ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwcl 10 ලිපිය
  • “මං දැන් දරුණු කෙනෙක් නෙමෙයි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මං දැන් දරුණු කෙනෙක් නෙමෙයි”
  • ජීවිත වෙනස් කළ පොතක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මගේ අතීතය
  • මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි
  • මං දැන් අද්දකින ආශීර්වාද
  • ජීවිත වෙනස් කළ පොතක්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්!
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ජීවිත වෙනස් කළ පොතක්
ijwcl 10 ලිපිය
මයිකල් කෙන්සෙල් ඉඳගෙන යාළුවෝ කට්ටියක් එක්ක කතා කරකර ඉන්නවා. එයා ළඟ එයාගේ බිරිඳ හිටගෙන ඉන්නවා.

ජීවිත වෙනස් කළ පොතක්

“මං දැන් දරුණු කෙනෙක් නෙමෙයි”

මයිකල් කෙන්සෙල්

  • ඉපදුණ අවුරුද්ද: 1956

  • රට: කැනඩාව

  • අතීතයේදී: අනාචාර, දරුණු ජීවිතයක් ගත කරපු, කලකිරිලා හිටපු කෙනෙක්

මයිකල් කෙන්සෙල් තරුණ කාලේ, සාක්ෂිකරුවෙක් වෙන්න කලින්.

මගේ අතීතය

මම ඉපදුණේ කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ කැල්ගරි කියන නගරයේ. මං පුංචි කාලේදීම මගේ අම්මායි, තාත්තායි දික්කසාද වුණා. අම්මා මාවත් අරගෙන එයාගේ අම්මලාගේ ගෙදර පදිංචියට ගියා. ආච්චියි, සීයායි අපිට ගොඩක් ආදරෙයි. මගේ පුංචි කාලේ ගෙවුණේ හරිම සතුටින්. ඒ කාලේ ගැන මට තියෙන්නේ සොඳුරු මතකයන්.

මට අවුරුදු හතක් වෙද්දී මගේ ජීවිතේ කණපිට පෙරළුණා. මගේ අම්මායි, තාත්තායි ආයෙත් විවාහ වුණා. ඊටපස්සේ අපි ඇමෙරිකාවේ මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලූවිස්වල පදිංචියට ගියා. මගේ තාත්තා හරිම දරුණු කෙනෙක් කියලා වැඩි දවසක් යන්න කලින් මට තේරුණා. මං අලුත් ඉස්කෝලෙට ගිය පළවෙනි දවසේ ළමයි මට කරදර කළාට මං එයාලට මොකුත් කළේ නැහැ කියලා තාත්තා දැනගත්තාම එයාට ගොඩක් කේන්ති ගියා. ඉස්කෝලේ ළමයි මට ගැහුවාට වඩා හයියෙන් එදා තාත්තා මට ගැහුවා! තාත්තාගෙන් ගුටි කන්න බැරි නිසා ළමයි මට ගැහුවොත් මාත් ගහනවා කියලා එදා මං හිතාගත්තා. මං රණ්ඩුවලට පැටලෙන්න පටන්ගත්තේ අවුරුදු හතේ ඉඳන්.

තාත්තාට නිතරම කේන්ති ගිය නිසා අම්මායි, තාත්තායි හරියට රණ්ඩු වුණා. මං අවුරුදු 11දී මත්ද්‍රව්‍ය සහ මත්පැන් පාවිච්චි කරන්න පටන්ගත්තා. මං තව තවත් දරුණු වුණා. නිතරම වගේ මං මිනිස්සු එක්ක රණ්ඩුවලට පැටලුණා. වයස 18ක් විතර වෙද්දී මං දරුණු කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙලයි හිටියේ.

