ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w20 ජනවාරි 2-7 පි.
  • ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ආඥාව දුන්නේ කාටද?
  • යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න ඔයාගේ පාඩමට උදව් කරන්න
  • දෙවියන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න
  • පාඩම නතර කළොත් හොඳයිද?
  • ශිෂ්‍යයන්ට බව්තීස්මය දක්වා දියුණු වෙන්න උදව් කරන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (පළවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බව්තීස්මය දක්වා දියුණු වෙන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න (දෙවෙනි කොටස)
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • බයිබල් ශිෂ්‍යයන්ට අපි හැමෝගෙම උදව් ඕනේ
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w20 ජනවාරි 2-7 පි.

පාඩම් ලිපිය 1

‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’

2020 වාර්ෂික පදය: ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඒ අයව බව්තීස්ම කරන්න.’—මතෙ. 28:19.

ගීතිකාව 79 ස්ථිරව ඉන්න කියා දෙන්න

මේ ලිපියෙන්a

1-2. යේසුස්ව තැන්පත් කරලා තිබුණ සොහොන් ගෙය ළඟට ආපු ස්ත්‍රීන්ට දේවදූතයා කියන්නේ මොකක්ද? යේසුස් ඒ ස්ත්‍රීන්ට කරන්න කියන්නේ මොකක්ද?

මේ සිද්ධිය වෙන්නේ ක්‍රි.ව. 33 නීසාන් මාසයේ 16වෙනිදා අලුයම. මේ වෙද්දී යේසුස්ගේ දේහය තැන්පත් කරලා පැය 36කට වැඩි කාලයක් ගත වෙලා තිබුණා. හරිම දුකෙන් ඉන්න ස්ත්‍රීන් කීපදෙනෙක් යේසුස්ගේ දේහයට සුවඳ ද්‍රව්‍ය සහ සුවඳ තෙල් ආලේප කරන්න ඔහුව තැන්පත් කරලා තියෙන සොහොන් ගෙය ළඟට එනවා. යේසුස්ගේ සිරුර එතන නැහැ කියලා දැකලා එයාලා පුදුම වෙනවා. යේසුස්ව මරණයෙන් නැඟිටුවලා කියලා දේවදූතයෙක් ඒ ස්ත්‍රීන්ට කියනවා. ‘ඔහු ගෝලයන්ට කලින් ගලීලයට යනවා කියලත් එහිදී ඔහුව දකින්න ඔබටත් පුළුවන් වෙයි’ කියලත් දේවදූතයා කියනවා.—මතෙ. 28:1-7; ලූක් 23:56; 24:10.

2 ඒ ස්ත්‍රීන් එතනින් ගියාට පස්සේ යේසුස් එයාලව හම්බ වෙලා මෙහෙම කියනවා. “ගොස් මගේ සහෝදරයන්ට මේ ගැන දන්වන්න. එවිට ඔවුන් ගලීලයට යයි. එහිදී මාව දකින්න ඔවුන්ට අවස්ථාවක් ලැබෙයි.” (මතෙ. 28:10) නැවත නැඟිටීමෙන් පස්සේ යේසුස් මුලින්ම ඒ වගේ රැස්වීමක් සූදානම් කරන්න ඇත්තේ ඔහුගේ අනුගාමිකයන්ට කියන්න වැදගත් දෙයක් ඔහුට තිබුණ නිසයි.

ආඥාව දුන්නේ කාටද?

යේසුස් නැවත නැඟිටීමෙන් පස්සේ ගලීලයේදී නියෝජිතයන්ව සහ අනිත් අනුගාමිකයන්ව හම්බ වෙලා මෙහෙම කිව්වා. ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න.’

යේසුස් නැවත නැඟිටීමෙන් පස්සේ ගලීලයේදී නියෝජිතයන්ව සහ අනිත් අනුගාමිකයන්ව හම්බ වෙලා මෙහෙම කිව්වා. ‘ගොස් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න’ (3-4 ඡේද බලන්න)

3-4. මතෙව් 28:19, 20 සඳහන් ආඥාව යේසුස් නියෝජිතයන්ට විතරක් දුන්න එකක් නෙමෙයි කියලා අපි දන්නේ කොහොමද? (කවරයේ පින්තූරය බලන්න.)

3 මතෙව් 28:16-20 කියවන්න. තමන්ගේ අනුගාමිකයන් මුල් සියවස පුරාම කරන්න යන වැදගත් කාර්යය ගැන ඒ රැස්වීමේදී යේසුස් කිව්වා. අද අපි හවුල් වෙන්නෙත් ඒ වැදගත් කාර්යයේ. යේසුස් කිව්වේ මෙහෙමයි. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. . . . මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න.”

