ඔලේ රැඩ්සයිමින්ස්කි | ජීවිත කතාව
යෙහෝවාගෙන් මාව වෙන් කරන්න යකඩ කූරුවලට බැරි වුණා
මං ඉපදුණේ 1964දී සයිබීරියාවේ. මොකද ඒ වෙද්දී අපේ අම්මලව යුක්රේනයෙන් පිටුවහල් කරලයි තිබුණේ. මට මතක ඇති කාලෙක ඉඳන් අපේ අම්මලයි, ආච්චිලා සීයලයි යෙහෝවා ගැන විශ්වාසය තියලා වැඩ කරපු අය. හිරේ යන්න වුණත් එයාලා කවදාවත් විශ්වාසය පාවලා දුන්නේ නෑ. මගේ සීයා චාරිකා සේවකයෙක්. ඒ නිසා එයාවත් අවුරුදු හතකට හිරේ දැම්මා. පස්සේ කාලෙක මටත් හිරදඩුවමක් විඳින්න වුණා. හැබැයි ඒ කාලේදී යෙහෝවා ගැන මට තිබ්බ විශ්වාසය ඔප්පු කරන්න මට හුඟක් අවස්ථා උදා වුණා.
1966දී අපි ආපහු යුක්රේනයට ආවා. මට ලාවට වගේ මතකයි මං පොඩි කාලේ අපි හිරේ හිටපු සීයාව බලන්න යනවා. එතකොට මට වයස අවුරුදු හතරයි. අම්මයි, මායි යුක්රේනයේ ක්‍රිවි රිහ්වලින් කෝච්චියේ නැඟලා රුසියාවේ මැද හරියට වෙන්න තිබ්බ මෝර්ඩෝවියාවට යනවා. එහේ තමයි හිරකඳවුර තිබුණේ. ඒක සෑහෙන දුර ගමනක්. එච්චර දුරක් ගියත් අපිට සීයාව බලන්න හම්බ වුණේ පැය දෙකකට විතරයි. ඒ වෙලාවෙත් බන්ධනාගාර නිලධාරීන් අපේ ළඟටම වෙලා හිටියා. හැබැයි එයාලා මාව ඔඩොක්කුවේ තියාගන්න නං සීයාට ඉඩ දුන්නා.
ඉස්කෝලේ යද්දීත් යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා
මගේ මල්ලි මිහයිලෝ (දකුණ) එක්ක
මං පොඩි කාලෙත් යෙහෝවා ගැන මට තිබුණ විශ්වාසය සෝදිසියට ලක් වුණ හුඟක් අවස්ථා ආවා. මට මතකයි මට වයස අවුරුදු හතේදී ළමයි හැමෝම ඉස්කෝලේ නිල ඇඳුමත් එක්ක ලෙනින්ගේ රූපේ තියෙන තරුවක් ගහගෙන හිටියා.a ඊට අවුරුදු කීපයකට පස්සේ ලෙනින්ගේ අදහස්වලට සහයෝගය දෙනවා කියලා පෙන්නන්න ළමයි හැමෝම රතු පාට ලේන්සුවක් බෙල්ලේ ගැටගහගත්තා. හැබැයි දේශපාලනයට සම්බන්ධ ඒ කිසි දෙයක් මං කළේ නෑ. මොකද මං දැනන් හිටියා යෙහෝවාට විතරක් භක්තිය පෙන්නන එක ඔහු අපෙන් බලාපොරොත්තු වෙනවා කියලා.
සාක්ෂිකරුවන් දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැත්තේ ඇයි කියලා අපේ අම්මායි, තාත්තායි මට කියලා දුන්නා. හිතන්න උදව් වෙන පැතිත් මට පෙන්නුවා. ඒ නිසා සත්‍යය හොඳට තේරුම් අරන් යෙහෝවාට සේවේ කරන්න මගේ හිතින්ම තීරණයක් ගන්න මට පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි එයාලා නිතරම කිව්වා ඉස්කෝලේ වැඩත් හොඳට කරන්න කියලා. මොකද ඒකෙනුත් යෙහෝවාගේ නම ගෞරවයට පත් කරන්න පුළුවන්.
