ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mrt 22 ලිපිය
  • වසංගතය නිසා ඔයා හෙම්බත් වෙලාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වසංගතය නිසා ඔයා හෙම්බත් වෙලාද?
  • තවත් ලිපි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • වසංගතය නිසා මනසට ලොකු පීඩනයක් දැනෙන්නේ ඇයි?
  • පීඩනයක් දැනෙන එක බරපතළ ඇයි?
  • දැනෙන පීඩනය අඩු කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?
  • මනසට සහනයක් වෙන බයිබල් පද
  • වසංගතයට කලින් තිබුණ ජීවිතේ ආයේ අපිට ලැබෙයිද?
    තවත් ලිපි
  • අසනීපවලට දේවරාජ්‍යයෙන් විසඳුමක්!
    තවත් ලිපි
  • වේදනාවෙන් හිටියත් අනිත් අයව සැනසුවා
    අද්දැකීම්
  • අලුත් විදිහට සාක්ෂි දරන්න වසංගතය බාධාවක් වුණේ නැහැ
    අද්දැකීම්
තව තොරතුරු
තවත් ලිපි
mrt 22 ලිපිය
පුටුවක වාඩි වෙලා ඉන්න කෙනෙක්ගේ අතේ වාහනේ යතුරයි මාස්ක් එකකුයි තියෙනවා.

වසංගතය නිසා ඔයා හෙම්බත් වෙලාද?

කොරෝනා වසංගතයත් එක්ක ඔට්ටු වෙලා ඔයාට දැන් එපා වෙලාද? එහෙමනම් ඒ විදිහට දැනෙන එකම කෙනා ඔයා විතරක් නෙවෙයි. කොරෝනා වසංගතය නිසා මාස ගාණක් තිස්සේ ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන්ට එයාලා ජීවත් වෙන විදිහ වෙනස් කරගන්න වෙලා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපයේ කලාපීය අධ්‍යක්ෂක වෛද්‍ය හාන්ස් ක්ලූජ් මෙහෙම කියනවා. “කොරෝනා වසංගතය පැතිරෙන එක නවත්තන්න හැමෝම වගේ ගොඩක් කැප කිරීම් කරලා තියෙනවා. ඒ වගේ තත්වයකදී හැම දේම එපා වෙලා කලකිරීමක් ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.”

කොරෝනා වසංගතය නිසා ඔයාත් ඉන්නේ හෙම්බත් වෙලා නම් දුක් වෙන්න එපා. මේ අමාරු තත්වයට හොඳින් මුහුණ දෙන්න හුඟදෙනෙක්ට බයිබලේ තියෙන දේවල් උදව් වෙලා තියෙනවා. ඒවා ඔයාටත් උදව් වෙයි.

  • වසංගතය නිසා මනසට ලොකු පීඩනයක් දැනෙන්නේ ඇයි?

  • පීඩනයක් දැනෙන එක බරපතළ ඇයි?

  • දැනෙන පීඩනය අඩු කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

  • මනසට සහනයක් වෙන බයිබල් පද

වසංගතය නිසා මනසට ලොකු පීඩනයක් දැනෙන්නේ ඇයි?

වසංගතයත් එක්කම ජීවිතේ හුඟක් දේවල් වෙනස් වුණු නිසා සහ ඉස්සරහට මොන වගේ දේවල්වලට මුහුණ දෙන්න වෙයිද කියලා හිතාගන්න බැරි නිසා හුඟක් අයගේ මනසට ලොකු පීඩනයක් දැනෙනවා. එහෙම දැනෙන එක සාමාන්‍යයි. ඒක ලෙඩක් නෙවෙයි. එක් එක් කෙනා වසංගතයට මුහුණ දෙන විදිහ වෙනස් වුණත් සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙක්ට මේ වගේ දේවල් වෙන්න පුළුවන්.

  • කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැහැ

  • කන බොන, නිදාගන්න පුරුදු වෙනස් වෙලා

  • ඉක්මනට කේන්ති යනවා

  • කලින් හොඳට කරපු දේවල් දැන් බරක් වෙලා

  • එක දිගට අවධානය දෙන්න බැහැ

  • මොනවා කළත් වැඩක් නැහැ කියලා හිතෙනවා

පීඩනයක් දැනෙන එක බරපතළ ඇයි?

වසංගතයට මුහුණ දෙද්දී දැනෙන පීඩනය නිසා ඔයාටයි අනිත් අයටයි ඒකෙන් නරකක් වෙන්න පුළුවන්. ඔයාට දැනෙන පීඩනය අඩු කරගන්න මුකුත්ම කළේ නැත්නම් කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්න කරන්න ඕනෙ දේවල් කරන එක ඔයා නවත්වන්න ඉඩ තියෙනවා. ඒ වයිරසය දිගට හරහට පැතිරුණත් ඒකෙන් මිනිස්සු මැරුණත් කාලයක් යද්දී ඒ ගැන කිසි ගාණක් නැති වෙන්න පුළුවන්. අන්තිමේදී නීතිරීතිවලටයි ගෙදරටයි කොටු වෙලා ඉඳලා එපා වෙලා තමන්ගේ ජීවිතේ වගේම අනිත් අයගේ ජීවිතත් අනතුරේ දාන විදිහට වැඩ කරන්න ඉඩ තියෙනවා.

මේ වගේ අමාරු කාලයකට මුහුණ දෙද්දී බයිබලේ කියන මේ දේ ඇත්ත කියලා හුඟක් අය තේරුම් අරන් තියෙනවා. “දුක් කරදර පැමිණෙන විට ඔබ අධෛර්යයට පත් වන්නේ නම් ඔබේ ශක්තිය හීන වන්නේය.” (හිතෝපදේශ 24:10) අධෛර්යය වෙන දේවල් සිද්ධ වෙද්දී ඒවා දරාගන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලේ තියෙනවා. මේ වසංගතයටත් හොඳින් මුහුණ දෙන්න ඒවා ඔයාට උදව් වෙයි.

දැනෙන පීඩනය අඩු කරගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

  • මුණගැහෙන්න බැරි වුණා කියලා බැඳීම් නැති කරගන්න එපා

    බයිබලයේ මෙහෙම කියනවා. “සැබෑ මිතුරෙක් . . . විපතකදී උපකාර කරන්න ඉපදුණු සහෝදරයෙකි.”—හිතෝපදේශ 17:17.

    ඒක වැදගත් ඇයි? හොඳ යාළුවෝ නිසා අපි දිරිගැන්වෙනවා. (1 තෙසලෝනික 5:11) හැබැයි දිගටම අනිත් අයගෙන් ඈත් වෙලා හිටියොත් අපි ලෙඩ වෙන්න පුළුවන්.—හිතෝපදේශ 18:1.

    මෙහෙම කරලා බලන්න. ඔයාගේ යාළුවන්ට නිතරම වගේ ෆෝන් කෝල් එකකින්, වීඩියෝ කෝල් එකකින් කතා කරන්න. එහෙමත් නැත්නම් ඊ-මේල් එකක්, මෙසේජ් එකක් යවන්න. ඔයාගේ මනසට පීඩනයක් දැනෙන දවස්වලදී විශේෂයෙන් එහෙම කරන්න. ඒ වගේම එයාලත් හොඳින් ඉන්නවාද කියලා නිතරම හොයලා බලන්න. වසංගතයට හොඳින් මුහුණ දෙන්න ඔයාට උදව් වුණු දේවල් යාළුවන් එක්කත් බෙදාගන්න. එයාලා වෙනුවෙන් පුංචි දෙයක් හරි කරන්න ඔයා වෙලාව හොයාගන්නවා නම් ඒකෙන් ඔයාට දැනෙන පීඩනයත් අඩුවෙයි.

    සමහර අය කියන දේ

    මේගන්.

