පාඩම් ලිපිය 27
ගීතිකාව 73 දෙනු මැන නිර්භීතකම
සාදොක් වගේ එඩිතර වෙන්න
“තරුණ, එඩිතර, බලසම්පන්න පුරුෂයෙක් වූ සාදොක්.” —1 ලේක. 12:28.
ලිපියේ අරමුණ
එඩිතර වෙන්න සාදොක්ගේ ආදර්ශය අපිට උදව් වෙන්නේ කොහොමද?
1-2. සාදොක් කියන්නේ කවුද? (1 ලේකම් 12:22, 26-28)
පුරුෂයන් 3,40,000කට වැඩිදෙනෙක් හෙබ්‍රොන්වලට කිට්ටුව තියෙන කඳුකර පැත්තක රැස් වෙලා ඉන්නවා. දවස් තුනක්ම එයාලා එකතු වෙලා කතාබහ කරනවා, හිනා වෙනවා, යෙහෝවාට ප්‍රශංසා ගී ගායනා කරනවා. (1 ලේක. 12:39) එයාලා එකතු වෙලා ඉන්නේ දාවිත්ව මුළු ඊශ්‍රායෙලයේම රජ විදිහට පත් කරන්න. එයාලා අතරේ සාදොක් කියන තරුණයත් ඉන්නවා. එතන හිටපු වැඩිදෙනෙක් එයා හිටියා කියලා දන්නෙවත් නැතුව ඇති. හැබැයි යෙහෝවා එයාව දැක්කා. ඔහුට ඕන වුණා එයා එතන හිටියා කියලා අපිත් දැනගන්නවාට. (1 ලේකම් 12:22, 26-28 කියවන්න.) ඒත් කවුද මේ සාදොක්?
2 සාදොක් කියන්නේ උත්තම පූජක අබියාතර් එක්ක කිට්ටුවෙන් සේවේ කරපු පූජකයෙක්. එයා දිවැසිවරයෙක්. දෙවියන්ගේ කැමැත්ත මොකක්ද කියලා තේරුම්ගන්න පුළුවන් ප්‍රඥාව, හැකියාව දෙවියන් එයාට දීලා තිබුණා. (2 සාමු. 15:27) උපදෙස්, මඟ පෙන්වීම් ලබාගන්න සෙනඟ සාදොක් ළඟට ගියා. එයා හරිම එඩිතර කෙනෙක්. එයාගේ අන්න ඒ ගුණාංගය ගැනයි අපි අද බලන්නේ.
3. (අ) යෙහෝවාගේ සේවකයන්ට එඩිතරකම ඕනෙ ඇයි? (ආ) අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?
3 මේ අවසාන කාලේ සාතන් වෙන කවදාටත් වඩා වැඩියෙන් දෙවියන්ගේ සෙනඟගේ විශ්වාසෙට පහර දෙනවා. (1 පේතෘ. 5:8) ඒ නිසා යෙහෝවා සාතන්වයි, එයාගේ පාලනය යටතේ තියෙන මේ දුෂ්ට සමාජයයි අයින් කරලා දාන කල් දිගටම විඳදරාගන්න අපිට එඩිතරකම ඕනෙමයි. (ගීතා. 31:24) මේ ලිපියෙන් සාදොක්ගේ එඩිතරකම අපිට ආදර්ශයට ගන්න පුළුවන් පැති තුනක් ගැන අපි බලමු.
දේවරාජ්‍යයට පක්ෂව ඉන්න
4. දේවරාජ්‍යයට පක්ෂව ඉන්න නම් එඩිතරකම ඕනෙ ඇයි? (පින්තූරයත් බලන්න.)