ඉස්කෝලේ ගිහින් ඉවර වුණාට පස්සේ මං ඇමරිකාවේ නාවික හමුදාවට බැඳුණා. එහෙදී ලැබුණ පුහුණුව නිසා කෙනෙක්ව මරණ එකත් මට ලොකු දෙයක් වුණේ නැහැ. අවුරුදු පහකට පස්සේ මං හමුදාවෙන් අයින් වෙලා මනෝ විද්‍යාව හදාරන්න පටන්ගත්තා. මට ඕනෙ වුණේ ඇමරිකාවේ අපරාධ විමර්ශන අංශයේ වැඩ කරන්න. මං අධ්‍යාපන කටයුතු පටන්ගත්තේ ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක. ඒත් ඊටපස්සේ කැනඩාවේ පදිංචියට ගිය නිසා ඒ අධ්‍යාපන කටයුතු එහේ දිගටම කරගෙන ගියා.

මයිකල් කෙන්සෙල් ඇමරිකාවේ නාවික හමුදාවේ හිටපු කාලේ ට්‍රක් එකක් එළවනවා.

විශ්වවිද්‍යාලයේ ඉද්දී මට මිනිස්සු ගැනයි, මේ සමාජය ගැනයි ලොකු කලකිරීමක් ඇති වුණා. මිනිස්සු හරිම ආත්මාර්ථකාමියි. මිනිස්සු ගත කරන ජීවිතේ කිසිම අරමුණක් නැහැ. අපි අද්දකින ප්‍රශ්නවලට විසඳුමක් නැහැ කියලා මට හිතුණා. ලෝකේ මීට වඩා හොඳ තැනක් කරන්න මිනිසුන්ට බැහැ කියලා මං තේරුම්ගත්තා.

මගේ ජීවිතේට අරමුණක් තිබුණේ නැති නිසා මං මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. මට ඕනෙ වුණේ හොඳට සල්ලි හම්බ කරන්න. හැමදාම මං පාටිවලට ගියා. හැම දවසකම මං අලුත් කෙනෙක් එක්ක එකට හිටියා. හමුදා පුහුණුව නිසා මං බය නැතුව රණ්ඩුවලට පැටලුණා. හරි වැරැද්ද මොකක්ද කියලා තීරණය කරන්න මට පුළුවන් කියලා හිතපු නිසා කවුරු හරි කෙනෙක් අසාධාරණයක් කරනවා කියලා මට හිතුණොත් මං එයාත් එක්ක රණ්ඩුවට ගියා. මට මාවම පාලනය කරගන්න බැරි වුණා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

දවසක් මායි, මගේ යාළුවෙකුයි මගේ ගෙදර පහළ තට්ටුවට වෙලා රහසින් මරිජුවානා වගයක් විකුණන්න පැක් කරකර හිටියා. ඒ වෙලාවේ අපි දෙන්නාම හිටියේ කුඩු ගහලා. මගේ යාළුවා මගෙන් ඇහුවා මට දෙවියන් ගැන විශ්වාසයක් තියනවාද කියලා. “මේ ලෝකේ තියෙන දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන් නම් මට ඔහු ගැන දැනගන්න කිසිම වුවමනාවක් නැහැ” කියලා මං කිව්වා. ඊළඟ දවසේ මං අලුත් තැනක රස්සාවකට ගියා. එතන වැඩ කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් මගෙන් ඇහුවා “ලෝකේ තියෙන දුක් කරදරවලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා ඔයා හිතනවද” කියලා. එයා එහෙම ඇහුවාම මට පුදුම හිතුණා. මොකද මං කලින් දවසේ යාළුවාට කිව්වෙත් ඒකමයි. ඒ නිසා ඒ ප්‍රශ්නෙට උත්තර දැනගන්න ඕනෙ කියලා මට හිතුණා. ඊළඟ මාස හය පුරා අපි ගොඩක් දේවල් ගැන සාකච්ඡා කළා. ජීවිතේ ගැන මට තිබුණ ප්‍රශ්නවලට උත්තර එයා මට බයිබලෙන් පෙන්නුවා.

