ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwia 3 ලිපිය
  • ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා
  • ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කිසිදා නොබිඳුණු මිතුදමේ රහස
  • මිත්‍රත්වය පරීක්ෂණයට ලක් වෙයි
  • අසීරුතාවන් හමුවේ දිගටම ළැදිව සිටියා
  • “ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද!”
  • යොනාතාන් “ඔහු අද මේ දේ කළේ දෙවිගේ උපකාරයෙන්”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බය නැතුව වැඩ කරපු හොඳ යාළුවෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ළැදිව ඉන්න එයාට ධෛර්යය ඕන වුණා
    දෙවියන් එක්ක ධෛර්යවන්තව ගමන් කරන්න
  • ‘යෙහෝවා දෙවියන්ට අවශ්‍ය නම් ගැලවීම ලබා දෙන්න පුළුවන්’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
ijwia 3 ලිපිය
යොනාතාන්

ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක් | යොනාතාන්

ඔහු පණට මෙන් තම මිතුරාට ආදරය කළා

බිහිසුණු යුද්ධය දැන් අවසන්. මුළු ඒලාහ් තැනිතලාව පුරාම තිබුණේ නිහඬ බවක්. සැදෑ සුළඟ කුඩාරම් අතරින් හමා ගියේ පරිසරයට සිසිලසක් එක් කරමින්. මේ අතර ජයග්‍රාහී ලීලාවෙන් සිටින සාවුල් රජ තම සේවකයන් කීපදෙනෙක් සමඟ තරුණ දාවිත්ට ඇහුම්කන් දෙන්නේ ඇසිපිය නොහෙලායි. දාවිත් මහත් උද්‍යෝගයෙන් තමන් මුහුණ දුන් දේවල් අකුරක් නෑර සාවුල් රජට කියනවා. පිරිස අතරේ සිටින සාවුල් රජගේ වැඩිමල් පුත්‍රයා වන යොනාතාන්ද දාවිත්ට ඇහුම්කන් දෙනවා. නිර්භීත රණශූරයෙක් වුණ යොනාතාන් යුධ ජයග්‍රහණ ඕනෑ තරම් අත් කරගෙන තියෙනවා. ඒත් මේ ජයග්‍රහණයේ අයිතිය හිමි වුණේ ඔහුට නම් නෙමෙයි. ගොලියත් නම් යෝධයා සමඟ තනිවම සටන් කර ඊශ්‍රායෙල් සෙනඟට මේ ජයග්‍රහණය අත් කර දුන්නේ දාවිත්. හැමෝම දාවිත්ට ප්‍රශංසා කරන මේ වෙලාවේ යොනාතාන්ට දාවිත් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙයිද?

ඒ වෙලාවේ යොනාතාන්ට හිතුණ දේ දැනගත්තොත් ඔයා පුදුම වෙයි. බයිබලයේ ඒ ගැන කියන්නේ මෙහෙමයි. “දාවිත් සාවුල් රජුට පැවසූ දේවල් ඇසූ විට යොනාතාන්ගේ සිත දාවිත් වෙත ඇදී ගියේය. එදා පටන් ඔහු තම පණට මෙන් දාවිත්ට ආදරේ කිරීමට පටන්ගත්තේය.” ඊර්ෂ්‍යා වෙනවා වෙනුවට ඔහු දාවිත්ට පණට මෙන් ආදරය කරන්න පටන්ගන්නවා. දක්ෂ සටන්කාමියෙක් වන යොනාතාන් තමන්ගෙම කඩුව සහ දුන්න දාවිත්ට තෑගි කරනවා. ඇති වුණ මේ මිතුදම හැමදාටම තියාගන්නවා කියලා දාවිත් සහ යොනාතාන් යෙහෝවා දෙවියන් ඉදිරියේ ගිවිසුමක් ඇති කරගන්නවා. මිතුරන් විදිහට එකිනෙකාට විශ්වාසවන්තව ඉන්නත් සහයෝගය දක්වන්නත් දෙදෙනා එකිනෙකාට පොරොන්දු වෙනවා.—1 සාමුවෙල් 18:1-5.

බයිබලයේ සඳහන් සුවිශේෂී මිතුදමක ආරම්භය එයයි. දෙවියන්ගේ සේවකයන් විදිහට අපි හැමෝටම හොඳ මිතුරන් අත්‍යවශ්‍යයි. මොකද අපි ජීවත් වෙන්නේ අනිත් අයට කිසිම සෙනෙහසක් නොදක්වන මිනිසුන් ඉන්න කාලයක. හොඳ මිතුරෙකුට පුළුවන් දිගටම යෙහෝවා දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අපිට උදව් කරන්න. (හිතෝපදේශ 27:17) ඒ වගේ මිතුරෙක් වෙන්න ඔයාත් කැමතිද? යොනාතාන්ගෙන් අපි හැමෝටම ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්.

කිසිදා නොබිඳුණු මිතුදමේ රහස

යොනාතාන් සහ දාවිත් අතර මෙතරම් ශක්තිමත් මිත්‍රත්වයක් ඇති වුණේ කොහොමද? ඒක දැනගන්න යොනාතාන්ගේ ජීවිතේ ඔහු මුහුණ දුන්න සිද්ධීන් කිහිපයකට අවධානය දෙමු. මේ වෙද්දී යොනාතාන් ඔහුගේ ජීවිතේ ගොඩක් හැලහැප්පීම්වලට මුහුණ දෙමින් හිටියා. ගෙවී ගිය අවුරුදු ගාණ ඇතුළත ඔහුගේ පියා වන සාවුල් දෙවියන්ගෙන් ටිකෙන් ටික ඈත් වෙමින් හිටියා. කාලයකට කලින් නිහතමානී මෙන්ම දෙවියන්ට විශ්වාසවන්තව සිටි සාවුල් දැන් අහංකාර, උද්දච්ච රජ කෙනෙක් බවට පත් වෙලා.—1 සාමුවෙල් 15:17-19, 26.

