ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w24 ජූනි 14-18 පි.
  • යෙහෝවා මගේ යාච්ඤාවලට කන් දුන්නා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා මගේ යාච්ඤාවලට කන් දුන්නා
  • 2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ජීවිතේ වෙනස් කරපු හමුවක්
  • යුද්දේ මැද ගත්ත හුස්ම
  • යෙහෝවාට තව ළං වුණා
  • පූර්ණකාලීන සේවේ
  • අපේ අයිතීන් වෙනුවෙන්
  • කියුබාවට නිදහස
  • රුවන්ඩාවේ සහෝදරයන්ට උදව්
  • දිගටම විශ්වාසවන්තව ඉන්න අධිෂ්ඨානයක්
  • “ඔබේ ප්‍රේමනීය-කරුණාව ජීවිතයට වඩා යහපත්”
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවුරුදු 70ක් විතර කියුබාවේ කරපු සේවේ
    2026 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හරි තීරණ ගත් නිසා ජීවිත කාලය පුරා සන්තෝෂයෙන්
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා දෙවියන් ගැන ඉගෙනගන්න, උගන්වන්න මං හුඟක් ආසයි
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2024 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w24 ජූනි 14-18 පි.
මාසෙල් ජිලෙට් බෙල්ජියම් ශාඛා කාර්යාලයේ එයාගේ ඔෆිස් එකේ.

ජීවිත කතාව

යෙහෝවා මගේ යාච්ඤාවලට කන් දුන්නා

මාසෙල් ජිලෙට්

මේ සිද්ධිය වෙද්දී මට අවුරුදු දහයයි. මං රෑ අහසේ දිලිසෙන තරු දිහා බලන් හිටියා. ඒවා දැක්කාම මං දණ ගහලා යාච්ඤා කළා. ඒ වෙද්දී මං යෙහෝවා ගැන දැනං වැඩි දවසක් ගිහින් තිබුණේ නෑ. ඒත් හිතේ තිබුණ හැම දේම මං ඔහුට කිව්වා. යෙහෝවාත් එක්ක යන දිගු ගමනේ ආරම්භය තමයි එදා ඒ කරපු යාච්ඤාව. ඔහු තමයි “යාච්ඤා අහන තැනැත්තා.” (ගීතා. 65:2) මං කියන්නංකෝ එච්චර ඕනකමින් මං යාච්ඤා කළේ ඇයි කියලා.

ජීවිතේ වෙනස් කරපු හමුවක්

මං උපන්නේ 1929 දෙසැම්බර් 22වෙනිදා. මං හැදී වැඩුණේ බෙල්ජියමේ බැස්ටෝන්වලට කිට්ටුව තිබුණ ගමක. අපේ ගමේ ගොවිපොළවල් නමයක් තිබුණා. ගොවිපොළේ උන්නු කාලේ මායි, මල්ලියි එකතු වෙලා කිරි දොවනවා, අස්වැන්න කපනවා. ඒක හරිම සුන්දර කාලයක්. අපේ ගම හරිම නිස්කලංකයි. එහේ හිටපු හැමෝම කොයි වෙලෙත් උදව් පදව් කරගත්ත ගමන්.

පවුලේ අය එක්ක අපේ ගොවිපොළේ වැඩ කරන ගමන්

මගේ තාත්තා එමිල්, අම්මා ඇලිස්. එයාලා කතෝලික පල්ලියේ කණු. හැම ඉරිදාම පූජාවට ගියා. කොහොම කොහොම හරි 1939 වෙද්දී එංගලන්තේ ඉඳන් පුරෝගාමීන් අපේ ගමට සේවේ කරන්න ආවා. එයාලා අපේ තාත්තාටත් “කොන්සලේෂන්” (දැන් ‘පිබිදෙව්!’) සඟරාව මාසිකව ගෙන්නගන්න ක්‍රමයක් හදලා දීලා තිබුණා. ඔහොම සඟරා කියවද්දී තාත්තාට තේරුණා මේක තමයි සත්‍යය කියලා. ඊටපස්සේ තාත්තා බයිබලෙත් කියවන්න පටන්ගත්තා. තාත්තා පූජාවට යන එක නතර කළාම අහළ පහළ පණ දෙන්න වගේ හිටපු කට්ටිය අපිට ප්‍රශ්න දැම්මා. පල්ලිය අතහරින්න එපා කියලා එයාලා තාත්තාට බලපෑම් කළා. ඔය ගැන තාත්තායි, එයාලයි අතරේ සෑහෙන වචන හුවමාරු වුණා.