4 යේසුස්ගේ අනුගාමිකයන් හැමෝම ශුභාරංචිය දේශනා කරන කාර්යයේ හවුල් වෙයි කියලා ඔහු බලාපොරොත්තු වෙනවා. ඒ කාර්යය ඔහුගේ විශ්වාසවන්ත නියෝජිතයන් 11දෙනාට විතරක් දුන්න එකක් නෙමෙයි. එහෙම කියන්නේ ඇයි? යේසුස් ඒ ආඥාව දෙද්දී ගලීලයේ පිහිටි කන්දේ රැස් වෙලා හිටියේ නියෝජිතයන් විතරක් නෙමෙයි. මතකද, දේවදූතයා ස්ත්‍රීන්ට කියපු දේ? “[ගලීලයේදී] ඔහුව දකින්න ඔබටත් පුළුවන් වෙයි” කියලා දේවදූතයා කිව්වා. එහෙමනම් විශ්වාසවන්ත ස්ත්‍රීනුත් ඒ රැස්වීමට සහභාගි වුණා කියලා හිතන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි නියෝජිත පාවුල් කිව්වා යේසුස් “සහෝදරයන් පන්සියදෙනෙකුට වඩා වැඩි පිරිසක් ඉදිරියේ පෙනී සිටියා” කියලා. (1 කොරි. 15:6) ඒ කොහේදීද?

5. 1 කොරින්ති 15:6 පාවුල් කතා කරන්නේ ගලීලයේදී පවත්වපු රැස්වීම ගැන කියලා අපි දන්නේ කොහොමද?

5 1 කොරින්ති 15:6 පාවුල් කතා කරන්නේ ගලීලයේදී පවත්වපු රැස්වීම ගැන කියලා කියන්න හොඳ හේතු තියෙනවා. එකක් තමයි යේසුස්ගේ ගෝලයන් හුඟදෙනෙක් ගලීලයේ වැසියන්. ඒ නිසා ලොකු පිරිසක් එක්ක යෙරුසලමේදී නිවසක එකතු වෙනවාට වඩා ගලීලයේ තියෙන කන්දක එකතු වෙන එක පහසුයි. අනිත් දේ තමයි යේසුස් නැවත නැඟිට්ටාට පස්සේ ඔහුගේ නියෝජිතයන් 11දෙනාව යෙරුසලමේදී හම්බ වෙලයි තිබුණේ. දේශනා කරන සහ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන කාර්යය නියෝජිතයන්ට විතරක් භාර දෙන්න ඕනෙ කාර්යයක් නම් ඒක ඒ වෙලාවේ එයාලට කියන්න තිබුණා.—ලූක් 24:33, 36.

6. යේසුස් දුන්න ආඥාව අදටත් අදාළ වෙනවා කියලා මතෙව් 28:20 පැහැදිලි වෙන්නේ කොහොමද? අද ඉන්න අය ඒ ආඥාවට කීකරු වෙන්නේ කොහොමද?

6 තව දෙයක් තමයි ඔහුගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන්න කියන ආඥාව යේසුස් දුන්නේ ඒ කාලේ හිටපු ක්‍රිස්තියානීන්ට විතරක් නෙමෙයි. මොකද ඒක කිව්වාට පස්සේ යේසුස් මෙහෙම කිව්වා. “මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙ. 28:20) යේසුස් කිව්වා වගේම අද ඉන්න හුඟදෙනෙක් ඒ කාර්යයේ හවුල් වෙනවා. හැම අවුරුද්දකම ලක්ෂ තුනකට ආසන්න ගාණක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් හැටියට බව්තීස්ම වෙලා යේසුස්ගේ අනුගාමිකයන් වෙනවා.

අපිට ඕනෙ යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න ශිෂ්‍යයන්ට උදව් කරන්නයි

ඒ කාර්යය තවත් හොඳින් කරන්න අපිට උදව් වෙන්නේ මොනවාද?

මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් තවත් හොඳින් කරනවා. 1. වෙනස්කම් කරගන්නේ නැති කෙනෙක් එක්ක දිගටම පාඩම් කරන්න එපා; සහෝදරයන් දෙන්නෙක් එච්චර උනන්දුවක් නැති තරුණයෙක් එක්ක පාඩම් කරනවා. 2. උදව් ඉල්ලලා යාච්ඤා කරන අය ඔයා සේවය කරන ප්‍රදේශයේ තව ඇති; කාන්තාවක් යාච්ඤා කරමින් ඉද්දී සහෝදරියන් දෙන්නේ එයාගේ ගෙදර දොරට තට්ටු කරනවා. 3. යාච්ඤාවක් කරලා පාඩම පටන්ගන්න; පාඩමක් පටන්ගන්න කලින් සහෝදරයෙක් යාච්ඤාවක් කරනවා. 4. බයිබල් ශිෂ්‍යයාට රැස්වීමට ආරාධනා කරන්න; සහෝදරයෙක් එයාගේ බයිබල් ශිෂ්‍යයාට රැස්වීමේදී වෙන්නේ මොනවාද කියලා නමස්කාර මධ්‍යයස්ථානයේදී පැහැදිලි කරලා දෙනවා. 5. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී මොනවාද කරන්න ඕනෙ කියලා ශිෂ්‍යයාට කියලා දෙන්න; තොරතුරු ගවේෂණය කරන විදිහ සහෝදරයෙක් එයාත් එක්ක පාඩම් කරන කෙනෙක්ට කියලා දෙනවා.

