2026 මාර්තු 23-29
ගීතිකාව 18 ජීවිත පූජාවට සදා ණයගැති වෙමු
ජීවිත පූජාව අගය කරනවා කියලා ඔයා පෙන්නනවාද?
“ක්‍රිස්තුස් පෙන්නපු ආදරේ අපේ හිතේ ලොකු පෙලඹීමක් ඇති කරනවා.”—2 කොරි. 5:14.
ලිපියේ අරමුණ
ජීවිත පූජාව අගය කරනවා කියලා අපි එක් එක් කෙනාට පෙන්නන්න පුළුවන් කොහොමද?
1-2. යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපි පෙලඹෙන්න ඕනෙ මොකක් කරන්නද? ඒ ඇයි? (2 කොරින්ති 5:14, 15) (පින්තූරයත් බලන්න.)
කඩන් වැටුණ ගොඩනැඟිල්ලක සුන්බුන් අතරේ හිර වෙලා ඉන්න ඔයාව කවුරු හරි ඇවිත් බේරගත්තා නම් ඔයා ඒ කෙනාට කොච්චර ණයගැති වෙයිද? එයා ඔයාව විතරක් නෙවෙයි තව හුඟක් අයවත් බේරගන්න ඇති. ඒත් ඔයාගේ ජීවිතේ බේරගත්ත එක ඔයා කවදාවත් අමතක කරන්නේ නැහැ කියලා ඔයා එයාට කියයි.
2 කලින් ලිපියේ අපි බලපු විදිහට පව්කාර ස්වභාවයෙන් අපිට නිදහස් වෙන්න කාගේ හරි උදව් ඕනෙමයි. යේසුස් ඒ දේ අපි වෙනුවෙන් කළා. යේසුස්ගේ ජීවිත පූජාව නිසා දැන් අපිට (1) අපේ පව්වලට සමාව ලබාගන්න පුළුවන්, (2) අපේ පව්කාර ස්වභාවයෙන් නිදහස් වෙන බලාපොරොත්තුව ලැබිලා තියෙනවා සහ (3) දෙවියන් එක්ක සමාදාන වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ජීවිත පූජාව නිසා ඉස්සරහට එන පාරාදීස පොළොවේ සදහටම ජීවත් වෙන බලාපොරොත්තුවත් අපිට තියෙනවා. යේසුස් එයාගේ ජීවිතේ පූජා කරලා මිනිස්සුන්ට කොච්චර ආදරෙයිද කියලා පෙන්නුවා. ඇත්තටම පොළොවට එන්න කලින් ඉඳන්ම එයාට මිනිස්සු ගැන තිබුණේ ලොකු ආදරයක්. (හිතෝ. 8:30, 31) පාවුල් කිව්වා “ක්‍රිස්තුස් පෙන්නපු ආදරේ අපේ හිතේ ලොකු පෙලඹීමක් ඇති කරනවා” කියලා. (2 කොරින්ති 5:14, 15 කියවන්න.) ඒ කියන්නේ යේසුස් පෙන්නපු ආදරේ අපිට ගොඩක් වටිනවා කියලා අපි පෙන්නන්න ඕනෙ කියන එකයි. යේසුස් අපි වෙනුවෙන් කරපු දේ අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ.
සුන්බුන් අතර හිර වෙලා හිටපු ඔයාව බේරගත්ත කෙනාට ඔයා ස්තුතිවන්ත වෙනවා නම් පාපයෙන් ඔයාව බේරගත්ත යේසුස්ට ඔයා කොච්චර ස්තුතිවන්ත වෙන්න ඕනෙද? (1-2 ඡේද බලන්න)
3. ජීවිත පූජාව ගැන අගය පෙන්නන විදිහ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් වෙන්න පුළුවන් ඇයි?