ගම්මු අපේ තාත්තාට කියන දේවල් මට දරාගන්න බැරි වුණා. මං දෙවියන්ගෙන් ඉල්ලුවා තාත්තාට උදව් කරන්න කියලා. මං මුලදී යාච්ඤාවක් කළා කිව්වේ අන්න ඒ ගැනයි. ගමේ අයගෙන් ආපු ප්‍රශ්න ටික ටික නිවිලා ගියා. යෙහෝවා “යාච්ඤා අහන තැනැත්තා” කියලා ඒකෙන් මට ලොකු විශ්වාසයක් ඇති වුණා.

යුද්දේ මැද ගත්ත හුස්ම

1940 මැයි 10වෙනිදා නාට්සි පාලනයෙන් බෙල්ජියම ආක්‍රමණය කළා. ඒ හින්දා හුඟක් අය වෙන රටවලට පැනලා ගියා. අපිත් ප්‍රංශයේ දකුණු පැත්තට ගියා. එහෙම යද්දී ජර්මනියයි, ප්‍රංශයයි අතරේ යුද්ධ තිබුණ පැතිවලටත් අපි අහු වුණා.

අපි ආයෙත් ගොවිපොළට එද්දී එහේ තිබුණ හැම දේම කොල්ල කාලා. ඉතුරු වෙලා උන්නේ අපේ බල්ලා බොබී විතරයි. මේවා දැක්කාම මට හිතුණා ‘ඇයි මෙච්චර දුක් වේදනා? ඇයි මෙච්චර යුද්ධ’ කියලා.

මාසෙල් ජිලෙට් යෞවන කාලේදී.

යෞවන කාලේදීම මං යෙහෝවාට ළං වුණා

ඔය කාලෙම අපේ පැත්තට සහෝදර එමිල් ආවා. එයා පුරෝගාමි සේවේ කරපු වැඩිමහල්ලෙක්. එයා මට බයිබලෙන් පෙන්නුවා දුක් වේදනා තියෙන්නේ ඇයි කියලා. ඔය වගේ තව ප්‍රශ්න ගොන්නකට එයා බයිබලෙන් උත්තර පෙන්නුවා. ඔහොම යද්දී මං යෙහෝවාට තව කිට්ටු වුණා. ඔහු ප්‍රේමණීය කෙනෙක් කියලත් තේරුම්ගත්තා.

යුද්දේ ඉවර වෙන්න කලින් ඉඳන්ම අපේ පවුලේ අය සහෝදරයන්ව කිට්ටුවෙන් ආශ්‍රය කළා. 1943 අගෝස්තුවල සහෝදර ජෝසේ නිකලස් අපේ ගොවිපොළේ දේශනයක් දුන්නා. එයා ඇහුවා “කවුද බව්තීස්ම වෙන්න කැමති” කියලා. මගේ තාත්තා අත ඉස්සුවා. ඉතිං මාත් අත ඉස්සුවා. අපි ගොවිපොළ ළඟ තිබ්බ පොඩි ගඟක බව්තීස්ම වුණා.

1944 දෙසැම්බර්වල ජර්මන් හමුදාව බටහිර යුරෝපයට විරුද්ධව එයාලාගේ ප්‍රබලම, අන්තිම සටන දියත් කළා. අපි හිටියෙත් යුද්දේ වෙච්ච පැත්තෙමයි. අපි මාසයක් විතර හිටියේ පොළොව යට කාමරේක. දවසක් අපේ සත්තුන්ට කෑම දාන්න මං එළියට යද්දී මෝටාර් ප්‍රහාර එල්ල වෙන්න ගත්තා. ඒ එකක් වැදිලා අපේ ගොවිපොළේ වහල ගැලවිලා ගියා. ඊටපස්සේ ඒ ළඟ හිටපු ඇමරිකානු සොල්දාදුවෙක් කෑගහලා කිව්වා “බිම දිගා වෙන්න” කියලා. මං එයා ළඟට දුවගෙන ගිහිං බිම දිගා වුණා. පස්සේ එයා එයාගේ හෙල්මට් එක මගේ ඔළුවට දැම්මා.