7. දැන් අපි බලන්නේ මොනවා ගැනද? ඒ ඇයි?

7 බයිබලේ පාඩම් කරන හුඟදෙනෙක් බව්තීස්ම වුණත් අපිත් එක්ක පාඩම් කරන සමහරදෙනෙක් ඒ පියවර ගන්න බයයි. එයාලා ආසාවෙන් බයිබලේ තියෙන දේවල් ඉගෙනගත්තත් බව්තීස්ම වෙන්න අවශ්‍ය පියවර ගන්නේ නැහැ. ඔයා කෙනෙක් එක්ක බයිබලේ පාඩම් කරනවා නම් ඔයාට ඕනෙ එයා ඉගෙනගන්න දේවල් ජීවිතේට අදාළ කරගෙන යේසුස්ගේ අනුගාමිකයෙක් වෙනවා දකින්නයි. මේ ලිපියෙන් අපි බලනවා යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්නත් ඔහු බලාපොරොත්තු වෙන වෙනස්කම් කරගන්නත් එයාලට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද කියලා. ඒ ගැන අපි සාකච්ඡා කරන එක වැදගත් ඇයි? මොකද කෙනෙක් එක්ක කරන පාඩම දිගටම කරගෙන යනවාද නැද්ද කියලා තීරණය කරන්න අපිට වෙයි.

යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න ඔයාගේ පාඩමට උදව් කරන්න

8. යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න අපිත් එක්ක පාඩම් කරන අයට උදව් කරන එක සමහර වෙලාවට අමාරු ඇයි?

8 යෙහෝවා දෙවියන්ට ඕනෙ මිනිසුන් ආදරෙන් පෙලඹිලා ඔහුට සේවය කරනවා දකින්න. ඒ නිසා යෙහෝවා දෙවියන් අපි එක් එක් කෙනා ගැන හුඟක් සැලකිලිමත් කියලත් ඔහු අපිට ආදරෙයි කියලත් තේරුම්ගන්න අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අයට අපි උදව් කරන්න ඕනේ. යෙහෝවා දෙවියන්ව “පියා නැති දරුවන්ගේ පියා” හැටියටත් “වැන්දඹුවන්ට යුක්තිය ඉටු කර දෙන විනිශ්චයකරු” හැටියටත් දකින්න එයාලට උදව් කරන්නයි අපිට ඕනේ. (ගීතා. 68:5) දෙවියන් එයාලට කොයි තරම් ආදරේද කියලා එයාලා තේරුම්ගත්තාම එයාලත් දෙවියන්ට ආදරේ කරන්න පටන්ගන්නවා. අපිත් එක්ක පාඩම් කරන සමහරුන්ට යෙහෝවා දෙවියන්ව ආදරණීය තාත්තා කෙනෙක් විදිහට දකින්න අමාරුයි. මොකද එයාලගේ තාත්තලාගෙන් එයාලට ආදරයක්, සෙනෙහසක් ලැබිලා නැහැ. (2 තිමෝ. 3:1, 3) ඒ වගේ කෙනෙක් එක්ක පාඩමක් කරද්දී යෙහෝවා දෙවියන්ගේ ලස්සන ගුණාංග ගැන කාවද්දන්න. එයා සදාකල් ජීවත් වෙනවා දකින්න අපේ ආදරණීය තාත්තාට ඕනෙ කියලත් ඒකට එයාට උදව් කරන්න ඔහු ආසාවෙන් ඉන්නවා කියලත් තේරුම්ගන්න එයාට උදව් කරන්න. තව මොනවාද අපිට කරන්න පුළුවන්?

9-10. බයිබල් පාඩම් කරන්න අපි පාවිච්චි කරන්නේ මොන පොත්ද? ඒ ඇයි?

