2026 අගෝස්තු 10-16
ගීතිකාව 122 ස්ථිරව නොසැලී සිටිමු
විශ්වාසේ හෙල්ලෙද්දීත් ළැදිව ඉන්න නම් . . .
“ස්වාමීනි, අපි කා ළඟට යන්නද? ඔයා තමයි සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන දේවල් උගන්නන්නේ.”—යොහ. 6:68.
ලිපියේ අරමුණ
මොන ප්‍රශ්නෙට මූණ දුන්නත් දිගටම යෙහෝවාට ළැදිව ඉන්න අපිට පුළුවන්.
1-2. යේසුස් කපර්ණවුමේ උගන්නද්දී වුණේ මොකක්ද?
යේසුස් කපර්ණවුමේ උගන්න උගන්න ඉද්දී ඔහු කියපු දෙයක් අහලා ගෝලයන්ගෙන් හුඟදෙනෙක් කිව්වා “මේක මහ පුදුම කතාවක්නේ. මේවා අහන් ඉන්න පුළුවන් කාටද” කියලා. (යොහ. 6:60) ඒත් ඒ වගේ දෙයක් කියන්න තරම් යේසුස් මොනවාද එයාලට කිව්වේ? ඔහු කිව්වේ මේකයි. “ඔයාලා මනුෂ්‍ය පුත්‍රයාගේ ශරීරය කන්නෙවත් ඔහුගේ රුධිරය බොන්නෙවත් නැත්නම් ඔයාලට ජීවනය ලැබෙන්නේ නැහැ. මගේ ශරීරය කන, මගේ රුධිරය බොන කෙනාට සදාකාල ජීවිතය ලැබෙනවා. අන්තිම දවසේදී මං ඔහුව නැවත නැඟිට්ටවනවා.”—යොහ. 6:53, 54.
2 ඒක අහලා යේසුස්ගේ ගෝලයන්ගෙන් හුඟදෙනෙක් ඔහුව අත්හැරලා ගියා. ඒ, යේසුස් ගැන එයාලට කිසිම විශ්වාසයක් තිබුණේ නැති නිසාද? ඇත්තටම මේක වෙන්න ටිකකට කලින් යේසුස් කරපු ආශ්චර්යයක් දැකලා එයාලම කිව්වා “මේ තමයි ලෝකයට එන්න හිටපු අනාගතවක්තෘවරයා” කියලා. (යොහ. 6:14) ඒකෙන් තේරෙනවා එයාලට යේසුස් ගැන විශ්වාසයක් තිබුණා කියලා. හැබැයි එයාලාගේ විශ්වාසේ හෙල්ලෙන විදිහේ දෙයක් ඇහුණාම දිගටම යේසුස්ට ළැදිව ඉන්න එයාලට බැරි වුණා.
3. යේසුස් කියපු දේ අහලා නියෝජිතයන් මොකද කළේ? ඒ ඇයි? (පින්තූරයත් බලන්න.)
3 නියෝජිතයන් නම් යේසුස් කියපු දේ අහලා ඔහුව අත්හැරලා ගියේ නැහැ. එයාලටත් ඕනෙ යේසුස්ව දාලා යන්නද කියලා ඔහු ඇහුවාම පේතෘස් මෙහෙම කිව්වා. “ස්වාමීනි, අපි කා ළඟට යන්නද? ඔයා තමයි සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන දේවල් උගන්නන්නේ. දෙවියන්ගේ ශුද්ධ තැනැත්තා ඔයා කියලා අපිට විශ්වාසයි. ඒක අපි හොඳටම තේරුම් අරගෙනයි ඉන්නේ.” (යොහ. 6:68, 69) ඔහුගේ ශරීරය කන්න ඕනෙ, ඔහුගේ රුධිරය බොන්න ඕනෙ කියලා යේසුස් කියද්දී ඒකෙන් ඔහු අදහස් කරපු දේ පේතෘස්ටයි, අනිත් නියෝජිතයන්ටයි හරියටම තේරුණේ නැහැ. ඒත් යේසුස්ව අත්හැරලා යන්නේ නැතුව ඉන්න එයාලා තීරණේ කළා. මොකද යේසුස් තමයි “දෙවියන් එවපු ක්‍රිස්තුස්” කියන දේ ගැන එයාලට කිසිම සැකයක් තිබුණේ නැහැ.—ලූක් 9:20, 35.
