ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb14 46-52 පි.
  • අප්‍රිකා මහද්වීපය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අප්‍රිකා මහද්වීපය
  • 2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • උපමාතෘකා
  • “මම මහා බැබිලෝනියෙන් අයින් වෙන්න තීරණය කළා”
  • සහෝදරයන් අටදෙනෙක් ඔහුත් එක්ක පාඩම් කළා
  • “යෙහෝවා දෙවියි, දේවදූතයනුයි මගේ යාළුවෝ වෙයි”
  • පූජකවරිය ඇයව වැට්ටුවා!
  • පුංචි දැරියකගෙන් ආරාධනයක්
  • ආගමික නායකයන් ගැන කලකිරිලා
2014 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb14 46-52 පි.

ලොව වටා සේවය

අප්‍රිකා මහද්වීපය

  • රටවල් ගණන 58

  • ජනගහනය 97,96,85,702

  • ප්‍රචාරකයන් ගණන 13,63,384

  • බයිබල් පාඩම් ගණන 32,65,314

“මම මහා බැබිලෝනියෙන් අයින් වෙන්න තීරණය කළා”

උගන්ඩාවේ ජීවත් වන තොම්සන්, පූජකයන් මුදල්වලට දක්වන කෑදරකම නිසා ආගම් ගැන කලකිරී සිටි තරුණයෙක්. ඒත් ඔහු බයිබලය කියවන එක නතර කළේ නැහැ. ඔහු වැඩියෙන්ම ආස කළේ එළිදරව් පොතට. එය කියවා, තේරුම්ගත් දේවල් ඔහු සරල බසින් වෙනත් පොතක ලිව්වා. සාක්ෂිකරුවෙකුට රැකියා ස්ථානයේදී තොම්සන්ව මුණගැහෙනකොටත් ඔහු හිටියේ බයිබලය කියවමින්. ඒ අවස්ථාවේදී හොඳ සාකච්ඡාවක් ආරම්භ වූ අතර ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ යන පොතක්ද ඔහු ලබාගත්තා. එක රැයින්ම පොත කියවූ ඔහු පසුවදා සහෝදරයාට මෙහෙම සඳහන් කරලා කෙටි පණිවිඩයක් යැව්වා. “ඔයා දුන්න පොතේ තිබ්බ තොරතුරු ගැන මම දෙවියන්ට ස්තුති කරනවා. මම මහා බැබිලෝනියෙන් අයින් වෙන්න තීරණය කළා.” ඒ පොතේ පාදසටහන්වල සහ උපග්‍රන්ථවල සඳහන් කරලා තිබුණ හැම පොතක්ම ඔහු සහෝදරයාගෙන් ඉල්ලුවා. ඉක්මනින්ම දියුණු වූ තොම්සන් 2012 වසරේ පැවැත් වූ “ඔබේ සිත ආරක්ෂා කරගන්න!” නමැති තුන්දින සමුළුවේදී බව්තීස්ම වුණා. 2013 මාර්තු මාසයේදී ස්ථාවර පුරෝගාමි සේවය ආරම්භ කළ ඔහු දැන් බයිබලයේ තිබෙන සත්‍ය ඉගැන්වීම් අන් අයටත් කියා දෙනවා.

සහෝදරයන් අටදෙනෙක් ඔහුත් එක්ක පාඩම් කළා

ජිමී ජීවත් වුණේ මොරිෂස්වල පෝර්ට් ලුවිස් නගරයේ. අවුරුදු 16දී මත්පැන් බොන්න පටන්ගත් ඔහු එයට ඇබ්බැහි වුණා. මත්පැන් නිසා කලහකාරීව හැසිරුණු ඔහුට කීප වතාවක් සිරබත් කන්නත් සිදු වුණා. සමහර අවස්ථාවල ඔහු දිනකට මත්පැන් බෝතල් තුනක් සහ සිගරට් 60ක් බිව්වා. සල්ලි නැති වෙද්දී ජනෙල් පිරිසිදු කරන්න පාවිච්චි කළ මද්‍යසාර අඩංගු දියර පවා බොන්න ඔහු පෙලඹුණා. කොච්චර ඇබ්බැහි වුණාද කිව්වොත් අම්මා ළඟ තිබුණු ඕඩිකලෝන් බෝතලයත් බිව්වා. දවසක් ඔහු මළමිනියක් වගේ කියලා කෙනෙක් කිව්ව නිසා පුනරුත්තාපනය කරන තැනකට යන්න ඕන කියලා ජිමී හිතුවා. එහේ අවුරුදු එකහමාරක් හිටියත් පුරුද්ද අත් හරින්න බැරි වුණා.

