පාඩම් ලිපිය 25
ගීතිකාව 96 දෙවිගේ ලියවිල්ල නිධානයකි
මරණ ඇඳේ ඉද්දී කියපු අනාවැකිවලින් පාඩම්- 2 කොටස
“තාත්තා ඒ එක් එක් කෙනාට ගැළපෙන ආශීර්වාදයක් දුන්නා.” —උත්. 49:28.
ලිපියේ අරමුණ
මරණ ඇඳේ ඉද්දී යාකොබ් එයාගේ පුතාලා අටදෙනෙක් ගැන කියපු අනාවැකිවලින් අපිට ගන්න පුළුවන් පාඩම්.
1. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
යාකොබ්ගේ පුතාලා හැමෝම එයා වටේ රැස් වෙලා එයා කියන දේවල් හොඳට අහන් ඉන්නවා. අපි කලින් ලිපියේ බැලුවා වගේ යාකොබ් රූබෙන්ට, සිමියොන්ට, ලෙවීට සහ යූදාට එයාලා හීනෙකින්වත් හිතපු නැති දේවල් කිව්වා. දැන් එයාලා බලන් ඉන්නවා ඇති තාත්තා ඉතුරු අටදෙනාට මොනවාද කියන්න යන්නේ කියලා. අපි මේ ලිපියෙන් බලමු යාකොබ් සෙබ්යූලන්ට, ඉසකාර්ට, දාන්ට, ගාද්ට, ආෂෙර්ට, නෆ්තලීට, යෝසෙප්ට සහ බෙන්ජමින්ට කියපු දේවල්වලින් අපිට මොනවාද ඉගෙනගන්න පුළුවන් කියලා.a
සෙබ්‍යූලන්
2. යාකොබ් සෙබ්යූලන්ට කිව්වේ මොකක්ද? ඒක ඉටු වුණේ කොහොමද? (උත්පත්ති 49:13) (කොටුවත් බලන්න.)
2 උත්පත්ති 49:13 කියවන්න. යාකොබ් කිව්වා සෙබ්යූලන්ගෙන් පැවතෙන අයට පොරොන්දු දේශයේ උතුරට වෙන්න තිබුණ මුහුදු වෙරළ ළඟ ප්‍රදේශය ලැබෙනවා කියලා. ඊට අවුරුදු 200කටත් වඩා වැඩි කාලයක් ගෙවුණාට පස්සේ සෙබ්‍යූලන් ගෝත්‍රයට එයාලාගේ උරුමය ලැබුණා. එයාලට අයිති ප්‍රදේශය තිබුණේ ගලීල මුහුද සහ මධ්‍යධරණී මුහුද අතරේ. ඇත්තටම සෙබ්යූලන්ගෙන් පැවතෙන අයට සතුටු වෙන්න හේතු තිබුණා. ඒ ඇයි? එයාලා මුහුදු තීරයේ ජීවත් වුණේ නැති වුණාට එයාලට ලැබුණ ප්‍රදේශය මුහුදු දෙකක් අතර තිබුණ නිසා එයාලට ලේසියෙන් වෙළඳ කටයුතු කරන්න පුළුවන් වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති “සෙබ්‍යූලන්, වෙළඳ කටයුතුවලට යද්දී සතුටු වෙන්න” කියලා මෝසෙස් කිව්වේ.—ද්වි. 33:18.
3. තියෙන දෙයින් සතුටු වෙන්න අපිට උදව් වෙන්නේ මොනවාද?
3 අපිට පාඩම්. අපි කොහේ ජීවත් වුණත් මොන දේවලට මූණ දුන්නත් අපිට සතුටින් ඉන්න හේතු තියෙනවා. හැබැයි සතුටින් ඉන්න නම් තියෙන දෙයින් සෑහීමට පත් වෙන්න අපි ඉගෙනගන්න ඕනේ. (ගීතා. 16:6; 24:5) සාමාන්‍යයෙන් අපි කරන්නේ අපි ගාව නැති දේවල් ගැන හිතලා දුක් වෙන එකයි. ඒත් අපි කරන්න ඕනෙ අපි ගාව තියෙන හොඳ දේවල් ගැන නිතරම හිතන එකයි.—ගලා. 6:4.
