ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwcl 12 ලිපිය
  • මං දැන් ඇත්තටම පොහොසත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මං දැන් ඇත්තටම පොහොසත්
  • ජීවිත වෙනස් කළ පොතක්
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මගේ අතීතය
  • මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි
  • දැන් මං අද්දකින ආශීර්වාද
  • ජීවිත වෙනස් කළ පොතක්
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ජීවිත වෙනස් කළ පොතක්!
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
ජීවිත වෙනස් කළ පොතක්
ijwcl 12 ලිපිය
ඩොනල්ඩ් විලියම්ස් සහ එයාගේ බිරිද නුරියා බයිබලයක් අතේ තියාගෙන මිනිසෙක්ට දේශනා කරනවා.

ජීවිත වෙනස් කළ පොතක්

මං දැන් ඇත්තටම පොහොසත්

ඩොනල්ඩ් විලියම්ස්

  • ඉපදුණ අවුරුද්ද: 1968

  • රට: එක්සත් ජනපදය

  • අතීතයේදී: තමන්ව පොහොසත් කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලපු ව්‍යාපාර ක්ෂේත්‍රයේ විධායක නිලධාරියෙක්

ඩොනල්ඩ් විලියම්ස් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න කලින් එයාගේ තරුණ කාලේදී.

මගේ අතීතය

මං නිව් යෝර්ක් ප්‍රාන්තයේ රොචෙස්ටර්වල හැදුණේ වැඩුණේ කතෝලිකයෙක් විදිහටයි. මගේ දෙමාපියන් වෙන් වෙද්දී මට වයස අවුරුදු 8යි. මං සතියේ දවස්වල හිටියේ අම්මාත් එක්ක හුඟක් දුප්පත් අය හිටපු නිවාස සංකීර්ණයක. ඒත් අපේ තාත්තා හිටියේ හුඟක් සල්ලිකාර අය හිටපු පැත්තක. මගේ සති අන්තය ගෙවුණේ එහේ. දරුවෝ හයක් හදා වඩා ගන්න අම්මා කොච්චර නම් මහන්සි වෙනවාද කියලා මං දැක්කා. ඒ නිසා කවදා හරි පොහොසත් වෙලා මගේ පවුලේ අයට උදව් කරනවා කියලා මං හිතාගත්තා.

තාත්තාට ඕන වුණේ මං සාර්ථක ජීවිතයක් ගත කරනවා දකින්නයි. ඒ නිසා දවසක් තාත්තා මාව හෝටල් කළමනාකරණය වෙනුවෙන්ම තිබුණු ප්‍රසිද්ධ පාසලක් බලන්න එක්කන් ගියා. ඒ පාසල දැක්කාම මට හුඟක් ආස හිතුණා. මට හිතුණේ මාව පොහොසත් කරලා සතුටින් තියන්න කියලා මං දෙවියන්ගෙන් කරපු ඉල්ලීමට දෙවියන් උත්තර දුන්නා කියලයි. මං ඒ පාසලෙන් හෝටල් කළමනාකරණය, ව්‍යාපාර නීතිය, මුදල් පරිපාලනය කියන විෂයන් ඉගෙනගන්න පටන්ගත්තා. ඒ විදිහට ඉගෙනගන්න අතරතුරේදී නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් නගරයේ කැසිනෝ හෝටලයක අවුරුදු 5ක් මං වැඩ කළා.

කැසිනෝ ක්‍රීඩාවේ යෙදෙන මිනිසෙක් දිහා සූදුවේ යෙදෙන පිරිසක් බලන් ඉන්නවා.

