ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 58 පි.-65 පි. 1 ¶
  • ආසියාව සහ මැදපෙරදිග

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආසියාව සහ මැදපෙරදිග
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • අවුරුදු 100 වෙනුවෙන් පැය 100ක්
  • බන්ධනාගාරයේදී සාක්ෂි දරයි
  • එක්තැන් වුණ කාන්තාවක් දෙවිට ළං වෙයි
  • පැවිදි කෙනෙක් සත්‍යයට එයි
  • ආයෙත් හම්බ වුණා
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 58 පි.-65 පි. 1 ¶
ඊශ්‍රායලයේ ඉන්න සාක්ෂිකරුවන් දෙන්නෙක් ටැබ්ලට් එකක් පාවිච්චි කරලා ශුභාරංචිය දේශනා කරනවා

ඊශ්‍රායලය: ටැබ්ලට් එකක් පාවිච්චි කරලා ශුභාරංචිය දේශනා කරනවා

ලොව වටා සේවය

ආසියාව සහ මැදපෙරදිග

  • රටවල් ගණන 49

  • ජනගහනය 4,40,91,31,383

  • ප්‍රචාරකයන් ගණන 7,18,716

  • බයිබල් පාඩම් ගණන 7,66,364

අවුරුදු 100 වෙනුවෙන් පැය 100ක්

ආසියාවේ එක රටක ප්‍රසිද්ධ නිළියක් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඉගෙනගත්ත දේවල් ඉක්මනින් ජීවිතයට අදාළ කරගත්ත ඇය, පිළිම සහ භූතවාදයට සම්බන්ධ පොත් පත් අයින් කළා.

ඒත් යාළුවෙක් එයාට මෙහෙම කිව්වා. “අවුරුදු 3කට ඕක නවත්තලා ඔයාගෙ රස්සාව ගැන හිතන්න. පස්සේ පුළුවන්නෙ බයිබලේ ඉගෙනගන්න.”

ඒත් මේ කාන්තාව කිව්වේ “පොඩි කාලේ ඉඳන් මං දෙවියන් ගැන හෙව්වා. දැන් මට යෙහෝවා දෙවි ගැන දැනගන්න ලැබුණ වෙලාවේ ඇයි මං ඒක තවත් කල් දාන්නේ” කියලයි.

සේවා පාසැලේ මුල්ම කතාව දෙන්න හිටිය සතියේ එයාට චිත්‍රපටි සමාගමකින් ආරාධනාවක් ලැබුණා. එයාලා කියන ඕනම චරිතයක් රඟපානවා නම් හොඳට ගෙවනවා කියලත් කිව්වා. ඒත් එයා ඒක භාරගත්තේ නැහැ. 2014 මැයි මාසේ එයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණා. ඒ අවුරුද්දෙම අගෝස්තු මාසේ පැය 100ක් සේවය කරන්න ඕනේ කියලා එයා හිතුවා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “යේසුස් රජ වෙලා දැන් අවුරුදු 100යි. මට ඒක සමරන්න ඕනේ. ඒ නිසා අවුරද්දකට පැය ගාණේ පැය 100ක් සේවේ කරන්න මං ආසයි.” එයා ඒ ඉලක්කය ජය ගත්තා. 2015 ජනවාරි මාසේ බව්තීස්ම වුණ මේ සහෝදරිය දැන් සහායක පුරෝගාමි සේවය කරනවා.

