ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 දෙසැම්බර් 2-7 පි.
  • දුක් වේදනා අද්දකිද්දී යෝබ් පොතෙන් සහනයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දුක් වේදනා අද්දකිද්දී යෝබ් පොතෙන් සහනයක්
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • දෙවියන් යෝබ්ට දුක් විඳින්න ඉඩහැරියා
  • විඳදරාගන්න උදව්වක්
  • අනිත් අයටත් උදව් කරන්න
  • යෝබ් දෙවිට ප්‍රශංසා කළා
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෝබ්ගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “අවසන් හුස්ම හෙළන තුරු මම දෙවිට විශ්වාසවන්තව සිටිමි”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 දෙසැම්බර් 2-7 පි.

පාඩම් ලිපිය 48

ගීතිකාව 129 දිගටම විඳදරාගමු

දුක් වේදනා අද්දකිද්දී යෝබ් පොතෙන් සහනයක්

‘සියලු බලැති දෙවියන් කවදාවත් දුෂ්ට දෙයක් කරන්නේ නැහැ කියලා ස්ථිරයි.’—යෝබ් 34:12.

ලිපියේ අරමුණ

දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලත් විඳදරාගන්න අපිට උදව් වෙන්නේ මොනවාද කියලත් තේරුම්ගන්න යෝබ් පොත අපිට උදව් වෙන්නේ කොහොමද?

1-2. යෝබ් පොත කියවන එක වටින්නේ ඇයි?

ළඟදී ඔයාට යෝබ් පොත කියවන්න හම්බ වුණාද? ඒ පොත අවුරුදු 3,500කට විතර කලින් ලියවුණත් අදටත් ඒක සලකන්නේ “හරිම විශේෂ පොතක්” විදිහට. යෝබ් පොත හරිම සරලව, ලස්සනට, හිතට වදින විදිහට ලියලා තියෙන නිසා ගොඩක් අය ඒක අගය කරනවා. යෝබ් පොත ලියවුණේ මෝසෙස්ගේ අතින් වුණත් එයා ලිව්වේ යෙහෝවා එයාට ලියන්න කිව්ව දේවල්.—2 තිමෝ. 3:16.

2 යෝබ් පොත අපිට උදව් කරනවා දේවදූතයනුයි, මිනිස්සුයි ඉස්සරහා තියෙන වැදගත් තීරණේ මොකක්ද කියලා තේරුම්ගන්න. ඒ, යෙහෝවාගේ නම ශුද්ධයි කියලා ඔප්පු කරන්න අපි හවුල් වෙනවාද නැද්ද කියන එක. ඒ වගේම ආදරය, ප්‍රඥාව, යුක්තිය සහ බලය වගේ යෙහෝවාගේ අතිශ්‍රේෂ්ඨ ගතිලක්ෂණ ගැනත් යෝබ් පොතෙන් ඉගෙනගන්න පුළුවන්. උදාහරණෙකට යෙහෝවාව “සියලු බලැති” දෙවියන් කියලා 31 වතාවක් යෝබ් පොතේ සඳහන් වෙනවා. බයිබලේ අනිත් පොත් ඔක්කොම එකට ගත්තත් එච්චර වතාවක් යෙහෝවාව හඳුන්වන්න ඒ යෙදුම පාවිච්චි කරලා නැහැ. “දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි” වගේ වැදගත් ප්‍රශ්නවලට උත්තර යෝබ් පොතෙන් අපිට හොයාගන්න පුළුවන්.

3. යෝබ් පොත අධ්‍යයනය කරද්දී ලැබෙන තවත් ප්‍රයෝජන මොනවාද?

3 යෝබ් පොත කියවන එක හරියට අපි කන්දක් උඩ ඉඳන් දේවල් දිහා බලනවා වගේ. කන්දක් උඩ ඉද්දී අපේ වටපිටාවේ තියෙන දේවල් හොඳට පේනවා. ඒ වගේ “අපි අද්දකින දුක් වේදනා ගැන යෙහෝවා හිතන්නේ මොකක්ද” කියලා පැහැදිලිව තේරුම්ගන්න යෝබ් පොත අපිට උදව් වෙනවා. අපි ප්‍රශ්න ගැටලුවලට මූණ දෙද්දී යෝබ් පොත අපිට උදව් වෙන්නේ කොහොමද? යෝබ්ගේ කතාව ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන්න ඇත්තේ කොහොමද? ඒක අද අපිට උදව් වෙන්නේ කොහොමද? යෝබ් පොතේ තියෙන තොරතුරු පාවිච්චි කරලා අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද? ඒ ගැන දැන් අපි බලමු.