දවසක් අපේ ඉස්කෝලෙට මාධ්‍යවේදියෙක් ආවා. එයා වැඩ කරපු ආයතනයෙන් තමයි ‘විද්‍යාව සහ ආගම’ කියන සඟරාව පළ කරන්නේ. (Nauka i religiia) ඒ සඟරාවෙන් කිව්වේ දෙවි කෙනෙක් විශ්වාස කරන එක, ආගමක් අදහන එක වැඩක් නැහැ කියලා. එයා දේශනයක් දෙන්න අපේ පන්තියට ආපු වෙලාවේ ටීචර්ස්ලා මාව ඉස්සරහා බංකුවේ වාඩි කළා. ඒ වෙලාවෙත් එයා හැදුවේ දෙවි කෙනෙක් නැහැ කියන අදහස කොහොමහරි අපේ ඔළුවලට දාන්න.
ඔය දේශනය ඉවර වුණාට පස්සේ ටීචර්ස්ලා මාව ස්ටේජ් එක පිටිපස්සට එක්කං ගියා. එයාලා ඒ මාධ්‍යවේදියාට කියලා තිබුණා මාත් එක්ක කතා කරන්න කියලා. ඉතින් එයා මගෙන් ඇහුවා “ඔයාගේ ආගම මොකක්ද” කියලා. මං ගත් කටටම කිව්වා “මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්” කියලා. ඒක ඇහුවාම ‘දේශනය හොඳට ඇහුම්කන් දීගෙන හිටියාට තැන්ක් යූ’ කියනවා ඇරෙන්න එයාගේ කටට වෙන කිසිම වචනයක් ආවේ නෑ. ඒ වෙලාවේ වුණ දේ දැකලා අපේ ටීචර්ස්ලාට හොඳටම අප්සෙට් ගියා.
පවුලක් විදිහට යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා
එක කාලෙක අපේ පවුලේ කට්ටිය එකතු වෙලා බයිබල් පොත් පත් මුද්‍රණය කරලා ඒවා බෙදාහැරියා. ඒ දේ කරන්න අපිට යෙහෝවා ගැන ලොකු විශ්වාසයක් ඕනෙ වුණා. ඒ විතරක් නෙමෙයි අපේ තාත්තා මධ්‍යම යුක්රේනයේ චාරිකා සේවකයෙක් විදිහටත් සේවේ කළා.
1978 පෙබරවාරි මාසේ දවසක ඒ කියන්නේ අපේ බාල මල්ලි පැව්ලික් ඉපදෙන්න දවස් දෙකකට කලින් අමතක නොවෙන සිද්ධියක් වුණා. එදා මං ඉස්කෝලේ ඇරිලා ගෙදර එද්දී අපේ ගෙදර බඩු සේරම සීසීකඩ. බලද්දී පොලිසියෙන් අපේ ගෙදරට කඩා පැනලා මුළු ගේම අවුස්සලා, සඟරා පොත් පත් ඔක්කොම ටික අරන් ගිහින්.
ඊට පහුවදා අපි ඉස්කෝලේ ගියාම අපේ ටීචර්ස්ලා මං දිහායි, මගේ මල්ලි මිහයිලෝ දිහායි බැලුවේ වපර ඇහෙන්. එයාලා හිතුවේ අපි ඇමරිකානු ඔත්තුකාරයන්ගේ ළමයි කියලා. හැබැයි කාලයක් යද්දී එයාලට තේරුණා එයාලා හිතපු විදිහ වැරදියි කියලා. කොහොමහරි, මගේ පන්තියේ ළමයි කීපදෙනෙක් පස්සේ කාලෙක සත්‍යයටත් ආවා.