4 යෙහෝවාගේ සෙනඟ විදිහට අපි අපේ සම්පූර්ණ සහයෝගය දේවරාජ්‍යයට දෙනවා. ඒක කරන්න එඩිතරකම ඕනෙමයි. (මතෙ. 6:33) උදාහරණෙකට මේ දුෂ්ට සමාජයේ යෙහෝවාගේ ප්‍රමිති රකින්න, ශුභාරංචිය දේශනා කරන්න අපිට එඩිතරකම ඕනේ. (1 තෙස. 2:2) දැන් දැන් දේශපාලන ප්‍රශ්න නිසා මිනිස්සු හුඟක් බෙදිලා. ඒ වගේ බෙදුණ සමාජයක පැති නොගෙන ඉන්න අපිට එඩිතරකම ඕනේ. (යොහ. 18:36) දේශපාලනයට සම්බන්ධ වෙන්නේ නැති නිසාත් හමුදාවට බැඳෙන්නේ නැති නිසාත් දෙවියන්ගේ සෙනඟ වධ හිංසාවලට ලක් වෙනවා. ආර්ථික ප්‍රශ්න අද්දකිනවා. සමහරු හිරේ විලංගුවේ පවා වැටිලා තියෙනවා.
අනිත් අය දේශපාලනයේ පැති ගද්දී ඔයා මොකද කරන්නේ? (4 ඡේදය බලන්න)
5. දාවිත්ට පක්ෂව ඉන්න සාදොක්ට එඩිතරකම ඕන වුණේ ඇයි?
5 සාදොක් හෙබ්‍රොන්වලට ගියේ දාවිත් රජ වෙන එක සමරන්නම නෙවෙයි. ඊශ්‍රායෙල්වරුන්ව සතුරන්ගේ අතින් බේරගන්න දාවිත් එක්ක සටනට යන්න එයා ලෑස්ති පිට ගියේ. (1 ලේක. 12:38) යුද්ධ කරලා අද්දැකීම් නැති වුණාට සාදොක්ට එඩිතරකමේ නම් අඩුවක් තිබුණේ නැහැ.
6. දාවිත් සාදොක්ට හොඳ ආදර්ශයක් තිබ්බේ කොහොමද? (ගීතාවලිය 138:3)
6 සාදොක් වගේ පූජකයෙක් කොහොමද එඩිතරව වැඩ කරන්න ඉගෙනගත්තේ? එඩිතර, ධෛර්යවන්ත හුඟදෙනෙක් එයා වටේ හිටියා. එයාලාගේ ආදර්ශයෙන් සාදොක් ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති. ඒ වගේ කෙනෙක් තමයි දාවිත්. එයා එඩිතරව “ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ” අරන් වැඩ කළා. ඒකයි මුළු ඊශ්‍රායෙල් සෙනඟම එයාව රජ විදිහට පත් කරන්න කැමති වුණේ. (1 ලේක. 11:1, 2) ඒ වගේම දාවිත් සටන්වලට යද්දී හැම වෙලාවෙම විශ්වාසේ තිබ්බේ යෙහෝවා මත. (ගීතා. 28:7; ගීතාවලිය 138:3 කියවන්න.) දාවිත් විතරක් නෙවෙයි සාදොක්ට ආදර්ශයට ගන්න තව අය හිටියා. උදාහරණෙකට යෙහෝයාදා, දක්ෂ සෙබළෙක් වුණ එයාගේ පුතා බෙනායා සහ හමුදාවේ ප්‍රධානීන් විසිදෙදෙනා. (1 ලේක. 11:22-25; 12:26-28) ඒ හැමෝම දාවිත්ව රජ විදිහට පත් කරන්නත් එයාව ආරක්ෂා කරන්නත් ඇපකැප වෙලා වැඩ කළා.
7. (අ) එඩිතරව ඉන්න උදව් වෙන අද කාලේ ආදර්ශ ගැන කියන්න. (ආ) වීඩියෝ එකේ ඉන්න සහෝදර සිලුගෙන් ඔයා ඉගෙනගන්නේ මොනවාද?