මං කරපු රස්සාවට අයිති වුණු එක දෙයක් තමයි සූදුවේ නියැලෙන්න ආපු හුඟක් පොහොසත් අයට අවශ්‍ය දේවල් ලැබෙනවාද කියලා හොයලා බලන එක

වයස අවුරුදු 22 වෙද්දී කැසිනෝ හෝටලයක සහකාර උප සභාපති විදිහට වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා. ඉස්තරම් කෑම කන්න, මිල අධික වයින් සහ මත්පැන් වර්ග බොන්න මට අවස්ථාව ලැබුණා. අනිත් අය මාව දැක්කේ හුඟක් පොහොසත් සාර්ථක කෙනෙක් විදිහටයි. මගේ ව්‍යාපාර ලෝකයේ යාළුවෝ කිව්වේ “මේ ලෝකේ තියෙන වැදගත්ම දේ සල්ලි කියලා මතක තියාගන්න” කියලයි. සල්ලිවලින් තමයි නියම සතුට ලැබෙන්නේ කියලා එයාලා හිතුවා.

මං කරපු රස්සාවට අයිති වුණු එක දෙයක් තමයි ලාස් වේගාස්වලට සූදුවේ නියැලෙන්න ආපු හුඟක් පොහොසත් අයට අවශ්‍ය දේවල් ලැබෙනවාද කියලා හොයලා බලන එක. එයාලා හුඟක් පොහොසත් වුණත් සතුටින් ඉන්න පාටක් නම් පේන්න තිබුණේ නැහැ. මගේ හිතේ තිබුණ සතුටත් ටිකෙන් ටික අඩු වෙලා යන්න පටන්ගත්තා. පොහොසත් වෙන්න වෙන්න මගේ කනස්සල්ලත් වැඩි වුණා. මට හරියට නින්ද ගියෙත් නැහැ. ජීවිතේ නැති කරගත්තා නම් මීට වඩා හොඳයි කියලා මට හිතුණා. මේ විදිහට ජීවිතය ගැන කලකිරුණු නිසා “කොහෙන්ද මට නියම සතුට හොයාගන්න පුළුවන්” කියලා මං දෙවියන්ගෙන් ඇහුවා.

මගේ ජීවිතේ වෙනස් වුණේ මෙහෙමයි

ඒ කාලේදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වුණු මගේ අක්කලා දෙන්නෙක් ලාස් වේගාස්වල පදිංචියට ආවා. එයාලගෙන් පොත් පත් අරගන්න මං අකමැති වුණත් එයාලා එක්ක එකතු වෙලා මගේ බයිබලය කියවන්න මං කැමති වුණා. මගේ බයිබලයේ යේසුස් කිව්ව වචන මුද්‍රණය කරලා තිබුණේ රතු පාටින්. මං යේසුස් කිව්ව ඕනෙ දෙයක් පිළිගන්න කැමති නිසා අක්කලා මාත් එක්ක කතා කළේ යේසුස් ගැන. ඒ වගේම මං තනියම ඉද්දීත් බයිබලය කියෙව්වා.

මං කියවපු හුඟක් දේවල් දැකලා මට පුදුම හිතුණා. උදාහරණයකට යේසුස් මෙහෙම කියලා තිබුණා. “ඔබ යාච්ඤා කරන විට වෙනත් ජාතීන් කරන ආකාරයට එකම දේ නැවත නැවතත් නොකියන්න. ඔවුන් සිතන්නේ වචන රාශියක් පැවසුවොත් දෙවි ඔවුන්ට සවන් දෙයි කියායි.” (මතෙව් 6:7) ඒත් පූජකයෙක් මට යේසුස්ගේ පින්තූරයක් දීලා කිව්වා ඒ දිහා බලාගෙන ස්වර්ගේ වැඩ සිටින දහයකුයි, නමෝ මරිය දහයකුයි කිව්වොත් මං ඉල්ලන තරම් දෙවියන් මට සල්ලි දෙයි කියලා. ඒ විදිහට යාච්ඤා කරන එකෙන් මං කළේ එකම දේ නැවත නැවත කියන එක නේද කියලා මං කල්පනා කලා. යේසුස් කියපු මේ වචනත් මං කියෙව්වා. “පොළොවෙහි සිටින කාටවත් ‘පියාණන්’ කියා නොකියන්න. මන්ද ඔබට සිටින්නේ එකම පියෙක්. ඒ ස්වර්ගයෙහි සිටින තැනැත්තායි.” (මතෙව් 23:9) ඉතිං මං හිතුවා කතෝලිකයෙක් විදිහට ඇයි අපි අපේ පූජකයන්ට “පියාණන්” කියන්නේ කියලා.