    “සමහර වෙලාවට මං යාළුවෙක්ට වීඩියෝ කෝල් එකක් අරන් ටිකක් තනියම කතා කරකර ඉන්නවා. තවත් වෙලාවට යාළුවොත් එක්ක වීඩියෝ කෝල් එකකින් එකතු වෙලා ගේම් එකක් කරලා විනෝද වෙනවා. එහෙමත් නැත්නම් ටිකක් කතා කරකර ඉන්නවා. ඒක හම්බ වෙලා කතා කරනවා වගේම නෑ තමයි. ඒත් ඒකෙනුත් ලොකු සතුටක් ලැබෙනවා. මේ වසංගතය නිසා අපි හැමෝගෙම හිතට ලොකු බරක් දැනෙනවා. ඒ බර සැහැල්ලු කරගන්න නං අපිට ඇත්තටම දැනෙන විදිහ අපි යාළුවන්ට කියන්න ඕනේ. ඒක හිතන තරම් ලේසි නෑ. ඒත් ඒකෙන් ලොකු සහනයක් දැනෙනවා.”—මේගන්, කැනඩාව.

    නේදන් සහ එමා එයාලගේ දරුවන් වන ඒලී සහ හෝප් එක්ක.

    “අපිට අපේ යාළුවන්ව, නෑදෑයන්ව හුඟ කාලෙකින් දකින්න බැරි වුණා. ඒත් අපේ ආදරේ එයාලට පෙන්නන්න පුළුවන් විදි අපි හොයාගත්තා. අපි පවුලක් විදිහට එකතු වෙලා එයාලට දෙන්න පුංචි පුංචි තෑගි හැදුවා. ඒ වගේම පොඩි කාඩ් හදලා ඒවාවල දිරිගන්වන බයිබල් පද ලිව්වා. එතකොට එයාලට දැනුණා අපි එයාලා ගැන හුඟක් හිතනවා කියලා. ඒකෙන් අපේ සතුටත් වැඩි වුණා. ඒ විදිහට තව කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන එකෙන් අපේ ප්‍රශ්න නිකන්ම අමතක වෙලා යනවා.”—එමා, එයාගේ සැමියා නේදන් සහ එයාලගේ දරුවන් වන ඒලී සහ හෝප්, එක්සත් ජනපදය.

  • ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “ඔබට ලැබෙන සෑම අවස්ථාවකින්ම උපරිම ප්‍රයෝජන ගන්න.”—එෆීස 5:16.

    ඒක වැදගත් ඇයි? ඔයාගේ වෙලාව හොඳින් පාවිච්චි කරන එකෙන් අනවශ්‍ය දේවල් ගැන කරදර වෙන්නේ නැතුව සතුටින් ඉන්න ඔයාට පුළුවන් වෙනවා.—ලූක් 12:25.

    මෙහෙම කරලා බලන්න. ඔයාට කරන්න බැරි දේවල් ගැන හිත හිතා ඉන්නේ නැතුව දැන් ලැබිලා තියෙන කාලයෙන් කරන්න පුළුවන් දේවල් ගැන හිතලා බලන්න. උදාහරණයකට කලින් කරගන්න බැරි වුණු වැඩක් කරන්න හරි විනෝදාංශයක් පටන්ගන්න හරි මේ වෙලාව පාවිච්චි කරන්න පුළුවන්ද? ඔයාගේ පවුලේ අයත් එක්ක ටිකක් වැඩිපුර කාලේ ගත කරන්න පුළුවන්ද?

    සමහර අය කියන දේ

    ඉවාන් සහ සමන්තා එයාලගේ දරුවන් වන ඒලී සහ ඇඩම් එක්ක.

    “අපිට මේ කාලේ හුඟක් අමතර දේවල් කරන්න වෙලාව තියෙනවා. ඒ නිසා අපි වත්තේ එළවළු ටිකක් හිටෙව්වා. ඒ වගේම චිත්‍ර අඳින එක, ගේ තව ටිකක් ලස්සන කරන එක වගේ දේවලුත් කළා.”—ඉවාන්, එයාගේ බිරිඳ සමන්තා සහ එයාලගේ දරුවන් වන ඒලී සහ ඇඩම්, දකුණු අප්‍රිකාව.