1981දී අපේ ගේ ආයෙත් පොලිසියෙන් සෝදිසි කළා. එතකොට මට වයස අවුරුදු 18ක්වත් නෑ. හැබැයි අපේ තාත්තාවයි, සීයාවයි විමර්ශන කාර්යාලයට අරන් යද්දී එයාලා මාවත් අරන් ගියා. එතන හිටපු ලොක්කා මට තර්ජනය කළා මාවත් හිරේ දානවා කියලා. හැබැයි එතන සාමාන්‍යය ඇඳුම් ඇඳගත්ත කෙනෙකුත් හිටියා. එයා හොඳ මූණ පෙන්නලා මට කිව්වා එයා අහන දේවල්වලට ඇත්තම කිව්වොත් මට කිසි කරදරයක් වෙන්නේ නෑ කියලා. ඇත්තටම එයාලා බැලුවේ ඒ වෙලාවේ හොඳින් හරි නරකින් හරි එයාලාගේ වැඩේ කරගන්න. මාව බය ගන්නන්න හිතාගෙන එයාලා අපේ තාත්තා, සීයා, මාමලා හිරේ හිටපු කාලේ ගැන මට මතක් කළා. හැබැයි එයාලා කරපු දෙයින් ඇත්තටම වුණේ හොඳක්. මොකද මට හිරේ යන්න වුණත් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව ඉන්න එයාලාගේ ආදර්ශ මට ලොකු ශක්තියක් වුණා.—ෆිලිප්පි 4:13.
වමේ සිට දකුණට: තාත්තා, මම, පැව්ලික්, අම්මා සහ මිහයිලෝ. මාව අත්අඩංගුවට ගන්න ටික දවසකට කලින්
හිරේ ඉද්දීත් යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා
මට වයස 18 සම්පූර්ණ වෙලා පහුවදාම මට හමුදාවෙන් ලියුමක් ආවා. ඒකේ කියලා තිබ්බා හමුදාවට බැඳෙන්න කියලා. හැබැයි මං ඒකට අකමැති වුණ නිසා එයාලා මට විරුද්ධව නඩුවක් දැම්මා. ඒ නඩුව අහන කල් මාව පිරිමි අය 85දෙනෙක් විතර ඉන්න හිරකුටියකට දැම්මා. ඒකේ ඇඳවල් තිබ්බේ 34යි. ඉතින් අපි නිදාගත්තේ මාරුවෙන් මාරුවට. අපිට නාන්න හම්බ වුණේ සතියට සැරයයි.
මාව හිරකුටිය ඇතුළට දාලා දොර වහපු ගමන් හැමෝම බලාගෙන හිටියේ මං දිහා. කට්ටියක් මගේ ළඟට ඇවිල්ලා ඇහුවා ‘මොන වරද කළාටද ඔයාව මෙහෙට එව්වේ’ කියලා. ඒ වෙලාවේ මට ලොකු බයක් දැනුණා. හැබැයි මං දානියෙල්ගේ සිද්ධිය මතක් කරගත්තා. මොකද එයාවත් සිංහ ගුහාවට දැම්මාට එයාට කිසිම කරදරයක් වෙන්න යෙහෝවා ඉඩ දුන්නේ නෑ. යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසය තියලා බය නැතුව ඉන්න ඒ සිද්ධිය මතක් කරගත්ත එක මට උදව් වුණා.—යෙසායා 30:15; දානියෙල් 6:21, 22.
අපි රෑ කෑම කෑවාට පස්සේ එක හිරකාරයෙක් මගේ විශ්වාසයන් ගැන එක එක ප්‍රශ්න අහන්න පටන්ගත්තා. මං ඒවාට උත්තර දීගෙන යද්දී මට තේරුණා මුළු හිරකුටියේම ඉන්න හිරකාරයෝ ටික අපේ කතාබහට තමයි කන් දීගෙන ඉන්නේ කියලා. කොහොමහරි පැය හතරක් පහක් යන කල්ම මගේ විශ්වාසයන් ගැන මං කට්ටියත් එක්ක කතා කළා. යෙහෝවාම තමයි එච්චර දෙයක් කරන්න මට උදව් කළේ.
