1992දී ටිබිලිසිවල පවත්වපු රැස්වීමකට සහභාගි වුණු සහෝදරයන්
ජෝර්ජියාව | 1991-1997
“එය වර්ධනය වුණේ දෙවි නිසයි.”—1 කොරි. 3:6.
1990 ගණන්වල ජෙනාඩි ගුඩාඩ්සේ චාරිකා සේවකයෙක් විදිහට සේවය කළා
1991දී සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටුණාම ජෝර්ජියාවට නිදහස ලැබුණා. ඒත් රටේ ඇති වුණු කලබල නිසා එහේ ජීවත් වෙන එක ලේසි වුණේ නැහැ. පාන් ගෙඩියක් ගන්නත් දවස තිස්සේ පෝළිම්වල ඉන්න වුණා කියලා චාරිකා සේවකයෙක් වුණු ජෙනාඩි ගුඩාඩ්සේ කිව්වා.
පෝළිම්වල හිටන් ඉන්න අතරේ බයිබලයේ තියෙන පණිවිඩය අනිත් අයට කියන්න සාක්ෂිකරුවන් අමතක කළේ නැහැ. ජෙනාඩි මෙහෙම කියනවා. “ඒ කරදර තිබුණු කාලේ සිය ගාණකට වැඩිය බයිබල් පාඩම් කරන්න කැමතියි කියලා අපිට දැන්නුවා.”
පෙරමුණ අරන් වැඩ කරපු සහෝදරයන් හැම රැස්වීමක්ම ඉවර වෙලා බයිබල් පාඩම් කරන්න කැමති වුණු අයගේ නම් සහ ලිපින ඇතුළත් ලැයිස්තුවක් කියෙව්වා. ප්‍රචාරකයන් තමන් කැමති ඒවා ඉල්ලගෙන ඒ අයව බලන්න ගියා.
1990 ගණන්වල පාන් ගන්න පෝළිමේ ඉන්න අයට සාක්ෂි දරමින්
ටිබිලිසිවල වැඩිමහල්ලෙක් විදිහට සේවය කරපු සහෝදර ලෙවානි සබාෂ්විලි ඒ කාලයේ වුණු දෙයක් ගැන මෙහෙම කියනවා. “ප්‍රචාරකයෝ ලිපින හැම එකක්ම වගේ භාරගත්තා. ඒත් එක යුවළකගේ ලිපිනයක් ඉතුරු වුණා. මොකද ඒ ගෙදර තිබුණේ හුඟක් ඈත. අනික ඒ වෙද්දී හැමෝටම වගේ බයිබල් පාඩම් ගොඩක් තිබුණා.”
මාස කිහිපයකට පස්සේ ඒ යුවළ එයාලාව බලන්න එන්න කියලා ආයෙත් දන්වලා තිබුණා. පස්සේ තුන්වෙනි පාර එයාලාව බලන්න එන්න කියලා දන්වලා එවපු ලියුමේ සියලුදෙනාගේ ලෙයින් නිදහස් වෙන්න කියලත් ලියලා තිබුණා. (ක්‍රියා 20:26, 27) ලෙවානි මෙහෙම කියනවා. “අපිට හිතුණා දැන් නම් මේ දෙන්නාව බලන්න නොගිහින් බැහැ කියලා.”
දෙවි ගැන දැනගන්න ආසාවෙන් හිටපු මේ යුවළ රොයිනි සහ නානා ග්රිගාලාෂ්විලි. දවසක් එයාලාගේ දොර ගාව හිටන් ඉන්න ලෙවානිවත් අනිත් සහෝදරයාවත් දැක්කාම මේ යුවළ පුදුම වුණා. එයාලා ඉක්මනින්ම බයිබල් පාඩමක් කරන්න පටන්ගත්තා. දැන් ඒ යුවළ එයාලාගේ ළමයින් එක්ක ස්ථාවර පුරෝගාමීන් විදිහට සේවය කරනවා.