දෙවියන් යෝබ්ට දුක් විඳින්න ඉඩහැරියා

4. ඊජිප්තුවේ හිටපු සමහර ඊශ්‍රායෙල්වරුන්ට වඩා යෝබ් ගොඩක් වෙනස් වුණේ මොන විදිවලින්ද?

4 ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවේ වහල්ලු වෙලා හිටිය කාලේ යෝබ් කියලා කෙනෙක් ඌෂ් දේශයේ ජීවත් වුණා. පේන විදිහට පොරොන්දු දේශයට නැඟෙනහිරෙන් සහ අරාබියට උතුරෙන් තමයි ඒ දේශය තිබුණේ. ඊජිප්තුවේ හිටපු ඊශ්‍රායෙල්වරුන්ට වඩා යෝබ් ගොඩක් වෙනස්. ඊශ්‍රායෙල්වරුන්ගෙන් සමහරු බොරු දෙවිවරුන්ට නමස්කාර කරන්න පටන්ගත්තත් යෝබ් දිගටම යෙහෝවාට විශ්වාසවන්තව හිටියා. (යොෂු. 24:14; එස. 20:8) යෙහෝවා යෝබ් ගැන කිව්වේ “එයා වගේ කෙනෙක් පොළොවේ කොහෙවත් නැහැ” කියලයි.a (යෝබ් 1:8) යෝබ් ගොඩක් ධනවත් වගේම නැඟෙනහිර දේශයේ වෙන කාටවත් වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් විදිහට ප්‍රසිද්ධ වෙලා හිටියා. (යෝබ් 1:3) හැමෝම අතරේ ප්‍රසිද්ධ, හැමෝම ගෞරවයෙන් සලකපු යෝබ් වගේ කෙනෙක් යෙහෝවාට විශ්වාසවන්තව ඉන්නවා දකිද්දී සාතන්ගේ ඇස්වල කටු අනිනවා වගේ තියෙන්න ඇති!

5. යෙහෝවා යෝබ්ට දුක් විඳින්න ඉඩහැරියේ ඇයි? (යෝබ් 1:20-22; 2:9, 10)

5 යෝබ් දුක් වින්දොත් යෙහෝවාව අත්හරියි කියලා සාතන් කිව්වා. (යෝබ් 1:7-11; 2:2-5) යෙහෝවා යෝබ්ට ගොඩක් ආදරේ කළත් සාතන් කියපු දේ හරිද වැරදිද කියලා ඔප්පු කරන්න ඔහු සාතන්ට ඉඩ දුන්නා. (යෝබ් 1:12-19; 2:6-8) සාතන් යෝබ්ගේ හැම සත්ව රැළක්ම වගේම එයාගේ දරුවන් දහදෙනාවමත් මරලා දැම්මා. යෝබ්ගේ ඔළුවේ ඉඳන් දෙපතුල් වෙන කල් දරුණු කුෂ්ඨයක් ඇති වෙන්න සැලැස්සුවා. හැබැයි සාතන් ඒ මොන පීඩාව ගෙනාවත් යෝබ්ගේ විශ්වාසවන්තකම කඩන්න එයාට බැරි වුණා. (යෝබ් 1:20-22; 2:9, 10 කියවන්න.) කාලයත් එක්කම යෙහෝවා යෝබ්ව සුව කළා. එයාට ගොඩක් වස්තුව දුන්නා. තව දරුවෝ දහදෙනෙක්වත් දුන්නා. මිනිස්සු එයාට ආයේ ගෞරව කරන්නත් පටන්ගත්තා. ඒ වගේම යෙහෝවා එයාගේ ජීවිතේ අවුරුදු 140කින් දික් කළා. එයාට පුළුවන් වුණා එයාගේ මුනුපුරන්ගේ මුනුපුරන්වත් දකින්න. (යෝබ් 42:10-13, 16) යෝබ්ගේ කතාව අතීතයේ හිටපු අයට උදව් වෙන්න ඇත්තේ කොහොමද? ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?

