බයිබල් චරිතයක්
ඔබදියා වගේ යෙහෝවාට ගරුබිය පෙන්නන්න ඉගෙනගන්න
ඔබදියා දුෂ්ට ආහබ් රජගේ මාලිගාව බලාගත්ත කෙනා. ආහබ් තමයි දේශය පුරාම බාල් නමස්කාරයේ යෙදෙන්න ඊශ්‍රායෙල්වරුන්ට ඉඩ දීලා තිබුණේ. හැබැයි ඔබදියාට “පොඩි කාලේ ඉඳන් යෙහෝවා ගැන ගරුබියක් තිබුණා.” (1 රාජා. 18:1-13) ඉතින් දේශයේ හිටපු යෙහෝවාගේ අනාගතවක්තෘවරු හැමෝවම මරලා දාන්න කියලා යෙසබෙල් අණ කළාම එයා තේරුම්ගත්තා එයාලට උදව් කරන්න එයා ධෛර්යවන්තව මොනවා හරි දෙයක් කරන්න ඕනෙ කියලා. ඒ වගේ එක අනාගතවක්තෘවරයෙක්ට හැංගෙන්න උදව් කරන එකත් ගොඩක් භයානකයි. හැබැයි ඔබදියා අනාගතවක්තෘවරු 100දෙනෙක්ව හංගලා දරුණු සාගතයක් තියෙන කාලෙක වුණත් එයාලට ඕන කරන කෑම බීම දුන්නා. හිතන්න රජටයි, රැජිණටයි සේවේ කරන බොරු අනාගතවක්තෘවරු සිය ගාණකගේ ඇස් වහලා ඒ වගේ දෙයක් කරන්න එයාට කොච්චර අමාරු වෙන්න ඇද්ද කියලා.—1 රාජා. 18:19.
දෙවියන්ට ගරුබියක් තිබුණ මේ කෙනාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? ඔබදියා ආහබ්ට බය වුණාට ඊටත් වඩා එයාගේ හිතේ යෙහෝවා ගැන ගරුබියක් තිබුණා. ඒක එයාට උදව් වුණා තමන්ගේ ජීවිතේ වුණත් අනතුරේ දාලා දෙවියන්ගේ සේවකයන්ව ආරක්ෂා කරන්න. අපි ඉන්න රටෙත් නමස්කාරයේ වැඩකටයුතු තහනම් කරලා තියෙනවා නම් අපිත් දෙවියන් ගැන ඒ වගේ ගරුබියක් ඇති කරගන්න එක වැදගත්. මොකද ඒ වගේ ගරුබියක් තියෙනවා නම් ප්‍රශ්නවලට මූණ දෙන අපේ සහෝදර සහෝදරියන්ට බය නැතුව උදව් කරන්න අපිට ලොකු හයියක් ලැබෙයි.