කාල් රයිට්ස් | ජීවිත කතාව
යෙහෝවාට කරන්න බැරි දෙයක් නැහැ
අපේ තාත්තා තරුණ කාලේදී අපේ සීයාට නියම කතාවක් කියලා තිබ්බා. අපේ තාත්තාගේ නම ක්ලැරන්ස්. එයා සීයාට මෙහෙම කිව්වා. “ඉස්කෝලේදී නං මං ඉගෙනගත්තේ එකේ ඒවා තුනක් එකතු කළාම තුනයි කියලා. හැබැයි පල්ලියේ ත්‍රිත්වය ගැන උගන්නද්දී එයාලා කියන්නේ එකේ ඒවා තුනක් එකයි කියලා. එක්කෝ ඉස්කොලේ මට බොරු උගන්නනවා, නැත්නම් පල්ලියේ බොරු උගන්නනවා. මං ඔය දෙකෙන් එකක් නවත්තනවා.” ඉතිං මගේ සීයා පූජකයෝ කීපදෙනෙක්ටම කිව්වා මගේ තාත්තාට ත්‍රිත්වය ගැන පැහැදිලි කරන්න කියලා. එයාලා ත්‍රිකෝණයි, රවුමුයි ඇඳලා ඕක විස්තර කරන්න හැදුවාට එයාලට බයිබලෙන් නං කිසිම දෙයක් පෙන්නගන්න බැරි වුණා. පහුවදාම මගේ තාත්තා සීයාට කියලා තියෙනවා එයාගේ නම පල්ලියෙන් අයින් කරන්න කියලා. මුලදී නං සීයා ඒකට කැමති වුණේ නෑ. හැබැයි පස්සේ එයා ඒකට ඉඩ දුන්නා.
වැඩි දවසක් යන්න කලින් කෙනෙක් බයිබලේ ගැන කතා කරන්න අපේ තාත්තලාගේ ගෙදරට ඇවිල්ලා තිබුණා. තාත්තා එයාගෙන් කෙළින්ම ඇහුවා ‘ඔයාට පුළුවන්ද මට තේරෙන විදිහට ත්‍රිත්වය විස්තර කරන්න’ කියලා. එයා කිව්වා ‘ඒක නං මට කරන්න බෑ’ කියලා. එතකොට තාත්තා කිව්වා ‘මං හිතුවා ඔයාත් ඕක කියයි’ කියලා. එදා ඇවිත් තිබුණේ බයිබල් ශිෂ්‍යයෙක්. ඉස්සර සාක්ෂිකරුවන්ව හැඳින්නුවේ එහෙම. ඒ කෙනා කිව්වා ‘පොඩ්ඩක් ඉන්න. මං ත්‍රිත්වය විස්තර කරන්න බෑ කිව්වේ ඒක බයිබලේ නැති නිසයි’ කියලා. ඉතින් කොහොමහරි ඒ කෙනා එක්ක ඔය ගැන එළි වෙන කල්ම සාකච්ඡා කරන්න අපේ සීයා තාත්තාට ඉඩ දීලා තිබ්බා. සාකච්ඡාව කොච්චර දිගට ගියාද කියනවා නං පහුවදා තාත්තා වැඩට ගිහින් තිබුණේ නිදාගන්නෙවත් නැතුව.
මට වයස 12දී
ඒ ආපු කෙනා දීපු පොත් ටික කියෙව්වාට පස්සේ අපේ තාත්තාට තේරුණා එයාට සත්‍යය හම්බ වුණා කියලා. කොහොමහරි පස්සේ කාලෙක අපේ තාත්තා කසාද බැන්දා. ඊටපස්සේ එයායි, අපේ අම්මා කැත්රිනුයි බව්තීස්ම වුණා. යෙහෝවාට ආදරේ කරන්නේ කොහොමද කියලා මං ඉගෙනගත්තේ ඒ දෙන්නාගෙන්. මං 1945දී බව්තීස්ම වුණා. එතකොට මට අවුරුදු නමයක්වත් නෑ.
