ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 මැයි 14-19 පි.
  • සදහටම තියෙන නුවර දිහා බලාගෙන ඉන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සදහටම තියෙන නුවර දිහා බලාගෙන ඉන්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔයාව කවදාවත් අත්හරින්නේ නැති කෙනාව විශ්වාස කරන්න
  • පෙරමුණ ගන්න අයට කීකරු වෙන්න
  • ආදරේ, ආගන්තුක සත්කාරය පෙන්නන්න
  • ඉස්සරහට මොනවා වෙයිද?
  • අවසානය දක්වා විඳදරාගන්න උදව් වෙන ලිපියක්
    2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නොදන්න දේවල් තියෙනවා කියලා පිළිගන්න
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 මැයි 14-19 පි.

පාඩම් ලිපිය 21

ගීතිකාව 21 දෙවිගේ රාජ්‍යයට මුල් තැන දෙන්න

සදහටම තියෙන නුවර දිහා බලාගෙන ඉන්න

“ඉස්සරහට එන්න තියෙන නුවර දිහා අපි හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා.”—හෙබ්‍රෙ. 13:14.

ලිපියේ අරමුණ

හෙබ්‍රෙව් 13වෙනි පරිච්ඡේදයේ තියෙන තොරතුරු අදත් අනාගතයේදීත් උදව් වෙන විදිහ බලමු.

1. යෙරුසලමට මොනවා වෙනවා කියලද යේසුස් කිව්වේ?

යේසුස්ගේ මරණයට දවස් කීපයකට කලින් ඔහු ගෝලයන්ට අනාවැකියක් කිව්වා. ඒ අනාවැකිය මුලින්ම ඉටු වුණේ යෙරුසලමයි, එහේ තිබුණ දේවමාලිගාවයි විනාශ වුණ වෙලාවේ. යේසුස් කිව්වා “සේනාවන් ඇවිත් යෙරුසලම වටේට කඳවුරු බැඳගන්නවා” කියලා. (ලූක් 21:20) ඒ වගේ සේනාවක් දැක්ක ගමන්ම යුදය අත්හැරලා ඉක්මනින්ම යන්න කියලා යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වා. යේසුස් කියපු දේ ඒ විදිහටම ඉටු වුණා. රෝම හමුදාව යෙරුසලම වැටලුවා.—ලූක් 21:21, 22.

2. යුදයේ සහ යෙරුසලමේ හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් දීපු උපදෙස මොකක්ද?

2 රෝම හමුදාව යෙරුසලම වටලන්න අවුරුදු කීපයකට කලින් යුදයෙයි, යෙරුසලමෙයි හිටපු ක්‍රිස්තියානීන්ට පාවුල් ලියුමක් ලිව්වා. ඒකට තමයි හෙබ්‍රෙව් පොත කියන්නේ. ක්‍රිස්තියානීන්ට ඉස්සරහට මූණ දෙන්න වෙන අමාරු දේවල්වලට හොඳින් මූණ දෙන්න උදව් වෙන මඟ පෙන්වීම් පාවුල් ඒ ලිපියේ ලිව්වා. ඇත්තටම මොනවාද එයාලට මූණ දෙන්න වුණ අමාරු දේවල්? යෙරුසලම විනාශ වෙන්න යනවා. ඒකෙන් බේරෙන්න නම් ක්‍රිස්තියානීන්ට එයාලාගේ ගෙවල් දොරවල්, ව්‍යාපාර හැම එකක්ම අත්හැරලා පලා යන්න වෙනවා. ඒකයි පාවුල් යෙරුසලම ගැන කිව්වේ “හැමදාටම තියෙන නුවරක් අපිට මෙහේ නැහැ” කියලා. ඒත් ඊටපස්සේ පාවුල් කිව්වා “ඉස්සරහට එන්න තියෙන නුවර දිහා අපි හරිම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා” කියලා.—හෙබ්‍රෙ. 13:14.