3 ජීවිත පූජාව අගය කරන්න ඔයාගේ හිතේ පෙලඹීමක් ඇති වෙන්නේ මොන විදිහටද? ඒක එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක තේරුම්ගන්න එකම ගමනාන්තයකට යන්න අදහස් කරන තුන්දෙනෙක් ගැන හිතන්න. ඒ එක් එක් කෙනා එයාලාගේ ගමන පටන්ගන්නේ තැන් තුනක ඉඳලා. එයාලා යන පාරවලුත් වෙනස්. ඒ වගේ තමයි ජීවිත පූජාවට අගය පෙන්නන්න ඔයා යන “ගමන” ඔයා පටන්ගන්නේ තව කෙනෙක්ට වඩා වෙනස් තැනකින් වෙන්න පුළුවන්. උදාහරණෙකට ඔයා මේ වෙද්දී (1) බයිබල් ශිෂ්‍යයෙක් වෙන්න ඇති. (2) බව්තීස්ම වුණ කෙනෙක් වෙන්න ඇති. (3) රැළෙන් ටිකක් ඈතට ගිය කෙනෙක් වෙන්න ඇති. ඔයා මේ කවුරු වුණත් ඔයාට ජීවිත පූජාව ගැන අගය පෙන්නන්න පුළුවන් කොහොමද කියලා අපි මේ ලිපියෙන් බලමු.
බයිබල් ශිෂ්‍යයන්
4. බයිබල් ශිෂ්‍යයන් ගැන යෙහෝවාට දැනෙන්නේ කොහොමද?
4 ඔයා බයිබලේ පාඩම් කරන කෙනෙක් නම් මේ ගැන හිතන්න. ඔයා ශුභාරංචිය පිළිගත්ත එකෙන්ම පේනවා යෙහෝවා ඔහුට ළං කරගන්න අය අතරේ ඔයාත් ඉන්නවා කියලා. (යොහ. 6:44; ක්‍රියා 13:48) බයිබලේ කියනවා යෙහෝවා “හිත් සෝදිසි කරනවා” කියලා. ඒ කියන්නේ ඔහුව අඳුරගන්න ඔයා ගන්න උත්සාහය ඔහුට පේනවා. ඔහුගේ ප්‍රමිතිවලට අනුව ඔයා ජීවිතේ වෙනස්කම් කරගද්දී ඔහු හුඟක් සතුටු වෙනවා. (හිතෝ. 17:3; 27:11) යෙහෝවාගේ යාළුවෙක් වෙන්න ඔයාට අවස්ථාව ලැබුණේ ජීවිත පූජාව නිසයි කියලා කවදාවත් අමතක කරන්න එපා.—රෝම 5:10, 11.
5. ෆිලිප්පි 3:16 තියෙන දේ අදාළ කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට පුළුවන් කොහොමද?
5 ඔයා බයිබල් ශිෂ්‍යයෙක් නම් ජීවිත පූජාව අගය කරනවා කියලා ඔයාට පෙන්නන්න පුළුවන් කොහොමද? එක විදිහක් තමයි පාවුල් ෆිලිප්පිවරුන්ට දීපු මේ මඟ පෙන්වීම අදාළ කරගන්න එක. “මේ වෙන කල් අපි ලබලා තියෙන දියුණුව මොකක් වුණත් දිගටම ඒ විදිහටම අපි ඉස්සරහට යමු.” (ෆිලි. 3:16) තවත් බයිබල් පරිවර්තනයක ඒ පදය තියෙන්නේ මෙහෙමයි. “අපි මේ ගමන යන දිහාවට මේ විදිහට දිගටම ඉස්සරහට යමු.” ඉතින් ජීවනයට යන පාරෙන් ඔයාව අයින් කරන්න කිසිම දේකට, කිසිම කෙනෙක්ට ඉඩ දෙන්න එපා.—මතෙ. 7:14; ලූක් 9:62.
6. වෙනස් වෙන්න අමාරුයි කියලා හිතෙනවා නම් බයිබල් ශිෂ්‍යයෙක්ට කරන්න පුළුවන් මොනවාද? (ද්විතීය කතාව 30:11-14) (පින්තූරයත් බලන්න.)