දෙමාපියන් දීපු උපදෙස්
තාත්තා දවසක් මට මෙහෙම කිව්වා. “පුතේ, සංවිධානෙන් ඔයාට මොකක් හරි පැවරුමක් දෙද්දී කවදාවත් කියන්න එපා ‘ඒක කරන්නේ කොහොමද කියලා මං දන්නේ නෑ’ කියලා. ඒ වෙනුවට කියන්න ‘මං ආසයි ඉගෙනගන්න, මං මගේ උපරිමේ කරන්නං’ කියලා. යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට උදව් කරයි. මොකද ඔහුට කරන්න බැරි දෙයක් නෑ.” (ගණන් කතාව 11:23) අපේ අම්මලා හැම තිස්සේම මුල් තැන දුන්නේ සේවේට. ඒ නිසාම අපි ඔක්ලහෝමාවලට ගියා. මොකද එහේ ප්‍රචාරකයන් හරිම ටිකදෙනයි හිටියේ. ඒ දෙන්නාගේ ආදර්ශේ තමයි මට උදව් වුණේ පූර්ණකාලීන සේවේ පටන්ගන්න. ඉතින් 1956දී මං ස්ථාවර පුරෝගාමි සේවේට අඩිය තිබ්බා.
1960 ගණන්වලදී මගේ අම්මායි, තාත්තායි
බඳින්න කෙනෙක්ව හොයද්දීත් අම්මලා කිව්ව දේවල් මට සෑහෙන උදව් වුණා. එයාලා හැම තිස්සේම කිව්වේ යෙහෝවාට සේවේ කරන කෙනෙක්ව හොයාගන්න කියලා. සැරයක් තාත්තා මට මෙහෙම කිව්වා. ‘ඔයා යාළු වෙන්න කෙනෙක්ව හොයද්දී ඉස්සෙල්ලාම එයාව අම්මාට හඳුන්වලා දෙන්න. අම්මා කැමතියි නං එයා තමයි කෙනා. ඔයාලා හොඳ පවුල් ජීවිතයක් ගෙවයි. හැබැයි අම්මා කැමති නැත්නම් පරෙස්සමින් පුතේ.’ මං මුලින්ම යාළු වෙන්න හදපු කෙනාට අම්මා කැමති වුණේ නෑ. හැබැයි දෙවෙනි කෙනාට නං අම්මාගේ හිත ගියා. එයාගේ නම ආර්ලින්.
අපි බැන්ද දවස
ආර්ලින් හැදුණේ වැඩුණේ නමස්කාර මධ්‍යස්ථානයට කිට්ටුව තිබුණ ගොවිපොළක. හැබැයි එයා එහෙන් පිට වෙලා එයාගේ වියහියදම් පිරිමහගන්න වැඩිහිටි නිවාසෙක වැඩ කළා. එයා හැම තිස්සේම හිතුවේ යෙහෝවාට වැඩිපුර සේවයක් කරන එක ගැන. ඒ නිසාම එයා ස්ථාවර පුරෝගාමි සේවෙත් කළා. 1959දී අපි කසාද බැන්දා. අපේ අම්මාටත් ආර්ලින්ව හොඳට අල්ලලා ගියා. කොච්චරද කියනවා නං අන්තිමේදී හැම තිස්සේම අම්මා ගත්තේ ආර්ලින්ගේ පැත්ත.
ආර්ලින් කියන්නේ සේවේ වෙනුවෙන් ඕනෙම තත්වෙකට හැඩගැහෙන්න ලෑස්ති පිට හිටපු කෙනෙක්. මං ඒකට ගොඩක් ආසයි. මට මතකයි සැරයක් අපි සේවේ කරන්න කැන්සාස්වලට ගියා. ඒක කලාතුරකින් සේවේ කරන පැත්තක්. එහේ අපිට ඉන්න තැනක් හම්බ වුණේ නැති නිසා පොඩි කූඩාරමක තමයි අපිට ඉන්න වුණේ. ඒකෙත් නිදාගන්න විතරයි අපිට ඉඩ තිබ්බේ. අපිට එතන කූඩාරම ගහං ඉන්න අවසර තිබ්බේ දවස් පහයි. හැබැයි අපි ඒ ඉඩම බලාගත්ත කෙනා එක්ක කතා කළා. අපි එහෙට ආවේ ඇයි, අපි කරන්නේ මොනවාද කියලා එයාට කිව්වාම එයා කිව්වා අපිට ඕනෙ තරම් කාලයක් එතන ඉන්න කියලා. ඒ අද්දැකීම නං අපිට කවදාවත් අමතක වෙන්නේ නෑ.