ගෝලයෝ හුඟදෙනෙක් යේසුස්ව අත්හැරලා ගියත් පේතෘසුයි, අනිත් නියෝජිතයනුයි ඔහුත් එක්ක හිටියා (3 ඡේදය බලන්න)
4. අපේ විශ්වාසේ හෙල්ලෙන්න පුළුවන් මොන වගේ දේවල් නිසාද?
4 යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසේ හෙල්ලෙන්න පුළුවන් විදිහේ හුඟක් දේවලට අපි මූණ දෙනවා. බයිබල් පදයක් අපි තේරුම් අරන් හිටපු විදිහ වෙනස් කරද්දී, දේශනා කරන විදිහේ වෙනසක් කරද්දී ඔයාට මොකද හිතෙන්නේ? අමාරු දේකට මූණ දෙන්න වෙද්දී, ඇයි යෙහෝවා මේකට ඉඩහරින්නේ කියලා තේරුම්ගන්න බැරි වෙද්දී ඔයාට කොහොමද දැනෙන්නේ? කිට්ටු යාළුවෙක් අපේ හිත රිද්දද්දීත් අපි ගරු කරපු කෙනෙක් අපිට අසාධාරණ විදිහට සලකනවා කියලා හිතෙද්දීත් අපේ විශ්වාසේ හෙල්ලෙන්න පුළුවන්.
5. අපේ විශ්වාසේ ශක්තිමත් කරගන්න ඕනෙ ඇයි කියලා උදාහරණෙකින් පැහැදිලි කරන්න. (කොලොස්සි 1:23)
5 නිතරම භූමිකම්පා, සුළි කුණාටු ඇති වෙන ප්‍රදේශයක තියෙන ගොඩනැඟිල්ලක් ගැන හිතන්න. ඒ දේවලට ඔරොත්තු දෙන්න නම් ඒ ගොඩනැඟිල්ලට ශක්තිමත් අත්තිවාරමක් තියෙන්න ඕනේ. කලින් ඡේදේ කතා කරපු, අපේ විශ්වාසේ හෙල්ලෙන්න පුළුවන් විදිහේ දේවලට අපි මූණ දෙද්දීත් දිගටම ස්ථිරව ඉන්න නම් අපේ විශ්වාසෙටත් ශක්තිමත් අත්තිවාරමක් තියෙන්න ඕනේ. අපි අපේ විශ්වාසේ දිගටම ශක්තිමත් කරගන්නවා නම් මොන දේට මූණ දෙන්න වුණත් අපි යෙහෝවාව අත්හැරලා යන්නේ නැහැ.—1 කොරි. 15:58; කොලොස්සි 1:23 කියවන්න.
6. යේසුස්ට දිගටම ළැදිව ඉන්න නියෝජිතයන්ට උදව් වුණේ මොකක්ද?