6. යෝබ්ගේ කතාව ඊශ්‍රායෙල්වරුන්ට උදව් වෙන්න ඇත්තේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

6 ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ගන්න ඇත්තේ කොහොමද? ඊජිප්තුවේ දුක් වින්ද ඊශ්‍රායෙල්වරුන්ට යෝබ්ගේ කතාව ගොඩක් උදව් වෙන්න ඇති. යොෂුවා සහ කාලෙබ් ගැන හිතන්න. එයාලාගේ තරුණ කාලේම ගෙවුණේ වහලුන් විදිහට. ඊටපස්සේ අනිත් ඊශ්‍රායෙල්වරුන් කරපු වැරදි නිසා අවුරුදු 40ක් පාළුකරයේ එහාට මෙහාට යන්න එයාලට සිද්ධ වුණා. ඉතින් යෝබ්ට ආපු පීඩා ගැන, පස්සේ එයාට හම්බ වුණ ආශීර්වාද ගැන ඊශ්‍රායෙල්වරු දැනන් හිටියා නම් ඒක එයාලටත් එයාලාගෙන් පස්සේ හිටපු අයටත් උදව් වෙන්න ඇති ඇත්තටම දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි සාතන් කියලා තේරුම්ගන්න. ඒ වගේම දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලත් ප්‍රශ්න තිබුණත් දෙවියන්ට විශ්වාසවන්තව ඉන්න අයව ඔහුට කොච්චර වටිනවාද කියලත් තේරුම්ගන්න යෝබ්ගේ කතාව එයාලට උදව් වෙන්න ඇති.

ඊශ්‍රායෙල්වරයෙක් ගඩොල් ගොඩගහන ගමන් කල්පනා කරනවා. ඒ ළඟ ඉන්න ඊජිප්තුවරු මහන්සි වෙලා වැඩ කරන ඊශ්‍රායෙල්වරුන්ට කෝටුවලින් ගහනවා.

ඊජිප්තුවේ වහලුන් විදිහට හිටපු ඊශ්‍රායෙල්වරුන්ට පස්සේ කාලෙක යෝබ්ගේ කතාව ප්‍රයෝජනවත් වෙන්න ඇති (6 ඡේදය බලන්න)


7-8. දුක් විඳින අයට යෝබ්ගේ කතාව උදව්වක් වෙන්නේ කොහොමද? අද්දැකීමක් කියන්න.

7 අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? හොඳ මිනිස්සුන්ට දුක් විඳින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලා තේරුම්ගන්න බැරි නිසා ගොඩක් අය දෙවියන්ව විශ්වාස කරන්නේ නැහැ. රුවන්ඩාවේ හේසල්ගේb අද්දැකීම බලන්න. එයා පොඩි කාලේදී දෙවියන්ව විශ්වාස කළා. ඒත් පස්සේ එයාට ගොඩක් නරක දේවල් වුණා. එයාගේ අම්මායි, තාත්තායි දික්කසාද වුණා. අම්මා පස්සේ බැන්ද කෙනා හේසල්ට සැලකුවේ හරිම නරක විදිහට. යෞවන කාලේදී කෙනෙක් එයාව දූෂණය කළා. සහනයක් හොයාගෙන ආගමික ස්ථානයකට ගියත් හේසල් හොයපු සහනය එයාට ලැබුණේ නැහැ. පස්සේ හේසල් දෙවියන්ට ලියුමක් ලියලා මෙහෙම කිව්වා. “දෙවියනි, මං ඔයාට යාච්ඤා කළා. හරි දේ කරන්න හැදුවා. ඒත් ඔයා මට දුන්නේ දුක විතරයි. මං දැන් ඔයාව දාලා යනවා. අද ඉඳන් මට සතුටක් දැනෙන ඕනම දෙයක් මං කරනවා.” දෙවියන් ගැන උගන්නලා තියෙන බොරු නිසා දුක් වේදනාවලට වග කියන්න ඕනෙ දෙවියන් කියලා හිතන හේසල් වගේ අය ගැන අපිට දැනෙන්නේ ලොකු දුකක්!