ගිලියද් පාසැලට
දවසක් අපිට ලියුමක් ආවා. ඒකේ තිබුණේ ගිලියද් පාසැලට ෆෝම් දෙකක්. ඒක දැක්කාම අපිට පුදුම හිතුණා. මොකද අපි ඒකට යන්න ඕනෙ කියලා ඉල්ලලා තිබ්බේ නෑ. ඇත්තටම අපි මිෂනාරිවරුන් නොවුණාට ඒ වෙද්දීත් අපිට දැනුණේ අපි මිෂනාරිවරු කියලා. මොකද අපි කූඩාරමකනේ හිටියේ. ඉතිං අපිට හිතුණා ‘ගිලියද් පාසැලට ගිහින් ඇත්තම මිෂනාරිවරු වෙන්නත් අපිට පුළුවන්නේ’ කියලා. අපි ඒ ෆෝම් දෙක පුරවලා යැව්වා. වැඩි දවසක් යන්න කලින් 38වෙනි ගිලියද් පාසැලට අපිට ආරාධනාවක් හම්බ වුණා. 1963 නොවැම්බර්වල අපිට පැවරුම හම්බ වුණේ බ්‍රසීලයට.
1964දී අපි බ්‍රසීලයට ආවා. අපිට එහේ මිෂනාරිවරුන් හිටපු ගෙවල්වල ඉන්න ඉඩ තිබුණේ නෑ. ඒ නිසා අපිට කිව්වා ටික දවසකට රියෝ ඩි ජැනිරෝවල තිබුණ ශාඛා කාර්යාලයේ නවතින්න කියලා. ඉතිං අපි සේවේ කළෙත් ඒ අවටම තමයි. අපිට තිබ්බ ලොකුම අභියෝගේ තමයි එහේ භාෂාව ඉගෙනගන්න එක. පළවෙනි මාසේ හුඟක් දවස්වල පැය 11ක් තිස්සේම අපි කළේ පෘතුගීසි භාෂාව ඉගෙනගත්ත එක. දෙවෙනි මාසේදී දවසේ භාගයක් අපි භාෂාව ඉගෙනගන්නවා, අනිත් භාගේ සේවේ යනවා. ඒ භාෂාවෙන් සේවේ කරද්දී මට හොඳ හොඳ වැඩ වෙලා තියෙනවා. දවසක් සේවේ යද්දී මං කලින් අහලා නැති වචන වගයක් ගෑනු කෙනෙක් කිව්වා. ඉතිං මාත් ගත් කටටම පෘතුගීසි භාෂාවෙන්ම කිව්වා ‘ඒක අහන්න ලැබුණ එක සතුටක්’ කියලා. බලං ගියාම එයා කියලා තියෙන්නේ එයාගේ මහත්තයා මැරුණා කියලා. පස්සේ තමයි මං ඒක දැනගත්තේ. හැබැයි හොඳ වෙලාවට එයා කේන්ති ගත්තේ නෑ. එයා තේරුම්ගත්තා අපි තාම භාෂාව ඉගෙනගන්නවා කියලා.
අපි දවසට පැය 11ක් පෘතුගීසි ඉගෙනගත්තා
බෙතෙල් සේවය
මාස කීපයකට පස්සේ මට සතියකට එක දවසක් බෙතෙල් එකේ මුද්‍රණ අංශයේ වැඩ කරන්න එන්න කියලා කිව්වා. අවුරුද්දක් විතර මිෂනාරි සේවේ කළාට පස්සේ අපිව බෙතෙල් එකට ගත්තා. මං වැඩ කළේ නඩත්තු අංශයේ. ආර්ලින් කළේ කාමර අස්පස් කරන එක සහ පිරිසිදු කරන වැඩ. අවංකවම කියනවා නං බෙතෙල් එකට එන්න කිව්වාම මට ටිකක් දුක හිතුණා. මොකද අපි සේවෙට ගොඩක් ආසයි. අපේ ඉලක්කේ වුණේ චාරිකා සේවේ යන්න. ඒත් කොහොමහරි අපි අලුත් වෙනසට හුරු වුණා. කාලෙත් එක්කම අපි ආසාවෙන් ඒ පැවරුම් කළා. අවුරුදු කීපයකට පස්සේ බෙතෙල් එක සාඕ පවුලෝවලට අරන් ගියා.