යොනාතාන් ඔහුගේ පියාට ඉතා සමීප නිසා සාවුල් රජගේ මේ වෙනස යොනාතාන්ට මහත් වේදනාවක් ගෙන දුන්නා කියලා කිසිම සැකයක් නැහැ. (1 සාමුවෙල් 20:2) තම පියාගේ අහංකාරකම දෙවියන්ගේ සෙනඟට කොහොම බලපායිද? රජුගේ ක්‍රියාකලාපය නිසා සෙනඟටත් දෙවියන්ගේ අනුමැතිය නැති වෙයිද? දවසක් දවසක් පාසා මේ වගේ ප්‍රශ්න යොනාතාන්ගේ හිතට වධ දෙන්න ඇති. යොනාතාන් වගේ දෙවියන්ට විශ්වාසවන්ත කෙනෙක්ට ඒ වගේ තත්වයක් මැද ජීවත් වෙන එක මොන තරම් අමාරු වෙන්න ඇද්ද!

ඒ වගේ කාලෙක යොනාතාන් දාවිත්ට ළං වුණ එක පුදුමයක් නෙමෙයි. මොකද තම පියාට වඩා වෙනස්ව දාවිත්ට යෙහෝවා දෙවියන් ගැන මොන තරම් විශ්වාසයක් තියෙනවාද කියලා ඔහු දැක්කා. ඊශ්‍රායෙල් හමුදාව බයේ වෙවුල වෙවුල ඉද්දී දාවිත් නිර්භීතව ගොලියත් නම් යෝධයා එක්ක සටන් කළා. ගොලියත් මොන තරම් දක්ෂ සටන්කරුවෙක් වුණත් දාවිත්ට ඔහුව මරලා දාන්න පුළුවන් වුණේ දාවිත් යෙහෝවා දෙවියන්ගේ නාමයෙන් සටන් කරපු නිසයි. මේ දේ යොනාතාන්ගේ සිතට තදින්ම කාවැදුණා.—1 සාමුවෙල් 17:45-47.

යොනාතාන්ටත් දාවිත්ට වගේ යෙහෝවා දෙවියන් ගැන ලොකු විශ්වාසයක් තිබුණා. එක් අවස්ථාවකදී යොනාතාන් තමන්ගේ ආයුධ දරන්නා සමඟ පිලිස්තිවරුන්ගේ හමුදා මුරපොළකට පහර දුන්නා. යොනාතාන්ට සහ ඔහුගේ සේවකයාට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වුණේ කොහොමද? ඒකට උත්තරේ යොනාතාන් කිව්ව මේ දෙයින් පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවිට අවශ්‍ය නම් දෙතුන්දෙනෙක් මාර්ගයෙන් වුණත් ගැලවීම ලබා දෙන්න පුළුවන්. විශාල හමුදාවක් අවශ්‍ය නැහැ.” (1 සාමුවෙල් 14:6) මොන තරම් කදිම විශ්වාසයක්ද! යොනාතාන් සහ දාවිත්ට යෙහෝවා දෙවියන් ගැන නොසැලෙන විශ්වාසයක් වගේම ලොකු ආදරයක් තිබුණා. ඔවුන් දෙදෙනා අතර එතරම් ශක්තිමත් මිත්‍රත්වයක් ඇති වුණේ ඒ නිසයි. මේ වෙද්දී යොනාතාන්ට අවුරුදු 50ක් විතර වුණත් දාවිත්ට අවුරුදු 20ක්වත් නැහැ. එක් කෙනෙක් රාජ කුමාරයෙක්, අනිත් කෙනා එඬේරෙක්. ඒත් මේ දෙදෙනා අතර ඇති වුණ මිතුදමට වයස සහ පසුබිම බාධාවක් වුණේ නැහැ.a

මේ මිතුරන් දෙදෙනා ඇති කරගත්ත ගිවිසුම අමාරුම අවස්ථාවලදීත් එකිනෙකාට පක්ෂපාතව ඉන්න උදව් වුණා. ඒ කොහොමද? සාවුල්ගෙන් පස්සේ ඊශ්‍රායෙල්හි රජකම් කරන්න දෙවියන් තෝරාගෙන තියෙන්නේ තමන්වයි කියලා දාවිත් දැනන් හිටියා. දාවිත් ඒ කාරණය යොනාතාන්ගෙන් සැඟෙවුවාද? නැහැ, හොඳ මිතුරන් කවදාවත් එකිනෙකාගෙන් කිසිම දෙයක් සඟවන්නේ නැහැ. එකිනෙකාට බොරු කියන්නෙත් නැහැ. ඊළඟ රජ විදිහට දෙවියන් තෝරාගෙන තියෙන්නේ දාවිත්ව කියලා දැනගත්තාම යොනාතාන්ට හැඟුණේ කොහොමද? සමහරවිට පියාගෙන් පස්සේ රජ වෙලා පියා කරපු හැම දෙයක්ම නිවැරදි කරනවා කියලා යොනාතාන් හිතාගෙන ඉන්න ඇති. ඒත් ඊළඟට රජ වෙන්නේ තමන් නෙමෙයි කියලා දැනගත්තාම එයා දුක් වුණාද? ඒ වගේ දෙයක් බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ වෙනුවට බයිබලයේ කියන්නේ යොනාතාන් පක්ෂපාත, විශ්වාසවන්ත කෙනෙක් කියලයි. දාවිත්ට දෙවියන්ගේ අනුමැතිය තියෙන බව යොනාතාන් තේරුම්ගත්තා. (1 සාමුවෙල් 16:1, 11-13) ඒ නිසා ඔහු දාවිත්ට වුණ පොරොන්දුව අමතක කළේ නැහැ. ඔහු දාවිත්ව සැලකුවේ තමන්ගේ මිතුරා විදිහට මිසක් තමාගෙන් රජකම උදුරගත්ත සතුරෙක් විදිහට නෙමෙයි. මොකද යොනාතාන්ට වැදගත් වුණේ යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත ඉටු වෙනවා දකින එකයි.