රොඩ්රිගේස් දූපත: ජිමී තම ජීවිතය වෙනස් කරගන්න තීරණය කළා

කාලයක් යද්දී ජිමී සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. ඒත් සැරින් සැරේ බොන්න පෙලඹුණු නිසා පාඩම එක දිගට කළේ නැහැ. ඒ නිසා සහෝදරයන් අටදෙනෙක් වරින් වර ඔහුත් එක්ක පාඩම් කළා. අන්තිමේදී ඔහු ජීවිතය වෙනස් කරගන්න හිතුවා. ඔහු මෙහෙම කියනවා. “හෙබ්‍රෙව් 4:12 කියන විදිහට දෙවිගේ වචනය කඩුවක් වගේ මගේ හිත පසාරු කරගෙන යනවා කියලා මට දැනුණා. දවසක් මම බයිබලය කියවද්දී හිතෝපදේශ 24:16 ‘ධර්මිෂ්ඨයා සත් වතාවක් වැටුණත් ඔහු නැඟිටින්නේය’ කියන වචන ටික දැක්කා. ඒක මගේ හිතට වැදුණා.” මේ පාර නම් කොහොමහරි ජීවිතය වෙනස් කරගන්නවා කියලා හිතුව ජිමී ඒ සඳහා යෙහෝවා දෙවිගෙන් ශක්තිය ඉල්ලුවා. රැස්වීම්වලට නිතිපතා ගියා. ඒ වගේම නරක පුරුදු අත්හැරියා. 2003දී බව්තීස්ම වූ ඔහු 2012දී ස්ථාවර පුරෝගාමියෙක් වුණා. දැන් ඔහු රොඩ්රිගේස් දූපතේ තිබෙන සභාවක සහායක සේවකයෙක්.

“යෙහෝවා දෙවියි, දේවදූතයනුයි මගේ යාළුවෝ වෙයි”

කෙන්යාවේ ජීවත් වෙන මේරිගේ වයස අවුරුදු 70යි. කලින් ප්‍රෙස්බිටේරියන් පල්ලියේ සාමාජිකාවක් වූ ඇය පල්ලියට ආධාර එකතු කරන්න මූලිකත්වය අරගෙන කටයුතු කළ කෙනෙක්. එක් අවස්ථාවක ඇය පල්ලියක් හදන්නත් උදව් කළා. මේ අතර මේරිගේ එක පුතෙක් සාක්ෂිකාරයෙක් වුණා. ඔහු මේරිටත් රැස්වීම්වලට එන්න කියලා කිව්වාම බයිබලයේ පණිවිඩය, ඇගේ භාෂාව වන කිකූයු භාෂාවෙන් මිසක් ස්වහීලී භාෂාවෙන් අහන්න කැමති නැහැ කියා ඇය කිව්වා. ටික කාලයකට පස්සේ මේරි කිකූයු භාෂාවෙන් පවත්වපු සමුළුවකට ගියා. සමුළුවේදී ඇය ඉඳගත්තේ වැඩිහිටි අයට වෙන් කර තිබූ තැනකයි. එහි සිටි අය කාරුණිකව සැලකූ විදිහ ගැන ඇයට ආස හිතුණා. ඒ විදිහට කවදාවත් පල්ලියේදී ඇයට සලකලා නැහැ. සමුළුවේ දුන් හැම කතාවකටම හොඳින් ඇහුම්කන් දුන් මේරි, අහන්න ලැබුණු තොරතුරු ගැනත් හුඟක් සතුටු වුණා. ‘දෙවිට සවන් දෙන්න’ යන සඟරාවෙන් බයිබල් පාඩමක් කරන්න කැමතිද කියා මේරිගෙන් ඇසූ විට ඇය කැමැත්තෙන්ම එය පිළිගත්තා.

මාස කිහිපයක් පාඩම කරගෙන යද්දී ඇයටත් සාක්ෂිකාරයෙක් වෙන්න ඕන වුණා. ඒ නිසා මේරි පල්ලියෙන් ඉවත් වුණා. ඒ ගැන කෝප වුණ පල්ලියේ නායකයන් නයිරෝබි නගරයේ පූජකයෙක්ව ගෙන්වා ඇය සමඟ කතා කරන්න සැලැස්සුවා. ඔහු මේරිගේ තීරණය වෙනස් කරන්න වෑයම් කළත් ඇය වෙනස් වුණේ නැහැ. “ඔයා පල්ලියෙන් ගියොත් ඔයාට යාළුවෝ නැති වෙයි. ඔයාගේ යාළුවෝයි අසල්වැසියොයි මේ පල්ලියේ අය නේද” කියලා පූජකයා ඇගෙන් ඇහුවා.