6 හුඟදෙනෙක් යේසුස්ව දාලා ගියත් යේසුස්ව අත්හරින්නේ නැතුව ඉන්න නියෝජිතයන්ට උදව් වුණේ මොකක්ද? යෙහෝවා හැම දෙයක්ම නිර්මාණය කරපු කෙනා නිසා නමස්කාරය ලබන්න වටින්නේ ඔහුයි කියලා එයාලට කිසිම සැකයක් තිබුණේ නැහැ. යේසුස් දෙවියන්ගේ පුතා කියලත් “සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන දේවල් උගන්නන්නේ” ඔහුයි කියලත් එයාලට ලොකු විශ්වාසයක් තිබුණා. ඒ වගේම යේසුස් කරන හැම දෙයක් ගැනම යෙහෝවා සතුටු වෙනවා කියලත් එයාලා විශ්වාස කළා. යෙහෝවා ගැන අපි ඉගෙනගෙන තියෙන සමහර දේවල් අපිටත් උදව් වෙනවා අපේ විශ්වාසේ හෙල්ලෙන්න පුළුවන් විදිහේ දේවලට මූණ දෙද්දී දිගටම ඔහුට ළැදිව ඉන්න. ඒ වගේ ඉගැන්වීම් තුනක් ගැන අපි දැන් බලමු. (1) හැම දේකම නිර්මාතෘ යෙහෝවා. (2) බයිබලේ ලියන්න මඟ පෙන්නුවේ යෙහෝවා. (3) සංවිධානයට අද මඟ පෙන්නන්නේ යෙහෝවා. ඒ පැති තුන ගැන අපිට කිසිම සැකයක් නැත්නම් කොච්චර අමාරු දේකට මූණ දෙන්න වුණත් අපි යෙහෝවාව අත්හැරලා යන්නේ නැහැ.
යෙහෝවා අපේ නිර්මාතෘ
7. එළිදරව් 4:11 යෙහෝවා ගැන කියන්නේ මොකක්ද? ඒත් අමාරු දේකට මූණ දෙද්දී අපිට මොකක් වෙන්න පුළුවන්ද?
7 එළිදරව් 4:11 කියවන්න. ඒ පදය අපිට මතක් කරනවා හැම දෙයක්ම නිර්මාණය කළේ යෙහෝවා කියලා. ඒ නිසා ඔහු තමයි අපේ නමස්කාරය ලබන්න වටින එකම කෙනා. ඔහුගේ නිර්මාණ ගැන හිතද්දී ඔහුට කොච්චර බලයක් තියෙනවාද කියලා අපිට තේරෙනවා. ඔහුට තියෙන බලය ගැන අපි හිතන්න හිතන්න අපි මොන අමාරු දේට මූණ දුන්නත් අපිට උදව් කරන්න ඔහුට පුළුවන් කියන දේ අපිට තව ස්ථිර වෙනවා. හැබැයි දෙවි කෙනෙක් ඉන්නවාද කියන දේ ගැන මිනිස්සුන්ගේ හිතේ සැකයක් ඇති වෙන තරමට සාතන් මේ ලෝකය බොරු දේවලින් පුරවලා. සමහර විද්‍යාඥයන් කියනවා ජීවය ඇති වුණේ ඉබේම කියලා. යෙහෝවා අපේ නිර්මාතෘ කියලත් ඔහු අපිට ආදරෙයි කියලත් අපිට 100%ක් ස්ථිර නැත්නම් අපි අමාරු ප්‍රශ්නෙක ඉද්දී යෙහෝවා ඇත්තටම ඉන්නවාද, ඔහු අපේ උදව්වට එයිද කියලා සැක කරන්න අපිත් පටන්ගනියි.—හෙබ්‍රෙ. 11:6.