ඉසකාර්
4. යාකොබ් ඉසකාර්ට කිව්වේ මොනවාද? ඒක ඉටු වුණේ කොහොමද? (උත්පත්ති 49:14, 15) (කොටුවත් බලන්න.)
4 උත්පත්ති 49:14, 15 කියවන්න. මහන්සි වෙලා වැඩ කරන්න තියෙන කැමැත්ත නිසා යාකොබ් ඉසකාර්ට ප්‍රශංසා කරනවා. යාකොබ් එයාව බර උස්සගෙන යන ශක්තිමත් බූරුවෙක්ට සමාන කරනවා. එයා කිව්වා ඉසකාර්ගෙන් පැවතෙන අයට සරු දේශයක් ලැබෙනවා කියලා. කිව්වා වගේම ඉසකාර් ගෝත්‍රයේ අයට ලැබුණේ යොර්දාන් ගඟ ළඟ තිබුණ සාරවත් ප්‍රදේශයක්. (යොෂු. 19:22) ඒ ප්‍රදේශයේ වගා කරන්න එයාලා මහන්සි වෙන්න ඇති. අනිත් අයට උදව් කරන්නත් එයාලා මහන්සි වුණා. (1 රාජා. 4:7, 17) උදාහරණෙකට බාරාක් සහ දෙබොරා සතුරන්ට විරුද්ධව සටන් කරන්න යද්දී ඉසකාර් ගෝත්‍රයේ අයත් එයාලාගේ උදව්වට ගියා. තව අවස්ථාවලදීත් එයාලා සටනට යන්න ඉදිරිපත් වෙලා තියෙනවා.—විනි. 5:15.
5. අපි මහන්සි වෙලා වැඩ කරන්න ඕනෙ ඇයි?
5 අපිට පාඩම්. ඉසකාර් ගෝත්‍රයේ අයගේ මහන්සිය යෙහෝවා ගොඩක් අගය කළා. ඒ වගේ අපිත් ඔහුට සේවේ කරන්න වෙන මහන්සිය ඔහු ගොඩක් අගය කරනවා. (දේශ. 2:24) උදාහරණෙකට සභාව බලාගන්න වෙහෙස නොබලා වැඩ කරන සහෝදරයන් ගැන හිතන්න. (1 තිමෝ. 3:1) එයාලා ඇත්තටම යුද්ධ කරන්නේ නැහැ. ඒත් විශ්වාසෙට හානියක් වෙන දේවලින් දෙවියන්ගේ සෙනඟව ආරක්ෂා කරන්න එයාලා සටන් කරනවා. (1 කොරි. 5:1, 5; යූද් 17-23) එයාලා දේශන ලෑස්ති වෙන්න, සභාවේ අය දිරිගැන්වෙන විදිහට ඒවා ඉදිරිපත් කරන්න ගොඩක් මහන්සි වෙනවා.—1 තිමෝ. 5:17.
දාන්
6. දාන් ගෝත්‍රයේ අයට ලැබුණ පැවරුම මොකක්ද? (උත්පත්ති 49:17, 18) (කොටුවත් බලන්න.)
6 උත්පත්ති 49:17, 18 කියවන්න. යාකොබ් කිව්වා දාන් සර්පයෙක් වගේ එයාට වඩා විශාල සත්තුන්ට පහර දෙනවා කියලා. එයා යුද්ධයට යන අශ්වයන්ට පවා දෂ්ට කරනවා. ඒ කිව්වා වගේම දාන් ගෝත්‍රයේ අය ගොඩක් නිර්භීතයි. එයාලා ඊශ්‍රායෙල්වරුන්ගේ සතුරන්ට විරුද්ධව සටන් කරන්න ඕනම වෙලාවක ලෑස්තියි. පොරොන්දු දේශයට යන ගමනේදී “එයාලා ආරක්ෂක සේනාවක් විදිහට අනිත් කණ්ඩායම් පිටිපස්සෙන් ගියා.” (ගණන්. 10:25) තමන්ගේ ජාතිය ආරක්ෂා කරන්න එයාලා කරපු හැම දේම අනිත් ගෝත්‍රවල අය දැක්කේ නැතත් එයාලාගේ පැවරුම හරිම වැදගත් එකක්.
