රැස්වීමේදී හොඳින් අදහස් දක්වන්න
හොඳින් සූදානම් වෙන්න. රැස්වීමට සූදානම් වෙන්නේ නැත්නම් අදහස් දක්වන්න අමාරුයි. ඒ වගේම හිතට කාවදින විදිහට අදහස් දක්වන්නත් බැරි වෙනවා.—‘සේවා පාසැල්’ පොතේ 70වෙනි පිටුව බලන්න.
හොඳින් ඇහුම්කන් දෙන්න. අනිත් අය අදහස් දක්වද්දී හොදින් ඇහුම්කන් දීමෙන් ඒ අදහසම නැවත කීමෙන් වළකින්න පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් දුන් අදහසට ගැළපෙන බයිබල් පදයක් හෝ ඒ අදහසට තවත් කරුණක් එකතු කරන්න ඔබට පුළුවන්.
ඔබේම වචනයෙන් අදහස් දක්වන්න. ඔබේම වචනයෙන් අදහස් දැක්වීමෙන් පෙන්වන්නේ සාකච්ඡා කරන තොරතුරු ඔබට හොඳින් අවබෝධ වෙලා කියලයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් අදහස් දක්වන විට පොතේ තියෙන දේ ඒ විදිහටම කියවන්නේ නැහැ.
දිරිගැන්වීමේ අරමුණින් අදහස් දක්වන්න. අනිත් අයව අධෛර්යය කරන අදහස් දක්වන්න එපා. ඒ වගේම අනිත් අයට උත්තර දෙන්න බැරි වෙන විදිහට සම්පූර්ණ ඡේදයම ආවරණය කරන්නත් එපා. දීර්ඝ, තොරතුරු ගොඩක් ඇතුළත් පිළිතුරු තේරුම්ගන්න අමාරුයි. අන් අයගේ සිතට කාවදින්නේ වචන කිහිපයකින් දෙන කෙටි අදහසක්. ඒ විදිහට පිළිතුරු දීම නවකයන්ට ආදර්ශයක්.