    අයිවන් සහ ඊව්.

    “අපි බැඳලා අවුරුදු තිහක් වෙනවා. ඒත් කවදාවත් මේ තරම් එකට කාලේ ගත කරන්න අපිට හම්බ වෙලා නෑ. අපි දැන් කලින්ට වඩා අනිත් කෙනාගේ අඩුපාඩුයි එයාගේ හොඳ පැතියි තේරුම්ගන්න නිසා අපේ ආදරෙත් තව වැඩි වෙලා. ඉස්සරහට එන ඕනෙම දේකට එකට මුහුණ දෙන්න අපි දෙන්නා දැන් ලෑස්තියි.”—අයිවන් සහ එයාගේ බිරිඳ ඊව්, ඉතාලිය.

  • කාලසටහනකට වැඩ කරන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “සෑම දෙයක්ම . . . පිළිවෙළකට සිදු විය යුතුයි.”—1 කොරින්ති 14:40.

    ඒක වැදගත් ඇයි? කාලසටහනකට වැඩ කරද්දී හැම දෙයක්ම හොඳට කරගන්න පුළුවන් කියලත් ඒක නිසා හිතට සතුටක් දැනෙනවා කියලත් හුඟක් අය කියනවා.

    මෙහෙම කරලා බලන්න. ඔයා දැන් මුහුණ දෙන තත්වයට ගැළපෙන විදිහේ කාලසටහනක් හදාගන්න. ඉස්කෝලේ වැඩ, රස්සාවේ වැඩ, ගෙදරදොරේ වැඩ වගේම දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න උදව් වෙන දේවල් කරන්නත් වෙලාවක් වෙන් කරන්න. පවුලේ අයත් එක්ක කාලේ ගත කරන එක, ටිකක් එළියට බැහැලා ඇවිදින එක, ව්‍යායාම් කරන එක වගේ දේවල් කරන්න. ඒක ඔයාගේ හිතට වගේම ගතටත් හොඳයි. ඒ වගේම කාලෙන් කාලෙට ඔයාගේ කාලසටහන අරගෙන බලන්න. ඒකේ මොනවා හරි වෙනස්කම් කරන්න ඕනෙ නම් එහෙම කරන්න.

    සමහර අය කියන දේ

    කෝකෙලෝ.

    “මං මගේ දවසේ වැඩ ටික කරන්නේ වසංගතයට කලින් කරපු විදිහටමයි. මං තාමත් උදේට නැඟිටින්නේ වෙනදා නැඟිටපු වෙලාවටමයි. ඉස්සර කරපු සමහර වැඩ දැන් කරන්න නැති නිසා ඒ වෙලාව මම ව්‍යායාම් කරන්න පාවිච්චි කරනවා. ඒ නිසා මේ වසංගතය ගැනම හිත හිතා ඉන්නේ නැතුව මගේ පවුලේ අය ගැනයි යාළුවෝ ගැනයි වැඩිපුර හිතන්න මට පුළුවන් වෙලා තියෙනවා.”—කෝකෙලෝ, දකුණු අප්‍රිකාව.

    කාමල්.

    “ඉස්සර වගේම උදෙන්ම නැඟිටලා තේ එකයි කෑම එකයි හදාගන්න මං හරි ආසයි. ඊටපස්සේ මං මූණ කට හෝදලා ලෑස්ති වෙනවා. ඒක මට උදව් වෙලා තියෙනවා දවස පුරාම මගේ වැඩ ටික හොඳට කරගන්න.”—කාමල්, ප්‍රංශය.

  • දේශගුණයට අනුව වෙනස්කම් කරන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති.”—හිතෝපදේශ 22:3.

    ඒක වැදගත් ඇයි? හොඳ හුළං පාරක් වැදෙන එක, අව්ව ටිකක් වැටෙන එක ඔයාගේ ඇඟට වගේම මනසටත් හොඳයි. හැබැයි කාලෙන් කාලෙට දේශගුණය වෙනස් වෙන නිසා එළියට යන්න තියෙන අවස්ථා අඩු වෙන්න පුළුවන්.