යොනාතාන්ට වගේම දාවිත්ට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් සහ ආදරයක් තිබුණා

දෙවියන්ට ආදරේ කරන මිතුරන් ඉන්න එක මොන තරම් ආශීර්වාදයක්ද! වයස, පසුබිම මොකක් වුණත් වැදගත්ම දේ වෙන්නේ ඔවුන් දෙවියන්ට කොතරම් විශ්වාසවන්තද, කොතරම් ආදරෙයිද කියන එකයි. යොනාතාන් සහ දාවිත් බොහෝ අවස්ථාවලදී එකිනෙකාව දිරිගන්වමින් එකිනෙකාව ශක්තිමත් කළා. ඔවුන් අතර තිබුණ බැඳීම දිගටම ශක්තිමත්ව තියාගන්න ඒක අත්‍යවශ්‍යම දෙයක් වුණා. මොකද ඔවුන්ගේ මිත්‍රත්වය පරීක්ෂණයට ලක් වෙන කාලය වැඩි ඈතක තිබුණේ නැහැ.

මිත්‍රත්වය පරීක්ෂණයට ලක් වෙයි

ගොලියත්ව මරා දැමූ පසු දාවිත් ගැන සාවුල්ගේ හිතේ ලොකු අගයක් ඇති වුණා. ඔහු දාවිත්ව ඊශ්‍රායෙල් හමුදාවේ ප්‍රධානියා ලෙස පත් කළේ ඒ නිසයි. ඒත් හැම දෙයක්ම කණපිට හැරෙන්න වැඩි කාලයක් ගත වුණේ නැහැ. ඊර්ෂ්‍යාව කියන භයානක සතුරා කෙමෙන් කෙමෙන් සාවුල්ව යටත් කරගන්න පටන්ගත්තා. දිගින් දිගටම යුධ ජයග්‍රහණ අත් කරගත් දාවිත් සියලුදෙනාගේ ආදරය, ගෞරවය දිනාගත්තා. ඊශ්‍රායෙල් දේශයේ ස්ත්‍රීන් “සාවුල් දහස් ගණන් මැරුවෝය. දාවිත් දසදහස් ගණන් මැරුවෝය” කියා ප්‍රීති ඝෝෂා නඟද්දී සාවුල්ට එය දරාගන්න බැරි වුණා. සාවුල් රජ ඒකට පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. බයිබලයේ සඳහන් වෙන්නේ “එදා පටන් සාවුල් රජ, දාවිත් දෙස සැකෙන් බලන්න පටන්ගත්තේය” කියලයි. (1 සාමුවෙල් 18:7, 9) සාවුල් රජ හිතුවේ දාවිත් ඔහුගේ සිංහාසනය බලෙන් ලබාගනියි කියායි. ඒත් ඒක මොන තරම් මෝඩ සිතුවිල්ලක්ද! සාවුල් රජගෙන් පසුව රජකම හිමි වෙන්නේ තමන්ටයි කියලා දාවිත් දැනගෙන හිටියා. ඒත් දෙවියන් අභිෂේක කළ රජුව මරා දමා සිංහාසනය ලබාගන්න දාවිත් හීනෙකින්වත් හිතුවේ නැහැ.

ඒත් සාවුල් රජ දාවිත්ව කොහොමහරි මරා දමන්න තැත් කළා. ඒ නිසා දාවිත්ව යුද්දෙට යවලා යුධ පිටියේදී ඔහුව මරා දමන්න සාවුල් සැලසුම් යෙදුවා. ඒත් දාවිත් එක පිට එක ජයග්‍රහණ අත් කරගත්තා. දවසින් දවස ඔහු මිනිසුන්ගේ ආදරය දිනාගත්තා. සාවුල්ගේ ඊළඟ සැලසුම මොකක්ද? බයිබලයේ කියන්නේ ඔහු කපටි විදිහට තමන්ගේ ගෙයි වැසියන් සහ සේවකයන්ව යොදාගෙන දාවිත්ව මරා දමන්න සැලසුම් කළා කියලයි. තමන්ගේ පියා මෙතරම් පහත් විදිහට ක්‍රියා කරනවා දකින එක යොනාතාන්ට මොන තරම් වේදනාවක් වෙන්න ඇද්ද? (1 සාමුවෙල් 18:25-30; 19:1) යොනාතාන් කාගේ පැත්ත ගනියිද? යොනාතාන් තමන්ගේ පියාට පක්ෂපාතයි. හැබැයි ඔහු තමන්ගේ මිතුරාටත් පක්ෂපාතී කෙනෙක්. මේ වෙලාවේ තීරණයක් ගන්න එක යොනාතාන්ට මොන තරම් අසීරු දෙයක් වෙන්න ඇද්ද?

