ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ වෙන එක සුදුසුද?
අද ලෝකේ පුරාම ක්‍රිස්තියානීන් කියලා කියාගන්න ගොඩක් අය දේශපාලනයට සම්බන්ධ වෙලා තියෙනවා. හුඟක් අය තමන්ගේ ආගමික විශ්වාසයන්ට සහයෝගය දෙන දේශපාලන නායකයන්ට, පක්ෂවලට ඡන්දේ දෙනවා. එයාලා එහෙම කරන්නේ තමන්ගේ ආගමික විශ්වාසයන්, තමන් පිළිගන්නා සදාචාර ප්‍රමිති ඒ මාර්ගයෙන් ප්‍රචාරය කරවන්නයි. අනිත් අතට මිනිස්සුන්ගේ ඡන්ද ගන්න ඕනෙ නිසා සදාචාරය පිරිහිලා තියෙන විදිහ, සමාජයේ තියෙන ප්‍රශ්න එයාලා අතකොළුවක් කරගන්නවා. අද ආගමික නායකයනුත් දේශපාලනයට හවුල් වෙලා මිනිස්සුන්ගෙන් ඡන්ද ඉල්ලන එක සාමාන්‍ය දෙයක් වෙලා. ඒ වගේම සමහර රටවල්වල බලධාරීන් ක්‍රිස්තියානි කියලා කියාගන්න ආගමක් ඒ රටේ ප්‍රධාන ආගම විදිහට නම් කරලා ඒකට විශේෂ අනුග්‍රහයක් දක්වලා තියෙනවා.
අද සිද්ධ වෙන ඒ වගේ දේවල් ගැන ඔයා මොකද හිතන්නේ? යේසුස්ගේ සැබෑ අනුගාමිකයන් දේශපාලනයට හවුල් වෙන එක හරිද? ඒක තේරුම්ගන්න යේසුස්ගේ ආදර්ශය අපිට උදව් වෙනවා. යේසුස් මෙහෙම කිව්වා. “මා ඔබට කළා වගේ ඔබත් කළ යුතුයි. ඔබට අනුගමනය කරන්න මම තබන ආදර්ශය එයයි.” (යොහන් 13:15) දේශපාලනයට සම්බන්ධ කාරණාවලදී යේසුස් අපිට තිබ්බේ මොන වගේ ආදර්ශයක්ද කියලා දැන් අපි බලමු.
යේසුස් දේශපාලනයට හවුල් වුණාද?
නැහැ. ඔහු කිසිම දේශපාලන පක්ෂයකට සහයෝගය දුන්නේවත් ඒවාට හවුල් වුණේවත් නැහැ.
යේසුස් බලතල, තනතුරු පස්සේ ගියේ නැහැ. එක අවස්ථාවකදී “ලෝකයේ සියලු රාජ්‍යයන්” පෙන්නලා සාතන් ඒවා යේසුස්ට දෙන්න හදද්දී ඔහු ඒවා ප්‍රතික්ෂේප කළා. (මතෙව් 4:8-10)a තවත් අවස්ථාවක වුණ දෙයක් බලන්න. නායකයෙක් ගාව තියෙන්න ඕනෙ හැම ලක්ෂණයක්ම යේසුස් ගාව තියෙනවා කියලා දැක්කාම මිනිස්සු ඔහුව පාලකයෙක් විදිහට පත් කරන්න හැදුවා. ඒ ගැන බයිබලේ මෙහෙම කියනවා. “ඔවුන් එකතු වී ඔහුව අල්ලාගෙන රජකමට පත් කිරීමට අදහස් කරගෙන සිටින බව තේරුම්ගත් යේසුස්, එතැනින් පිටත් වී නැවතත් තනිව කන්දට ගියේය.” (යොහන් 6:15) ඒත් ඔහු කිසිම විදිහකින් මිනිස්සුන්ගේ කැමැත්තට ඉඩ දුන්නේ නැහැ.
යේසුස් පැති ගත්තේ නැහැ. උදාහරණෙකට යේසුස්ගේ කාලේ හිටපු යුදෙව්වන් රෝම ආණ්ඩුවට බදු මුදල් ගෙවන එක හරිම අසාධාරණ දෙයක් විදිහටයි සැලකුවේ. ඒ නිසා බදු ගෙවන්න එයාලා පොඩ්ඩක්වත් කැමැති වුණේ නැහැ. ඒ ගැන යේසුස් මොනවාද හිතන්නේ කියලා දැනගන්න එයාලා යේසුස්ගෙන් ප්‍රශ්න ඇහුවා. ඒ වෙලාවේ යේසුස් එයාලා එක්ක වාද කරන්න ගියේ නැහැ. ඒ වෙනුවට ඔහු එයාලට මෙහෙම කිව්වා. “සීසර්ට අයිති දේ සීසර්ටත් දෙවිට අයිති දේ දෙවිටත් දෙන්න.” (මාක් 12:13-17) යේසුස් දේශපාලන කාරණාවලදී කිසිම පැත්තක් ගත්තේ නැතත් බදු ගෙවන්න කියන නීතිය දැම්මේ රෝම අධිරාජ්‍යයා වන සීසර් කියලා ඔහු දැනන් හිටියා. ඒ නිසා ඒ නීතියට කීකරු වෙන්න ඕනෙ කියලා ඔහු තමන්ගේ අනුගාමිකයන්ට පැහැදිලි කළා. ඒත් එක්කම යේසුස් තවත් වැදගත් දෙයක් මතක් කළා. ඒ තමයි සැබෑ ක්‍රිස්තියානීන් පාලකයන්ට කීකරු වෙන්න ඕනෙ වුණත් ඒකට සීමාවක් තියෙනවා කියන එක. මොකද අපි කවදාවත් දෙවියන්ට දෙන්න ඕනෙ තැන වෙන කිසිම දේකට දෙන්නේ නැහැ. දෙවියන් අකමැති දෙයක් කරන්න කියලා පාලකයන් අපිට බල කළත් අපි ඒකට කීකරු වෙන්නෙත් නැහැ.—මතෙව් 4:10; 22:37, 38.