මං බයිබලයේ යාකොබ් පොත කියෙව්වාට පස්සේ මගේ ජීවිතය ගත කරන විදිහ ගැන තව පාරක් හිතලා බලන්න පෙලඹුණා. යාකොබ් 4වෙනි පරිච්ඡේදයේ මෙහෙම කියනවා. “ලෝකය සමඟ මිතුරුකම් පැවැත්වීම දෙවි සමඟ සතුරු වීමට හේතු වන බව ඔබ දැන සිටියේ නැද්ද? ඒ අනුව කෙනෙකු ලෝකයේ අය සමඟ මිත්‍ර වීමට කැමති නම් ඔහු දෙවිගේ සතුරෙක් වෙයි.” (යාකොබ් 4:4) මට වැඩියෙන්ම බලපෑවේ 17වෙනි පදය. ඒකේ කියන්නේ “යමෙකු හරි දේ කිරීමට දැනගෙනත් ඔහු ඒ දේ කරන්නේ නැත්නම් ඔහු කරන්නේ පාපයකි” කියලයි. ඊටපස්සේ මං මගේ අක්කලාට කෝල් කරලා කිව්වා කැසිනෝ හෝටලයේ කරපු රස්සාවෙන් මං අයින් වෙනවා කියලා. මං එහෙම කිව්වේ සූදුව, කෑදරකම වගේ දේවල් වැරදියි කියලා මං තේරුම්ගත්ත නිසයි.

“මං බයිබලයේ යාකොබ් පොත කියෙව්වාට පස්සේ මගේ ජීවිතය ගත කරන විදිහ ගැන තව පාරක් හිතලා බලන්න පෙලඹුණා”

මට ඕනෙ වුණා දෙවියන්ටයි, පවුලේ අයටයි තවත් ළං වෙන්න. ඒකට කාලය හොයාගන්න ඕනෙ වුණු නිසා මං මගේ ජීවිතය සරල කරගන්න තීරණය කළා. හැබැයි එහෙම කරන එක එච්චර ලේසි වුණේ නැහැ. මොකද දැන් හම්බ කරනවා වගේ දෙගුණයක් තුන් ගුණයක් විතර හම්බ කරන්න පුළුවන් විදිහේ රස්සාවලට කැසිනෝ හෝටල්වලින් මට කතා කළා. ඒ ගැන යාච්ඤා කළාට පස්සේ මං තීරණයක් ගත්තා ආයේ නම් ඒ වගේ රස්සාවකට යන්නේ නැහැ කියලා. ඉතිං මං කරකර හිටපු රස්සාවෙනුත් අයින් වෙලා අම්මලාගේ ගෙදර තිබුණු ගරාජ් එකේ, හෝටල්වල ආහාර ලැයිස්තු සටහන් වෙන කාඩ්පත් ලැමිනේටින් කරන පුංචි ව්‍යාපාරයක් පටන්ගත්තා.

මං බයිබලය කියවලා ජීවිතය වෙනස් කරගෙන තිබුණාට ඒ වෙද්දීත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගිහින් තිබුණේ නැහැ. දවසක් මගේ අක්කලා මගෙන් ඇහුවා ඇයි ඔයා සාක්ෂිකරුවන්ට අකමැති කියලා. එතකොට මං එයාලට මෙහෙම කිව්වා. “ඔයාලගේ ඔය යෙහෝවා දෙවියන් හොඳට ඉන්න පවුල් වෙන් කරනවා. පවුලේ හැමෝම එකට එකතු වෙන්නේ නත්තලටයි, උපන් දිනයකටයි විතරයි. ඔයාලා ඒකටත් එන්නේ නෑනේ.” එතකොට එක අක්කා කෙනෙක් අඬඅඬ මෙහෙම කිව්වා. “ඉතිං, අවුරුද්දේ අනිත් දවස්වලත් ඔයාට එන්න පුළුවන්නේ. ඕනම වෙලාවක අපේ ගෙදර දොර ඔයා වෙනුවෙන් ඇරලයි තියෙන්නේ. ඇයි ඔයා හිතන්නේ ඒ වගේ විශේෂ දවස්වලට විතරක් අපි හැමෝම එකට එකතු වෙන්න ඕනෙ කියලා.” අක්කා කිව්ව දේ මගේ හිතට තදින්ම වැදුණා. මාත් එයාත් එක්ක අඬන්න පටන්ගත්තා.