උනන්දුව දක්වපු අයව හොයන්න දරපු විශේෂ වෑයම
ඉගෙනගත්ත සත්‍යය හුඟක් වටිනවා කියලා තේරුම්ගත්ත හුඟදෙනෙක් කාලය, ශ්‍රමය සහ සම්පත් පාවිච්චි කරලා අනිත් අයටත් ඒ ගැන කිව්වා. බැඩ්රි සහ මරිනා කොපලියානි වගේ පවුල් වගකීම් තිබුණු අය පවා හුඟක් ඈත පළාත්වලට ගිහින් සේවය කරන්න කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා.
සති අන්තවලදී බැඩ්රි සහ මරිනා එයාලාගේ පුතාලා දෙන්නත් එක්ක දුශේටි ප්‍රදේශයේ උනන්දුව දක්වපු අයව බලන්න ගියා. ඒ ප්‍රදේශය ටිබිලිසි පළාතට උතුරින් පිහිටි, කඳු තියෙන ලස්සන ප්‍රදේශයක්. සමහර වෙලාවට ඈත ගම්මානවලට යද්දී වංගු තියෙන දුෂ්කර පාරවල්වල කිලෝමීටර් 150ක් විතර යන්න එයාලාට සිද්ධ වුණා.
දවසක් බයිබලයේ තියෙන දේවල් දැනගන්න කැමති වුණු ගැහැනු කෙනෙක් බැඩ්රිටයි මරිනාටයි එයාගේ වැඩපොළට එන්න කියලා කිව්වා. බැඩ්රි ඒ ගැන මෙහෙම කියනවා. “කාමරය ඇතුළට ගියාම මට පුදුම හිතුණා. එතැන 50දෙනෙක් විතර හිටියා. මුලින් ටිකක් බය හිතුණත් පුංචි යාච්ඤාවක් කරලා මං කතා කරන්න පටන්ගත්තා. මතෙව් 24වෙනි පරිච්ඡේදයේ අන්තිම දවස්වල වෙන සිද්ධීන් ගැන තමයි මං මුලින්ම කතා කළේ. පුදුම වුණු එක් කෙනෙක් ඇහුවා ‘ඇයි අපේ පූජකයෝ ඕවා අපිට කියලා දෙන්නේ නැත්තේ’ කියලා.”
හැමෝගෙම අවධානයට ලක් වුණු සිහි කිරීමක්
යේසුස්ගේ මරණය සිහි කිරීම සඳහා පවත්වපු රැස්වීම් නිසා ජෝර්ජියාවේ ඉන්න හුඟක් අය සත්‍යය දැනගත්තා. ටිබිලිසිවල පදිංචි වෙලා හිටපු සහෝදරී ඉයා බාඩ්රිඩ්සේගේ ගෙදර 1990 පවත්වපු සිහි කිරීම ඒකට හොඳ උදාහරණයක්.
ඉයා බාඩ්රිඩ්සේගේ ගෙදර පවත්වපු සිහි කිරීමට 200දෙනෙක් ආවා
වැඩිය පහසුකම් නැති වුණත් සහෝදරී බාඩ්රිඩ්සේ හරිම ආසාවෙන් එයාගේ ගෙදර සිහි කිරීම පවත්වන්න ඉඩ දුන්නා. ඒත් එන අයට ඉඳගන්න ඇති තරම් පුටු තිබුණේ නැති නිසා ඒවා කුලියට ගන්න වුණා. සාමාන්‍යයෙන් ජෝර්ජියාවේ පුටු විතරක් කුලියට ගන්නේ නැති නිසා එයා ගිහින් පුටු ඉල්ලද්දී කුලියට දෙන තැන හිටපු අය මෙහෙම ඇහුවා. “ඔයාලා මේස ගන්නේ නැද්ද? මේස නැතුව කෑම කන්නේ කොහොමද?”
13වෙනි තට්ටුවේ තිබුණු සහෝදරී බාඩ්රිඩ්සේගේ ගෙදරට යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වපු දවසේ 200දෙනෙක්ම ආවා. ඒක දැකපු අසල්වැසියන්ගෙන් වැඩිදෙනෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන දැනගන්න කැමති වුණා.