යෙහෝවාට තව ළං වුණා

අපි බැන්ද දවසේ

යුද්දෙන් පස්සේ අපි ලීග්වල තිබුණ සභාවේ අය එක්ක කිට්ටුවෙන් ආශ්‍රය කළා. ඒක තිබුණේ අපි හිටපු පැත්තේ ඉඳන් කි.මී. 90ක් එහායින්. පස්සේ අපි බැස්ටෝන්වල පුංචි කණ්ඩායමක් පටන්ගත්තා. මං බදු පරිපාලන ආයතනයක වැඩ කරන්න ගත්තා. ඒකෙන් මං නීතිය ගැනත් ඉගෙනගත්තා. ඊටපස්සේ මං රජයේ කන්තෝරුවකත් වැඩ කළා. 1951 අපි බැස්ටෝන්වල චාරිකා සමුළුවක් සංවිධානය කළා. ඒකට සියදෙනෙක් විතර ආවා. ඒ අතරේ එලී කියලා පුරෝගාමි කරපු සහෝදරියක් හිටියා. එයා සමුළුවට ඇවිල්ලා තිබුණේ කි.මී. 50ක් බයිසිකලේ පැදගෙන. වැඩි කල් යන්න කලින් අපි යාළු වුණා. ඊටපස්සේ මුදු මාරු කරගත්තා. එලීට ගිලියද් යන්න ආරාධනාවක් ලැබිලා තිබුණා. ඉතිං එයා ලෝක මූලස්ථානයට ලියුමකින් එයාට එන්න බැරි හේතුව ලියලා යැව්වා. සහෝදර නෝර් එයාගේ ලියුමට උත්තර එව්වා. ඒකේ තිබුණා දවසක ඔයාටයි, මහත්තයාටයි දෙන්නාටම ගිලියද් එන්න ලැබෙයි කියලා. 1953 පෙබරවාරිවල අපි දෙන්නා බැන්දා.

එලී අපේ පුංචි පුතා සර්ජේ එක්ක

ඒ අවුරුද්දේම එලීයි, මායි නිව් යෝර්ක්වල යැංකි ක්‍රීඩාංගණයේ තිබුණ සමුළුවට ගියා. එහෙදී සහෝදරයෙක් මට හොඳ රස්සාවක් ගැන කිව්වා. ඇමරිකාවට පදිංචියට එන්නත් කිව්වා. ඒ ගැන යාච්ඤා කරලා මායි, එලීයි තීරණේ කළා ඒක භාරගන්නේ නැතුව බෙල්ජියමටම යන්න. ඒ, ප්‍රචාරකයන් දහදෙනෙක් හිටපු බැස්ටෝන්වල පොඩි කණ්ඩායමට උදව් කරන්න. ඊළඟ අවුරුද්දේ අපේ පවුලට අපේ පුංචි පුතා සර්ජේ එකතු වුණා. ඒත් එයා අපිත් එක්ක හිටියේ මාස හතයි. එයා ලෙඩ වෙලා හදිස්සියේ නැති වුණා. ඒ වෙලාවේ අපිට දැනුණ දුක අපි කිව්වේ යෙහෝවාට. නැවත නැඟිටීමේ බලාපොරොත්තුව තමයි අපිව ශක්තිමත් කළේ.

පූර්ණකාලීන සේවේ

1961දී පුරෝගාමි කරන්න පුළුවන් වෙන විදිහේ රස්සාවක් මට හම්බ වුණා. එදාම මට බෙල්ජියමේ ශාඛා කාර්යාලයෙන් කෝල් එකක් ආවා. එහෙන් ඇහුවා චාරිකා සේවකයෙක් විදිහට සේවේ කරන්න කැමතිද කියලා. මං ඇහුවා “චාරිකා යන්න කලින් අපිට පුරෝගාමි සේවේ ටිකක් කරන්න බැරිද” කියලා. එයාලා කැමති වුණා. පස්සේ අපි මාස අටක් පුරෝගාමි සේවේ කරලා 1962 සැප්තැම්බර්වලදී චාරිකා යන්න පටන්ගත්තා.

