩි පිරිසක් වෙනුවෙන් වැඩි පහසුකම්
අවුරුදු ගාණක් තිස්සේ සංවිධානයේ පාසැල් පැවැත්තුවේ නමස්කාර මධ්‍යස්ථානවල සහ සමුළු ශාලාවල. එහෙමනම් ඇයි මෑතක ඉඳලා පාසැල් පවත්වන එක වෙනුවෙන්ම අලුත් ගොඩනැඟිලි හදන්නේ සහ තියෙන ගොඩනැඟිලි අලුත්වැඩියා කරන්නේ? ඒකට හේතු තුනක් අපි බලමු.
වැඩි අවශ්‍යතාවක්. පාලක මණ්ඩලයේ සේවා කමිටුවට උපකාර කරන සහෝදර ක්‍රිස්ටෆ මේව මෙහෙම කියනවා. “හුඟක් ශාඛා කාර්යාලවලින් අපිට දැනුම් දීලා තියෙනවා එයාලාගේ රටවල්වලට තව හුඟක් සහෝදර සහෝදරියන්ගේ උදව් ඕනෙ කියලා. උදාහරණයකට 2019දී බ්‍රසීල ශාඛා කාර්යාලයෙන් දැනුම් දුන්නා එයාලාගේ රටේ සේවය කරන්න SKE පුහුණුව ලබපු තව 7,600ක්වත් ඕනෙ කියලා.” එක්සත් ජනපද ශාඛා කාර්යාලයත් කියනවා විශේෂ පොදු සේවය කරන්න, වරායන්වල සහ සිරගෙවල්වල සාක්ෂි දරන්න සහෝදරයන්ට හොඳ පුහුණුවක් ඕනෙ කියලා. ඒ පුහුණුව ලබා දෙන්න අද්දැකීම් තියෙන පුරෝගාමීන්ගේ ලොකු අවශ්‍යතාවක් තියෙනවා. ඒකට විතරක් නෙවෙයි ප්‍රාදේශීය නිර්මාණ/ඉදි කිරීම් අංශයට, රෝහල් සබඳතා කමිටුවලට තව හුඟක් සහෝදරයන්ගේ උදව් ඕනේ. මේ අවශ්‍යතා පිරිමහගන්න SKE පුහුණුව ලබපු අයගේ උදව් ලැබෙනවා නම් ඒක හුඟක් වටිනවා.
වැඩි අයදුම්පත් ප්‍රමාණයක්. හුඟක් ශාඛා කාර්යාලවලට හිතාගන්නවත් බැරි තරම් අයදුම්පත් ප්‍රමාණයක් ලැබෙනවා. උදාහරණයකට බ්‍රසීලයේ SKE පාසැලට එක අවුරුද්දකදී 2,500දෙනෙක් අයදුම් කරලා තිබුණා. ඒත් ඒ පාසැල් පවත්වන්න අවශ්‍ය තරම් ගොඩනැඟිලි පහසුකම් නැති නිසා එයාලට ආරාධනා කරන්න පුළුවන් වුණේ ශිෂ්‍යයන් 950දෙනෙක්ට විතරයි.
සුදුසු නවාතැනක්. සාමාන්‍යයෙන් නමස්කාර මධ්‍යස්ථානයක හරි සමුළු ශාලාවක හරි පාසැල් පවත්වද්දී ඒ අවට ඉන්න සහෝදර සහෝදරියන් තමයි ශිෂ්‍යයන්ට නවාතැන් දෙන්නේ. අවුරුද්දක් ඇතුළත පාසැල් දෙක තුනක් පවත්වන රටවල්වලට නම් ඒ ක්රමයේ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි එක දිගට පාසැල් ගොඩක් පවත්වද්දී එන හැමෝටම නවාතැන් දෙන්න අපේ සහෝදර සහෝදරියන්ට ලේසි නැහැ. අන්න ඒ නිසයි පාසැල පවත්වන තැනට කිට්ටුවෙන් තියෙන සහ ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාවලට හොඳටම ගැළපෙන නවාතැන් පහසුකම් සපයන්න අවශ්‍ය වෙන්නේ.
සාමාන්‍යයෙන් ගොඩනැඟිලි සංකීර්ණයක් හදන්න ඇමරිකානු ඩොලර් මිලියන කීපයක්ම වියදම් වෙනවා. ඒ සංකීර්ණයට පන්ති කාමරයක් තියෙන්න ඕනේ. ශිෂ්‍යයන් 30දෙනෙක්ටයි, උපදේශකවරුන්ටයි නවාතැන් පහසුකම් තියෙන්න ඕනේ. එයාලට අවශ්‍ය කරන අනිත් පහසුකමුත් තියෙන්න ඕනේ. ඒත් ඒක හදන තැන සහ තවත් හේතු නිසා ඒ ගාණ වෙනස් වෙන්න පුළුවන්.
ගොඩනැඟිලි සංකීර්ණයට ඇතුළත් දේවල්
සාමාන්‍යයෙන් මේ වගේ ගොඩනැඟිල්ලක් හදන්නේ නගරබද පැත්තකට කිට්ටුවෙන් තියෙන නිස්කලංක පරිසරයක. ඒ වගේම ඒ පැත්තට හොඳට පොදු ප්‍රවාහන පහසුකම් තියෙනවාද කියලා බලන්නත් ඕනේ. ඒ වගේ සංකීර්ණයක් හදද්දී විශේෂයෙන්ම අවධානය දෙන තව දෙයක් තමයි පාසැලට උදව් කරන්න, ඒ ගොඩනැඟිලි නඩත්තු කරන්න ඇති තරම් ප්‍රචාරකයන් ඒ අවට ඉන්නවාද කියන එක.
