බයිබල් පද පැහැදිලි කිරීමක්
හිතෝපදේශ 16:3 – “නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න”
“ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න. එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.”—හිතෝපදේශ 16:3, ‘නව ලොව පරිවර්තනය.’
“නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේට භාරදෙන්න; එවිට නුඹේ යෝජනා ස්ථිරවන්නේය.”—හිතෝපදේශ 16:3, ‘පැරණි අනුවාදය.’
හිතෝපදේශ 16:3 අදහස
මේ හිතෝපදේශයේ දෙවියන්ගේ සෙනඟට සහතිකයක් දෙනවා. ඒ තමයි එයාලා දෙවියන් ගැන විශ්වාසය තියලා ඔහු දෙන මඟ පෙන්වීම් පිළිපැද්දොත් එයාලා කරන හැම සැලසුමක්ම සාර්ථක වෙනවා කියන එක.
“ඔබේ සියලු වැඩ යෙහෝවා දෙවිට භාර දෙන්න.” යෙහෝවාa දෙවියන්ට නමස්කාර කරන අය තීරණයක් ගන්න කලින් නිතරම නිහතමානීව දෙවියන්ගේ මඟ පෙන්වීම් පතනවා. (යාකොබ් 1:5) ඒ ඇයි? ඒකට එක හේතුවක් තමයි එයාලා දන්නවා එයාලාගේ ජීවිතේ සිද්ධ වෙන හැම දෙයක්ම පාලනය කරන්න එයාලට හැකියාවක් නැහැ කියලා. (දේශනාකාරයා 9:11; යාකොබ් 4:13-15) ඒ වගේම එයාලා කරන හැම සැලසුමක්ම සාර්ථක කරගන්න තරම් ප්‍රඥාවක්, බුද්ධියක් එයාලට නැහැ කියලත් එයාලා දන්නවා. ඒ නිසා හොඳම දේ හැම සැලසුමක්ම දෙවියන්ට භාර දෙන එක කියලා එයාලා තේරුම් අරන් ඉන්නවා. ඒත් කොහොමද ඒක කරන්නේ? ඒකට එයාලා දෙවියන්ගේ මඟ පෙන්වීම් ඉල්ලලා නිතරම යාච්ඤා කරනවා. ඒ වගේම දෙවියන්ගේ වචනය වන බයිබලේ කියවලා ඒකේ තියෙන මඟ පෙන්වීම්වලට එකඟව සහ දෙවියන්ගේ කැමැත්තට එකඟව නිතරම වැඩ කරනවා.—හිතෝපදේශ 3:5, 6; 2 තිමෝති 3:16, 17.
“නුඹේ ක්‍රියාවන් ස්වාමීන්වහන්සේටb භාරදෙන්න” කියන යෙදුම “ඔබ කරන හැම දෙයක්ම ස්වාමීන්වහන්සේට විසි කරන්න” කියලත් පරිවර්තනය කරන්න පුළුවන්. ඒ යෙදුම ගැන එක මූලාශ්‍රයක මෙහෙම සඳහන් වෙනවා. “ඒ පදේ කියවද්දී ලොකු බරක් කරපිට තියාගෙන ඉන්න කෙනෙක් එයාට වඩා ගොඩක් ශක්තිමත් කෙනෙක්ගේ කරපිටින් ඒ බර තියන විදිහ අපේ හිතේ පින්තූරයක් මැවෙනවා.” ඒ විදිහට නිහතමානීව, දෙවියන් ගැන සම්පූර්ණ විශ්වාසය තියලා වැඩ කරන කෙනෙක්ට ඔහු අනිවාර්යයෙන්ම උදව් කරනවා. කවදාවත් එයාව අත්හරින්නේ නැහැ.—ගීතාවලිය 37:5; 55:22.
“ඔබේ සියලු වැඩ” කියද්දී ඒකෙන් අදහස් කරන්නේ නැහැ දෙවියන් මිනිස්සු කරන හැම දෙයක්ම අනුමත කරලා ඒවාට ආශීර්වාද කරනවා කියලා. ඒ වෙනුවට දෙවියන්ගේ ආශීර්වාදය ලබන්න නම් එයාලා කරන හැම සැලසුමක්ම දෙවියන්ගේ ප්‍රමිතිවලට, ඔහුගේ කැමැත්තට එකඟව තියෙන්න ඕනේ. (ගීතාවලිය 127:1; 1 යොහන් 5:14) මොකද දෙවියන් කවදාවත් අකීකරුකමට ආශීර්වාද කරන්නේ නැහැ. ඒ නිසයි බයිබලේ කියන්නේ “දුෂ්ටයන්ගේ මාර්ග ඔහු අවුල් කරනවා” කියලා. (ගීතාවලිය 146:9) හැබැයි කෙනෙක් දෙවියන්ට යටත් වෙලා ඔහු දීලා තියෙන ප්‍රමිතිවලට ගරු කරනවා නම් ඔහු අනිවාර්යයෙන්ම ඒ වගේ අයට උදව් කරනවා.—ගීතාවලිය 37:23.