“යෙහෝවා දෙවියි, දේවදූතයනුයි මගේ යාළුවෝ වෙයි. ඒ විතරක් නෙමෙයි සාක්ෂිකාරයොත් මගේ යාළුවෝ වෙයි” කියලා මේරි කිව්වා.

මේරිගේ හිත වෙනස් කරන්න බැහැ කියා තේරුම්ගත් පූජකයා යන්න ගියා. දිගටම උනන්දුවෙන් බයිබලය පාඩම් කරන මේරි රැස්වීම් පවත්වන ස්ථානය ඇගේ නිවසට හුඟක් දුරින් තිබුණත් හැම රැස්වීමකටම සහභාගි වෙනවා. දවසක් ඇයට රැස්වීමට යන්න ප්‍රවාහණ පහසුකම් තිබුණේ නැහැ. එදා වැහි දවසක් වුණත් ඇය පයින්ම රැස්වීමට ගියා. අසල්වැසියන් කොයි තරම් විරුද්ධ වුණත් බව්තීස්මය දක්වා දියුණු වෙන්න ඇය අදිටන් කරගෙන ඉන්නවා.

ලයිබීරියාව: සිහි කිරීමට සූදානම්වෙමින්. ප්‍රචාරකයන් 6,148ක් සිටින ලයිබීරියාවේ 2013 වසරේ සිහි කිරීමට 81,762ක් සහභාගි වුණා

පූජකවරිය ඇයව වැට්ටුවා!

කැමරූන් රටේ ජීවත් වන ඇෂ්ටන්ගේ වයස අවුරුදු 14යි. ඇය ජීවත් වුණේ ඇගේ මහප්පා සහ ලොකු අම්මා සමඟයි. ඇෂ්ටන් සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරන්න පටන්ගත්තාම ඔවුන් තදින්ම විරුද්ධ වුණා. ඒ නිසා ඔවුන් ඇයව බලෙන්ම පෙන්තකොස්ත සභාවට එක්කගෙන ගියා. ඒ සභාවේ පූජකවරිය එතැනට ඇවිත් සිටි අයගේ ඔලුවට අත තියලා යාච්ඤා කරද්දී හැමෝම වගේ ඇදගෙන වැටුණා. ඒත් ඇෂ්ටන් වැටුණේ නැහැ. නැවත නැවත යාච්ඤා කළත් ඇය වැටුණේ නැති නිසා පූජකවරිය ඇගේ කකුල පටලවලා වැටෙන්න සැලැස්සුවා. ඇෂ්ටන් ගෙදර එන ගමන් ඒ ගැන මහප්පලාට කිව්වත් ඔවුන් එය විශ්වාස කළේ නැහැ. ඒ වෙලාවේ ඇය තීරණය කළා ආයෙත් කවදාවත් ඒ ආගමික මෙහෙයන්වලට යන්නේ නැහැ කියලා. නෑයන්ගෙන්, අසැල්වැසියන්ගෙන් විරුද්ධවාදිකම් සහ නින්දා අපහාස එල්ල වුණත් ඇය දැන් දිගටම රැස්වීම්වලට සහභාගි වෙනවා.

පුංචි දැරියකගෙන් ආරාධනයක්

ඇංගෝලාවේ ඉන්න පුංචි අනිල්පාගේ වයස මාස 17යි. තුන් දින සමුළුවේ ආරාධනා පත් බෙදන්න ඇයත් හවුල් වුණා. අනිල්පා දොරට තට්ටු කර නිවැසියා ආ විට ආරාධනා පත දෙනවා. එවිට ඇගේ මව ඒ ගැන පුංචි විස්තරයක් නිවැසියාට කියනවා. අනිල්පාට කොච්චර උනන්දුවක් තිබුණාද කියනවා නම් අම්මා විස්තරය කියලා ඉවර වෙන්නත් කලින් ඇය ඊළඟ නිවසට ගිහින් දොරට තට්ටු කරනවා. ඇය කළ දේ ඒ නිවැසියන් කොච්චර අගය කළාද කියනවා නම් සමුළුවේ අවසාන දවසේ අනිල්පාව සොයාගෙන ආව කාන්තාවක් මෙහෙම කිව්වා. “මම හැම තැනම ඔයාව හෙව්වා. ඔයා තමයි මට සමුළුවට එන්න කියලා ආරාධනා කළේ.”