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එයාලගේ පවුල්වල අයට හුඟක් ආදරෙයි කියලා තේරුම්ගත්තාම මං එයාලා ගැන හිතපු විදිහ වැරදියි කියලා මට තේරුණා. ඒ නිසා මං එයාලගේ රැස්වීමකට යන්න තීරණය කළා. එහෙදි මට කෙවින්ව හම්බ වුණා. එයා කාලයක් තිස්සේ බයිබලයේ තියෙන දේවල් අනිත් අයට උගන්වන කෙනෙක්. එයාත් එක්ක මං බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

කෙවිනුයි, එයාගේ නෝනායි ගත කළේ හරිම සරල ජීවිතයක්. එයාලා එහෙම කළේ බයිබලයේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙන්න වැඩි කාලයක් හොයාගන්නයි. එයාලා හම්බ කරපු මුදල්වලින් අප්‍රිකාවේ සහ මධ්‍යම ඇමරිකාවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලවල ඉදි කිරීම් වැඩවලට හවුල් වෙන්නත් එයාලට පුළුවන් වුණා. ඒ දෙන්නා හුඟක් ආදරෙන් සතුටින් ඉන්නවා මං දැක්කා. ‘මගේ හීනෙත් මේ වගේ ජීවිතයක් ගත කරන එක නේද’ කියලා මට හිතුණා.

දවසක් මිෂනාරි සේවයෙන් ලැබෙන සතුට ගැන තියෙන වීඩියෝ එකක් කෙවින් මට පෙන්නුවා. මං හිතුවා ඒ සතුට මාත් ලබාගන්න ඕනෙ කියලා. මාස 6ක් හරිම ආසාවෙන් බයිබල් පාඩම කරලා 1995දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට මං බව්තීස්ම වුණා. මාව පොහොසත් කරන්න කියලා කියනවා වෙනුවට ‘මට දුප්පත් වීමටවත් පොහොසත් වීමටවත් ඉඩ දෙන්න එපා’ කියලයි මං දැන් දෙවියන්ගෙන් ඉල්ලන්නේ.—හිතෝපදේශ 30:8.

දැන් මං අද්දකින ආශීර්වාද

මං දැන් ඇත්තටම පොහොසත්. මොකද මට එච්චර සල්ලි නැති වුණත් දෙවියන් එක්ක හොඳ බැඳීමක් තියෙනවා. මට මගේ ආදරණීය බිරිඳ නුරියාව හම්බ වුණේ හොන්ඩ්‍යුරාස්වලදී. අපි දෙන්නා එකතු වෙලා පැනමාවල සහ මෙක්සිකෝවල මිෂනාරීන් විදිහට සේවය කළා. බයිබලයේ සඳහන් මේ වචන කොච්චර ඇත්තද! “යෙහෝවා දෙවිගේ ආශීර්වාදය සැබෑ වස්තුවකි. ඔහු ඊට කිසි වේදනාවක් එක් නොකරයි.”—හිතෝපදේශ 10:22.

මඩ සහිත පාරක ඩොනල්ඩ් සහ එයාගේ බිරිද නුරියා හිටන් ඉන්නවා. එයාලා තොප්පි සහ බූට්ස් දාගෙන, බෑග් කරේ එල්ලගෙන, කුඩත් අරගෙන ඉන්නවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න