7. අපිට ලැබෙන ඕනම පැවරුමක් ගැන අපි හිතන්න ඕනෙ කොහොමද?
7 අපිට පාඩම්. ඔයා කවදා හරි අනිත් අයගේ අවධානයට අහු වෙන්නේ නැති පැවරුමක් කරලා තියෙනවාද? ඒක සමහරවිට නමස්කාර මධ්‍යස්ථානයක් පිරිසිදු කරන එක, නඩත්තු කරන එක වෙන්න ඇති. සමුළුවේ කරන්න තියෙන පුංචි වැඩක් නැත්නම් වෙන පැවරුමක් වෙන්න ඇති. ඒ වගේ පැවරුම් කරන එක ඇත්තටම හොඳ දෙයක්. මතක තියාගන්න ඔයා කරන ඒ හැම දේම යෙහෝවා දකිනවා. ඔහුට ඒවා ගොඩක් වටිනවා. ඔයා අනිත් අයගේ ප්‍රශංසාව බලාගෙන වැඩ කරන්නේ නැතුව යෙහෝවාට තියෙන ආදරේ පෙන්නන්න ඕනෙ නිසා වැඩ කරද්දී ඒ ගැන යෙහෝවා සෑහෙන්න සතුටු වෙනවා.—මතෙ. 6:1-4.
ගාද්
8. ගාද් ගෝත්‍රයට ලේසියෙන්ම පහර දෙන්න සතුරන්ට පුළුවන් වුණේ ඇයි? (උත්පත්ති 49:19) (කොටුවත් බලන්න.)
8 උත්පත්ති 49:19 කියවන්න. යාකොබ් කිව්වා කොල්ලකරුවන් ගාද්ට පහර දෙනවා කියලා. ඊට අවුරුදු 200කට විතර පස්සේ ගාද් ගෝත්‍රයට උරුමය ලැබුණේ යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ. ඒක සතුරු ජාතීන්ගේ මායිම. ඒ නිසා සතුරන්ට ගාද්වරුන්ට පහර දෙන්න ලේසියි. හැබැයි එයාලා ඒ ප්‍රදේශය දාලා ගියේ නැහැ. මොකද එයාලාගේ සත්තුන්ට හුඟක් තණබිම් එහේ තිබුණා. (ගණන්. 32:1, 5) ගාද්වරු හරිම ධෛර්යවන්ත මිනිස්සු. ඊටත් වඩා එයාලා යෙහෝවා මත විශ්වාසේ තිබ්බ අය. එයාලා දැනන් හිටියා යෙහෝවා එයාලට දීපු ප්‍රදේශය රැකගන්න ඔහු එයාලට උදව් කරයි කියලා. අනිත් ගෝත්‍රවලට යොර්දාන් ගඟෙන් බටහිර පැත්තේ තිබුණ ප්‍රදේශ අල්ලගන්න උදව් කරන්නත් ගාද්වරු අවුරුදු ගාණක් තිස්සේ එයාලාගේ සෙබළුන්ව යැව්වා. (ගණන්. 32:16-19) සටනට යද්දී යෙහෝවා එයාලාගේ භාර්යාවන්ව, දරුවන්ව ආරක්ෂා කරයි කියලා එයාලට ලොකු විශ්වාසයක් තිබ්බා. එයාලාගේ ධෛර්යයට, අනිත් අය වෙනුවෙන් එයාලා කරපු කැප කිරීම්වලට යෙහෝවා ආශීර්වාද කළා.—යොෂු. 22:1-4.
9. යෙහෝවා ගැන තියෙන විශ්වාසේ ඔයා ගන්න තීරණවලට බලපාන්නේ කොහොමද?