3. “සැබෑ අත්තිවාරම් තියෙන නුවර” මොකක්ද? අපි ඒ ගැන විශ්වාසේ තියන්නේ ඇයි?

3 යෙරුසලමයි, යුදයයි අත්හැරලා පලා යන්න ක්‍රිස්තියානීන් තීරණේ කළාම හුඟක් අය එයාලට මෝඩයෝ කියලා විහිළු කරන්න ඇති. හැබැයි ඒ තීරණේ තමයි එයාලාගේ ජීවිත බේරුවේ. අද අපිත් සල්ලි ගැන විශ්වාසේ තියන්නේ නැති නිසා, මේ ලෝකේ ප්‍රශ්න මිනිස්සු විසඳයි කියලා බලාපොරොත්තු වෙන්නේ නැති නිසා හුඟදෙනෙක් අපිටත් විහිළු කරනවා. ඒත් ඇයි අපි ඒවා ගැන විශ්වාසේ තියන්නේ නැත්තේ? අපි දන්නවා මේ සමාජය ළඟදීම විනාශ වෙනවා කියලා. අපි විශ්වාසේ තියන්නේ “සැබෑ අත්තිවාරම් තියෙන නුවර,” ඒ කියන්නේ “ඉස්සරහට එන්න තියෙන” දෙවියන්ගේ රාජ්‍යය ගැනයි.a (හෙබ්‍රෙ. 11:10; මතෙ. 6:33) ඉතින් මේ ලිපියේ තියෙන හැම උපමාතෘකාවකින්ම මේ පැති තුන අපි බලන්න යනවා. (1) “ඉස්සරහට එන්න තියෙන නුවර” දිහා දිගටම බලාගෙන ඉන්න පාවුල් දීපු මඟ පෙන්වීම් මුල් සියවසේ ක්‍රිස්තියානීන්ට උදව් වුණේ කොහොමද? (2) ඉස්සරහට වෙන්න යන දේවල්වලට හොඳින් මූණ දෙන්න පාවුල් එයාලව ලෑස්ති කළේ කොහොමද? (3) පාවුල් කියපු දේවල් අද අපිට උදව් වෙන්නේ කොහොමද?

ඔයාව කවදාවත් අත්හරින්නේ නැති කෙනාව විශ්වාස කරන්න

4. ක්‍රිස්තියානීන්ට යෙරුසලම වැදගත් තැනක් වුණේ ඇයි?

4 යෙරුසලම ක්‍රිස්තියානීන්ට වැදගත් නගරයක් වුණා. ක්‍රි.ව. 33දී ක්‍රිස්තියානි සභාව පිහිටෙව්වේ එහේ. පාලක මණ්ඩලය හිටියෙත් එහේ. ඒ වගේම එහේ හිටපු හුඟක් ක්‍රිස්තියානීන්ට ගෙවල් දොරවලුයි, තව හුඟක් දේවලුයි එහේ තිබුණා. හැබැයි යේසුස් එයාලට කිව්වේ යෙරුසලමෙන් විතරක් නෙවෙයි යූදාවලිනුත් පලා යන්න කියලයි.—මතෙ. 24:16.

5. ඉස්සරහට වෙන්න යන දේට පාවුල් ක්‍රිස්තියානීන්ව සූදානම් කළේ කොහොමද?

5 යෙහෝවා යෙරුසලම දිහා බලන විදිහ තේරුම්ගන්න පාවුල් ක්‍රිස්තියානීන්ට උදව් කළා. එයා එහෙම කළේ ඉස්සරහට වෙන්න යන දේවල්වලට මූණ දෙන්න එයාලව සූදානම් කරන්න. එයා එයාලට මතක් කළා දේවමාලිගාව, එහේ සේවේ කරපු පූජකයන්, ඔප්පු කරපු පූජා යෙහෝවා තවදුරටත් ශුද්ධ දේවල් විදිහට සලකන්නේ නැහැ කියලා. (හෙබ්‍රෙ. 8:13) එහේ හිටපු වැඩිදෙනෙක් මෙසියස්ව ප්‍රතික්ෂේප කළා. ඒ වෙද්දී යෙරුසලමේ දේවමාලිගාව සැබෑ නමස්කාරයේ ප්‍රධාන තැනත් නෙවෙයි. යෙරුසලමයි, දේවමාලිගාවයි විනාශ වෙන්න වැඩි කල් තිබ්බේ නැහැ.—ලූක් 13:34, 35.