යේසුස් සහයෝගය දුන්නේ ස්වර්ගයේ තියෙන ආණ්ඩුවට. ඒ කියන්නේ දේවරාජ්‍යයට. (ලූක් 4:43) යේසුස් දැනන් හිටියා මිනිස් ආණ්ඩුවලට මේ පොළොවේ යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත ඉටු කරන්න බැහැ කියලා. ඒක කරන්න පුළුවන් දේවරාජ්‍යයට විතරයි. (මතෙව් 6:10) ඒ නිසයි ඔහු මිනිස් ආණ්ඩුවලට සහයෝගය දුන්නේ නැත්තේ. දේවරාජ්‍යයේ වැඩ ඉටු කරන්න දෙවියන් කවදාවත් මිනිස් ආණ්ඩු පාවිච්චි කරන්නේ නැහැ කියලත් යේසුස් දැනන් හිටියා. ඒ වෙනුවට ඔහු තේරුම්ගත්තා දේවරාජ්‍යය මේ පොළොවේ තියෙන හැම ආණ්ඩුවක්ම විනාශ කරනවා කියලා.—දානියෙල් 2:44.
මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් දේශපාලනයට හවුල් වුණාද?
නැහැ. “මේ ලෝකයේ මිනිසුන්ට සමාන” වෙන්න එපා කියලා යේසුස් දුන්න අණට එයාලා කීකරු වුණා. (යොහන් 15:19) එයාලා යේසුස්ව කිට්ටුවෙන්ම ආදර්ශයට ගත්තා. ඒ නිසා එයාලත් දේශපාලනයට කිසිම විදිහකින් සම්බන්ධ වුණේ නැහැ. (යොහන් 17:16; 18:36) යේසුස් වගේම එයාලගේ ජීවිතෙත් වැදගත්ම දේ වුණේ ශුභාරංචිය මිනිස්සුන්ට දේශනා කරන එක සහ අනිත් අයට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන එක.—මතෙව් 28:18-20; ක්‍රියා 10:42.
මුල් සියවසේ ක්‍රිස්තියානීන් ජීවිතේ මුල් තැන දුන්නේ යෙහෝවා දෙවියන්ට. හැබැයි උසස් බලධාරීන්ටත් ගෞරව කරන්න ඕනෙ කියලා එයාලා තේරුම් අරන් හිටියා. (ක්‍රියා 5:29; 1 පේතෘස් 2:13, 17) ඒ නිසා බලධාරීන් දාපු නීතිවලට එයාලා කීකරු වුණා. නියම කරපු බදු මුදල් ගෙව්වා. (රෝම 13:1, 7) ඇත්ත, මුල් ක්‍රිස්තියානීන් දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ තමයි. හැබැයි සමහර අවස්ථාවලදී ආණ්ඩුවෙන් ලැබුණු ආරක්ෂාව වගේම වෙනත් සේවාවලිනුත් එයාලා ප්‍රයෝජන ගත්තා.—ක්‍රියා 25:10, 11; ෆිලිප්පි 1:7.
අද ඉන්න සැබෑ ක්‍රිස්තියානීන්
අපි බලපු තොරතුරුවලින් පැහැදිලි වෙනවා යේසුස්වත් මුල් ක්‍රිස්තියානීන්වත් කිසිම විදිහකින් දේශපාලනයට සම්බන්ධ වුණේ නැහැ කියලා. ඒ නිසා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවනුත් කිසිම විදිහකින් දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැහැ. මුල් ක්‍රිස්තියානීන් වගේ එයාලත් යේසුස්ගේ අණට කීකරු වෙලා ශුභාරංචිය පුළුවන් තරම් දෙනෙක්ට දේශනා කරන්න එයාලගේ ජීවිතේ මුල් තැන දෙනවා.—මතෙව් 24:14.
a සාතන් මේ ලෝකේ රාජ්‍යයන් යේසුස්ට පෙන්නද්දී එහෙම කරන්න සාතන්ට අයිතියක් නැහැ කියලා යේසුස් කිව්වේ නැහැ. ඒ වගේම තවත් අවස්ථාවක යේසුස් සාතන්ව “ලෝකයේ පාලකයා” විදිහටත් හැඳින්නුවා.—යොහන් 14:30.