බන්ධනාගාරයේදී සාක්ෂි දරයි

ශ්‍රී ලංකාවේ සහෝදරියන් 4දෙනෙක් කලාතුරකින් සේවය කරන ප්‍රදේශයක දේශනා කරන්න ගියා. එහේ සේවය කරපු 2වෙනි දවසේ භික්ෂුවක් සහ ත්‍රීරෝද රථ රියදුරෙක් එයාලව නවත්තලා හොඳටම බැන්නා. වැඩි වෙලාවක් යන්න කලින් මිනිස්සු 30දෙනෙක් විතර එයාලව වට කරගත්තා. ඒ වෙලාවේ එතනට ආපු පොලිස් නිලධාරීන් සහෝදරියන් වරදක් කරලා නැතත් අත්අඩංගුවට අරන් එයාලාව බන්ධනාගාරයට දැම්මා. මුළු රැයක් පුරා එයාලට ඉන්න වුණේ දරුණු අපරාධකාරියන් එක්ක. ඒ අයත් සහෝදරියන්ට අසභ්‍ය විදිහට බැන්නා. ඒත් සහෝදරියෝ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එයාලව දාපු හිරකූඩුවල හිටිය අයට දේශනා කළා. ඒ ගැන එක සහෝදරියක් කිව්වේ මෙහෙමයි. “මම හිටියේ මිනි මරපු අය එක්ක වුණත් මට පුළුවන් වුණා එයාලට දේශනා කරන්න. මාව ඇයි හිරේ දාලා තියෙන්නේ කියන එක ගැන එයාලා පුදුම වුණා. මගේ ආගම ගැනත් එයාලට දැනගන්න ඕන වුණා. මෙච්චර දෙයක් වෙලත් මං සතුටින් ඉන්නේ ඇයි කියලත් හිරකූඩුවේ හිටිය කෙනෙක් මගෙන් ඇහුවා.”

ශ්‍රී ලංකාවේ සහෝදරියන් හතරදෙනා

ශ්‍රී ලංකාව: කලාතුරකින් සේවය කරන පැත්තකට යන සහෝදරියන් බස් නැවතුම්පොළේදී

ඒ සහෝදරියන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීම ගැන පොලීසියට එරෙහිව නඩුවක් දැම්මා. ඒක විභාග කරන්න ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය එකඟ වෙලා තියෙනවා.

එක්තැන් වුණ කාන්තාවක් දෙවිට ළං වෙයි

මිචිකෝ ජපානයේ පුරෝගාමි සහෝදරියක්. එයා ඉස්පිරිතාලෙක හිටිය වයසක කාන්තාවක් එක්ක සංඥා භාෂාවෙන් බයිබල් පාඩමක් කළා. සංඥා භාෂාව කතා කරන තවත් අය ඉස්පිරිතාලේ ඉන්නවද කියලා ඒකෙ වැඩ කරන අයගෙන් එයා ඇහුවා. ඒ වෙලාවේ තමයි එයාට කසූමි කියන කාන්තාව හම්බ වුණේ. අවුරුදු 23දී රිය අනතුරකට ලක් වුණ නිසා එක්තැන් වුණු එයාට කන් ඇහුණත් කතා කරන්න බැහැ. එයාට කෑම බීම දෙන්නෙත් බටයකින්. මිචිකෝව මුණගැහුණ වෙලාවේ ගොඩක් ප්‍රශ්න අහපු කසූමි බයිබල් පාඩමක් කරන්න කැමති වුණා.

ජපානයේ ඉන්න කසූමි ඇඳේ ඉඳන් ලියුම් ලියනවා

ජපානය: කසූමි අනිත් අයව දිරිගන්වලා ලියුම් ලියනවා

පාඩම කරද්දී මිචිකෝ ප්‍රශ්න අහනවා. කසූමි එයාගේ ඇඟිල්ලෙන් ඡේදේ තියෙන උත්තරේ පෙන්නනවා. නැත්නම් උත්තරේ ලියනවා. කසූමිට ෆෝන් එකක් ලැබුණාට පස්සේ හැමදාම උදේට මිචිකෝ එයාත් එක්ක ෆෝන් එකෙන් දිනපදය සාකච්ඡා කරනවා. කසූමිගේ සෞඛ්‍ය තත්වය දුර්වල වුණත් එයා දෙවි එක්ක ඇති කරගත්ත බැඳීම එන්න එන්නම ශක්තිමත් වුණා. එයාගේ ආසාව වුණේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න. අවුරුදු 13ක් බයිබලය පාඩම් කළාට පස්සේ එයා බව්තීස්ම නොලත් ප්‍රචාරකයෙක් වුණා. එතකොට එයාට අවුරුදු 61යි.