8 හැබැයි අපි යෝබ්ගේ කතාවෙන් ඉගෙනගෙන තියෙනවා දුක් වේදනාවලට වග කියන්න ඕනෙ සාතන් මිසක් දෙවියන් නෙවෙයි කියලා. කෙනෙක් දුක් විඳිනවා දකිද්දී එයා මේ නෙළාගන්නේ වපුරපු දේ තමයි කියලා හිතන්න ඉක්මන් වෙන්න හොඳ නැහැ කියලත් අපි ඉගෙනගත්තා. බයිබලේ කියනවා “නොහිතන වෙලාවක බලාපොරොත්තු නොවුණ දේවල්” ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් කියලා. (දේශ. 9:11; යෝබ් 4:1, 8) පීඩා, ප්‍රශ්න අපි විශ්වාසවන්තව විඳදරාගද්දී සාතන් කරපු චෝදනාවට හොඳ උත්තරයක් දෙන්න යෙහෝවාට පුළුවන් වෙනවා කියලත් අපි ඉගෙනගත්තා. (යෝබ් 2:3; හිතෝ. 27:11) බයිබලෙන් ඉගෙනගත්ත මේ සත්‍යයන් අපිට ගොඩක් වටිනවා. මොකද අපියි, අපි ආදරේ කරන අයයි දුක් විඳින්නේ ඇයි කියලා දැන් අපි දන්නවා. හේසල් සාක්ෂිකරුවන් එක්ක බයිබල් පාඩමක් කළා. එතකොට එයා දැනගත්තා එයා විඳපු දේවලට වග කියන්න ඕනෙ දෙවියන් නෙවෙයි කියලා. එයා මෙහෙම කියනවා. “මං ආයේ දෙවියන්ට යාච්ඤා කළා. මං යෙහෝවාට කිව්වා ‘මං ඔයාව අත්හරිනවා කිව්වාට මට ඇත්තටම ඒක කරන්න ඕන වුණේ නෑ’ කියලා. මං එහෙම කිව්වේ ඔහු ගැන මං දැනං හිටපු නැති නිසයි. දැන් මං දන්නවා යෙහෝවා මට ආදරෙයි කියලා. මං දැන් ඉන්නේ සතුටින්.” දෙවියන් දුක් වේදනාවලට ඉඩහැරලා තියෙන හේතුව දැනන් ඉන්න එක අපිටත් ලොකු සහනයක්. ඔයා ප්‍රශ්නෙකට මූණ දෙද්දී යෝබ්ගේ කතාව ඔයාට උදව් වෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

විඳදරාගන්න උදව්වක්

9. වේදනාවෙන් ඉද්දී යෝබ් මොනවාද කළේ? (යාකොබ් 5:11)

9 මුළු ඇඟම තුවාලවලින් පිරුණු යෝබ් වේදනාවෙන් අළු ගොඩේ ඉඳගෙන ඉන්න විදිහ හිතින් මවාගන්න. එයාගේ හම හොඳටම කලු වෙලා. ඒක ගැලවී ගැලවී යනවා. එයා හොඳටම වැහැරිලා ගිහින්. කිසිම දෙයක් කරගන්න පණක් නැහැ. එයා වළං කෑල්ලක් ළඟ තියාගෙන ඒකෙන් තුවාල කසනවා. එයා එයාට දැනෙන වේදනාව ගැන කියකියයි ඉන්නේ. හැබැයි යෝබ් නිකම්ම ඉන්නන් වාලේ හිටියා නෙවෙයි. එයා ඒ හැම පීඩාවක්ම විශ්වාසවන්තව විඳදරාගත්තා. (යාකොබ් 5:11 කියවන්න.) විඳදරාගන්න යෝබ්ට උදව් වුණේ මොනවාද?

10. යෝබ්ට යෙහෝවා එක්ක තිබුණේ මොන වගේ බැඳීමක්ද? පැහැදිලි කරන්න.

10 යෝබ් එයාට දැනුණ හැම දේම යෙහෝවාට කිව්වා. (යෝබ් 10:1, 2; 16:20) 3වෙනි පරිච්ඡේදයේ අපිට පේනවා එයා විඳපු හැම දුකක් ගැනම එයා වේදනාවෙන් දෙවියන්ට කියන විදිහ. එයා හිතුවේ මේ ප්‍රශ්න ඔක්කොම එයාට ගෙනාවේ යෙහෝවා කියලා. පස්සේ එයාගේ යාළුවෝ තුන්දෙනා ආයේ ආයේ කිව්වා යෝබ් කරපු වැරදිවලට තමයි දෙවියන් මේ දඬුවම් කරන්නේ කියලා. හැබැයි යෝබ් තදින්ම කිව්වා එයා කිසිම වරදක් කළේ නැහැ කියලා. එහෙම වාද කරද්දී එයා දෙවියන්ටත් ඇඟිල්ල දික් කළා. එයා කියපු සමහර දේවලින් පෙනුණේ එයා දෙවියන්ටත් වඩා ධර්මිෂ්ඨයි කියලා එයා හිතන් හිටියා කියලයි. (යෝබ් 10:1-3; 32:1, 2; 35:1, 2) හැබැයි යෝබ්ම කිව්වා එයා හරියි කියලා ඔප්පු කරන්න හදපු නිසා එයා කතා කළේ “වියරු වැටුණ කෙනෙක් වගේ” කියලා. (යෝබ් 6:3, 26) 31වෙනි පරිච්ඡේදයේ අපිට පේනවා යෝබ්ට ඕනෙ වුණා දෙවියන්ම ඇවිත් එයා නිර්දෝෂයි කියලා කියනවා දකින්න. (යෝබ් 31:35) ඇත්තටම එයා දුක් විඳින හේතුව පැහැදිලි කරන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලන්න යෝබ්ට කිසිම අයිතියක් තිබුණේ නැහැ.