අවුරුදු දෙකක් චාරිකා ගියාට පස්සේ අපිට බ්‍රසල්ස්වල තියෙන බෙතෙල් එකේ සේවේ කරන්න ආරාධනාවක් ලැබුණා. 1964 ඔක්තෝබර්වල ඉඳන් අපි එහේ සේවේ කළා. මේ අලුත් පැවරුම නිසා අපිට ආශීර්වාද ගොඩක් ලැබුණා. 1965දී සහෝදර නෝර් අපේ බෙතෙල් එක බලන්න ආවා. ඒකෙන් පස්සේ මට ශාඛා කාර්යාලයේ සම්බන්ධීකාරක විදිහට පැවරුමක් ලැබුණා. පස්සේ මටයි, එලීටයි ගිලියද් පාසැලේ 41වෙනි පන්තියට සහභාගි වෙන්න ආරාධනාවක් ලැබුණා. අවුරුදු 13කට කලින් සහෝදර නෝර් කියපු දේ ඇත්තක් වුණා! පාසැලෙන් පස්සේ අපි ආයෙත් බෙල්ජියම් බෙතෙල් එකට ආවා.

අපේ අයිතීන් වෙනුවෙන්

නීතිය ගැන මං ඉගෙනගත්ත දේවලින් මට වැඩක් ගන්න පුළුවන් වුණා. යුරෝපයේ සහ තවත් රටවල ඉන්න සහෝදරයන්ට නිදහසේ නමස්කාර කරන්න තියෙන අයිතීන් වෙනුවෙන් කතා කරන්න මට අවස්ථාව ලැබුණා. (ෆිලි. 1:7) ඒ නිසා අපේ වැඩ සීමා කරපු, තහනම් කරපු රටවල් 55කට වඩා වැඩි ගාණක ඉන්න නිලධාරීන් එක්ක වැඩ කරන්න මට පුළුවන් වුණා. මගේ දැනුම, මගේ අද්දැකීම් ගැන කියනවාට වඩා මං මාව අඳුන්වලා දුන්නේ “දෙවියන්ගේ සේවකයෙක්” විදිහට. මං හැම තිස්සේම යෙහෝවාගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කළා. මොකද මං දැනං හිටියා ‘රජෙකුගේ සිත යෙහෝවා දෙවිගේ අතේ තියෙන දිය පහරක් වගේ. ඔහු කැමති අතට එය හරවන්න පුළුවන්’ කියලා.—හිතෝ. 21:1.

සැරයක් මට පාර්ලිමේන්තු සාමාජිකයෙක් එක්කත් කතා කරන්න ලැබුණා. සෑහෙන කාලයක් තිස්සේ බලලා බලලා බොහොම අමාරුවෙන් තමයි කතා කරන්න අවස්ථාවක් හදාගත්තේ. එයා කිව්වා “විනාඩි පහයි දෙන්නේ. ඊට වැඩිය තප්පරයක්වත් බෑ” කියලා. එතකොට මං ඔළුව පාත් කරලා යෙහෝවාට යාච්ඤාවක් කළා. ඒක දැකලා එයා ඇහුවා “ඔය මොකද කරන්නේ” කියලා. මං කිව්වා “දෙවියන් වෙනුවෙන් සේවේ කරන්න ඔයා වගේ කෙනෙක්ව දීපු එකට මං දෙවියන්ට ස්තුති කළා” කියලා. “ඒ කිව්වේ” කියලා එයා ඇහුවා. පස්සේ මං රෝම 13:4 එයාට පෙන්නුවා. එයා රෙපරමාදු කෙනෙක් නිසා බයිබලේ තියෙන දේවල්වලට උනන්දුයි. අන්තිමේදී විනාඩි පහක් දෙන්නම් කියපු කෙනා පැය භාගයක්ම කතා කළා. අපේ සේවේ ගැනත් සෑහෙන්න හොඳ කිව්වා.

අවුරුදු ගාණක් පුරා සාක්ෂිකරුවන් පැති ගන්නේ නැති එක, ළමා භාරකාරත්වය, බදු වගේ දේවල් ගැන එයාලාගේ අයිතීන් වෙනුවෙන් උසාවිවල සටන් කරලා තියෙනවා. ඒ නඩුවලින් වැඩි හරියකට හවුල් වෙන්න ලැබුණ එක මං සලකන්නේ ආශීර්වාදයක් විදිහට. යෙහෝවා ඒ නඩු දිනන්න උදව් කරපු විදිහ මං දැක්කා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් මානව හිමිකම් පිළිබඳ යුරෝපීය අධිකරණයේ නඩු 140කට වඩා දිනලා තියෙනවා.