9 අපිට පාඩම්. මොන අභියෝග තිබ්බත් යෙහෝවාට දිගටම සේවේ කරන්න අපිට ඔහු ගැන ලොකු විශ්වාසයක් තියෙන්න ඕනේ. (ගීතා. 37:3) අද ඉන්න හුඟක් අය කැප කිරීම් කරලා ඉදි කිරීම් ව්‍යාපෘතිවලට හවුල් වෙන එකෙන්, ප්‍රචාරකයන් අඩු පැතිවල සේවේ කරන එකෙන් සහ තවත් විදිවලින් යෙහෝවා ගැන විශ්වාසේ තියනවා කියලා පෙන්නනවා. එයාලට විශ්වාසයි මොන දේ වුණත් යෙහෝවා එයාලව බලාගන්නවා කියලා.—ගීතා. 23:1.
ආෂෙර්
10. ආෂෙර් ගෝත්‍රයේ අයට කරන්න බැරි වුණේ මොනවාද? (උත්පත්ති 49:20) (කොටුවත් බලන්න.)
10 උත්පත්ති 49:20 කියවන්න. යාකොබ් කිව්වා ආෂෙර් ගොඩක් සමෘද්ධිමත් වෙනවා කියලා. කිව්ව විදිහටම ඒක වුණා. ආෂෙර් ගෝත්‍රයේ අයට ලැබුණේ පොරොන්දු දේශයේ සරුම පැත්ත. (ද්වි. 33:24) මධ්‍යධරණී මුහුද එයාලාගේ එක මායිමක්. වෙළඳාම්වලට ප්‍රසිද්ධ සීදොන් වරායත් අයිති වුණේ එයාලට. ඒත් ආෂෙර් ගෝත්‍රයේ අය කානානිවරුන්ව සම්පූර්ණයෙන්ම පැන්නුවේ නැහැ. (විනි. 1:31, 32) ඉතින් කානානිවරුන්ගේ නරක බලපෑම නිසාත් ධන සම්පත් නිසාත් ආෂෙර්වරුන්ට සැබෑ නමස්කාරය ගැන තිබුණ උද්යෝගය අඩු වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති බාරාක් කානානි හමුදාවන්ට විරුද්ධව සටන් කරන්න යන්න කැමති කවුද කියලා අහද්දී එයාලා ඉදිරිපත් නොවුණේ. ඒ නිසා “මෙගිද්දෝ ජල ධාරා ළඟ” යෙහෝවා ආශ්චර්යවත් විදිහට ඊශ්‍රායෙල්වරුන්ව ගලවගත්ත විදිහ දකින්න එයාලට බැරි වුණා. (විනි. 5:19-21) ඒ ජයග්රහණයෙන් පස්සේ බාරාක් සහ දෙබොරා දෙවියන්ගේ බලයෙන් කියපු ගීතිකාවේ ආෂෙර් ගැන මෙහෙම කිව්වා. “ආෂෙර් මුහුදු වෙරළේ නිකරුණේ කාලේ ගත කළා.” ඒ වචන ඇහෙද්දී ආෂෙර්වරුන්ට ලැජ්ජාවක් දැනෙන්න ඇති.—විනි. 5:17.
11. සල්ලි හම්බ කරන එක අපේ ජීවිතේ වැදගත්ම දේ කරගන්න හොඳ නැත්තේ ඇයි?
11 අපිට පාඩම්. අපිට ඕනෙ යෙහෝවාට හොඳම දේ දෙන්න. හැබැයි එහෙම කරන්න නම් සල්ලි ගැන, සල්ලිවලින් ගන්න පුළුවන් ලොකු ලොකු දේවල් ගැන මේ ලෝකේ අය හිතන විදිහට හිතන්නේ නැතුව ඉන්න අපි උත්සාහ කරන්න ඕනේ. (හිතෝ. 18:11) ජීවත් වෙන්න සල්ලි ඕන වුණත් අපේ ජීවිතේ වැදගත්ම දේ සල්ලි කියලා අපි හිතන්නේ නැහැ. (දේශ. 7:12; හෙබ්‍රෙ. 13:5) අපිට අත්‍යවශ්‍ය නැති දේවල් ගන්න අපි අපේ කාලය, ශක්තිය වැය කරන්නෙත් නැහැ. ඒ වෙනුවට අපි අපේ කාලය, ශක්තිය උපරිමයෙන් දෙන්නේ යෙහෝවාට. මොකද අපි දන්නවා ඔහු ළඟදීම සතුටින් පිරුණු, සුරක්ෂිත ජීවිතයක් අපිට දෙනවා කියලා.—ගීතා. 4:8.
