යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කලින් එයාලාගේ ආගමට අයිති වෙලා හිටිය අයට සලකන්නේ කොහොමද?
අපි හැමෝටම ආදරයෙන්, ගෞරවයෙන් සලකන්න ලොකු උත්සාහයක් ගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නමස්කාරය පැත්තෙන් ගොඩක් දුර්වල වෙලා නම් එහෙම නැත්නම් දෙවියන්ට නමස්කාර කරන එක සම්පූර්ණයෙන්ම නතර කරලා නම් අපි එයාට ආයෙත් නමස්කාරයේ දේවල් හොඳින් කරන්න ආදරෙන් උදව් කරනවා.—ලූක් 15:4-7.
හැබැයි සමහර අවස්ථාවලදී කෙනෙක් කරන දේවල් නිසා එයාව සභාවෙන් අයින් කරන්න වෙනවා. (1 කොරින්ති 5:13) ඒත් එයාව සභාවෙන් අයින් කරන තැනට යන්නේ නැතුව ඉන්න අපි එයාට පුළුවන් උපරිමයෙන් උදව් කරනවා. ඒ අපිට එයා ගැන තියෙන ආදරේ නිසයි. ඒ කෙනාව සභාවෙන් අයින් කරන්න සිද්ධ වුණත් බයිබලේ කියලා තියෙන විදිහට අපි එයාට දිගටම ආදරයෙන්, ගෞරවයෙන් සලකනවා.—මාක් 12:31; 1 පේතෘස් 2:17.
කෙනෙක්ව සභාවෙන් අයින් කරන්නේ ඇයි?
බයිබලේ කියන්නේ ක්‍රිස්තියානියෙක් බරපතළ වැරැද්දක් කරලා ඒ වැරැද්ද හදාගන්නේ නැත්නම් එයාව සභාවෙන් අයින් කරන්නa කියලයි. (1 කොරින්ති 5:11-13) ඒ වගේ බරපතළ වැරදි මොනවාද කියලා බයිබලේ සඳහන් වෙලා තියෙනවා. උදාහරණෙකට අනාචාරය, බේබදුකම, මිනී මරන එක, ගෘහස්ථ හිංසනය සහ හොරකම වගේ දේවල්.—1 කොරින්ති 6:9, 10; ගලාති 5:19-21; 1 තිමෝති 1:9, 10.
හැබැයි කෙනෙක් බරපතළ වැරැද්දක් කළා කියලා එයාව සභාවෙන් අයින් කරන්න අපි හදිස්සි වෙන්නේ නැහැ. මුලින්ම සභාවේ වැඩිමහල්ලන්b එයාගේ වරද හදාගන්න එයාට උදව් කරනවා. (රෝම 2:4) එයාලා ඒක කරන්නේ ලොකු ආදරේකින්. (ගලාති 6:1) වරද කරපු කෙනාට එයාගේ වරදේ බරපතළකම තේරුම් අරන් ඒ ගැන පසුතැවිලි වෙන්න සමහරවිට ඒක උදව් වෙයි. (2 තිමෝති 2:24-26) හැබැයි කීප සැරයක්ම එහෙම උදව් කරලත් ඒ කෙනා දිගින් දිගටම ඒ වරද කරනවා නම්? පසුතැවිලි වෙන්නෙත් නැත්නම්? එතකොට තමයි එයාව සභාවෙන් අයින් කරන්නේ. ඒ වගේ අවස්ථාවකදී ඒ කෙනා තවදුරටත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නෙමෙයි කියලා වැඩිමහල්ලන් සභාවට නිවේදනයක් කරනවා.
වැඩිමහල්ලන් වරදක් කරපු කෙනෙක්ට වෙනස් වෙන්න උදව් කරන්නේ හරිම ආදරෙන්
ඒත් කෙනෙක්ව සභාවෙන් අයින් කරන එකේ අරමුණ මොකක්ද? දෙවියන්ගේ ප්‍රමිතිවලට එකඟව සභාව ශුද්ධව තියාගන්නත් වරද කරපු කෙනාගේ නරක බලපෑමෙන් සභාවේ ඉන්න අයව ආරක්ෂා කරගන්නත් ඒක උදව් වෙනවා. (1 කොරින්ති 5:6; 15:33; 1 පේතෘස් 1:16) අනිත් අතට වරද කරපු කෙනාත් එයාගේ වරදේ බරපතළකම තේරුම් අරන් ජීවිතේ වෙනස් කරගන්න පෙලඹෙන්න පුළුවන්.—හෙබ්‍රෙව් 12:11.