බ්‍රසීලයේ අපේ ප්‍රකාශනවලට තිබ්බ ඉල්ලුම එන්න එන්නම වැඩි වුණා. අපි ඒ වෙනුවෙන් වෙච්ච මහන්සියට යෙහෝවා ආශීර්වාද කරපු විදිහ මං දැක්කා. සැරයක් සහෝදරයෝ මට කිව්වා අලුත් ප්‍රින්ටිං මැෂිමක් හොයන්න කියලා. අඩු ගාණට තිබ්බ පාවිච්චි කරපු මැෂිමක් මට හම්බ වුණා. ඒක විකුණන කෙනාගෙන් මං ඇහුවා ‘ඇයි ඒක විකුණන්නේ’ කියලා. එයා කිව්වා ‘ඒ මැෂිමේ කොළ ඇතුල් කරන කොටස වැඩ කරන්නේ නෑ’ කියලා. හැබැයි ඒකේ අනිත් දේවල් හොඳට වැඩ කරපු නිසා අපි ඒක ගත්තා. ඒක අපේ මුද්‍රණාලෙට ගෙනාවාම ඒකේ කෑලි ටිකක් ගලවලා මං ඇතුළට ගිහිල්ලා බැලුවා. බලද්දී පොඩි බටයක් ගැලවිලා තිබ්බේ. ඒක මාරු කළාට පස්සේ මෙන්න මැෂිම යස අගේට වැඩ! අපි අවුරුදු ගාණක්ම ඒකෙන් සෑහෙන වැඩ ගත්තා.
යාච්ඤාවට තියෙන බලය
බ්‍රසීලයේ ලොකු වර්ධනයක් තිබ්බා. ඒත් එක්කම අපේ මුද්‍රණාලයත් ලොකු කරන්න ඕනෙ වුණා. කොහොමහරි අපේ මුද්‍රණාලෙට එහා පැත්තෙන් තිබ්බේ හිස් ඉඩමක්. ඒක අයිති කෙනාව හොයාගන්න අපි අවුරුද්දක් විතර මහන්සි වුණා. එයා ඉඳලා තියෙන්නේ කිලෝමීටර් 1,000කටත් වඩා එහායින් තියෙන හද්ද පිටිසර ගමක. එහේ ෆෝනුත් නෑ. අඩුම ගාණේ එහෙට ලියුමක්වත් යන්නේ නෑ.
දවසක් බෙතෙල් එක බලන්න ආව කෙනෙක් කිව්වා ඒ ඉඩම අයිති කෙනා ගැන එහා පැත්තේ කඩේ ඉන්න කෙනා දන්නවා කියලා. ඉතිං අපි එයාව හම්බ වෙලා ඉඩම අයිති කෙනා ගැන ඇහුවා. එයා කිව්වා “අර බාර් එක ඉස්සරහා බියර් එකක් බිබී ඉන්න කෙනාව පේනවාද? එයා තමයි කෙනා” කියලා. ඇත්තම කියනවා නං අවුරුදු ගාණකට පස්සේ එයා මේ ටවුමට ඇවිල්ලා තිබ්බේ එදා. ඉතිං අපි ඉක්මනටම එයාව හම්බ වෙන්න ගියා. අපිට ඉඩම දෙන්න එයා එක පයින් කැමති වුණා. අපි ඒ ඉඩම අරං ඉක්මනටම මුද්‍රණාලයේ වැඩ පටන්ගත්තා. අපිට තේරුණා යෙහෝවා අපේ යාච්ඤාවලට උත්තර දුන්නා කියලා.
පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වුණ සහෝදර ෆෙඩ්රික් ෆ්‍රාන්ස් 1974දී අපේ බෙතෙල් එකට ආවා
කාලෙකට පස්සේ ලෝක මූලස්ථානයෙන් කිව්වා අපිට අලුත් ප්‍රින්ටිං මැෂින් දෙකක් හම්බ වෙනවා කියලා. ඒ වගේ අලුත් මැෂින් හම්බ වෙයි කියලා අපි හිතුවේවත් නෑ. ඇත්තටම ඒ මැෂින් දෙක දාන්න අපේ මුද්‍රණාලේ ඉඩ මදි. ඉතිං අපි ආයෙත් කළේ යෙහෝවාට යාච්ඤා කරපු එක. ඊළඟ දවසේම අපි දැක්කා අපේ ඉඩමට එහා පැත්තේ තිබුණ ගොඩනැඟිල්ලේ තිබ්බ ප්‍රින්ටිං මැෂින් වගයක් ඒක අයිති කෙනා එළියට ගන්නවා. මොකද එයාට ඕනෙ වුණේ ඒවා තිබ්බ ගොඩනැඟිල්ල විකුණන්න. අපිට අලුතෙන් හම්බ වෙන ප්‍රින්ටිං මැෂින් දෙක දාන්න නං ඒක කියාපු තැන!