මගේ නඩුව විභාග කරන්න කලින් මං යෙහෝවාට ගොඩක් යාච්ඤා කළා. මං ඉල්ලුවා මගේ විශ්වාසයන් ගැන බය නැතුව කතා කරන්න මට ධෛර්යය, ප්‍රඥාව දෙන්න කියලා. ඒ නඩුව ගොනු කරපු අය චෝදනා කළේ මං හමුදාවට බැඳෙන්නේ නැතුව ඉන්න මගේ ආගමික විශ්වාසය නිදහසට හේතුවක් කරගෙන තියෙනවා කියලයි. හැබැයි මං උසාවියේදී පැහැදිලි කළා මං හමුදාවට බැඳුණොත් එකෙන් මං දුකට පත් කරන්නේ මේ විශ්වයේ ඉන්න බලවත්ම කෙනාව කියලා. ඔය මොනවා කිව්වත් 1982දී එයාලා මාව වරදකරු විදිහට තීන්දු කළා. ඊටපස්සේ මට අවුරුදු දෙකක බරපතළ වැඩ සහිත හිරදඬුවමක් නියම කළා.
හොඳ වෙලාවට මං හිටපු හිරකඳවුරේම තවත් සාක්ෂිකරුවන් පස්දෙනෙක් හිටියා. එයාලා එක්ක අපිට ගොඩක් වෙලා කතා කරකර ඉන්න ලැබුණේ නෑ. හැබැයි කතා කරන්න විනාඩි කීපයක් හරි හම්බ වෙද්දී අපි බයිබලේ තියෙන දේවල් ගැන තමයි කතා කළේ. අපි එක් කෙනෙක් ගාවවත් බයිබලයක් තිබුණේ නෑ. හැබැයි අපේ පවුලේ අය, යාළුවෝ ලියුම් එවද්දී ඒ ලියුම්වල එයාලා බයිබල් පද ලියලා එව්වා. සමහර බයිබල් පද අපිට හම්බ වුණේ ලෝකේ පොත් පත්වලින්.
අනතුරකදීත් යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා
1983දී දවසක් මං හිරකඳවුරේ වැඩ කරකර ඉද්දී මට ලොකු අනතුරක් වුණා. ටොන් දෙකක් (රාත්තල් 4,409ක්) විතර බර තහඩු ගොඩක් ක්‍රේන් එකකින් උස්සගෙන යද්දී ඒක වැටුණා. පිටිපස්සෙන් ඇවිල්ලා ඒ යකඩ ගොඩ මගේ ඇඟේ වදිද්දී මගේ වම් කකුලත් එකට අහු වෙලා හොඳටම තැළුණා.
ඒ වෙලාවේ කොච්චර වේදනාවක් දැනුණාද කියනවා නං, මං යෙහෝවාට ගොඩක් යාච්ඤා කළා මට ඒක දරාගන්න උදව් කරන්න කියලා. ඒ ළඟ හිටපු නර්ස් කෙනෙක් මට කිව්වා වේදනාව අඩු කරගන්න නං කුණුහරුප කියලා පුළුවන් තරම් හයියෙන් කෑගහන්න කියලා. හැබැයි මං එහෙම කළේ නෑ. මං අපේ ගීතිකා තමයි කිව්වේ.
ඉස්පිරිතාලෙට යන්න අපිට පැය හයක් විතර ගියා. මොකද මුලින්ම ලොරියකින් යන්න වුණා. ඊටපස්සේ මෝටර් බෝට්ටුවකින්. අන්තිමට තමයි ඇම්බියුලන්ස් එකකින් ගියේ. ඒ පැය හයට මගේ තුවාලෙන් සෑහෙන්න ලේ ගියා. මං දැනන් හිටියා මට ලොකු ඔපරේෂන් එකක් කරන්න වෙයි කියලා. ඒ නිසා මං යෙහෝවාගෙන් ඉල්ලුවා ඩොක්ටර්ස්ලට ප්‍රඥාව දෙන්න කියලා. ඒ වගේම ලේ ගන්නේ නෑ කියලා මං අරන් තියෙන තීරණයට ගරු කරන්න එයාලාගේ හිත් පොලඹවන්න කියලත් මං ඔහුගෙන් ඉල්ලුවා. හැබැයි මං ඩොක්ටර්ස්ලට ඒ ගැන කිව්වාම එයාලා ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නෑ. ඉතින් මං ආයේ ආයේ එයාලාගෙන් ඉල්ලුවා මගේ තීරණයට ගරු කරන්න කියලා. අනික මං කිව්වා ලේ ගන්නේ නැතුව මට මොකක්හරි වුණොත් මං ඒ වගකීම භාරගන්නවා කියලා. අන්තිමේදී ලේ නැතුව ඒ ඔපරේෂන් එක කරන්න ඩොක්ටර්ස්ලා කැමති වුණා. ඒත් ඒ ඔපරේෂන් එකේදී මගේ වම් කකුලේ කොටසක් කපලා අයින් කරන්න වුණා.