9 ‘බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු’ සහ ‘දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු’ කියන පොත් පාවිච්චි කරන්න. ඒ පොත් 2 විශේෂයෙන්ම සකස් කරලා තියෙන්නේ යෙහෝවා දෙවියන් ගැන ආදරයක් ඇති කරගන්න අපිත් එක්ක පාඩම් කරන අයට උදව් කරන්නයි. උදාහරණෙකට ‘සරලව තේරුම්ගමු’ පොතේ 1වෙනි පරිච්ඡේදයේ මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. දෙවියන්ට අපේ දුක දැනෙන්නේ නැද්ද?, මිනිසුන්ගේ දුක දැක්කාම දෙවියන්ට හැඟෙන්නේ කොහොමද? සහ යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාටත් පුළුවන්ද? ‘දෙවියන්ගේ ආදරය ලබාගනිමු’ කියන පොත උදව් වෙනවා බයිබල් ප්‍රතිපත්ති ජීවිතේට අදාළ කරගද්දී ලැබෙන ප්‍රයෝජන තේරුම්ගන්න. දෙවියන්ට තව ළං වෙන්න ඒ පොතේ තියෙන තොරතුරු උදව් වෙනවා. සමහරවිට ඔයා ඒ පොත් 2 පාවිච්චි කරලා තවත් අය එක්ක පාඩම් කරලා ඇති. ඒත් හැම ශිෂ්‍යයෙක් එක්කම පාඩම කරන්න කලින් පාඩමට ඔයා හොඳින් සූදානම් වෙන්න. එතකොට එක් එක් ශිෂ්‍යයාට ඒ තොරතුරු අදාළ වෙන පැති ගැන හිතන්න ඔයාට පුළුවන්.

10 අපේ ඉගැන්වීම් කට්ටලයට අයිති නැති ප්‍රකාශනයක තියෙන විෂයක් ගැන කතා කරන්න ශිෂ්‍යයෙක්ට ඕනෙ නම් මොකද කරන්නේ? ඔයාට පුළුවන් ඒ ප්‍රකාශනයේ තියෙන තොරතුරු එයාට පෞද්ගලිකව කියවන්න කියලා උනන්දු කරන්න. එතකොට බයිබල් පාඩම් කරන්න සකස් කරලා තියෙන ඒ පොත් 2 පාවිච්චි කරලා දිගටම පාඩම කරන්න ඔයාට පුළුවන්.

සහෝදරයන් දෙන්නෙක් මහලු කෙනෙක් එක්ක පාඩම් කරනවා. එක සහෝදරයෙක් පාඩම පටන්ගන්න කලින් යාච්ඤා කරනවා.

යාච්ඤාවක් කරලා පාඩම පටන්ගන්න (11 ඡේදය බලන්න)

11. අපිත් එක්ක පාඩම් කරන අය එක්ක අපි යාච්ඤා කරන්න පටන්ගන්න ඕනෙ කොයි කාලෙදීද? ඒක වැදගත් කියලා තේරුම්ගන්න ශිෂ්‍යයාට උදව් කරන්න පුළුවන් කොහොමද?

11 යාච්ඤාවක් කරලා පාඩම පටන්ගන්න. බයිබල් පාඩමක් පටන් අරන් සති කීපයක් ඇතුළත පාඩමට කලින් සහ පාඩම අවසානයේ යාච්ඤා කරන එක වැදගත්. බයිබලේ තියෙන දේවල් අපිට තේරුම්ගන්න පුළුවන් වෙන්නේ දෙවියන් ඔහුගේ බලයෙන් අපිට උදව් කළොත් විතරයි කියන දේ තේරුම්ගන්න අපි ශිෂ්‍යයාට උදව් කරන්න ඕනේ. සමහරු ඒක පැහැදිලි කරන්න යාකොබ් 1:5 සඳහන් දේ කියවනවා. එතන කියන්නේ “තමාට ප්‍රඥාව අඩුයි කියා යමෙකුට හැඟෙනවා නම් එය ඔහුට නොකඩවා දෙවිගෙන් ඉල්ලිය හැකියි” කියලා. ඊටපස්සේ පාඩම කරන කෙනා ශිෂ්‍යයාගෙන් අහනවා “දෙවියන්ගෙන් ප්‍රඥාව ලබාගන්න පුළුවන් කොහොමද” කියලා. යාච්ඤා කරන්න ඕනෙ කියලා ශිෂ්‍යයා එතකොට තේරුම්ගන්නවා.

12. හිතේ තියෙන හැම දේම දෙවියන්ට කියන්න ශිෂ්‍යයෙක්ට උදව් කරන්න ඔයා ගීතාවලිය 139:2-4 පාවිච්චි කරන්නේ කොහොමද?