6. හෙබ්‍රෙව් 13:5, 6 පාවුල් කියපු දේ ක්‍රිස්තියානීන්ට නියම වෙලාවට ලැබුණ මඟ පෙන්වීමක් කියන්නේ ඇයි?

6 පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියුම ලියද්දී යෙරුසලම කියන්නේ කොයි කවුරුත් ජීවත් වෙන්න, යන්න කරන්න ආස නගරයක්. ඒ කාලේ හිටපු රෝම ලේඛකයෙක් යෙරුසලම ගැන කියන්නේ ඒක “නැඟෙනහිර පැත්තේ තිබුණ ප්‍රසිද්ධම නගරය” කියලා. ගොඩක් පැතිවල හිටපු යුදෙව්වන් අවුරුදු පතා උත්සව සමරන්න එහෙට ගියා. එයාලා එහෙදී අත දිග ඇරලා වියදම් කළා. ඒ නිසා එහේ හිටපු සමහර ක්‍රිස්තියානීනුත් හොඳට සල්ලි බාගේ හම්බ කරන්න ඇති. ඒකයි පාවුල් එයාලට මෙහෙම කියන්න ඇත්තේ. “ඔයාලා ජීවත් වෙන විදිහෙන් පේන්න ඕනෙ ඔයාලා සල්ලි පස්සේ දුවන අය නෙමෙයි කියලා. ඒ වෙනුවට ඔයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න.” ඊටපස්සේ එයා යෙහෝවා ඔහුගේ එක් එක් සේවකයාට දීලා තියෙන මේ පොරොන්දුව ශුද්ධ ලියවිල්ලෙන් උපුටලා පෙන්නුවා. “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ.” (හෙබ්‍රෙව් 13:5, 6 කියවන්න; ද්වි. 31:6; ගීතා. 118:6) යෙරුසලමේ සහ යුදයේ ජීවත් වුණ ක්‍රිස්තියානීන් ඒ පොරොන්දුව මතක තියාගන්න එක ගොඩක් වැදගත් වුණා. මොකද පාවුල්ගේ ලියුම හම්බ වෙලා වැඩි දවසක් යන්න කලින් එයාලට සිද්ධ වෙනවා එයාලාගේ ගෙවල් දොරවල්, ව්‍යාපාර, එයාලට තියෙන හැම දේම වගේ අත්හැරලා පලා යන්න. ඊටපස්සේ එයාලා නුහුරු නුපුරුදු පැත්තක ජීවිතේ අලුතෙන්ම පටන්ගන්න ඕනේ.

7. යෙහෝවා ගැන තියෙන විශ්වාසේ අපි දැන් වැඩි කරගන්න ඕනෙ ඇයි?