යොනාතාන් නිර්භීතව සාවුල් රජට කතා කර මෙහෙම කිව්වා. “රජතුමනි, ඔබේ සේවකයා වන දාවිත්ට විරුද්ධව කටයුතු කරන්න එපා. එය ඇත්තෙන්ම පාපයක්. ඔහු මේ දක්වාම ක්‍රියා කළේ ඔබේ යහපත වෙනුවෙන්. ඔහු ඔබට විරුද්ධව කිසි වරදක් කරලා නැහැ. ඔහු තමන්ගේ ජීවිතය පරදුවට තබා අර පිලිස්තියාට පහර දුන්නා. යෙහෝවා දෙවි එදා ඔහු මාර්ගයෙන් ඊශ්‍රායෙල් සෙනඟට මහත් ගැලවීමක් ලබා දුන්නා. ඔබත් එය දැකලා ගොඩක් සතුටු වුණා නේද? ඉතින් කිසිම හේතුවක් නැතුව ඔබ දාවිත්ව මරලා දාන්න හදන්නේ ඇයි? නිර්දෝෂ මනුෂ්‍යයෙකුගේ ලේ වගුරුවලා ඔබ පාපයක් කරන්න හදන්නේ ඇයි?” හිතපු නැති විදිහට, සාවුල් රජ ඒ වෙලාවේ යොනාතාන් කියපු දේ පිළිගත්තා. දාවිත්ට කිසිම අනතුරක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණා. ඒත් සාවුල් කියන්නේ පොරොන්දුවක් වුණාම ඒක ඉටු කරන විදිහේ කෙනෙක් නම් නෙමෙයි. දාවිත් තව තවත් සාර්ථක වෙනවා දකිද්දී සාවුල්ගේ හිතේ නැවතත් ඊර්ෂ්‍යාව දලු ලන්න පටන්ගත්තා. කේන්තියෙන් පිපුරුණු සාවුල් රජ එක අවස්ථාවක තමන්ගේ හෙල්ලයෙන් දාවිත්ට දමා ගැසුවා. (1 සාමුවෙල් 19:4-6, 9, 10) තමන්ගේ ජීවිතය බේරාගන්න රජමාලිගාවෙන් පලා යනවා හැර වෙන කරන්න දෙයක් දාවිත්ට තිබුණේ නැහැ.

ළැදි වෙන්නේ කාටද කියලා ඔයාටත් කවදා හරි තීරණය කරන්න වෙලා තියෙනවාද? ඒ වගේ වෙලාවට තීරණයක් ගන්න එක ලේසි දෙයක් නෙමෙයි. ඔයා වැඩියෙන්ම ළැදි වෙන්න ඕනෙ ඔයාගේ පවුලේ අයට කියලා ගොඩක් අය කියයි. ඒත් යොනාතාන් කරපු දේ ගැන හිතන්න? තම පියාගේ පැත්ත අරන් දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නිර්දෝෂ කෙනෙක්ව මරා දමන්න ඔහු හිතුවේවත් නැහැ. වෙන කාටත් වඩා ඔහු ළැදි යෙහෝවා දෙවියන්ටයි කියලා යොනාතාන් ක්‍රියාවෙන් පෙන්නුවා. ඒ නිසයි ඔහු පවුලේ අයගේ පැත්ත ගන්නේ නැතුව දාවිත් වෙනුවෙන් කතා කළේ. ඒත් ඒකෙන් යොනාතාන් තම පියාට ද්‍රෝහි වුණා කියලා අදහස් වෙන්නේ නැහැ. මොකද සාවුල් කරන්නේ වරදක් කියලත් දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලත් යොනාතාන් ප්‍රේමණීයව ඔහුට පෙන්නලා දුන්නා. වැරදි පාරක ගිය තම පියාව නිවැරදි කරන්න උත්සාහ කිරීම තුළින් යොනාතාන් තම පියාටත් පක්ෂපාතයි කියලා පෙන්නුවා. යොනාතාන්ගේ පක්ෂපාතකම ආදර්ශයට ගන්න ඔයාටත් පුළුවන්ද?

අසීරුතාවන් හමුවේ දිගටම ළැදිව සිටියා

සාවුල් සහ දාවිත් අතර සමාදානය ඇති කරන්න ගත්ත වෑයම යොනාතාන් අත්හැරලා දැම්මේ නැහැ. ඔහු නැවතත් දාවිත් ගැන සාවුල්ට කතා කළා. ඒත් සාවුල් ඒක තුට්ටුවකටවත් මායිම් කළේ නැහැ. එක් අවස්ථාවක දාවිත් රහසින් යොනාතාන්ව හමු වුණා. ඒ වෙද්දී දාවිත් හිටියේ තමන්ගේ ජීවිතය නැති වෙයි කියන බයෙන්. දාවිත් යොනාතාන්ට මෙහෙම කිව්වා. “කොයි මොහොතේ හරි මගේ ජීවිතය නැති වෙන බව නම් මට විශ්වාසයි.” සාවුල් රජ තාමත් දාවිත්ව මරා දමන්න සැලසුම් කරනවාද කියලා පරීක්ෂා කර දන්වන්නම් කියලා යොනාතාන් දාවිත්ට පොරොන්දු වෙනවා. ඒ අවස්ථාවේදී යොනාතාන් දාවිත්ගෙන් කරන ඉල්ලීමක් ගැන බයිබලයේ වාර්තා වෙනවා. ඔහු දාවිත්ගෙන් මෙහෙම ඉල්ලනවා. “ඔබ කවදාවත් මගේ පවුලේ අයට ප්‍රේමණීයව සලකන්න අමතක කරන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න. යෙහෝවා දෙවි ඔබේ සියලු සතුරන්ව විනාශ කළ පසුත් මගේ පවුලේ අයව ඔබේ පවුලෙන් ඉවත් කරන්නේ නැහැ කියලා මට පොරොන්දු වෙන්න.” දාවිත්ද තමන්ගේ ජීවිතය තියෙන තාක් කල් යොනාතාන්ටත් ඔහුගේ පවුලේ අයටත් ප්‍රේමණීයව සලකන බවට මුළු හදවතින්ම පොරොන්දු වෙනවා.—1 සාමුවෙල් 20:3, 13-27.