11. යෝබ් එයාගේ නිර්දෝෂකම ඔප්පු කරන්න කියපු දේවල් ගැන දෙවියන්ට හැඟුණේ කොහොමද?

11 දැන් අපිට තේරෙනවා යෝබ් ඒ විදිහට දෙවියන්ට කතා කළේ එයාට දෙවියන් එක්ක ශක්තිමත් බැඳීමක් තිබුණ නිසයි කියලා. යෙහෝවා එයාට සාධාරණ විනිශ්චයක් දෙයි කියලා එයාට ලොකු විශ්වාසයක් තිබුණා. සැඩ සුළඟක් මැද්දෙන් යෙහෝවා යෝබ්ට උත්තර දුන්න වෙලාවේ යෝබ් දුක් විඳින්නේ ඇයි කියලා යෙහෝවා එයාට පැහැදිලි කළේ නැහැ. යෝබ් එයාට දැනුණ විදිහ ගැන කිව්ව එකටවත් එයා කිසිම වරදක් කළේ නැහැ කියලා කියපු එකටවත් දෙවියන් එයාට දඬුවම් කළේ නැහැ. ඒ වෙනුවට තාත්තෙක් පුතෙක්ට උදව් කරනවා වගේ හරි විදිහට හිතන්න යෙහෝවා යෝබ්ට උදව් කළා. ඒ නිසා යෝබ් නිහතමානීව පිළිගත්තා එයා දන්නේ හරිම චුට්ටයි කියලා. එයා හිතන්නේ බලන්නේ නැතුව කියපු දේවල් ගැන එයා පසුතැවුණා. (යෝබ් 31:6; 40:4, 5; 42:1-6) මේ වාර්තාව අතීතයේ හිටපු අයට උදව් වෙන්න ඇත්තේ කොහොමද? අපිට ඒක උදව් වෙන්නේ කොහොමද?

12. ඊශ්‍රායෙල්වරුන්ට යෝබ්ගේ කතාව උදව් වෙන්න ඇත්තේ කොහොමද?

12 ඊශ්‍රායෙල්වරු ප්‍රයෝජන ගන්න ඇත්තේ කොහොමද? මෝසෙස් ගැන හිතන්න. ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට වැඩ කරන එක එයාට ලේසි වුණේ නැහැ. සෙනඟ නිතරම දෙවියන්ට අකීකරු වුණ එක මෝසෙස්ට තදින්ම බලපෑවා. ප්‍රශ්න එද්දී ඊශ්‍රායෙල්වරු කළේ දෙවියන්ට විරුද්ධව කතා කරන එක. ඒත් මෝසෙස් කළේ ඒවාට මූණ දෙන්න යෙහෝවාගෙන් උදව් ඉල්ලපු එක. (නික්. 16:6-8; ගණන්. 11:10-14; 14:1-4, 11; 16:41, 49; 17:5) යෙහෝවා එයාව නිවැරදි කරද්දීත් ඒක දරාගන්න යෝබ්ගේ වාර්තාව එයාට උදව් වෙන්න ඇති. උදාහරණෙකට පොරොන්දු දේශයට යන්න ඔන්න මෙන්න තියෙද්දී මෝසෙස්ට සෙනඟ එක්ක කේන්ති ගිහින් එයා “හිතන්නේ බලන්නේ නැතුව අනුවණ විදිහට කතා කළා.” ඒ වෙලාවේ දෙවියන්ගේ නමට දෙන්න ඕනෙ ගෞරවය එයා දුන්නේ නැහැ. (ගීතා. 106:32, 33) ඒ නිසා යෙහෝවා කිව්වා එයාට පොරොන්දු දේශයට යන්න බැහැ කියලා. (ද්වි. 32:50-52) ඒක අමාරු හික්මවීමක් වුණත් මෝසෙස් නිහතමානීව ඒක පිළිගත්තා. මෝසෙස්ගෙන් පස්සේ හිටපු විශ්වාසවන්ත ඊශ්‍රායෙල්වරුන්ටත් ප්‍රශ්න මැද විඳදරාගන්න යෝබ්ගේ කතාව උදව් වෙන්න ඇති. ප්‍රශ්න එද්දී එයාලට දැනෙන හැම දේම යෙහෝවාට කියන්න ඕනෙ කියන දේ තේරුම්ගන්න ඒ වාර්තාව ගැන හිතන එක එයාලට උදව් වෙන්න ඇති. එයාලා දෙවියන්ට වඩා නිර්දෝෂයි කියලා හිතන එක වැරදියි කියලත් දෙවියන් හික්මවීමක් දෙද්දී ඒක නිහතමානීව පිළිගන්න ඕනෙ කියලත් එයාලා ඒකෙන් තේරුම්ගන්න ඇති.