7 එඩිතරව වැඩ කරලා යෙහෝවාටයි, ඔහුගේ පාලනයටයි පක්ෂව ඉන්න අයගේ ආදර්ශ ගැන හිතද්දී අපිත් පෙලඹෙනවා එයාලා වගේ වෙන්න. අපේ රජ යේසුස් ගැන හිතන්න. ඔහු මේ පොළොවේ ඉද්දී දේශපාලනෙට සම්බන්ධ වුණේ නැහැ. (මතෙ. 4:8-11; යොහ. 6:14, 15) ඔහු හරි දේ කළේ යෙහෝවාගේ ශක්තිය මත රැඳිලා. යේසුස්ව ආදර්ශයට ගන්න අය අදත් ඉන්නවා. අපි අතර ඉන්න නිර්භීත යෞවනයෝ හුඟදෙනෙක් හමුදාවට බැඳෙන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එයාලා දේශපාලන කාරණාවලදී පැති ගන්නේ නැහැ. ඒ වගේ අයගේ අද්දැකීම් ගැන jw.org වෙබ් අඩවියෙන් කියවලා බලන්න.a
සහෝදරයන්ට උදව් කරන්න
8. වැඩිමහල්ලන්ට එඩිතරකම ඕනෙ මොන වගේ අවස්ථාවලදීද?
8 යෙහෝවාගේ සෙනඟ එකිනෙකාට උදව් කරන්න හරිම කැමතියි. (2 කොරි. 8:4) සමහර වෙලාවලදී ඒකට ධෛර්යය ඕනේ. උදාහරණෙකට යුද්ධයක් ඇති වුණාම ඒ පැතිවල ඉන්න සහෝදර සහෝදරියන්ට දිරිගැන්වීම්, සහනය ඕනෙ කියලා වැඩිමහල්ලන් දන්නවා. ඒ වගේම එයාලට බයිබල්, අපේ ප්‍රකාශන, කෑම බීම, ඉන්න හිටින්න තැන් ඕනෙ කියලත් වැඩිමහල්ලන් දන්නවා. බැටළුවන්ට තියෙන ආදරේ නිසා වැඩිමහල්ලන් තමන්ගේ ජීවිතේ ගැනවත් හිතන්නේ නැතුව සහෝදරයන්ට ඕන කරන දේවල් දෙන්න ගොඩක් මහන්සි වෙනවා. (යොහ. 15:12, 13) ඒ වගේ වැඩිමහල්ලන් ආදර්ශයට ගන්නේ සාදොක්ව.
9. 2 සාමුවෙල් 15:27-29 කියන විදිහට දාවිත් සාදොක්ට කරන්න කිව්වේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
9 දාවිත්ගේ ජීවිතේ තිබුණේ අනතුරේ. එයාගේ පුතා අබ්සලොම් රජකම පැහැරගන්න කුමන්ත්‍රණය කළා. (2 සාමු. 15:12, 13) දාවිත්ට වුණා යෙරුසලම අත්හැරලා ඉක්මනින්ම පලා යන්න. එයා එයාගේ සේවකයන්ට කිව්වා “ඉක්මනට අපි මෙහෙන් යමු. අබ්සලොම් මෙහෙට ආවොත් අපිට බේරෙන්න ලැබෙන එකක් නැහැ” කියලා. (2 සාමු. 15:14) හැබැයි පලා යද්දී දාවිත්ට තේරුණා අබ්සලොම්ගේ සැලසුම් ගැන දැනගන්න නම් හැමෝම ගිහින් බැහැ, කවුරු හරි යෙරුසලමේ ඉන්න ඕනෙ කියලා. ඉතින් එයා සාදොක්වයි, අනිත් පූජකයන්වයි ආපහු යෙරුසලමට යැව්වා. (2 සාමුවෙල් 15:27-29 කියවන්න.) දාවිත් පූජකයන්ට භාර දීපු ඒ වැඩේ එසේ මෙසේ එකක් නෙවෙයි. අබ්සලොම් කියන්නේ තමන් ගැන විතරක් හිතන, කපටි, තමන්ගේ තාත්තාව පවා නැති කරලා දාන්න හදපු කෙනෙක්. ඒ වගේ කෙනෙක් දැනගත්තොත් සාදොක් සහ අනිත් පූජකයන් ඉන්නේ දාවිත්ට ඔත්තු බලන්න කියලා එයා එයාලව නිකන් අතහරියිද!