6 ළඟදී ඉගෙනගත්ත බයිබල් ඉගැන්වීමක් පිළිගන්න අමාරුයි කියලා ඔයාට හිතෙනවාද? එහෙමනම් ඒ ගැන තවත් අධ්‍යයනය කරන්න. ඒක තේරුම්ගන්න උදව් කරන්න කියලා යෙහෝවාට යාච්ඤා කරන්න. (ගීතා. 86:11) ඒත් ඒක තේරුම්ගන්න අමාරුයි නම් ඒක දැනට ටිකක් පැත්තකින් තියන්න. හැබැයි ඔයාගේ බයිබල් පාඩම නවත්තන්න එපා. මොකද පාඩම දිගටම කරද්දී ඔයාට ඒක තේරුම්ගන්න පුළුවන් වෙයි. යෙහෝවා පිළිකුල් කරන පුරුද්දක් අත්හරින්න ඔයාට අමාරුයිද? මතක තියාගන්න, යෙහෝවා කවදාවත් මිනිස්සුන්ගෙන් එයාලට කරන්න බැරි දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ යෙහෝවාගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඔයාට පුළුවන් කියලා ඔහු දන්නවා. (ද්විතීය කතාව 30:11-14 කියවන්න.) ඔයාට උදව් කරනවා කියලත් ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (යෙසා. 41:10, 13; 1 කොරි. 10:13) ඒ නිසා වෙනස්කම් කරගන්න ඔයා වෙන මහන්සිය අත්හරින්න එපා. කරන්න අමාරු දේවල් ගැන හිතහිත ඉන්නවා වෙනුවට ජීවිත පූජාව ඇතුළුව යෙහෝවා ඔයා වෙනුවෙන් දීලා තියෙන හොඳ දේවල් ගැන හිතන්න. එහෙම කරද්දී යෙහෝවා ගැන ඔයාට තියෙන ආදරේ තව වැඩි වෙයි. එතකොට ඔයාට තේරෙයි “ඔහුගේ ආඥා පිළිපදින එක බරක් නෙමෙයි” කියලා—1 යොහ. 5:3.a
යෙහෝවා කවදාවත් කරන්න බැරි දෙයක් අපෙන් ඉල්ලන්නේ නැහැ. ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් වෙන්න ඔහු අපිට උදව් කරනවා (6 ඡේදය බලන්න)
7. පොඩි කාලේ ඉඳන් සත්‍යයේ හැදී වැඩුණ අයට හිතන්න පුළුවන් මොකක් ගැනද?
7 ඔයා සත්‍යයේ ඇතිදැඩි වුණ යෞවනයෙක්ද? එහෙමනම් ඔයාත් බයිබල් ශිෂ්‍යයෙක් තමයි. ඔයාගේ දෙමාපියන්ට ඉන්න වටිනාම බයිබල් ශිෂ්‍යයා ඔයායි. බයිබලේ කියනවා “දෙවියන්ට ළං වෙන්න. එතකොට ඔහුත් ඔයාට ළං වෙයි” කියලා. (යාකො. 4:8; 1 ලේක. 28:9) යෙහෝවාගේ යාළුවෙක් වෙන්න ඔයාගේ පැත්තෙන් පියවර ගද්දී ඔහුත් ඔයාට ළං වෙනවා. යෙහෝවා එහෙම කරන්නේ ඔයා සත්‍යයේ ඇතිදැඩි වුණ නිසාම නෙවෙයි, ඔහු ඔයාගේ හදවත දැක්ක නිසයි. ඔහුට ඕනෙ වුණා ඔයාව ඔහුට ළං කරගන්න. ඒ නිසා ඔහු ඔහුගේ පුතාගේ ජීවිතේ ඔයා වෙනුවෙන් දුන්නා. යෙහෝවා ඔයා වෙනුවෙන් දීපු ඒ තෑග්ග කොච්චර වටිනවාද කියලා අමතක කරන්න එපා. (රෝම 5:1, 2) ඒ නිසා මේ අවුරුද්දේ සිහි කිරීමට කලින් යෙහෝවායි, යේසුයි ඔයා වෙනුවෙන් කරපු දේ ගැන හිතන්න කාලේ ගන්න. ඊටපස්සේ ඒ දෙන්නා වෙනුවෙන් අගය පෙන්නන්න ඔයාට මොනවාද කරන්න පුළුවන්, මොන වගේ ඉලක්කද තියන්න පුළුවන් කියලා හිතන්න.b
බව්තීස්ම වුණ අය
8. ජීවිත පූජාව අගය කරනවා කියලා බව්තීස්ම වුණ අය පෙන්නලා තියෙන්නේ කොහොමද?