13. විඳදරාගන්න යෝබ්ගේ කතාව අපිට උදව් වෙන්නේ කොහොමද? (හෙබ්‍රෙව් 10:36)

13 අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් කොහොමද? ක්‍රිස්තියානීන් විදිහට අපිටත් ගොඩක් දේවල් විඳදරාගන්න වෙනවා. (හෙබ්‍රෙව් 10:36 කියවන්න.) අපෙන් සමහරු අසනීප එක්ක, මානසික අවපීඩනයත් එක්ක සටන් කරනවා ඇති. සමහර අයගේ පවුල්වල ගොඩක් ප්‍රශ්න ඇති. ආදරේ කරන කෙනෙක්ගේ වියෝව නිසා සමහරු ඉන්නේ ගොඩක් දුකින් වෙන්න ඇති. නැත්නම් වෙන බරපතළ ප්‍රශ්නයක් එක්ක එයාලා ඔට්ටු වෙනවා ඇති. අපි දුකින් ඉන්න වෙලාවට සමහරු කියන දේවල් නිසා අපේ හිත තවත් බිඳෙනවා. (හිතෝ. 12:18) හැබැයි අපි යෝබ් පොතෙන් ඉගෙනගත්ත විදිහට අපිට හැඟෙන දැනෙන ඕනම දෙයක් යෙහෝවාට කියන්න පුළුවන් කියලත් ඔහු ඒවා අහන් ඉන්නවා කියලත් අපිට විශ්වාසයි. (1 යොහ. 5:14) යෙහෝවාට අපේ දුක කියද්දී යෝබ් වගේ අපි “වියරු වැටිලා” කතා කළත් යෙහෝවා අපිත් එක්ක කේන්ති ගන්නේ නැහැ. ඒ වෙනුවට විඳදරාගන්න ඕන කරන ශක්තිය, ප්‍රඥාව ඔහු අපිට දෙනවා. (2 ලේක. 16:9; යාකො. 1:5) යෝබ්ව වගේ අපිවත් නිවැරදි කරන්න ඕන තැන්වලදී යෙහෝවා ඒක කරනවා. යෝබ් පොත අපිට උගන්නනවා බයිබලෙන්, සංවිධානයෙන්, අවබෝධයෙන් වැඩ කරන සහෝදරයන්ගෙන් හික්මවීම් ලැබෙද්දී කනස්සල්ලු නොවී ඒවා පිළිගන්න. (හෙබ්‍රෙ. 12:5-7) ලැබුණ හික්මවීම් යෝබ් නිහතමානීව පිළි අරන් ගොඩක් ප්‍රයෝජන ලැබුවා වගේ අපිත් හික්මවීම් පිළිගන්නවා නම් අපිටත් ප්‍රයෝජන ලබන්න පුළුවන්. (2 කොරි. 13:11) දැන් අපි බලමු යෝබ්ගේ කතාව අනිත් අයට උදව් කරන්න පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා.

අනිත් අයටත් උදව් කරන්න

14. දුක් වේදනා තියෙන්න හේතුව පැහැදිලි කරන්න පුළුවන් එක විදිහක් මොකක්ද?

14 සේවේදී කවුරු හරි ඔයාගෙන් අහලා තියෙනවාද “ඇයි අපි දුක් විඳින්නේ” කියලා? කොහොමද ඔයා එයාට උත්තර දුන්නේ? සමහරවිට ඔයා බයිබලේ තියෙන ඒදන් උයනේ සිද්ධිය ගැන එයාට කියන්න ඇති. දුෂ්ට දේවදූතයෙක් මුල් යුවළට බොරුවක් කියලා එයාලව දෙවියන්ට විරුද්ධව කැරලිගහන්න පොලඹවා ගත්ත විදිහ ඔයා එයාට කියන්න ඇති. (උත්. 3:1-6) ඊටපස්සේ ඔයා පැහැදිලි කරන්න ඇති ආදම් සහ ඒව අකීකරු වුණ නිසයි මිනිස්සු දුක් විඳින්නේ සහ මැරෙන්නේ කියලා. (රෝම 5:12) අන්තිමටම ඔයා කියන්න ඇති සාතන් කියපු දේ බොරුයි කියලා ඔප්පු කරන්න යෙහෝවා යම් කාලයක් දුන්නා කියලා. ඒ වගේම හැම දුකක්ම අයින් කරලා මිනිස්සුන්ට හැමදාටම සතුටින් ඉන්න පුළුවන් ජීවිතයක් දෙවියන් දෙනවා කියන පණිවිඩේ අනිත් අයට කියන්න ඔහු ඒ කාලය පාවිච්චි කරනවා කියලත් ඔයා එයාට කියන්න ඇති. (එළි. 21:3, 4) මිනිස්සු දුක් විඳින්නේ ඇයි කියලා පැහැදිලි කරන්න ඒක හොඳ ක්‍රමයක්.