1975 වෙද්දී අපේ වැඩ කරගෙන යන්න සාඕ පවුලෝවල තිබ්බ බෙතෙල් එකේ ඉඩ මදි වුණා. ඉතිං මෙදා සැරේ පාලක මණ්ඩලය ශාඛා කමිටුවට මඟ පෙන්නුවා ගම්බද පැත්තකින් ටිකක් ලොකු ඉඩමක් හොයන්න කියලා. එතකොට ඕනෙ වුණොත් ඉස්සරහටත් ගොඩනැඟිලි ලොකු කරන්න පුළුවන්නේ. ඉතිං අපි සිසාරියෝ ලාන්ජේවලට කිට්ටුවෙන් තිබ්බ ඉඩමක් ගත්තා. ඒක සාඕ පවුලෝවලට කිලෝමීටර් 150ක් විතර එහායින් තමයි තිබ්බේ. ඊටපස්සේ අපේ ගොඩනැඟිලිවල ප්ලෑන් එකක් ඇඳලා ඒක පාලක මණ්ඩලයට යැව්වා. එයාලා කිව්ව දේ දන්නවාද! ‘මේක නං හොඳටම පොඩි වැඩියි. අලුතෙන් හදන ගොඩනැඟිලි අඩුම තරමින් මේ වගේ දෙගුණයක්වත් වෙන්න ඕනේ.’ අන්තිමට ලොකු මුද්‍රණාලයකට එයාලම ප්ලෑන් එක ඇඳලා එව්වා. ඒක තමයි අපි හැදුවේ.
නිහතමානිකම ගැන පාඩම්
ශාඛා කමිටුවේ සාමාජිකයෙක් විදිහට මං දීපු අදහස තමයි හොඳම අදහස කියලා සමහර වෙලාවට මට හිතුණා. හැබැයි හැම තිස්සේම වගේ වුණේ ඒකේ අනිත් පැත්ත. ශාඛා කමිටුවේ අනිත් අයත් එයාලාගේ අදහස් දුන්නාම තමයි තේරුණේ මගේ අදහසට වඩා තව කොච්චර නං හොඳ අදහස් තියෙනවාද කියලා. “උපදේශකයන් හුඟදෙනෙක් ඉද්දී සැලසුම් සාර්ථක වෙනවා” කියන දේ මං අද්දැක්කා.—හිතෝපදේශ 15:22.
සැරයක් මට ආරංචි වුණා බෙතෙල් එකේ සහෝදරයෙක් අනිත් අයට හරිම නපුරු විදිහට කතා කරලා තිබ්බා කියලා. මං එච්චර විස්තර හොයන්නේ නැතුව ඒ සහෝදරයාව බෙතෙල් එකෙන් අයින් කරන්න ඕනෙ කියලා යෝජනා කළා. හැබැයි ටික දවසකට පස්සේ තමයි මං දැනගත්තේ ඇත්තටම එතන වෙලා තියෙන්නේ වෙන දෙයක් කියලා. කොච්චර අමාරු වුණත් මගේ අතින් වෙච්ච අඩුපාඩුව මං පිළිගත්තා. අපි ඒ සහෝදරයාට ආයෙත් බෙතෙල් එකට එන්න කිව්වා. එයා අවුරුදු ගාණක්ම හරිම සතුටින් එයාගේ පැවරුම කළා. ඒකෙන් මං ඉගෙනගත්තා හිතෝපදේශ 18:13 කියන දේ කොච්චර ඇත්තද කියලා. එතන මෙහෙම කියනවා. “කාරණයකට හොඳින් සවන් දෙන්නේ නැතුව කතා කරන එක මෝඩකමක්. ඒකෙන් ඇති වෙන්නේ ලැජ්ජාවක්.” ඒ පාඩම නං මට කවදාවත් අමතක වෙන්නේ නෑ.
අපි දෙන්නා 1964 බ්‍රසීලෙට එද්දී මෙහේ ප්‍රචාරකයෝ හිටියේ 28,000ක් විතර. හැබැයි දැන් ප්‍රචාරකයෝ 9,26,000කටත් වැඩියෙන් ඉන්නවා. යෙහෝවා ආශීර්වාද කරපු නිසයි මෙච්චර වර්ධනයක් වෙලා තියෙන්නේ. (යෙසායා 60:22) දැන් අපිට වයස අවුරුදු 80ටත් වැඩියි. හැබැයි අපි තරුණ කාලේදීම පූර්ණකාලීන සේවේ පටන් අරං අපේ උපරිමය යෙහෝවාට දුන්න එක ගැන අපිට තියෙන්නේ පුදුම සතුටක්. ඒ නිසයි අපිට පුළුවන් වුණේ යෙහෝවාට කරන්න බැරි දෙයක් නෑ කියලා අපේ ජීවිතවලින්ම අද්දකින්න.