සියරා ලියොන් සහ ගිනියාව
1945 සිට 1990 දක්වා ‘ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කිරීමට බොහෝදෙනෙකුට උදව් කරයි.’—දානි. 12:3. (1වෙනි කොටස)
ගිලියද් මිෂනාරිවරුන් පැමිණෙයි
1947 ජූනි මාසයේදී ගිලියද් පාසැලෙන් පුහුණුව ලැබූ චාල්ස් ෆිට්ස්පැට්‍රික්, ජෝජ් රිචඩ්සන් සහ හ්යුබට් ග්රෙෂම් යන සහෝදරයන් මුල්ම මිෂනාරිවරුන් ලෙස ෆ්‍රීටවුන් නගරයට පැමිණියා.
සියරා ලියොන්වල සිටි ප්‍රචාරකයන් දේශනා කරන්න උනන්දුවක් දැක්වූවත් ගුරුවරුන් හැටියට ඔවුන් තවත් දියුණු වෙන්න අවශ්‍ය බව මිෂනාරිවරුන්ට තේරුණා. (මතෙ. 28:20) ඒ නිසා නැවත බැලීම් සහ බයිබල් පාඩම් කරන ආකාරය මිෂනාරිවරුන් ඔවුන්ට කියා දෙන්න පටන්ගත්තා. ඒ වගේම රැස්වීම් පවත්වන ආකාරය ගැනත් සංවිධානයේ අලුත්ම මඟ පෙන්වීම් ගැනත් ඔවුන්ව දැනුවත් කළා. මිෂනාරිවරුන් නගරයේ ශාලාවක් කුලියට ගෙන විශේෂ රැස්වීමක්ද පැවැත්වූවා. එයට 450දෙනෙක් සහභාගි වීම ගැන මිෂනාරිවරුන්ට දැනුණේ පුදුම සතුටක්. ඉන්පසුව ඔවුන් සෑම සතියේම සඟරා දිනයක් හඳුන්වා දුන්නා. ලබා දුන් පුහුණුව නිසා සහෝදරයන් තුළ ලොකු උනන්දුවක් ඇති වුණා වගේම එය විශාල වර්ධනයකටත් මඟ පෑදුවා.
නමුත් මිෂනාරිවරුන්ට ඒ රටේ දේශගුණයට හුරු වෙන්න නම් ලේසි වුණේ නැහැ. ඒ ගැන 1948දී ශාඛා කාර්යාලයේ වාර්තාවක මෙසේ සඳහන් වුණා. “සියරා ලියොන්වල දේශගුණය හරිම දුෂ්කරයි. අවුරුද්දේ මාස 6ක්ම පවතින්නේ තද වැසි සහිත කාලයක්. සමහර දිනවල සති දෙකක් පුරා නොකඩවා ධාරානිපාත වැහි ඇද හැලෙනවා. වියලි කාලයේදී දරාගන්න බැරි උණුසුමක් තියෙනවා.” සියරා ලියොන්වලට පැමිණි මුල් යුරෝපීය ජාතිකයන් ඒ රට හැඳින්වූයේ සුදු මිනිසුන්ගේ මිනී වල කියලයි. මැලේරියාව, කහ උණ වැනි රෝග බහුලව පැතිරුණු නිසා අසනීප වූ මිෂනාරිවරුන්ට රටෙන් පිට වී යන්න සිදු වුණා.
ඒ ගැන ප්‍රචාරකයන්ට දැනුණේ ලොකු දුකක්. නමුත් ඔවුන් අධෛර්ය වුණේ නැහැ. 1947 සිට 1952 දක්වා කාලය තුළදී ප්‍රචාරකයන්ගේ ගණන 38 සිට 73 දක්වා වැඩි වුණා. වෙහෙස මහන්සි නොබලා සේවය කළ පුරෝගාමීන්ට ෆ්‍රීටවුන් නගරයට ආසන්නයේ තිබූ වෝටර්ලූවල අලුත් සභාවක් ආරම්භ කරන්න හැකි වුණා. ඒ වගේම කිසී සහ වෙලින්ටන් නගරවලත් අලුතින් කණ්ඩායම් බිහි වුණා. මෙය තවත් ආශීර්වාද රැසකට මඟ පෑදුවා.
දිරිගැන්වීමෙන් සතුටක් ලබයි
1952 නොවැම්බර් මාසයේ හීන්දෑරි, උස ඇමරිකානු සහෝදරයෙක් ෆ්‍රීටවුන් නගරයට පැමිණියා. වයස අවුරුදු තිස්ගණන්වල පසු වූ ඔහු ලෝක මූලස්ථානයෙන් පැමිණි මිල්ටන් හෙන්ෂල්. ඔහු නගරයට ආ පළමු දවස ගැන සිහි කරමින් මෙහෙම කිව්වා. “මං බලාපොරොත්තු වුණාට වඩා ඒ නගරය පිරිසිදුයි. මිනිස්සුන්ගෙනුත් පිරිලා. ඒ වගේම පාරවල් හොඳට හදලා. සාප්පු, අලුත් කාර් එහෙමත් දකින්න තිබුණා.”
සුප්‍රසිද්ධ පුළුන් ගස කිට්ටුව පිහිටි මිෂනාරි නිවසට ගිය සහෝදර හෙන්ෂල් එතැන සිටි සහෝදරයන්ට කිව්වේ සියරා ලියොන්වලට තවත් උදව් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලයි. ඊළඟ ඉරිදා කුලියට ගත් ශාලාවක පැවැත් වූ රැස්වීමට 253දෙනෙක් රැස් වුණා. ඔවුන්ට සහෝදර හෙන්ෂල් කළ විශේෂ නිවේදන කිහිපයකටත් සවන් දෙන්න අවස්ථාව ලැබුණා. සියරා ලියොන්වල අලුත් ශාඛා කාර්යාලයක් ගොඩනඟන බවත් චාරිකා සේවකයෙක් පත් කරන බවත් චාරිකා සමුළු පැවැත්වීමට කටයුතු කරන බවත් කිසී නගරයේ අලුතින් සභාවක් ආරම්භ කරන බවත් දේශනා සේවයේ වැඩකටයුතු පුළුල් කරන බවත් ඔහු නිවේදනය කළ විට පැමිණ සිටි සියලුදෙනාම සතුටින් පිරී ඉතිරී ගියා.
සහෝදර හෙන්ෂල් මෙහෙම කිව්වා. “අහන්න ලැබුණු හැම දෙයක් ගැනම සහෝදරයන් ගොඩක් සතුටු වුණා. එයාලට පුදුම උන්නදුවක් තිබුණේ. සමහර අය අඳුර වැටෙනකල්ම ශාලාවේ හිටියා. එයාලා ගෙදර යන ගමන් ගීතිකා කිය කියයි ගියේ.”
ටික කලකින් අලුත් මිෂනාරි සහෝදරයෙක් ආවා. ඔහු විලියම් නුෂීයි. ශාඛා කාර්යාලයේ වැඩකටයුතු බලාගැනීමට පත් කර තිබුණේ ඔහුවයි. ඔහු සත්‍යයට එන්න කලින් ඇමරිකාවේ කැසිනෝවල වැඩ කරපු කෙනෙක්. ක්‍රිස්තියානියෙක් වුණාට පසු ඔහු ඒ රැකියාව අත් හැර ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කරන්න පටන්ගත්තා. ඔහුට සියරා ලියොන්වල සහෝදරයන්ගේ ආදරයත් ගෞරවයත් නොමදව ලැබුණා.