    මෙහෙම කරලා බලන්න. ඉස්සරහට එන්නේ සීත කාලේ නම් ඔයාගේ කාමරේ එහෙම නැත්නම් වැඩ කරන තැන පුළුවන් තරම් ඉර එළිය වැටෙන විදිහට වෙනස් කරන්න. සීත කාලෙදි ගෙදරින් එළියට ගිහිල්ලා කරන්න පුළුවන් මොනවාද කියලා හිතලා බලන්න. පුළුවන් නම් සීතලට ඔරොත්තු දෙන ඇඳුම් ටිකක් කලින්ම ගෙනල්ලා තියාගන්න. එතකොට වැඩි වෙලාවක් එළියේ ඉන්න ඔයාට පුළුවන් වෙයි.

    ඉස්සරහට එන්නේ හුඟක් අව්ව වැටෙන කාලයක් නම් පරෙස්සම් වෙන්න. මොකද ඒ කාලෙට හැමෝම වගේ එළියට යනවා. ඔයා යන්නේ කොහෙටද කියලා කලින්ම සැලසුම් කරන්න. හැබැයි වැඩිය සෙනඟ ගැවසෙන්නේ නැති වෙලාවල් තෝරගන්න.

    සමහර අය කියන දේ

    සමීනා.

    “අපේ පැත්තට හැම තිස්සේම වගේ වහින නිසා නිතර වෙනස් කරන්න පුළුවන් කාලසටහනක් තියෙන එක හොඳයි. අව්ව පොඩ්ඩක් වැටුණු ගමන්ම මං කරන්නේ ඉක්මනට එළියට යන එක. පොඩි වෙලාවකට හරි ටිකක් ඇවිදින එක, බයිසිකලේ පදින එක මගේ මනස හොඳින් තියාගන්න උදව් වෙනවා.”—සමීනා, ප්‍රංශය.

    ටිෆනි.

    “රස්නේ කාලේ නං නියමයි. මොකද එළියට ගිහිල්ලා කරන්න ඕනෙ තරම් දේවල් තියෙනවානේ. ඒත් දැන් සීත කාලේ. ඒ නිසා මං ගේ ඇතුළේ ඉඳන් කරන්න පුළුවන් දේවල් ගැන ලැයිස්තුවක් හදනවා.”—ටිෆනි, කැනඩාව.

  • කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වෙන්න දීලා තියෙන උපදෙස් දිගටම පිළිපදින්න

    බයිබලයේ මෙහෙම කියනවා. “අඥානයා උදහස් වී තම මතයේම එල්බගෙන සිටියි.”—හිතෝපදේශ 14:16.

    ඒක වැදගත් ඇයි? කොරෝනා කියන්නේ භයානක වසංගතයක්. පරෙස්සම් වුණේ නැත්නම් අපිටත් ඒක හැදෙන්න පුළුවන්.

    මෙහෙම කරලා බලන්න. කොරෝනා වසංගතය ගැන දීලා තියෙන අලුත්ම මඟ පෙන්වීම් මොනවාද කියලා දැනගන්න. ඒ වගේම ඔයා ඒවා පිළිපදිනවාද කියලත් හිතලා බලන්න. ඔයා වැඩ කරන විදිහ ඔයාට, ඔයාගේ පවුලේ අයට සහ අනිත් අයට කොහොම බලපායිද කියලා හිතන්න.

    සමහර අය කියන දේ

    ඩැරින්.

    “මේ වසංගතේ පැතිරෙන එක නවත්තන්න මගේ පැත්තෙන් කරන්න පුළුවන් හැම දේම මං කරනවා. අනිත් අය එච්චර පරෙස්සම් වුණේ නැති වුණාට මම නං මගෙයි, මගේ පවුලේ අයගෙයි ආරක්ෂාව ගැන නිතරම හිතනවා.”—ඩැරින්, දකුණු අප්‍රිකාව.