7 පාඩම: ළඟදීම එන “මහත් පීඩාවත්” එක්ක මේ සමාජය අවසන් වෙනවා. (මතෙ. 24:21) ඒ නිසා මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන් වගේ අපිත් අවදියෙන්, ලෑස්ති පිට ඉන්න ඕනේ. (ලූක් 21:34-36) මහත් පීඩාව කාලේදී අපිට සිද්ධ වෙයි අපිට තියෙන හැම දේම වුණත් අත්හැරලා අපිව අත්හරින්නේ නැහැ කියලා පොරොන්දු වෙලා තියෙන යෙහෝවා ගැන සම්පූර්ණ විශ්වාසේ තියන්න. මහත් පීඩාව පටන්ගන්න කලින් මේ දැන් වුණත් අපිට අවස්ථාව තියෙනවා අපි විශ්වාසේ තියලා තියෙන්නේ කවුරු ගැනද කියලා පෙන්නන්න. ඉතින් ඔයාගෙන්ම මෙහෙම අහලා බලන්න. ‘මං වැඩ කරන විදිහෙන්, මගේ අනාගත සැලසුම්වලින් පේනවාද මං විශ්වාසේ තියලා තියෙන්නේ සල්ලි ගැන නෙවෙයි මාව බලාගන්නවා කියලා පොරොන්දු වෙලා තියෙන දෙවියන් ගැන කියලා?’ (1 තිමෝ. 6:17) ඇත්ත, මුල් සියවසේ හිටපු ක්‍රිස්තියානීන්ගෙන් අපිට ගොඩක් පාඩම් ඉගෙනගන්න පුළුවන්. හැබැයි “මහත් පීඩාව” කියන්නේ එතෙක් මෙතෙක් ජීවත් වුණ කිසිම ක්‍රිස්තියානියෙක් කවදාවත් මූණ දීලා නැති විදිහේ භයානක කාලයක්. එහෙමනම් මහත් පීඩාව පටන්ගත්තාම අපි මොනවාද කරන්න ඕනෙ කියලා හරියටම දැනගන්නේ කොහොමද?

පෙරමුණ ගන්න අයට කීකරු වෙන්න

8. යේසුස් ඔහුගේ ගෝලයන්ට කිව්වේ මොකක්ද?

8 පාවුල්ගේ ලියුම හම්බ වෙලා අවුරුදු කීපයකට පස්සේ ක්‍රිස්තියානීන් දැක්කා රෝම හමුදාව යෙරුසලම වටලනවා. නගරය අත්හැරලා පලා යන්න ඕනෙ කියලා තේරුම්ගන්න ඒක එයාලට ලකුණක් වුණා. මොකද ඒ නගරය දැන් විනාශ වෙන්නයි යන්නේ. (මතෙ. 24:3; ලූක් 21:20, 24) හැබැයි කොහෙටද එයාලා පලා යන්නේ? යේසුස් කිව්වේ “යුදයේ ඉන්න අය කඳුවලට පලා යන්න ඕනෙ” කියලා විතරයි. (ලූක් 21:21) ඒ පළාතේ කඳු ගොඩක් තිබුණා. ඉතින් පලා යන්න ඕනෙ කොයි කඳුවලටද කියලා එයාලා හරියටම දැනගන්නේ කොහොමද?

9. මොන කඳුවලටද පලා යන්නේ කියලා ක්‍රිස්තියානීන් කල්පනා කරන්න ඇත්තේ ඇයි? (සිතියමත් බලන්න.)

9 ඕන නම් ක්‍රිස්තියානීන්ට තිබුණා සමාරියේ කඳුවලට, ගලීලයේ කඳුවලට, හෙර්මොන් කන්දට, ලෙබනොන් කඳුකරයට නැත්නම් යොර්දාන් ගඟෙන් එහා තිබුණ කඳුකරයට පලා යන්න. (සිතියම බලන්න.) ඒ කඳුකර පැතිවල තිබුණ සමහර නගර හරිම ආරක්ෂිතයි වගෙයි පෙනුණේ. උදාහරණෙකට ගම්ලා නගරය තිබුණේ හරිම උස කන්දක් මුදුනේ. එහෙට යන එක හරිම අමාරුයි. ඒ නිසා සමහර යුදෙව්වන් හිතන්න ඇති ඒක ආරක්ෂිතව ඉන්න කියාපු තැන කියලා. හැබැයි රෝම හමුදාව ඒ නගරයට පහර දීලා එහේ හිටපු හුඟදෙනෙක්ව මරලා දැම්මා.b