12 යාච්ඤා කරන විදිහ ශිෂ්‍යයාට කියලා දෙන්න. ශිෂ්‍යයාට තේරුම් කරලා දෙන්න යෙහෝවා දෙවියන් කැමති එයාගේ හදවතින්ම කරන යාච්ඤාවලට ඇහුම්කන් දෙන්න කියලා. යෙහෝවා දෙවියන්ට පෞද්ගලිකව කරන යාච්ඤාවලදී අපේ හිතේ තියෙන හැම දෙයක්ම සමහරවිට තව කෙනෙක්ට කියන්න අපි අකමැති දේවල් වුණත් ඔහුට කියන්න පුළුවන් කියලා එයාට තේරුම් කරලා දෙන්න. අපේ හැම සිතුවිල්ලක් ගැනම යෙහෝවා දෙවියන් දන්නවා කියලා මතක් කරන්න. (ගීතාවලිය 139:2-4 කියවන්න.) එයාට තියෙන වැරදි ආකල්ප වෙනස් කරගන්න, වැරදි පුරුදු අත්හරින්න දෙවියන්ගෙන් උදව් ඉල්ලන්න කියලත් ශිෂ්‍යයාට උනන්දු කරන්න. උදාහරණෙකට හිතන්න, යම් කාලයක් තිස්සේ ඔයා පාඩමක් කරන කෙනෙක් දෙවියන් අකමැති උත්සවයකට සහභාගි වෙන්න ආසයි කියලා. එයා දන්නවා ඒකට හවුල් වෙන එක වැරදියි කියලා. ඒත් ඒකට සම්බන්ධ සමහර දේවල්වලින් විනෝදයක් ලබන්න එයා ආසයි. ඒ ගැන යෙහෝවා දෙවියන්ට කියන්න කියලා එයාට උනන්දු කරන්න. දෙවියන් කැමති දේවලට විතරක් ඇලුම් කරන්න එයාට උදව් කරන්න කියලා දෙවියන්ට කන්නලව් කරන්න එයාව දිරිගන්වන්න.—ගීතා. 97:10.

සහෝදරයෙක් එයාගේ බයිබල් ශිෂ්‍යයාට රැස්වීමේදී වෙන්නේ මොනවාද කියලා නමස්කාර මධ්‍යයස්ථානයේදී පැහැදිලි කරලා දෙනවා.

බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න (13 ඡේදය බලන්න)

13. (අ) බයිබල් ශිෂ්‍යයන්ව පුළුවන් තරම් ඉක්මනින් රැස්වීම්වලට ආරාධනා කරන්න ඕනෙ ඇයි? (ආ) රැස්වීම්වලට ආවාම බයිබල් ශිෂ්‍යයන්ට පහසුවක් දැනෙන්න නම් අපි මොනවාද කරන්න ඕනේ?

13 පාඩම පටන්ගත්ත අලුතම බයිබල් ශිෂ්‍යයාට රැස්වීම්වලට ආරාධනා කරන්න. රැස්වීම්වලදී ශිෂ්‍යයා අහන දකින දේවලට පුළුවන් යෙහෝවා දෙවියන්ට සේවය කරන්න එයා තුළ ලොකු පෙලඹීමක් ඇති කරන්න. “අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?” කියන වීඩියෝ එක පෙන්නලා ඔයාත් එක්ක රැස්වීම්වලට යන්න එන්න කියලා එයාට ආරාධනා කරන්න. පුළුවන් නම් එයාට රැස්වීමට එන්න ප්‍රවාහන පහසුකම් ලෑස්ති කරන්න. ඔයා පාඩමට යද්දී එකම කෙනෙක්ව හැමදාම එක්කගෙන යන්නේ නැතුව සභාවේ විවිධ අයව එක්කගෙන යන්න. ඒකෙන් සභාවේ ඉන්න අනිත් අයව අඳුරගන්න එයාට පුළුවන් වෙනවා. එතකොට රැස්වීම්වලට ආවාම එයාට පහසුවක් දැනෙයි.

දෙවියන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කරගන්න ශිෂ්‍යයාට උදව් කරන්න

14. දෙවියන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කරගන්න ශිෂ්‍යයා පෙලඹෙන්නේ මොකක් නිසාද?

14 අපේ ඉලක්කය දෙවියන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන එකයි. (එෆී. 4:13) කෙනෙක් අපිත් එක්ක පාඩමක් කරන්න කැමති වෙන්නේ ඒකෙන් එයාට ලැබෙන ප්‍රයෝජන ගැන හිතලා වෙන්න පුළුවන්. ඒත් යෙහෝවා දෙවියන් ගැන එයාට තියෙන ආදරේ වැඩි වෙද්දී සභාවේ අය ඇතුළුව අනිත් අයට උදව් කරන්න පුළුවන් කොහොමද කියලා එයා හිතන්න පෙලඹෙයි. (මතෙ. 22:37-39) සුදුසු අවස්ථාවක් බලලා දේවරාජ්‍යයේ වැඩකටයුතුවලට සම්මාදම් කරන්න අපිට තියෙන අවස්ථාව ගැන එයාට කියන්න.

