ජෝර්ජියාව
යොවුන් වියේදීම සැදුම්කරුව සිහි කරයි
කලින් පිටුවල සඳහන් වුණු සාක්ෂිකරුවන්ගෙන් වැඩිදෙනෙක් යෞවනයන්. එයාලා ‘ශ්‍රේෂ්ඨ සැදුම්කරුව යොවුන් වියේදීම සිහි කරන්න’ තීරණය කරලා තියෙනවා. (දේශ. 12:1) ජෝර්ජියාවේ පුරෝගාමීන් 3,197දෙනාගෙන් තුනෙන් එකක්ම වයස අවුරුදු 25ක් නැත්නම් ඊට අඩු යෞවනයන්. ඒ තරම් දෙනෙක් සේවය වෙනුවෙන් තමන්ගේ ජීවිතය කැප කළේ ඇයි?
ඒකට එක හේතුවක් තමයි ජෝර්ජියාවේ පවුලේ අය අතර තියෙන කිට්ටු බැඳීම. දරුවන් පස්දෙනෙක්ගේ තාත්තා කෙනෙක් වන කොන්ස්ටන්ටීන් මෙහෙම කියනවා. “මට යෙහෝවා දෙවි ගැන ඉගෙනගන්න ලොකු ආසාවක් ඇති වුණේ ඔහු ආදරණීය තාත්තා කෙනෙක් වගේ කියලා මං දැනගත්තාට පස්සේ. මටත් ඕන වුණේ මගේ දරුවන්ට ඒ වගේ තාත්තා කෙනෙක් වෙන්න.”
මාල්කාසි සහ එයාගේ බිරිඳට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා. පවුල් බැඳීම ශක්තිමත් කරගන්න එකේ වැදගත්කම මේ දෙමාපියන් තේරුම් අරන් හිටියා. ඒ වෙනුවෙන් කරපු දෙයක් ගැන මාල්කාසි මෙහෙම කියනවා. “පවුලේ අයගේ අගය කරන්න පුළුවන් පැති ගැන හිතන්න කියලා අපි දරුවන්ට කිව්වා. ඊටපස්සේ පවුලේ නමස්කාරයේදී එයාලාගේ අදහස් අනිත් අයත් එක්ක බෙදාගන්න අවස්ථාවක් දුන්නා. ඒ නිසා අනිත් අයගේ හොඳ පැති දකින්නත් ඒවා අගය කරන්නත් එයාලා පුරුදු වෙලා තියෙනවා.”
“දෙවිට සේවය කරන එකයි වටිනාම දේ”
දෙමාපියන්ගෙන් ලැබුණු පුහුණුවට අමතරව වැඩිමහල්ලනුත් දරුවන්ට සභාවේ පොඩි පොඩි වැඩ දුන්නා. ඒක දරුවන්ට හොඳ පුහුණුවක් වුණා. වයස අවුරුදු 11දී බව්තීස්ම වුණු නෙස්ටොරී මෙහෙම කියනවා. “මං පුංචි කාලෙදී වැඩිමහල්ලන් මට එක එක වැඩ දුන්නා. දෙවි වෙනුවෙන් තව තව දේවල් කරන්න ඒකෙන් මම පෙලඹුණා.”
දෙවිට හොඳින් සේවය කරන අයගේ ආදර්ශයත් දරුවන්ට හුඟක් වටිනවා. නෙස්ටොරීගේ සහෝදරයෙක් වන කෝබා මෙහෙම කියනවා. “යෞවන කාලේදී මං සත්‍යයෙන් ටිකක් ඈත් වුණා. ඒත් අපේ සභාවේ හිටිය තරුණ වැඩිමහල්ලෙක් මං ගැන සැලකිලිමත් වුණා. එයා මාව හොඳට තේරුම්ගත්තා. දෙවිට ආයෙත් විශ්වාසවන්තව සේවය කරන්න එයාගෙන් ලැබුණු උදව් මට ලොකු හයියක් වුණා.”
අද නෙස්ටොරී සහ කෝබා එයාලාගේ සහෝදරිය වන මාරි එක්ක දුෂ්කර පළාතක සේවය කරනවා. “දෙවිට සේවය කරන එකයි වටිනාම දේ” කියලා කෝබා කියනවා.