යොනාතාන් නැවතත් සාවුල්ව හමු වෙලා දාවිත් ගැන තියෙන වෛරය නැති කරන්න උත්සාහ කරනවා. මේ කතා බහෙන් කුපිත වෙන සාවුල් රජ ‘නුඹ කැරලිකාර පුත්‍රයෙක්, නුඹ වැදූ මවටත් නුඹ ලැජ්ජාවක්’ කියා යොනාතාන්ට බැණවදිනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු යොනාතාන්ව ආත්මාර්ථකාමී විදිහට හිතන්නත් පොලඹවනවා. ඔහු යොනාතාන්ට මෙහෙම කිව්වා. “යෙස්සේගේ පුතා ජීවත් වන තාක් කල් නුඹට නුඹේ රජකම ස්ථිර කරගන්න ලැබෙන්නේ නැහැ.” යොනාතාන්ගේ හිත වෙනස් වෙයිද? ඔහු සාවුල් රජට කියන දේ බලන්න. “ඇයි දාවිත්ව මරන්න හදන්නේ? මොකද්ද ඔහු කළ වරද?” තමන්ගේ මිතුරා වෙනුවෙන් ඔහු තුළ ඇති ආදරය පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ. දැන් සාවුල්ගේ කෝපය දෙගුණ තෙගුණ වෙනවා. මහලු වයසේ හිටියත් ඔහු තවමත් බලවත් රණශූරයෙක්. ඔහු යොනාතාන්ට හෙල්ලයෙන් දමා ගැසුවා. ඔහුගේ ඉලක්කය වැරදුණ නිසා යොනාතාන්ගේ ජීවිතයට හානියක් වෙන්නේ නැහැ. පියාගේ ක්‍රියාකලාපය නිසා මහත් වේදනාවට පත් වුණ යොනාතාන් කේන්තියෙන් එතැනින් පිට වී ගියා.—1 සාමුවෙල් 20:24-34.

තමන් ගැන විතරක් හිතලා වැඩ කිරීමේ උගුලට යොනාතාන් හසු වුණේ නැහැ

ඊළඟ දවසේ උදෑසනින්ම යොනාතාන් තමන්ගේ ආයුධ දරන්නා සමඟ දාවිත් සැඟවිලා සිටි පැත්තට යනවා. තමන්ගේ පියා තවමත් දාවිත්ව මරන්න අදහස් කරගෙන ඉන්නවා කියලා දාවිත්ට දැනුම් දෙන්න යොනාතාන් සැලසුම් කරගත්ත විදිහට ඊතලයක් විදිනවා. තමන්ගේ ආයුධ දරන්නාව පිටත් කර යැව්වාට පස්සේ යොනාතාන්ට දාවිත් සමඟ තනියම කතා කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ අවස්ථාවේ ඔවුන් දෙදෙනාම බොහෝ වේලාවක් හැඬුවා කියලා බයිබලයේ වාර්තා වෙනවා. එදායින් පසුව තම මිතුරාට තැනින් තැනට පලා ගොස් කටුක ජීවිතයක් ගත කරන්න වෙනවා කියලා දැනගෙන ඉන්න එක යොනාතාන්ට ලොකු වේදනාවක් ගෙන දෙන්න ඇති.—1 සාමුවෙල් 20:35-42.

ජීවිතේ මොන අභියෝගයට මුහුණ දෙන්න වුණත් යොනාතාන් තමන්ගේ මිතුරාට තියෙන පක්ෂපාතිකම කවදාවත් අත්හැරියේ නැහැ. ඔහු කවදාවත් තමන් ගැන විතරක් හිතලා වැඩ කළේ නැහැ. ඒත් සාතන්ට ඕනෙ යොනාතාන් ඇතුළු දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරන හැම කෙනෙක්ම සාවුල් වගේ තමන් ගැන විතරක් හිතලා වැඩ කරනවා දකින්නයි. සාතන් ආදම් සහ ඒවව තමන් ගැන විතරක් හිතලා වැඩ කරන්න පෙලඹුවා. (උත්පත්ති 3:1-6) යොනාතාන්වත් ඒ උගුලට හසු කරගන්න සාතන් උත්සාහ කළා. ඒත් ඒ උත්සාහය වතුරේ ගියා. තමන් ගැන විතරක් හිතලා දේවල් කරන්න සාතන් අදත් මිනිසුන්ව පොලඹවනවා. ඒ වගේම අපි වට වෙලා ඉන්නේ ආත්මාර්ථකාමී විදිහට වැඩ කරන මිනිසුන්ගෙන්. (2 තිමෝති 3:1-5) ඒ වුණත් යොනාතාන් වගේ අපිත් අනිත් අය ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙමු.

සාවුල් රජගේ අදහස ගැන දාවිත්ව දැනුවත් කිරීම සඳහා ඊතලයක් විදින්න සූදානම් වෙන යොනාතාන්

දාවිත්ගේ ජීවිතේ තියෙන්නේ අනතුරේ කියලා මේ විශ්වාසවන්ත මිතුරා දාවිත්ට දැනුම් දුන්නා

“ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද!”