තොරතුරු ගවේෂණය කරන විදිහ සහෝදරයෙක් එයාත් එක්ක පාඩම් කරන කෙනෙක්ට කියලා දෙනවා.

ප්‍රශ්නවලට මුහුණ දෙද්දී මොනවාද කරන්න ඕනෙ කියලා ශිෂ්‍යයාට කියලා දෙන්න (15 ඡේදය බලන්න)

15. ප්‍රශ්නවලට මුහුණ දෙද්දී බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන්න අපිට පුළුවන් කොහොමද?

15 ප්‍රශ්නවලට මුහුණ දෙද්දී මොනවාද කරන්න ඕනෙ කියලා ශිෂ්‍යයාට කියලා දෙන්න. හිතන්න ඔයාගේ ශිෂ්‍යයා දැන් බව්තීස්ම නොළත් ප්‍රචාරකයෙක් කියලා. සභාවේ කෙනෙක් කියපු කරපු දෙයක් නිසා එයාගේ හිත රිදුණා කියලා එයා ඔයාට කියනවා. කවුද හරි, කවුද වැරදි කියලා කියනවා වෙනුවට ඒ වගේ අවස්ථාවකදී එයා කරන්න ඕනෙ දේ ගැන බයිබලේ සඳහන් වෙන දේ එයාට පෙන්නන්න. එක්කෝ එයාට පුළුවන් හිත රිද්දපු කෙනාට සමාව දීලා ඒක එතනින් අමතක කරලා දාන්න. ඒක අමතක කරන්න බැරි නම් ‘සහෝදරයාව දිනාගන්න’ අරමුණින් ගිහින් එයාත් එක්ක කතා කරන්න පුළුවන්. (මතෙව් 18:15 බලන්න.) ඒ සහෝදරයාට කතා කරන්න කලින් එයාට කියන්නේ මොනවාද කියලා සූදානම් වෙන්න ශිෂ්‍යයාට උදව් කරන්න. ‘JW ලයිබ්‍රරි’ ඇප් එක, ‘අධ්‍යයනය සඳහා අත්වැලක්’ සහ jw.org® වෙබ් අඩවිය පාවිච්චි කරලා ප්‍රශ්නේ විසඳගන්න උදව් වෙන මඟ පෙන්වීම් හොයන විදිහ එයාට පෙන්නලා දෙන්න. බව්තීස්ම වෙන්න කලින් ප්‍රශ්න විසඳගන්නේ කොහොමද කියලා එයා ඉගෙනගත්තොත් බව්තීස්ම වුණාට පස්සෙත් සභාවේ අය එක්ක පෑහිලා වැඩ කරන්න එයාට පුළුවන් වෙනවා.

16. සභාවේ අනිත් අයව පාඩමට එක්කගෙන යන එක හොඳ ඇයි?

16 සභාවේ අනිත් අයවත් පාඩමට යද්දී එක්කගෙන යන්න. චාරිකා සතියේදී චාරිකා සේවකව පාඩමට එක්කගෙන යන්න. එහෙම කරන්න ඕනෙ ඇයි? ඒකට එක හේතුවක් අපි කලින් බැලුවා. ඒ වගේම ඔයාට උදව් කරන්න බැරි පැතිවලින් ශිෂ්‍යයාට උදව් කරන්න අනිත් ප්‍රචාරකයන්ට ඒකෙන් පුළුවන් වෙනවා. උදාහරණෙකට හිතන්න, ඔයාගේ ශිෂ්‍යයා සිගරට් බොන එක නවත්තන්න කීප සැරයක්ම උත්සාහ කළත් එයාට ඒක කරන්න බැරි වෙලා කියලා. ලොකු සටනක් කරලා ඒ පුරුද්දෙන් ගොඩ ආපු සාක්ෂිකරුවෙක්ව පාඩමට එක්කගෙන යන්න ඔයාට පුළුවන්. එයාට පුළුවන් වෙයි ශිෂ්‍යයාට ප්‍රයෝජනවත් වෙන පැති පෙන්නලා දෙන්න. අද්දැකීම් තියෙන සහෝදරයෙක් ඉස්සරහා පාඩමක් කරන එක ඔයාට අපහසුයි නම් එදාට ඒ පාඩම කරන්න කියලා ඒ සහෝදරයාට කියන්න. ඔයාගේ පාඩමට යන්න සභාවේ වෙනත් අයට ඔයා ආරාධනා කරද්දී එයාලගේ අද්දැකීම්වලින් ප්‍රයෝජන ලබන්න ශිෂ්‍යයාට පුළුවන්. අපේ ඉලක්කය දෙවියන් බලාපොරොත්තු වෙන වෙනස්කම් කරගන්න බයිබල් ශිෂ්‍යයන්ට උදව් කරන එකයි කියලා අමතක කරන්න එපා.