නෆ්තලී
12. යාකොබ් නෆ්තලීට කියපු දේ ඉටු වුණේ කොහොමද? (උත්පත්ති 49:21) (කොටුවත් බලන්න.)
12 උත්පත්ති 49:21 කියවන්න. යාකොබ් නෆ්තලීට කිව්වා එයා “ප්‍රිය වචන කතා කරයි” කියලා. ඒකෙන් අදහස් කරන්න ඇත්තේ යේසුස් පොළොවේ සේවේ කරපු කාලේදී කතා කරපු විදිහ වෙන්න ඇති. යේසුස්ගේ ඉගැන්වීම් හරිම ප්‍රබලයි. ඔහු නෆ්තලී ගෝත්‍රයට අයිති කපර්ණවුමේ තමයි වැඩි කාලයක් ඉගැන්නුවේ. ඒ නිසා කපර්ණවුම “ඔහුගේ නුවර” කියලත් හැඳින්නුවා. (මතෙ. 4:13; 9:1; යොහ. 7:46) යේසුස් ගැන යෙසායා කියපු අනාවැකියේ සෙබ්‍යූලන් සහ නෆ්තලී ගෝත්‍රවල අය “ලොකු ආලෝකයක්” දකිනවා කියලා කිව්වා. (යෙසා. 9:1, 2) යේසුස්ගේ ඉගැන්වීම් නිසා “හැම පසුබිමකටම අයිති මිනිස්සුන්ට ආලෝකය දෙන සැබෑ ආලෝකය” ඔහුයි කියලා පැහැදිලි වුණා.—යොහ. 1:9.
13. අපේ කතාබහ යෙහෝවා සතුටු වෙන විදිහට තියාගන්න පුළුවන් කොහොමද?
13 අපිට පාඩම්. අපි කතා කරන දේවල් ගැන, ඒවා කියන විදිහ ගැන යෙහෝවා ගොඩක් සැලකිලිමත්. ඉතින් යෙහෝවා සතුටු වෙන විදිහට “ප්‍රිය වචන” පාවිච්චි කරන්න අපිට පුළුවන් කොහොමද? අපි හැම වෙලාවෙම ඇත්ත කතා කරන්න ඕනේ. (ගීතා. 15:1, 2) අනිත් අය දිරිගැන්වෙන විදිහට කතා කරන්නත් ඕනේ. උදාහරණෙකට කෙනෙක් හොඳ දෙයක් කළාම අපි ඉක්මනින්ම එයාව අගය කරන්න ඕනේ. ඒත් අපි කෙනෙක්ගේ අඩුපාඩු ගැන තව අය එක්ක කතා කරන්නෙවත් ඒවා ගැන කන්කෙඳිරි ගාන්නෙවත් නැහැ. (එෆී. 4:29) අපිට කරන්න පුළුවන් තව දෙයක් තමයි මිනිස්සු එක්ක කතාබහක් පටන්ගන්න පුළුවන් අලුත් විදි අත්හදා බලන එක. එතකොට අපිට පුළුවන් හොඳ සාක්ෂියක් දරන්න.
යෝසෙප්
14. යෝසෙප් ගැන යාකොබ් කියපු දේ ඉටු වුණේ කොහොමද? (උත්පත්ති 49:22, 26) (කොටුවත් බලන්න.)