8-9. යෙහෝවා හැම දේකම නිර්මාතෘ කියලා ඔයාගේ හිතෙත් සැකයක් ඇති වුණොත් ඔයා කරන්න ඕනෙ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
8 නිර්මාතෘ කෙනෙක් ඉන්නවාද කියන දේ ගැන ඔයාගේ හිතෙත් සැකයක් ඇති වෙන්න පටන් අරන් නම් ඒ සැකය නැති කරගන්න ඉක්මනින්ම පියවර ගන්න. යෙහෝවා හැම දෙයක්ම නිර්මාණය කළා කියන්න තියෙන සාක්ෂි අපේ ප්‍රකාශනවලින් හොඳට හොයන්න. ‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ සහ ‘ජීවයේ ආරම්භය - වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු’ කියන සඟරාවල ඔයාගේ සැකය නැති කරගන්න උදව් වෙන තොරතුරු ඕන තරම් තියෙනවා. ඒ වගේම jw.org එකේ ‘නිර්මාණයක්ද?’ කියන කොටස යටතේ තියෙන තොරතුරුත් ඔයාට බලන්න පුළුවන්. එක්සත් ජනපදයේ ඉන්න ජෙසිකා කියන යෞවන සහෝදරිය මෙහෙම කියනවා. “‘ජීවයේ ආරම්භය’ කියන සඟරාව කියෙව්වාට පස්සේ බුද්ධිමත් කෙනෙක් හැම දෙයක්ම නිර්මාණය කළා කියන දේ ගැන මට තව ස්ථිර වුණා. නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා මං දැනන් හිටියා. හැබැයි ඒ ගැන කිසිම සැකයක් ඇති කරගන්නේ නැතුව ඉන්න සඟරාවේ තිබුණ තොරතුරු මට උදව් වුණා.” ‘ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?’ කියන පොතත් හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා. ඔයා මේ වෙද්දීත් ඒක කියවලා ඇති. හැබැයි ඒක ආයේ කියවන එක හොඳ දෙයක් කියලා හිතෙන්නේ නැද්ද?
9 ඊළඟ සැරේ ඔයා පෞද්ගලික අධ්‍යයනය කරද්දී දෙවියන් ඇත්තටම ඉන්නවා කියන්න තියෙන සාක්ෂි ගැන හොයන්න කාලේ ගන්න. ඒ තොරතුරු යෙහෝවා ඇත්තටම ඉන්නවා කියන විශ්වාසේ ශක්තිමත් කරගන්න විතරක් නෙවෙයි ඔහු මොන වගේ කෙනෙක්ද කියලා තේරුම්ගන්නත් ඔයාට උදව් වෙයි. (රෝම 1:20) දෙවියන් ඉන්නවාද කියන දේ ගැන සැක කරන තව අයට උදව් කරන්නත් ඔයාට ඒ තොරතුරු පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම යෙහෝවා අපේ නිර්මාතෘ කියලා කිසිම සැකයක් නැතුව පිළිගන්න ඕන කරන සාක්ෂි ඔහු අපිට ඇති තරම් දීලා තියෙනවා.
Nebula: IAC/RGO/David Malin Images; fish and car: Mercedes-Benz USA; plane: Kristen Bartlett/University of Florida
‘සියල්ල ඇති වුණේ අහම්බෙන්ද?’ කියන සඟරාව සමහරවිට ඔයා කියවලා ඇති. ඒක ආයේ කියවලා බලන එක හොඳ නැද්ද? (8 ඡේදය බලන්න)
බයිබලේ ලිව්වේ යෙහෝවාගේ මඟ පෙන්වීමෙන්
10. බයිබලේ අපිට වටින්නේ ඇයි? (2 තිමෝති 3:16, 17)
10 2 තිමෝති 3:16, 17 කියවන්න. බයිබලේ මාර්ගයෙන් තමයි යෙහෝවා ඔහුගේ අදහස් මිනිස්සුන්ට දන්වලා තියෙන්නේ. ජීවයේ ආරම්භය, ඇයි අපි ඉන්නේ, දෙවියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර ඒකෙන් හොයාගන්න පුළුවන්. අපි විශ්වාස කරනවා බයිබලේ ලිව්වේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කියලා. ඒ නිසා අපි බයිබලේ සලකන්නේ අපේ ජීවිතේ වැදගත්ම පොත විදිහට. අපිට ඕනෙ දෙවියන්ගේ වචනය හොඳට තේරුම් අරන් ඔහු අපිට කරන්න කියන දේවලට කීකරු වෙන්න.
11. බයිබලේ ලියන්න මඟ පෙන්නුවේ දෙවියන් කියලා ඔයා විශ්වාස කරන්නේ ඇයි?