8 ඔයා බව්තීස්ම වුණ කෙනෙක් නම් ඔයා දැනටමත් ජීවිත පූජාව අගය කරනවා කියලා විදි කීපයකින්ම පෙන්නලා තියෙනවා. ඔයා යෙහෝවාට ළං වෙන්න පියවර ගත්තා. ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවිතේ වෙනස් කරගත්තා. ශුභාරංචිය දේශනා කරලා මිනිස්සුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන්න කියලා යේසුස් දුන්න ආඥාවට ඔයා කීකරු වුණා. ඔයාගේ ජීවිතේ යෙහෝවාට කැප කරලා බව්තීස්ම වුණා. යෙහෝවාට නමස්කාර කරන්න ඔයා ගත්ත තීරණේ නිසා සමහරවිට ඔයා හුඟක් විරුද්ධවාදිකම්වලට මූණ දෙනවා ඇති. (2 තිමෝ. 3:12) ඒත් ඔයා ඒවා විඳදරාගෙන තාමත් යෙහෝවාට සේවේ කරන එකෙන් පේනවා ඔයා යෙහෝවාට ගොඩක් ආදරෙයි, ජීවිත පූජාව ගැන ඔයාට ලොකු අගයක් තියෙනවා කියලා.—හෙබ්‍රෙ. 12:2, 3.
9. බව්තීස්ම වුණ අය පරෙස්සම් වෙන්න ඕනෙ මොන උගුල ගැනද?
9 බව්තීස්ම වුණ කෙනෙක් විදිහට ඔයා අහු වෙන්න පුළුවන් උගුලක් තියෙනවා. ඒ, කාලයක් යද්දී ජීවිත පූජාව ගැන ඔයාගේ හිතේ තියෙන අගය ටික ටික අඩු වෙන එක. මුල් සියවසේ එෆීසයේ හිටපු ක්‍රිස්තියානීන් ගැන හිතන්න. නැවත නැඟිට්ට යේසුස් එයාලා විඳදරාගත්ත විදිහ ගොඩක් අගය කළා. හැබැයි යේසුස් එයාලට කිව්වා “ඔයාලාගේ එක වරදක් තියෙනවා. ඒ තමයි ඔයාලා ළඟ මුලින් තිබුණ ආදරේ දැන් නැති වෙලා ගිහින්” කියලා. (එළි. 2:3, 4) ඒකෙන් පේනවා බව්තීස්ම වුණ කෙනෙක් යෙහෝවා වෙනුවෙන් කරන දේවල් කාලයත් එක්කම කරන්නන් වාලේ කරන්න පෙලඹෙන්න පුළුවන් කියලා. උදාහරණෙකට යාච්ඤා කරන එක, රැස්වීම් යන එක, සේවේ යන එක වගේ දේවල් හදවතින්ම පෙලඹිලා කරන්නේ නැතුව පුරුද්දක් විදිහට ඔහේ කරන්න ඉඩ තියෙනවා. ඔයාට දැනෙනවා නම් ඔයාගේ හිතේ යෙහෝවා ගැන කලින් තරම් ආදරයක් දැන් නැහැ කියලා මොනවාද කරන්න පුළුවන්?