ඔපරේෂන් එකෙන් පස්සේ මං හොඳටම දුර්වල වෙලා හිටියේ. කොච්චරද කියනවා නම් සති කීපයක් යන කල් මං හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. දවසක් නර්ස් කෙනෙක් මං ළඟට ඇවිල්ලා කිව්වා ‘ඔන්න ඔයාට හොඳ කෑම බීම ටිකක් දැන් හම්බ වෙන්න යනවා’ කියලා. ඉතින් එයා කියපු විදිහට මට දවසකට මීපැණි හැන්දක්, බිත්තරයක්, පොඩි බටර් කෑල්ලක් හම්බ වෙනවා. ඒවා ටික ළඟ තියෙන ෆ්‍රිජ් එකට දාලා තියන්නම් කියලත් එයා කිව්වා. හිරේ හිටියා නං ඉතින් ඔය වගේ කෑම කොහේ කන්නද! කොහොමහරි අපේ අම්මලට ආරංචි වුණාම මට අනතුරක් වෙලා කියලා එයාලා ඒ ජාතියේම කෑම මට ගෙනත් දුන්නා. ඒත් ඒ බඩු භාරගත්ත නිලධාරියා එක සැරයයි අපේ අම්මලා ගෙනාපු ඒ බඩු මල්ලක් භාර අරන් තියෙන්නේ.
ඒත් යෙහෝවාගේ අත කොට නෑ. (යෙසායා 59:1) මගේ තුවාලේ බැන්ඩේජ් එක මාරු කරපු හැම වෙලාවකම නර්ස්ලා එයාලාගේ කෑම මටත් දුන්නා. ඒ විතරක් නෙමෙයි එයාලා ෆ්‍රිජ් එකේ තිබ්බ කෑම ජාති ටික ඉවර වෙන්න ඉවර වෙන්න පිරෙව්වා. යෙහෝවා වැන්දඹුවගේ පුංචි තෙල් බෝතලේ හිඳෙන්න දුන්නේ නැති සිද්ධිය තමයි මට ඒ වෙලාවේ මතක් වුණේ.—1 රාජාවලිය 17:14-16.
කොහොමහරි කාලෙත් එක්කම මගේ කකුල හොඳ වුණා. ඔය කාලේදී මාව දිරිගන්වලා අපේ පවුලේ අයයි, යාළුවෝයි මට ලියුම් 107ක් එවලා තිබුණා. මං ඒ හැම ලියුමකටම උත්තර යැව්වා. ඒ විතරක් නෙමෙයි, වෙන හිරකඳවුරක හිටපු අපේ සහෝදරයෝ කට්ටියක් මට පාර්සලේකුත් එවලා තිබුණා.
අමාරුවෙන් ගෙවුණ මාස දෙකකට පස්සේ තමයි මට හරියට ඇඟපත ටිකක් හෝදගන්න පුළුවන් වුණේ. ඊටපස්සේ මං බලන් හිටියේ හිරකඳවුරේ හිටපු මගේ සහෝදරයෝ ටික මට ආයෙත් හම්බ වෙන දවස එන කල්.