11 බයිබලේ ලිව්වේ යෙහෝවාගේ මඟ පෙන්වීමෙන් කියලා විශ්වාස කරන්න අපිට හුඟක් හේතු තියෙනවා. ඒකේ තියෙන ඉතිහාස වාර්තා නිවැරදියි. (ලූක් 3:1, 2) සොබාදහම ගැන බයිබලේ තියෙන තොරතුරුත් නිවැරදියි. (යෝබ් 26:7) සාතන් බයිබලේ විනාශ කරන්න සෑහෙන්න උත්සාහ කළත් මේ වෙද්දී වැඩිම භාෂා ගාණකින්, වැඩියෙන්ම බෙදාහැරලා තියෙන පොත බයිබලේ. වෙනස්ම පසුබිම්වලින් ආපු මිනිස්සු 40දෙනෙක් අවුරුදු 1,600ක කාලයක් පුරා බයිබලේ ලිව්වත් ඒකේ තියෙන අදහස් එකකට එකක් ගැටෙන්නේ නැහැ. බයිබලේ ලියලා දැන් අවුරුදු ගාණක් ගිහින් තිබුණත් ඒකේ තියෙන මඟ පෙන්වීම්වලින් මිලියන ගාණක් අදටත් ප්‍රයෝජන ගන්නවා. (හිතෝ. 13:20; 15:21; මතෙ. 7:12) බයිබලේ තියෙන හුඟක් අනාවැකි මේ වෙද්දී ඉටු වෙලා තියෙන නිසාත් බයිබලේ ගැන අපිට තියෙන විශ්වාසේ තව වැඩි වෙනවා. (යොෂු. 23:14) ඒ හේතු නිසා බයිබලේ ලැබුණේ දෙවියන්ගෙන් කියලා අපිට කිසිම සැකයක් නැහැ.
12. බයිබලේ ලිව්වේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් කියලා අපිට සැකයක් ඇති වුණොත් අපි මොකක්ද කරන්න ඕනේ?
12 බයිබලේ ලිව්වේ දෙවියන්ගේ මඟ පෙන්වීමෙන්ද කියලා අපේ හිතේ සැකයක් ඇති වුණොත් අපි මොකක්ද කරන්න ඕනේ? අපි ඒ ගැන යෙහෝවාට කියලා ඔහුගෙන් උදව් ඉල්ලන්න ඕනේ. ඊටපස්සේ ඒ සැකය නැති කරගන්න අපි පියවර ගන්න ඕනේ. සත්‍යයේ ඇතිදැඩි වුණ යෞවනයෙක් වන ජෝර්ඩ්න් මෙහෙම කියනවා. “අනිත් අය කියන දේවල් මං සාමාන්‍යයෙන් එකපාරට විශ්වාස කරන්නේ නෑ. දෙයක් පිළිගන්න නං මං ඒක මටම ස්ථිර කරගන්න ඕනේ. සමහර වෙලාවට මං කියවන, මට ඇහෙන දෙයක් ගැන මගේ හිතේ ප්‍රශ්න ඇති වෙනවා. හැබැයි එහෙම වෙලාවලදී මං කරන්නේ ඒ ප්‍රශ්නවලට උත්තර අපේ ප්‍රකාශනවලින් හොයන එකයි.” බයිබලේ ලියන්න මඟ පෙන්නුවේ යෙහෝවා කියලා අපිට තියෙන විශ්වාසේ අපි ශක්තිමත් කරගන්න තරමට අපිට නොසැලී ඉන්න පුළුවන්.—1 කොරි. 3:12, 13.
යෙහෝවා සංවිධානයට මඟ පෙන්නනවා
13. අද දෙවියන් තෝරගෙන ඉන්න සෙනඟ කවුද කියලා අපිට සැකයක් ඇති වුණොත් අපි මොකක්ද කරන්න ඕනේ?