10. පාවුල් තිමෝතිට කියපු දේ ඔයාට අදාළ කරගන්න පුළුවන් කොහොමද? (1 තිමෝති 4:13, 15)
10 පාවුල් තිමෝතිට කිව්වා නමස්කාරය වෙනුවෙන් එයා කරන දේවල් ගැන ‘ගැඹුරින් කල්පනා කරන්න. මුළු ශක්තියම වැය කරලා ඒ දේවල් කරන්න’ කියලා. (1 තිමෝති 4:13, 15 කියවන්න.) තිමෝති වගේ ඔයාටත් පුළුවන් නමස්කාරයට සම්බන්ධ දේවල් තව උනන්දුවෙන් කරන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න. (රෝම 12:11) ඔයාට පුළුවන් හොඳට කාලේ අරන් රැස්වීම්වලට තව ලෑස්ති වෙන්න. පෞද්ගලික අධ්‍යයනය කරන්න කවුරුත් වැඩිය නැති, නිස්කලංක තැනක් තෝරගන්නත් ඔයාට පුළුවන්. එතකොට අධ්‍යයනය කරන දේවල් ගැන තව හොඳට හිතන්න ඔයාට පුළුවන්. ඒ දේවල් කරන එක හරියට ගින්නක් දිගටම අවුළුවලා තියාගන්න දර දානවා වගේ. දිගටම ඒ දේවල් කරද්දී ජීවිත පූජාව ඇතුළු යෙහෝවා ඔයා වෙනුවෙන් කරලා තියෙන හැම දෙයක් ගැනම ඔයාගේ හිතේ තියෙන අගය කියන ගින්න දිගටම අවුළුවලා තියාගන්න ඔයාට පුළුවන්. සිහි කිරීමට කලින් සතිවලදී යෙහෝවාගේ සෙනඟ විදිහට අපි විශේෂයෙන්ම අද්දකින ආශීර්වාද ගැන හොඳට හිතන්නත් ඔයාට පුළුවන්. එහෙම කරද්දී යෙහෝවා එක්ක කිට්ටු යාළුකමක් ඇති කරගන්න ඔයාට උදව් වෙලා තියෙන ජීවිත පූජාව ගැන ඔයාගේ හිතේ තියෙන අගය තවත් වැඩි වෙයි.
11-12. ඔයාට හිතෙනවා නම් කලින් තරම් උද්‍යෝගයක් නැහැ කියලා ඒ කියන්නේ දෙවියන්ගේ බලය ඔයාට නැද්ද? පැහැදිලි කරන්න. (පින්තූරයත් බලන්න.)
11 දැන් ටික දවසක ඉඳන් කලින් තිබුණ උද්‍යෝගය බැහැලා කියලා ඔයාට තේරුණොත් මොකද කරන්නේ? අධෛර්යය වෙන්නවත් යෙහෝවාගේ බලය දැන් ඔයාට නැහැ කියලා හිතන්නවත් එපා. පාවුල් එයාගේ සේවේ ගැන කොරින්ති සභාවේ හිටපු අයට මෙහෙම කිව්වා. “මං ඒක කරන්නේ කරන්නන් වාලේ වුණත් මං ඒක කරන්න ඕනේ. මොකද ඒ වැඩේ කරන්න මාව පත් කරලයි තියෙන්නේ.” (1 කොරි. 9:17) එයා ඒකෙන් මොකක්ද කියන්න හැදුවේ?
12 පාවුල්ටත් දේශනා කරන්න තිබුණ ආසාව අඩු වුණ වෙලාවල් තිබුණා. එයාට කොහොම හැඟුණත් අත්හරින්නේ නැතුව දේශනා කරන්න එයාට ලොකු අධිෂ්ඨානයක් තිබුණා. ඔයාටත් පුළුවන් ඒ දේම කරන්න. හරි දේ කරන්න ආසාවක් නැති වුණත් ඒක කොහොමහරි කරනවා කියලා අධිෂ්ඨාන කරගන්න. ඒක කරන්න ‘ශක්තිය දෙන්න කියලත් ඒක කරන්න ඔයාගේ හිතේ ආසාවක් ඇති කරන්න කියලත්’ යෙහෝවාට යාච්ඤා කරන්න. (ෆිලි. 2:13) යෙහෝවාට ළං වෙන්න ඔයාට උදව් වෙන දේවල් දිගටම කරන්න. එහෙම කරද්දී කාලයත් එක්කම යෙහෝවා ගැන කලින් තිබ්බා වගේම ආදරයක් ආයෙත් ඇති කරගන්න ඔයාට පුළුවන් වෙයි.