මාව ඉස්පිරිතාලෙන් ටිකට් කපපු දවසේ ඒ ලියකියවිලි ටික ලෑස්ති කරපු ඩොක්ටර් මට එයාගේ ඔෆිස් එකට එන්න කිව්වා. එයා මගේ විශ්වාසයන් ගැන ගොඩක් ප්‍රශ්න ඇහුවා. අන්තිමට එයා කිව්වා ‘ඔයාගේ විශ්වාසේ දිගටම රැකගන්න ඔයාට පුළුවන් වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා’ කියලා. හමුදා නිල ඇඳුමක් ඇඳපු කෙනෙක්ගේ කටින් ඒ වගේ වචන ටිකක් පිට වෙන එක නං හරිම පුදුමයි.
1984 අප්‍රියෙල්වල මට නඩු විභාගයක් තිබ්බා. මාව ටිකක් කලින් නිදහස් කරන්න පුළුවන්ද කියලා තමයි එයාලා ඒකෙදී බැලුවේ. හැබැයි එතනදීත් එයාලා මගෙන් ඇහුවා “ඔයා හමුදාවට බැඳෙන්න කැමතිද” කියලා. මං කිව්වා “කිහිලිකරුවලින් ඉන්න, කකුලකුත් නැති මගෙන් ඔය වගේ ප්‍රශ්නයක් අහලා වැඩක් තියෙනවාද” කියලා. එතකොට එයාලා ඇහුවා “හරි, කකුල් දෙකම තිබුණා නං ඔයා හමුදාවට බැඳෙනවාද” කියලා. මං කිව්වා “නැහැ, එදා ගත්ත අධිෂ්ඨානයේ තමයි මං තාමත් ඉන්නේ. මං දෙවියන්ට විශ්වාසවන්තව ඉන්නවා” කියලා. ඊටපස්සේ එයාලා මට කිව්වා “එහෙනං සම්පූර්ණ කාලෙම හිරදඬුවමත් විඳිනවා” කියලා. කොහොමහරි මාව නිදහස් කරන්න තිබුණ දවසට මාස දෙකයි දවස් 12කට කලින් මට නිදහස් වෙන්න පුළුවන් වුණා.
හිරෙන් නිදහස් වුණාට පස්සේ මිහයිලෝ (දකුණ) එක්ක
හිරෙන් ආවාට පස්සෙත් යෙහෝවා ගැන විශ්වාසය තිබ්බා
හිරෙන් නිදහස් වෙලා අවුරුද්දකට පස්සේ මං කෘතිම කකුලක් දාගත්තා. සාමාන්‍යයෙන් උදේට ඒක දාගන්න පැයක් විතර යනවා. මගේ කකුලේ ඉතුරු වෙලා තියෙන කෑල්ලේ හරියට ලේ ගමන් කරන්නේ නැති නිසා සීත කාලෙට ඒක දාගන්න එක තවත් අමාරුයි. මට වයස 19දී මේ අනතුර වුණත් හරි මට කවදාවත් දුවන්න පුළුවන් වුණේ නෑ. ඉතින් පාරාදීසයේදී දුවලා පැනලා දේවල් කරන්න මං බලාගෙන ඉන්නේ හරිම ආසාවෙන්.—යෙසායා 35:6.
අපි විවාහ වුණ දවස
මට රස්සාවක් හොයාගන්න එකත් සෑහෙන්න අමාරු වුණා. මොකද සාමාන්‍යයෙන් කවුරුත් කැමති නෑ ආබාධිත කෙනෙක්ට රස්සාවක් දෙන්න. කකුල බැරි වුණා කියලා මට කවදාවත් පුටුවක වාඩි වෙලා කරන රස්සාවක් ලැබුණේ නෑ. මං කාලයක් වාහන හදන මිකෑනික් කෙනෙක් විදිහට වැඩ කළා. ඊටපස්සේ කළේ ඉදි කිරීම් වැඩ.
1986දී මට හොඳ සහෝදරියක් හම්බ වුණා. එයාගේ නම ස්වෙට්ලානා. ඉතින් අපි කසාද බැන්දා. ස්වෙට්ලානාගේ පවුලේ අයත් අපේ පවුල වගේම පරම්පරා තුනක් තිස්සේ සාක්ෂිකාරයෝ. අපි යාළු වෙච්ච මුල් කාලේම කතා වුණා අපි මොන දේ කළත් යෙහෝවාට කරන සේවේට තමයි මුල් තැන දෙන්න ඕනෙ කියලා. අපි ඒ වගේ තීරණයක් ගත්ත එක කොච්චර හොඳද කියලා ස්වෙට්ලානා නිතරම වගේ මතක් කරනවා.