13 අද තමන්ගේ සෙනඟ විදිහට දෙවියන් තෝරගෙන තියෙන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්වද කියලා අපේ හිතේ සැකයක් ඇති වුණොත් ඒ සැකය නැති කරගන්න අපි ඉක්මනින්ම පියවර ගන්න ඕනේ. ඒක කරන්න මේ ප්‍රශ්න අපිට අපෙන්ම අහගන්න පුළුවන්. ‘බයිබලේ කියලා තියෙන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ කවුද? බයිබලේ තියෙන ඉගැන්වීම් මත තමන්ගේ විශ්වාසයන් ගොඩනඟලා තියෙන සංවිධානය මොකක්ද?’ (2 තිමෝ. 4:3, 4) ‘අද කාලේ දෙවියන් කැමති දේ කරන සෙනඟ කවුද?’—මතෙ. 7:20, 21.
14. දෙවියන් මතෙව් 24:14 තියෙන අනාවැකිය ඉටු කරන්න සාක්ෂිකරුවන්ව පාවිච්චි කරන්නේ කොහොමද?
14 අද කාලේ දෙවියන් කැමති දේ කරන සෙනඟ කවුද කියලා තේරුම්ගන්න අපිට මේ ප්‍රශ්නේ ගැන හිතන්න පුළුවන්. ‘අවසාන කාලේ ශුභාරංචිය දේශනා කරනවා කියලා යේසුස් කියපු අනාවැකිය අද ඉටු කරන්නේ කවුද?’ (මතෙ. 24:14) ඒ අනාවැකිය ඉටු කරන්න දෙවියන් පාවිච්චි කරන්නේ ඔහුගේ සෙනඟ වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව කියලා හොඳටම පැහැදිලියි. රටවල් සහ ප්‍රදේශ 240කට වඩා වැඩි ගාණක දේවරාජ්‍යය ගැන ශුභාරංචිය දේශනා කරන්නේ අපි විතරයි. අපි ඒ කාර්යය අවුරුදු 100කට වඩා වැඩි කාලයක් තිස්සේ කරනවා. කවදත් අපේ ජීවිතවල වැදගත්ම වැඩේ වුණේ ඒකයි.—මතෙ. 28:19, 20.
15. සාක්ෂිකරුවන් දෙවියන්ගේ නම ගෞරවයට පත් කරන්නේ කොහොමද? (මතෙව් 6:9; යෙසායා 43:10)
15 මතෙව් 6:9 සහ යෙසායා 43:10 කියවන්න. අපිව හඳුන්වන්නේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලා. දෙවියන්ගේ පෞද්ගලික නමින්ම අපිව හඳුන්වන එක ගැන අපිට දැනෙන්නේ ලොකු ආඩම්බරයක්. මේ ලෝකේ හුඟදෙනෙක් දෙවියන්ට නමක් තියෙනවාද කියලවත් දන්නේ නැහැ. හැබැයි අපි බයිබලේ පරිවර්තනය කරද්දී මුල් අත්පිටපත් බලලා දෙවියන්ගේ නම තියෙන්න ඕන හැම තැනකටම ඒක ඇතුළත් කළා. ඒ නිසා ‘නව ලොව පරිවර්තනයේ’ දෙවියන්ගේ නම 7,000 වතාවකට වඩා සඳහන් වෙනවා.
16. යොහන් 13:34, 35 කියන දේට සාක්ෂිකරුවන් කීකරු වෙනවා කියලා අපිට කියන්න පුළුවන් ඇයි? (පින්තූරයත් බලන්න.)