උද්‍යෝගය අඩු වෙලා කියලා දැනුණත් අත්හරින්නේ නැතුව නමස්කාරයේ දේවල් කරන්න (11-12 ඡේද බලන්න)
13. අපි සත්‍ය ඉගැන්වීම්වලට එකඟව ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න පුළුවන් කොහොමද?
13 2 කොරින්ති 13:5 කියන මේ දේ අපි කාලෙන් කාලෙට කරන එක හොඳ දෙයක්. “දෙවියන් ගැන ඔයාලට තියෙන විශ්වාසයට එකඟව ඔයාලා ජීවත් වෙනවාද කියලා නිතරම සෝදිසි කරලා බලන්න. ඔයාලා දේවල් හරි විදිහට කරනවාද කියලා නිතරම ඔයාලටම ස්ථිර කරගන්න.” ඒක කරන්න මේ වගේ ප්‍රශ්න ගැන හිතන එක ඔයාට උදව් වෙයි. ‘මං ජීවත් වෙන විදිහෙන් පේනවාද මං දේවරාජ්‍යයට මුල් තැන දීලා තියෙනවා කියලා?’ (මතෙ. 6:33) ‘විනෝදෙට තෝරගන්න දේවලින් මං පෙන්නනවාද මං නරක දේවල් පිළිකුල් කරනවා කියලා?’ (ගීතා. 97:10) ‘මං වැඩ කරන විදිහෙන් පේනවාද සභාවේ සාමය රැකගන්න මං මහන්සි වෙනවා කියලා?’ (එෆී. 4:2, 3) ජීවිත පූජාව ගැන වැඩියෙන් හිතන සිහි කිරීම ළං වෙලා තියෙන මේ කාලේ අපිවම ඒ විදිහට සෝදිසි කරලා බලන එක හොඳ දෙයක් නෙවෙයිද? එහෙම කරද්දී අපි අපි වෙනුවෙන් නෙවෙයි ක්‍රිස්තුස් වෙනුවෙන් ජීවත් වෙන අය කියලා පෙන්නන්න අපිට පුළුවන්.c
රැළෙන් ඈත් වුණ අය
14. සමහරු රැළෙන් ඈතට ගිහින් ඉන්නේ මොන වගේ හේතු නිසාද?
14 සමහරු යෙහෝවාට සේවේ කරන්න පටන් අරන් මාස කීපයකට පස්සේ නැත්නම් අවුරුදු ගාණකට පස්සේ රැළෙන් ඈතට යනවා. ඒ ඇයි? සමහරුන්ට එහෙම වෙලා තියෙන්නේ “එදිනෙදා ජීවිතයේ ඇති වෙන කරදර නිසා.” (ලූක් 21:34) තවත් අය සභාවේ කෙනෙක් කියපු කරපු දෙයක් නිසා හිත රිද්දගෙන රැස්වීම් එන එක නවත්තලා. (යාකො. 3:2) තවත් සමහරු බරපතළ වරදක් කරලා ඒක හදාගන්න උදව් ඉල්ලන්න කැමති නැති නිසාත් රැළෙන් ඈතට වෙලා ඉන්නවා. ඔයාත් ඒ මොකක් හරි හේතුවක් නිසා රැළෙන් ඈතට ගිය කෙනෙක්ද? එහෙමනම් ජීවිත පූජාව ගැන හිතන එක ඔයාව පොලඹවන්නේ මොනවා කරන්නද?