දාවිත් භයානක වැඩක් සාදොක්ට භාර දුන්නා (9 ඡේදය බලන්න)
10. සාදොක් සහ එයාත් එක්ක හිටපු අනිත් අය දාවිත්ව ආරක්ෂා කළේ කොහොමද?
10 දාවිත්ට සැලැස්මක් තිබුණා. ඉතින් එයා සාදොක්ගෙනුයි, එයාගේ තව හොඳ යාළුවෙක් වුණ හූෂයිගෙනුයි ඒකට උදව් ඉල්ලුවා. (2 සාමු. 15:32-37) ඒ සැලැස්මට අනුව හූෂයි අබ්සලොම්ට සහය දෙනවා වගේ පෙන්නලා අබ්සලොම්ගේ හිත දිනාගන්න ඕනේ. පස්සේ එයා අබ්සලොම්ට උපදෙස් දෙන්න ඕනෙ දාවිත්ට පහර දෙන විදිහ ගැන. ඒකෙන් දාවිත්ට හොඳට වෙලාව ලැබෙනවා සටනට ලෑස්ති වෙන්න. අබ්සලොම් හූෂයි දෙන උපදෙස පිළිගත්තොත් හූෂයි ඒ ගැන සාදොක්ටයි, අබියාතර්ටයි කියනවා. (2 සාමු. 17:8-16) ඊටපස්සේ ඒ දෙන්නාට පුළුවන් ඒ ගැන කියලා දාවිත්ට ඉක්මනින්ම පණිවිඩයක් යවන්න. (2 සාමු. 17:17) යෙහෝවාගේ උදව්වෙන් සාදොක්ටයි, එයා එක්ක හිටපු අනිත් පූජකයන්ටයි පුළුවන් වුණා සැලසුම් කරපු විදිහටම දේවල් කරලා දාවිත්ගේ ජීවිතේ ආරක්ෂා කරන්න.—2 සාමු. 17:21, 22.
11. සහෝදරයන්ට උදව් කරද්දී සාදොක් වගේ එඩිතර වෙන්න පුළුවන් කොහොමද?
11 භයානක දේවලට මූණ දෙද්දී සහෝදරයන්ට උදව් කරන්න කියලා ඔයාට කිව්වොත් සාදොක් වගේ එඩිතර වෙන්න ඔයාට පුළුවන් කොහොමද? (1) මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. ඒ වගේ වෙලාවලදී කීකරු වුණොත් තමයි එක්සත්කම රැකෙන්නේ. ඒ නිසා ශාඛා කාර්යාලයෙන් දෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන්න. (හෙබ්‍රෙ. 13:17) විපතකට මූණ දෙද්දී කරන්න ඕන දේවල් ගැන සභාවෙන් දාලා තියෙන සැලසුම් සහ සංවිධානයෙන් දීලා තියෙන මඟ පෙන්වීම් වැඩිමහල්ලන් නිතරම සෝදිසි කරලා බලන්න ඕනේ. (1 කොරි. 14:33, 40) (2) එඩිතර වෙන්න. හැබැයි පරෙස්සමින්. (හිතෝ. 22:3) දෙයක් කරන්න කලින් හොඳට හිතන්න. අනවශ්‍ය විදිහට ජීවිතේ අනතුරේ දාගන්න එපා. (3) යෙහෝවා මත රැඳිලා ඉන්න. මතක තියාගන්න, සහෝදරයන්ගේ ජීවිත වගේම ඔයාගේ ජීවිතෙත් යෙහෝවාට වටිනවා. පරෙස්සමින් දේවල් කරන්න ඔහු ඔයාට උදව් කරයි.