කියුබාවට නිදහස

1990 ගණන්වල ලෝක මූලස්ථානයේ සේවේ කරපු සහෝදර ෆිලිප් බ්‍රම්ලි එක්කයි, ඉතාලියෙන් ආපු සහෝදර වාල්ටර් ෆර්නෙටි එක්කයි වැඩ කරන්න මට හම්බ වුණා. අපේ වැඩේ වුණේ කියුබාවේ සහෝදරයන්ට නිදහසේ නමස්කාරයේ දේවල් කරන්න අවස්ථාව හදලා දෙන එක. ඒ කාලේ කියුබාවේ අපේ වැඩ තහනම් කරලයි තිබුණේ. මං බෙල්ජියම්වල කියුබා තානාපති කාර්යාලයට ලිව්වාට පස්සේ මට පුළුවන් වුණා ඒ වැඩේ භාර නිලධාරියාව හම්බ වෙන්න. හැබැයි සාක්ෂිකරුවන් ගැන තිබුණ වැරදි වැටහීම් අයින් කරන්න එයාත් එක්ක කතා කරපු මුල් අවස්ථාවලදී අපිට බැරුව ගියා.

1990 ගණන්වල කියුබාවට ගිය වෙලාවක සහෝදර ෆිලිප් බ්‍රම්ලි සහ වාල්ටර් ෆර්නෙටි එක්ක

යෙහෝවාගේ මඟ පෙන්වීම් ඉල්ලලා යාච්ඤා කළාට පස්සේ අපි කියුබාවට බයිබල් 5,000ක් ගෙන්නන්න අවසර ඉල්ලුවා. අවසර හම්බ වුණා. බයිබල් ටික ආවාට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව අපි සහෝදරයන්ට ඒවා බෙදලා දුන්නා. අපි දැක්කා යෙහෝවා මේ වැඩේට ආශීර්වාද කරනවා කියලා. ඉතිං අපි බයිබල් 27,500ක් ගෙන්නන්න අවසර ඉල්ලුවා. ඒකටත් අවසර ලැබුණා. කියුබාවේ ඉන්න සහෝදර සහෝදරියන්ට එයාලාගෙම කියලා බයිබලයක් දෙන්න ලැබුණ එක ඇත්තටම සතුටක්.

කියුබාවේ ඉන්න සහෝදරයන්ට නීතික පැත්තෙන් උදව් කරන්න මං කීප වතාවක්ම කියුබාවට ආවා ගියා. ඒ නිසාම එහේ රජයේ නිලධාරීන්වත් හොඳට අඳුරගන්න මට අවස්ථාව හම්බ වුණා.

රුවන්ඩාවේ සහෝදරයන්ට උදව්

1994 රුවන්ඩාවේ ටුට්සි ගෝත්‍රයට අයිති ලක්ෂ දහයකට වඩා වැඩිදෙනෙක්ව සමූල ඝාතනය කළා. ඒ අතරේ අපේ සහෝදර සහෝදරියනුත් හිටියා. ඒ ගැටුම් නිසා එහේ අයට සහන සේවා දෙන්න ඉක්මනින්ම සහෝදරයන් කණ්ඩායමක් පත් කළා.

අපේ කණ්ඩායම එහේ කිගාලිවලට ගියා. එහේ තිබුණ පරිවර්තන කාර්යාලයටයි, සඟරා ගබඩා කරලා තිබුණ තැනටයි ගියාම අපි දැක්කා බිත්තිවලට වෙඩි වැදිලා තියෙන විදිහ. සහෝදර සහෝදරියන් හුඟදෙනෙක්ව කපලා කොටලා මරලා දාපු විදිහ ගැනත් අපිට අහන්න ලැබුණා. අපිට දැනුණේ පුදුම වේදනාවක්. සහෝදර සහෝදරියන් එකිනෙකාට ආදරේ පෙන්නන්න කරපු දේවලුත් අපිට අහන්න ලැබුණා. අපිට හම්බ වුණා ටුට්සි ගෝත්‍රයේ සහෝදරයෙක්ව. එයාව වළක හංගලා දවස් 28ක්ම ආරක්ෂා කරලා තිබුණේ හුටු ගෝත්‍රයේ සහෝදර පවුලක්. කිගාලිවල අපේ රැස්වීමකදී අපිට පුළුවන් වුණා අපේ සහෝදර සහෝදරියන් 900කට වඩා වැඩිදෙනෙක්ට ඕන කරන සහනය, දිරිගැන්වීම් දෙන්න.