දාවිත් ගැන සාවුල්ගේ හිතේ මොන තරම් ඊර්ෂ්‍යාවක් තිබුණාද කියනවා නම් ඔහු වැඩ කළේ පිස්සෙක් වගෙයි. ඊර්ෂ්‍යාව ඔහුගේ හිත වෙළාගෙන අන්තිමට ඔහුව පාලනය කළා. එක අහිංසක මනුෂ්‍යයෙක්ව මරා දමන්න සාවුල් රජ හමුදාවක්ම පිටත් කර යැව්වා. (1 සාමුවෙල් 24:1, 2, 12-15; 26:20) යොනාතානුත් ඒකට හවුල් වුණාද? යොනාතාන් ඒ වගේ දේකට හවුල් වුණා කියලවත් ඒකට සහයෝගය දැක්වුවා කියලවත් බයිබලයේ කොතැනකවත් සඳහන් වෙන්නේ නැහැ. ඒ වගේ දේකට සම්බන්ධ වෙන්න තියා ඒ ගැන හිතන්නවත් යොනාතාන් පෙලඹුණේ නැහැ. මොකද ඔහු යෙහෝවා දෙවියන්ටත්, දාවිත්ටත් දිගටම පක්ෂපාත වුණා. දාවිත්ට වුණ පොරොන්දුවට එකඟව වැඩ කළා.

යොනාතාන්ගේ හිතේ දාවිත් ගැන තිබුණ ආදරය පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඔහු නැවත වතාවක් දාවිත්ව මුණ ගැහෙන්න කැලෑබද ප්‍රදේශයක් වුණ හෝරෙෂ් බලා පිටත් වුණා. හෝරෙෂ් තිබුණේ හෙබ්‍රොන් සිට සැතපුම් කිහිපයක් ගිනිකොන දිශාවට වෙන්නයි. යොනාතාන්ට එතැනට යන්න කඳු තරණය කරගෙන මහා කැලෑ මැද්දෙන් ගමන් කරන්න වුණා. සාවුල් රජගෙන් පලා යන මේ මිනිසාව මුණ ගැහෙන්න යොනාතාන් එච්චර වෙහෙසක් දැරුවේ ඇයි? බයිබලයේ කියන්නේ යොනාතාන්ට ඕනෙ වුණේ ‘දෙවි කෙරෙහි දාවිත් තුළ තිබූ විශ්වාසය ශක්තිමත්’ කරන්න කියලයි. (1 සාමුවෙල් 23:16) මොන තරම් අපූරු මිත්‍රත්වයක්ද!

තමන්ගේ ආදරණීය මිතුරාට යොනාතාන් මෙහෙම කියනවා. “භය වෙන්න එපා. මගේ පියාට කවදාවත් ඔබව අල්ලගන්න ලැබෙන්නේ නැහැ.” යොනාතාන්ට ඒ ගැන ඒ තරම් විශ්වාසයක් තිබුණේ කොහොමද? යෙහෝවා දෙවියන් අරමුණ කළ දෙයක් කවදාවත් ඉටු නොවී තියෙන්නේ නැහැ කියලා ඔහු දැනන් හිටියා. ඊට අවුරුදු ගාණකට කලින් දෙවියන් සාමුවෙල් මාර්ගයෙන් කිව්ව වචන නිසැකවම ඉටු වෙනවා කියලා යොනාතාන් දාවිත්ට මතක් කළා. දාවිත් රජ වුණාට පස්සේ ඔහුට ‘කැමැත්තෙන්ම යටත් වෙනවා’ කියලා යොනාතාන් කියනවා. මොන තරම් නිහතමානී කෙනෙක්ද! තමන්ට වඩා අවුරුදු 30ක් බාල මේ තරුණයාට යටත් වෙලා ඔහු ළඟින්ම ඉඳන් සේවය කරනවා කියලා යොනාතාන් කියනවා. දාවිත් රජ වෙනවා කියන දේ තමන්ගේ ‘පියාත් හොඳාකාරවම දන්නවා’ කියලත් යොනාතාන් කියනවා. (1 සාමුවෙල් 23:17, 18) තමන්ගෙන් පසුව රජ විදිහට දාවිත්ව තෝරාගත්තේ යෙහෝවා දෙවියන් නිසා දෙවියන් තෝරාගත් කෙනාට විරුද්ධ වෙන එක නිෂ්ඵල දෙයක් බව සාවුල් හොඳින්ම දැනන් හිටියා. ඒක දැන දැනත් මේ විදිහට හැසිරෙන එක මොන තරම් අඥානකමක්ද!

දාවිත් සමඟ කතා කරන යොනාතාන්

ජීවිතේ අමාරුම අවස්ථාවලදී පවා යොනාතාන් දාවිත්ට ශක්තියක් වුණා

එදා යොනාතාන් තමන්ව මුණ ගැසුණ අවස්ථාව දාවිත්ගේ හිතෙන් කවදාවත් මැකී ගියේ නැහැ කියලා ස්ථිරයි. මොකද ඔහුව දාවිත්ට මුණ ගැසුණු අවසාන අවස්ථාව එයයි. දාවිත් රජ වුණාට පස්සේ ඔහුගේ ළඟින්ම ඉඳන් ඔහුට සහාය වෙන්න යොනාතාන්ගේ හිතේ තිබුණ ආශාව කවදාවත් ඉටු වුණේ නැහැ.