“එවිට ඔබේ සැලසුම් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වෙයි.” ඒ යෙදුම සමහර පරිවර්තනවල “ඔබේ සැලසුම් ස්ථිර වෙයි” කියලත් පරිවර්තනය කරලා තියෙනවා. “ස්ථිර” කියලා පරිවර්තනය කරලා තියෙන මුල් හෙබ්‍රෙව් වචනෙන් “අත්තිවාරම” කියන එක අදහස් වෙනවා. හුඟක් වෙලාවට බයිබලේ ඒ වචනය පාවිච්චි කරලා තියෙන්නේ දෙවියන් හැමදාටම පවතින විදිහට ඒ කියන්නේ ස්ථිරව ඔහුගේ නිර්මාණ හදලා තියෙන විදිහ ගැන කතා කරද්දියි. (හිතෝපදේශ 3:19; යෙරෙමියා 10:12) ඉතින් කෙනෙක් දෙවියන්ගේ හිත සතුටු වෙන විදිහට වැඩ කරනවා නම් එයා කරන හැම සැලසුමක්ම දෙවියන් ස්ථිර කරනවා. ඒ කියන්නේ සාර්ථක කරනවා. එහෙම කරලා සුරක්ෂිතව, සතුටින් ජීවත් වෙන්න දෙවියන් එයාට උදව් කරනවා.—ගීතාවලිය 20:4; හිතෝපදේශ 12:3.
හිතෝපදේශ 16:3 අවට පද
හිතෝපදේශ පොතෙන් වැඩි හරියක්ම ලියපු සලමොන් රජ තමයි මේ හිතෝපදේශයත් ලිව්වේ. එයාට ඒ විදිහට හිතෝපදේශයන් දහස් ගාණක් කියන්න පුළුවන් වුණේ දෙවියන්ගෙන් ලැබුණ ප්‍රඥාව නිසයි.—1 රාජාවලිය 4:29, 32; 10:23, 24.
සලමොන් 16වෙනි පරිච්ඡේදය පටන්ගන්නේ දෙවියන්ගේ ප්‍රඥාව ගැන වර්ණනා කරලා. ඒ වගේම තමන්ගේ ප්‍රඥාව ගැන මහ ඉහළින් හිතාගෙන ඉන්න උඩඟු අයව දෙවියන් කොච්චර පිළිකුල් කරනවාද කියලත් එයා මතක් කරනවා. (හිතෝපදේශ 16:1-5) සලමොන් කියනවා මිනිස්සුන්ට ඇත්තටම ප්‍රඥාවන්ත වෙලා සාර්ථක වෙන්න පුළුවන් වෙන්නේ එයාලා නිහතමානීව දෙවියන් දෙන මඟ පෙන්වීම් අනුගමනය කරනවා නම් විතරයි කියලා. (හිතෝපදේශ 16:3, 6-8, 18-23) ඒ පාඩම හිතෝපදේශ පොත පුරාම ආයේ ආයේ මතක් කරනවා. ඇත්තටම හිතෝපදේශ පොතේ විතරක් නෙවෙයි ඒ වැදගත් පාඩම බයිබලේ පුරාම අපිට දකින්න තියෙනවා.—ගීතාවලිය 1:1-3; යෙසායා 26:3; යෙරෙමියා 17:7, 8; 1 යොහන් 3:22.
හිතෝපදේශ පොත ගැන තවත් තොරතුරු දැනගන්න මේ කෙටි වීඩියෝ එක බලන්න.
a යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි. (ගීතාවලිය 83:18) වැඩි විස්තර දැනගන්න ”යෙහෝවා කියන්නේ කවුද?” කියන ලිපිය බලන්න.
b හුඟක් බයිබල් පරිවර්තනවල දෙවියන්ගේ නම වෙනුවට “ස්වාමීන්වහන්සේ” කියලා පාවිච්චි කරලා තියෙනවා. තවත් පරිවර්තනවල “ස්වාමීන්වහන්සේ” කියන වචනය තද කලු අකුරෙනුත් දාලා තියෙනවා. ඒකට හේතුව දැනගන්න “යෙසායා 42:8 – ‘මම ස්වාමීන්වහන්සේය’” කියන ලිපිය බලන්න.