පින්තූරවල අදහස: 1. ඉරිලා ගිහින් තියෙන ඝනකම් කවරයක් තියෙන පොතක්. 2. මාසෙල් සහනාධාර දෙන්න ගිහින්. එයා එක්ක තව සහෝදරයන් දෙන්නෙක් ඉන්නවා.

වම: පරිවර්තන කාර්යාලයේ තිබුණ පොතකට වෙඩි වැදිලා තියෙන විදිහ

දකුණ: සහන සේවා වැඩ කරන ගමන්

අපි දේශ සීමාව පහු කරලා සයිරේවලට (කොංගෝවලට) ආවා. අපි එහෙට ආවේ ගෝමා කිට්ටුව තිබුණ සරණාගත කඳවුරුවලට පලා ආපු රුවන්ඩාවේ සහෝදරයන්ව හොයාගෙන. ඒත් කාවවත් හම්බ වුණේ නෑ. ඒ නිසා අපි යාච්ඤා කරලා යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා. එතකොටම අපි දැක්කා කෙනෙක් අපේ පැත්තට ඇවිදගෙන එනවා. අපි එයාගෙන් ඇහුවා “ඔයා සාක්ෂිකරුවන්ව අඳුරනවාද” කියලා. එයා කිව්වා “ඔව්, මාත් සාක්ෂිකාරයෙක්. මං ඔයාලව සහන සේවා කමිටුව ගාවට ගෙනියන්නම්” කියලා. අපි සහන සේවා කමිටුවේ අයව හම්බ වෙලා එයාලත් එක්ක කතා කළාට පස්සේ එහෙට ආපු සරණාගතයන් 1,600දෙනෙක් විතර හම්බ වුණා. එයාලට ඕන කරන සහනය, දිරිගැන්වීම් දෙන්නත් අපිට පුළුවන් වුණා. අපි එයාලට ඇහෙන්න පාලක මණ්ඩලයෙන් එවපු ලියුමකුත් කියෙව්වා. ඒකේ තිබුණා “අපි ඔයාලා වෙනුවෙන් දිගටම යාච්ඤා කරනවා. යෙහෝවා ඔයාලව අතහරින්නේ නැහැ කියලා අපිට විශ්වාසයි.” ඒ වචන එයාලාගේ හිතට වැදුණා. පාලක මණ්ඩලයේ සහෝදරයන් කියපු දේ කොච්චර ඇත්තක්ද කියලා අද ඔප්පු වෙලා තියෙනවා. මොකද අද වෙද්දී රුවන්ඩාවේ සාක්ෂිකරුවන් 30,000කට වඩා ඉන්නවා.

දිගටම විශ්වාසවන්තව ඉන්න අධිෂ්ඨානයක්

මගේ එලී 2011 නැති වුණා. ඒ වෙද්දී අපි බැඳලා අවුරුදු 58කට කිට්ටුයි. මං යාච්ඤාම කරලා තමයි මගේ දුක තුනී කරගත්තේ. අනිත් අයට ශුභාරංචිය කියන එකෙනුත් මට ලොකු සහනයක් දැනුණා.

දැන් මට 90කට වැඩියි. ඒත් තාම හැම සතියකම මං වරද්දන්නේ නැතුව සේවේ යනවා. බෙල්ජියම් ශාඛා කාර්යාලයේ නීතික අංශයට මං තාමත් උදව් කරනවා. ඒක මට ලොකු සතුටක්. මගේ අද්දැකීම් ගැන අනිත් අයට කියන්න, බෙතෙල් පවුලේ යෞවන අයව දිරිගන්වන්න පුළුවන් වෙලා තියෙන එක ගැනත් මට සතුටුයි.

මීට අවුරුදු 84කට විතර කලින් තමයි මං යෙහෝවාට පළවෙනි වතාවට යාච්ඤා කළේ. එදා ඒ පටන්ගත්ත දිගු ගමන මාව යෙහෝවාට ටිකෙන් ටික ළං කළා. ජීවිත කාලේ පුරාවටම මගේ යාච්ඤාවලට කන් දුන්න එක ගැන මං ඔහුට අනේක වාරයක් ණයගැතියි.—ගීතා. 66:19.a

a මේ ලිපිය සූදානම් කරන අතරතුරේ 2023 පෙබරවාරි 4වෙනිදා සහෝදර මාසෙල් ජිලෙට් මිය ගියා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න