15. අපි දුක් විඳින්නේ ඇයි කියලා අහන කෙනෙක්ට උත්තර දෙන්න යෝබ් පොත පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? (පින්තූරත් බලන්න.)

15 දැන් අපි ඒ ප්‍රශ්නෙට යෝබ් පොතෙන් උත්තරේ දෙන්න පුළුවන් විදිහක් බලමු. මුලින්ම ඒ වගේ වැදගත් ප්‍රශ්නයක් අහපු එක ගැන එයාව අගය කරන්න. ඊටපස්සේ එයාට කියන්න ඉස්සර කාලේ හිටපු යෝබ් කියන හොඳ මනුස්සයත් දුක් විඳිද්දී ඒ ප්‍රශ්නෙම ඇහුවා කියලා. එයාට දුක් කරදර ගේන්නේ දෙවියන් කියලත් එයා හිතුවා. (යෝබ් 7: 17-21) එයාට දැනෙන විදිහටම දැනුණ අය ඉස්සර කාලෙත් හිටියා කියලා දැනගත්තාම ගෙහිමියාට සතුටක් දැනෙයි. ඊටපස්සේ එයාට තර්කානුකූලව පැහැදිලි කරන්න යෝබ්ට දුක් වේදනා ගෙනාවේ දෙවියන් නෙවෙයි යක්ෂයා කියලා. යක්ෂයා එහෙම කළේ මිනිස්සු දෙවියන්ට සේවේ කරන්නේ දෙවියන් මිනිස්සුන්ට දේවල් දෙන නිසා කියලා ඔප්පු කරන්න. ඊටපස්සේ ඔයාට මෙහෙම කියන්න පුළුවන්. “දෙවියන්ට ලොකු විශ්වාසයක් තිබුණා සමහරු ඔහුට විශ්වාසවන්තව ඉඳලා සාතන් බොරුකාරයෙක් කියලා ඔප්පු කරයි කියලා. ඒකයි ඔහු යෝබ්ට දුක් විඳින්න ඉඩහැරියේ.” අන්තිමේදී ඔයාට පෙන්නන්න පුළුවන් යෝබ් දිගටම දෙවියන්ට විශ්වාසවන්තව හිටපු නිසා ඔහු යෝබ්ට ගොඩක් ආශීර්වාද කළා කියලා. ඉතින් දුක් කරදර ගේන්නේ දෙවියන් නෙවෙයි කියලා ඒ විදිහට පෙන්නලා දීලා මිනිස්සුන්ව සනසන්න අපිට පුළුවන්.

පින්තූරවල අදහස: 1. ළැව් ගින්නකින් විනාශ වුණ තමන්ගේ ගෙදර සුන්බුන් මැද ඉඳන් ඉන්න කාන්තාවක් අත් දෙකෙන්ම ෆොටෝ එකක් අල්ලගෙන දුකෙන් ඉන්නවා. 2. සහන සේවා සපයන මධ්‍යස්ථානයක් ළඟ අපේ සහෝදරයන් කාට් එක තියාගෙන ඉන්නවා. එතනට එන ඒ කාන්තාව අපේ සහෝදරිය බයිබල් පදයක් කියවද්දී ඒක හොඳට අහන් ඉන්නවා.

‘දෙවියන් දුෂ්ට දෙයක් කරන්නේ නැහැ’ කියලා පෙන්නන්න යෝබ්ගේ කතාව පාවිච්චි කරන්න ඔයාට පුළුවන් කොහොමද? (15 ඡේදය බලන්න)


16. දුක් වේදනා අද්දකින කෙනෙක්ට යෝබ් පොත උදව් වුණ විදිහ ගැන අද්දැකීමක් කියන්න.

