බයිබලෙන් රසවත් තොරතුරක්
බයිබල් කාලවල මාළු දැල්
යේසුස්ගේ ගෝලයන්ගෙන් සමහරදෙනෙක් ධීවරයෝ. (මාක් 1:16-20) ගලීල මුහුදේ මාළු අල්ලද්දී එයාලා මාළු දැල් පාවිච්චි කළා.
ඒ කාලේ මාළු දැල් හැදුවේ හීනි හණ ලණු එකට ගැටගහලා. දැලේ හිල් කොච්චර ලොකුද පොඩිද කියන එක තීරණේ වුණේ අල්ලන්න බලාපොරොත්තු වෙන මාළු වර්ගය අනුව. පොඩි දැල් සාමාන්‍යයෙන් හදලා තිබුණේ රවුමට. ඒවා වටේට ඊයම්, ගල් එල්ලලා තිබුණ නිසා ඒ දැල් ලේසියෙන්ම වතුරේ ගිලුණා. ඒවා ගිලෙද්දී මාළු ඒවාට අහු වුණා. හැබැයි ලොකු දැල් ඒ කියන්නේ මාදැල් දැම්මේ වතුරේ කෙළින් අතට. දැලේ යට කොටසේ බර දේවල් ගැටගහලා තිබුණා. උඩ කොටසේ ලී වගේ පාවෙන දේවල් ගැටගහලා තිබුණා. ඒ නිසා ඒක කෙළින් අතට රැඳෙනවා. ඒක වතුර දිගේ ඇදගෙන යද්දී පීනගෙන යන මාළු ඒකේ පැටලෙනවා.
ඒ කාලේ මාළු දැල් හරිම ගණන්. මුහුදු පතුලේ තියෙන ගල්වල පැටලෙන නිසා නැත්නම් දැලට අහු වෙන මාළුන්ගේ බර නිසා ඒ දැල් ඉරෙන්න පුළුවන්. (ලූක් 5:6) බයිබලේ කියනවා යාකොබ් සහ යොහන් එයාලාගේ මාළු “දැල්වල ඉරුණු තැන් හදහද” හිටියා කියලා. (මතෙ. 4:21) එයාලා ඉරුණු තැන් මහන්න ඇත්තේ ඉඳිකට්ටක් සහ ලිනන් නූල් පාවිච්චි කරලා. මුහුදු ගිහින් එන හැම සැරේකම ධීවරයෝ ඒක කරන්න ඇති. ලූක් කියනවා ධීවරයෝ දැල්වල තිබුණ කුණු, මඩ යවන්න “දැල් හෝදහෝද හිටියා” කියලා. (ලූක් 5:2) ඊටපස්සේ දැල් වේළෙන්න එයාලා ඒවා එල්ලලා තිබ්බා. පේන විදිහට එහෙම කළේ ඒවා දිරන්නේ නැති වෙන්න.—එස. 47:10.
දැල් දාලා මාළු අල්ලන්න දැනන් හිටපු සමහරුන්ට යේසුස් කිව්වා “මිනිස්සුන්ව අල්ලන්නන්” වෙන්න එන්න කියලා.