තමන්ගේ පියා මොන විදිහට ක්‍රියා කළත් දෙවියන්ට සේවය කරන එක යොනාතාන් අතපසු කළේ නැහැ. තම පියා වෙනුවෙනුත් දෙවියන්ගේ සෙනඟ වෙනුවෙනුත් පිලිස්තිවරුන්ට විරුද්ධව යුද්ධ කරන්න ඔහු සාවුල් සමඟ පිටත් වුණා. වෙනදා වගේම යොනාතාන් නොබියව සටන් වැදුණා. ඒත් මේ වෙද්දී සාවුල් දෙවියන්ට විරුද්ධව බොහෝ වැරදි කර තිබුණ නිසා ඔහු දෙවියන්ගේ අනුමැතිය අහිමි කරගෙනයි තිබුණේ. ඔහුගේ හිත මොන තරම් දුෂ්ට තත්වයකට පත් වෙලා තිබුණාද කියනවා නම් මළවුන්ගෙන් විචාරන එක වගේ දෙවියන් පිළිකුල් කරපු දේවල පවා ඔහු නියැලුණා. ඒ නිසා දෙවියන්ගේ ආශීර්වාදය මේ සටනට ලැබුණේ නැහැ. ප්‍රතිඵලයක් විදිහට එන්න එන්නම සටන දරුණු තත්වයට පත් වුණ අතර අන්තිමේදී යොනාතාන් ඇතුළු සාවුල්ගේ පුත්‍රයන් තුන්දෙනෙක් සටනේදී මරණයට පත් වුණා. බරපතළ ලෙස තුවාල ලැබූ සාවුල් රජ තමන්ගේම කඩුව ගෙන ජීවිතය නැති කරගත්තා.—1 සාමුවෙල් 28:6-14; 31:2-6.

“ඔබ ඊශ්‍රායෙල්හි රජ වන බව ස්ථිරයි. මම කැමැත්තෙන්ම ඔබට යටත් වෙනවා” කියලා යොනාතාන් කිව්වා.—1 සාමුවෙල් 23:17

සාවුල් රජ මිය ගිය බව දාවිත්ට ආරංචි වූ විට ඔහුට හැඟුණේ කොහොමද? දාවිත්ට මෙතරම් කාලයක් තැනින් තැනට පලා ගිහින් කටුක ජීවිතයක් ගත කරන්න වුණේ සාවුල් නිසයි. ජීවිතයේ බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුණෙත් සාවුල් නිසයි. ඒත් සාවුල්ගේ මරණය ගැන දැනගත්තාම දාවිත් සතුටු වුණේ නැහැ. බයිබල් වාර්තාවේ කියන්නේ ඔහු යොනාතාන් වෙනුවෙන් වගේම සාවුල් වෙනුවෙනුත් විලාප ගීයක් රචනා කළ බවයි. තම හිතේෂී මිතුරා වෙනුවෙන් දාවිත් ලියූ මේ වදන්වලින් ඔහුගේ හිතේ යොනාතාන් ගැන මොන තරම් ආදරයක් තිබුණාද කියලා පැහැදිලි වෙනවා. “අනේ මගේ සහෝදර යොනාතාන්, මම ඔබ ගැන බොහෝ සෙයින් දුක් වෙමි. ඔබේ මිතුදම මට කොතරම් ප්‍රියද! ඔබ මට දැක්වූ ප්‍රේමය මොන තරම්ද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!”—2 සාමුවෙල් 1:26.

දාවිත් කවදාවත් තමන්ගේ මිතුරාට වුණ පොරොන්දුව අමතක කළේ නැහැ. ඔහු යොනාතාන්ගේ පුතා වුණ මෙෆිබොෂෙත්ව සොයාගෙන ඔහුව රැකබලා ගත්තේ ඒ පොරොන්දුව නිසයි. (2 සාමුවෙල් 9:1-13) යොනාතාන් තමන්ට පෙන්වූ ආදරය, පක්ෂපාතීකම ජීවිතේ තියෙන කල්ම දාවිත්ගේ මතකයේ තියෙන්න ඇති. ඒ වගේම යොනාතාන් තම ජීවිතය පරදුවට තබා අවශ්‍යය හැම මොහොතකදීම පක්ෂපාතව දාවිත්ගේ ළඟින්ම හිටියා, ඔහුව ශක්තිමත් කළා. දාවිත් යොනාතාන්ගෙන් බොහෝ දේවල් ඉගෙනගත් බවට කිසිම සැකයක් නැහැ. අපිටත් යොනාතාන්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. අපි අපේ මිතුරන්ට දෙවියන් ගැන විශ්වාසයක් ඇති කරගන්න උදව් කරනවා නම්, අපි අපේ ජීවිතේ මුල් තැන දෙවියන්ට දෙනවා නම්, අපේ අවශ්‍යතාවයන් ගැන හිතන්න කලින් අනිත් අය ගැන හිතනවා නම් යොනාතාන් වගේ සැබෑ මිතුරෙක් වෙන්න අපිටත් පුළුවන්.

මිත්‍රත්වයක්ද නැත්නම් ඊට එහා ගිය දෙයක්ද?

යොනාතාන් සහ දාවිත් අතර තිබුණේ මිත්‍රත්වයකට එහා ගිය සමලිංගික ඇසුරක් කියලා සමහර විද්වතුන් කියනවා. යොනාතාන් සහ දාවිත් අතර තිබුණේ ඒ වගේ ඇසුරක් කියලා බයිබලයේ තියෙන තොරතුරුවලින් ඇඟවෙනවාද? මේ කරුණු සලකා බලන්න.