12-13. වික්ට සහ විටාලිගේ අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද? (පින්තූරයත් බලන්න.)
12 වික්ට සහ විටාලි කියන්නේ යුක්රේනයේ යුද්ධ කාලේ සහෝදරයන්ට ඕන කරන කෑම බෙදලා දෙන්න මහන්සි වෙලා වැඩ කරපු සහෝදරයන් දෙන්නෙක්. වික්ට මෙහෙම කියනවා. “කෑම බීම හොයන්න අපි නොගිය තැනක් නෑ. අපි ගිය පැතිවල ගොඩක් වෙලාවට අපිට වෙඩි සද්ද ඇහුණා. දවසක් සහෝදරයෙක් එයා ළඟ තිබුණ කෑම තොගයක් පරිත්‍යාග කළා. සහෝදර සහෝදරියන්ට දවස් ගාණක් යන කල් කන්න ඇති තරම් කෑම එතන තිබුණා. අපි ඒවා අපේ ට්‍රක් එකට පටවද්දී අපි හිටපු තැනට මීටර් 20ක් විතර එහායින් බෝම්බයක් වැටුණා. හොඳ වෙලාවට ඒක පිපුරුණේ නෑ. එදා දවසම මං යෙහෝවාට කන්නලව් කළා සහෝදරයන්ට උදව් කරන්න ඕන කරන එඩිතරකම මට දිගටම දෙන්න කියලා.”
13 “මේ වැඩේ කරන්න නං ලොකු එඩිතරකමක් ඕනෙ” කියලා විටාලි කියනවා. “මුල්ම පාර කෑම බෙදන්න ගිය ගමනට පැය 12ක් ගියා. මඟ දිගටම මං යෙහෝවාට යාච්ඤා කරකර ගියේ.” විටාලි ධෛර්යයෙන් වගේම පරෙස්සමෙනුත් වැඩ කළා. එයා මෙහෙම කියනවා. “මට ප්‍රඥාව දෙන්න කියලත් මගේ සීමාව තේරුම් අරන් වැඩ කරන්න උදව් කරන්න කියලත් මං යෙහෝවාගෙන් දිගටම ඉල්ලුවා. මං ගියේ බලධාරීන් යන්න අවසර දීලා තිබුණ පාරවල්වල විතරයි. සහෝදර සහෝදරියන් එකට එකතු වෙලා වැඩ කරන විදිහ දැක්කාම මගේ විශ්වාසේ ගොඩක් ශක්තිමත් වුණා. එයාලා සුන්බුන් අයින් කරලා වාහනේ ගන්න පුළුවන් වෙන විදිහට පාර හදලා දුන්නා. සහෝදරයන්ට ඕන දේවල් එකතු කරන්න, ඒවා ට්‍රක් එකට පටවන්න එයාලා මහන්සි වෙලා වැඩ කළා. අපිට ඕන කරන කෑම බීම, නවාතැනුත් එයාලා දුන්නා.”
භයානක කාලවල සහෝදරයන්ට උදව් කරද්දී එඩිතර වෙන්න. හැබැයි පරෙස්සමෙන් වැඩ කරන්න (12-13 ඡේද බලන්න)
දිගටම යෙහෝවාට ළැදි වෙන්න
14. අපි ආදරේ කරන කෙනෙක් යෙහෝවාව අත්හැරියොත් ඒක අපිට කොහොම බලපායිද?