කසූමි එක්තැන් වෙලා හිටිය නිසා රැස්වීම්වලට සහ සමුළුවලට සවන් දෙන්න සහෝදරයෝ උදව් කළා. එයා උත්තර ලියලා දුන්නාම සහෝදරියෝ රැස්වීමේදී ඒවා කියවනවා.

රැස්වීම්වලට එන අලුත් අයව දිරිගන්වලා කසූමි ලියුම් ලියනවා. එයා ඒවා ලියන්නේ එක් එක් කෙනා ගැන හිතලා ඒ අයට ගැළපෙන විදිහටයි. ඉස්පිරිතාලෙ වැඩ කරන අයටත් එයාව බලන්න එන අයටත් කසූමි දේශනා කරනවා. එයා ඒ අයට ලියලා පෙන්නන්නේ “බයිබලයේ තියෙන දේවල් ඉගෙනගන්නවා නම් ඔයාලට සතුටින් ඉන්න පුළුවන්” කියලයි.

පැවිදි කෙනෙක් සත්‍යයට එයි

ගිනිකොන දිග ආසියාවේ රටක සහෝදරියක් ඉස්පිරිතාලෙට ගිය වෙලාවක පැවිදි කෙනෙක්ව මුණ ගැහුණා. එයාට දේශනා කරන්න ඕනේ කියලා හිතපු සහෝදරිය “ලෙඩක් දුකක් නැතුව ලස්සන තැනක හැමදාම ජීවත් වෙන්න ආසද” කියලා ඇහුවා. ඊටපස්සේ ඇති වුණ සාකච්ඡාව නිසා ‘දෙවිට සවන් දෙන්න’ කියන සඟරාව එයාට දෙන්න පුළුවන් වුණා. තවත් තොරතුරු දැනගන්න කැමැත්තෙන් එයා දුරකථන අංකයත් සහෝදරියට දුන්නා. ඒ නිසා සභාවේ සහෝදරයෙක්ට එයාව මුණගස්වන්න ඇය සැලසුම් කළා. ඒ සහෝදරයා ඉක්මනින්ම එයාට කතා කරලා විශේෂ දේශනය අහන්න ආරාධනා කළා. එදා රැස්වීමට ආපු මේ පැවිදි කෙනාට ලොකු සතුටක් දැනුණා. අපේ ගීතිකාවලට එයා හුඟක් ආස කළා. ඒ විතරක් නෙමෙයි සහෝදරයෝ එයාව ආදරෙන් පිළිගත්ත විදිහත් එයාගේ සිත්ගත්තා.

සාක්ෂිකරුවන්ගේ සෙමනේරි තියෙනවද කියලා මේ පැවිදි කෙනා ඇහුවම, සහෝදරයා අපි බයිබල් පාඩම් කරන විදිහ ගැන පැහැදිලි කළා. එයා බයිබල් පාඩමක් කරන්න කැමති වුණා. ඊළඟ සතියේ සහෝදරයාට එයාව මුණගැහෙනකොට ‘බයිබලයේ ඉගැන්වීම්’ පොතේ මුල් පරිච්ඡේදයට එයා හොඳට සූදානම් වෙලයි හිටියේ. ඒ විතරක් නෙමෙයි එයා රැස්වීම්වලට එන්නත් ‘මුරටැඹ’ පාඩමේදී උත්තර දෙන්නත් පටන්ගත්තා.

දවසක් සමුළුවකට ගිය වෙලාවේ ඒ සමුළුවට ඇවිත් හිටිය ශාඛා කාර්යාල නියෝජිතයා එයාට ශාඛා කාර්යාලය බලන්න එන්න කියලා ආරාධනා කළා. ඊළඟ සතියෙම එයා ශාඛා කාර්යාලය බලන්නත් ගියා. එහෙට යන්න පැය 10ක් විතර ගත වුණා. එහෙදී සහෝදරයන් එයාව පිළිගත්තේ හරිම ආදරෙන්. 2015 පෙබරවාරි මාසේ පැවිදි ජීවිතේ අත්හැරපු එයා දැන් හොඳින් සත්‍යය තුළ දියුණු වෙනවා.