පාඩම නතර කළොත් හොඳයිද?

17-18. පාඩමක් නතර කරනවාද කියලා තීරණය කරද්දී ඔයා හිතන්න ඕනෙ මොන පැති ගැනද?

17 ඔයාගේ ශිෂ්‍යයා ජීවිතේ වෙනස්කම් කරගන්නේ නැත්නම් ‘පාඩම කරනවාද නැත්නම් ඒක නවත්තනවාද’ කියන තීරණය ඔයාට ගන්න වෙනවා. ඒ තීරණය ගන්න කලින් දෙයක් ඉගෙනගෙන ඒක අදාළ කරගන්න ශිෂ්‍යයාට තියෙන හැකියාව ගැන හිතන්න. සමහරුන්ට වෙනස්කම් කරගන්න කාලයක් යනවා. ඔයාගෙන් මෙහෙම අහන්න. ‘එයාගේ හැකියාවට, ඉන්න තත්වයට අනුව එයා වෙනස්කම් කරගන්නවාද?’ ‘ඉගෙනගන්න දේවල් “පිළිපදින්න” නැත්නම් අදාළ කරන්න එයා පටන් අරන්ද?’ (මතෙ. 28:20) කෙනෙක්ට යේසුස්ගේ අනුගාමිකයෙක් වෙන්න කාලයක් යයි. ඒත් එයා ටිකෙන් ටික හෝ ජීවිතේ වෙනස්කම් කරගන්න ඕනේ.

18 හිතන්න, ඔයා කෙනෙක් එක්ක යම් කාලයක් තිස්සේ පාඩමක් කරනවා කියලා. ඒත් එයා ඒ පාඩම අගය කරනවා කියලා පේන්නේ නැත්නම් මොකද කරන්නේ? මෙහෙම හිතන්න. ඔයාගේ ශිෂ්‍යයා ‘සරලව තේරුම්ගමු’ කියන පොත පාඩම් කරලා ඉවරයි. සමහරවිට ‘දෙවියන්ගේ ආදරය ලබාගනිමු’ කියන පොත පටන් අරගෙනත් ඇති. ඒත් එයා තවමත් එක රැස්වීමකටවත් අඩුම තරමේ සිහි කිරීමටවත් සහභාගි වෙලා නැහැ. පොඩි පොඩි හේතු නිසා එයා නිතරම වගේ පාඩම අතපසු කරනවා. එහෙමනම් ඒ ගැන ඔයා එයා එක්ක කෙළින්ම කතා කරන්න ඕනේ.b

19. බයිබල් පාඩම ගැන අගයක් නැති කෙනෙක්ට ඔයාට කියන්න පුළුවන් මොනවාද? ඔයා හිතන්න ඕනෙ මොනවා ගැනද?

19 ඔයාට පුළුවන් එයාගෙන් මෙහෙම අහන්න. ‘යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වෙන්න ඔයාට කරන්න අමාරුම දේ මොකක්ද?’ එයා මෙහෙම කියන්න ඉඩ තියෙනවා. ‘බයිබලේ ඉගෙනගන්න මං ආසයි. ඒත් මං කවදාවත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් නම් වෙන්නේ නැහැ.’ ඒ වගේ කෙනෙක් එක්ක දිගටම පාඩමක් කරන එකේ තේරුමක් තියෙනවාද? අනිත් අතට ඔයාගේ ශිෂ්‍යයා මුල්ම වතාවට ඔයාට කියයි එයා සාක්ෂිකරුවෙක් වෙන්න අදිමදි කරන හේතුව. උදාහරණෙකට එයා කියයි ගෙයින් ගෙට ගිහින් දේශනා කරන එක එයාට කරන්න අමාරු දෙයක් කියලා. එයාට හැඟෙන විදිහ දැනගත්තාම එයාට උදව් කරන්න ඔයාට පහසුයි.

සහෝදරයන් දෙන්නෙක් එච්චර උනන්දුවක් නැති තරුණයෙක් එක්ක පාඩම් කරනවා.

වෙනස්කම් කරගන්නේ නැති කෙනෙක් එක්ක දිගටම පාඩම කරන්න එපා (20 ඡේදය බලන්න)

20. කෙනෙක් එක්ක පාඩම දිගටම කරනවාද නැද්ද කියලා තීරණය කරන්න ක්‍රියා 13:48 උදව් වෙන්නේ කොහොමද?