‘මාගේ දරුවන් සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙයි’
ශාඛා කාර්යාලයේ සහෝදරයන් පවා දරුවන්ව පුහුණු කරන්න විශේෂ වෑයමක් අරන් තියෙනවා. ඒ ගැන එක ශාඛා කමිටු සාමාජිකයෙක් මෙහෙම කියනවා. “අපේ යෞවනයන් සංවිධානයට සම්පතක්. ඒ නිසා අපි එයාලාව රැකගන්න ඕනේ. හොඳ ඉලක්ක තියාගන්නත් ඒ ඉලක්කවලට ළඟා වෙන්නත් අපි එයාලාට උදව් කරන්න ඕනේ.”
විවිධ රටවලින් ආපු සහෝදරයන් සමඟ ටිබිලිසිවල සමුළු ශාලාව ඉදි කරන ජෝර්ජියාවේ සාක්ෂිකරුවන්
අද්දැකීම් තියෙන සහෝදරයන් එක්ක වැඩ කරන එකෙන් යෞවනයන්ට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙලා තියෙනවා. ජාත්‍යන්තර සේවකයන් එක්ක ටිබිලිසිවල සමුළු ශාලාවක් ඉදි කරන්න හවුල් වුණු මාමුකා මෙහෙම කියනවා. “ඉදි කිරීම් කටයුතු ගැන මට හොඳ පුහුණුවක් ලැබුණා. දෙවිට තවත් ළං වෙන්න ඒ අයගේ ආශ්‍රය මට උදව් වුණා.”
පවුලේ අය අතර තියෙන කිට්ටු බැඳීම, වැඩිමහල්ලන්ගේ දිරිගැන්වීම් සහ දෙවිට හොඳින් සේවය කරන අයගේ ආදර්ශ ජෝර්ජියාවේ යෞවනයන්ට තමන්ගේ ජීවිත, සේවය වෙනුවෙන් කැප කරන්න උදව් වෙලා තියෙනවා. ඒ යෞවනයන් ‘සත්‍ය ඉගැන්වීම්වලට එකඟව දිගටම ජීවත් වෙන’ එක ගැන එයාලාගේ දෙමව්පියන් සතුටු වෙනවා කියලා නම් කිසිම සැකයක් නැහැ.—3 යොහ. 4.
පරිවර්තන වැඩකටයුතු වේගවත් කරයි
2013 පාලක මණ්ඩලය ශාඛා කාර්යාලවලට දැනුම් දුන්නේ රටක දැනට පරිවර්තන කටයුතු කරන භාෂාවලට අමතරව තවත් භාෂාවලට පොත් පත් පරිවර්තනය කරන්න ඕනෙද කියන එක ගැන හොයලා බලන්න කියලයි.
ජෝර්ජියන් භාෂාවට අමතරව ස්වෑන් සහ මින්ග්රෙලියන් කියන භාෂා කතා කරපු අයත් ජෝර්ජියාවේ හිටියා. ඒ නිසා එහේ ශාඛා කාර්යාලය ඒ භාෂාවලිනුත් සමහර පොත් පත් පරිවර්තනය කරන්න තීරණය කළා.
ස්වැනටි පළාතේ සේවය කරන පුරෝගාමි සහෝදරියන් මෙහෙම ලිව්වා. “ස්වෑන් භාෂාව කතා කරන අය බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්න කැමතියි. එයාලා බයිබලයට ගොඩක් ගරු කරනවා. කලින් අපේ පොත් පත් ගන්න එච්චර කැමති වුණේ නැති අය පවා එයාලාගේ භාෂාවෙන් පොත් පත් තියෙනවා කියලා දැක්කාම සතුටින් ඒවා බාරගත්තා.”
මින්ග්රෙලියන් භාෂාවෙන් රැස්වීම් පටන්ගත්ත එක ඒ භාෂාව කතා කරපු ප්‍රචාරකයන් සැලකුවේ ආශීර්වාදයක් විදිහටයි. පුරෝගාමියෙක් වුණු තරුණ ගිගා මෙහෙම කියනවා. “දැන් රැස්වීම් තියන්නේ මගේ මව්භාෂාවෙන්. ඒ නිසා අදහස් දෙන්න කලින් ඒවා හිතෙන් පරිවර්තනය කර කර ඉන්නේ නැතුව මගේම වචනවලින් අදහස් දෙන්න පුළුවන්.”