16 යෝබ්ගේ කතාව මාරියෝට උදව් වුණ විදිහ බලන්න. 2021 එක දවසක සහෝදරියක් ටෙලිෆෝන් එකෙන් සාක්ෂි දැරුවා. එයා එයාගේ පළවෙනි කෝල් එක ගත්තේ මාරියෝට. දෙවියන් අපේ යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා වගේම අපිට ලස්සන ජීවිතයක් ගැන බලාපොරොත්තුවක් දෙනවා කියලා පෙන්නන බයිබල් පදයක් ඒ සහෝදරිය එයාට ඇහෙන්න කියෙව්වා. ඒ ගැන හිතෙන්නේ මොකක්ද කියලා ඇහුවාම මාරියෝ කිව්වා එයා එයාගේ ජීවිතේ නැති කරගන්න කලින් පවුලේ අයට ලියුමක් ලියලියයි හිටියේ කියලා. එයා මෙහෙමත් කිව්වා. “මං දෙවියන්ව විශ්වාස කරනවා. ඒත් අද උදේ මට හිතුණා දෙවියන්ට මං ගැන කිසිම ගාණක් නෑ කියලා.” දෙවෙනි පාර කතා කරද්දී ඒ සහෝදරිය එයාට යෝබ්ගේ ජීවිත කතාව ගැන කිව්වා. මාරියෝ තීරණේ කළා මුළු යෝබ් පොතම කියවන්න. ඉතින් ඒ සහෝදරිය ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ ලින්ක් එක එයාට යැව්වා. අන්තිමට මාරියෝ බයිබල් පාඩමක් පටන්ගත්තා. එයා ගැන හිතන, එයාට ගොඩක් ආදරේ කරන දෙවියන් ගැන ඉගෙනගන්න ලැබුණ එක ගැන එයා ගොඩක් සතුටු වුණා.

17. බයිබලේට යෝබ් පොත ඇතුළත් කරපු ගැන ඔයා යෙහෝවාට ස්තුතිවන්ත වෙන්නේ ඇයි? (යෝබ් 34:12)

17 දේවවචනයට ජීවිත වෙනස් කරන්න තරම් බලයක් තියෙනවා. ඒකට පුළුවන් දුක් විඳින අයව සනසන්න. (හෙබ්‍රෙ. 4:12) යෝබ්ගේ ජීවිත කතාව ලියලා ඒක යෙහෝවා බයිබලේට ඇතුළත් කරපු එක ගැන අපි කොච්චර නම් ස්තුතිවන්ත වෙන්න ඕනෙද! (යෝබ් 19:23, 24) ‘දෙවියන් කවදාවත් දුෂ්ට දෙයක් කරන්නේ නැහැ’ කියලා යෝබ් පොත අපිට සහතික කරනවා. (යෝබ් 34:12 කියවන්න.) දුක් වේදනාවලට දෙවියන් ඉඩහැරලා තියෙන්නේ ඇයි කියලත් ඒවා අපිට දරාගන්න පුළුවන් කොහොමද කියලත් යෝබ් පොත අපිට උගන්නනවා. ඒ වගේම ප්‍රශ්න මැද්දේ ඉන්න අනිත් අයව සනසන්නත් යෝබ් පොත අපිට උදව් වෙනවා. අපි ඊළඟ ලිපියෙන් බලමු තව කෙනෙක්ට උපදෙසක් දෙද්දී යෝබ් පොතේ තියෙන තොරතුරු අපිට කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • දෙවියන් යෝබ්ට දුක් විඳින්න ඉඩහැරපු හේතුව තේරුම්ගන්න එක වැදගත් ඇයි?

  • දුක් වේදනා දරාගන්න යෝබ්ගේ කතාව අපිට උදව් වෙන්නේ කොහොමද?

  • අනිත් අයට උදව් කරන්න යෝබ් පොත පාවිච්චි කරන්න පුළුවන් කොහොමද?

ගීතිකාව 156 විශ්වාසය, අනාගතය දකියි!

a පේන විදිහට යෝබ් ජීවත් වුණේ විශ්වාසවන්ත යෝසෙප්ගේ මරණයත් (ක්‍රි.පූ. 1657) මෝසෙස්ව ඊශ්‍රායෙල්වරුන්ගේ නායකයා විදිහට පත් කරපු කාලයත් (ක්‍රි.පූ. 1514දී විතර) අතර කාලේ. ඉතින් යෙහෝවා සහ සාතන් අතර ඒ කතාබහ ඇති වෙන්න ඇත්තෙත් යෝබ් ගොඩක් දුක් කරදරවලට මූණ දෙන්න ඇත්තෙත් ඔය කාලේ අතරතුරේදී කියලා හිතන්න පුළුවන්.

b සමහර නම් වෙනස් කරලා තියෙනවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න