සාමාන්‍යයෙන් ඒ වගේ ගොඩනැඟිල්ලක පුස්තකාලයක්, ශිෂ්‍යයන්ට පාඩම් කරන්න වෙනම තැනක් සහ කොම්පියුටර්, ප්‍රින්ටර් ඇතුළු තවත් උපකරණ තියෙනවා. ඒ වගේම හුඟක් වෙලාවට උපදේශකවරුන්ට සහ ශිෂ්‍යයන්ට එකට වාඩි වෙලා කෑම කන්න වෙනම තැනක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි එයාලට ව්‍යායාම් කරන්න, ටිකක් විනෝද වෙන්න ඇති තරම් ඉඩකඩත් තියෙනවා.
මේ වගේ ගොඩනැඟිල්ලක් හදද්දී පන්ති කාමරය හදන විදිහට විශේෂ අවධානයක් දෙනවා. ඒ ගැන ලෝක මූලස්ථානයේ නිර්මාණ/ඉදි කිරීම් අංශයේ සේවේ කරන සහෝදර ට්‍රෝයි කියන දේ බලන්න. “ශිෂ්‍යයන්ට ඉගෙනගන්න හොඳ වටපිටාවක් ඇතුව පන්ති කාමරය හදන්නේ කොහොමද කියලා අපි සේවා පාසැල් අංශයේ සහෝදරයන් එක්ක කතා කළා. එයාලා පන්ති කාමරයක ප්‍රමාණය ගැන, ඒක ඇතුළේ තියෙන්න ඕන ආලෝකය ගැන වගේම ඒකට අවශ්‍ය කරන ඕඩියෝ වීඩියෝ උපකරණ ගැන අපිට පැහැදිලි මඟ පෙන්වීම් දුන්නා.” අලුතෙන් හයි කරපු ඕඩියෝ උපකරණ ගැන හංගේරියාවේ SKE උපදේශකවරයෙක් වන සෝල්ටාන් මෙහෙම කියනවා. “මුලදී අපිට මයික් තිබුණේ නෑ. ඒ නිසා අපි හැම තිස්සේම වගේ ශිෂ්‍යයන්ට කියන්නේ හොඳට කට ඇරලා සද්දෙන් කතා කරන්න කියලා. හැබැයි දැන් ඒ ප්‍රශ්නේ නෑ. මොකද හැම මේසෙම මයික් හයි කරලා තියෙනවානේ.”
“යෙහෝවාගේ විශේෂ ආරාධිත අමුත්තෝ”
මේ අලුත් පහසුකම්වලින් අපේ උපදේශකවරු සහ ශිෂ්‍යයන් ප්‍රයෝජන ලබලා තියෙන්නේ කොහොමද? ඒ ගැන ෆ්ලොරිඩා පාම් කෝස්ට්වල තිබුණ SKE පාසැලකට සහභාගි වුණ සහෝදරි ඇන්ජලා කියන දේ බලන්න. “ඒක හරිම නිස්කලංක තැනක්. හැම දෙයක්ම හොඳට ප්ලෑන් කරලයි හදලා තියෙන්නේ. අපේ පන්ති කාමරයි, නිදන කාමරයි හරි පිළිවෙළයි. ඒ නිසා ඉගෙනගන්න දේවල්වලට හොඳට අවධානය දෙන්න අපිට පුළුවන් වුණා.” ශිෂ්‍යයන් එක්ක එකට වාඩි වෙලා කෑම කන්න ලැබුණ අවස්ථාව හංගේරියාවේ උපදේශකවරයෙක් වන සහෝදර චබා ගොඩක් අගය කළා. එයා මෙහෙම කියනවා. “ඒ වගේ වෙලාවට ශිෂ්‍යයන් එයාලාගේ අද්දැකීම් අපිට කියනවා. ඒකෙන් එයාලව හොඳට අඳුරගන්න අපිට පුළුවන්. ඒක අපිට උදව් වෙනවා පාසැලේ උගන්නන තොරතුරු එයාලට ගැළපෙනම විදිහට කියලා දෙන්න.”
අපේ ශිෂ්‍යයන් වගේම උපදේශකවරුත් මේ අලුත් ගොඩනැඟිලි සංකීර්ණ දකින්නේ අපේ “උදාර උපදේශකයාණන්” වන යෙහෝවා දෙවියන්ගෙන් ලැබුණ ආශීර්වාදයක් විදිහට. (යෙසායා 30:20, 21) පිලිපීනයේ SKE පාසැලට සහභාගි වුණ එක සහෝදරියක් මෙහෙම කිව්වා. “ඒ ගොඩනැඟිල්ලට ඇතුල් වුණාම තේරෙනවා අපි නිකම්ම නිකං ශිෂ්‍යයෝ විතරක් නෙවෙයි, යෙහෝවාගේ විශේෂ ආරාධිත අමුත්තෝ කියලා. යෙහෝවාට ඕනෙ අපි ඔහුගේ වචනය පුළුවන් තරම් ගැඹුරට අධ්‍යයනය කරලා සතුටක් ලබනවා දකින්න.”
මේ වගේ පාසැල් ගොඩනැඟිලි අලුතෙන් හදන්න, අලුත්වැඩියා කරන්න වගේම ඒවා දිගටම නඩත්තු කරන්න අපිට පුළුවන් වෙලා තියෙන්නේ ඔයාලා දෙන සම්මාදම් නිසයි. ඒ සම්මාදම්වලින් වැඩි හරියක්ම ලැබෙන්නේ donate.jw.org හරහා. කිසිම ලෝභකමක් නැතුව ඔයාලා දෙන සම්මාදම්වලට බොහොම ස්තුතියි!