  • එයාලා අතර තිබුණේ සමලිංගික ඇසුරක් කියලා ඔප්පු කරන්න යොදාගන්න බයිබල් පදවලින් ඒ වගේ දෙයක් අදහස් වෙන්නේ නැහැ. දාවිත් යොනාතාන් ගැන කිව්ව මේ දේ ගොඩක් අය වැරදි විදිහට වටහාගෙන තියෙනවා. “ඔබ මට දැක්වූ ප්‍රේමය මොන තරම්ද! එය ස්ත්‍රීන්ගෙන් ලද ආදරයටත් වඩා අගනේය!” (2 සාමුවෙල් 1:26) ඒ වගේම යොනාතාන් දාවිත්ව හමු වුණ අවස්ථාවකදී ඔවුන් දෙදෙනා එකිනෙකාව සිපගත්තා කියලා බයිබලයේ සඳහන් වන නිසාත් ඔවුන් අතර තිබුණේ සමලිංගක ඇසුරක් කියලා සමහරු කියනවා. (1 සාමුවෙල් 20:41) ඒත් දාවිත් යොනාතාන් ගැන කියපු දේ නිසාවත් ඔවුන් ක්‍රියා කළ විදිහ නිසාවත් ඔවුන් සමලිංගිකයන් කියලා කියන්න බැහැ. මොකද ඒ කාලේ සංස්කෘතිය අදට වඩා වෙනස්. බයිබල් කාලවලදී පුරුෂයන් දෙදෙනෙක් එසේ සිප වැලඳගැනීම සහ එකිනෙකා ගැන ඒ විදිහේ ප්‍රකාශයන් කිරීම සාමාන්‍යය දෙයක් වුණා. ඒ අය අතරේ සමලිංගික ඇසුරක් තිබුණා කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ.—1 සාමුවෙල් 10:1; 2 සාමුවෙල් 19:39.

  • දෙදෙනාටම භාර්යාවන් සිටි අතර ඔවුන්ට දාව දරුවන් ඉපදුණා. දාවිත්ට භාර්යාවන් කීපදෙනෙක්ම සිටි අතර ඔහුට දාව ඔවුන් දරුවන් බොහෝදෙනෙක් බිහි කළා. (2 සාමුවෙල් 5:13-16) යොනාතාන්ගේ භාර්යාවගේ නම බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ. ඒත් ඔහුට දාව ඉපදුණු මෙෆිබොෂෙත් කියලා පුතෙක් ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඔහුව මෙරිබ්-බාල් කියන නමිනුත් හඳුන්වනවා.—2 සාමුවෙල් 4:4; 1 ලේකම් 8:34.

  • යොනාතාන්ට සහ දාවිත්ට දෙවියන් දීලා තිබුණ නීති ගැන ලොකු ගෞරවයක් තිබුණා. යොනාතාන් සහ දාවිත් දෙවියන්ට විශ්වාසවන්ත, දෙවියන්ට ආදරය කළ සේවකයන්. ඒ වගේම ඔවුන් දෙදෙනා එකිනෙකා අතර ගිවිසුමක් ඇති කරගත්තෙත් “යෙහෝවා දෙවිගේ නාමයෙන්.” (1 සාමුවෙල් 20:41, 42) දෙදෙනාටම එයාලගේ ජීවිතේ වැදගත්ම දේ වුණේ යෙහෝවා දෙවියන්ව සතුටු කරන එකයි, ඔහුට කීකරු වෙන එකයි. යොනාතාන් සහ දාවිත් අතර ශක්තිමත් බැඳීමක් ඇති වුණෙත් යෙහෝවා දෙවියන් නිසයි. දෙවියන්ගේ නීතියේ පැහැදිලිවම කියලා තිබුණා සමලිංගික ක්‍රියා ඇතුළු දුරාචාරයට සම්බන්ධ හැම දෙයක්ම දෙවියන් පිළිකුල් කරනවා කියලා. (ලෙවී කතාව 18:22; 20:13) එහෙමනම් දෙවියන් ගැන ලොකු භක්තික් තිබුණ, දෙවියන් දීලා තිබුණ නීති ගැන ලොකු ගෞරවයක් තිබුණ ඒ පුරුෂයන් දෙදෙනා දැන දැනම දෙවියන් පිළිකුල් කරන දෙයක නියැලෙයි කියලා හිතන්නවත් පුළුවන්ද?

යොනාතාන් සහ දාවිත් අතර තිබුණේ සමලිංගික ඇසුරක් කියලා බයිබලයේ සඳහන් දේවලින් අදහස් වෙන්නේ නැහැ කියලා පැහැදිලියි. ඒ වගේ අදහසක් ඔප්පු කරන්න බයිබලයේ තියෙන තොරතුරු විකෘති කර පෙන්වීම දේවවචනයේ ලියා ඇති දේ ඉක්මවා යෑමක්.

a බයිබලයේ මුල්ම වතාවට යොනාතාන් ගැන සඳහන් කරද්දී ඔහු සාවුල්ගේ හමුදාවේ ප්‍රධානියෙක් විදිහට කටයුතු කළා. ඒ නිසා ඒ වෙද්දී ඔහුගේ වයස අඩුම තරමින් අවුරුදු 20ක්වත් වෙන්න ඕනේ. (ගණන් කතාව 1:3; 1 සාමුවෙල් 13:2) ඒ සාවුල් රජගේ පාලන කාලයේ මුල් අවධියයි. සාවුල් අවුරුදු හතළිහක් රජකම් කළා. ඒ අනුව බලද්දී සාවුල් මිය යන විට යොනාතාන්ගේ වයස අවුරුදු 60ක්වත් වෙන්න ඕනේ. සාවුල් මිය යද්දී දාවිත්ට වයස අවුරුදු 30යි. (1 සාමුවෙල් 31:2; 2 සාමුවෙල් 5:4) එහෙම බලද්දී යොනාතාන් දාවිත්ට වඩා අවුරුදු 30ක් විතර වැඩිමල් කියලා හිතන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න