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සභාවෙන් අයින් කරපු කෙනෙක්ට සලකන්නේ කොහොමද?
බයිබලේ ක්‍රිස්තියානීන්ට කියනවා ඒ වගේ කෙනෙක්ගෙන් “අයින් වෙන්න” කියලා. ඒ වගේම ඒකේ කියනවා “ඒ වගේ කෙනෙක් එක්ක කෑම කන්නවත් එපා” කියලා. (1 කොරින්ති 5:11) ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සභාවෙන් අයින් කරපු කෙනෙක්ව කිට්ටුවෙන් ආශ්‍රය කරන්නේ නැහැ. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ අපි එයාව කොහොමටවත් ගණන් ගන්නේ නැහැ කියන එක නෙමෙයි. අපි දිගටම එයාට ගෞරව කරනවා. අපේ රැස්වීම්වලට එන්නත් එයාට අවස්ථාව තියෙනවා. එතනදී සමහර අය එයාට “ඔයා ආපු එක ලොකු සතුටක්” කියලා නැත්නම් “හලෝ” කියලා කෙටියෙන් සුබ පතන්නත් ඉඩ තියෙනවා.c සභාවෙන් අයින් කරපු කෙනා ආයෙත් සභාවට එන්න කැමති නම් ඒකට වැඩිමහල්ලන්ගෙන් උදව් ඉල්ලන්නත් එයාට පුළුවන්.
සභාවෙන් අයින් කරපු ඕනෙම කෙනෙක්ට අපේ රැස්වීම්වලට එන්න පුළුවන්
කෙනෙක්ව සභාවෙන් අයින් කළත් එයාගේ සැමියා, බිරිඳ, දරුවන් තාමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නම්? එයා පවුලේ අයත් එක්ක එකතු වෙලා නමස්කාරයේ දේවල් කළේ නැති වුණත් එයාගේ පවුල් බැඳීම් නැති වෙන්නේ නැහැ. එයාලා එකම ගෙදර ඉන්න නිසා පවුලේ හැමෝම එකිනෙකාට දිගටම ආදරෙන් සලකනවා.
සභාවෙන් අයින් කරපු කෙනෙක්ට පුළුවන් එයාව ඇවිත් හම්බ වෙන්න කියලා වැඩිමහල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්න. ඒ වගේ අවස්ථාවලදී වැඩිමහල්ලන් බයිබලෙන් දිරිගැන්වීමක් දීලා, එයාට එයාගේ වැරදි ගැන පසුතැවිලි වෙලා ආයෙත් දෙවියන්ට ළං වෙන්න උදව් කරනවා. එයාලා ඒ දේ කරන්නේ ආදරෙන්. (සෙකරියා 1:3) සභාවෙන් අයින් කරපු කෙනා එයාගේ වැරදි හදාගෙන ආපහු දෙවියන් බලාපොරොත්තු වෙන විදිහට එයාගේ ජීවිතේ ගත කරන්න උත්සාහ කරනවා නම් වැඩිමහල්ලන් එයාව සභාවට පිළිගන්නවා. එතකොට සභාවේ අයත් “එයාට හදවතින්ම සමාව දීලා එයාව සනසනවා.” අතීතයේ කොරින්ති සභාවේ හිටපු අයත් පසුතැවිලි වුණ කෙනෙක්ව සභාවට ආයෙත් පිළිගත්තාම කළේ ඒකමයි.—2 කොරින්ති 2:6-8.
කලින් සභාවෙන් අයින් කරලා හිටපු අයට දැන් හැඟෙන්නේ කොහොමද?
කලින් සභාවෙන් අයින් කළත් පස්සේ දෙවියන්ට ආයෙත් ළං වෙන්න තීරණය කරපු යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කීපදෙනෙක්ගේ අදහස් දැනගන්න.