සූරි කියන්නේ මින්ග්රෙලියන් භාෂාවෙන් රැස්වීම් තියන ටකායා සභාවේ වැඩිමහල්ලෙක්. එයා මෙහෙම කියනවා. “මින්ග්රෙලියන් භාෂාවෙන් ගීතිකා කියපු පළවෙනි පාර සභාවේ හැමෝටම ඇඬුණා. මම සාමාන්‍යයෙන් සතුටට තියා දුකටවත් අඬන කෙනෙක් නෙමෙයි. ඒත් එදා නං මටත් ඇඬුණා.”
මෑතකදී වුණු වැදගත් සිද්ධීන්
2013 අප්‍රියෙල් 6වෙනිදා ජෝර්ජියාවේ ඉන්න සාක්ෂිකරුවන්ට විශේෂ දවසක්. එදා අලුත්වැඩියා කරපු ශාඛා කාර්යාල ගොඩනැඟිලි සංකීර්ණය, අලුත් සමුළු ශාලාව සහ විවිධ පාසැල් පවත්වන්න හදපු ගොඩනැඟිල්ල කැප කළා. කැප කිරීමේ දේශනය දුන්නේ පාලක මණ්ඩලයේ සාමාජිකයෙක් වන ඩේවිඩ් ස්ප්ලේන්. ඒකට සහභාගි වෙන්න රටවල් 24කින් ආපු සහෝදරයන් 338දෙනෙක්ට ඒ පළාතේ හිටපු සාක්ෂිකරුවන් කැමැත්තෙන්ම නවාතැන් දුන්නා.
ඊළඟ දවසේ සහෝදර ස්ප්ලේන් දීපු විශේෂ දේශනය ජෝර්ජියාව පුරා රැස්වීම් පවත්වන ස්ථානවල හිටපු 15,200දෙනෙක්ට වීඩියෝ මාර්ගයෙන් දැක බලා ගන්න පුළුවන් වුණා. මේක විවිධ රටවලින් ආපු සහෝදරයන්ගේ සහභාගිත්වයෙන් ජෝර්ජියාවේ පවත්වපු විශාලම වැඩසටහනයි. මේ අවස්ථාව ගැන එක යෞවනයෙක් මෙහෙම කිව්වා. “පාරාදීසය කොයි වගේ තියෙයිද කියලා මට දැන් හිතාගන්න පුළුවන්.”
2013 ටිබිලිසිවල ශාඛා කාර්යාලය කැප කරපු අවස්ථාව
විවාහක යුවළයන් සඳහා බයිබල් පාසැල දැන් හඳුන්වන්නේ ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල කියලයි. 2013 ඉඳන් 200දෙනෙක්ට වැඩිය මේ පාසැලෙන් පුහුණුව ලබලා තියෙනවා. ඒ අය ජෝර්ජියාවේ අවශ්‍යතාව තියෙන ඕනම තැනකට ගිහින් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වෙනවා.
“ඉදිරියේ තිබෙන දේවල් අත් කරගැනීමට මහත් වෑයමක් දරමින්”
ජෝර්ජියාවේ මුලින් හිටපු සාක්ෂිකරුවන් නිර්භීතව දේශනා කරපු නිසා දැන් රටේ හැම ප්‍රදේශයකම ශුභාරංචිය පැතිරිලා තියෙනවා. එයාලා දෙවිටත් අසල්වැසියන්ටත් පෙන්නපු ප්‍රේමය, එයාලාගේ විශ්වාසවන්තකම, නිර්භීතකම සහ එයාලා කරපු කැප කිරීම්වලට යෙහෝවා දෙවිගෙන් ගොඩක් ආශීර්වාද ලැබිලා තියෙනවා.
ඒ සහෝදරයන්ගේ සේවය ආදර්ශයට අරන් දැන් ජෝර්ජියාවේ ඉන්න සාක්ෂිකරුවන් 18,000කටත් වඩා වැඩිදෙනෙක් දෙවිගේ වචනයේ තියෙන වටිනාකම තේරුම්ගන්න එයාලාගේ අසල්වැසියන්ට උදව් කරනවා.—ෆිලි. 3:13; 4:13.
ජෝර්ජියාවේ ශාඛා කමිටු සාමාජිකයන්: වේන් ටොම්චක්, ලෙවානි කොපලියානි, ජොනී ශලම්බෙරිඩ්සේ, මයිකල් ඊ. ජෝන්ස්