අමතක නොවෙන සිහි කිරීමක්
1992 වෙද්දී යේසුස්ගේ මරණය සිහි කිරීම පවත්වන්න රටේ එක එක ප්‍රදේශවල ශාලාවන් කුලියට ගත්තා. සංචාරක සේවකයන් ඒ සැලසුම් ගැන හොයලා බලපු විදිහ ගෝරිවල හිටපු ඩේවිට් සැම්කරඩේස් මෙහෙම මතක් කරනවා.
ප්‍රචාරකයන් සිහි කිරීම පවත්වන්න හදන්නේ ගෙවල්වල කියලා දැනගත්තාම සංචාරක සේවක මෙහෙම ඇහුවා. “ඇයි ලොකු ශාලාවක් කුලියට ගන්නේ නැත්තේ?” නගරයේ 1,000කට විතර ඉඳගන්න පුළුවන් ලොකු ශාලාවක් තිබුණත් ප්‍රචාරකයන් හිටියේ 100ක් විතර. ඒ නිසා එච්චර ලොකු ශාලාවක් අවශ්‍ය නැහැ කියලයි සහෝදරයෝ හිතුවේ.
සංචාරක සේවක මෙහෙම යෝජනාවක් දුන්නා. “හැම ප්‍රචාරකයෙක්ම දහදෙනෙක්ව එක්කන් එන්න ඉලක්කයක් තියාගන්න. එතකොට ශාලාව පිරෙයි.” මුලින් ඒක කරන්න බැරි දෙයක් කියලා හිතුවත් ප්‍රචාරකයන් හැමෝටම ආරාධනා කරන්න සෑහෙන්න වෙහෙසුණා. එයාලාගේ මහන්සියට හොඳ ප්‍රතිඵල ලැබුණා. සිහි කිරීමට 1,036දෙනෙක් ඒ ශාලාවට ආවා.a
අලුත් ප්‍රදේශවල උද්යෝගයෙන් සේවය කරපු පුරෝගාමීන්
1992 වෙද්දීත් ජෝර්ජියාවේ සමහර ප්‍රදේශවල ශුභාරංචිය දේශනා කරලා තිබුණේ නැහැ. රටේම ආර්ථිකය කඩා වැටිලා තිබුණු වෙලාවක අලුත් ප්‍රදේශවල සේවය කරන්න යන එක ලේසි දෙයක් වුණේ නැහැ.
බටහිර ජෝර්ජියාවේ ජීවත් වුණු ටමෑසි බිබ්ලායා මෙහෙම මතක් කරනවා. “සංචාරක සේවක, කිහිපදෙනෙක්ව හම්බ වෙලා අලුත් ප්‍රදේශවල සේවය කරන්න යන එක ගැන කතා කළා. ඒ කාලේ විශේෂ පුරෝගාමීන් සඳහා තිබුණු සැලැස්ම ගැන අපි වැඩිය දැනන් හිටියේ නැහැ. ඒත් දේශනා කරන එක ඉක්මනින් කරන්න ඕනෙ කියලා අපි දැනන් හිටියා.” (2 තිමෝ. 4:2) ඒ නිසා පස්සේ පුරෝගාමීන් 16දෙනෙක්ව තෝරගෙන එයාලාව රටේ විවිධ ප්‍රදේශවලට මාස පහකට යවන්න තීරණය කළා.—සිතියම බලන්න.
පුරෝගාමීන්ට මාස 5ක කාලයකට සේවය කරන්න පැවරුම් ලැබුණු ප්‍රදේශ
1992 මැයි 4වෙනිදා ඒ යන අයව දිරිගන්වන්න ටිබිලිසිවල පැය තුනක රැස්වීමක් පැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි එයාලා ගියාට පස්සේ එයාලාගේ අවශ්‍යතාවන් ගැන බලන්නත් එයාලාව දිරිගන්වන්නත් හැම මාසයකම වැඩිමහල්ලන් ඒ ප්‍රදේශවලට ගියා.