“මං අවුරුදු ගාණක්ම සභාවෙන් අයින් වෙලා හිටපු කෙනෙක්. ඉතිං මං සභාවට ආයෙත් එන්න තීරණය කළාම මං හිතුවේ වැඩිමහල්ලෝ ඒ අවුරුදු ගාණ පුරාම මං කරපු හැම දෙයක්ම හාරහාර අහයි කියලා. හැබැයි එයාලා කිව්වේ ‘පහුගිය කාලේ වුණ දේවල් ගැන නෙමෙයි, ඔයා ඉස්සරහට කරන්න යන දේවල් ගැන හිතන්න’ කියලයි. ඒ වචන ඇහුවාම මට පුදුම සැනසීමක් දැනුණේ.”—මරියා, එක්සත් ජනපදය.
“මං ආයෙත් එන කල් සභාවේ අය බලාගෙන හිටියේ. එයාලට මාව කොච්චර වටිනවාද කියලා මට දැනුණා. සහෝදර සහෝදරියන් වැඩ කරපු විදිහ නිසා මට දැනුණා යෙහෝවා දෙවියන් වගේම එයාලත් මට සමාව දීලයි තියෙන්නේ කියලා. ඒක මට උදව් වුණා ඉස්සරහා ගැන හිතන්න. දෙවියන් එක්ක ආයෙත් ශක්තිමත් බැඳීමක් ඇති කරගන්න වැඩිමහල්ලොත් මට උදව් කළා. එයාලා මට නිතරම කිව්වා ‘දෙවියන්ට ඔයාව තාමත් වටිනවා, ඔහු ඔයාට ගොඩක් ආදරෙයි’ කියලා.”—මැල්කම්, සියරා ලියොන්.
“යෙහෝවා ඔහුගේ සෙනඟට හුඟක් ආදරේ නිසයි ඔහුගේ සංවිධානයත් පවිත්‍රව තියාගන්නේ. පිට ඉඳන් බලද්දී සමහර අයට හිතෙන්න පුළුවන් සභාවෙන් අයින් කරන එක හරි නපුරු දෙයක් කියලා. හැබැයි ඒ සැලැස්ම පිටිපස්සේ තියෙන්නේ ආදරේ. ඒ නිසා ඇත්තටම ඒක වෙන්න ඕනේ. මගේ දෙවියන් සමාව දෙන ආදරණීය කෙනෙක්. ඒ ගැන මං හැම දවසකම ඔහුට ස්තුති කරනවා.”—සැන්ඩි, එක්සත් ජනපදය.
a කලින් අපි ඒ වගේ අයව සභා සාමාජිකත්වයෙන් ඉවත් කරපු අය විදිහට හැඳින්නුවා. ඒත් දැන් අපි ඒ අයට කියන්නේ සභාවෙන් අයින් කරපු අය කියලා. එහෙම තමයි බයිබලෙත් ඒ අයව හඳුන්වන්නේ.
b වැඩිමහල්ලන් කියන්නේ දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න, අද්දැකීම් තියෙන පුරුෂයන්. එයාලා බයිබලේ තියෙන දේවල් උගන්නනවා වගේම සභාවේ ඉන්න අයව ආදරෙන් රැකබලා ගන්නවා. ඒ දේ කරනවාට එයාලට කිසිම ගෙවීමක් කරන්නේ නැහැ.—1 පේතෘස් 5:1-3.
c සමහරු කොච්චර නරක විදිහට වැඩ කරනවාද කිව්වොත් එයාලා සභාවෙන් අයින් වුණාට පස්සේ සභාවට හානියක් වෙන දේවල් කරනවා විතරක් නෙමෙයි සභාවේ ඉන්න අයවත් අධෛර්යය කරනවා. වැරදි දේවල් කරන්න එයාලා සභාවේ අයව පොලඹවන්න උත්සාහ කරන්නත් පුළුවන්. ඒ වගේ කෙනෙක්ට “සුබ පතන්නවත්” එපා කියලා බයිබලේ කියනවා.—2 යොහන් 9-11.