14 පවුලේ කෙනෙක්, කිට්ටු යාළුවෙක් යෙහෝවාව අත්හරිනවා දකින එක තරම් වේදනාකාරී දෙයක් තවත් නැති තරම්. (ගීතා. 78:40; හිතෝ. 24:10) ඔයා එයාට කොච්චර ආදරේද, එච්චරම වේදනාවක් ඔයාට දැනෙයි. ඔයා ඉන්නෙත් ඒ වගේ වේදනාවකින් නම් සාදොක් යෙහෝවාට ළැදිව හිටපු විදිහ ගැන හිතන එක ඔයාට ශක්තියක් වෙයි.
15. යෙහෝවාට ළැදිව ඉන්න සාදොක්ට එඩිතරකම ඕන වුණේ ඇයි? (1 රාජාවලිය 1:5-8)
15 සාදොක්ගේ කිට්ටු යාළුවෙක් වුණ අබියාතර් යෙහෝවාට අවිශ්වාසවන්ත වුණ වෙලාවේ සාදොක් යෙහෝවාට ළැදිව හිටියා. ඒක වුණේ දාවිත්ගේ පාලනයේ අන්තිම කාලේදී. යෙහෝවා පොරොන්දු වෙලා තිබුණා දාවිත්ගෙන් පස්සේ රජ වෙන්නේ සලමොන් කියලා. හැබැයි දාවිත්ගේ පුතා අදොනියා රජකම බලෙන් ගන්න හැදුවා. (1 ලේක. 22:9, 10) ඒ වෙලාවේ අබියාතර් අදොනියාගේ පැත්ත ගත්තා. (1 රාජාවලිය 1:5-8 කියවන්න.) එහෙම කරපු එකෙන් එයා දාවිත්ට විතරක් නෙවෙයි යෙහෝවාටත් අවිශ්වාසවන්ත වුණා. ඒක දැක්කාම සාදොක්ට කොච්චර දුකක් දැනෙන්න ඇද්ද! අවුරුදු 40කටත් වඩා වැඩි කාලයක් ඒ දෙන්නා පූජකයන් විදිහට එකට වැඩ කළා. (2 සාමු. 8:17) එයාලා එකට එකතු වෙලා “සැබෑ දෙවිගේ ගිවිසුම් පෙට්ටිය” බලාගත්තා. (2 සාමු. 15:29) මුලදී ඒ දෙන්නාම දාවිත්ට සම්පූර්ණ සහයෝගය දුන්නා. එයාලා එකතු වෙලා තව ගොඩක් විදිවලින් යෙහෝවාට සේවේ කළා.—2 සාමු. 19:11-14.
16. දෙවියන්ට ළැදිව ඉන්න සාදොක්ට උදව් වෙන්න ඇත්තේ මොකක්ද?
16 අබියාතර් මොනවා කළත් සාදොක් යෙහෝවාට ළැදිව හිටියා. දාවිතුත් දැනන් හිටියා සාදොක් විශ්වාසවන්ත යාළුවෙක් කියලා. අදොනියාගේ සැලැස්ම එළියට ආවාම දාවිත් සලමොන්ව අභිෂේක කරන්න භාර දුන්නේ සාදොක්ටයි, නාතන්ටයි, බෙනායාටයි. (1 රාජා. 1:32-34) යෙහෝවාට ළැදිව හිටපු, දාවිත්ට සහයෝගය දුන්න නාතන් වගේ අයගේ ආශ්‍රය නිසා සාදොක් ශක්තියක්, දිරිගැන්වීමක් ලබන්න ඇති. (1 රාජා. 1:38, 39) සලමොන් රජ වුණාම එයා අබියාතර් වෙනුවට උත්තම පූජකයා විදිහට සාදොක්ව පත් කළා.—1 රාජා. 2:35.
17. ඔයාට කිට්ටු කෙනෙක් යෙහෝවාට ද්‍රෝහි වුණොත් සාදොක්ව ආදර්ශයට ගන්න ඔයාට පුළුවන් කොහොමද?