අපේ දුවගේ නම ඔලියා. පුතා වොලෝඩියා. එයාලා දෙන්නාම පොඩි කාලේ ඉඳලාම ඉදි කිරීම් වැඩවලට ආසයි. මොකද අපි හිටපු පරණ ගෙයි මං එක එක වැඩ කරද්දී එයාලා මගේ පස්සෙන්ම ඉඳලා ඒ වැඩ අල්ලගත්තා. කොච්චරද කියනවා නම් එයාලා ටිකක් ලොකු වුණාම කිංඩම් හෝල් හදන වැඩවලටත් හරිම ආසාවෙන් උදව් කළා. දුවයි, පුතායි දෙන්නාම ස්ථාවර පුරෝගාමි සේවේත් පටන්ගත්තා. ඔලියා දැන් සංවිධානයේ ඉදි කිරීම් වැඩවලට හවුල් වෙනවා. අපේ පුතා වොලෝඩියා දැන් වැඩිමහල්ලෙක්.
අපේ බෑනා ඔලෙග්, දුව ඔලියා, ස්වෙට්ලානා, මම, අපේ ලේලි ආනා සහ පුතා වොලෝඩියා
ස්වෙට්ලානා කියන්නේ මගේ ජීවිතේ නැතුවම බැරි කෙනෙක්. සංවිධානයේ මං කරපු හැම වගකීමකදීම එයා මගේ හෙවණැල්ල වගේ ඉඳන් මට සහයෝගය දුන්නා. 1990 ගණන්වල යුක්රේනයේ තිබුණ හුඟක් සභා හරිම ලොකුයි. ඒවාවල ප්‍රචාරකයෝ 200කට වඩා හිටියා. හැබැයි වැඩිමහල්ලෝ හිටියේ එක් කෙනායි දෙන්නායි. ඒ විතරක් නෙමෙයි, ඉස්සර මං මාසෙට සැරයක් මධ්‍යම යුක්රේනයේ තියෙන සභාවලට සඟරා පොත් පත් ගිහිල්ලා දෙනවා. ඒ හැම දේම කරන්න ස්වෙට්ලානා මට පුදුම සහයෝගයක් දුන්නේ.
අදටත් යෙහෝවා ගැන විශ්වාසය තියනවා
2022දී ස්වෙට්ලානායි, මායි අපේ පදිංචිය වෙනස් කළා. ක්‍රිවි රිහ්වල හිටපු අපි ඔස්ට්‍රියාවේ සභාවකට ගිහින් සේවය කරන්න තීරණය කළා.
මගේ පවුලේ අය, නෑදෑයෝ යෙහෝවා වෙනුවෙන් කොච්චර අමාරු දේවල්වලට මුහුණ දුන්නත් එයාලා එයාලාගේ සතුට නැති කරගත්තේ නෑ. ඒක මං ගොඩක් පොඩි වයසේ ඉඳලාම දැකපු දෙයක්. ඒ විතරක් නෙමෙයි අපේ නිර්මාතෘව හොඳට අඳුරගන්න, ඔහුත් එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගන්න බයිබලේ උදව් වෙන විදිහත් මං දැක්කා. (යාකොබ් 4:8) ඒ යාළුකම තමයි මගේ ජීවිතේට පණක් දුන්නේ. මොන හැලහැප්පීම්වලට මුහුණ දෙන්න වුණත් යෙහෝවාට දෙන්න ඕනෙ ගෞරවය දෙන්න මටත් අවස්ථාව ලැබුණ එක ගැන හිතද්දී මගේ හිතට පුදුම සතුටක් දැනෙනවා.
ස්වෙට්ලානා එක්ක ඔස්ට්‍රියාවේදී
a ව්ලඩිමෙයර් ලෙනින් කියන්නේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නායකයා. සෝවියට් සංගමයේ පළවෙනි නායකයාත් එයායි.