ඒ වෙද්දී මං මගේ පෙම්වතිය එක්ක එකට ජීවත් වුණා. මං බයිබලයෙන් දැනගත්ත දේවල් එයාට කියනවාට එයා කැමති වුණේ නැහැ. දවසක් මං එයාට කිව්වා අපිත් එක්ක බයිබලේ පාඩම් කරන්න සාක්ෂිකරුවන්ට අපේ ගෙදර එන්න කියලා මං ආරාධනා කළා කියලා. ඊළඟ දවසේ මං වැඩ ඇරිලා ගෙදර එද්දී එයා ගෙදර තිබුණ හැම දෙයක්ම අරගෙන ගෙදරින් ගිහින් තිබුණා. මං එළියට ගිහින් හොඳටම ඇඬුවා. මං දෙවියන්ට යාච්ඤා කරලා මට උදව් කරන්න කියලා කිව්වා. එදා තමයි මං මුල් වතාවට යෙහෝවා කියන දෙවියන්ගේ නම පාවිච්චි කරලා යාච්ඤා කළේ.—ගීතාවලිය 83:18.

දවස් දෙකකට පස්සේ සාක්ෂිකරුවන් එක්ක මං බයිබල් පාඩමක් පටන්ගත්තා. එදා පාඩම ඉවර වෙලා එයාලා ගියාට පස්සේ මං එයාලා දීපු ‘පාරාදීස පොළොවක සදාකල් ජීවත්වන්ට ඔබට හැක’ කියන පොත දිගටම කියෙව්වා.a එදා රෑ මං ඒ පොත කියවලා ඉවර කළා. යෙහෝවා දෙවියන් ගැනත් ඔහුගේ පුතා යේසුස් ගැනත් මං ඉගෙනගත්ත දේවල් මගේ හිතට වැදුණා. යෙහෝවා දෙවියන් අනුකම්පාවෙන් පිරුණු දෙවි කෙනෙක් කියලත් අපි දුකෙන් ඉද්දී ඒක දෙවියන්ට දැනෙනවා කියලත් මං දැනගත්තා. (යෙසායා 63:9) දෙවියන් මට කොච්චර ආදරෙයිද කියලත් යේසුස් මං වෙනුවෙන් ඔහුගේ ජීවිතේ පූජා කළා කියලත් දැනගද්දී මට ඒ දෙන්නා ගැන ලොකු ආදරයක් ඇති වුණා. (1 යොහන් 4:10) මෙච්චර කාලයක් යෙහෝවා දෙවියන් මාත් එක්ක ඉවසීමෙන් වැඩ කළේ “කිසි කෙනෙකු විනාශ වෙනවාට ඔහු කැමති” නැති නිසයි කියලා මට තේරුණා. දෙවියන්ට ඕනෙ “පසුතැවිලි වීමේ ප්‍රස්තාව සියලුදෙනාටම” දෙන්න. (2 පේතෘස් 3:9) මාව ඔහුගේ මිතුරෙක් කරගන්න දෙවියන් කැමතියි කියලා මට දැනුණා.—යොහන් 6:44.

ඒ සතියේම මං රැස්වීම්වලට යන්න පටන්ගත්තා. ඒ කාලේ මං කොණ්ඩේ දිගට වවාගෙන, කරාබු දාගෙනයි හිටියේ. මාව දැක්කාම මිනිසුන්ට බය හිතෙනවා. ඒත් සාක්ෂිකරුවන් නම් මාව පිළිගත්තේ හරියට පවුලේ කෙනෙක්ව පිළිගන්නවා වගෙයි. එයාලා යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් කියලා මට දැනුණා. මට හිතුණේ මං ආපහු ආච්චිලාගේ ගෙදර ගියා වගේ. ඒත් දැන් මං ඉන්න තැන ඊට වඩා හොඳයි.

බයිබලයෙන් ඉගෙනගත්ත දේවල් නිසා මං මගේ ජීවිතේ වෙනස්කම් කරගන්න පටන්ගත්තා. මං කොණ්ඩේ කැපුවා. අනාචාර ජීවිත රටාව අත්හැරියා. මත්ද්‍රව්‍ය, මත්පැන් ගන්න එක නතර කළා. (1 කොරින්ති 6:9, 10; 11:14) මට ඕනෙ වුණේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්න. ඉතිං දෙවියන් අකමැති දෙයක් මං කරනවා කියලා දැනගත්තාම මට ලොකු දුකක් දැනුණා. ඒ නිසා මං නිදහසට කරුණු කියන්නේ නැතුව ‘ආයේ නම් මට මෙහෙම හැසිරෙන්න බැහැ’ කියලා මං මටම කියාගත්තා. යෙහෝවා දෙවියන් කියන විදිහට ජීවත් වෙන එක අපිට කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා මං මගේ ජීවිතෙන් අද්දැක්කා. බයිබලය පාඩම් කරන්න පටන් අරන් මාස හයකින්, ඒ කියන්නේ 1989 ජූලි 29වෙනිදා මං යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