17 සාදොක් වගේ වෙන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයා ආදරේ කරන කෙනෙක් යෙහෝවාව අත්හැරලා ගියොත් ඔයා දෙවියන්ව අත්හැරලා යන්නේ නැහැ කියලා පැහැදිලිව පෙන්නන්න. (යොෂු. 24:15) ඒක කරන්න ඕන කරන ශක්තිය, එඩිතරකම යෙහෝවා ඔයාට දෙනවා. ඒ නිසා යාච්ඤා කරලා ඔහු මත රැඳිලා ඉන්න. යෙහෝවාට ආදරේ කරන අයට ළං වෙලා ඉන්න. ඔයාගේ විශ්වාසවන්තකම යෙහෝවාට ගොඩක් වටිනවා. ඔහු ඒකට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරනවා.—2 සාමු. 22:26.
18. මාර්කෝගෙයි, සිඩ්සේගෙයි අද්දැකීමෙන් ඔයා ඉගෙනගත්තේ මොකක්ද?
18 මාර්කෝගෙයි, සිඩ්සේගෙයි අද්දැකීම බලන්න. එයාලාගේ දුවලා දෙන්නාම යෙහෝවාව අත්හැරියා. මාර්කෝ මෙහෙම කියනවා. “දරුවෝ ඉපදුණ දවසේ ඉඳලා අම්මාගෙයි, තාත්තාගෙයි මුළු ලෝකෙම එයාලා. එයාලව ආරක්ෂා කරන්න දෙමාපියෝ නොකරන දෙයක් නෑ. එච්චරටම ආදරේ කරපු දරුවෝ යෙහෝවාව අත්හරිනවා දකිද්දී ඒක වාවගන්න බෑ. ඒත් යෙහෝවා අපිත් එක්කම හිටියා. මං දුර්වල වුණ වෙලාවලදී ඔහු මගේ වයිෆ්ව ශක්තිමක් කළා. එයා දුර්වල වුණ වෙලාවලදී ඔහු මට ශක්තිය දුන්නා.” සිඩ්සේ කියන දේ බලන්න. “යෙහෝවා ශක්තිය දුන්නේ නැත්තං මේක කොහොම දරාගන්නද කියලා මට හිතාගන්න බෑ. සමහර වෙලාවලදී මට හිතුණා මගේ අඩුවක් නිසයි දුවලා සත්‍යය අත්හැරියේ කියලා. මට දැනුණ දුක මං යෙහෝවාට කිව්වා. දවසක් අවුරුදු ගාණකින් දැකපු නැති සහෝදරියක් මං ළඟට ඇවිල්ලා මට කිව්වා ‘සිඩ්සේ මේක වුණේ ඔයාගේ වරදක් නිසා කියලා හිතන්න එපා’ කියලා. ඇත්තටම යෙහෝවාගේ උදව් තිබුණ නිසයි සතුට නැති කරගන්නේ නැතුව දිගටම ඔහුට ළැදිව ඉන්න මට පුළුවන් වුණේ.”
19. ඔයාගේ අධිෂ්ඨානය මොකක්ද?
19 අපි හැමෝම සාදොක් වගේ එඩිතරව වැඩ කරනවා දකින්නයි යෙහෝවා කැමති. (2 තිමෝ. 1:7) ඒත් අපි ඒක අපේ ශක්තියෙන් කරයි කියලා ඔහු බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහු කැමති අපි ඔහු මත රැඳිලා ඉන්නවා දකින්න. ඉතින් එඩිතරව වැඩ කරන්න වෙන අවස්ථා එද්දී යෙහෝවා දිහා බලන්න. ඔහු අනිවාර්යයෙන්ම සාදොක් වගේ එඩිතරව වැඩ කරන්න ඔයාටත් උදව් කරයි.—1 පේතෘ. 5:10.
ගීතිකාව 126 අවදිව, ස්ථිරව සිටිමු
a jw.org එකේ තියෙන “ක්‍රිස්තියානීන්ට ධෛර්යය ඕනේ - පැති නොගෙන ඉන්න” කියන වීඩියෝ එක බලන්න.