15. රැළෙන් ඈතට ගිය බැටළුවන් ගැන යෙහෝවා හිතනවා කියලා අපි දන්නේ කොහොමද? (එසකියෙල් 34:11, 12, 16)
15 රැළෙන් ඈතට ගිය බැටළුවන් ගැන යෙහෝවාට හැඟෙන විදිහ ගැන ටිකක් හිතන්න. ඔහු එයාලා එක්ක තරහ නැහැ. ඔහුට එයාලව අමතක වෙලත් නැහැ. ඒ වෙනුවට රැළෙන් ඈතට ගිය බැටළුවන්ව ඔහු හොයාගෙන යනවා. එයාලට ඕන කරන පෝෂණය දීලා ආයෙත් ඔහු ළඟට එන්න උදව් කරනවා. (එසකියෙල් 34:11, 12, 16 කියවන්න.) යෙහෝවා ඔයා වෙනුවෙනුත් කරන්නේ ඒ දේම වෙන්න බැරිද? ඔයා මේ ලිපිය කියවන එකෙන්ම තේරෙනවා යෙහෝවාගේ හිත සතුටු කරන්න ඔයාගේ හිතේ ආසාවක් තියෙනවා කියලා. යෙහෝවා ඔයාගේ හදවත දැකලා ඔහු ළඟට ඔයාව ළං කරගත්තා වගේ ඔහු මේ හදන්නේ ආයෙත් ඔයාව ඔහු ළඟට ගන්න නෙවෙයිද?
16. රැළෙන් ඈතට ගිය බැටළුවන්ට ආයෙත් යෙහෝවා ළඟට එන්න උදව් වෙන්නේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
16 ‘ආයෙත් එන්න’ සඟරාවේ මෙහෙම කියනවා. “ආයෙත් යෙහෝවා දෙවි ළඟට එන ගමන ලේසි නැතත් ඔයා ළඟින්ම ඉඳන් ඔයාට උදව් කරන්න දෙවි බලාගෙන ඉන්නවා. කනස්සල්ලෙන් හිටියත් හිත රිදිලා හිටියත් ඒවායින් ගොඩ එන්න ඔහු ඔයාට උදව් කරයි. නිදොස් හෘදය සාක්ෂියක් ඇති කරගන්න දෙවි ඔයාට උදව් කරයි. ඊටපස්සේ ආයෙත් සහෝදරයන් එක්ක එකතු වෙලා යෙහෝවා දෙවිට සේවය කරන්න සමහරවිට ඔයාගේ හිතේ ආශාවක් ඇති වෙයි.” ඔයාට උදව් කරන්න වැඩිමහල්ලනුත් ආසාවෙන් බලන් ඉන්නවා. එයාලා හරියට “සුළඟින් මුවා වෙන්න ස්ථානයක් වගෙත් කුණාටුවෙන් සැඟවෙන්න පුළුවන් තැනක් වගෙත් වෙයි.” (යෙසා. 32:2) ජීවිත පූජාව ගැන ඔයාගේ හිතේ ලොකු අගයක් තියෙනවා කියලත් ඒක පෙන්නන්න ඔයාට ඕනෙ කියලත් අපි දන්නවා. ඒ නිසා ‘මායි, යෙහෝවායි අතරේ තියෙන මේ ප්‍රශ්නේ විසඳගන්න මට මොනවාද කරන්න පුළුවන්’ කියලා හිතන්න. (යෙසා. 1:18; 1 පේතෘ. 2:25) ඔයාට පුළුවන්ද නමස්කාර මධ්‍යස්ථානයක තියෙන රැස්වීමකට යන්න? වැඩිමහල්ලෙක්ගෙන් උදව් ගන්න ඔයාට පුළුවන්ද? සමහරවිට එයා ටික කාලෙකට හරි ඔයාත් එක්ක බයිබල් පාඩමක් කරන්න කෙනෙක්ව ලෑස්ති කරයි. ඔයා යාච්ඤා කරලා යෙහෝවාට ළං වෙන්න ඒ විදිහට පියවර ගද්දී ඒකෙන් පෙන්නන්නේ යේසුස්ගේ ජීවිත පූජාව ඔයා ගොඩක් අගය කරනවා කියලයි. ඔයා ඒ වෙනුවෙන් දරන වෑයමට යෙහෝවා අනිවාර්යයෙන්ම ආශීර්වාද කරයි.