පළවෙනි සියවසේදී ඊශ්‍රායෙල්වල තිබුණ නගර සහ කඳු පෙන්නන සිතියමක්. යෙරුසලමට උතුරෙන් ලෙබනොන් කඳුවැටිය, ගලීලය, සමාරිය, ගිලියද්, හෙර්මොන් කන්ද සහ තාබෝර් කන්ද තියෙනවා. යෙරුසලමට උතුරෙන් තියෙන නගර තමයි ගම්ලා, සිසේරිය සහ පෙල්ලා. යෙරුසලමට දකුණෙන් යුදයේ කඳු, අබරිම් කන්ද වගේම මසාඩා කියන නගරෙත් තියෙනවා. රෝමවරු යුධ මෙහෙයුම් කරපු පැතිත් ක්‍රි.ව. 67 ඉඳන් 73 වෙන කල් යුදෙව්වන් පැරදුණ පැතිත් මේ සිතියමේ පෙන්නලා තියෙනවා.

ක්‍රිස්තියානීන්ට පලා යන්න ඕන තරම් කඳු තිබුණා. හැබැයි ඒ හැම එකක්ම ආරක්ෂිත නැහැ (9 ඡේදය බලන්න)


10-11. (අ) යෙහෝවා ක්‍රිස්තියානීන්ට මඟ පෙන්වීම් දෙන්න ඇත්තේ කොහොමද? (හෙබ්‍රෙව් 13:7, 17) (ආ) පෙරමුණ ගන්න අයට කීකරු වුණ එකෙන් එයාලා ප්‍රයෝජන ලැබුවේ කොහොමද? (පින්තූරයත් බලන්න.)

10 පේන විදිහට යෙහෝවා සභාවේ පෙරමුණ ගත්ත අය මාර්ගයෙන් එදා හිටපු ක්‍රිස්තියානීන්ට මඟ පෙන්නුවා. ඉතිහාසඥයෙක් වුණ යුසීබියස් පස්සේ කාලෙක මේ වගේ දෙයක් ලිව්වා. “පත් කරපු පුරුෂයන් මාර්ගයෙන් දෙවියන් යෙරුසලම සභාවේ අයට මඟ පෙන්නුවා ඒ නගරය අත්හැරලා පෙරයාවේ තියෙන පෙල්ලා නගරයට පලා යන්න කියලා.” ඇත්තටම පෙල්ලා පලා යන්න කියාපු තැනක්. මොකද ඒක තිබුණේ යෙරුසලමට කිට්ටුවෙන්. ඒ නිසා එහෙට යන එක ගොඩක් අමාරු වුණේ නැහැ. ඒ වගේම ඒ නගරයේ ජීවත් වුණ වැඩිදෙනෙක් යුදෙව්වන් නෙවෙයි. ඉතින් එයාලා රෝමවරුන්ට විරුද්ධව සටන් කළෙත් නැහැ.—සිතියම බලන්න.

11 සභාවේ “පෙරමුණ අරගෙන වැඩ කරන අයට කීකරු වුණ” ක්‍රිස්තියානීන් පෙල්ලා කඳුකරයට පලා ගියා. (හෙබ්‍රෙව් 13:7, 17 කියවන්න.) ඒ නිසා එයාලාගේ ජීවිත බේරුණා. ඉතිහාස සිද්ධිවලින් පේනවා “සැබෑ අත්තිවාරම් තියෙන නුවර දිහා,” ඒ කියන්නේ දේවරාජ්‍යය දිහා බලාගෙන ඉන්න අයව දෙවියන් අත්හැරියේ නැහැ කියලා.—හෙබ්‍රෙ. 11:10.

පළවෙනි සියවසේ හිටපු ක්‍රිස්තියානීන් කණ්ඩායමක් එයාලට තියෙන දේවලුත් අරගෙන කඳුකර පැත්තක ඇවිදගෙන යනවා.

පෙල්ලා ඉක්මනින්ම යන්න පුළුවන්, ආරක්ෂිත තැනක් (10-11 ඡේද බලන්න)


12-13. අමාරු කාලවලදී යෙහෝවා ඔහුගේ සෙනඟට මඟ පෙන්නුවේ කොහොමද?