ආයෙත් හම්බ වුණා

ඊසානදිග ඉන්දියාවේ හුඟ කාලෙකින් දේශනා කරලා නැති පැත්තක සේවය කරන්න මෑතකදී පුරෝගාමි යුවළක් යැව්වා. එහෙදී එයාලට බයිබල් පාඩම් ගොඩක් හම්බ වුණ නිසා එයාලා හිටියේ රැස්වීම් තියන්න තැනක් හොයහොයා. දවසක් එයාලා බයිබල් පාඩමකට යද්දී බාගෙට හදපු ගොඩනැඟිල්ලක් පහු කරගෙන ගියා. රැස්වීම් තියන්න ඒ තැන හොඳයි කියලා හිතුව මේ යුවළ ඒ ගැන අහන්න ඕනෙ කියලා හිතලා ආයෙත් හැරිලා ඇවිත් ඒ ළඟක හිටපු වයසක කාන්තාවට කතා කළා. එයාලා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා හඳුන්වලා දුන්නාම ඒ කාන්තාවගේ මුහුණ සතුටින් පිරුණා. “මමත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්” කියලා එයා කිව්වා. ඊටපස්සේ එයා මේ දෙන්නට ගෙදරට එන්න කියලා එයා ළඟ තිබුණු 1970 ගණන්වල සහ 80 ගණන්වල අපේ පොත් පත් පෙන්නුවා. එයා අවුරුදු 30කට විතර කලින් එහෙ හිටපු පුරෝගාමීන් එක්ක බයිබලය පාඩම් කරලා තිබුණා. සැමියා විරුද්ධ වුණත් එයා කිහිප සැරයක් රැස්වීම් ගිහිල්ලත් තිබුණා. සත්‍ය ආගම මේකයි කියලා එයා තේරුම් අරන් තිබුණා. ඒත් පුරෝගාමීන් ඒ පැත්තෙන් ගියාට පස්සේ එයාට සාක්ෂිකරුවන්ව මුණගැහිලා තිබුණේ නැහැ. එයාගේ දරුවෝ එක එක ක්‍රිස්තියානි සභාවලට ගියත් මේ කාන්තාව ඒ කිසිම සභාවකට යන්න කැමති වෙලා නැහැ.

ඉන්දියාවේ කාන්තාවක් එයා ළඟ තියෙන 1970 ගණන්වල සහ 80 ගණන්වල පොත් පත් පෙන්නනවා

ඉන්දියාව: කාන්තාවක් එයා ළඟ තියෙන 1970 ගණන්වල සහ 80 ගණන්වල පොත් පත් පෙන්නනවා

එයාගේ දරුවන් ළඟදී ඉඳන් එයාට කතෝලික පල්ලියට යන්න කියලා බල කරන්න පටන් අරන්. එයාලා කිව්වේ මැරුණු දවසක කතෝලික ආගමේ විදිහට අවසන් කටයුතු කරන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි කියලයි. දවසක් මේ කාන්තාවගේ නංගි බලෙන්ම වගේ එයාව පල්ලියට එක්කන් යන්න හැදුවත් වාහන තදබදය නිසා ආයෙත් ගෙදර එන්න වුණා. පහුවදා එක්කගෙන යන්නම් කියලා නංගි කිව්වත් එයා අසනීප වුණ නිසා එදත් යන්න බැරි වුණා. එදා හවසම තමයි පුරෝගාමි යුවළට මේ කාන්තාව හම්බ වුණේ. එයා දැන් ආයෙත් බයිබලය පාඩම් කරනවා. රැස්වීම්වලට යනවා. ඒ විතරක් නෙමෙයි බයිබලය පාඩම් කරන්න කියලා එයාගේ දරු මුණුපුරන්ටත් උනන්දු කරනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න