14 උත්පත්ති 49:22, 26 කියවන්න. යාකොබ් යෝසෙප් ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඇති. යෝසෙප් “එයාගේ සහෝදරයන් අතර විශේෂ කෙනෙක්” වුණා. යාකොබ් කිව්වා යෝසෙප් “පල දරන ගහක රිකිල්ලක්” කියලා. ඒ ගහ තමයි යාකොබ්. යෝසෙප් කියන්නේ යාකොබ් ගොඩක් ආදරේ කරපු රාකෙල්ගේ පළවෙනි පුතා. ලෙයාගේ පළවෙනි පුතා වුණ රූබෙන්ට කුලුඳුලා විදිහට ලැබෙන්න තිබුණ උරුමයේ කොටස් දෙක ලැබෙන්නේ යෝසෙප්ට කියලා යාකොබ් කිව්වා. (උත්. 48:5, 6; 1 ලේක. 5:1, 2) ඒ අනාවැකිය ඒ විදිහටම ඉටු වුණා. යෝසෙප්ගේ පුතාලා දෙන්නා වුණ එෆ්රායිම්ව සහ මනස්සේව ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍ර දෙකක් විදිහට සැලකුවා. ඒ වගේම එයාලට පොරොන්දු දේශයේ කොටස් දෙකක්ම හම්බ වුණා.—උත්. 49:25; යොෂු. 14:4.
15. අසාධාරණකම් වෙද්දී යෝසෙප් වැඩ කළේ කොහොමද?
15 යාකොබ් යෝසෙප් ගැන මෙහෙමත් කිව්වා. ‘දුනුවායෝ එයාත් එක්ක වෛර බැඳගත්තා. එයාට ඊතල්වලින් විද්දා.’ (උත්. 49:23) එතන කතා කළේ යෝසෙප්ට ගොඩක් ඊර්ෂ්‍යා කරපු එයාගේ අයියලා ගැන. එයාලා නිසා තමයි යෝසෙප්ට අසාධාරණකම්වලට, ගොඩක් අමිහිරි දේවල්වලට මූණ දෙන්න වුණේ. හැබැයි යෝසෙප් කවදාවත් අයියලා ගැන වෛර බැඳගත්තේ නැහැ. වෙච්ච දේවල් ගැන යෙහෝවාට දොස් කිව්වෙත් නැහැ. ඒකයි යාකොබ් එයා ගැන කිව්වේ “එයාගේ දුන්න ස්ථිරව තිබුණා. එයාගේ දෑත් හරිම ශක්තිමත්. කඩිසරයි” කියලා. (උත්. 49:24) අභියෝග එන හැම වෙලාවකම යෝසෙප් යෙහෝවා ගැන විශ්වාසේ තියලා වැඩ කළා. එයා එයාගේ අයියලට සමාව දුන්නා විතරක් නෙවෙයි එයාලට ආදරෙන් සැලකුවා. (උත්. 47:11, 12) යෝසෙප් ප්‍රශ්නවලට ඉඩ දුන්නා එයාව තව හොඳ කෙනෙක් විදිහට අඹන්න. (ගීතා. 105:17-19) ඒ නිසා යෝසෙප් මාර්ගයෙන් පුදුමාකාර දේවල් කරන්න යෙහෝවාට පුළුවන් වුණා.
16. ප්‍රශ්නවලට මූණ දෙන්න යෝසෙප්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?
16 අපිට පාඩම්. යෙහෝවාගෙන්, අපේ සහෝදර සහෝදරියන්ගෙන් අපිව ඈත් කරන්න අපි කවදාවත් ප්‍රශ්නවලට ඉඩ දෙන්න නරකයි. ප්‍රශ්න මැදත් අපි දිගටම යෙහෝවාට සේවේ කරනවා නම් ඔහුට පුළුවන් අපිව පුහුණු කරන්න. (හෙබ්‍රෙ. 12:7, පාදසටහන) ඒ පුහුණුව උදව් වෙනවා දයාව, සමාව දෙන එක වගේ හොඳ ගුණාංග වර්ධනය කරගෙන ඒවා තවත් හොඳින් පෙන්නන්න. (හෙබ්‍රෙ. 12:11) අපි දිගටම විඳදරාගෙන යෙහෝවාට සේවේ කරනවා නම් ඔහු යෝසෙප්ට වගේ අපිටත් ආශීර්වාද කරයි.