12 පාඩම: තමන්ගේ සෙනඟට නිශ්චිත මඟ පෙන්වීම් දෙන්න යෙහෝවා පෙරමුණ අරන් වැඩ කරන අයව පාවිච්චි කරනවා. අමාරු කාලවලදී ඔහුගේ සෙනඟට මඟ පෙන්නන්න යෙහෝවා විශ්වාසවන්ත පුරුෂයන්ව පාවිච්චි කරපු සිද්ධීන් බයිබලෙන් ඕන තරම් හොයාගන්න පුළුවන්. (ද්වි. 31:23; ගීතා. 77:20) අදත් යෙහෝවා ඒ දේම කරනවා කියන්න ඕන තරම් සාක්ෂි අපේ ඇස් ඉස්සරහම තියෙනවා.

13 උදාහරණෙකට කෝවිඩ් වසංගත කාලේදී “පෙරමුණ අරන් වැඩ කරන” සහෝදරයන් සභාවන්වලට ඕන කරන මඟ පෙන්වීම් දුන්නා. යෙහෝවාට කරන නමස්කාරයේ දේවල් දිගටම කරගෙන යන්න කරන්න ඕනෙ මොනවාද කියලා එයාලා වැඩිමහල්ලන්ට කිව්වා. වසංගතය පටන් අරන් වැඩි කල් යන්න කලින් භාෂා 500කට වඩා වැඩි ගාණකින් ඉන්ටර්නෙට්, ටීවී සහ රේඩියෝ එක හරහා අපි ඉතිහාසගත වෙන සමුළුවක් පැවැත්තුවා. වසංගතයක් තිබුණත් දෙවියන්ගෙන් ලැබුණ පෝෂණයෙන් අපිට කිසිම අඩුවක් වුණේ නැහැ. ඒ නිසා අපිට දිගටම එක්සත්ව ඉන්න පුළුවන් වුණා. ඉස්සරහට මොන දේ වුණත් පෙරමුණ අරන් වැඩ කරන අයට ඥානවන්තව තීරණ ගන්න යෙහෝවා දිගටම උදව් කරයි කියලා අපිට විශ්වාසයි. මහත් පීඩාවට හොඳින් මූණ දෙන්න සූදානම් වෙන්න නම්, ඒ කාලේදී ඥානවන්තව වැඩ කරන්න නම් අපි යෙහෝවා ගැන විශ්වාසේ තියන්නම ඕනේ. ඔහු කියන දේවලට කීකරු වෙන්නත් ඕනේ. හැබැයි ඒවාට අමතරව තව මොන ගුණාංගද අපිට තියෙන්න ඕනේ?

ආදරේ, ආගන්තුක සත්කාරය පෙන්නන්න

14. හෙබ්‍රෙව් 13:1-3 කියන විදිහට යුදෙව් සමාජයේ අවසාන කාලේ ක්‍රිස්තියානීන් පෙන්නන්න ඕන වුණේ මොන ගුණාංගද?

14 මහත් පීඩාව පටන්ගත්තාම වෙන කවදාටත් වඩා වැඩියෙන් අපි අපේ ආදරේ සහෝදර සහෝදරියන්ට පෙන්නන්න ඕනේ. ඒ කාලෙට අපි වැඩ කරන්න ඕනෙ යෙරුසලමේ, යුදයේ හිටපු ක්‍රිස්තියානීන් වගේ. එයාලට කොහොමත් සහෝදර සහෝදරියන් ගැන ලොකු ආදරයක් තිබුණා. (හෙබ්‍රෙ. 10:32-34) හැබැයි යුදෙව් සමාජයේ අවසානය ළං වෙන්න වෙන්න ඒ ආදරේ, ඒ කියන්නේ “තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක්”c එයාලා තව වැඩියෙන් පෙන්නන්න ඕන වුණා. “ආගන්තුක සත්කාරය” වැඩියෙන් පෙන්නන්න ඕන වුණා. (හෙබ්‍රෙව් 13:1-3 කියවන්න.) මේ සමාජයේ අවසානයට ළං වෙද්දී අපි කරන්න ඕනෙත් ඒ දේමයි.