මං දැන් අද්දකින ආශීර්වාද

මගේ පෞද්ගලිකත්වය වෙනස් කරගන්න බයිබලය මට උදව් වුණා. ඉස්සර කවුරු හරි මට නපුරක් කළොත් මාත් නිකං හිටියේ නැහැ. රණ්ඩුවට ගියා. ඒත් දැන් “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට” මං ලොකු උත්සාහයක් ගන්නවා. (රෝම 12:18) මං ඒක කරන්නේ මගේම උත්සාහයෙන් නෙමෙයි. බයිබලේ සහ දෙවියන්ගේ බලයේ උදව්වෙන් තමයි මට මගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් වුණේ. ඒ නිසා මං යෙහෝවා දෙවියන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.—ගලාති 5:22, 23; හෙබ්‍රෙව් 4:12.

දැන් මං මත්ද්‍රව්‍යවලට, ප්‍රචණ්ඩත්වයට, අනාචාරයට වහලෙක් නෙමෙයි. ඒ වෙනුවට දැන් මං උත්සාහ කරන්නේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන්නයි. මගේ උපරිමයෙන් ඔහුට සේවය කරන්නයි. දෙවියන්ව දැන හඳුන ගන්න මං අනිත් අයට උදව් කරනවා. බව්තීස්ම වෙලා අවුරුදු කිහිපයකට පස්සේ ප්‍රචාරකයන් අඩු රටක සේවය කරන්න මං ගියා. පහුගිය අවුරුදුවල හුඟක් අයට බයිබලයේ තියෙන දේවල් කියලා දෙන්නත් එයාලා ජීවිතේ වෙනස්කම් කරගන්න විදිහ දකින්නත් මට පුළුවන් වුණා. මගේ අම්මාත් දැන් සාක්ෂිකරුවෙක්. ඒ ගැන මං ගොඩක් සතුටු වෙනවා. මං මගේ ජීවිතේ වෙනස් කරගත්ත විදිහ දැක්ක නිසයි බයිබලේ පාඩම් කරන්න හිතුණේ කියලා අම්මා කිව්වා.

දැන් ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල කියලා හඳුන්වන පාසැලට 1999දී සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුණා. ඒක තිබුණේ එල් සැල්වදෝරයේ. දේශනා සේවයේ උද්‍යෝගයෙන් හවුල් වෙන්න, සභාව හොඳින් රැකබලා ගන්න ඒ පුහුණුව මට උදව් වුණා. ඒ අවුරුද්දේම මං යූජීනියා එක්ක විවාහ වුණා. අපි දෙන්නම ග්වාතමාලාවල පූර්ණකාලීනව ශුභාරංචිය දේශනා කරනවා.

දැන් මං ඉස්සර වගේ ජීවිතේ ගැන කලකිරිලා නැහැ. බයිබල් ප්‍රතිපත්ති ජීවිතේට අදාළ කරගත්ත නිසා අනාචාරය, ප්‍රචණ්ඩත්වය මගේ ජීවිතෙන් ඈත් කරන්න මට පුළුවන් වුණා. මං දැන් සැබෑ ආදරය, සාමය අද්දකිනවා. මං ඉන්නේ ගොඩක් සතුටින්.

මයිකල් කෙන්සෙල් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකදී සහෝදරයෙක්ව පිළිගන්නවා.

a යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කෙනෙක් එක්ක බයිබලේ පාඩම් කරද්දී දැන් පාවිච්චි කරන්නේ ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ කියන පොත.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න