බෙන්ජමින්
17. බෙන්ජමින් ගැන කියපු අනාවැකිය ඉටු වුණේ කොහොමද? (උත්පත්ති 49:27) (කොටුවත් බලන්න.)
17 උත්පත්ති 49:27 කියවන්න. යාකොබ් කිව්වා බෙන්ජමින් වෘකයෙක් වගේ සටනට ගොඩක් දක්ෂයි කියලා. (විනි. 20:15, 16; 1 ලේක. 12:2) ඒ අනාවැකියේ කිව්වා බෙන්ජමින් “උදේට ගොදුර කනවා” කියලා. ඊශ්‍රායෙල් දේශයේ පළවෙනි රජ සාවුල් ආවේ බෙන්ජමින් ගෝත්‍රයෙන්. එයා පිලිස්තිවරුන්ට විරුද්ධව නිර්භීතව සටන් කළා. (1 සාමු. 9:15-17, 21) ඊට අවුරුදු ගාණකට පස්සේ බෙන්ජමින් ගෝත්‍රයෙන් ආපු එස්තර් රැජිණයි, අගමැති වුණ මොර්දෙකයි ඊශ්‍රායෙල් ජාතියව සමූලඝාතනය කරන එකෙන් බේරගත්තා. ඒක හරියට බෙන්ජමින් “හවසට කොල්ලය බෙදාගන්නවා” වගේ.—එස්ත. 2:5-7; 8:3; 10:3.
18. බෙන්ජමින්වරුන්ගේ ළැදිකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?
18 අපිට පාඩම්. තමන්ගේ ගෝත්‍රයෙන් පළවෙනි රජ පත් වෙද්දී බෙන්ජමින්වරුන්ට ලොකු සතුටක් දැනෙන්න ඇති. හැබැයි යෙහෝවා රජකම සාවුල්ගෙන් අරන් යූදා ගෝත්‍රයෙන් ආපු දාවිත්ට දුන්නා. ඉතින් කාලයත් එක්ක එයාලා දාවිත්ට සහයෝගය දුන්නා. (2 සාමු. 3:17-19) ඊට දශක ගාණකට පස්සේ අනිත් ගෝත්‍රවල අය යූදා ගෝත්‍රයට විරුද්ධව කැරලිගහද්දී බෙන්ජමින් ගෝත්‍රයේ අය යූදා ගෝත්රයටයි, යෙහෝවා පත් කරපු රජටයි දිගටම ළැදිව හිටියා. (1 රාජා. 11:31, 32; 12:19, 21) අපිටත් පුළුවන් බෙන්ජමින්වරු වගේ පෙරමුණ ගන්න යෙහෝවා කාව පත් කළත් එයාලට ළැදි වෙලා ඉන්න.—1 තෙස. 5:12.
19. යාකොබ් කියපු අනාවැකිවලින් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?
19 මරණ ඇඳේ ඉද්දී යාකොබ් කියපු අනාවැකිවලින් අපිට ගොඩක් ප්‍රයෝජන තියෙනවා. ඒ අනාවැකි ඉටු වුණ විදිහ ගැන හිතලා බලන එක අපිට උදව් වෙනවා යෙහෝවා කියලා තියෙන අනිත් අනාවැකිත් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියන විශ්වාසේ තව වැඩි කරගන්න. ඒ වගේම යෙහෝවා සතුටු වෙන විදිහට වැඩ කරන්න පුළුවන් කොහොමද කියලා තව හොඳින් තේරුම්ගන්නත් අපිට පුළුවන් වෙනවා.
ගීතිකාව 128 අවසානය දක්වා විඳදරාගන්න
a රූබෙන්ට, සිමියොන්ට, ලෙවීට සහ යූදාට වයස් පිළිවෙළින් යාකොබ් කතා කළත් එයා ඊළඟ පුතාලා අටදෙනාට කතා කරන්නේ වයස් පිළිවෙළට නෙවෙයි.