15. ක්‍රිස්තියානීන් පලා ගියාට පස්සේ ආදරේ, ආගන්තුක සත්කාරය දිගටම පෙන්නන්න ඕන වුණේ ඇයි?

15 රෝම හමුදාව යෙරුසලම වටලගෙන ඉඳලා එකපාරටම නගරය අත්හැරලා ගියා. ක්‍රිස්තියානීන්ට පලා යන්න ඒකෙන් අවස්ථාව හම්බ වුණා. හැබැයි තිබ්බේ පොඩි කාලයක් නිසා එයාලට තිබුණ හැම දේම උස්සගෙන යන්න එයාලට පුළුවන්කමක් තිබුණේ නැහැ. (මතෙ. 24:17, 18) කඳුකරේට යන ගමනේදීත් අලුත් තැනට ගිහින් ඒ වටපිටාවට හුරු වෙද්දීත් එයාලට එකිනෙකාගේ උදව් ඕන වුණා. උදව් ඕන වුණ “හදිස්සි තත්වයනුත්” එයාලට ඕන තරම් තියෙන්න ඇති. තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක් පෙන්නන්න, එකිනෙකාට ආගන්තුක සත්කාරය පෙන්නන්න ඒකෙන් ක්‍රිස්තියානීන්ට අවස්ථාව ලැබුණා.—තීත. 3:14.

16. උදව් ඕන සහෝදරයෙක්ට, සහෝදරියකට අපේ ආදරේ පෙන්නන්න පුළුවන් කොහොමද? (පින්තූරයත් බලන්න.)

16 පාඩම: අපේ සහෝදරයන් ගැන අපිට තියෙන ආදරේ එයාලට උදව් ඕන වෙද්දී ඒ උදව් දෙන්න අපිව පොලඹවනවා. මෑත කාලවල ඇති වුණ යුද්ධ නිසා, ස්වාභාවික විපත් නිසා අපේ සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් සරණාගතයන් වෙලා. ඒ අයට ඕන කරන උදව් දෙන්න සහෝදරයන් කැමැත්තෙන්ම ඉදිරිපත් වෙලා තියෙනවා. එයාලට ඉන්න තැන්, ඕන කරන දිරිගැන්වීම්, යෙහෝවාට කරන නමස්කාරය දිගටම කරගෙන යන්න ඕන කරන හැම දේම සහෝදරයන් එයාලා වෙනුවෙන් දෙනවා. යුද්දේ නිසා ගේදොර අත්හැරලා ආපු යුක්රේනයේ සහෝදරියක් මෙහෙම කියනවා. “අපිට මඟ පෙන්නන්න, අපිව ආදරෙන් බලාගන්න යෙහෝවා සහෝදරයන්ව පාවිච්චි කරන විදිහ අපි දැක්කා. එයාලා අපිව යුක්රේනයේදී විතරක් නෙවෙයි හංගේරියාවේදී දැන් ජර්මනියේදීත් හරිම ආදරෙන් පිළි අරන් අපිට ඕන කරන හැම දේම දුන්නා.” සහෝදරයන්ට ආගන්තුක සත්කාරය පෙන්නලා එයාලට ඕන කරන උදව් දෙද්දී අපි කරන්නේ යෙහෝවාත් එක්ක හවුලේ වැඩ කරන එකයි.—හිතෝ. 19:17; 2 කොරි. 1:3, 4.

වයසක යුවළක් සරණාගතයන් වුණ පවුලක්ව එයාලාගේ ගෙදරට ආදරෙන් පිළිගන්නවා. ඒ පවුලේ අය ළඟ තියෙන්නේ බෑග් දෙක තුනක් විතරයි.