‘යෙහෝවා ළඟට ආයෙත් එන්න මං මොනවාද කරන්න ඕනේ?’ (16 ඡේදය බලන්න)
ඔයා කරන්නේ මොකක්ද?
17-18. සිහි කිරීමට කලින් තියෙන මේ කාලය ඔයාට ඥානවන්තව පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?
17 ජීවිත පූජාව දුන්නේ “ඔහු ගැන විශ්වාසය තියෙන හැම කෙනෙක්ටම විනාශ වෙන්නේ නැතුව සදාකල් ජීවත් වෙන්න අවස්ථාව දෙන්නයි” කියලා යේසුස් කිව්වා. (යොහ. 3:16) යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපිව පාපයෙන් සහ මරණයෙන් නිදහස් කරන්න යෙහෝවාට දැන් පුළුවන්. ඒ දෙන්නා අපි වෙනුවෙන් කරපු ඒ දේ ගැන අපේ හිතේ තියෙන අගය අපි කවදාවත් අඩු වෙන්න දෙන්න හොඳ නැහැ. (රෝම 3:23, 24; 2 කොරි. 6:1) යෙහෝවායි, යේසුයි අපි වෙනුවෙන් කරපු දේ ගැන හොඳට හිතන්න සිහි කිරීමට ළං වෙලා තියෙන මේ කාලය පාවිච්චි කරන්න. එහෙම කරද්දී ඒ දෙන්නා පෙන්නපු ආදරේ අගය කරනවා කියලා පෙන්නන්න අපි පෙලඹෙයි.
18 ජීවිත පූජාව අගය කරනවා කියලා ඔයා පෙන්නන්නේ කොහොමද? ඒක කරන විදිහ එක් කෙනාගෙන් එක් කෙනාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ‘තමන් ගැනම හිතලා ජීවත් වෙන්නේ නැතුව එයාලා වෙනුවෙන් මැරුණු කෙනා වෙනුවෙන් ජීවත් වෙන’ මිලියන ගාණක් එක්ක එකතු වෙලා ඔයා ඒ අගය පෙන්නද්දී යෙහෝවා අනිවාර්යයෙන්ම ඔයාට ආශීර්වාද කරයි.—2 කොරි. 5:15.
ගීතිකාව 14 ක්‍රිස්තු රජාණන්ට ප්‍රශංසා ගී ගයමු
a ‘හැමදාටම සතුටින් ජීවත් වෙන්න!’ පොතේ හැම පාඩමක්ම අන්තිමට “ඔයාට කරන්න දෙයක්” කියලා කොටසක් තියෙනවා. ඔයා බයිබලෙන් ඉගෙනගන්න දේවල් අදාළ කරගන්න ඒක පාවිච්චි කරන්න.
b යෙහෝවා එක්ක තියෙන බැඳීම තව වැඩි කරගන්න ඔයාට උදව් වෙන්නේ මොනවාද කියලා දැනගන්න 2017 දෙසැම්බර් ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “යෞවනයෙනි, ‘ඔබේ ගැලවීම ස්ථිර කරගන්න’” කියන ලිපිය බලන්න.
c යෙහෝවා ගැන ඔයාගේ හිතේ තියෙන අගය දිගටම තියාගන්න ඔයාට උදව් වෙන දේවල් ගැන දැනගන්න 1995 ජූනි 15 ‘මුරටැඹ’ සඟරාවේ තියෙන “දෙවියන්වහන්සේට සේවය කිරීමට ඔබව පොලඹවන්නේ කුමක්ද?” කියන ලිපිය බලන්න.