  • දෙවියන් එක්ක තියෙන බැඳීම ශක්තිමත් කරගන්න

    බයිබලයේ මෙහෙම කියනවා. “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි.”—යාකොබ් 4:8.

    ඒක වැදගත් ඇයි? දෙවියන්ට පුළුවන් ඕනෙම අමාරු තත්වයකට මුහුණ දෙන්න ඔයාට උදව් කරන්න.—යෙසායා 41:13.

    මෙහෙම කරලා බලන්න. දෙවියන්ගේ වචනය වන බයිබලයෙන් කොටසක් හැම දවසකම කියවන්න. ඒක පටන්ගන්න මේ බයිබල් කියවීමේ වැඩසටහන ඔයාට උදව් වෙයි.

මේ වගේ වසංගතයක් තිබුණත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දිගටම එයාලගේ රැස්වීම් පවත්වන්න සැලසුම් යොදලා තියෙනවා. ඒ සැලසුම් මොනවාද කියලා හොයලා බලන්න. උදාහරණයකට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ රැස්වීම්, සමුළු සහ යේසුස්ගේ මරණය සිහි කිරීම වගේ දේවල් පවත්වන්නේ වීඩියෝ කොන්ෆරන්ස් හරහායි.

සමහර අය කියන දේ

රොබෙටෝ.

“මට තියෙන වැඩිපුර වෙලාව මං බයිබලේ කියවන්න පාවිච්චි කරනවා. ඒකෙන් යෙහෝවාa දෙවියන් දීලා තියෙන පොරොන්දු ගැන මට තියෙන විශ්වාසය තවත් ශක්තිමත් වෙනවා. ඉස්සරහට මේ හැම දෙයක්ම හොඳ අතට හැරෙනවා කියලා මට හොඳටම විශ්වාසයි.”—රොබෙටෝ, ඉතාලිය.

ආල්ටා සහ යැනී.

“මායි මගේ මහත්තයායි එකට බයිබලේ කියවලා සමහර බයිබල් පද මතක තියාගන්න උත්සාහ කරනවා. යාච්ඤාව, බයිබලේ කියවන එක, බයිබලේ තියෙන හොඳ බලාපොරොත්තුව ගැන අනිත් අයට කියන එක මේ අමාරු කාලෙට හොඳින් මූණ දෙන්න අපිට උදව් වෙලා තියෙනවා.”—ආල්ටා සහ එයාගේ සැමියා යැනී, දකුණු අප්‍රිකාව.

a සැබෑ දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.

මනසට සහනයක් වෙන බයිබල් පද

යෙසායා 30:15: “කලබල නොවී මා කෙරෙහි විශ්වාසය තබන්න. එවිට ඔබ ශක්තිමත් වන්නහුය.”

තේරුම: දෙවියන් කියන දේවල් අපි විශ්වාස කරනවා නම් අමාරු තත්වයන්වලට මුහුණ දෙද්දී වුණත් කලබල නොවී ඉන්න අපිට පුළුවන්.

හිතෝපදේශ 15:15: “නිතරම සිත්තැවුලෙන් සිටින්නාට සෑම දවසක්ම නරකය. එහෙත් සතුටු සිතින් සිටින්නාට සෑම දවසක්ම උත්සව දවසක් මෙනි.”

තේරුම: අමාරු තත්වයකදී වුණත් අපි හැම දේකම හොඳ පැත්ත දකිනවා නම් අපිට සතුටින් ඉන්න පුළුවන්.

හිතෝපදේශ 14:15: “අද්දැකීම් අඩු තැනැත්තා අනුන් පවසන සෑම දෙයක්ම විශ්වාස කරයි. නමුත් සිහිබුද්ධිය ඇති අය තමන් ගත යුතු පියවර ගැන හොඳින් කල්පනා කරයි.”

තේරුම: ආරක්ෂාව ගැන දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. ඒවාවලින් කිසි වැඩක් නැහැ කියලා හිතන්න ඉක්මන් වෙන්න එපා.

යෙසායා 33:24: “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”

තේරුම: ඉස්සරහට හැම ලෙඩක්ම නැති කරනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න