16 යොහන් 13:34, 35 කියවන්න. අද ඉන්න හුඟදෙනෙක් එකිනෙකාට වෛර කරනවා. එයාලට පෑහිලා වැඩ කරන්න බැහැ. මේ වගේ බෙදුණු ලෝකෙක ජීවත් වුණත් සාක්ෂිකරුවන් අතරේ ආදරේ, එකමුතුකම තියෙන එක ඇත්තටම ආශ්චර්යයක්! අපිත් විවිධ ජාතීන්ට, විවිධ පසුබිම්වලට අයිති අය. හැබැයි අපි අතරේ ආදරේ, සාමය තියාගන්න අපි කරන්න පුළුවන් හැම දේම කරනවා. වෙන පැත්තක තියෙන අපේ සභාවකට ඔයා කවදා හරි ගිහිල්ලා තියෙනවා නම් එයාලා අතරෙත් පුදුම ආදරයක්, එකමුතුකමක් තියෙනවා කියලා ඔයා දැකලා ඇති. ලෝකේ කොහේ ගියත් ඒ ආදරේ, එක්සත්කම ඔයා දකියි. යෙහෝවා ඔහුගේ කැමැත්ත කරන්න අද පාවිච්චි කරන්නේ ඔහුගේ සාක්ෂිකරුවන්ව කියලා කියන්න ඒක හොඳ සාක්ෂියක් නෙවෙයිද? ඒක මනසේ තියාගන්න එක අපිට උදව් වෙනවා අපේ විශ්වාසේ හෙල්ලෙන විදිහේ දේකට මූණ දෙන්න වුණත් යෙහෝවාව අත්හරින්නේ නැතුව ඉන්න.
අපි අතරේ තියෙන ආදරේ, එකමුතුකම ඇත්තටම ආශ්චර්යයක්! (16 ඡේදය බලන්න)a
යෙහෝවාව අත්හරින්න හිතන්නවත් එපා!
17-18. අපිට මොන වගේ අභියෝගවලට මූණ දෙන්න වෙයිද? ඒත් අපිට ස්ථිර වෙන්න පුළුවන් මොකක් ගැනද?
17 අපි ඉන්නේ අන්තිම දවස්වල ජීවත් වෙන්න අමාරු කාලෙක. (2 තිමෝ. 3:1, 13) ඒ නිසා අපිට ගොඩක් අභියෝගවලට මූණ දෙන්න වෙයි. උදාහරණෙකට අපිට තේරුම්ගන්න අමාරු මඟ පෙන්වීම් දෙවියන්ගේ සංවිධානයෙන් ලැබෙයි. සහෝදරයෙක්, සහෝදරියක් අපිව වරදවා තේරුම් අරන් කියලා අපිට හිතෙයි. එයාලා කරන කියන දෙයක් නිසා අපේ හිත පෑරෙයි. අපිට තියෙන ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා සමහරවිට අපිට තේරෙන එකක් නැහැ. සංවිධානයේ කරන වෙනස්කමකට, ගන්න තීරණේකට හේතුව අපිට තේරුම්ගන්න බැරි වෙයි.
18 ඒ වගේ දේවල් වෙද්දී අපි ටිකක් හෙල්ලිලා යන්න පුළුවන්. හැබැයි යෙහෝවා අපේ නිර්මාතෘ කියලත් බයිබලේ ලිව්වේ ඔහුගේ මඟ පෙන්වීමෙන් කියලත් ඔහුගේ සෙනඟ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියලත් අපිට ස්ථිරයි නම් අපි කවදාවත් යෙහෝවාව අත්හැරලා යන්නේ නැහැ. පේතෘස් යේසුස්ට කියපු මේ දේ යෙහෝවාට කියන්න එතකොට අපිටත් පුළුවන් වෙයි. “අපි කා ළඟට යන්නද? ඔයා තමයි සදාකාල ජීවිතය ලබාගන්න උදව් වෙන දේවල් උගන්නන්නේ.”
ගීතිකාව 123 දෙවි ඇති කළ සැලැස්මට කීකරු වෙමු
a පින්තූරේ අදහස: අම්මා කෙනෙකුයි, දුවෙකුයි බස් එකේ ගමනක් යද්දී පොදු සේවේ හවුල් වෙන සාක්ෂිකරුවන්ව දැක්කාම එයාලට ලොකු සතුටක් දැනෙනවා.