20 සමහර බයිබල් ශිෂ්‍යයන් එසකියෙල්ගේ කාලේ හිටපු ඊශ්‍රායෙල්වරුන් වගේ. එයාලා ගැන යෙහෝවා දෙවියන් එසකියෙල්ට මෙහෙම කිව්වා. “බලන්න, ඔවුන් ඔබව සලකන්නේ බොළඳ පෙම් ගී ගයන ගායකයෙකු ලෙසය. මියුරු කටහඬකින් ගී ගයන දක්ෂ වීණා වාදකයෙකු ලෙසය. ඔවුහු අනිවාර්යයෙන්ම ඔබට සවන් දෙනු ඇත. එහෙත් ඔබ කියන දේට එකඟව ක්‍රියා කරන්නේ නැත.” (එස. 33:32) බයිබල් පාඩම නවත්තනවා කියලා ශිෂ්‍යයෙක්ට කියන්න අපිට අමාරු ඇති. ඒත් ‘ඉතුරු වෙලා තියෙන්නේ තව කෙටි කාලයක් විතරයි.’ (1 කොරි. 7:29) ඒ කාලය වෙනස්කම් කරගන්නේ නැති කෙනෙක් වෙනුවෙන් යොදවනවා වෙනුවට “සදාකාල ජීවනයට මඟ පාදන සත්‍යය පිළිගැනීමට කැමති” කෙනෙක් වෙනුවෙන් යොදවන එක වඩා හොඳයි.—ක්‍රියා 13:48 කියවන්න.

කාන්තාවක් යාච්ඤා කරමින් ඉද්දී සහෝදරියන් දෙන්නේ එයාගේ ගෙදර දොරට තට්ටු කරනවා.

උදව් ඉල්ලලා යාච්ඤා කරන අය ඔයා සේවය කරන ප්‍රදේශයේ තව ඇති (20 ඡේදය බලන්න)

21. 2020 වාර්ෂික පදය මොකක්ද? ඒක අපිට උදව් වෙන්නේ කොහොමද?

21 මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න තවත් හොඳින් උදව් කරන්න පුළුවන් කොහොමද කියලා හිතලා බලන්න 2020 වාර්ෂික පදය අපිට උදව් වෙයි. ඒකේ තියෙන්නේ යේසුස් ගලීලයේ පවත්වපු වැදගත් රැස්වීමේදී කියපු මේ වචනයි. ‘ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. ඒ අයව බව්තීස්ම කරන්න.’—මතෙ. 28:19.

බයිබල් ශිෂ්‍යයෙක් බව්තීස්ම වෙනවා.

අපිට ඕනෙ යේසුස්ගේ ගෝලයන් වෙන්න මිනිසුන්ට උදව් කරන කාර්යය තව දක්ෂ විදිහට කරන්නයි. ඒ වගේම අපිට ඕනෙ අපිත් එක්ක පාඩම් කරන අයට බව්තීස්ම වෙන්න උදව් කරන්නයි (21 ඡේදය බලන්න)

ඔයාට මතකද?

  • යෙහෝවා දෙවියන්ට ආදරේ කරන්න අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අයට උදව් කරන්න ඕනෙ ඇයි? ඒක කරන්න පුළුවන් කොහොමද?

  • යේසුස්ගේ ගෝලයන් වෙන්න අපේ බයිබල් පාඩම්වලට උදව් කරන්න පුළුවන් කොහොමද?

  • කෙනෙක් එක්ක කරන පාඩම නතර කරනවාද කියලා තීරණයක් ගන්න වෙද්දී අපි හිතන්න ඕනෙ මොන පැති ගැනද?

ගීතිකාව 70 සුදුස්සන්ව සොයන්න

a මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන කාර්යය ගැන හිතන්න 2020 වාර්ෂික පදය අපිව දිරිගන්වනවා. අපි හැමෝම ඒ ආඥාවට කීකරු වෙන්න ඕනේ. අපිත් එක්ක බයිබලේ පාඩම් කරන අයගේ හිතේ යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න ආසාවක් ඇති කරන්න අපිට පුළුවන් කොහොමද? යෙහෝවා දෙවියන්ගේ හොඳ යාළුවෙක් වෙන්න එයාලට උදව් කරන්න අපිට පුළුවන් විදි ගැන මේ ලිපියේ බලනවා. කෙනෙක් එක්ක පාඩම දිගටම කරනවාද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් කොහොමද කියලත් අපි බලනවා.

b JW බ්‍රෝඩ්කාස්ටිං එකේ තියෙන ‘පලදායී නොවන බයිබල් පාඩම් නවත්වන්න’ කියන වීඩියෝ එක බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2026 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න