ආගමික නායකයන් ගැන කලකිරිලා

2012 අගෝස්තු මාසයේදී මැඩගස්කරයේ ඇන්ටවයිරන්බෝ සභාවේ ප්‍රචාරකයන්ට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් වෙන්න කැමතියි කියා කියූ පිරිසක් හමු වුණා. ඔවුන්ගේ ආගමික නායකයන්, උගන්වන දේවල්වලට එකඟව ජීවත් වෙන්නේ නැති නිසා ඔවුන් හිටියේ කලකිරිලා. ඒ වගේම ඔවුන්ගේ පල්ලිවල බයිබලය ගැන ඉගැන්නුවේවත් තම විශ්වාසයන් පැහැදිලි කරන්න හරිහමන් පොතක් තිබුණේවත් නැහැ කියලත් ඔවුන් කිව්වා. ඒත් පල්ලියෙන් ඔවුන්ගෙන් විශාල මුදලක් අය කරගෙන තිබුණා. ඒ වගේම පල්ලියේ සාමාජිකයන් අතර කිට්ටු බැඳීමක් තිබිලත් නැහැ. ඒත් සාක්ෂිකරුවන් ඊට වඩා වෙනස් කියලා ඔවුන්ට දැනගන්න ලැබිලා.

ඒ කණ්ඩායම ශාඛා කාර්යාලයට එවූ ලිපියක මෙහෙම සඳහන් වුණා. “අපි මේ ලියුම ලියන්නේ යෙහෝවා දෙවිට සේවය කරන්න ආස නිසයි. ඒත් අපි ජීවත් වෙන්නේ ඈත පළාතක. අපේ සමහරක් අය ඉන්න තැන ඉඳන් රැස්වීම් තියෙන තැනට පයින් යන්න පැය 9ත් 15ත් අතර කාලයක් යනවා. අපි ඔයාලගෙන් ඉල්ලන්නේ බයිබලය උගන්වන්න කාව හරි එවන්න කියලයි. අපි දෙවිට සේවය කරන්න කොච්චර ආස වුණත් කාගේ හරි උදව්වක් නැතුව යෙහෝවා දෙවිට කිට්ටු වෙන්නත් ඔහුට මුළු හදවතින්ම සේවය කරන්නත් අපිට අමාරුයි. ගම් තුනක ජීවත් වෙන අපි 215දෙනා විවිධ ආගම්වලට අයිති වෙලා හිටියත් දැන් අපිට ඕන යෙහෝවා දෙවිට සේවය කරන්නයි. අපිට විශ්වාසයි ඔයාලා අපිට උදව් කරයි කියලා.”

සහෝදරයන් ඔවුන්ව මුණගැහෙන්න පයින්ම ඒ පළාතට ගියා. ඒ ගමනට පැය 9ක කාලයක් ගත වුණා. ඔවුන් ඒ ගමේ පැවැත්වූ රැස්වීමට 65දෙනෙක් සහභාගි වුණා. ඉක්මනින්ම ඒ ආරංචිය අනිත් ගම්වලටත් පැතිරුණ නිසා ඒ ගම්වලටත් එන්න කියලා සහෝදරයන්ට ආරාධනා කළා. ඒ නිසා සහෝදරයන් තවත් පැය 4ක් පයින් ගිහින් තවත් ගමක රැස්වීමක් පැවැත්තුවා. එයට 80දෙනෙක්ට වඩා සහභාගි වුණා. වෙනත් ගමකින් පැමිණ සිටි පිරිසක් ඔවුන්ගේ ගමටත් එන්න කියලා සහෝදරයන්ට කිව්වා. ඒ ගමට යන්න තවත් පැය 2ක් ගිය අතර එහි පවත්වපු රැස්වීමට 50කට වඩා වැඩිදෙනෙක් සහභාගි වුණා.

මහනොරොවල පැවැත්වූ සමුළු දෙකකට මේ ගම්වලින් 30කට වඩා වැඩිදෙනෙක් දෙවතාවක් ඇවිත් තිබෙනවා. සමුළුවට එන්න විතරක් ඔවුන්ට දවස් එකහමාරක් ඇවිදින්න වුණා. ඔවුන්ගෙන් 25දෙනෙක් චාරිකා සතියේ රැස්වීම්වලටත් ආවා. ඒ අතරේ විවාහක අය, දරුවන් සහ වයසක අය හිටියා. ඔවුන් හැමෝම නතර වුණේ එකම ගෙදර. එදා ඔවුන් හුඟක් රෑ වෙන කල් ඉගෙනගත් දේවල් ගැන සාකච්ඡා කළා. ගමේ ඉන්න තවත් බොහෝදෙනෙක් සාක්ෂිකරුවන් වෙන්න කැමැත්තෙන් ඉන්නවා කියලත් ඔවුන් කිව්වා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න