මානෙයා අඩුඅෂ්විලි සහ නාසි ස්වානියා කියන සහෝදරියන් දෙන්නාට සේවය කරන්න ලැබුණේ ඔසුර්ගෙටී නගරයෙයි. ඒ වෙද්දී සහෝදරී මානෙයාට අවුරුදු 60යි. එයා මෙහෙම මතක් කරනවා. “අපි දැනන් හිටියා උනන්දුව දක්වපු කෙනෙක් ඔසුර්ගෙටී නගරයට කිට්ටුව පදිංචි වෙලා ඉන්නවා කියලා. අපි ඒ ප්‍රදේශයට ගිය ගමන්ම එයාට කතා කරලා එයාව බලන්න යන්න දවසක් දාගත්තා. අපි එහෙට යද්දී එයා තව 30දෙනෙක්ට විතර එතැනට එන්න කියලා තිබුණා. හැමෝම හරිම ආසාවෙන් අපි කියපු දේවල් අහන් හිටියා. එදාම අපි බයිබල් පාඩම් හුඟක් පටන්ගත්තා.”
ඊළඟ මාසවලදී උනන්දුව දක්වන හුඟදෙනෙක්ව අපිට හම්බ වුණා. මාස පහක් යද්දී 12දෙනෙක් බව්තීස්ම වෙන්නත් සුදුසුකම් ලැබුවා.
කැමැත්තෙන්ම ඉදිරිපත් වීමෙන් ලැබුණු ප්‍රතිඵල
පාව්ලේ ඇබ්ඩුෂෙලිෂ්විලි සහ පාටා මොර්බෙඩාඩ්සේ කියන පුරෝගාමි සහෝදරයන් දෙන්නාට සේවය කරන්න ලැබුණේ සගෙරිවලයි. ඒ පළාතේ අය ක්‍රිස්තියානි ඉගැන්වීම් එක්ක එකතු වුණු චාරිත්‍ර වාරිත්‍ර හරිම ඉහළින් සැලකුවා.
සගෙරි ප්‍රදේශය
ශීත සෘතුව වෙද්දී පුරෝගාමීන්ගේ මාස පහේ පැවරුම ඉවර වෙන්න ළං වෙලයි තිබුණේ. ඒ පැවරුමෙන් පස්සේ පාටාට වෙන ප්‍රදේශයක පරිවර්තන කටයුතුවලට හවුල් වෙන්න ආරධනාවක් ලැබුණා. එතකොට පාව්ලේ මොකක්ද කළේ? එයා ඒ ගැන මෙහෙම කියනවා. “මං දැනන් හිටියා සගෙරිවල ශීත කාලය ගත කරන එක ලේසි නැහැ කියලා. ඒත් අපිත් එක්ක බයිබලය පාඩම් කරපු අයට තව උදව් ඕනේ. ඒ නිසා මං එහේ නතර වෙන්න තීරණය කළා.”
පාව්ලේ මෙහෙමත් මතක් කරනවා. “මම නැවතිලා හිටියේ ඒ පළාතේ ගෙදරක. දවසේ වැඩි හරියක් මං සේවයේ ගියා. හවස් වෙලා ගෙදර ආවාම ගෙදර අයත් එක්ක ගිනි උඳුන ළඟට වෙලා හිටියා. කාමරයට ගියාම සීතල හින්දා තොප්පියක් දාගෙන ගනකම් රෙද්දකුත් පොරවගෙන නිදියගත්තා.”
වසන්ත කාලේ වෙද්දී වැඩිමහල්ලන් පාව්ලේව බලන්න ආවාම බව්තීස්ම නොවූ ප්‍රචාරකයන් 11දෙනෙක්ම එහේ හිටියා. ඒ හැමෝම ඊටපස්සේ බව්තීස්ම වුණා.
a 1992දී ජෝර්ජියාවේ ප්‍රචාරකයන් 1,869දෙනෙක් හිටියා. සිහි කිරීමට 10,332දෙනෙක් සහභාගි වුණා.