සරණාගතයන් වුණ ක්‍රිස්තියානීන්ට අද අපේ උදව් ඕනේ (16 ඡේදය බලන්න)


17. අපි දැන් ඉඳන්ම ආදරේ, ආගන්තුක සත්කාරය පෙන්නන්න ඕනෙ ඇයි?

17 මහත් පීඩාව කාලේදී දැනටත් වඩා වැඩියෙන් එකිනෙකාට උදව් කරන්න අපිට වෙයි. (හබ. 3:16-18) එදාට තමන්ගෙම පවුලේ අයට පෙන්නනවා වගේ ආදරයක් පෙන්නන එක, ආගන්තුක සත්කාරය පෙන්නන එක ඒ තරම්ම වැදගත් නිසයි යෙහෝවා දැන් ඉඳන්ම ඒ ගුණාංග වර්ධනය කරගන්න අපිව පුහුණු කරන්නේ.

ඉස්සරහට මොනවා වෙයිද?

18. හෙබ්‍රෙව් ක්‍රිස්තියානීන්ව ආදර්ශයට ගන්න අපිට පුළුවන් කොහොමද?

18 යේසුස්ට කීකරු වෙලා කඳුකරයට පලා ගිය ක්‍රිස්තියානීන් යෙරුසලමේ විනාශයෙන් බේරුණා. එයාලට නගරය අත්හරින්න වුණාට යෙහෝවා එයාලව අත්හැරියේ නැහැ. අපිට මොනවාද එයාලාගෙන් ඉගෙනගන්න පුළුවන්? ඉස්සරහට වෙන්න යන හැම දෙයක් ගැනම අපි හරියටම දන්නේ නැහැ. හැබැයි යේසුස් අපිට කිව්වා කීකරු වෙන්න ලෑස්ති පිට ඉන්න කියලා. (ලූක් 12:40) පාවුල් හෙබ්‍රෙව්වරුන්ට ලියපු ලියුමෙන් අපි ඉගෙනගත්ත දේවල් අදාළ කරගන්නත් අපිට පුළුවන්. ඒ වගේම අපිව කවදාවත් අත්හරින්නෙවත් අපිට උදව් කරන එක නතර කරන්නෙවත් නැහැ කියලා යෙහෝවා දීලා තියෙන පොරොන්දුව අපි ගාව තියෙනවා. (හෙබ්‍රෙ. 13:5, 6) ඒ නිසා සදහටම තියෙන නුවර වන දේවරාජ්‍යය එන කල් අපිත් දිගටම බලන් ඉමු. එතකොට පුදුමාකාර ආශීර්වාද සදහටම අද්දකින්න අපිටත් පුළුවන්.—මතෙ. 25:34.

ඔයාගේ උත්තරේ මොකක්ද?

  • යෙහෝවා ගැන අපිට තියෙන විශ්වාසේ දැන් වැඩි කරගන්න ඕනෙ ඇයි?

  • “මහත් පීඩාව” කාලේදී අපි කීකරු වෙන එක හරිම වැදගත් කියන්නේ ඇයි?

  • දැන් ඉඳන්ම අපි ආදරේ, ආගන්තුක සත්කාරය පෙන්නන එක වැදගත් ඇයි?

ගීතිකාව 157 නිමක් නැති සාමයක්!

a අතීතයේ ගොඩක් වෙලාවට නගරයක් නැත්නම් නුවරක් පාලනය කළේ රජ කෙනෙක්. ඒ වගේ නගරයක්, නුවරක් සැලකුවේ රාජ්‍යයක් විදිහට.—උත්. 14:2.

b මේක වුණේ ක්‍රි.ව. 67දී. ඒ කියන්නේ ක්‍රිස්තියානීන් යුදයෙන් සහ යෙරුසලමෙන් පලා ගිහින් ටික කාලෙකට පස්සේ.

c පාවුල් මේ වචන පාවිච්චි කළේ සහෝදර සහෝදරියන් හැමෝම ගැන අපිට තියෙන්න ඕන ආදරේ කොච්චර ගැඹුරුද කියලා පෙන්නන්නයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න